ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2026 ජනවාරි කලාපය
පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ බොහො ටිකයි
කවි කිවිඳියන් බෙදා ගන්නේ තමන් විඳිනා කවි රසයි
කවිය අවියයි සිතට සුවදෙයි බස රස ද පෝෂණය වෙයි
මෙ කප ඇති තෙක් සඳැස් පණ නල ගැහෙන්නේ මේ හෙළ බිමෙයි
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
අන්තර්ජාල ‘ලන්ඩන්කවි සරණියට’ වසර පහ සපිරෙයි.
2003 දී මුද්‍රිත මාධ්‍යයෙන් ඇරැඹි ‘ලන්ඩන් කවිය’ 2021 ජනවාරි යෙහි සිට අන්තර්ජාල කලාපයක් ලෙස අද වනතුරු නොකඩවා සෑම මසකම 1 දා ඔබ හමුවට ගෙන ආවෙමු. එදා සිට අද දක්වා පළවූ පිටකවර හැටෙන් මෙවර කලාපයේ කවරය හැඩ වෙයි.එදා මෙදා තුර මෙහි කවි කිවිඳියන් 675 කගේ නිර්මාණ 5341 ක් පලවී තිබේ. මෙයට දායක වූ ඔබට ද, පාඨක සැමට ද අපගේ නොමඳ සෙනෙහස සහ කෘතඥතාවය හිමිවේ.
නිල් මහනෙල් මලක පැහැය - අහස් කුසක් වැන්නේ
හිරු සිඹ සිඹ සිනා සලයි - ගස් වැල් රිටිපන්නේ
කඳු වැටියක් වරල මුදයි - පහළට බිම් තැන්නේ
කවුරුන්දෝ මේ මනහර - දසුන් උදුර ගන්නේ
මල් යහනක කවි පදයක් - නුවර වලා බැම්මේ
හැපී වැටුන හැටි පුදුමයි - එක පිට එක පිම්මේ
දවසක් දා විරසක වී - කඳුළු උනා දැම්මේ
නොබෝ කුමරු තරමට අපි - වැරදි ද ලක් අම්මේ
විහඟ රෑන් සිල් සුවඳින් - පෙළින් පෙළට සැදී
නව වසරක මුරපදයක් - අතින් අතට දිදී
අඳුරු වලා ඉරා දමා - අහස් තලෙන් මිදී
උන් හැම තැන - නෙක පැහැයෙන් අලුත් රටා අඳී
වංකගිරට වුවත් දිනක - සඳ පායනු නිසැකැයි
මන්ද පමා නෙළාගන්න - සාමය තුරු හිසකයි
නව වසරට තව ඇත්තේ - තත්පර කිහිපයකැයි
ලක් මවුනට මේ වසරේ - කිරි ඉතිරිය යුතුමැයි
කවිය බලන්න
නව වසරේ පැතුම්
ගේ දොර වතු පිටිය සමගින්
සුලිය සිදුකල මහා විපතෙන්
උන් හිටි තැන් අහිමිවීමෙන්
පිහිටක් උනේ ගමේ බණ මඩුවෙන්
ගෙවුනු අග නොවෙම්බරයේ
විනාශය පමණි හිමිවූයේ
සේසතම අපට අහිමිවූයේ
නව වසර රටට ආයේ
ලොරි වලින් ඇවිදින්
හාල් තුනපහ දුන්නත්
හාමුදුරුවන් නැත්නම්
කුසේ ගිනි නොනිවෙත්
ලිපක් දැල්විය නොහැකි
කිරිබතක් පිසගත නොහැකි
රතිඤ්ඤා හඩකුත් නොමැකි
පැමිණෙන්නෙ අලුත් අවුරුද්දකි
සුළි සුළං යලි මෙහි නොවේවා
මහවැලිය නිහඩව ගලත්වා
ජීවිතය බිලි නොගනීවා
නව වසරෙ පැතුම් වේවා
කවිය බලන්න
ජනේරු 1
නිරතුරු පැතුම් ගොනුකර දකිමින් පෙරදා
පිවිතුරු පියාපත් ලැබ දැක නැති කිසිදා
සඳ තරු සිහින යායක් මතුවී එනදා
විසිතුරු දිනයකිය ජනේරු පළවෙනිදා
දුක සැප සතුට සැනසුම විඳිනා මැද්දේ
විස රස දැණුනු තැන් ඉඳහිට විනි විද්දේ
ඒ හැම එකතු කර මැද ජීවන යුද්දේ
රසමුසු තැනින් අරඹමු නව අවුරුද්දේ
නිසලව සසල වන හදවත පසුවෙනවා
මුසුකර දයාවක් හැකි විට සැනසෙනවා
ඉඳහිට කඳුළු ආවොත් මගහැර යනවා
හිටියොත් විසි හතෙත් සත්තයි හිනැහෙනවා
කවිය බලන්න
සුබ නව වසරක් වේවා !
අපි ගයමූ.. වයමූ....නටමූ
යළි යළි පුරවා හිස්වෙන මී විත
බමන හිසින් බුදිමින් රස මසවුළු
තිස් එක රෑ එළි වන තුරු
උසම කුලුනේ ආසියාවේ
මතුමාලේ කැරකෙන අවන්හලේ
සමු දෙමු ගෙවී යන වසරට
පුරා සව්දිය ලබන නව වසරට
සුබ පැතුම් ගලයි දසතින්
දුරකතන නොනැවතී නද දී
මූණුපොත් පිරී ඉතිරී
සුබ නව වසරක් වේවා!
කුලුන පහළ පටු මංපෙත කෙළවර
ලෑලි ගෙවල් සුන්බුන් කුණු විසිරුණ
කපුටු වසුරු දිලිසෙන ගහ යට සිට
කවුදෝ හිනැහුනි මහහඬ නඟමින
අපට ඉතින් අවුරුදු හැම දොහකම.
කවිය බලන්න
නව අවුරුදු පැතුම හා මගේ රට
වැදු මව දෙවෙනිකොට දිනුබිම හිතේ තියා
පිදු පෙර සිහළ සිත්වල රස එඩිය වියා
සිඳු ලෙස වටව සුරකින දිය පවුර නියා
වදු එක පෙළට දෑකුළ ගොත් වග නො සොයා
උතුරේ මෙන්ම දකුණෙත් අපි අපිට මිස
මිතුරේ පිහිට ලෙස එත් අදහසේ විස
පැතිරේ නොයෙක මත, බිඳිනට ජයේ ගොස
නිතරේ වඩව සති සිත පෙර අපර ගස
මිය යන ලෙසින පැතුමන් හද පතුළෙ ඔබා
සිය සිය දහස දොර දොර විය කඳුළෙ තබා
ගිය ඒ දශක මත කව නැණ නුවණ ලබා
දිය දෙස පරද හොබවමු සිරි ලකේ සොබා
පැරදුම දිනුම මත නොසැළී නොගැටි මන
යුතුකම සිහිව තරකොට ළය පතුළෙ ඇන
නැතිකම පරදවා හැකිකම පෙරට ගෙන
සැනසුම සතුට වපුරමු රට බබළ මින
විඳ පස මිතුරු බස මෙත මුනි දහමෙ දෙසූ
රඳ ඇස සෙනෙහ රස මුවඟට සිනා ඉසූ
ඇද නොවු වුවනෙ යස කැළුමෙන් එදිරි නැසූ
කිඳ ලනු ලෙයෙහි දස රාවණ බලය මුසු
තරසර සිතින යහපත මව් බිමෙහි වගා
නිසියුර ලෙසින පොදු ජන හද මඩළෙ නගා
දිවයුර රුවින ගගනත මැද දිදුළ රඟා
නිමකර මියෙන දින බුහුමන උතුර ළඟා
කවිය බලන්න
සෙත් කවිය
දෙරණ ලක ලැබ සකල සවිබල , නැවත පෙර ලෙස සුබල වේවා !
පිරුණ පීඩාවන් නිමාවී , නිදහස්ව දිවි පහන් වේවා !
සුගුන දන එකමුතුව අතදුන් , මහරු පින්බිම යළි දිලේවා !
සරණ දෙවි රැකවරණ නිතියෙන, සකල ජන කැල වෙත ලැබේවා!
