2025 නොවැම්බර් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2025 නොවැම්බර් කලාපය

සසර තේරුම් ගත්තවුන් නිසි කඨින පින්කමෙ නියැළුණාවේ කතර දිවි මඟ විඳින වුන් ඔහෙ විඳපු දෙන් අම සොමි කලාවේ සතර අතපය මුහුණ නාසය සොඳින් තිබුණත් සිත් පිනාවේ මතුර මතුරා යමුද මධුසම අපායට හැලො-වින් ලතාවේ

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

මෙම වසරේ දෙසැම්බර් කලාපයෙන් ලන්ඩන් කවි අන්තර්ජාල සරණියට වසර පහක් සපිරෙයි. 2021 ජනවාරි 01 දා පටන් නොකඩවා සෑම මසකම පළමුවනදා ලන්ඩන් කවි සරණිය එළි දැක්වීමට අපට හැකි විය. 2026 වසරේ දී ලන්ඩන් කවි සඳැස් සංග්‍රහයක් මුද්‍රණයෙන් නිකුත් කිරීමට බලා පොරොත්තු වන්නෙමු. එහි පළවන්නේ 2025 වසරේ ලන්ඩන් කවියේ පල වූ සඳැස් වලින් තෝරා ගත් කවි පමණි. ඔබේ සඳැස් කවියට තව කලාපයක් තිබේ. උත්සාහයක් කරන්න.

අපේක්ෂාවේදී දුටු අපේක්‍ෂා නොමැති වත

අපේක්ෂාවේදී දුටු අපේක්‍ෂා නොමැති වත

මහාචාර්ය සරත් විජේසුරිය ලන්ඩනයේදී

(අපේක්ෂා රෝහලේදී වෛද්‍යවරයෙකුට පාසල් වියේ මිතුරියක මුණ ගැසුණි)

කන්ද මුඳුනට පිය මනින්නේ පිංකමට තෙල් මල් අරන්
සුදු වතිනි ඈ මවට පිටුපා කීකරුව උවැසියක මෙන්
නව යොවුන් විය රැගුම් සමනළ පන්සලේ අප බෝ තුටින්
සඳවතී සඳපානෙ ඇවිලිණි බණ පදත් අසමින් සොඳින්

අපේ පාසල, අපේ පන්සල, අපේ ජීවිත මතක සැමරුම්
පන්තියෙන් පන්තිය ඉහළට නො අඩු විය නිති පෙම් හැඟුම්
ඉහළ ගසකින් පතිත විසුරුණ ගෙඩි ලෙසින් ආදර පැතුම්
අහෝ ආලයෙ රස මතක කැටි හුදෙකලා දුක්බර සුසුම්

සඳවතී මා නෙත ගැටිණි වසි වසරකට පසු අහම්බෙන්
අසුරු සැණ අප ගල් ගැසුණිදෝ දෙසිත් යාවිය මතකයෙන්
මවකි පරිණියාත එහෙත් නෙත්මිණි කැලඹුවා මා මන සැණින්
කෝල බැල්මකි නෙතග කඳුළකි කෙඳිරුවා මුදු බස් සෙමින්

ගැඹුර නොමදැන ගඟෙහි කිමිදුණි නෙක සිහින පොඩි හිස දරන්
හබල බිඳුණා තනිවුණා මා ඔරු කඳේ නොසිතුව ලෙසින්
නොළඳ සහතික මවකි මා අද ඉගිල ගොස් දරු පියවරුන්
අත් හරින්නට නොසිතුවෙමි දරුවන්ගෙ හෙට දින කිසි ලෙසින්

පැතුම් බොඳවුව මුලා වීමේ ඉමක් නොදුටිමි ලදිමි අවමන්
දිළිඳු කම නොව නෙත් වසී කළ රුවක් දුටි මහතුන් නෙතින්
ඔබ දැකුම අහඹුවක් වුව මට හැකිය යන්නට සිත සදන්
කැඳවීම වැටහේ, හඬ ඇසේ, මරු දකිමි මම යමි ඉතින්

කවිය බලන්න
අරවින්ද නෙමෙයි ඒ සනත්

අරවින්ද නෙමෙයි ඒ සනත්

මංජුල වෙඩිවර්ධන

තිස්ස අසබඩ කෙට්ටු වුණත්
අරවින්ද නෙමෙයි ඒ සනත්

විරාගය හොරු හොරා ගත්තාවෙ
සරාගය නො නවතින හැත්තෑවෙ

පතරංග ශරීරයෙ මෙවලං ද
කෙතරම් ම අතීතයෙ අවලං ද

රාගිනී අවුළුපත කරගත්තෙ
මාලිනීමය මතක මධු මත්තෙ

අනෝරා ඇල්කොහොල් වැසි අතර
අනෝජාදර සිහින පිරිවිතර

ලෝකාන්තය පෙනෙන රේඛාව
රූකාන්තය දකින ලේඛාව

විරාගය හොරු හොරා ගත්තාවෙ
සරාගය නො නවතින හැත්තෑවෙ

තිස්ස අසබඩ කෙට්ටු වුණත්
අරවින්ද නෙමෙයි ඒ සනත්

2025 ඔක්තෝබර් 30

කවිය බලන්න
සරු ගේය පදවැල් අතුරා...

සරු ගේය පදවැල් අතුරා...

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සරු ගේය පදවැල් අතුරා
නිති සතුට බෙදමුද මිතුරා
නව නළු රසය ගෙන කලතා
මිහිමඩල .... රඟමඩල ....සරු සාර කල වියතා .....

සරු මහරු පදරුත් ගලපා
සුරු අනගි නිමැවුම් කෙරුවා //
තරු අකුරු මත හිත රඳවා
ගරු නමක් මෙහි පැල කෙරුවා

සරු ගේය පදවැල් අතුරා....

හෙළ ලකුණු මතකය ඔස්සේ
පසුතලය හැඩවී ඇත්තේ //
අප වෙසෙන මේ හිම පියසේ
ලක් මතක වැසි වැටෙනාසේ

සරු ගේය පදවැල් අතුරා....

කෙටිකතා පොත් පිටු අතරේ
මුල් සමයෙ ටෙලිනළු මැද්දේ //
නිති මතුව එන යන සබදේ
අපි පතමු ජය සිරි නිබදේ //

ගී පද - අනුරුද්ධ වැලිගමගේ
සංගීතය - තරිදු ජයතිලක, ගායනය - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා සහ රිසෙදි රුවන්සා කරුණාරත්න

සටහන - ටොරොන්ටෝ ප්‍රජාවේ කලා කටයුතු වලදී නිරතුරු තම දායකත්වය දක්වන බන්දුල
කුරුවිට ආරච්චි මහතා වෙනුවෙන් පැවති ප්‍රණාම උළෙලේ උපහාර ගීතය

කවිය බලන්න
The ship that sailed….

The ship that sailed….

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

(A tribute for my father)

When we were very young
Still with a fledgling tongue
We sailed on a ship,
Having one joyous trip.
The world was bright,
And weather just right,
Well, sheltered inside,
With captain as our guide,
My sister and I
Thought pigs may fly.

But with time bygone
Realisations dawn
It became amply clear,
That captain was mum dear,
And the mighty ship that sailed,
Was but our dad who prevailed.
When venturing outside
Now aware of the rising tide
My sister and I
Knew pigs don’t fly.

When seas were rough
And the going got tough,
The ship serenely sailed on
Until all storms were gone.
With the able skipper at the helm
There was calm within ship’s realm.
Watching the problem-solver
In union with the peace-bringer
My sister and I
Saw values to live by.

Then the ship sailed away
To the port down Botany Bay.
Though arriving at twilight
Zest remained to do things right,
Fresh challenges and a new life
Living in harmony sans strife
Even after the skipper was gone,
The seasoned ship still sailed on.
My sister and I
Never wondered why?

Now the ship has drifted on,
Past the horizon and beyond
Hopefully to a blissful realm.
Will there be a skipper at the helm?
Thank you, mighty ship,
For that exemplary trip
For serenely riding the wave
Asked little but simply gave,
And leaving my sister and I
Those memories to cherish by.

කවිය බලන්න
අමරණීය අමරදේව හෙළයේ මහා ගාන්ධර්ව------

අමරණීය අමරදේව හෙළයේ මහා ගාන්ධර්ව------

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

ජනිතව එදා පස්වෙනිදින සීතල උඳුවප් මාසේ

මොරටුව කොරළවැල්ලේ නවසිය විසිහත වසේ

පරලොව ගියත් නව වසකට පෙර ඒ ඉල්මාසේ

අමරව සිට මනු හදවත් තුල නිති ගැවසේ

සම්මානය රමෝන් මැග්සයිසායි පිලිපීන රටින්

කලාකීර්ති සම්මානය ලංකා අපේ බිමෙන්

දේශමාන්‍ය සම්මානේ සිරිලක් මවගෙන්

පද්ම ශ්‍රී සම්මානය මහ භාරතයෙන්

ගායකයා වුනේ ගුවන්විදුලියේ සිරිලක මුල්පෙල

අදියුරු වුනේ රන්මුතු දූව සිනමාපටයෙන්ය මුල

ගයා වයා දහස් ගණනින් ගී ලොව එකළු කල

අමරණීය අමරදේව නම රැව්දෙනවා සැමකල

නාටකවලට ගුවන්විදුලියේ එදා රඟමඩලට

නූර්තියට පනදී සංගීතයෙන් කර හැඩ එමට

සිනමාපටවල අදියුරු වී මහසංගීතයට

පැවේ විස්කම් මහා ඇදුරිඳු විලසට

ලැබු ඇරයුමෙන් එළිසබත් මහ රැජිනිගේ අධිරාජයේ හිරු නොබසින

මැනිලා සිම්පෝසියම් සරසා සංගීතයෙන් දන මුසපත් කරමින

නිමැවුම් කලේ සංගීතය මාලදිවයින් ජාතික ගීය හැඩතල දමමින

සලකුණු කලේ සිරිලක් නාමය ලොව සිව්දෙස කිරුළු දරමින

පහදා දෙන්න ජීවිතයක අරුමය බුදු දහමට අනුව

තෝරාගත්ත ගී වෙනුවෙන් කර සංගිතය රසමුසුව

දෙන්නට අනුරාග හැඟුමන් දිනූ මව්බිම වෙනුවෙන් සැදුව

ගී තනුවට සංගීතයට ඔබයි ගාන්ධර්ව රජු මේරට විසුව

මතකයි ගැයුවා ගීයක් සමඟින් එදවස සිටි ජනපතිඳුන්

මුල්ගල් තැබූවත් අරඹන්නට අසපුවක් එදා ඔබේ නමින්

අතපසුවෙලා ඇත එම කටයුතු කාගේ හෝ වරදින්

නවවැනි සැමරුමටවත් ඉටුවේදෝ පැතුදේ එතුමන්

කවිය බලන්න
විද්‍යාර්ථියාගේ සිහිනය

විද්‍යාර්ථියාගේ සිහිනය

ආරියරත්න ජයසිංහ මහරගම

සෙවනේ දිසාපාමොක් ගරු ගුරු ඇදුරූ
ඒ සිප් පියස මහවැලි ගංතෙර සොඳුරූ
වනපොත් කර පොතපත සුවඳැති අකුරූ
සිහින නිම්නයක අපි සැරුවෙමු සොඳුරූ

මාවැලි නදී තෙර තුරුලිය ගොමු ඉවුරූ
පෙම් බඳිමින් රිසිසේ කොලු කෙලි මිතුරූ
කාලය ගෙවීගොස් අප නොසිතූ අයුරූ
සීනෙන් ගෑ සුවඳකි නින්දෙන් තැවරූ

දැනුම පුරා සිව් වසරක් හිසින් දැරූ
සැබෑලොවට ආවෙමු කටුකොහොල් පිරූ
ගිනිගෙන දැවෙන එහි සැඬරැස් හමුවෙ හිරූ
දැනුමේ බොල්පිණි වියැකිනි ලෙස වෙඬරූ.

කවිය බලන්න
දබරගිල්ලෙත් රැඳී තිබුනා තාත්තගෙ රැකවරණය

දබරගිල්ලෙත් රැඳී තිබුනා තාත්තගෙ රැකවරණය

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

හිරු මඬල දිසි එලිය කර ලොව ගෙවන කල දිවි තරනය...
දුකට සැපතට සෑම විටකම කීවේම බුදුසරණය..
මුදු මොලොක් නැති වචන තුලිනුත් පිටවුනෙම සැර වදනය...
දබරගිල්ලෙත් රැඳී තිබුනා තාත්තගෙ රැකවරනය..

යනෙන ගමනුත් ගත්ත සුසුමෙත් බැන්දෙ අපවට පවුරුය..
නිවසෙ හිටියත් කොතන රැඳුනත් බැලූ බැල්මද ගැඹුරුය..
හෙලුව දහදිය බිඳක් ගානේ දුන්න සෙනෙහස සොඳුරුය..
ගියායින් පසු අපව හැරදා ලෝකයම අද අඳුරුය.

බැස ගිහින් ඔබ නොපෙනෙනා ලොව තනිව යන එන විට ගමන්..
බැදුන ආකර සමතලා වී කෙලෙස හරිමිද එහි ගිමන්.
බිය දැනුන තැන් අනන්තය මට තිබුනෙ නැත පෙර දෙවි විමන්..
අනේ හැකිනම් යලිත් එනු මැන අදරබර මගෙ පියතුමන්

Photo Credit; iggii

කවිය බලන්න
සාහිත්‍ය ට මාසයක්

සාහිත්‍ය ට මාසයක්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

රිසි සිරි පද පබැඳ පොත් කරවන අකුරු
ඉරි ඝෘතු අතර නොම තබමින් ඝන පතුරු
විඳි දින එකතු කර පදවල රස මැතිරු
බැඳ දන බෙදන මස බිනරයමයි මිතුරු

විසිතුරු තතු මල් අතු ඉති වල බැඳලා
ඉසිවරු කතාවන් සුරපුරයෙන් බැහැලා
පිවිතුරු හිතින් පුස්තක නමදිමු වැඳලා
කතුවරු නඩේ ඉමු එක්සත් වී බැඳිලා

අමතක නොකළ ලියනට හුරුකළ පෑන
විකසිත මලක පටලයි ඇඳ නෙක හීන
සිතකය මත් කරන මධුවිත නිර්මාණ
දල්වයි යුගෙන් යුගයට සාහිත පාන

Photo Credit; iStock

කවිය බලන්න
නොදැනෙන්න පෙමි කරමි

නොදැනෙන්න පෙමි කරමි

අනුරාධා ගුණසේකර හොරණ

මින් පසුව අහස දෙස නොබලම්
ඉරි තැලී ගිය හද කඳුළින් තෙත් කරමි
තරුවකට පෙමි බැන්ද
හීන සිතුවම් ඇන්ද
පපුතුරෙ උණුහුමට
හැමදාම ලොබ බැන්ද
අයිතියක් කරගෙන සිතින්
නින්දේම සුව වින්ද

නුඹේ සිත තව තැනක නතර වුන බව දනිමි
තැනු පෙම් මළිඟා දෙපා මුල ඇද හැලුනි.
තනි කමට දුර අහසේ
කලුවරට මුවාවී
තරුවකට පෙමින් මා
නෙතු දුරට යොමාවී
සඳ එළිය මඟ හැරපු
හැටි අදත් මැවේවි
ඒත් අද අතරමඟ
මතක හා මුලාවී
විඳවමින් දැවෙන සිත
අහස දෙස බලාවි

මතක වලලම් ඉඳහිටක විඳවමින් විඳිමි
සසරක්ම පැතුවත් මේ බවත් අහිමි බව දනිමි
දැහැන් ගත ප්‍රේමයක් හීනයක් වී දැවෙමි
කොතැන හිටියත් නුඹට නොදැනෙන්න පෙමි කරමි

කවිය බලන්න
මන සනසන වන සරණිය

මන සනසන වන සරණිය

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

වන සරණිය විහඟ ගීත අසනුව ඔබ සිසිලසේ

මන සනසන අරුම රසය විඳගන්නට නිදහසේ

ඔබ සරමින් වන පෙත මග සොබා දහම දුන් ලෙසේ

බිම නොහෙලමු ගස් වැල් අප හට ගමනට සිතු ලෙසේ

ටිං ටිං ගානා ලේනුන් කුරුලු ගීත පරයනා

බඹර නාද මී මැසි හඬ සවනත සරමින් දෙනා

මිහිර රසය සිතට සිසිල ගලමින් ඔබ සනසනා

බිම නොහෙලමු වන සරණිය සදා රකිමු සැම දෙනා

සැළලිහිණින් මොණරුන් ගිරවුන් ගයනා ගී රසේ

රුක් ගොමු ඇල දොළ සරමින් විඳිනා දින ඔබෙ හිසේ

මල් පිපි පිපි සුවඳ හමයි ඔබ අසලින් නිදහසේ

හරිත රසය පරදන රස මෙලොව නොමැත ඒ තොසේ

සිංහ දෙනක දරු සුරතල් කරන අයුරු දුටු සැනේ

කොටි වලසුන් පැටව් බදාගෙන සැනසෙන මහ වනේ

සදා කලක් පවතින්නට මිනිස් සිතට එන දිනේ

මානව ප්‍රේමය දිදුලයි දිනා දෙන්න දෙවියනේ

කවිය බලන්න
හැබෑම නම් තව මරේ මරු

හැබෑම නම් තව මරේ මරු

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

තරු පොකුරේ සැගවුණාට
දුර අහසේ ඉගිලුනාට
මහ පොළොවයි මේ අපට හිමි
මේ පොළොවයි අප හැමට හිමි

පඩිය පඩිය එසවුණාට
තට්ටු හතට ලංවූණාට
මුල අමතක වෙනවා නම් බොරු
පෙන්නුවාට හිතට බෑ බොරු

විසල් මන්දිරේ ළගදී
අළුත් වාහනේ ළගදී
හිනා පිරුණු මුණ නම් බොරු
හැබෑම නම් තව මරේ මරු

එක බත්පත බෙදන් කාපු
එකම ඇඳක බර දරාපු
මට මොකටද තවත් නම් බොරු
ඇයි මෙච්චර පෙන්නන්නෙ බොරු බොරු

කවිය බලන්න
ගිජිදා.......

