අහිංසක හෙවත් අංගුලිමාල
යසින් සපිරි, සැවතේ සිරි, ඉසුරු මතින් බැබලුනේ
පසේ නදී, කෝසල හිමි, එ'කල යෙහෙන් වැජඹුනේ
මවන් අසිරි, එදින එපුර, හැම කගපත් දිළිසුනේ
සොරුන් උපන්, නැකත යෙදුනු, බමුණු කුලැති කුමරුනේ
නගා සතුට, දෙමාපියන්, සිතැඟි අඳුර බිඳ දමා
පුරා වයස, නිසිවු කලට, වන සිප් ලැබ නොම පමා
වෙසෙන කලට, දිනමින් සිත්, ගුරු දෙව් රඳ පා නමා
මිතුරු තොමෝ, පර සතුරන්, කලේ නුගුණ ගති තමා
බිඳුනු සිතැති, ගුරු උතුමන්, වෙසමුණි වරමින් පෙලී
පවර එගුණ, ලත් සිසු හද, මරවන අටියෙන් වෙලී
පුදව ගෙනෙව, පඬුරු ලෙසින, දහසක් දෙන ගෙන බිලී
අවිහිංසක, කුමරු එදින, අගුල්මල් ව එයි යලී
මවුන් සෙනේ, නොසන් සිඳේ, මහ සයුර ද පරදනා
පුතුන් රැකා, ගනිම් සිතා, තනිව එමඟ දිවයනා
බුදුන් උතුම්, මෙත් කරුණා, සිතින් දිවැස් හෙලමිනා
දුටින් පිහිට, වනු නිසි ගුණ, සපිරි සුපින්වත මනා
පුරා සසර, ඇවිද නොයෙක, වඩවා ගුණ දම් බැතී
නිවා මෙදුක, එතෙර කරණු, ලෙසිනේ පින් ඵල ඇතී
වැටී මහා, නිරයේ දුක්, විඳවනු වලකණු නිතී
තෙමා දහම්, පැන් ඉස ඉස, බුදු හිමියන් පැමිනෙතී
කවිය බලන්න