ලකල බෝසත් බවින් පොහොසත් සතර බඹ විහරණ දකීවා!
සකල උවදුරු නොපැතූ තුන් බිය සමු ලබා ඉවතට ඇදේවා !
සුපුල හදවත් පිරුව මිනිසත් සුවය මෙලෙසම නිති රැකේවා !
සරල සුන්දර ලතෙත් ගුණයේ හදගැස්ම ලොවටම දැනේවා!
කවිය බලන්න
නව වසරට පැතුමක්....!!!!
මව්බිම දෙකඩ කෙරුනු…..
අදුරු සෙවනැලි පහව නොගියද
බොහෝ දේ අහිමී කරමින්…..
කදුළු අතරින් නැගී සිටින්නට වෙර දරන…..
අපේම ආදරණීය මිනිසුන් සමග
දුක සහා ප්‍රාර්ථනා පෙරදැරි කරගෙන
එකට එක්ව එකා මෙන්
අත්වැල් බැදගෙන නැගී සිටිමු පෙර මෙන්.
ජලය ගලාගෙන ගිය තැන්වල ශක්තිය උපදීවා!
බිහිසුනු අදුරෙන් ආලෝකය ඇතිවේවා!
හිමි අහිමි මැද සුව ශාන්තියම හිමි වේවා!
බලාපොරොත්තු වලින් පිරි නව වසරක් බිහිවේවා!
සියලු සත්වයාටම සෙතක් ශාන්තියක්ම වේවා!!!!
Photo Credit; Marisol Benitez
කවිය බලන්න
කිරි ඉතිරේවා නව වසරේ!
"ඇයි ඔතන කඹුරන්නෙ - ඉක්මනින් පැන ගනින්"
මෙවන් බණ කතන්දර උඹත් කීවා නේද
ඉතින් මං කතා කරා - මෙහෙමයි උන් කී මරිසි;
"මං ඉන්න කාමරෙට අස්ප ගාණක් ඩොලර්
දවල් සිකුරිටි වැඩ කළා - රෑට වේටර් අදත්
පේන මානෙකත් නෑ ලැබෙන පාටක් කඩදාසි
"ආච්චියෙක් බලාගෙන ටික කලක් නවතින්න
තනි පංගලමෙ රෑ මැද්දෙ යන ගමන් මිලානෙට
මෙතුවක් කල් මං කරපු ටැම්පරිය හාන්සි"
"ඇම්බසියෙ අයියලත් අමුතු ගේමක ඉන්නෙ
සලකන්න බැරි අයට වීසා අද නොවෙි හෙට
ඇසේ සයිරන් හඬක් - මට ටිකක් මාන්සි"
ඔටු කිරිත් ඉතිරුව මං පාන්දරින්ම නැගිටල
පපු කුහරෙ කලඹනව සුළි කුණාටුව දිත්වා
අර කොල පාට මතක් වෙනකොට නම් කාන්සි
17.12.2025
කවිය බලන්න
ඉසුරු සපිරි නව වසරක්,
සිනා කඳුළු එකට අනා
දවස් ගෙවී මහින් මහේ
නිමා වෙලා දොළොස් මහක්
මතක හිත තියා,
නව නිමැවුම් දැනුම මිණුම
දියත නැවුම් කලත් නිතර
උනුන් සමග තරග වදින
නාද නිමක් නෑ
අව්ව වැස්ස නියංසාය
දෙරණ පුරා සැරිසරද්දි
වත්කම් පනනල අපමණ
නික්මිලා ගිහින්,
අකා මකා අවුල් තැවුල්
නිවා දමා දුක් ගින්දර
සැමට සමව ඉසුරු ගලන
පැතුම නව වසක්,
කවිය බලන්න
අවුරුද්දත් වයසට ගොස්!
දුරුතු නවම් මැදින් - බක් වෙසක් පොසොන් අගින්
ඇසල නිකිණි බිනරට පසු - වප් ඉල් උඳුවප් ගිහින්
දුරුත්තට ම අත වනා - අවුරුදු එන්නැයි කියා
වසර නිමා කළ උඳුවප් - දොළොස් කණුවෙ නැවතිලා...
දොළොස් මහෙන් - දොළොස් මහට - දුරුත්ත එයි සීතලෙන් ම
වසරක් කල්-යල් ගෙවිච්ච - දෝමනස්ස-කණස්සල්ල
ධූරි-භූත වෙන්න කියල - අකා-මකා වසට නැවුම්
එන්න කියා කිරි සුවඳට - අලුත් හාලෙ බතක් කාල
නව වසරක් පතන අපට - සකය වගේ කැරකි-කැරකි
මාස දොළොස නිමකොට යළි - දොළොස් මසක් එන්නා සේ
එනවා අවුරුද්ද ඔන්න - අලුත් වෙවී නව තාලෙට...
අවුරුදු එනවැයි-එනවැයි - කීවට සති-මාස ගිහින්
කාලය-දීපය-දේශය - වසරෙන්-වසරට ද වෙනස්
අවුරුදු කෑවත් සතුටින් - අවුරුදු ගණනින් ද උසස්
සොබාදහම අපට උඩින් - කුමට කියමු අප ගැන දොස්
දොළොස් මසක් ගෙන වස්-දොස් - අවුරුද්දත් වයසට ගොස්!!!
2026.01.01
Photo Credit; Jamie Fenn
කවිය බලන්න
කවිය ඔබ.....!
මහසෙන් රජුගෙ වැව් බැම්මට දෙඅත් තියා..!
වැටෙනා කඳුළු වැව් පතුලේ සැඟව ගියා..!
කවියේ රීති සඳ දිය මත,හැඩට ලියා..!
රසකර එවු හැඩයි,සුමිතුර අගෙයි කියා..!
වන මල් පිපී පිනි වියනේ පහස යට..!
සියපත් නැළවුනා පවනේ මුකුළු කොට..!
රසයක් කැලතිලා අරුණළු නැගෙන විට...!
"කවියක රසය නම් මේ යැයි "සිතුනි මට...!
දිවියක මිහිර කවියෙකු , රස විඳිනු බලා...!
පදයක කටුක රස , හදවත මිලින කලා ..!
පැදියක සොඳුරු රස , වෑහෙන අයුරු බලා...!
දිවියක සිහිල හදවත තුල ජනිත කලා....!
වන මල් පිපී පිනි වියනේ , පහස යට..!
සියපත් නැළවුනා පවනේ , මුකුළු කොට..!
රසයක් කලතලා අරුණළු , නැගෙන විට...!
"දෙදහස් විසි හයට ",ආසිරි පැතුම් මිට..!