ගිජිදා.......

අමිතා පද්මකුමාරි

ගිජිදා සරසා මල් ලිය අතුලා
බැන්ඳා රැහැනින් කරඬුව තබලා
මාහැඟි පිනකට උරුමය ලැබිලා
ගිජිදා වඩිනවා පෙරහැරෙ දිදුලා

අභිමානෙන් සිරස ද ඔසවාලා
දැමුනු ලෙසින් පියවර තබලා
දෑල ඇතුන් මැද සන්සුන් වීලා
වඩිනා ගිජිදුගෙ බැතිබර ලීලා

කවිය බලන්න
මතක වැහි...!

මතක වැහි...!

අජිත් පුෂ්පකුමාර මාදින්නාගොඩ

හෙණ හඬ පුපුරාය
වැහිදිය උතුරාය
සිතිවිලි නොනිදාය
මතකය හද දාය...!

වස්සානයෙ ප්‍රේමාතුර වැහි කඳුළක චිරි චිරියට
වසන්තයේ මතක අරන් සුළං කෝඩ හරි හරියට
අග්නි - දියේ රුපු යුදයෙන් පස්සෙන් පහු වැද කුටියට
විරහ දුකම කවි කරලමි දේදුන්නක සත් පැහැයට

අනුභූතිය සඳැස් කවක එළිසමයෙන් සරසලා
අර්ථ රසය උත්ප්‍රාසයෙ ව්‍යංගයෙන් සඟවලා
විප්‍රලම්භ ශෘංගාරය සිතැඟි පුරා තවරලා
පරිකල්පනයෙන් හැඩකොට පෙම ඉවසමි
හුදෙකලා

කවිය බලන්න
වෙනස විනිවිද

වෙනස විනිවිද

බන්දුල කුරුවිටආරච්චි

ජාතියේ කප්රුක මතින් පත් ගෙන ආත්තම්මා හැඩ කෙරූ
සෙවිලි අතුරා හිසට ඉහලින් ඇනූ කටු මැටි වට දැරූ
දෙපා සිසිලට පාවඩය කර ගෙබිම ගොම පිරියම් පිරූ
ගෙපැල වට මල් " දහස් පෙතියා" සුවඳ කොයි කොතැනද සරූ

මැද මිදුලෙ සක්මන් කරයි සිත කොහෙද මහ බෙලි ගස ඉතින්
කඩුළු වැට පැන දුවයි එසිතම පියමනියි ඒ දඩු මතින්
කොට්ටම්බ කජු මද තැලූ මතකය පුරාගෙන නාවර ගතින්
කිරළ ගස් මත ඇරඹු කරනම් රඟයි යලි දියකෙළි සිතින්

ඉපනැල්ල කෝ අප පැන දිවූ වට කමත මාලක්කම් ගැසූ
වැල් බතල කිරිඅල වපුල යායේ, බොජුන් සිහිනෙකි රස මුසූ
වලාපට කෙමනට වරල් ගැසූ තිත්තයිනි වක්කඩ විසූ
ඔබෙන් තොරවූ පුරන් යායේ කුමට මටනම් රන් මසූ

සුවඳ සිබිමින් එමි ගමන් මග දිවියෙ නිමි කාලය දිගේ
වත්මනත් මතු අනාගතයත් අතීතය වන පෙර මගේ
" වෙනස විනිවිද " නවමු ලොව වෙත ඇදෙන දරු කැලගේ රගේ
අතීතයෙ කටු ගෙවල් මත නොව රඳනු සිත සිව්හෙළ අගේ

බන්දුල කුරුවිට ආරච්චි
ඔෂවා , කැනඩාව

කවිය බලන්න
ස්පා.

ස්පා.

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

ඉරි තැලුනි වැවු මෙවුල
කිරි වළා තන නො දැකම
පෙති ගහත් නෙළුම් ඇට
වැටී මෝසම් තොලක තෙත..

ස්වර්ණ මාලා කුමටද
ලපටි ලැම ගෝමර පිපුණම
හෙව්වේ ද ඒ අනාමික බිඟු
දම් ද රෝසද පෙති වාසගම

ඉවසාම දුක් නියං සම
පාට ගෑවේද නා දළු අග
ටිප් එකට නොවෙමයි ගැලෙවුවේ
නටුවෙන් පළමු ඔරු අත

මව මවා හෙට තුසිත සුඛ
කරකවා පීදුවෙහි ලකැකුල
මෝර මෝරා එද්දි දා ගැබ
විසිවුනා දෝ පහළ මළුවට

Photo Credit; Anna Deli

කවිය බලන්න
දුටු නුදුටු සෙනෙහේ

දුටු නුදුටු සෙනෙහේ

චන්දන හෙට්ටිආරච්චි නිට්ටඹුව

විකසිත වන්න පෙරුමන් පිරුවට නිතොර
බාධක එන්න එන්නම වැඩිවිය මිතුර
වදනක දන්න කොපමණ අඩු වැඩි සතර
ඔබ කොහි ගියෙද මිහිරියෙ මම මෙහි කතර

කැඩුණා පිඟානක් සෝදන විටදි දිනක්
මතකේ තිබෙනවද සොඳුරියෙ එහෙම දෙයක්
කිව්වේ නොහොඳ වේ යයි මට මතක යමක්
යැව්වේ ඔබව රැඳි තැනකින් කවුද කිමෙක්

සුවදෙන ආලයේ කිසි දින දැකලා නැතී
මුවදෙන තාළයේ දිවියක උරුම ඇතී
සැණෙකින් කාළයේ මොහොතක නැසුණ එතී
නැවතත් මානයේ දැකුමට හැකිද රතී

දුර ඈත රටක සිට පා කොට එව්ව සෙනෙහෙ කන්ද
ඇත තාම මතක හද පා මුළ ඇද්ද මුලුත් සින්ඳ
පද ලීව නමුදු ඔබ කීවට යසයි නේද බැන්ද
මම තාම මෙතන, හිඩැසේ වෙද ඇඳුරිය ලෙස මන්ද...

කවිය බලන්න
යත් මත් විරිත් බැඳි කවියක් ද මේ සකී

යත් මත් විරිත් බැඳි කවියක් ද මේ සකී

ග්‍රන්ථ කතුවර චම්මින්ද වෙලගෙදර

සිත් ගත් යොමා ලත් පන්නරෙන් පෙරී
අත් පත් නිමා නොකළ උරුමය සරී
කිත් මත් දෙවා සුනිළ හැඟුමින් පිරී
යත් මත් විරිත් බැඳි කවියක් ද මේ සකී

බල බලා සිට කාරිය කළේ සැම දනා
අස අසා කැට තබා යන්නෙද කෙළෙ සිනා
සිඳ සිඳා බිය මිනිස් ගොස ඇත නැඟෙ මිනා

හීනෙන් හිනාවුණු මිනිස්සූ
හැබැහින් බලයි අද තිගැස්සී
මානෙන් පිරී ගිය ඒ මිනිස්සූ
විකටයන්ව ඇත ලොව හිනැස්සූ.

23-10-2025

Photo Credit; iStock Photo

කවිය බලන්න
සරු පොළොවට වැහි

සරු පොළොවට වැහි

චමින්ද ලියනගේ බලංගොඩ

සරු පොළොවට වැහි
වැහි වැහැලා,

සංහිඳ ළඟ රැඳිලා
යදින යැදුම් නුඹයි මමයි
නිල් අහසට ඇහිලා
ඉහින පැතුම් වැස්ස අගෙයි
මල්වතු ඔය පිරිලා
රඟන රැඟුම් නෙතද පිනයි
ගස් වැල් ළපලු ලලා
පිපෙන කුසුම් සුවඳ හමයි,

මිහිලිය සිරි සදලා
යළයි මහයි නගන වෙලේ
වැව් හනිකට පිරිලා
වතුර බෙදයි පහල ඇලේ
සිත මිහිරක එතිලා
පැතුම් පුරයි සිහින වැලේ
අගහිඟ කම් මැකිලා
සිරිය තනයි යළිත් පැලේ,

වැව ඉහළින් දිලෙනා
හේනෙ පැලට නැතත් ඇලුම්
කුරහන් කිරි වදිනා
හේනෙ දිගට රැකුම් බැලුම්
රෑ යම නිදි වරණා
සිතින් සිතට හැඟෙන හැඟුම්
බට ලීයෙන් නගනා
ස්වර නදට හෙළයි සුසුම්,

අස්වැනි පැහෙන කලේ
සතුටත් විත් ළඟ ගාටයි
පූදින ගොයම් දිලේ
රන් කරලුත් පිං සාරයි
නින්දත් නොවිඳි වෙලේ
දැන් දෙනෙතුත් රත් පාටයි
පුන් සඳ රඳන පැලේ
කිරණ ඇවිත් රැස් වීදයි,

චමින්ද ලියනගේ,
බළන්ගොඩ,

කවිය බලන්න
ගම් දෑලේ කුරක්කන්

ගම් දෑලේ කුරක්කන්

චමිලා නවගත්තේගම ලන්ඩනය

යල මහ දෙකට රස කර කන කුරක්කාන්
පැසිලා නටයි සරදම් ලෙස මලක්කාන්
කිරලා මැන්න රන් වන් ඇට ඉලක්කාන්
මසුරන් දෙන්හ අවුසදයකි පදක්කාන්

හෙනේ පැලේ ගොවි රාලගෙ සුරක්කන්
ඇහුනා එදා ගී පද වල මිනිස්කන්
කාලේ ගියත් ගම් දෑලේ කුරක්කන්
පවති ගෙපල මත දැක්කම ධන්ස්කන්

ඒ කාලේ අටු කොටු වල කුරක්කාන්
ඉතිරි තිබුනේ දුක කදුළුද වලක්කාන්
යස ඉසුරින්ම පිරි ගෙදරක විරිත්කාන්
රැකුනෙ ගෙදර ලිප මත ඇති රහස්කාන්

කවිය බලන්න
සුසුමක සීතල

සුසුමක සීතල

චතුරිකා කස්තුරිආරච්චි මොරටුව

සවන්පත් හිරි වැටෙන
රැහැයි පෙම් ගීය නැවතුනා
නිසල සීතල නිශාමය
මැදියමත් පසු කළා

සිත් කවුළු පියන් හැර
සුසුම් වැල් පා කළා
කොපුලකට දැනුණ සීතල
නිශාමය හැඩි කළා

මැදියමේ වට රුදුරු වැස්සට
පිරී ගිය නයන විල් දිය
ඉවුරු සිඳිමින් ගලා හැලුනා
නිශාමය සීතලෙන් සැලුනා

Photo Credit; Eli DeFaria

කවිය බලන්න
තිත්ත රස වෙන හැටි

තිත්ත රස වෙන හැටි

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

තිත්ත තිත්තම ය
ඇත්ත තිත්ත වන නමුත්
මේ කියන්නේ ඇත්ත ම ය.

පොඩිවුන්ට තිත්ත තිත්තය
තනය අරවන්නට
ගාන්නේ තිත්ත කොහොඹය.

හිරිමල් තරුණ විය
කරකැවෙන්නේ
චොකලට් ෆලූඩා
මිල්ක්ෂේක් වටේ මය
අතැඟිලි බැඳෙන්නේ
ඒවා වැඩි තරමටය.

රසය වැඩිවන තරමට
එහි මත ද ඉහලය
විඳ ගන්න සදාලික මිහිර
උදේ හවසට පේන
ඇස් මානයට ළං විය යුතු ය
හිසට එක් වහලක් විය යුතු ය

මිල්ක්ෂේක් ෆලූඩා
දෝරේ ගලා ගොස්
එහි රසය හීන වෙන්නේ එහෙම ය

එක් වහල යට
දෙක තුන වෙයි
දෙකට දෙක තුනට
පහසු වෙන්නට
ලුනු ඇඹුල් රස
නව නළු රස ඈ
මෙකී නොකී රස ආයුතු
ආවාට මදිය
ඇවිත් නොගොසින් සිටිය යුතු ය
මේ ගමන දුෂ්කරය
දුෂ්කර ගමන තිත්තය
ගමන යා යුතුමය
එහෙයින් තිත්ත ඉසිලිය
යුතු ය
තිත්ත විඳ හුරුවෙන විට
තිත්ත වුව රස බව
ටිකෙන් ටික දැනෙනු ඇත.

කරවිල තිත්තය
ඒත් දැන් ඒකත් රසය
ලෙඩට බොන කසායත්
තිත්තය
ෂුගර් කොලොස්ටරොල්
වලටත් හොඳ ය
එහෙව් කල දසා එළඹි කල
තිත්ත රසයත්
හරි රසය
මන්ද කියතොත්
ජීවිතය දුවන්නේ
තිත්ත රස මතය

25-03-25

කවිය බලන්න
පෙම්බර අම්මා

පෙම්බර අම්මා

ධර්මසිරි වීරක්කොඩි සීතාවකපුර

සැපද දුක එක සේම සලකා දිනා දුනි සැම දාම නිදහස
පවින් වළකා මාව සුහදව සාද ගති පා සිනහ දසදෙස
දන්න දා සිට වෙහෙස වූයේ වඩා ලන්නයි මගේ නුවණැස
දුවන් එන්නට සිතයි ඉන්නා ඉසව් සොයමින් පතා සෙනෙහස

කළය දිය පිරි නොසැලෙනා බව ඇයගෙ අබියස සිතට දැනුණයි
එකා වාගේ හිඳිමු සමගිව නිතර කී හැටි තවම මතකයි
කමා කළ මැන වැරදි ඇත්නම් සිදු වුණේ හදවතට නොදැනයි
සේවයට දුන් කෙරුව බුහුමන් මදිම බව මගෙ සිතද කොඳුරයි

මසුරුකම් සිත ඇති නොවන්නට දැහැමි ගුණමයි හදට දැමුවේ
සහය සැමටම ලබා දෙන්නයි නිතර ඔවදන් ගෙනෙනු ලැබුවේ
ලද දෙයින් සිත සතුටු වන්නට කියා දුනි සැප දුකද හමුවේ
කාවවත් කිසි දිනක නොරිදා දිවිය ගෙන යන ලෙසයි පැතුවේ

දිසාවට ඇය දැනට වෙසෙනා එන්න මැව් සුබ සීන එමටයි
නාදයට රස ගීත නැළැවිලි සවන් දුන් හැටි තාම මතකයි
දුගතියට යන පාර වළකා දෙන්න වෙහෙසුණු තාලෙ කදිමයි
නිතින දළදා සමිඳු වඳිමින් පිනුත් පුරනුයෙ ඈගෙ නමටයි

සැපා සිතු ලෙස දෙන්න බැරි විය පූරුවේ පින් නොමැති වූවා
මසිත තවමත් පෙළයි ඒ ගැන සසරෙ මතු ඉටු කරමි ඒවා
දාන දීමෙන් මෙත් වැඩීමෙන් කුසල් රැස් කර ගනිමි බෝවා
මහත් බැතියෙන් ඇයට ඒවා පමුණුවමි හිඳ සමිඳ ගාවා

නිදන මොහොතෙත් සිතමි ඇය ගැන එවැනි ගුණ තව ඇතිද කාගේ
දසත පැතිරූ කුලුණු වැස්සට තෙමුණි මම හැම දිනම වාගේ
හදෙහි පත්ලෙහි නොමැකෙනා ලෙස ඇඳී ඇත්තේ රුවය ඈගේ
සසර කෙළවර අමා නිවනට ඇදෙමු එය වෙයි පැතුම මාගේ

*පළමු කවියේ පළමු පේළියේ ඇති අකුරු 24 පිළිවෙලින් පේළි විසි හතරෙහි පළමු අකුර ලෙස ගෙන ඇත.
*පළමු කවියේ දෙවැනි පේළියේ ඇති අකුරු 24 පිළිවෙලින් පේළි විසි හතරෙහි දෙවැනි අකුර ලෙස ගෙන ඇත.

Photo Credit; dylan nolte

කවිය බලන්න
හේමන්ත සුළඟට

හේමන්ත සුළඟට

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

මෙතෙක් සිටියද සබැඳියාවෙන් සිට ඵලක් නැහැ බරවෙලා
දැන් ඉතින් සමුගන්න කාලය පැමිණ ඇතිවග වැටහිලා
දරුණු කලදී නුඹ රැකෙන්නේ පමණි සිටියොත් තනිවෙලා
කියා වෙන්වී වැටෙන්නේ කොල සෙනෙහෙ අරුමය පවසලා

කොල පැහැය හැර කහ තැඹිලි රතු දුඹුරු අඳුරින් වියැලිලා
මියෙන මොහොතට අගය ලැබදී පරිසරය ඇත හැඩවෙලා
සැහැල්ලුව ලැබ ටිකෙන් ටික අතු රිකිලි එද්දී මතුවෙලා
ගහද නොහඳුනනා ගහේ කොල මුල වටේ බිම ඇතිරිලා

තමුන් යුතුකම ඉටුකළේමුත් දිවිගෙවද්දී වෙහෙසිලා
මොහොත ඒවී යන්න අතහැර නොසිට තවදුර නැවතිලා
ගසක කොල මෙන් ලොවෙහි යහපත පිනිස සැමවිට කැපවෙලා
එකතුවෙමු හේමන්තෙ සුළඟට සිසිරයට ඉඩ සලසලා

කවිය බලන්න
නුඹ කුමට ….

නුඹ කුමට ….

