මලී

මලී

වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

ගඟට ගොහින් ගිලී ගෙනවුත් මැටි ගුලි අනඅන යළි යළි අඹයි, රූපෙ බලි. නෑ කිසි මැතිරිලි. නෑ කිසි දෙඩැවිලි. නෑ කිසි හසරැලි. මම ද ඉතිං පලි? පදිද්දි ඔන්චිලි මගෙ ගාව ම වෙළී මූණෙන් කැළඹිලි, තාලෙන් කෙඳිරිලි, ළෙංගතු හිතිවිලි කළා, ඔයා හෙළි. ඔයාල මහ අලි. මුතු කැට මෙනි, දිලි. මිණි එබු රන් තලි. අපි නිකම්ම වැලි. කීප දොහක් කෙලි දෙලෙන් ගමේ ඇලී හැර දා දැඟලිලි ඔයා යාවි යළි. වෙනුවට රන් තලි මූණෙ වදියි, දැලි. ගැලවෙයි, මගෙ පිලි. ගැනෙයි, මාව බිලි. ………… ගඟට ගොහින් ගිලී ගෙනවුත් මැටි ගුලි අනඅන යළි යළි අඹයි, රූපෙ බලි. ඉස්පිලි පාපිලි උගුරේ ගිලිගිලි නො ගැයූ නැලවිලි රස ගීතාවලි, කව් පද හෙල්මැලි එකිනෙක ඇලිඇලි දෑඟිලි මත වෙලී මැවෙයි, රූපෙ බලි. සඟවා හසරැලි මගේ දෙනෙත, දිලි රූපෙට මැටි බලි හොර බැල්මක් හෙළී. මේ මම ම ද, මලී? නො ඉඳුල් ළය සැලී වැරෙන් හුස්ම හෙළී. මේ මම මය, මලී! උදේ හවස බැලි කැඩපත මත දිලි මගේ ම රුව යළි! ඔව්, ඔය මම මලී! උදේ හවස බැලි කැඩපත මත දිලි ඉඟි බිඟි පැවසිලි, හොර බොරු සැරවිලි, එරැවිලි ගෙරැවිලි මැටි ගුලියේ ඇලි බාගෙට සෙළුවැලි රූපෙ මගේ නිළි! සැණින් වැදී විලි රැගෙන පිළිමෙ නිළි දෙපයේ වෙවුලිලි නො තකා කැරකිලි දිව්වෙ, නො වී මැලි වේගෙනි, වාසුළි. මාල පැළැන්දිලි, අතැඟිලි බැන්දිලි, පෝරුවෙ සැරසිලි හීනෙකි, රැවටිලි. පුරවන් කඳුළැලි, බැල්මෙන් පැරදිලි, ගමනින් ගොළුබෙලි ඇදෙයි, ඔයා යළි. බලමි, සොවේ ගැලී. නෑ, හිත සැනසිලි. ඉකිලයි, කෙඳිරිලි. පපුව යාවි, පැලී. කැඩපත යළි යළි මං දිහාවෙ බැලී. “අහපන් නුඹ මලී, මැටි රූපෙකි, බලි. පිළිරුව අර දිලි නියම රුවැති මලී!”
කවිය බලන්න