කවිය බලන්න
රකිනු පින්බිම ශක්‍ර දෙවිඳුනි
කරන ලද නෙක පිනෙහි ඵල ලෙස ලබා සක් දෙවි ලෙසට බලතල
සයම දෙව් ලෝ රකින විකුමෙන යොදා අසදිස තෙදැති දලබල
දහම නොරකින නිසාදෝ නිති විපත දෙන සිරිලකට සුලකල
දිවැස යොමුකර රකිනු මැන අද පමණ නොව හෙට දිනද නොපැකිල
නිතර වැසි ඵල දෙමින් අධිකව නසයි ජීවිත සමඟ ගේදොර
එමතු නොව තව සතුන් ගහකොළ වගා භූමිද දමයි නැතිකර
වැස්ස පාලක " පජ්ජුන්න " හට කියා නොකරන ලෙසට කරදර
අවැසි නම් දෙනු මැනවි දඬුවම තෝරලා පව් කාරයන් හොර
ළදරුවන්ගේ කිරි කඳුල සහ ළමුන්ගේ පොත පතද පෑනද
ලොකු කුඩා සැම දෙනාගේ කුස ගිනි නිවන ආහාර පානද
අඳින පළඳින ඇඳුම් සමඟින් දිවිය රැකදෙන හරක බානද
නසා දමනුයෙ සැණෙන් අවුදින් සැමදෙනාගේ සොඳුරු සීනද
කිසිවෙකුට කිසි වරද නොකරන අහිංසක මිනිසුන්ගෙ ජීවිත
බිලිනොගෙන මේ ලෙසට සැමවිට රැකදෙමින් උන් සමඟ සේසත
සුදනයන් සේ පෙනී සිටිමින් රටම වනසන වියරු වූ සත
ඉවත හැර කළ මැනවි පිරිසිදු උතුම් බුදුදම සුරැඳි මිහිකත
කඳ සුරිඳු මහ විෂ්ණු පත්තිනි සමන් විබිසන භද්‍රකාලී
දෙවියන්ට නිති තබා පූජා යදිති කියමින් යාග හෑලී
එහෙත් පිහිටක් වන බවක් නැත විපත දුක එයි පේලි පේලී
රකිනු මැන සක් දෙවිඳ ඔබවත් වන්ට පෙර මෙය නැසී දූලී
2025 / 12 / 28
කවිය බලන්න
නව අවුරුදු පැතුමන්
දවස් තුන් සිය හැට පහක් දැන් ගෙවී අවසන් වී ඇතේ
තවත් වසරක් සිනහ මුහුණින් අපේ දොරකඩ පේවෙතේ
පිටක් ගානේ බලමු පෙරළා ගෙවුණු හැටි අපෙ ජීවිතේ
හොඳත් නරකත් කිරා ගත් විට දිනුම පැරදුම තේරෙතේ
කළා නම් අපි අපේ යුතුකම් හදට සැනසුම යාවෙතේ
නිවා ලන්නට හැකිය ළතැවුල් මෙතෙක් දුර ආ මාවතේ
වහා විමසා බැලිය යුතුමයි වැරදි තැන් කොහිදෝ ඇතේ
සොයා පිළියම් යොදමු හනිකට එවිට කඳුළක් නෑ නෙතේ
ලැබුණ තරමින් සතුටු වෙන්නට හුරුව ඇත් නම් ඒ ඇතේ
නිතින සිනහව මුවග රැව් දෙයි සතුට සැනසුම පෑදෙතේ
සිහින මාලිග කුමට මවමුද එයින් හදවත් පෑරෙතේ
හිඳින පැල්පත අගෙයි කවදත් සෙනෙහෙ ගඟ උතුරා යතේ
සොබා දහමට කරමු ගරුසරු හදෙහි පැතුමන් පීදෙතේ
නසා ගහ කොළ අතට කහවනු ලබනු කුමටද නෑ සෙතේ
එදා අපගේ මුතුන් මිත්තන් නිසා අපි නෑ හාමතේ
වවා ගෙන කමු දිරිය අර ගෙන කුමට පසුවෙමු බීමතේ
එදා පැරකුම් නිරිඳු දස්කම් පෑව හැටි දුටුවා පොතේ
සොඳා අපටත් නොහැකි වේවිද විරිය වැහැරී නෑ ගතේ
බැඳා වැව් සහ අමුණු කදිමට ජලය හරවාලා කෙතේ
වැඳා අස්වනු නෙළමු සව්දිය පුරමු දුරලමු සාගතේ
දිනූ රට දැය සමය වෙනුවෙන් යමක් කළ හොත් වේ සෙතේ
තැනූ විට තම තමන් සිත් පොඩි ලොවම පිරිපුන් වී යතේ
ඉනූ නොසැලී ඉන්ද කිල මෙන් වුවත් අබියස මාරුතේ
එනූ පෙරටම බැඳන් අත් වැල් මෙයයි සුර පුර දෝ සිතේ
කවිය බලන්න
සුභාශිංෂන
නත්තලේ සීතල ට දුරුත්තත් ළංවෙලා
ගැහෙන වත අවුස්සයි හදවතම කලඹලා
පොඩි දොහේ මතක මල් ආයෙමත් පීදිලා
නවමු පැතුමන් පුරමු ජනේරුව ඇවිල්ලා
පැඳුරු කොටයේ ගුලිව පාන්දර හීතලේ
නාද ටික් ටික් ගගා ඇහෙන විට මිදුලේ
අම්මේ ඒ කව්රුන්ද ඇසු රහස් තාලේ
පුතේ ඒ පිනි බිංදු කිව්වේ පා ආලේ
කුස්සියේ කලු ගැහැණු පරන පොල්කටුවේ
පුංචි මුහදත් සුදට මිදී මල් ගොමුවේ
බෝතලය පුරා පොල්තෙල් නෙමෙයි දුටුවේ
මිදුණු කහ අයිස් රත්කරයි දිය කෙරුවේ
ජනේරුවේ පළවෙනිදා සැවොම එක්වී ගෙදර
අම්ම පිසූ කිරිබතේ රස බලා පා අදර
අලුත් සරමක් ඇදන් දිව්වේ දුර නොම නතර
යහළු මිතුරන් සොයා පන්දු කෙළියට නිතර
නැතත් අද එදා මෙන් සැවොම ළග අපෙ ගෙදර
ඇවිත් යන දහම හැර නොවෙයි කිසිවක් නතර
ඉතිං කිම දොම්නසක් අම්බලමේ රැඳි අතර
මතක්කර ඒ දොහත් සිනාසෙමු හිතමිතුර
කුණාටු පහව ගොස් පෙර ලෙද මල් පිපෙන
යහපත් පැතුම් සැම දින දින එළි වැටෙන
ස්වභාදහම් මව් රැක හෙට ලොව දිනන
නව වසරකට පතනෙමි සුභාශිංෂන
කවිය බලන්න
වසරට නැවුම් ආසිරි මල් පිපේවා!
කිසිදා නොවුණු ලෙස ලක් බිම බැට කෑවේ
රිදවා පහර දුන් දිට්වා නුඹ ආවේ
ව්ඳවා නිමක් නැති වූවත් දන ජීවේ
මුදවා ගන්න මිනිසත් කම් අත් පෑවේ
වසරට ගෙවුණු කාගෙත් නෙත් යොමා සිට
සැරසුම හොඳයි සිදු වූ හැම දුරස් කොට
දහමට සොබා සලකමු දැන් ලෙහා ගැට
අහිමිව යන්න මත්තෙන් දරුවනගෙ හෙට
වැරදි කෝටියක් සිදු වුණු නොදැන සිත
වඳිමු සමා අවසර මනු ගතිය මත
දෙරණ රකින දෙවියනි නිති යොමා නෙත
මැනවි සියලු දොස් දුරුකර හරින අත
මතුවන සාදු සිත් මැද දුක් නිවේවා
දෙරණට සිව් වරන් නෙත් සර වැටේවා
මිනිසට මිනිසා ගැන අගයක් දැනේවා
වසරට නැවුම් ආසිරි මල් පිපේවා!
කවිය බලන්න
TWENTY FIVE the YEAR
Good Bye to the memories of twenty Five,
Who have pasted on to me so tight no fly
Like slimy leeches slitherng up high,
Bringing eerie feeling,with sadness to rise.
Started your game first month itself,
Squeezing my beloved's the very last breath
My heart and soul of five decades
You snatched away leaving memories no fade!
Dozens of artists you took away,
Putting them down, leavng no say
Making us SriLankans to weep all day
Only the memories, and screen shots play.
Your viscous deeds actions topped the list,
In month of November when trees shed leaves
Killing thousands and smashing the hills
Rivers weeping, tears pushing away concrete.
Bridges and dams, roads and crops,
Ditwa devil you reduced the lot,
Erased the map, making hill tops flat
Drowning the rescuers in landslide gap.
Yes, you brought out kindness in humans no doubt
Ressilience, brotherhood generosity pouring out,
As a silver lining to the dark cloud up,
Results will brighten twenty six a lot.
Didnt leave the last month to relax nor rest,
You took away the nightingale's life to next step
Cannot escape death, a fact, no test,
Hoping its the last of your games twenty five the pest.
Solace will come only by letting go act
Forgiveness not hatred is the healing fact,
Twenty five the year I forgive you looking back
Don't pass your bag to twenty six hanging in your back.
කවිය බලන්න
සුභද, අලුත් අවුරුද්ද?