දීපා ද සිල්වා ලන්ඩනය

කුලෙන් කුල හැපී දිය රැලි නංවාලා
රලෙන් රළ බිදී මුතු කැට විසිරීලා
බිදෙන් බිද නැගී මහ රළ පෙරලීලා
වරින් වර ඇසේ සිදු ගේ ගී තාලා

අනෙක පලිගු මිණි තුරුලේ සගවමින
නොයෙක වෙස් අරන් දිය කද කලබමින
සැලෙන පිනි කැටිති ඔබ මොබ විසිරමින
මන්තොස වඩා නිහඩව ඇත රග දෙමින

පෙරලී ඇවිත් සිප සනසා සුදු වැල්ල
හොරැහින් හෙමින් අල්ලා මුදු අතගිල්ල
නලියන දැගලිල්ල මදකට කර මෙල්ල
රහසක් කියයි පුරවාගෙන හද සොල්ල

සමනොළ සිරස සිප පිබිදෙන දිනපතිට
නිමවා වැඩ මුරය සමු දී නුබ කුසට
ලෝදිය පුලිගු මැඩ තම තුරුලට ගන්ට
ලොබ සිත් බැද ගත්තෙ සයුරේ නුඹ කුමට

කවිය බලන්න
වැහි කුණාටුව සහ තෙමුණු හදවත්

වැහි කුණාටුව සහ තෙමුණු හදවත්

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

තල් පත් මත වැටී වැහි බිඳු ලෙදින් මොර
නංවන හඩ ඇසේ දසතින් හඩින් සර
මිටියක් හිස තබන් අඟනක් කැඩූ දර
ගුරු පාරෙන් මතුවෙන හැඩ පෙනෙයි දුර

බිඳ බිඳ කුණාටුව සැඩවන ලකුණු පෙනේ
නිවහන් නොමැත කදවුර හැර විසල් වනේ
ඇගෙ ගම බෝ දුරක් විය හැක වනය කොනේ
එතරම් දුරක් තෙමෙමින් යා හැකිද අනේ

සොයුරු සෙබළෙකුට මේ කාරණය කියා
කුඩයක් පිටත් කෙරුවෙමි ඔහු අතම තියා
දර හිස සමග යන්නට දුර නොහැකි නියා
පණිවිඩයකුත් යව්වෙමි පැමිණෙන්න කියා

මඳක් දුටිමි විශ්මිත රුව දොඩන හඩ
වරක් අහස දෙස බලමින් තැවෙන හැඩ
වගක් නොදුටු කල කළුවන් අහසෙ ඉඩ
මුරහල දෙසට ඇදුනයි මැද අකුණු සැඩ

තෙත්බර ගතින් හිස රැදි දර බිමින් තියා
දිය බේරෙනා නෙතු විය වෙව්ලනා නියා
සළුවක් නොමැති වුව දෙන්නට කියා තියා
අසුනක් කිට්ටු කෙරුවෙමි ඉදගන්න කියා

උඟුරක් කහට තල් හකුරුත් සමග බෙදා
මොහොතක් පසුව ඒ මව විය වදන් මුදා
වයසින් හතලිහකි තුන් දියණියන් සදා
අසබඩ ගමක විය ඈ හිමි නොවෙයි මෙදා

පවසන විටදි තතු එකිනෙක මුවින් හැර
හිමි මළ වගක් පැවසිය අවි සුරත දර
පුදුමාතලන් තෙක් උහුලන් පැටව් උර
විදි දුක් කඳුළු බෝ විය ඒ වදන් බර

දෙපෑයකට පසු වැහි කෝඩයේ සැර
ලිහී ගියද හදවත විය කඳුළු බර
මවකි ඇයත් සොහොයුරියකි මෙන් ගෙදර
හැඟුමින් මෙත් දුටිමි ඈ විදින කරදර

තනියා සමග වළසුන් බිම වඩින යම
අඳුර මැදින් තනියම වන මග යාම
හැගුනි නපුරකිය ඒ මව අතහැරුම
කුමට එරන් තරු කළුවර නම් මෙබිම

සොයුරන් දෙදෙනෙකු ද විදු එළි සමග අරා
තෙත් දරමිටිය දෙපසින් උසුලමින් සරා
ඒ මව සුරැක කෙරුවෙමු තෙර නිවස කරා
තුටු මල් දුටිමු සුපිපුණ සත්‍යයම දරා

Photo Credit; Umut YILMAN

කවිය බලන්න
යාචක බැනුම...!

යාචක බැනුම...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

"අනේ නෝනෙ මේ අහන්න, හොඳම හිතිංමයි කියන්නෙ...
ධනේ නැතිම කමටයි අප ඇවිල්ල සිඟමන් යදින්නෙ...
දිනේ අවසනේ සොච්චමකිං පන නල ගැට ගසන්නෙ...
බනේ කියන ලෙසට ඉතිං විඳවලමලු
පව් ගෙවන්නෙ...

අපේ ගුරා අතටයි ඒ ලැබෙන
දේත් පත්කරන්නෙ...
හපේ නොවී ඉන්න ඕන නිසයි
ඒව, සිද්ධවන්නෙ...
ඔපේට ඔය ඇඳ පලඳා මෙතැනම ඇයි ටැග්ගැහෙන්නෙ...
සැපේට යන්නකො වෙනතක, නැති නම් බඩටයි වදින්නෙ...!"

ඇහුනා මට, යාචකයගෙ අඳෝනාව,
මේ ලියන්නෙ...
ගැහුනා ගල්, මොහොතකටම ඔහු
වැරදියටනෙ සිතන්නෙ...
වැහුනා යක්ෂය එලඳට, බැන බැනමයි ඇය දුවන්නෙ...
පැහුනා මුත් කෙසුත්, තවම ෆැෂන්
නිසයි ලැජ්ජවන්නෙ...

කවිය බලන්න
ගේට්ටු කවි - LAST DAYS OF SCHOOL

ගේට්ටු කවි - LAST DAYS OF SCHOOL

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

ඒ දවස් අටේම මමත් ඒ ගේට්ටුව ළඟට
වලා උන්නා. අවුරුදු 13ක පාසල් ජීවිතය
නිමා වෙලා. වෙනද බලන කොණ්ඩෙ
රැවුල් බලන්න කෙනෙක් නැතිව පුතාල
දූලට වැඩිය ලස්සන වෙලා. ජීවිතේ වසන්ත
කාලය ඒ ගොල්ලට ඇවිත්. අපි හේමන්තයට
ගිහින්. ඒක තමයි අනුභූතිය .

*************-*******************************1

කළු රැවුල් දෙකොපොලේ ..
සුදු පාට වසාගෙන.

මතු වෙච්ච යව්වනය..
ඇඟ පතේ පුරෝගෙන.

ලොකු නිසා සිඹින්නට..
බැරි නමුත් වඩාගෙන.

උන් හැඩයි අපි කැතයි..
පෙර දවස ගෙවී යන.

****************************

ඒ කාලෙ අඬන කොට..
රෙදි නැපිය තෙමාගෙන.

හෝදලා පුයර දා කිරි..
දෙද්දි හිනාවුණ.

තොටිල්ලේ නුඹ ඉද්දි..
කූරු මැද බලාගෙන.

අපි ගියා වැඩ පළට..
පඩි සල්ලි හොයාගෙන.

*****************************

හතර ගාතින් යද්දි පිට..
උඩින් තබාගෙන.

පොඩිත්තෝ හැංගුවා කිව්වෙ නෑ..
වෙහෙස ගැන.

නුඹෙ මතක තව තියෙයි..
පොඩි සුවඳ පෙරා එන.

අපි උසයි නුඹ මිටියි..
හිනහෙද්දි වඩාගෙන.

****************************************

ඩේ කෙයා එක ඇතුලෙ ..
හිටියාද අඬාගෙන.

අපි එද්දි යළි ගෙදර..
අතිකාල හිඟාගෙන.

අතින් අල්ලා ගෙනත්..
එක වසරෙ දමා යන.

තාත්තල දැන් ඇවිත්..
තෙළෙස් වස ගෙවුණ තැන.

************************************

සරසවිය අත වැනුව..
නොවැනුමුත් හිතේ වෙන.

දුව නුඹයි පුතු නුඹයි..
පාසලින් වෙන්ව එන.

හේමන්තෙ අපෙ වෙද්දි..
හිනාමල් පුරෝගෙන.

මේ අපේ දරුවෝද..
වසන්තයෙ පිපී එන

********************************

කෙස් ගොඩේ පේන සුද..
ඩයිවලින් වසාගෙන.

වටේ රැළි වැටී එන...
දෙනෙත් යුග යොමාගෙන.

දූ පුතුන් දකින තෙක්..
ඒ. ලෙවල් ලියාඑන.

තාතතල අම්මලයි
මේ ඉන්නෙ බලාගෙන.

**************************--*-**-

මමත් උන්ගෙන් එකෙක්..
කතාවෙන දුවා (පුතා) ගැන.

මෙයද අපෙ අන්තීම..
මුර කෙරුම නුඹට දෙන ?

බන්ධනාගාර වෛද්‍ය ඒකකය
බදුල්ල.
2025.10.16

කවිය බලන්න
ගයත්‍රිඑන්න මදකට....

ගයත්‍රිඑන්න මදකට....

ගයත්‍රි පෙරේරා

මේ නින්ද නොඑනා
රාත්‍රියේ මා
උමතුව බලා හිදිමී.
හඳ එළිය දිදුලන
ඒ නීල ගං දිය,
රෑ කුමාරී මල් සුවද
සේපාලිකාවෝ කැටි ව
ඒ දියේ දිලිසෙනා
ඔබේ වුවනත ඉඹින්නට
අත වනයි ..... අත වනයි
හෙමිහිට .

ලදලු,
තුරු මුදුන් ඉඳ
මන්ද මාරුතයේ වෙළී
හීතලම හීතල
පිනි ඉසී
හිත උණුසුම් හැගීමක
දැවටෙන්නට
ඇරයුමින්,

සුපෙම්බරිය ,
සිහිනයක් වී
එන්න මදකට
හඳ පහන් වූ
මේ ලවැල්ලට.

Photo Credit; Alexandr Bormotin

කවිය බලන්න
සිසිර වෙසින් එන මතකය

සිසිර වෙසින් එන මතකය

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ගිනියම් ගිම් නිවන් මා හද තුළට වැද
අනියම් නිම් නොමැති කුටියක දොරටු බිඳ
මනරම් වම් හදේ පිරිසිදු රුධිර කඳ
මොනයම් පෙම් කවින් සිහිලැල් කළෙද ලඳ

පිපෙනා ඉල් මසට ක්‍රිසියැන්තම් මලෙක
ඇඳෙනා රත තිබේ දෙතොලම තිබු තැනෙක
ලියෙනා බැවින් ඒ ගැන ඉඳ හිට කවක
නොමනා නේද අවුලන එක ඒ මතක

හිම විද පලා එයි උදයේ හිරු කැරළි
මම විඳ තිබෙන හිරු මේ හිමයෙත් යෙහෙළි
නිම නැති සිසිර සුළඟෙන නගනා සරෙළි
එම එක සුළං කෝඩෙක නුඹ ඇති කොමළි

Photo; from Maynu's garden

කවිය බලන්න
පෙර නොදත්තෙමි එබසා ...

පෙර නොදත්තෙමි එබසා ...

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

ගඟ තෙරක තඹරුවක්
සුදිලෙයි
කලල නැත සුපිරිසිදු
සමවෙයි
දුරක හිද කිරණ දැක
නතුවෙයි
එතෙර වෙන අයුරු තතු
පවසයි

සම්මතම ලියවිල්ල
සඟවයි
කම්පිතව නොමැති තැන
හඟවයි
ලම්බිතව දළ රළම
පරයයි
දම් කඳට නැඹුරු තෙර
දුරයයි

නින්දිතව ආව මඟ
හඳුනයි
සන්දියක නැවතුමම
සිරියයි
මං හැඳින ගංතෙරම
පරයයි
සුන් නොවන වංගියක
පැතුමයි

පින් කෙතක පිරි සුවඳ
සිරියයි
සංකරම බර අඩිය
සුමටයි
අංකරය නොදුටු ගුණ
සුවඳයි
අන්තරය සම වුනා
උතුමයි

පන්හිඳක තතු ඇහිලු
අරුණයි
මින් නොඳුටු රූ අසිරි
පියුමයි
මං පිරුව කුසල් මඟ
දුටුවයි
සල් වනේ සුවඳ තව
නුදුරයි

ඉනෝකා ප්‍රියංගනී ,,,🖊️

කවිය බලන්න
සමාවෙයන් මල්ලියේ....

සමාවෙයන් මල්ලියේ....

ඉෂංකා මිහිරි කුමාරතුංග

සද්දෙ වහගෙන ලුනු කට්ට
ලිප මුල්ලට වෙලා..
අගුරු පාට ගිනි පෙලෙලි
සීතලට තව ගුලි වෙලා..
පපුවෙ පිරුන මදිවට හුස්ම ගුලි
එලියට ඇවිත් ලිප අවුස්සලා..
වැහි කෝඩෙ අස්සෙ උඩ තලු
හිනා වෙනවා කිරි කට්ටියට වෙලා...

බර වැඩි වෙයිද නොහිත
ණය පොත හොල්ලලා
පන් මල්ල දෙතුන් විටකට නැවී
කිහීළි අස්ස ඉවකරා
මෝරන්නට කලියෙන් හසගන තුඩු
හැට්ටෙ කරෙන් උස්සලා
සමා වෙයන් මල්ලියේ ...
හාල් කැදකට අඹ ලෑලි මම රත් කලා...

මල්ලියේ...උබ දන්නෙ නෑ කන කොකා
එකවර දෙව්ලොව ඉදන්...
හන්දියේ...ඉදලම සුදු කොඩි එලා
පිලි ගත්තෙ ඉර හද දෙකම නිවන්...
බාලවියේ ...මං උන්නත් ලය මැද
හදාපු මව් කිරුල දරන්..
මං ගියේ... නුඹෙ නින්දෙදි....

ඒත්.... ඇහැරෙන දාට මං ඉන්නෑ....ඇස් ඇරන්

කවිය බලන්න
I see through you

I see through you

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

I see through you my love
I see through you
A mask carefully painted
Crumbling slowly
Curtain to be drawn
To reveal the empty core

I almost thought
I had lost my senses
Walking on egg shells
In my own home
While you danced along
With your flying monkeys

Your own medicinal dose
Carefully peddled
Meant to take sanity away
Silence not golden
When imparted
As treatment

Breaking free...
Is a prize
Feeling high......
A bonus
Yet.... peace is just
The ultimate

Photo Credit;David Monje

කවිය බලන්න
ඔබ නැති මම

ඔබ නැති මම

ජයන්තිමාලා පෙරේරා

තවත් දවසක් උදාවන තුරු හිරුත් සැඟවී යන වෙලාවක
සයුරු තෙර සිට සුසුම්ලන විට ජීවිතේ නැවතුන නිමේෂෙක
රුදුරු මුදු කරුණාව කැලතුන සොඳුරු දිනයක ඇති නිමාවක
විහඟ ගී නැති නිසල මොහොතක මෙමා තනිවී කල්පනාවක

කැදලි වෙත යන කුරුලූ පිරිවර ගෙනෙයි තනිකම සිත දවා
අඳුරු සළුපිළි අතුරලා ඇත නිල් අහස් කුස සරසවා
සයුරු තෙර වැලපෙන්න අරඹයි නිහඬ බව මදකට නිවා
ඔබ ද නැති මම සිනහ වෙන්නට හදමි නෙක සිතුවිළි මවා

කළුව රජයන අහස යට ඇත පුන් සඳේ ඔබ සැඟවිලා
තරු ද නැත අද එළිය දෙන්නට වලාකුළකට පැරදිලා
පුලින තල මත මැවෙන පියවර මතක සටහන් අතුරලා
සසර කළ හොඳ නරක දෙකට ම සිරස නැවුමට සිදු වෙලා

මලිති බට්ටිත්තන්ගෙ තුඬ’ගෙහි රැඳුන රස කවි කැරැල්ලේ
තිබුණ සුමිහිරි හැඟුම තුරුලට ගන්න මගෙ හදවත ඉගිල්ලේ
ඔබේ කිංකිණි සිනා හඬ නැති රුදුරු දුක්බර මේ කැදැල්ලේ
විහඟ ගීයක නොමැත මිහිරක් සවන් ˙දවනු මිස නිදැල්ලේ

රජත වූ වන් සඳේ කැන් හා දැවටිලා එන රැස් වළල්ලක
සදා සෙනෙහස ඔබේ ලෝකෙට මං එවන්නම් සුළං රැල්ලක
කවුළු දොර හැර තියනු මැන ඔබ හාදු මුසුකරලමින් සුවඳක
පිපී හිනැහෙන මලක පෙති සිප විඳින්නට හැක මිහිරි මතකය

දිගු ම රැය තුළ සිහිනයක් වී සොඳුරියේ ඔබ වෙතට එන්නම්
ලයේ සෙනෙහස දැනෙයි නම් ඒ රැය නිමාවන තුරු රැදෙන්නම්
සිසිල් දෙනෙහෙි සුසුම් තවරා මදනලින් උනුසුම් කරන්නම්
මගේ දිවිය ම ඔබට පුද කර අසිරිමත් ලොව පහන වෙන්නම්

කඳුළු මුතු කැට එකතුකර හැම විසිකරන්නම් ඈත අහසට
හාදු වැස්සක් කර එවනු මැන මට තෙමෙන්නට හිතේ හැටියට
හිමිකමක් නැති ඔබේ සුරතෙහි මොහොතකට හෝ වෙළී ඉන්නට
බැරි කිමද මට දුරින් හිඳ තව තවත් සොඳුරුව පෙම් කරන්නට

කවිය බලන්න
සමනල සඳෙස -30

සමනල සඳෙස -30

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව - 25
දියලිය

508. සමනල රජිඳ නුඹ කවි කර කී හරි ය
ඇගෙ සිය පැටිකිරිය හොඳට ම ගැළපේ ය
අමනාපයක් නොම ගෙන ලද තතු රැසි ය
කීවෙන් කවියෙන් ම මවමින් පද රස ය

509. තව යොදුණකට වැඩි නැති දුර එක එල්ලේ
ගිය හොත් මඳක් උඩහට මැදි වුණු නිල්ලේ
දිය කිඳුරියක් තනි ව ම වැළපී මුල්ලේ
පහළට වැටෙන හැටි දැක ගනු සැනසිල්ලේ

510. නුඹ දුටුවොතින් ඇය පිබිදී ඔකඳ සිතින්
නෙත මානෙට ගනී නුඹ සර විදා නෙතින්
සිය සළු උනා දුහුලය ඇද දමා ගතින්
පෙන්වයි නුඹට ඇති ආලය නුරා මතින්

511. වන පෙත තිබේ රුදු සිව්පාවුන් වෙසෙන
තුරු පත් මතින් පියඹනු දකිමින් එ රණ
ගිරි-හෙල් ශිඛර පැන-පැන විඳිමින් එ වන
තරණය කරනු දකිනා තුරු දිය මුදුණ

512. සොබා දහම් සොබනිය නිරතුරු දිරියේ
පබා දෙමින් සරනා තැන - තැන සරියේ
සුබා ගෙනෙන සිතැති ව පෙම් බැඳ පිරියේ
තබා සුරු කරයි දින - දින සිලිලරයේ

513. නද දෙන සියොත් කැළ ඇත එහි නුඹට හුරූ
වද දෙන රුදුරු ගොර හඬ සවනතට පෙරූ
හද වෙණ සරින් ඇද හැළෙමින් දසුන පිරූ
පද සෙන සොයනු කීමට ඇගෙ සුගුණ සුරූ

514. ම|නල රැළි වරින් - වර හඹමින් යන්නේ
මනකල කුමරි නෙතු හැර අවදි ව ඉන්නේ
මනදොළ සපිරිවන් ලෙස සිත තුටු වන්නේ
සමනොල ඉදින් ගොස් දියලිය දැකගන්නේ

(මතු සම්බන්ධයි.)

