අපේක්ෂාවේදී දුටු අපේක්‍ෂා නොමැති වත
(අපේක්ෂා රෝහලේදී වෛද්‍යවරයෙකුට පාසල් වියේ මිතුරියක මුණ ගැසුණි)
කන්ද මුඳුනට පිය මනින්නේ පිංකමට තෙල් මල් අරන්
සුදු වතිනි ඈ මවට පිටුපා කීකරුව උවැසියක මෙන්
නව යොවුන් විය රැගුම් සමනළ පන්සලේ අප බෝ තුටින්
සඳවතී සඳපානෙ ඇවිලිණි බණ පදත් අසමින් සොඳින්
අපේ පාසල, අපේ පන්සල, අපේ ජීවිත මතක සැමරුම්
පන්තියෙන් පන්තිය ඉහළට නො අඩු විය නිති පෙම් හැඟුම්
ඉහළ ගසකින් පතිත විසුරුණ ගෙඩි ලෙසින් ආදර පැතුම්
අහෝ ආලයෙ රස මතක කැටි හුදෙකලා දුක්බර සුසුම්
සඳවතී මා නෙත ගැටිණි වසි වසරකට පසු අහම්බෙන්
අසුරු සැණ අප ගල් ගැසුණිදෝ දෙසිත් යාවිය මතකයෙන්
මවකි පරිණියාත එහෙත් නෙත්මිණි කැලඹුවා මා මන සැණින්
කෝල බැල්මකි නෙතග කඳුළකි කෙඳිරුවා මුදු බස් සෙමින්
ගැඹුර නොමදැන ගඟෙහි කිමිදුණි නෙක සිහින පොඩි හිස දරන්
හබල බිඳුණා තනිවුණා මා ඔරු කඳේ නොසිතුව ලෙසින්
නොළඳ සහතික මවකි මා අද ඉගිල ගොස් දරු පියවරුන්
අත් හරින්නට නොසිතුවෙමි දරුවන්ගෙ හෙට දින කිසි ලෙසින්
පැතුම් බොඳවුව මුලා වීමේ ඉමක් නොදුටිමි ලදිමි අවමන්
දිළිඳු කම නොව නෙත් වසී කළ රුවක් දුටි මහතුන් නෙතින්
ඔබ දැකුම අහඹුවක් වුව මට හැකිය යන්නට සිත සදන්
කැඳවීම වැටහේ, හඬ ඇසේ, මරු දකිමි මම යමි ඉතින්
කවිය බලන්න