තුංග කඳු සොරාගෙන සඟවලා මග ලකුණු
තැනිතලා පෙදෙස් වෙති කළල් දිය යට රැඳුණු
කුසුම් පෙති සේ තලා, තුරු මියැද අතු සිඳුණු
කරුණ කිම වැසි දෙවිඳු සුළඟ හා යුධ වැදුණු
විශාලා නුවර සිරි පොළෝ තලයෙහි අතුල
තුන් බියක අකුණු මල්, බිඳී ගගනත විසුල
සොබාදම් අණින්, බිය වැදී වැසියෝ සසල
බිමක, කඳුලැලි පමණි නෙතින් රූරා වතළ
බුමුතුරුණු මත ඇඳුණු අපැහැදිලි රූ රටා
සේ වැතිර මිහිදන්ය, නොනිමි ජීවිත කතා
සුභ අසුභ සිහින හා බැඳුණු මිනිසුන් නසා
අවුරුද්ද අලුත් වෙද නුඹට මට සුභ පතා
කවිය බලන්න
අන්තිම ඕවරේ අන්තිම පන්දුව
ලන්ඩන් කවට අද හැටවන වසර ලබයි
පිංකං පොලක් වාගේ කවි පිටුව හැඩයි
පංදං වැට උඩිං පායන සඳට සමයි
වංනං කවි සිලෝ උතුරා දෙගොඩ තලයි.
අලුත් ඉරක් දුටුවෙමි අද පාන්දර
මලුත් පිරී ගස් වැල් මල් මෝස්තර
තවත් බලා මොකටද බොරු කේන්දර
හෙටත් කවිය ලන්ඩන් නැති සූත්තර.
නමක් නොමැති අපටත් ඉඩකඩක් තියා
පවත් කවුරු කොයිබක නොසයාම නියා
තවත් ලියනු බෑ සරසවි නොපෙනි ගියා
එහෙත් කවක් එවනෙමි හදවතින් ලියා
පුරා පස් වසකි සඟරා පෙළ හැටකි
කුරා කූඹූ මා ආ දුර මහ දුරකි
කිරා බැලුවොතින් මට හැත්තෑ දෙකකි
දරා ගන්න බැරි වෙහෙසම මා මඩිති.
වරක් එතෙක් පලවූ කවි එකට ගරා
තෙරක් නොමැති වියතුන් හා සමව පෙරා
පොතක් කලා ලන්ඩන් කවි වෙහෙස දරා
මටත් පිටක් වෙන් කෙරුවේ නඩේ ගුරා.
එකම කවක් හෝ කුණු කූඩයට නොදා
තවම නොදුටු සකසුට මම ණයයි සඳා
දහම පරපුරේ හෑගොඩ ලොවට විදා
මෙහෙම පුතෙක් පියෙකුට අබිමනකි සඳා
උපතින් පරපුරෙන් කවි ලේ ගත දුවන
දිලෙමින් තුටින් ලන්ඩන් පුරයේ වෙසෙන
කවියෙන් අනුර හෑගොඩ ලොව රට දිනන
නිදුකින් දිනේවා සිය වසරක් යෙහෙන.
මඟින් මඟට නොවැටි මෙතුවක් ආව
මසින් මසට ලන්ඩන් කවියට ලීව
ගතින් බොහොම මහලුයි ඔසු පැන් නෑව
ඉතිං අවසරයි යලි නොලියමි කාව.
29 / 12 / 2025
කවිය බලන්න
කෙවිලිය ගී ලොවේ නොයෙනා ගමන් ගියා
විරහව ආදරය කැටි වුණු වචන ගොතා
ගී කර ගැයූ හැටිනම් හරි රහයි ඉතා
ඒ හඬ ගැන තවත් කුමකට කරණු කතා
හෙළ ගී ලොවේ කෙවිලිය වුණෙ නුඹයි ලතා
තාලෙට වැයෙන සුමිහිරි බට නලා දිගේ
පාවී ආව, හරි හරියට රාව ඇගේ
හඬ බැස ගිය විටදි පෙම්බර ලතාවගේ
තබ්ලා සර්පිනා අද තනි වෙලා වගේ
අනියත භවේ තතු හඟවන පිණිස නියා
මරණය වැළඳ ගෙන ඈ නෙත් දෙකම පියා
තුන් කල් ඇසිය හැකි ගී ගොන්නකුත් කියා
කෙවිලිය ගී ලොවේ නොයෙනා ගමන් ගියා
කවිය බලන්න
කෝකිලාවියේ
"සඳ කොමළී තරු පිරිවරලා"
අද ගියෙදෝ සුරලොව බලලා
සොඳ රැජිණකි ගී ලොව බබළා
බඳ මුතු ඇටයකි පෙරදිග ලා
"රෑන ගිරා රෑන අඹේ මී පිරී"
නාද දිදී ඔබ ගැයු ගී පද සිරී
"පාවි පාවි ආකාසේ" ගිය සැරී
"වී කිරිල්ලි" ආයෙ එන්න හද පිරී
කවිය බලන්න
සතිශ්චන්ද්‍ර එදිරිසිංහ
සාහිත කලා වපසරිය තුළ
අමරණීය සටහනක් තැබු
රංගධර, අදියුරු
දෑ විලේ පිපි
අමිල සියපත
ඉකුත් දා දිවි රංග මඬළින්
යළි නොඑන්නට
බැසැ ගියා නොවැ
පුලුල් තිර සේ වේදිකාවේ
පුංචි තිරයේ රඟ මැවු
විටෙක දේශක,
විටෙක ලේඛක,
ලෙසින් බැබැළුණු යුගය
දශක ගණනාවකට විහිදුණි
අසූ හතරක් ආයු වළදා
නික්ම යන සද
මේ කුසුම් මිට
ඔබට පුදනුයෙ
විස්ව තලයේ
සුවඳ සැමදා
රැදෙනු. වස්
23/12/2025
කවිය බලන්න
"සතිස්" සඳ යළි පායනු මැන !
කරළිය රිදී තිරයේ
ටෙලියේ මැවුන
යුග පුරුෂයෙකි
දන් දුන් සරසවි මවුන
අදියුරු වෙමින්
නළුකම සීමා නොවුණ
ඔබ ළඟ උපත ලද
නිමැවුම් මී පෙවුන
"මනමාලයෝ" සමගින්
"බක් මහ දීගේ"
රඟ ප්‍රතිභාව විහිදා
පුරහඳ වාගේ
"මනරංජන වැඩවර්ජන"
විය යාගේ
අදියුරුකමට එහි
ඔබ හට දොස් නෑගේ
"සංදේශය", "බඹරු ඇවිත්", "නිධානය"
"හන්තානේ කතාව"
-පෙම් පුරාණය
රංගන විස්කමට
ඔබගේ සදා ණය
පෙම් කළ රසික සිත් ඇති
මෙන් විමානය
"චරිත තුනක්", " සතර දෙනෙක්
සෙන්පතියෝ"
ටෙලි නාටක බිමේ
වැජඹුණු රසවතියෝ
හැඩ කළ ඔබේ නළුකම්
පුදසුන් සිටියෝ
සරසවි දේවියට කිසිදා
ණය නැතියෝ
කලා ලොවට කණ කොක්
නාදය කැන්දා
පලා ගියේ ඇයි ඔබ
ගණඳුර රන්දා
සලා කඳුළු ලක් මව
හැඬුවද මන්දා
බලා මෙලොව යළි
එනු මැන රස බන්දා
කවිය බලන්න
සතිස්චන්ද්‍ර එදිරිසිංහ - කලාකරුවාණෙනි!
ඔබේ පෞරුෂ මහා වෘක්ෂය සෙවණ දුන් අභිමානයයි
ඔබේ පොත පත අපේ බුද්ධිය වඩා බබලන සාරයයි
ඔබේ රංගන නාට අභිනය සදා මතකය ජීවයයි
ලොවේ අනියත සැබෑ නියතය ඔබට හිමි නිර්වාණයයි
කවිය බලන්න
දිත්වාව සහ හෙලයා
වන ගහන සුරැකී
පැවති කදුරට කොමළී
දිත්වා සුලං දැඩිවී
කරපු විපතක්
මෙලෙස දිස්වී......
දශක වස් වැඩුණා
හරිත වන රොද දිළුනා
වැසි සුලං හැමුවා
නිමේෂය රුක්
දහස් වැටුණා....