2025.11.01

කවිය බලන්න
දුවත් දීග ගිය පසු...

දුවත් දීග ගිය පසු...

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සියොළ‍‍‍‍‍‍‍ඟ දැවටෙමින් නිරතුරු නෙත් මානේ
එළි - පෙහෙළියට ගියෙමුත් ඇය සිත් තානේ
දුව - පැන ‍‍දඟ දැමූ සුදු දුව අත් මානේ
ගේ - දොර පාළු ගතියකි පත් වූ තානේ

සහ උදරයන් දෙදෙනා සම`.sන් ගෙවුණූ
පවුලේ එක ම දියණිය හැඩ-වැඩ තිබුණූ
‍දඟ දැමුවත් උනුන් පරයා පෙම රැදුණූ
අද නැහැ ඒ කිසිත් අප සවනත වැකුණූ

මතකය දිවෙයි “මැදි වයසත්” පසු කරමින්
එ දවස “හා පැටවු” තිදෙන ම කිරි වයසින්
මොනවට කියමි උන් සිත් බැඳ සුරතලයින්
ආසයි! නොහැකිමුත් යමි තනි ව ම මනසින්

අ යනු අල් මයනු මා කියමින් හැඬ වූ
අ යනු අල් මයනු මා කියමින් හැඩ වූ
අ යනු අල් මයනු මා කියමින් දැඩි වූ
අ යනු අල් මයනු මා හ`ඩ ඇත අඩු වූ

කාලය කෙළි-දෙලෙන් ඉගෙනුම මුල්කොට ය
තාලය නිවැරැදි ව ගයමින් සත් සර ය
සාලය පුරාවට විසිරුණු යව ගති ය
පාලම සැදුණු පසු තවමත් ඇති තැන ය

ඇත නිදි වරා ඇතිතෙක් මඟ බලමින්නේ
නැත සැතැපුනේ ගත රිදුමට ළඟ උන්නේ
මඟ තොට තනි ව යන-එන විට රකිමින්නේ
ඒ දුක දැනෙයි දැනුණත් සිත සැනැහෙන්නේ

දෙපා පොඩි තියා වැටි - වැටි එදා ගියා
හපා ගවුමෙ කොණකින් හඬ -හඬා පියා
කපා පොතක පිටුවක් කතුරකින් කියා
පපා උදම් ඇණුවේ මගෙ මතකෙ තියා

යන්නට දිවි ම‌ගෙහි තව දෑතක් රැගෙන
කාලය සරි ගියෙන් යා යුතු මඟ ද දැන
ඉඩ දී බලා සිටිනෙමි කෙදිනක හො ගෙන
දෑතින් හොවා දරුමල් පෙර මඟ ට එන

“කෑව ද - බීව දැ”යි අසමින් නිරතුරු ව
අසමින් නොයෙක් දෑ ගෙන ඉන් අනතුරු ව
මුලුතැන් ගෙය පුරාවට අතුරා සරු ව
ඇය යුතුකමකි ඉටු කෙරුවේ සිත් ඇති ව

ඇස තුළ රුවාගෙන උණු කඳුළක් නැගුණූ
සස ලෙස රුවින් දන් දුන් රුවැතිය හැදුණූ
රැස පිරිවර මැදින් ඇගෙ අත ගත් පුතණූ
දස බල - නැණ නිලා දල්වා වෙනු දියුණූ!!

ජය මංගලානී!!!
***
‍‍‍‍
2025.11.01

කවිය බලන්න
රණවිරු බිරිඳක ගෙන්.

රණවිරු බිරිඳක ගෙන්.

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

පාලුව සමඟ ඉගිලී යයි සුසුම් වැටී
තනිකම මා පෙළයි ගනඳුර
සමඟ ගැටී
දෙනයන රිදුම් දෙයි බොඳ කොට කඳුලු කැටී
අදහනු නොහැක මෙය දෝ ලද දිවියේ හැටී.

බස්සෙක් ඇවිත් පිළිකන්නේ ගසකහඬයි
පොඩි පුතු අවදිවෙයි කෙඳිරිලි හඬ වැඩිවෙයි
මැදියම ඇවිත් කණිසම විත් හදේ වදියි
මම මා ළඟයි හිත මා තනිකර දිවයයි.

ගනඳුර ගලනවිට හිතසනසන්න බැරී
සිතුවිලි පිරෙන විට සිත
පුපුරන්න සරී
තනිකම තව තවත් නමි විඳගන්න බැරී
සිහිනෙන් වත් ඇවිත් මා සනසන්න සිරී.

දෑඟිලි රන්හුයෙන් බැඳ ආසිරි මැද්දෙන්
ආ යුග දිවි ගමන් සෙනෙහස තුරුලුකරන්
මැවු ඒ පැතුම් මාළිග සුණු විසුණු කරන්
දෛවය හරස් වුයේ ඇයි නොපැතු ලෙසින්.

ඔබ නැති දුකින් මියගිය ආදර අම්මා
ඔබගේ සොහොන ළඟ
මිහිදන් කොට දැම්මා
ඔබෙ පිහිටෙන්ම ගෙපැලක් සාදා දැම්මා
පතනෙමු ඔබට සරණයි සම්බුදු සම්මා.

තනි මඟ තනිගමන් මට තාමත් නුහුරුයි
නෑ සිය මිතුරු කැළ දැන් ටික ටික ඈතයි
ගිජුමත් රකුස් නෙත් මා
වටකර දැවටෙයි
මේ හැම තව තවත් මගෙ දිවියට දිරිදෙයි.

දහසක් අඩු ලුහුඬු කරදර විදින්නෙමි
ඔබ පැතු විලස දු දරුවන් හදන් නෙමි
රණවිරු බිරිඳකගෙ අභිමන් රකින් නෙමි
රට දැය වෙනු වෙන්ම දිවි කැපකරන්නෙමි.

පිසදා දුක්කඳුලු ලකඹර පෑල දොරින්
දිනිසුරු උදාවෙයි සාමය සතුට බෙදන්
දෙවිලොව උපන් කුමරා⁣ණෙනි නැමද බැතින්
පතනෙමි මතු සසරෙ හමුවෙමු පුරුදු ලෙසින්,

කවිය බලන්න
ඊයේ අද සහ හෙට.

ඊයේ අද සහ හෙට.

ආචාර්ය කරුණාරත්න පල්ලෙගෙදර අනුරපුරයෙන්

හද පතුළට දැනෙන ගොවි දුක..

ගොවිබිම් උදුරලා වැටවල් ගසා බලෙන්
පෙත්සම් ලියා පෙළ පාලියේ පොකුරු පිටින්
කන්නොදෙනා බලයේ අය උමුතු ලෙසින්
මේ ගොවිකදුළු ළඟ රත්මල් නැගෙනහිරෙන්.

කම්බි වැටවල් ගැසු පොළවේ ඇඬු දියවර කොයිතරම්
බඩවියත කුසගින්න මතුවී තවත් කියනවා ඇතිතරම්
වැස්ස එනවා වපුරා
ගන්නට ගහලා වැටවල් ඇතිතරම්
දුගී කම හා තැලෙන ජීවිත හිතා ගන්නට බැරිතරම්.

මාර සේනා දකින වක්කඩ නියර බියවී ගොවි බිමෙන්
බැකෝ කුල්ලෙන් වැවේ කණ්ඩිය කපා දැම්මේ නපුරකින්
ගොවි බිමේ අයිතිය මකන්නට බොරුත් ගොතලා තව ඉතින්
අහස පොළවට දැනෙන මේ දුක අකුණු පුපුරා විසදියන්.

පැමිණිදුක පැණී රසයි කීමට ගොවි හිතත් යළි ඉඩ නොදේ
නියර ඇල දොල වැවද පසුකර යුක්තියේ හඬ තව ඇදේ
ඉතා දුක්බර ගොවි
ගෙදර වු දොරකඩද කඳුළට බැදේ
නගුල පොරවද උදළු දෑකැති අගු පිලෙන් සටනට ඇදේ.

කන්තලේ

කවිය බලන්න
සිප් විල ඔප කළ සුවඳ පියුම​

සිප් විල ඔප කළ සුවඳ පියුම​

කල්‍යාණි ලියනගේ

එච්. එල්. කල්‍යාණි ලියනගේ

ඔවදනේ නිති තවර දුන්නේ යහගුණය වේම​
උවනතේ පිපි සිනා මල් තුළ දයාවකි බෝම​
සිසිලසේ මුව ගෑව සිප්කිරි මතක ඇත තාම
සෙනෙහසේ රන් දියර ඉස්සා මවුපියන් සේම​

උගත්කම තව තියා නොගෙනම බෙදා දිරිගැන්වී
සොයන් යන්නට කිරුළ අබිමුව නියම මග පෙන්වී
මහත් වෙහෙසක් දරා සිප්නැණ තැවරු සුපහන්වී
දිනක් කුමටද ඔවුන් වැඩ ඇත හදෙහි දෙවියන්වී

ජයක් ලද විට නෙතට නොදැනිම කඳුළු බිඳු වැටින​​
දඟක් කළහම පෙන්ව දුන්නේ ළමුන් ලෙද රැගෙන​
සියක් පත් වී පිපී සිප්විල අප සුවඳ කෙරුන​
බුදුන් පුදනා දෑත් එක්කොට වඳිම් හද බැතින​

කවිය බලන්න
පුරුදු ගති හා ඵල පුරුදු

පුරුදු ගති හා ඵල පුරුදු

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

පෙනෙන දේ දකින්නට
මුල් වේ සිත් ගොඩක්
ඇසෙන දේ අසන්නට
මුල් වේ සිත් ගොඩක්
දැනෙන දේ දැනගන්ට
මුල් වේ සිත් ගොඩක්
සිතන්නට යම් දෙයක්
මුල් වේ සිත් ගොඩක්

කියන්නට වචනයක්
මුල් වේ සිත් ගොඩක්
කරන්නට ක්‍රියාවක්
මුල් වේ සිත් ගොඩක්

නිතර සිදුවන මෙවන්
ඇති කරයි පුරුදු ගති
යහපත් හොඳ පුරුදු
සනසවයි සිත් සතන්
අයහපත් ගති පුරුදු
කළඹවයි සිත් සතන්

ලබන්නට හොඳ පුරුදු
වැඩිය යුතු වේ විරිය
නිතර වඩනා විරිය
ලබා දෙයි මහත් ඵල
ඵලය ලබනා පුරුදු
ඵල පුරුදු වේ නමින්

Photo Credit; ran liwen

කවිය බලන්න
වරින් වරේ සිඟිති දසුන අපෙ හිත් උණුහුම් කලා

වරින් වරේ සිඟිති දසුන අපෙ හිත් උණුහුම් කලා

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

ඇහැල මහේ පුරා හඳේ රැස් දහරක් පැතිරුණා
පුංචි පුංචි රෝස කැකුළු අතු අතරින් පිබිදුණා
මල් පෙති මත බබළන පිනි හඳ එළියෙන් දිළිහුණා
බිළිඳු මුවක මඳහසකින් නැවුම් පැතුම් එක්වුනා.

මොළකැටි අත් පා දෙකොපුල් සුකොමාළයි හරි හැඩයි
හීන් හිනා පුංචි මුවේ අපෙ හිත් හොරකම් කරයි
ළපටි කතා මොනවාදෝ කියන්න මුව හකුලුවයි
නෝක්කාඩු ටික හුරතල් එනවා පෙරමග පෙනෙයි.

හීතල හිරිකඩ වැහිපොද හතර වටේ දැවටිලා
ගහ කොළ මිහිකත සිපගෙන ඇලී එකට ගුලි වෙලා
පෙනෙන දසුන් හැම තැනකම හීතලෙන්ම මිරිකලා
වරින් වරේ සිඟිති දසුන අපෙ හිත් උණුහුම් කලා.

Photo Credit; Juliia Abramova

කවිය බලන්න
ඉල් මහා විරුවන්ට

ඉල් මහා විරුවන්ට

ලතා ද සිල්වා මෙල්බර්න්

වප් මාසය ගෙවී ඉල් මහ එළඹෙද්දී
උස ගස් මුදුන් රතු පාටින් බැබලෙද්දී
ලස්සන පොහොටුකාවා ලොව සරසද්දී
තිස් සෙම මැවේ ඉල් මහ විරුවන් සිද්දි

නංවන්නට සැමට සාමය පිරුණු ලොවක්
යන්නට එකා මෙන් ගැත්තන් නොවුණු ලොවක්
මිනිසුන් අවදි කරවන්නට නගපු හඬක්
සේදී ගියා විරුවන් ගේ රුහිරු ගඟක්

නැගුවේ එදා හඬ පිඩිත කැල වෙනුවෙන්
දෙන්නට වුනා ඇස් ඉස් මස් ලේ එනමින්
පිදුවේ දිවිත් සෝයුරු ජන කැල වෙනුවෙන්
විරුවෙනි ඔබව සමරමු සැමදා සෙනෙහින්

උඹලා පැතූ ලොව දැන් ඉදි වෙලා ඇත
හොර මැර දුෂිතයින් අද ගිලිහෙලා යත
උඹලා නමින් තව රතු මල් පිපෙනු ඇත
විරුවනි නුඹලාට ලොව ගරු කෙරෙනු ඇත

මෙල්බර්න්
28ඔක්තෝබර් 2025

කවිය බලන්න
කඩිනමට නික්ම යනු යෙහෙකි බව මට සිතේ !

කඩිනමට නික්ම යනු යෙහෙකි බව මට සිතේ !

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පානදුර

දකින විට හැරෙන අත වනසමින දැයෙ සෙතේ
වියතුනට නො නැඟි කල අනතුරෙහි ඉඟි සිතේ
උරුම සෙට සුරැකුමට වැගිරු ලෙය දස අතේ
විරු කුමට කැප වුණි ද පොරණෙ මවු බිම මතේ ?

දිනු දැයට නොව රුපුට නිති සැදෙන මං පෙතේ
සිය බසට - අපෙ කමට කිසි දු අගයක් නැතේ
දකින විට නසන'යුරු දැයෙ උරුම හැම අතේ
කඳුළු කැට නොම නැඟෙනු කිම ද පුත, නුඹෙ නෙතේ ?

පර කමට නැමෙන දන දින දිනම වැඩි වෙතේ
හෙළ බසට කණකොකකු හැඬුම වැඩි දුර නැතේ
දැක නෙතට, වෙන විපත, නොමැත පල දිවි පෙතේ
කඩිනමට නික්ම යනු යෙහෙකි බව මට සිතේ !

කවිය බලන්න
වැස්ස වැටිලා...

වැස්ස වැටිලා...

ලලනී ගීකියනගේ රත්නපුර

සීතල පිනි බිංදු වැටෙනා රෑ තිස්සේ..!.
ඊතල රිදුම් දෙන පවනට තටු පිස්සේ...!
සෑ කොත් කැරළි කොණ බක්මී මල් බිස්සේ..!
පෑ සීතලට සියොළඟ දුණු හී ගැස්සේ...!

වැසි වට පවට දියකඳ රළු වී මෙලෙසේ.. !
නිසි කල ඍතු බෙදුම ඇවැසිව ඇත පෙරසේ...!
කිසි ලෙස පරාජය නොලබන සිත විගසේ...!
දිසි දසුනකි දෙනෙත බිය ලතැවුල එකසේ...!

පොද වැසි නොලද පොලොවේ උණුසුම බාවා..!
බිඳ අකුණක හඬට මිහිකත ගිණි ලෑවා...!
සිඳ නියඟයක අනියත බිය දුරුවූවා...!
අද ගං දියට ගම්බිම් හැම බිලිවූවා...!

නව හිරු රැසින මිහිකත මිහිරෙන් නාවා...!
තව දවසකට රන් කෙඳි සයුරට පෑවා... !
සුව සම්පත රැගෙන සව්සිරියෙන් බෝවා..!
"තිසරණ සරණ ලැබ" රැකවරණය දේවා..!

2025.10.29

කවිය බලන්න
අද හඬනව අපි සැම කඳුලු හලා!

අද හඬනව අපි සැම කඳුලු හලා!

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

හතලිස් හත් වසරක් අනෙ ගෙවුනා
රුදිරුම අනතුර ඔබ ඩැහැ ගනිමින්
මිහිරිම කටහඬ අපට නැතිඋනා
සුන්දර රැඟුමන් හොරුගත් විලසින්

ගී කෝකිලාවිය ගියේ හැරදමා
සිරිලක අප දුක් සයුරෙ ගිල්වමින්
ඩේසී ඩැනියල් නමින් ඉපදුනා
රුක්මණි දේවිය නමින් සැරසෙමින්

ගැයුගී කෙතරම් ගුවෙනෙ රැදවෙනා
ඒ හඬ දෙන්නට නෑ ඒ විලසින්
නැලැවිලි ගී ඇසුනත් හැම ගයනා
ඔබෙ "දොයි දොයි" ගැයුමින් සැම නැලවෙන්

ආදර හැඟුමන් ඇසෙනව ගයනා
"ආදර පාන සුදා" දෙන හැඟුමන්?
විරහව ගැයෙනා නිරතුරු ගීයෙන්
"හඬනව හිමියනි" රසය දිනනවා

"ආදරය නිසා" ගීයෙන් දෙන ඔවදන්
ඔබේ හඬ්න් හදපතුලට යනවා
" බුද්ධගයා විහාරේ" ගයමින්
සැම දන බොදු සයුරෙ ගිල් වනවා

අනියත බව, සැම වෙනස් වෙමින්
ඔබෙ වියොවෙන් තහවුරු වෙනවා
එනමුත් රැජිනිය යලි එනවානම්
දිගු ආයුශ මම හදින් පතනවා!