තැන තැන ගෙවල් ඉදිවී
බෑවුම් කන්ද දියවී
සුළි සුලං රළුවී
දහස් ජීවිත
පසට යටවී.....
පාලක වෙත ගැරහුම්
කදු සිකර නැත සැලකුම්
බෑවුම් නිවෙස් තහනම්
ගෙබිම විය
මුඩු බිම්..........
සහන රැස් හිමිවී
අවතැන් දිවි සවිවී
හෙට දිනය සරුවී
පැතුමක් ලෙසින්
ඉටුවී.....
නමුත් අප හෙලයා
වෙනස් දිවි අකමැතියා
දිවි පරදූ තබා
නැවත සිටිතැන්
නිවෙස් හැදුවා....
කවිය බලන්න
හාමුදුරුවන්ගෙ පැතුම
නාද කෙරුවත් ඝණ්ඨාරේ
කව්රුවත් එන්නෙ නෑ
දායකයො සමගින්ම
මුලු ගමක් වැළලිලා
බණ පදේ හත් දොහේ
අහන්නට කෙනෙක් නෑ
කුමට අපි බේරුනේ
මෙවන් දුක් ගිනි දැකගන්න
සහන කණ්ඩායමක් පැමිණ
ගෙනත් දුන් බත් මුලෙන්
පිඩක් වෙන් කරන්නෙම්
දානෙ යයි සිතා සත් දින
මුලු ගමට දැන් ඇත්තේ
පන්සලම විතරමයි
දායකයෝ සියල්ලම
මට කලින් නිවන් ගොස්
මම තවම මනු ලොවේ
පතා ආ දුක ගෙවනවා
නිවන මට ලං වේවා
සසර මග ඉතින් නිමවේවා
කවිය බලන්න
සුළි කුණාටුවකටත් හැකිද අප නවතන්න....
සුළි කුණාටුවකටත් හැකිද අප නවතන්න....
සුළි කුණාටුවකටත් හැකිද අප නවතන්න
අපි එකට එක්වෙලා ඉන්නවා
සැඬම ගංවතුරකට හැකිද ගම් වනසන්න
ආයෙමත් අපි ගමම හදනවා
ආයෙමත් අපි රටම හදනවා
වැටෙන වැටෙනා තරම් හැකියි යලි නැගිටින්න
අඩුපාඩු අපි අපට පේනවා
වැටුණු ගම් ගොඩනගමු
එක්ව දැය ගොඩනගමු
එක්සිත්ව අපිත් පෙල ගැහෙනවා
සුළි කුණාටුවකටත්.....
විසිර වෙසෙතත් ලොවේ මූදු හතකට එහා
මව්බිමේ දුක අපට දැනෙනවා
කදුළු සුසුමන් මැදින් දිරිය ගෙන නැගිටින්න
අපි අපිම එකට පෙල ගැහෙනවා
මිනිස් වැට රට වටේ හදනවා
ආයෙමත් අපි රටම හදනවා
එක්සිත්ව එකට පෙල ගැහෙනවා
අනුරුද්ධ වැලිගමගේ
ගේය පද - අනුරුද්ධ වැලිගමගේ
සංගීතය - තරිඳු ජයතිලක
ගායනය - අනෝජා මකුලොළුව
සංස්කරණය - රවිඳු කන්නන්ගර
කවිය බලන්න
'දිත්වා' සුළි සර
කළුවර වෙලා ගගනත නන්වන සද්දේ
රළුවට දැනේ හිටිය ද කිවි රට මැද්දේ
රුදු සැර සුළං වැසී පොද දිත්වා විද්දේ
ලක්බිම වෙලාගෙන ඇහෙනව හැඩු සද්දේ
අදහනු කෙළෙස ද සොබා දහම් කත
ඉඟ සුඟ නටවයි පුහු දන හඬවන
ලක් මව ගැස්සුව ලියෙ නුඹෙ මෙ'නැටුම
නවතන් දැක ගෙන එ’දරුන් වැලපුම
කඳු හෙල් කපමින් ලෝකුරුවන් රැළ
ලොව රජයන බව නුඹ දැක කුපිතව
කඳු හෙල් ලංකා මෑණිය හැඩ කල
හෙලුවෙ ද බිම ජල රකුසන් සමගින
දෙවි වරු එන යන ලක්බිම ජන හද
සිසිල් කලේ මිනිසත් බව රකිමින
නුඹ දිගු කර දබරැ'ඟිල්ලෙ තුඩ අද
සෙමෙන් දුරුව යන බව පවසනු මැන
තවමත් කළු කරන් ලක්බිම වහින වැසි
අහසත් ලක් පොලවෙ හැම අඟලටම බසි
කඳුළුත් නැතිලු දරුවන් හට අඩනු රිසි
හත් දෙය්යනේ රැක දෙනු මව ලෙසින් නිසි
කවිය බලන්න
සුවඳ තියා
සඳ වුව විටෙක සැඟවී යයි වලාවෙක
මඳ පවනත් රළු වෙයි යම් අහම්බෙක
බොඳ වී යාවි දෑසත් එක වෙලාවෙක
හොඳ හෝ නරක කාටත් වී තිබියෑක
කඳු මුදුනකින් ඇරඹී එන ගංඟාව
සිඳු වෙත ඇදෙන තුරු වෙයි නෙක බාදාව
සිඳුනත් නියඟයක දොළ දිය සීරාව
අඳුනන්නට හැකිය මග ඒ දොළ ආව
කන්ද කඩා වැටෙනා විට නාය ඇවිත්
ලන්ද ඉතුරු වේවිද යට නොවී තවත්
අන්ද මන්ද වී හිටියත් කවුරු කොහෙත්
වැන්ද දෙවොල වුව පස් යට වැටී නිදත්
උපන් දා පටන් නෙක නෙක ගැහැට විඳ
අනන්තවත් දුක් පීඩා සමග හිඳ
පහන් වුණා වීතරයි පායලා සඳ
රුවන් වැට බිඳුණි ගොළු වුණි කොවුල් නඳ
වීරිය නැතිවෙලා ගත, නැති වෙලා දයා
කාරිය කරමි කොහොමෙන් හරි ඉවත නොයා
නෑසිය මිතුරු හිතවත් දන අතැර පියා
මා මිය යන්නෙ මා මෙහි උන් සුවඳ තියා
කවිය බලන්න
කිමද මේ තරමට ම ඔබ දරුණු
කදු මුදුන් සලිත වී වැටුණු
පස් කදු අතර ගත තෙරපුණු
දුක් සුසුම් රහසේම හිරවුණු
කිමද කදු මේ තරමටම බිහිසුණු
පෙණ කැටිති නගා පෙර හිනැහුණු
මහවැලිය ගo දැල අසල දී සැනසුණු
රකුසු බොර දිය රැළි මවා දරුණු
කිමද දිය මේ තරමටම බිහිසුණු
කිරි කැටි සිනා බොද කෙරුණු
හිතැතියන් සැණින් අත හැරුණු
කදුළු පොදි හදවතට හිර කෙරුණු
සොබාදම කිමද මේ තරමටම දරුණු
කවිය බලන්න
දිත්වා කළ විපත
බිඳු බිඳු එකතු වී මහ වැහි වලා වෙලා
මුදු මුදුමුදු ගුණය දුර ඈතටම පාවෙලා
රුදු රුදු යකෙකු වී කුරිරුකම මතුවෙලා
කඳු කඳු ගිලී ගොස් හැමදේම යටවෙලා
අහස ඉරාගෙන මහ වැසි ඇද හැලුණී
පොළොව අඬාගෙන රූටා බිම වැටුණී
අවසන් සුසුම් ඒ මහ සුළඟෙම රැදුණී
මිනිසුන් පොළොව යට සදහටම වැළලුණී
කඳුළු නැති ඇසක් නැත හැම දෙන අඬතී
සසලවු හදවතින් හැමදෙන සුසුම් ලතී
හැම තැන අඳෝනා වැළපුම් ඉකි බිඳිතී
කඳුළු බිඳුව තව තව කඳුළින් පිරෙතී
අහස උසට වැහි දිය පොළොවේ පිරුණා
ගෙවල් කුඹුරු වතුපිටි වතුරේ ගිලුණා
හරක බාන හැමදේ හැමට නැති වුණා
ඇඳිවත පිටින් සමහර දෙනා ගැලවුණා
පොළොවට බැරි බරය අප පටවා ඇත්තේ
මිහිමව මැසිවිල්ල කනකට නෑ ගත්තේ
කුණු කඳු හරස් බැමි වැහි දිය ඩැහැ ගත්තේ
යන්නට තැනක් නැති තැන ගෙයි එළිපත්තේ
අතින් අත අරන් අපි සමගි බැම්මෙන් වෙලා
කඳුළු බිඳුවේ කඳුළු පිස දමමු එක් වෙලා
සැලසුමක් ඇතුව යමු මහා පවුරක් වෙලා
අළු මතින් ගොඩට යමු නැඟී ඉදිරිය බලා
2025 දෙසැම්බර් 02 දින
කැලිෆෝනියාවේ දීය.
කවිය බලන්න
වැහි කඳුළු
පාන්දරට හමන සුළඟ සමඟින් මන බැන්ඳූ
නාන්නාදුනන වැස්සට ලියවුණි කවි සින්ඳු
දාස් ගනන් හිත් අස්සට දුක් කඳුලැලි කැන්ඳූ
වාන් දමන තරමට ඇයි රුදු වුනෙ වැහි බින්ඳු
තතු නොමදැන යනඑනකොට නිම් නැති භව සසර
නතු විය යුතු මය ලොව දම වෙතනම් මගෙ මිතුර
ගතු කීවට අහස් ගැබට ගැන රුදු වුණු වතුර
සිතු දෙය පමණක් නොව සිදු වන්නේ මේ කතර
බිම් කඩකට පෙර දවසක වී තිබුනත් සතුරු
එකම අහසකදි මිතුරන් උනානෙ පස මිතුරු
මනුස්සකම පිරි කුටියක වී දොරගුළු යතුරු
ගුණදම් වපුරමු මිහිපිට එච්චරයිනේ ඉතුරු
කවිය බලන්න
සංතාන ගිණිගනී......
හන්තාන කඳුමතට සුසුම් බර වැඩිවෙලා
හංගාන හිටි කඳුළු දුකින් බිම අතුරලා
ගංගාව මහවේලි මතින් ගියෙ රුදුවෙලා
සංතාන ගිණි ගනී බලන් ඉනු බැරිවෙලා..
දළදාව අපි වැන්ඳ පෙර දවසෙ තුරුලුවී
දුටුවාද ඉකිබින්ඳ හැටි නුවර පළුදුවී
ගැලුවාම නැතිවෙන්න මහවැලිය වියරුවී
හැකිවේද හිනැහෙන්න කඳුකරය දෙපලුවී..
සරසවි බිමට මහවැලියේ කඳුළු ගලා
විරසක වුනිද දිය ගැලුවේ දෙගොඩ තලා
වැනසුව තරම සැඩ රළුවේ වියරු වෙලා
ඉවසනු හැකිද සියුමැලියේ සුසුම් හෙලා..
උඩරට මැණිකෙ අප ආගිය සිහින කරා
හිටියෙම මතකෙ කිටි කිටියේ සුවඳ දරා
නැවතුම නැවත පණ ගන්වා දසත සරා
කවදද හනිකෙ යළි එන්නේ නුවර පුරා.
ගලේවෙල
කවිය බලන්න
යහන්ගල වියරුව
නිමිත්ත :
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණය නිසා මධ්‍යම පළාතේ පිහිටි යහන්ගල කන්ද නාය යාමෙන් ඒ අසළ වූ නෙළුම්මල ගම්මානයම යට වී එහි වැසියන් තිස් එක්දෙනෙකු මිය යාමේ ඛේදවාචකය.
රාවණා නිරිඳුනට යහන වූ යහන්ගල පා මුල
නෙක විසිතුරු හරිත පැහැ තුරු ගොමු බහුල විය
සරුසාර කෙත් බිම්වලින් හැඩ වුණු සොඳුරු ගම
සොබා දහමේ මැවූ සිත්තමක් විය නෙළුම්මල
ගමට අසිරිය ගෙනා මනරම් යහන්ගල
නකල්ස් කඳු වැටිය අතරින් සිනාසුණ
ගිරි ශිඛර වියරුව සැලී ගිය ඒ රාත්‍රිය
ගමම මිහිදන් කරන තරමට නපුරු විය
සිහින පොදි බැඳ නිදා උන් ඒ ගැබිනි මව
සිඟිති සුරතල් බලන්නට පෙර මවක ලෙස
කැඳවා ගත්තේ මරුගේ තුරුළට සිහින බිඳ
සොබා දහමම නඩුව අසමින් නොසිතූ ලෙස
සීත මඳනල ලොවට රහසේ චණ්ඩ විය
සොඳුරු වැස්සත් එයට මුසු වී නපුරු විය
දිනය නිම කර ගම්මු සුවසේ නිදන විට
පස් යට නිධන් උනේ හසලක නෙළුම්මල
සාන්ත මරියා සිද්ධස්ථානය
මහනුවර
කවිය බලන්න
කන්දේ මුලෙහි මළ ගෙදරකි අද මිතුර
මිලියන දහස් ගණනක් වස් පෙරක සිට
කනබොන නිදන ගැවසෙන මිය ඇදෙන විට
සැනසුන සොබා පරිසරයක සිටි අපට
කොඩිවින කලේ මිනිසයි එය විසුණු කොට
කපා දමා කුස පුරවන දළු අහර
දෙපා සතා ගිජිඳුට වූවෙද සතුර
නොපා සෙනෙහෙ අටවා විදුලිය පතර
අපා යටම යන ඔබ වළකනු කවර
දුකක් අපේ නොම හඳුනා ගත් ඔබට
මිසක් කාට කියනෙද ගිනි ඇති කුසට
දිවක් පිනන දළු කොල නැතිවෙන කලට
වසක් විසක් දෙනවද මියනෙට අපට?
කන්දේ වැඩුණු ගහ කොළ කප කප නිතර
බින්දේ සොබාවික ලන්දේ සවි සතර
රොන්දේ නාය ගොස් දිව ආ මඩ වතුර
කන්දේ මුලෙහි මළ ගෙදරකි අද මිතුර
නැත්තෙන් බිම ගමන හැටවිය වුව පිරුව
අත්තෙන් අත්ත පැන දුව සිටිමින් ගරුව
ලන්දෙන් ලන්ද අද නැත පෙර මෙන් සරුව
කැත්තෙන් කපා මිනිසා ඇයි වුනෙ මරුව
තුරුළු වෙවී හිඳිනට ඇය හා සුහද
නැඹුළු යුග දිවියෙ පැටවුන් ලැබ නොමඳ
කුරුළු කූඩුවක් තනවන්නේ කෙලෙද
වදුළු තුරු කපා වනසා ඇත නිබඳ
පිහිදා කඳුළු ගලනා නෙත් අග නිතර
පහදා දෙන්න හැකිවෙද අනතුර කවර
නැමදා කියමි දිනකදි වෙයි ලොව කතර
කවදා වේද පරිසර වැනසුම නතර
(කළින් පළවූ කවි පෙළකි)
කවිය බලන්න
2026 සුභ නව වසරට ආසිරි........