කවිය බලන්න
සතර මග අතර මග දී -

සතර මග අතර මග දී -

ගමගේ ලයනල්

කිරිහලේ කිරි සුදුයි
විදුහලේ සුදු ඇඳුම්
කිරිහලයි විදුහලයි
දකින විට හරි අගෙයි

ලොව දිනන විදු දැනුම
තාක්ෂණ කතරවල
හෙට සිතන සදරු කැළ
අඳුරු කුටි උමං තුළ

ඉතිහාසෙ නැතිවේවි
කලාවට හිත නේවි
වලාමේ දැන් ඉතිං
යන ගමන අධිවේගි

පට්ට පාඩම්වලට
කට්ට කා විඳින දුක
රට්ටු හිනැහෙන්නෙ බොල
ගුත්තිලට වෙච්ච දුක

කවිය බලන්න
වන අලින්ගෙන් පෙත්සමක්

වන අලින්ගෙන් පෙත්සමක්

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

ඉඩමේ මායිමට නිති ගහ බැන ගත්තූ
අප යන මග ම හරහට වැට ගහගත්තු
සාධාරණය සිත් තුල නැති අසමත්තූ
මිනිසුන් නොවෙද තුන් ලෝකෙට නැති සත්තූ

හඬගා අපේ උරුමය ගැන කියන්නට
මහමඟ වසා උද්ඝෝශණ කරන්නට
අපහට නොහැක මිනිසුන් මෙන්
රඟන්නට
එනමුදු සිතක් ඇත අපටත් සිතන්නට

සිවුපා වුවද සංවරයක් ඇත අපට
වනයේ සරන්නේ කවදත් රැළ එකට
වැටුණොත් එකෙක් අනිකුන් එනවා පෙරට
මුහුණට මුහුණ මිස අපි නැහැ සටකපට

වන එළි පෙහෙළි කර ඉව බව ඉවත දමා
ගහ කොළ සතා වැනසීමට නොමැත සමා
අපගේ එකම නිවහන නම් වනය තමා
ඒ ගැන සිතන්නට තවමත් කිමද පමා

කවදත් නිදහසේ අපි සැරිසැරුව
මග
අවුරා දමා වියසනයක් කරණ
වග
නොසිතා පෙරට මිනිසුන් එයි රැගෙන කග
තම උරුමයන් රැක ගන්නා අපිද දඟ

සොබාදම් මවට නිසි ගරු නොකරන්නේ
අප දිවි අයිතියට නිසිතැන නොදෙමින්නේ
වන ඉඩ කඩත් දින දින ඇහිරී යන්නේ
කවදද මිනිස් අලි ගැටුමන් නවතින්නේ

මාවැලි කුමාරි කුලතුංග
මහනුවර
20.10.2025

කවිය බලන්න
ආසිරිවාදයකි මගෙන්

ආසිරිවාදයකි මගෙන්

මල්ලිකා කුමාරසිංහ බදුල්ල

බුදු සරණින් දම් සිසිල ලබන්නයි
දම් සරණින් මෙත් සිතුවිලි එන්නයි
සඟ සරණින් බුදු සසුන රැකෙන්නයි
තුන් සරණින් යහපත සැලසෙන්නයි

හිරු දෙවියෝ ගණ අඳුර මුදන්නයි
සඳ දෙවියෝ සිසිලස ලැබ දෙන්නයි
රුක් දෙවියෝ මල් පල පුබුදන්නයි
සතර වරම් දෙවි ඔබ රැක දෙන්නයි

හිරුගෙ අපල දුර දා සෙත දෙන්නයි
සඳුද රෝග හැර සුබ පල දෙන්නයි
බුද දරුවන් හට නුවණැස දෙන්නයි
කුජ සතුරන් මැඩ ජයගෙන දෙන්නයි

ගුරු හැම විටදිම සුබ පල ද ෙන්නයි
කිවි කෙත ගම රට සරු කර වන්නයි
කෙහෙතුගෙ අපලය ඈතට යන්නයි
සෙනසුරු නිරතුරු පවු දුර ලන්නයි

යහපත වෙන රාහුද සිත නම්මා
නව ග්‍රහයන් පිරිපත දුර දැම්මා
පින් මහිමය හද කර දුක නිම්මා
සරණයි සැමටම සම්බුදු සම්මා

Photo Credit; Photo Stock

කවිය බලන්න
පෙම් රිදුම්

පෙම් රිදුම්

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

හිම කන්දක් දියවි දියවි ගං දෑලට වැටේවි
සම බිම් තැනි නෙත් මානා කරබාගෙන හිදිවි
දමයන්තිය නල හමුවී කඩුළු වැටට මුවාවී
ඉම නොපෙනෙන මහා කවක් ආදරයට ලියාවි

බිඳෙන විදුළි රේඛාවන් අසනිය පුපුරා යතී
රැදෙන චණ්ඩ මාරුතයක දෝංකාරනද දෙතී
දුවන වැස්ස දුවාපුදෙන් වළා කුළෙක එති එතී
මදන ඇතුන් මකුළු හුයෙන් වලකන්නද සඳවතී

තමලු ලතා මණ්ඩපයට මල් වැහි පොද වඩීවී
ගිමන නිවා රළු පොළොවත් අකලට හෝ තෙමාවී
සවන පිනන වස්දඩුවේ ගී රාවය ඇසේවී
නයන කළු නුඹෙ අසිරිය නුවරුන් ඇස නිවාවී

වැරදීමක සේයාවක් කාලිදාස දුර දකියි
අරමුණටම කවි ගලපා මේඝය කට අත වනයි
ඉර හඳඇති තුරු ප්‍රේමයෙ සිහිළස ලෝ කුස දවයි
පෙර අද හෙට හැමදාමත් කවි ඇත්තේ රිදුමකයි

Photo Credit; Nathan Dumlao

කවිය බලන්න
අහසින් පොළොවට….

අහසින් පොළොවට….

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

විලි ලන අහස දිය කඳ මිහි මත ගුගුල
විළි වැද රඟන මිහිදුම කඳු මත අතුල
විඳ විඳ සිහිළ ලෙලවන නලලත මුහුල
තුරුලිය නගන මදහස දුටුවද උදුල

විල රැලි නැගෙයි කුමුදක රුව විඳ රඟන
නැලවෙයි උණ පඳුරු ඉස සිරි පොද බමන
දොළ දිය ඔකඳ වී සුදු පෙණ පිඩු සිඹින
ගිල ගති ඉවුර නොදැකම බට දළු නැමුණ

තුඩ තුඩ රැඳුන කවි පද මිහිරට ගයන
සෙනෙහැති කුරුලු යුවලට පිනි දිය ඉසින
මද මුදු සුළඟ ළඟ ළඟ එන බව කියන
සිසිලස තව දුරද කිව මැන මට ඉතින

පවනට නතුව සැලි සැලි හසරැලි නඟන
ලෙලවෙන ලිය මඩුලු රහසෙම දුනි සවන
කැලඹෙන පෙණ කැටිති මුමුණති පද බැඳුන
සැනසෙද අහස දැක මිහිලිය රස මවන

Photo Credit; Taylor Cowling

කවිය බලන්න
අතහරින්න

අතහරින්න

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

එකම එක වරක් තව නැවතුනොත් බලන්න
තවම අමතකව නැති තැන් තියෙයි පෙනෙන්න
දුකම දුක හිතෙන මුත් එපා යළි හැරෙන්න
ළඟම ඇති දොරටුවෙන් අතැර පිය මනින්න

මහ රෑක සඳු නිදන කළු අඳුර මැකුවාට
තව දාක සීතලට උණුසුමම බෙදුවාට
හද ශෝක නිවන ලෙස රස කතා කියුවාට
මැද නේක නපුරු බස් රැඳෙනු තව මොනවාට

රිදෙනවට වැඩිය බිය තමයි හිත බිඳෙනවට
තනිකමට සවිය ඇති නිසා ලොව වැනසුමට
ගින්දරට හැකි තැනක යකඩ දිය කෙරලුමට
නවතින්ට නොම සිතනු පරඬැලක් සුරැකුමට

Photo Credit; Võ Mạnh Đức

කවිය බලන්න
සිප්පිකටු

සිප්පිකටු

මාලිනී හෑගොඩ USA

වෙරළට පාව ආ බෙලි කටු ඇහිඳින්න
දුවගෙන ගිය මතකය අවදිව ඔන්න
හිත වට කරයි රැළි නැඟ නැති නවතින්න
ආයෙත් ඇහිඳගමි මං ඒ කටු ගොන්න

වැලි මත ඇවිද ගිය අඩි පාරවල් වල
ඊළඟ රැල්ල දුක නැතුවම වහන් කළ
සලකුණු මතක් වී හිත යට නිධන් කළ
මතකය කැඩුණු බෙලි කටුතුඩකි උල් කළ

ඒ තුඩු ඇනී රිදවෙන හදක මුල්ලක
ලස්සන සිප්පිකටුවකි මතක ගොන්නක
රවුමට එහි ඇඳුණු මල්කම් ලිය වැලක
මුල ඉඳ කතාවම ලියවී ඇති සෙයක

සමහර සිප්පි කටු දිගටිය මනහරය
සමහර රවුම් ඒවා වුව පැහැබරය
කැඩී බිඳී ගිය ඒවත් සුන්දරය
ඒවා යටින් ඇති තතු නම් දුක්බරය

පණ නැති බෙලි කටුව කිසිවක් මතක නැතී
කලකදි නිවෙස විය බෙල්ලෙකුට පණ ඇතී
ඒ කාලෙදී ඌ සතුටින් ඉන්න ඇතී
කටු ඇහිඳපු මට දුක උරුමයකි නිතී

Photo Credit; Parastoo Maleki

කවිය බලන්න
තිස් තුන් කෝටියක් දෙවි වරු නිදි සුවයේ

තිස් තුන් කෝටියක් දෙවි වරු නිදි සුවයේ

මාක් ඇන්ටනි කුමාරගේ

මහ ජනතා මුදල් සොරකම් කළ උන් ට
වඳිනා මෝඩයින් පිරිසක් සිටින විට
අසරණ බවට පත් වී සිටි සිහළ රට
මුදවා ගැනුම අප යුතුකම පළමු කොට

පක්ෂය කුමක් වුව දේශය රකින දනා
අගයමු නිබඳ සහයෝගය දී තුටිනා
යුතුකම එය ය රට වැසියන් ගේ නිතිනා
හොර මුල එවිට දකින ට හැක පසු බසිනා

මොළ කළඳක් නොමැති වහලුන් දෙකට නැමී
සොර - නර යකුන් ඉදිරියෙ බිම දණිස අනී
පාතාලයේ අප්පච්චී නමැති බොනී
රට වැසියන් ගෙ බදු මුදල ද සොරා ගනී

තිස් තුන් කෝටියක් දෙවි වරු නිදි සුවයේ
ඔවුන ට තුටු පඬුරු පූජා කළ යුගයේ
තිරුපති කෙළෙසින් ද එහි පොහොසත් වූයේ
උඩු කය නිරු වතින් මිත්‍යා නර හෙළයේ

කොඳු නාරටි නොමැති හෙළයිනි මෙය අසණු
හොර පාළකයින් ගෙ මුහුණ ට කෙළ ගසණු
සාඨක ගලවලා අමුඩය අන්දවණු
කර පටි වලින් ගෙළ බැඳ එල්ලා තබණු

@02ඔක්තෝබර්2025

Photo Credit; Stephen Tafra

කවිය බලන්න
වසන්තය අවසන්‍ ය

වසන්තය අවසන්‍ ය

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

හදවත පතුලේ පිපුණු නෙළුම් මල
විකසිත වූ කල හිරු කුමරිදු ලග
පැහැය, සුවද පතුරා නොමදව ලොව
යෞවනයේ ඔදයෙන් දිලුනා.

සිතු පැතු ලෙස එය රදවා ගන්නයි
වෙර දැරුවේ ඈ ලය සගවා මල
සුරකින ලෙස එය දෝතින් ගත්තේ
කාලය ගෙවමින් හිරු ගිලිහෙන විට

රදවා ගනු බැරි, අත් හරිනුද බැරි
දුක, සැප, සතුටද, පීඩාවද දුන්
දිවියේ මල් පෙති අතැගිලි අතරින්
එකිනෙක පරවී, ගිලිහී වැටුනා

කවිය බලන්න
අහිංසක හෙවත් අංගුලිමාල

අහිංසක හෙවත් අංගුලිමාල

නයනශාන්ති දිසානායක

යසින් සපිරි, සැවතේ සිරි, ඉසුරු මතින් බැබලුනේ
පසේ නදී, කෝසල ‍හිමි, එ'කල යෙහෙන් වැජඹුනේ
මවන් අසිරි, එදින එපුර, හැම කගපත් දිළිසුනේ
සොරුන් උපන්, නැකත යෙදුනු, බමුණු කුලැති කුමරුනේ

නගා සතුට, දෙමාපියන්, සිතැඟි අඳුර බිඳ දමා
පුරා වයස, නිසිවු කලට, වන සිප් ලැබ නොම පමා
වෙසෙන කලට, දිනමින් සිත්, ගුරු දෙව් රඳ පා නමා
මිතුරු තොමෝ, පර සතුරන්, කලේ නුගුණ ගති තමා

බිඳුනු සිතැති, ගුරු උතුමන්, වෙසමුණි වරමින් පෙලී
පවර එගුණ, ලත් සිසු හද, මරවන අටියෙන් වෙලී
පුදව ගෙනෙව, පඬුරු ලෙසින, දහසක් දෙන ගෙන බිලී
අවිහිංසක, කුමරු එදින, අගුල්මල් ව එයි යලී

මවුන් සෙනේ, නොසන් සිඳේ, මහ සයුර ද පරදනා
පුතුන් රැකා, ගනිම් සිතා, තනිව එමඟ දිවයනා
බුදුන් උතුම්, මෙත් කරුණා, සිතින් දිවැස් හෙලමිනා
දුටින් පිහිට, වනු නිසි ගුණ, සපිරි සුපින්වත මනා

පුරා සසර, ඇවිද නොයෙක, වඩවා ගුණ දම් බැතී
නිවා මෙදුක, එතෙර කරණු, ලෙසිනේ පින් ඵල ඇතී
වැටී මහා, නිරයේ දුක්, විඳවනු වලකණු නිතී
තෙමා දහම්, පැන් ඉස ඉස, බුදු හිමියන් පැමිනෙතී

කවිය බලන්න
මලක් අද ආවර්ජනයක,.!

මලක් අද ආවර්ජනයක,.!

නික් ග්ලෙන් උතුරු අයර්ලන්තය

පෙර සසරක තතු හංගා ගෙන චිත්තේ
නුඹ තනි බව දැනගත්තා දැක තත්තේ
යන එන විට නිති දුක් වෙම් ඉහ මත්තේ
මැයි මල මම, ඉමි තාමත් උඩ අත්තේ

සිත ඇත දුටු දින ප්‍රේමේ නුඹලාගේ
මුතු වැනි වැහි බිඳු ආවේ හරි වේගේ
ගහ යට ගුලිවුනි සීතේ, සිත රාගේ
මගෙ නෙත වසමිනි සිම්ඹේ අත ඈගේ

පුන්සිසි මහවැලි රැල්ලේ දුන් ලෝලේ
වැල් පාලම තව පැද්දේ පෙර තාලේ
බැස්සා වළ මනමේ හා එම කාලේ
පස් වස අතැඟිලි අස්සෙන් පැන දෑලේ

දැන් ඔරවන හන්තානයි අර ඈතින්
ගස් නිහඬයි අද‘පේරා’, පෙර ඥාතින්
වන් සුසුමක්, තෙත දෑසක්, පිස දෑතින්
ලත් තනිකම් මැඩ හීනේ නෙළු දූතින්

කොතැනක අද සඳ සාවී සැඟවීදෝ
රොබරෝසිය සේ ඈතින් පිපුනේදෝ
මහවැලියේ රැලි නැංවී සැසලේදෝ
ගුරුතුම වී මෙහි ආවේ නුඹ ඇයිදෝ?

මීට
තවමත් නුඹත් ඇයත් ගැන හිත
~~ කහ මැයිමල~~

කවිය බලන්න
වියපත් අම්බපාලිය​

වියපත් අම්බපාලිය​

නිශාන්ති වික්‍රමසිංහ

මොනර පිල් කෙස් කළඹ සුදුව දැන් ගැලවෙනා
අඳුර මැද වුව දිලුණ දෙඇස් නිති බොඳවෙනා
පුයර ගැල්වූ කොපුල් රැළි මතුව වැහැරෙනා
සොඳුර මගෙ වෙනවාද කිසිවෙකුත් නොඅසනා

නා දළුවෙ පැහැය කිව් රත් දෙතොල් වියැළිලා
පා සළඹ සොලවමින් ගිය ගමන් නැවතිලා
මා නැතුව බැහැ කියපු අය කොහෙද සැඟවිලා
පාලුවෙන් දිවි යැවෙන, මාවතේ තනිවෙලා​

ගෙවී ගිය හැටි ඉගිල​, අරුමයකි කාලය​
මැවී එයි දිවා රෑ සුරපුරක තාලය​
තැවී දැන් පල නොමැත කිසිවෙකුගෙ ආලය​
නිවී සැනසෙමි ඉවත් කර කෙලෙස් මාලය​

කවිය බලන්න
මොන්තා තරමටම චන්ඩයි...

මොන්තා තරමටම චන්ඩයි...

නදී රුබසිංහ මාතර - ආදලුව

අඩු පීඩන කලාපය
පීඩන අවපාතයකට නැගුණු කල,
පෙරලගෙන මහා තුරු
බිඳ දමා නිවහන් පියැසි
නොවී සහකම්පා
හමායයි කැරකෙයි
නගයි හඩ විලාපය....