බිහිසුණු විපත් ලොවතුල යලි නොවේවා
උතුරන සතුට ජනහද තුල රැදේවා
රටකන එවුන් සිරිලක රජ නොවේවා
නව වසරෙහි සැමට සුව සෙත ගෙනේවා
හිරු සදු දයාවෙන් ලොව හැඩ කෙරේවා
පරිසර දූශනය ලොව ලොව දුරු කෙරේවා
සෝබා දහම වෙත නෙත සිත බැදේවා
දහමට ළැදිව මනු ගුණ ගති වැඩේවා
වැසිදිය ගලාපන් ගංවතුරක් නැතිව
සුළඟක් හමාපන් ගස් පෙරලන් නැතිව
කදු රැක තියාපන් ගල් පෙරලන් නැතිව
විසිහය ලබාපන් ලොවටම ලෙන්ගතු
කටයුතු කලත් පෙන්වා සිල්වත් ගුණය
දඩයම ජය ගැණුම නරියගෙ අරමුණය
එලෙසම අධිරදුන් හිර කරනා ඇනය
තේරුම් නොගතහොත් මවුබිම අවසනය
ගස්වැල් සතා සිව්පාවට දී සෙවන
ලෝ වැසි දනන්හට ගෙනදී රැකවරණ
අසරණ වූසැමට සලසා රැක වරණ
නව වස දිනේවා ලැබ තිසරණ සරණ
කවිය බලන්න
තව ඉතුරු හරි ටිකයි
තුමුළ කඳු ශිඛර වුව
නාය ගොස් බිඳ වැටෙයි
සුනිල දිය දහර ගැලු
කාල ආ කල සිඳෙයි
වියරු ගිනි දළු දවන
ශීත සුළඟට නිවෙයි
වැටෙන වැහි බිඳු වුවද
සැඩ පහර විය හැකියි
ඒ නිසා උගෙන ගමු
අපිට අපි විතරමයි
එකට ඉමු අපි සැවොම
තව ඉතුරු හරි ටිකයි
කවිය බලන්න
සිත නාය ගිහින්..........
මල් සැඟවීලා සුවඳත් දැන් නැත
නිල් අහසේ දේදුනු පායා නැත
සතුටින් සරණා සියොත්කැළ ද නැත
දිළෙනා පිණි බිඳු තණපත් අග නැත.
ගලනා ජලයක නිල්වන් බව නැත
හමනා සුළඟක පිවිතුරු බව නැත
ඇසෙනා වදනක මිහිරක් නම් නැත
පෙර විඳි සුවයක් යළි එන්නේ නැත.
සෙනෙහස දුන් ගෙදරත් සැඟ වී ඇත
මදහස පෑ දරුවන් වැළලී ඇත
වියළී නොමයන කඳුලක් නෙත ඇත
නොමැරුණු මතකය හිත තුල තව ඇත.
හෙට හිරු පායා දවස ගෙනෙද්දෙන්
මතක පොතක පිටු ඔහෙ ගැලවෙද්දෙන්
සිහින දකින සිත නිති ගල් වෙද්දෙන්
පෙරලුනු පොළොවට සිත යට වෙද්දෙන්.
කවිය බලන්න
වෙනස ......
තහනම් තැන්වල ගෙවල් හැදූ අයට
පගාව අරගෙන අනුමත කල අයට
සුනාමිය වගේම
සොබාදහම දීලා
සැරම සැර ටොක්කක්
පරම්පරාවටත් එක්කම ......
ජරාව කාලා මන්දිර හැදූ අයට
මහන්සි වෙලා වැඩ කළ අයගෙන් යැපීලා
පෙන්නාගෙන හිටි අයට
වෙනසක් නැතුව
බෙදලා හොදටෝම
කෙහෙල් ගෙඩියේත් නම ගැහුව
එෆ් බී එකට බඩු බෙදුව අයට
අළුත් කොල්ලො කෙල්ලෝ
කියා දුන්නා පාඩමක්
එෆ් බී තියෙන්නේ පුරාජේරුව
පෙන්නන්න නොවන බව
වට්ස්ඇප් ගෘප් හදලා
පහුවදා වැඩ තියෙද්දිත්
රෑ එළිවෙනකල් කෑම හදලා
මහ වැස්සෙ උන්ට තියෙන වාහනවල
ඒවා ඇද්දේම උන්
ආයේ ගන්නද මොනවත්
නමක් , නම්බුවක් , නිලයක්
කවිය බලන්න
සම්බුදු ගුණය සිහිකර පෝයට දුරුතු පුන්...........
සම්බුදු සමිඳු ගෞතම අපේ මුනිඳු
බුදුවී ලොව්තුරා අටමසකින් පසිඳු
උරුවෙල් දනව්වට වැඩි සමිඳු
දමනය කළේ ජටිලන් බුදුසමිඳු
සිදුහත් කුමරු ගිහිගෙය හැර යන මගට
හමුවුණු නිරිඳු එදවස සිටි මහ මගධ රට
බුදුවී පසුව වඩිනා ලෙස යලි සියරටට
බිම්බිසාර රජු කීවේ අපෙ බෝසත් හිමිට
ලැබුපසු බෝසතුන් පදවිය සම්මා සම්බුදු
වැඩියා මගධරට සිහිකර මුනිඳුන යලිඳු
දෙව්රම් වෙහෙර කරවා මහබිම් නරනිඳු
දුරුතු පොහෝදින පිදුවා සසුනට සම්බුදු
හෙලදිව එදා මහ උයනේ මහනාග
ඇවිලුණු අරගලය මහයක් හා නාග
මැවුණා ගෞතම සම්බුදු නෙත්යුග
වැඩියා සමිඳු මුල්වර මේරට අහස් ගඟ
අමෝරා සිටිද්දි යකුන් නෙක නෙක අවි
දමනය කරන්නට යෙදුවේ බුදු සමිඳු සවි
මහාමේඝ අකුණුද මහවැසි පෙලට මැවී
බියවුණු යකුන් දිව්වා ගිරිදිවයිනට නැවී
මහියංගනේ එදවස යක්සේනා දමනයට
වැඩිදා මෙත්සිතින් බුදුහිමි අපෙ හෙලදිවට
සුමනසමන් සුරිඳුන් වැඳ බුදු සමිඳුන්ට
ඉල්ලා ගත්තෙ කේශධාතුව මතු වඳින්නට
කවිය බලන්න
පෙමක මතක වත් පිදීම..
දුර ඈත දිවෙන මේඝ වලාවේ
නුඹ පමණක් ඇත තනියට ඇවිදින්
සිත් අහසේ නොමැකෙන ඒ රුව
කෙලසද නුඹ සිත්තම් කෙරුවේ
සිතක රහසින් සැඟව ගිය තැන්
දෑස අග රහසේම සඟවා
හමා යන සුළඟේ සීතලක්
සේලයක් වී හමා ඇවිදින්
නුඹේ සුවඳින් ගතම සනහා
කඳුයාය මත දුවන අන්දම්
මට කියන්නේ සැලෙන ගහකොළ
බලා ඉදිතැයි ලොවට රහසේ
ගිළිහිලා යන මතක අන්දම්
රැගෙන යන්නට පෙම් සුසානෙට
බිඳෙන් බිඳ එක්ව වැටෙමින්
නිසල බඳුනක් සෙමින් පුරවන
"යථාවාරී වහා පූරා පරිපූරෙන්තු සාගරන්"
23--12-2025.
කවිය බලන්න
නෙරූඩාට නොකී කවියක්
සීතල සඳ එළිය පරදන රන් කුඹු සිනිඳු
ලා දලු දෙතොල් පවසයි ප්‍රේමයෙ උපලු
බඹරුන් පෙර නොගිය පෙදෙසක මල් ගොමුදු
සිප සනසන්න අවසර දෙනු මැන සුමුදු
සිනිඳු සලුව ගිලිහෙන කල උර තලයෙන්
මල් පිය වැටුණු වැන්නයි හිම ගිරි ශිකයෙන්
නෙතගින් පෑව රහසක ඇති සැප බලයෙන්
සතිය දවයි උණුසුම් නුඹෙ මුව ගොබයෙන්
නිරුවත ඔබේ රන් සිතියමක් වැනි
මා නැවියෙකි සොයනා දේශයේ ඉඟි
අත්හැරි කලට ලෝකයේ සියලූම බැමී
නිරුවත තුළයි ඇත්තේ පෙමෙ නොකී ඉමී
නෙරූඩා පවසන ඒ කුසගින්න ඇති
රාවේ නුඹෙ සියුම්, මට සංගීත වැනි
ආත්මය නිරුවතින්; පෙම සයනේ වැතිරී
මා රළු දෑත ඔබෙ රන් සිතියම සිඹිති
කවිය බලන්න
පොත සහ ගැහැණිය
පොතටත්
ගැහැණියටත්
අහුවුණොත්
අහුවුණාමය
අතැති සොච්චම වුව
ඇපයට තියා
ගෙදර ගෙනියන්න ම
හිතෙනවා සිකුරුය
මෙදෙක සම නැත
විටෙක අසම ද නැත
පොත් කියවිය හැකිය
කියවා ඉවර කළ හැකිය
ගැහැණිය ද කියැවිය
හැකිය
කියවා ඉවර කළ නොහැකිය
ඇය කියවන්න ගත්තොත්
නතර කළ නොහැකිය
පොත රස කථා කියතත්
රස භාව කිති කවතත්
හිතූ සැණින් නැවතිය හැකිය
කැමති මොහොතක
යලි ඇරඹිය හැකිය
ගැහැණිය රස කථා
කර්ණ කටුක කථා
එකට අනා කියවන
අපූුරු ප්‍රාණියෙකි
ඇය කථාව පටන් ගතහොත්
කියන දෑ රස වුවත් කටුක
වුවත්
ඇය ම නවතන තුරු
බලා සිටීම හැර
වෙන විකල්පයක් නැත.