නිවි නිවී දැවී ගෙන
මායිමක් බිඳ දමා
ඇට මස් නහර විනිවිදින...
හිත වැරෙන් කලඹවන
බිඳී සුනු විසුනු කර
ක්ෂණයකින් ජනිතවන..

ඔව්,
මොන්තා කුණාටුව
තරමටම චන්ඩයි ක්‍ෂණික කෝපය"

කවිය බලන්න
සැතපුම්

සැතපුම්

නයෝමි අමරසිංහ

කටු හා කොහොල් උස් කඳුකර බිමෙහි ඇනී
වටිනා කියන සන්තකයම උදුර ගනී
අටුවා නැතිව වේදිතයන් හිතට දැනී
මිටියාවතේ නිල්ලක් වී දිගා වුණී

හෙල් තැනිතලා බෑවුම් ගිරි මුදුන් ගැන
සල්ලාපයෙන් විමසයි මද සුළං තැන
කල් බල බලා ආ ගිය තතු මිටින් ගෙන
හොල්ලා සැණින් අතහැර යයි උඩින් පැන

මීවන පාසි පෙඳ විල්ලුද පලස් මත
ජීවන ගීතයෙන් බේරෙන රහස් ඇත
වෑහෙන කදුරු උල්පත් ගල් කුළක බිත
ගීයේ විරිත නොලියූවත් කමක් නැත

පාවෙන වලාකුළු නැවතී කඳු සිරසේ
සාගත නියං ගැන විමසනවා රහසේ
සාවන් මුගටියන් සැඟවෙන තැන තුඹසේ
වේයන් පවා කඳවුරු බඳිනට සැරසේ

වන අරණකින් ඇසෙනා පත් සර සරය
මනමත් කරයි දුර පළඟැටි අඩහැරය
වෙණ නද සවන් විමසන විට පරිසරය
තැන තැන සකලයන්ගේ නද මනහරය

තුරු වැල් වැළැඳ හිරු රැස් ඔබ මොබ යද්දී
කිරුලක් පැළැඳ මල් ගවසාලයි පැද්දී
හුරුවක් නැතත් ගස් දෙබලක් හමු වෙද්දී
අරුමය සුළඟ විත් පැනයක් විමසද්දී

පටු අඩි පාරවල් නැග බැස යන මිතුර
දුටු දුටු රහස් සඟවයි නැමි වල නිතර
අටුකොටු පුරවමින් උස් වූ නෙරු අතර
කොටුකර මුරකරයි දෙණි බිම තනි නොකර

මිතුදම් සහෝදර ගුණයන් ගෙන් වැළැඳ
යුතුකම් ඉටුකරයි එකිනෙක ගහ වැලද
තැනි බිම් ගිරි මුදුන් අත දිගුකර නොලද
සැතපුම් කෙටි කරයි දිනයෙක මල් සුවඳ

Photo Credit; Betül Erdem

කවිය බලන්න
නාඬන්න සුප්පා

නාඬන්න සුප්පා

නුවන්තිකා එදිරිසිංහ රාජගිරිය

කම්කටොළු නෙක මතින් දිවි සැරිය හප්පා
සුවඳ දෙන කැකුළු මල් ලෝකයට පුප්පා
දුක සතුට කඳුල, හස සුමට ලෙස ගලපා
දරු දෙදෙන දුර ගියැයි නාඬන්න සුප්පා

ලෙනට වී නොසිටාම දරා බර වැඩියත්
නොසිඳනා දරු පෙමකි සමකලැ'කි සිඳු සත්
පණ නලත් දෙවැනි කොට කළා දරු රැක්මත්
පිරූ පෙරුමන් ඇතිය වෙන්න මතු බෝසත්

ඉදින් දොර බිඳ හෙලා ලෙනෙන් නික්මුණ පුත
වඩන් පිතු සෙනෙහසේ අසීමිත වූ මෙත
නසන් ගම්දනවු නොව කෙලෙස් බැමි හදවත
දුරින් සිට පතන්නම් නිරන්තරවම සෙත

කවිය බලන්න
යකඩ පෙති....

යකඩ පෙති....

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

තාත්තා නොඑන්නට
ගියදාක අතුරේ....
අඟුල් මල් පිරිතකට
ඉඩ තියා නුදුරේ....
වේදනා දරාගෙන
රුදු කැපුම් අතරේ...
පොල් කටුවකට කිරි
දොවයි ගස් ඉඳුරේ...

කිරි කපන කල ඈ
ගස් වටේ කැරකී...
දුරින් හිඳ බලන විට
හැංගිමුත්තමකී....
හොයන්නට කෙනෙක්
නැති උනත් සෙල්ලමකී...ජීවිතය හංගගෙන
ඉන්න බැරි දුකකී....

අම්මාට තනි රකින
ගෙදර පොඩි පුතෙකී...
ඉඳ හිටක කන වැකෙන
තව ගැහැණු හඬකී....
පුංචි හිත නිහඬවම
අසන පැන රැසකී...
ඇසිය යුතු තැන නිහඬ
වීමමද දුකකී.....

" දැං මාස තුන නේද..
බර එහෙම හරිද..."?
" යකඩ පෙති, කැල්සියම් වෙන වෙනම බොනවද.?
-----------------------------

"මිඩ්වයිෆ් නැන්දෙ ,මට
පිලිතුරක් දෙනවද"...?

"යකඩ ගැහැණියකටත්,
යකඩ පෙති ඕනද....?

කවිය බලන්න
මල් කැකුළක් පිපී......

මල් කැකුළක් පිපී......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

ඇයගෙ ජීවන උයනෙ සෙව්වන්දියක් පිපිලා
පුංචි මල් පෙති විහිද පිපෙන්නට
සිත් සැදිලා
දඟකාර පුංචි මුව කිරි සිනාවෙන්
පිරිලා
නිවස තුල සෙනෙහසක සිනාවෙන්
මල් පිපිලා.

නිල් අහසෙ පාවයන වළා ගැන
කියන්නම්
පෙළොවෙ රැඳි තුරු ලතා රහස
ගැන කියන්නම්
සරණ සියොතුන්ගෙ රස ගීත
ගැන කියන්නම්
මල් කැකුළෙ පාට මල් අතර
ඔබ තබන්නම්.

දෙපා මිහි මත තබා රැඳෙන හැටි
කියන්නම්
පුංචි කුරුලෙකුට සේ බත් කටක්
කවන්නම්
හිරු සඳුත් සෙනෙහසින් දකින්නට
කියන්නම්
සිතේ ඇති ආදරය ඔබේ ලඟ
තබන්නම්.

පුංචි විය තුල ඔබේ මිහිර අප
ලබන්නම්
සෙනෙහසින් ගත හොවා ආදරය
කරන්නම්
මතු දිනක ලොවට වැඩ ඇති විලස
සදන්නම්
පුංචි ඔබෙ දිවිය තුල සිහින මම
දකින්නම්.

කවිය බලන්න
කවියාගේ පියඹ

කවියාගේ පියඹ

ප්‍රියන්ති ඕපාත නවසීලන්තය

ඉර, හඳ, මහ පොළොව, අහස ගැන
සුරඟනන්, දෙවි දේවතාවියන් ගැන
ඔබ ගලපන වදන් වැල්
කවියක්ව බබලද්දී
මා තරම් ප්‍රීතිවෙන
අන් කවරෙක් වේද මිහිපිට?

කවියෙකුගේ පියඹ මම යයි
හඬගා කියමි ලොවට
නුඹලා කවියෙකුගේ දරුවන් යයි
මම දරුවන්ටද හඬගා කියමි

අහස, පොළොව, ඇළ දොළ ගැන
ආදරය, විරහව, හැගීම්, දැනීම් ගැන
ලියනා කවි කියවා සතුටුවන මම,
ඒවා ආවර්ජනය කරමින් ප්‍රීතිවන මම,

ඔබ මෑතකදී
ගැහැනියක් ගැන
ලියු කවි දැක
මංමුලාවී පාරක්
සොයනා කෙනෙකුමෙන්
භීතියෙන් ඇළලෙමි

Photo Credit; Mavroudis Papas

කවිය බලන්න
සිතක සිතුවිලි බොඳව​

සිතක සිතුවිලි බොඳව​

පියුමිණී ද සිල්වා

එළි වෙනව රෑ වෙනව සතියෙ දින ගෙවෙනවා
මැලි කමට බෑ ඉන්න වැඩ ගොඩක් තියෙනවා
හැලි වලන් හෝදනව ආයෙ එහි උයනවා
කෙළි කවට නෑ වදන් දුර බණුව කොටනවා

එදා කටු මැටි ගෙයක සිරිය හද මැවෙනවා
මෙදා මහ මන්දිරය පාලු වග දැනෙනවා
බදාගෙන මිළ මුදල් පසු පස්සෙ දුවනවා
සදාකල් වැජඹෙන්න හිතාගෙන ඉන්නවා

සඳු අහසෙ තනිවෙලා තරු දහස සොයනවා
හැදු වැඩුව දරු පැටව් අතැර ගොස් සිටිනවා
පිදු සෙනෙහෙ අඩු නැතුව හද පතුලෙ පෙළනවා
කඳු උසට තිබු සිහින බොඳ වෙනව දැනෙනවා

කවිය බලන්න
නුඹ කවුරුද පවස

නුඹ කවුරුද පවස

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

රැයත් දහවලත් විඳි නිදහස සතුට
නිමාවට කරුණු මතු වෙද බියයි මට
සිරිපා වන්දනා ගමනත් නිමා කොට
මහරුක නිහඬ වේ පැදුරේ උන් ලෙසට

කාලය ඉගිල යයි ඊතලයක් විලස
මහගේ පාළු වේ සරසවි ගිය විගස
කාටත් නොකියාම මා පැමිණිය දවස
මුරකරුවෙක් අසයි "නුඹ කවුරුද පවස"

ගම වෙල් යාය වෙත මා පිය නගන සඳ
නුහුරුය අවට නෙත ගැටෙනා දසුන අද
දක්නටවත් නැත දොළ ළඟ රුක කරඳ
දිය උල්පතද දුක් කඳුළක් හෙලනවද

ඉස්සර කාලෙ සිදු වුන දේ හැඟුමි බර
ගින්දර වාගෙ මසිත දවාලයි නිතර
ලොල් වී සුරාවට කරමින් අඩදබර
බඩපිස්සා ටික ටික විකුනයි ගෙදර

19.10.2025

කවිය බලන්න
තුටු සිතින් වසමු

තුටු සිතින් වසමු

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

නිලංකාරව යන ලෙසට නෙතු දිලෙන ගත තව තවත් හැඩකර
අලංකාරව වසන දිවියට නොඑන ලෙස දුක කඳුළ කැටිකර
අහංකාරව නොසිට සැමදෙන සමඟ සුහදව පිනද කර කර
භයංකාරව තිබෙන සසරට තබමු නැවතුම දුකද නිමකර

දිලෙන හිරු සඳු එළිය කර ලොව සැමට මඟතොට කියන විලසින
සැලෙන කඳුළට සිසිල එක්කර සිටිනයුරු සැප සතුට සමඟින
දෙලෙන වසනට දෙසුව සදහම සිතට ගෙන අද අදම බැතියෙන
ඇලෙන සිත හැම දෙයින වෙන්කර තබනු මැන තද ලෙසට දැඩිකර

ජීවිතේ ගත කරන්නට අප සැමට පීනා සතුටු විල තුළ
සොබාදම් මෑණිගෙන් එකසිය විස්ස වසරක් ලැබී ඇති කල
සියය ඉන්නත් බැරිව වැඩිදෙන ජීවිතේ හැර යන අයුරු බල
කුමක් කරමුද සැවොම ඔබ අප යන්න සිදුවෙයි පින ගෙවුණු කල

මමත් නොදනිමි ඔබත් නොදනී අපේ ආයුෂ කොතෙක් වේදැයි
සුවෙන් හෝ අද දුකෙන් හිටියත් නොදන්නෙමු හෙට කුමක් වේදැයි
කුමන තැනකදි කුමක් සිදුවී නොම දනිමු හෙට මැරී යාදැයි
ඒ නිසා අද තුටින් ඉමු අපි සිතා මරණය නියත නේදැයි

මෙවන් අනියත ජීවිතේ ගත කරන ඔබ අපි සරණ නොමැතිව
කුමට ඉසිකෝ මාන පුරවා පීඩනෙන් දිවි ගෙවා දුකැතිව
සැමට හැකිලෙස වෙමින් සහයද වසා සුවසේ සතුට සිතැතිව
මේ ලොවෙන් සමුගනිමු දවසක සුපිරිසිදු වූ සිතින් පිනැතිව

2025 / 10 /21

Photo Credit; Timon Studler

කවිය බලන්න
ලොවට පෙනෙන්නට​

ලොවට පෙනෙන්නට​

පී. බී. ගුණරත්න​

පෙම් රස සොයමින් ඇදුනා
රන් හුය දෑඟිලි බැඳුුනා
පුංචි කිරිල්ලියො දෙදෙනා
සංතෝසය මැද වැඩුනා

රට රස්සාවක් ලැබුණා
දුරු කතරක ගොස් රැඳුනා
නුඹේ අමුත්තක් පෙණුනා
කැදැල්ල දෙදරනු දැණුනා

මෙරටට ඉඳ හිට පැමිණා
නැවත එරට යයි සැනිනා
කැදැල්ල තුළ මුත් දෙදෙනා
දෙපසට හැරිලා නිදනා

සෙනෙහස වියැකෙනු දැණුනා
වසරට දෙකකට දකිනා
ලොකු වූ පැටවුන් දෙදෙනා
අසරණ වන හැටි පෙණුනා

ලෝකය ඉදිරියෙ දෙදෙනා
නේක සිනා මුව රඳනා
වේ, රැවටෙන දන දකිනා
ඒ මැයි ඉවසුම් නොදෙනා

සද්දෙට මහ හඬ රැගෙනා
කෑ ගසනටමයි හිතෙනා
ඒත් දාව උන් දෙදෙනා
මාගෙ කඳුළු හිර කරනා

කවිය බලන්න
වෙලාහිත සෙවනැල්ල වී නුඹ...........

වෙලාහිත සෙවනැල්ල වී නුඹ...........

රංජනී කොස්තා නවසීලන්තය

හිතක පතුලෙම කොනක හිරවුන
කඳුළුබිඳුවක් තැවෙනවා
ඉකිබිඳුම ලය තුළම තෙරපුන
දෑස් අග තෙත් කරනවා
තනිව හිඳිනා එවන් මොහොතක
හීන් පවනක් ඇදෙනවා
උරවටා රැඳි හීන් උනුහුම
නුඹමබව හිත කියනවා

මැදියමේ නිදි වැරුව යාමේ
පහුනු මතකය අවදියෙන්
මල්කැකුළු මැද ගෙවුනු කාලය
හිතම පුරවා ප්‍රේමයෙන්
කෙළිකවට මැද දුක කඳුල විඳ
එකම ලෙස අපි සීරුවෙන්
බැඳුනු අත්වැල් තදින් හිරකර
සවිය පිරුවෙමු වීරියෙන්

තනිය කොතරම් කැළබුවද සිත
ලැබුනු සවියම හිත රඳන්
නුඹගෙ වැලමිටෙ රැඳුන අතැඟිලි
උනුහුමයි තව ඇත රඳන්
යන්න තනිමඟ පහුකරන් ගව්
මගේ තනියට සවිපුරන්
වෙලාහිත සෙවනැල්ල වී නුඹ
දන්නෙ කවුරුද මං තරන්

සසර ගමනෙම එකව ගෙන ආ
මතකදම් සෙනෙහස පිරූ
නිදන් කළමැන ගැඹුරු පත්ලෙම
හිතට සවියක් වෙනතුරූ
සමුඅරන් මම එනම දවසක
පෙරමගක තනිකම පිරූ
ඉන්නවද ඔබ මගට අවුදින්
පෙරමගට හමුවෙන තුරූ
සෙවනැල්ල මා සමගවිය

Photo Credit; Jack Finnigan

කවිය බලන්න
සුළං රොද හා

සුළං රොද හා

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

සුළං රොද හා
තැවරි තැවරී
අවාරේ ආ
වරා මල ඔබ
මගේ හද ගැබ
වීනාව හඬවා
හද ගැබේ රැදී
සුපිපි පුෂ්පය
ඉවතා යා නොදී
රකින්නෙමි මා
හද ගැබේ
සගවා තබා
සදා සුරකිමි
වරා මල ඔබ
යලිත් කිසිවිට
නොදී අහසට

Photo Credit; Christina Rumpf

කවිය බලන්න
ඒ තමයි ටේ‍රන්ඩ්එක

ඒ තමයි ටේ‍රන්ඩ්එක

රුවන් ඩී අළුබෝමුල්ලගේ

බලාපන් මචං මං
කීයක් ලිව්වාද පොත් පත්
කෝ අපට සම්මාන
බස සුහුරු මහැඳුරු
ගුරුන්ටත් උගන්වන
ගුරු විදුහලේ දිදුලන

වැලපෙන්න එපා බං
වුනත් මහැඳුරු
ලැබෙන්නෑ සම්මාන
බණ කතා ලිව්වාට
දෙන්නං මං උඹට
“සුපර්සොනික්” විසඳුමක්
ලියාපන් ඊළඟ පොත
දෝන කමලාවතී කෙනෙක් ගැන
ලියාපන් ලියන එක
තෙවැනි සිල්පදේ
කුඩේ කුඩු වෙන්නට.

බලාපන්
පළවෙනවද කතාවක්වත්
හිතින්වත් රමණයේ නොයෙදෙන
නැතිව අනියම් පෙමක්වත්
ඒ තමයි ටේ‍රන්ඩ්එක
“අමා රංබණ්ඩාරලත්
ඉඳීවී බලාගෙන”

Photo credit; Patrick Fore

කවිය බලන්න
කොයිතරම් රැවටුනි ද හදවත්??

කොයිතරම් රැවටුනි ද හදවත්??

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

හුස්ම රිංගන හඬ අසන්නට
නුඹේ පෙනහලු නිම්න අස්සේ
හීන කොතරම් දකින්නද තව
හිතනවිට හිත තාම ගැස්සේ
අතීතයෙ අපි දෑත් අල්ලන්
ඇවිද ගිය මං පෙතක් ඔස්සේ
අදත් තනිවම ඇවිද යනවා
මල් මතක මල් පියලි වැස්සේ

දරාගන්නට නොහැකි
තැනදියි
සිහිනයෙන් පොළොවටම
බැස්සේ...

වළලු නැති දෑතකින් රූරා
වෙරළු මල් වැහි වහින විටදී
ලලාසාවක වෙලුන හැඟුමන්
ගලායයි ඉකිලමින් මොරදී
ජීවිතේ අරුතක් සොයා ගොස්
මංමුලා වී අතර මගදී
තුරුණු හිත මන්මත්ව සැනසූ
සෙනෙහෙ වින්ඳා ලඟක නොරැඳී

ගලන නදියක් කෙලෙස
ගැලුවත්
වැළඳ සැනහෙයි
සයුර ලඟදී...

තවුතිසාවක දැනෙන සැනසුම
මවා පෑ මුත් දිනෙක
පෙරදී
කලා සොළසක් සපිරුවත් සඳ
මොටද රිදවන විට දි දුක දී
නොරත රත යා දෙකට මැදිවී
හඬන තරු නෙත් දෙකට පැරදී
ඉරි ඉරී කැඩෙනා වලාවක්
වගෙයි මගෙ හිත
නුඹේ ලඟදී...

කොයිතරම් රැවටුනිද
හදවත්
කපටි මංගල
පෝරු උඩදී....

කවිය බලන්න
රුදුරු උයන් මැද මිළිණ වූ මල...

රුදුරු උයන් මැද මිළිණ වූ මල...

රේඛා කුමරප්පෙරුම

අගිල් කපුරු පල පිණිදිය මලින් පුදා
පහන් නොමැති ගෙට පුරහඳ එළිය හදා
කළල් දියෙහි සුපිපුණු සියපත සෙ උදා
සුපුල් මලට බිඟු කැළ දඟ කිමද සදා

දොලේ දිය පුරා කිඳුරිය ලෙස උන්න
මලේ රුව සුවඳ ඉවසා බැහැ ඉන්න
සරා මල් සලා ඇදගෙන දිය දුන්න
සොරා සඳ බලා සිටියෙද බැස යන්න

කලා සපිරි පුරහඳ වට කියඹු ලතා
වටා දිමුතු දෙතොලක රතු පැහැය ඉතා
සිනා පිරුණු මුව මඩලෙක සුවය පතා
බලා හිඳිමි මගෙ හිමිසඳ එතැයි සිතා

දරා සුරත මදුවිත හා එකතු වෙලා
පුරා රැයෙහි ඉටිමල් වට්ටියක නෙලා
ඉතා අඳුරු තුන්‍ යම හදවතම තලා
අසා ගනින ඉඟ නෙරි රැලි හරිද බලා

පෙන්වා සවිය දෙපයේ හා යුගත් පුරා
දන්නා සරුප විසිරේ මුව මතින් සුරා
ඉල්ලා සිටින සියොළඟ ගිණි ගතින් නුරා
දල්වා ළසොව මගෙ මුව හස රැලිත් මරා

බොළඳ ලෙසින් විසි කෙරුවත් නෙලූපලා
නපුරු නොවෙන් අම්මේ මට සමා වෙලා
කුරිරු සිතින් පෙති ගලවා බිමට හෙලා
රුදුරු උයන් මැද නුඹෙ මල මිළිණ වෙලා

Photo Credit; feey

කවිය බලන්න
ඉතිං මේ හේමන්තයයි

ඉතිං මේ හේමන්තයයි

රසික සූරියආරච්චි

අහස අඳුරුයි, පාළුයි,
රෝස ගස් පෙළ නිහඬයි
සිහින් ඊතල වැස්සයි,
ඉතිං මේ හේමන්තයයි

ගිම්හාන අව්රැල්ල, හතළිහේ පෝරණුව
දැන් සිතට අමතක ය
මල් රේණු, තණ කැබලි දසත විසුරූ සුළඟ
හමා ගොස් හමාර ය
සියක් ගණනක වර්ණ එක පෙළට මවා ලූ
මල් මිලින වී ගොස් ය
උදෑසන හිරු මරා ලොව අඳුරු කළ වැස්ස
නිමාවක් නැති ලෙස ය

දවස හෙමිහිට මියයයි,
අමාවක සඳ පායයි
හදවතක දුක නිහඬයි,
ඉතිං මේ හේමන්තයයි

Photo Credit; Alisa Tyshchenko

කවිය බලන්න
Haiku

Haiku

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

(1)
the rain drops
come silently from so far
loudly on the roof

(2)
a mighty strong gale
rain is on the wind's hand
raindrops foam designs

(3)
fragrance of Winter
a lovely leaf left by Spring
for tree's loneliness

(4)
family cemetery
overgrown, discolored graves
unfamiliar names

(5)
a couple of Hawks
flying all over the sky
scent of rain

කවිය බලන්න
ගලේ ගසා දොලේ ඔබා වැලේ වනනා පරණ කලිසම

ගලේ ගසා දොලේ ඔබා වැලේ වනනා පරණ කලිසම

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

කනිසම ඇසේ රෙදි මැසිමේ මෙහෙ නිමව
කලිසම කල් මරයි අගුවේ දොර වැසුව
තදියම නිබද තිස්පෑ ඉන්නෙම ගොරව
ගිවිසුම මගෙයි සරමෙයි කරනෙමු දිගුව

මස් කඩයේ කුකුළ් ලේ බිදු බිදු ඉසුන
කොස් මළු කොහොල්ලෑ ප්‍රේමය හා බැදුන
බස් රථයේ දහස් සුවහස් මැද ගැටුන
වස් වැදි කලිසමකි මැෂිමේ දොර වැසුන

පොලට මඟ තොටට මළ ගෙදරට අදින
යලට මහට අවුවට වැස්සට තෙමෙන
කවට බස් මිසක පැසසුම් නොම ඇසෙන
නුඹට හිමි ගල් ගෙඩිය දොළ ලග රෙදි උලන

පෙලක් වෙලාවට වාටිය ගොම මුසුව
දුරක් පයින් ගාටා මඩ සක පුරුව
කරක් ගසා තැන තැන අවසන දිරුව
ඉඩක් කොහිද කලිසම ඇන්ටික් ලකුණ

බැක්ටීරියා යහමින් ගෙදරට ගෙනෙන
පැක්ටේරියක් ලෙඩ දුක් තොගයේ බෙදන
දුක් නොම සිතේ පුරුදුයි කෙනහිලි නිතින
දැක්කත් සැපයි රෙදි වැල දුර අත වනන.

මඟ තොට හමුවනා වියපත් බලු රාළ
අග මුල සොයනු බැරි තරමට හොරි මාල
සගවා නොගෙන කලිසම හා බැදි ආල
රඟ බල මිතුරු දාමක නෙක හැඩ තාල.

අනේ කියා වැලපෙන්නේ නැති දවස
ඉනේ ඉදින් කලිසම නාඩා ඉවස
බණේ මොන තරම් දෙසුවස් බස් සුබස
පෙනේ, මිසක විස කොයිදෝ මැටි තුඹස

කවිය බලන්න
කොආලා

කොආලා

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

හතක් සයුරු තරණය කර ගෙවාලා
නොයෙක් මහා පර්වත දැක බලාලා
මෙතෙක් දුරක් ආවේ හති හලාලා
හුදෙක් නුඹව දැක ගන්නයි කොආලා

වෙනත් කොහෙන් හමුවෙන්න ද ලෝකෙ වට
වෙතොත් සත්තු වත්තක මිස පඳුරු යට
නැතත් දකින පින ළඟටම ඇවිත් කට
හිතත් ටිකක් රිදුණා හීනියට මට

දැන් ද ළඟම සිටි බවටත් ලකුණු තියේ
කන්ද මුදුන නැග්ග ද හිරි යන්න පයේ
ලන්ද කොනක ඉන්නට තිබුණානෙ ප්‍රියේ
ඇයි ද මෙසේ අප අප මගහැරී ගියේ

කවිය බලන්න
ඉමු නිසි කල් එන තුරා....

ඉමු නිසි කල් එන තුරා....

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

ආල සිතක් තිබුනත් මගෙ නුඹ වෙත ට
කෝල සිතින් බැහැ ආදරෙ කරන්න ට
මාල පොටක් බැන්දත් මම නුඹෙ ගෙලට
සේල සදන්නට වරමක් නැතේ ම ට

ආල සිතින් සිටියත් නොකියා නුඹ ට
කෝල පාන්නට බයකුත් තියේ ම ට
මාල පොටක් දුන්නත් ගෙල බඳින්න ට
සේල නෙරිය බිඳින්න තව කල් එම ට

ආල වඩමු දවසක දීගෙක යන් ට
කෝල නැතිව ගොඩවෙමු පෝරුව මතට
මාල වළලු කුමටද මදුසම රැය ට
සේල උනා වැතිරෙමු යහනක සුම ට

Photo Credit: Kenny Eliason

කවිය බලන්න
ආරාධිනී

ආරාධිනී

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

නඟේ....ආරාධිනී,
රුවෙනි අග රාජිණී....
යොවුන් බිඟු ආතුරයි,
පෙමින් උන්මාදිනී...

නඟේ....ආරාධිනී,
වෙණ වයන ලාළනී
දිවි දුර්ග හිමවතෙහි
නුඹ භගිනි භාරිනී

නඟේ....ආරාධිනී ,
බැතිබරව නෙත් මිණි
දෙවොල් බිම මල් අතුල,
නුඹ දේවදාසිනී....

නඟේ.... ආරාධිනී
මගේ හිමිකාරිනී
නුඹ තමයි මේ කවෙහි,
සම අයිතිකාරිනී.....

කවිය බලන්න
වන විට විපිළිසර

වන විට විපිළිසර

සුමිත්‍රා ආරියවංශ මහනුවර

යායේ කුරක්කන් මල් පූදින කලට
දාවල් ගිරව් පැමිණෙයි ඌරන් රැයට
හූවක් දුරක් ඇති නැති ගාණද පැලට
තාමන් නෑහුනේ කිම සීපද කනට

උස් වී පහත් වී එන හඬ සුළග වගේ
යන් තම් සහනයක් සැදුවද සිතට මගේ
මේ රැය නොනැවතී ඇදෙනා විටදි දිගේ
පාළුව රජයමින් දෙනතට කදුළු නැගේ

අටවක දින රැයට තරු පිරි අහස යට
පාළුව ගොඩ වදියි කළුවද රැගෙන ගෙට
පායා ඇති ලෙසින් නුදුරුම තැනක පිට
හේනේ පැප දෙසින් පුර සඳ දිසෙයි මට

සුරතින් නෙළා ගැනුමම මුදු පැතුම පැතූ
ගස කඳ පසු කරන් ඉහළට ඇදෙයි අතූ
වැස්සට ලඳු කැලෑ කොතැනත් පිපෙයි හතූ
දිස්වෙයි කලෙක කැට කැබලිති ලෙසට මුතූ

Photo Credit; Stock Photos

කවිය බලන්න
ආයෙත් දවසක එනවද

ආයෙත් දවසක එනවද

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

නේක පාට මල් තැවරුණු සුවඳ කවක රැඳී
මානෙල් මලකට මොනවද තව කියන්න බැරි
රෑනේ පියඹා පාවෙන වලා රොදක එතී
ආයෙත් දවසක එනවද පුන්සඳ නුඹ නැගී

ඈත නිහඬ කස ගස් පෙළ තාලයකට සැදී
මෑත නුඹේ නෙතු අද්දර මිහිරියාව විදියි
හීන පේන ඇහැළ පොකුරු තනියට සමවැදී
නීල නුඹේ සිත් මඬලට අකුරු කරන ලදී

නේක නේක පිච්ච පොකුරු අදත් පිපෙන වෙලේ
මුදු මානෙල් මල් මතකය සුවඳින් සිත පිරේ
හීන් පබලු මුතු කඳුලක් සඟවා නෙත් කොනේ
කස ගස් පෙළ බලා හිඳියි තවම නිසංසලේ

අන්තර් විශ්වවිද්‍යාල අංශයෙන් පලස සාහිත්‍ය තරගයේ 3 වන ස්ථානය දිනූ කවිය

කවිය බලන්න
ස්ටෑන්ඩඩයිස්ඩ් කර්ව් - මනුසත් චක්‍රය

ස්ටෑන්ඩඩයිස්ඩ් කර්ව් - මනුසත් චක්‍රය

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

(Standardised normal distribution curve)

සමාජ මාධ්‍ය නම් ආතල් ටීකා ටිප්පනි
වැරදි මත අදහස් වලින් සිරි බරිනි
බහුතරය නිශ්ශබ්ද සුළුතර රැහැයියනි
හදවතට කතාකර අහපන් තොපි හරිද යකුනි

ඕනෑම හුදීජන සමූහ සාම්පලේක
‘අපතයො’ නැතෙයි කියනු කෙලෙසක
අම්බරුවොද ඇති වග කෙලවරක
දැන ගත යුතුයි සැවොම එක විලසක

දෙවියො හත් දොහෙන් ඒව-ආදම් මැව්වා
දිවියේ රස දෙන්න විචිත්‍ර මනුසතුනද මැව්වා
ස්ටෑන්ඩඩයිස්ඩ් කර්ව් මත උන් සමතල වූවා
අපත අම්බරු ඔලුගෙඩි වම් කොන සැතපූවා

දකුණු කොනේ සුසුදු සුගුණ මිනිසුන් වැජඹූවා
උන්ගෙ මොලගෙඩි මුදු වෙඬුරෙන් නැහැවූවා
ඉච්චා වසුරු රජ වෙන තැන් ඇස ගැටුවා
රුවිතෙට හිතා කිරිගහට කොටන කල්පිරුවා

හරියට කළොත් මොන දේටත් අවැසි
හොඳහිත හා කැපවීමයි
සම-හරක්ට වැරදියටම පෙනෙයි කොරහෙත්
අත දාගත නොහැකිමයි
ඇස් ගෙඩි වල රොඩු පිහදානකොට
නැව ගොස් හමාරයි
ටටා බායි සුගුණන් නැව් නැග්ගා අපතයො
පල් වෙන්නෙ එතැනමයි!

30/10/25

කවිය බලන්න
දෙව්ලියක සිරි

දෙව්ලියක සිරි

ගරු සනත් කුමාර ප්‍රනාන්දු පියතුමා (දි. ගැ. නි. ) මහනුවර

තුෂාරයේ දිලි දිලි දිලෙනා අරුණැල්ලේ ...
සිනාලියේ සුදු මුදු පා යුග නැහැවෙන්නේ ...
ඉද්ද මලේ සිනහව ඇගෙ මුව සරසන්නේ ...
හිමිදිරියේ සොභාව ඇයගෙන් හැඩවන්නේ..

විහඟුන්නේ උඹලගෙ ගීයට ඉඩනැත්තේ...
දඟකාරී කිචි බිචි නද දී ඔය එන්නේ...
දෙවිඳුන් සුරතින් සිත්තම් කළා වගේ...
හිරු පායා ඇගෙ මුදු වත සිඹින රඟේ...

ආදරයේ පිවිතුරු හැඟුමන් ගෙන එන්නේ...
හැඩකාරී නෙත් යුග රන්වන් සේ බැබළේ...
කෙහෙ රැල්ලේ පහසට දෙකොපුල් දිදුලන්නේ...
සිත මගේ ඇයගේ රුව දැක ඉපිලෙන්නේ...

සාන්ත මරියා සිද්ධස්ථානය
මහනුවර

කවිය බලන්න
මිණිබිරී මගේ, මියුලැසි

මිණිබිරී මගේ, මියුලැසි

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

අඹ පත් මතට රන් හිරු කෙඳි වැටෙන විට
ඈ වත දිසෙයි පින්නෙ පිපි මලක් ලෙද
ටිං ටිං කියා ලෙහුනුන් ගී ගයන සඳ
ඒ ඉඳුනිල් නෙත් පියවයි සිනා වැස

ගෙයි අස ලැහැබෙ සිට මුදු තටු සලා ගෙන
සමනල් පේළි නික්මෙන සඳ උදෑසන
අල්ලා දෙන්න කියමින් මා අතින් ඇද
ඈ වද කරයි අත්තම්මට වරින් වර

මල්ගොමු මත පෙති විහිදන කැකුළු දැක
දිව යයි නෙළන්නට ඈ දිගු කරන් අත
"ඒ මල් මැණික මී මැසි සමනලුන් හට"
කියනා විටදි ඈ රිදවා ගනියි සිත

අහසේ පියඹනා විහඟුන් අත හරින
නෙක පෑ කුරුළු තටු අහුලා විත් රැගෙන
අල්ලේ මැද තබා පුරවා සුළඟින් මුවම
ඈ පිඹ බලයි යාවිද යළි පියඹ ගෙන

විහඟ පවස නිවනට උයනේ තබන
පැන් බඳුනකි ඈ දුවගෙන යන නිතර
අඬගා කුරුල්ලන් හට අතු අග නටන
නාමුද අසයි ඔබමින් මොළකැටි සුරත

පොල් කට්ටකට පුරවා ගෙන සබන් දිය
පැපොල් බටෙන් කළතා මා පිඹින කල
පාට බුබුළු පසු පස වැටි වැටි දුවන
අල්ලන්නට හදයි අත් පොඩි තලා පැන

පින්නේ පිපෙන්නට තතනන මල් කැකුළී
රෝස කැළෙන් අරගෙන ආ සිනා මලී
මගෙ නෙත් විලේ පිපි සියුමැලි නිල් උපුලී
අන් සතුටක් නැත මට මියුලැසිය වැනී

Photo Credit; Paolo Bendandi

කවිය බලන්න
කඳුළු

කඳුළු

සුලේඛා විතානගේ

ඈත හිමේ හේනේ පැල් රැකුම් දිදී
හීත රැයට ගිනි මැලයේ රස්නෙ වදී
කුරහන්යාය කිරිවැදිලා රුවට හැදී
ඇහැ පියවුනොත් හේනට වන සතුන් වදී

ඉර මැදියමෙත් අපි හේනේ නහින්නේ
බඩගින්නට කුරහන් කලපයි කන්නේ
පෙර කල කරපු කරුමයි මේ ගෙවන්නේ
මොන දෙවියන්ද අපගේ දුක දකින්නේ

අලි කොටි වග වලස් නපුරුම සතුන්නේ
අනේ අපට අනුකම්පා කරන්නේ
අපෙන් නුඹලාට කිසි දොස නොවන්නේ
අපේ හේන මඟ හැරදා පලයන්නේ

මෙහෙම හඳපාන යායට පායාලා
රිදී සඳ වතුර දසතේ උතුරාලා
මත්බර මු⁣ව දෙනක් තාලෙට හඬවාලා
වනන්තරේ රෑ පාළුව කැන්දාලා

ගෙදර පැල්පතේ අඹු දරුවන් නිදන
හිතේ කාන්සිය යන්නට කවි කියන
නිදිනැති රෑ ගෙවා දුකසේ පැල් රකින
මේ පව්වල ⁣කෙළවර කවදා දකින

සංහිඳේ පාන් දල්වා බාර වුණා
විටට දුංකලේටත් සල්ලි නැති උනා
පොළවට ඔට්ටු වී මහ අව්වෙ කරවුනා
සොච්චමකට අපි රෑ දාවල් නැහුනා

අස්වනු තුට්ටුවට උන් අරගෙන යනවා
වෙච්චි ණය ගෙවා ගන්නට බැරි වෙනවා
කණකර උගස් කර හේනක් වපුරනවා
මේ චක්කරේ අපි හැමදා කැරකෙනවා

2025/10/14

කවිය බලන්න
පතිනි සිතුවිලි

පතිනි සිතුවිලි

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

ඔබේ උණුසුම දැනෙන හෙවනක
මියෙන තුරු මට රැදෙන්න
වරම් ලැබුනොත් එයයි සැනසුම
කලින් මගෙ ඇස් පියෙන්න.....
තුන් හිතක වත් නොමැත මොහොතක්
නුඹගෙ හුස්මෙන් මිදෙන්න
සෙනෙහසේ පැන් පොදක් ඉහමින්
මා ළඟ ම සැරිසරන්න................
රන් හුයෙන් බැද අපිට අපි වී
පැමිණි දුර ගැන හිතන්න
හිත පුරා මුල් ඇදී පැලවුන
ආදරේ මල් පිපෙන්න.......
කඩන් වැටෙනා විටෙක මහිතට
දිරිය දුන් හැටි කියන්න
හීන දකිනෙමි ඔබේ සිනහව
මුව පුරා නිති රැදෙන්න.....
ගලන ගඟ ළග හැපී ගල් පර
හැඩ කලා පෙණ නගින්න..
හිතට රිදුමක් දැනුණු මොහොතක
එපා නෙත් රළු කරන්න....
මියෙන තුරු හෙවනැල්ල විලසින්
මා අසල සැරිසරන්න
සසර ගණුදෙනු තියෙන තුරු මා
ඔබ ලගම බව හිතන්න.......

කවිය බලන්න
අක්ෂර මල්

අක්ෂර මල්

සරත් චන්ද්‍ර පෙරේරා

මිළ කළ නොහැකි අන්තර්ගත සරුසාර
කදිමයි පිටකවරෙ අදහස බරසාර
මුල,අග දෙකෙහි අක්ෂර මල් උපහාර
සාහිත රසට ලොල් සල්පිල මනහාර

සැරසිලි, සිතුවම්ය හැඩතල කළ පාට
මිළකට ගන්න සිතුවිලි ඇති කෙරුවාට
නොරටින් ගෙනා දෑ පිරිවැය දැරුවාට
කියවන මෙපුර දන පිරිපුන් නොවුනාට

සාහිත රසින් පිරි අක්ෂර වරුෂාව
අගේමැයි වප් මාසෙ පුස්ථක කෙරුවාව
වසරට එකක්වත් ගනු බැරි බැරියාව
කමිස සාක්කුවෙ සීමිත පරිමාව

කවිය බලන්න
තිරයේ පෙම්වත

තිරයේ පෙම්වත

ෂර්මිලා බංදුනී දංවත්ත

හඬන ඇය තුරුලට ගෙන
සනසවයි හිස සිඹ
මිහිරැති වදන් තෙපලන
කෙතරම් පෙම්වත්ද
තිරය මත ඔබ

පෙරදා රැයෙත් දබර කර
වීසිකළ මුවින්
කටු තුඩු පිහි තල
ඇදුම් කයි හදවත
ඇනී වදනක මුවහත

මුලාවක් බව දැන දැනම
මුලා වීමයි මා අත වරද
පිටපතින් මිදී මදකට
රඟනු මැන.....
මා වෙනුවෙනුත් පෙම්වත

Photo Credit; Austrian National Library

කවිය බලන්න
දියවන්නා දොඩමලුව

දියවන්නා දොඩමලුව

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

කෙතේ නිල. දකිමින්
කුරුළු කූජන. අසමින්
මල් සුවඳ. විදිමින්
ගෙවූ කාලය. සතොසින්

සුළග හා. පේවී
නටයි ගං. දේවී
සද දියද. හාවී
කිරි සයුර. සේවී

රජ දවස. විකුමි
කවි සදැස්. ගෙතුම්
සිහි නැගී. උතුම්
සිත වීය. සියුම්

රජ මහා. විහාරේ
තේවා ඇසෙන. වාරේ
දැනී ලොව. සාරේ
නිරාමිස සුව. බේරේ

උඩු යටිකුරු ව. සැම
ආ ගිනි දවයි. ලැම
දියුණුවට. නවතම
දන් දුනි මගෙ. සොදුරු කම

හාරා පළල්. කොට
පවුරු බැඳ වට. කොට
අරුමෝසමට. හුරු. කොට
දුන්නු දස විධ. ...මට

මැති සබය. හිසින්
තැබුවාට. සිතින්
අවලාද. දෙමින්
කල් ගෙවමි. දුකින්

කවිය බලන්න
මගේ හිතත් ඇවිලුනා ප්‍රේමයක

මගේ හිතත් ඇවිලුනා ප්‍රේමයක

සුගත් අමරසිංහ නිව්යෝර්ක්

මගේ හිතත් ඇවිලුනා ප්‍රේමයක
ගිනි පුලිඟු හැම තැනම විසිරෙනා
උනුහුමක් ගත පුරා වෙලාගෙන
ලං වුනා ප්‍රේමයක මගේ තනි හිතට දැනුනු….

අවසනක් නොපෙනෙනා
අරමුණක් නොම දැනා
හීන පුරවන් හදේ කොන් වල
බැදුණි එක් ප්‍රේමයක්
මගේ හිතට දැනුනු…..

හමු නොවන බව දැන දැනම
අතරමග වෙන් වෙනා
සිහිනයේ මුදු සුවද සේ
රිදුම් දුන් ප්‍රේමයක්
මගේ හිතට දැනුනු
මගේ හිතම විඳවූ....

Photo Credit; Pablo Heimplatz

කවිය බලන්න
සක් දෙවිදුන්ගේ අසුන

සක් දෙවිදුන්ගේ අසුන

වෛද්‍ය සසංක පෙරේරා

රත්වෙන බැවින් සැමවිට
සක් දෙවිදුන්ගේ පඬුපුල් අසුන
නිම නොවන බැවින් දුක් කම්කටොලු
දවාලන මනුලොව
පුලුස්සමින් එතුමන්ගේ
පශ්චාත් පෙදෙස පින්වත්
අතෑර ඒ පව්කාර අසුන
ගත්තාලු එතුමන්
සැපවත්
නිල්කමල් ප්ලාස්ටික් පුටුවක්
දෙන්න නිවනක් ඒ මහඟු පස්සට.

ඉතින්,
ලිපක් කර ගත්තා මං
පෙර පිනට උරුම වූ
ඒ පරණ පඬුපුල් අසුන
රත්කරගන්න වතුර ඩිංගිත්ක්තක්
බොන්න රිසිවෙන සැම විට
තේ කහට කෝපපයක්
කැපුචීනෝ කල්දේරමක්

(කොළඹ, 28 සැප්තැම්බර් 2025)

කවිය බලන්න
ඉල්පෝය

ඉල්පෝය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

පුර පෝදිනය චීවර මස අවසාන
ටික ටික ඈත් වන කාලය වස්සාන
පන්සල් අසපු වෙත සත්දන පියමාන
සැම සිත් පිරෙන සමයෙකි දම් කල්‍යාණ
----
දේවාරෝහනය සිදුවූ මුතු අරුණේ
දෙවුලොව සිට පැමිණ පෙළහර පෑ බුදුනේ
දෙරණම තවුතිසාවක් කළ පෙර වරුණේ
දුටු නෙත් අපමනිය දස දෙස දෙවු බවනේ
---
උසපන් යතිවරුන් පසුවස් පවාරණ
ඉල් පෝ දිනය මේ එළැඹෙන අසමාන
පුරසඳ තරු වටා. දිදුලන රෑ පාන
මහ පින් කෙතක් වැනි දේශය පුබුදාන
----
තුන් ලෝකයම පොඹකර රන්දියෙන් සර
විවරණ ලබාගත් මෙත් බෝ සතුන් පෙර
මේ මහ භද්‍ර කල්පය නිම කරන තිර
බුද්ධත්වයට පත්වනු වස් පෙරුම් පුර
---
නව රට සසුන් පිහිටනු වස් පිටත්ව
පළවෙනි දහම් සැටනම වැඩු යටත්ව
හිත සුව පිණිස නවරට දන මහත්ව
විඳි සුව අනෝමය නොමගිය ඉවත්ව
---
එදවස දෙවන බුදුහිමි ලෙස වර ලැබුණි
බැබලු බුදු සසුන කිසිදා නොම පැරණි
ඉල් පෝ දිනෙක බුදුහිමි කළ සඳ නිවිණි
සැරියුත් මහරහත් මාහිමි පිරිනිවුණි
---
මාතර වේරහේනේ රජමහ වෙහෙරේ
ඉදිකළ මහා බුදු පිළිරුව හෙළ මෙපුරේ
නෙත්කළු උමං මන්දිරයද නැති අඳුරේ
ඉල් පෝ දිනය හා බැදි පුවතෙකි මිතුරේ
=======================
කලාභූෂන කිවිපති
සාසනකීර්ති දේශාභිමානී
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
======================
21/10/2025

Photo Credit; Alexis Antonio

කවිය බලන්න
චපල වූ ආදරය​

චපල වූ ආදරය​

සේපාලි අශෝකා එදිරිවීර

වැතිර තණ පලසක​
දොඩමළු වුනා මතකද​
සඳ ළඟම ඇති තරුවට​
කිව්ව වරුණා කවි නුඹ....
ඉබාගාතේ පාවෙන​
වළා රොදටත් නිකමට​
දුකක් හිතුනද ඇත්තට​
චපල වූ ආදරයක....​
ඕව සුපුරුදු බොරු පද​
කියා නොකියා ගිය හැඩ​
අස්ථිරම වූ ලෝකෙක​
ආදරෙත් මිහිදන්වින​....
බැඳුම් විසිකර ඉවතට​
නොපෙනී ගියෙම් ඈතක​....
සාගර හතක් එපිටට​
ගියත් එකම ඉර හඳ යට​....
අහසක් නැති කතරක​
ඉන්න හැකිනම් සදහට​....

Photo Credit; Maddy Singh

කවිය බලන්න
මලී

මලී

වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

ගඟට ගොහින් ගිලී

ගෙනවුත් මැටි ගුලි

අනඅන යළි යළි

අඹයි, රූපෙ බලි.

නෑ කිසි මැතිරිලි.

නෑ කිසි දෙඩැවිලි.

නෑ කිසි හසරැලි.

මම ද ඉතිං පලි?

පදිද්දි ඔන්චිලි

මගෙ ගාව ම වෙළී

මූණෙන් කැළඹිලි,

තාලෙන් කෙඳිරිලි,

ළෙංගතු හිතිවිලි

කළා, ඔයා හෙළි.

ඔයාල මහ අලි.

මුතු කැට මෙනි, දිලි.

මිණි එබු රන් තලි.

අපි නිකම්ම වැලි.

කීප දොහක් කෙලි

දෙලෙන් ගමේ ඇලී

හැර දා දැඟලිලි

ඔයා යාවි යළි.

වෙනුවට රන් තලි

මූණෙ වදියි, දැලි.

ගැලවෙයි, මගෙ පිලි.

ගැනෙයි, මාව බිලි.

…………

ගඟට ගොහින් ගිලී

ගෙනවුත් මැටි ගුලි

අනඅන යළි යළි

අඹයි, රූපෙ බලි.

ඉස්පිලි පාපිලි

උගුරේ ගිලිගිලි

නො ගැයූ නැලවිලි

රස ගීතාවලි,

කව් පද හෙල්මැලි

එකිනෙක ඇලිඇලි

දෑඟිලි මත වෙලී

මැවෙයි, රූපෙ බලි.

සඟවා හසරැලි

මගේ දෙනෙත, දිලි

රූපෙට මැටි බලි

හොර බැල්මක් හෙළී.

මේ මම ම ද, මලී?

නො ඉඳුල් ළය සැලී

වැරෙන් හුස්ම හෙළී.

මේ මම මය, මලී!

උදේ හවස බැලි

කැඩපත මත දිලි

මගේ ම රුව යළි!

ඔව්, ඔය මම මලී!

උදේ හවස බැලි

කැඩපත මත දිලි

ඉඟි බිඟි පැවසිලි,

හොර බොරු සැරවිලි,

එරැවිලි ගෙරැවිලි

මැටි ගුලියේ ඇලි

බාගෙට සෙළුවැලි

රූපෙ මගේ නිළි!

සැණින් වැදී විලි

රැගෙන පිළිමෙ නිළි

දෙපයේ වෙවුලිලි

නො තකා කැරකිලි

දිව්වෙ, නො වී මැලි

වේගෙනි, වාසුළි.

මාල පැළැන්දිලි,

අතැඟිලි බැන්දිලි,

පෝරුවෙ සැරසිලි

හීනෙකි, රැවටිලි.

පුරවන් කඳුළැලි,

බැල්මෙන් පැරදිලි,

ගමනින් ගොළුබෙලි

ඇදෙයි, ඔයා යළි.

බලමි, සොවේ ගැලී.

නෑ, හිත සැනසිලි.

ඉකිලයි, කෙඳිරිලි.

පපුව යාවි, පැලී.

කැඩපත යළි යළි

මං දිහාවෙ බැලී.

“අහපන් නුඹ මලී,

මැටි රූපෙකි, බලි.

පිළිරුව අර දිලි

නියම රුවැති මලී!”

කවිය බලන්න
ජීවිතය

ජීවිතය

තුෂාරි ද සිල්වා

ගිමන් කල ජීවිතය
වසත් මාවතක් අග
මතක කඳුලින් මුදා
බලමි සුසුමන් දරා

හිමිවීම ලියාගෙන
අහිමිවීමක සදා
ලොවට ආ නමුත් ඇත
සොඳුරු හැඟුමන් පතා

පිපෙන හැම මලක් ලොව
දන්නෙ නැත කාලය
වැයෙන තත ඇසුවෙ නෑ
ඉන් නැගෙන තාලය
අයිති වුන මුත් කණා
ලඟ මැණික බාලය

ඉඩදෙන්න හිනැහෙන්න
මේ මගේ
අවසාන වාරය

Photo Credit; Anthony Tran

කවිය බලන්න
නුඹ දුර නෑ

නුඹ දුර නෑ

තුෂාරි ජයසිංහ මහනුවර

නුඹ සුවෙන්දැයි විමසීමි මද සුළඟින්
අසා නොඅසා ගසාගෙන යයි
ඒ සුළං විගසින්
කෙසේදැයි තතු විමසීමී මම
වැටුණු තුරු පතෙකින්
නිහඩ වත රකී ඒ පත
නුඹ නොදත් විලසින්

මලක සුහුඹුල් සිනිදු පෙති අතරින්
ගලා හැලෙනා මකරන්ද වල
අකුරු අතුරවමින්
ලියන කවි මම එවමි
ඔබ සොයමින්
ඉන්නෙ කොහිදැයි
කියනවද රහසින්

අහස දුර නෑ පොළොව ළඟ පාතයි
සමුදුරේ හිරු ගිලෙන හැටි පුදුමයි
විහඟ පියපත් වලා තුළ සැඟවෙයි
නුඹව දුර නැ ඇහිපියන් ගාවයි

2025.10.12.

කවිය බලන්න
ලියු කවි තරම් මගෙ දිවි සුන්දර නොවුණී....

ලියු කවි තරම් මගෙ දිවි සුන්දර නොවුණී....

උදයංගනී විජේරත්න

දුටු සිහිනයන් එකිනෙක ගිලිහී වැටුණී
ගැයු ගීතයන් අතරට විරහව එබුණී
සියුමැලි හිතක තනිකම නොඅඩුව තිබුණී
ලියු කවි තරම් මගෙ දිවි සුන්දර නොවුණී...

ගව්සිය දුරක කවිකම නිබඳව දිලුණී
මව් සෙනෙහසට නොඅඩුව කිරි කළ පිරුණී
සෙව් පිළිසරණ අහිමිව කඳුලැළි වැටුණී
පව් කඳ වැඩිද ඉරණම අතිනත ලිහුණී...

දෙව් කිරි කලෙත් ගොම්පස් කලඳක ගැටුණී
පව් කළ වගක් තිත්තයි ඉරණමෙ තිබුණී
ගෙව් දිවි මඟෙත් දිස්නෙන් කවිකම දිලුණී
මව් වත්කමෙන් සත්තයි සිත සවි පිරුණී..

ලබමින් දිවියෙ සරදම් දරු කැල තැනුණී
සඟවන් රුදුරු ලතැවුල් මදහස නැගුණී
රැඳෙමින් සැමගෙ කවි හිත මැද හද බැතිණී
ගජමන් මමයි තවමත් නුඟ ළඟ රැඳුණී...

ගලේවෙල

කවිය බලන්න
🗙