ඇය නැවතුනොත්
නිහඬ වීම සුදුසු ය
මන්ද එසේ වන්නේ
පෙර පිනකට ය
පැරැණි කල
මේ දෙකටම
මැණික් හා සමතැන
දී ඇත
ස්ත්‍රී රත්නං
පුත්ථක රත්නං කීවේ
එහෙයිනි
දෙක ම අනුන් අතට
ගියොත් ගියාම ය කියා ද
කියමනක් ඇත.
(පර හත්ථ ගථං ගථහ්)
පොත් නම් අරන් යන්නේ
බලා දෙන්නටය
ඉල්ලාගෙනය
ගැහැණිය අරන් යන්නේ
නොකියාමය
ගෙනැවිත් දුන් බවක් නම්
මොන පොතකවත් නැත
ආපසු ආ කථා නම් ඇත
ඒත් ඉඳහිට ය
ආවොත් භාර ගන්නවා ද
කියා නම්
හිතා බැලිය යුතුය
මනමේ කථාවේ නම්
එන්නට තැනක් නොවුණි
ගිය තැනින් ද එළවා තිබිණ
යන එන මං නැතිවුණා කියන්නේ ඒකටය
පොත් නම් එහෙම නැත
ගෙනාවත් ආවත් කමක් නැත
පාවිච්චි කර තිබුණත්
කමක් නැත
මන්ද කියන වචන
ගිහින් ආවා කියා
කථා අතන මෙතනින්
වෙනස් නැත.
එහෙම ම ය
මේ දෙකම ඇඳට ගත හැකිය
තුරුළු කරගෙන විඳිය
හැකිය
එකක් නිහඬව ම
විඳින්නට හැකිය
අනෙක නම් නිහඬ නැත
සම්භෝග සුවයත්
එපා වෙන කථා කියනු ඇත
එයට හිත හදා ගත යුතුය
නෑහුණා සේ සිටිය යුතුය
අර සොච්චම
ඇපයට තැබිය යුතු
දෙකින් කෝකට දැයි
පසුතැවිලි නොවෙන්නට
බොහෝ දේ ගළපා සිතා
කල්තියා
ඔබ ම තීරණ ය කළ යුතුය
පොතේ බොහෝ හොඳ දේ ඇතත්
ඔබ ගැහැණියට ඡන්දය
දුන්නොත්
මට නම් පුදුම නැත.
මන්ද
ලෝකයේ හැටි එහෙමය
26-09-25
කවිය බලන්න
රැකගන් පුතූනි
හිස පළදවා මව් පදවියෙ කිරුල මිණී
පියෙකුගෙ දෙනෙත් තුටු කඳූලින් නහවමිණී
පුන් පෝ දිනක උණුසුම් තුරුලට පැමිණී
මට පුන් සඳක් විය මගෙ සුන්දර දියණී
මගෙ සඳ සරසවා රන් මිණි මුතු. බරණින්
මොලකැටි වළා සුදු පැහැ පට සළු පිළියෙන්
දෑඟිලි පටලවා නහවා රන්. දියරින්
පතිනිය කර එවමි කුලගෙට සිත අදරින්
සඳටත් එළිය දෙන දිනිසුරු පහනක් වී
කළු වැහි වලා දුරලන මුදු. සුළඟක් වී
සැමදා රැඳෙන සඳ වට සඳ. මඬලක් වී
රැකගන් පුතුනි මගෙ සඳ නිල්. අහසක් වී
Photo Credit; Hector Reyes
කවිය බලන්න
හිමිදිරිය
සීත මිහිදුම් සළුව පෙරවූ හිමිදිරිය
අරවින්දයේ රැඳී බබළන පිනිකැටය
වියැකේ වැදී දුල් කිරණේ පහස
දිනිදා නැගී එයි ගිරි මුදුනින් උදය
සුපුල් කහ දාස් පෙතියා මලයි
පාවී ඇට්ටේරියා මල් සුවඳයි
සුදු සේල ඇඳ ගත් ඉද්ද ගසයි
තුෂර බිඳුවට රහස් කොඳුරයි
අරුණැල්ලේ ළපටි ගොයම් පැළ
නටයි තානමට වැදී සීත මඳ නල
දැක වක්කඩ දණ්ඩි පැටව් රැළ
වැදී තපසට මාන කොකුන් කැළ
නියර මත පලිඟු පිනි පලස දිග
සිඟිති පා ඔසවමින් අර හනික
පැංචන් දෝතින් පොත්මිටිය ගෙන
ඇල්මෙන් ඇදෙයි අකුරට උදෑසන
කවිය බලන්න
වල්ගා තරුවක් !
අහසෙ පෙරදිග අමුතු තරුවක්
දිස්නයෙන් පිරි වල්ගතරුවක්
සොයා යන්නට සාම කුමරෙක්
ලොවට ඉපදුන අළුත් නිරිඳෙක්
රජවරුන් නොව දුගී අපටත්
නැණවතුන් නොව මෝඩයන්ටත්
සාමයක් ලොව සියළු දනටත්
උදා වෙන්නට නොනිම් සතුටක්
කියා දෙන්නට අපිට සත්‍යක්
ලබා දෙන්නට නැවුම් දිවියක්
ආලෝකවත් සැබෑ එළියක්
ජේසුනේ මෙහි වඩිනු නැවතත්
ගවලෙනක හෝ පාරෙ අයිනෙත්
සුනු විසිනුවූ තැනෙක නොවෙතත්
යුධ වදින ලොව කුරිරු දුප්පත්
වලිග තරුවක් ඕනෙ නැවතත්
බලා හිඳිනෙමි පායනා තුරු
කියා දෙන මග සළකුණක්
සොයා යනු නිති සාමයක්
අහසෙ දිදුලන වල්ග තරුවක්
පාර කියනා එකම තරුවක්
සාමයට මග කියන තරුවක්
එකම තරුවක්
කවිය බලන්න
රස්තියාදුව
හතර වරං
රෝන්දෙ ගහල
ගෙට එනකොට
කේන්ති නොගිහින්
තියේවිද ?
රස්තියාදුවෙ ගියත්
කමක් නැහැ
හම්බවෙන දේවල්
මග දාලා එනවා නම් .
ඒ වුනාට ,
කදමලු පුරෝගෙන
උස්සන් ඇවිත්
අත හරිනකොට
අල්ලන් නැතුව
ඉන්නේ කොහොමද
ලස්සන රූප කෑලි ,
කොහාටවත් නැති
සිංදු පේලි ,
පුසුබයි කියන
මල් රේණු ,
අමුර්ත රසයත් ,
ගත පුරා සනීපයට වදින
සුලන් රැලි
කිසිම හරයක් නෑයි කියල
හිතා ගන්න තරම්
උබ මෝරල
නැහැ තවම .
ඒත් ,
තේරේවි දවසක
නවත්ත ගන්න
ඔය රස්තියාදුව
නෙවෙයි ,
ඒකත් එක්ක ගෙට ගන්න දේවල්
හිතේවි එදාට
මේ හැම දෙයක්ම
එහෙමම ඉන්නේ
නැහැ කියලා
කවිය බලන්න
බක තපස්...!
කප කෝටියකටත් වැඩියෙන් සසරෙ පුරා...
ඉපදී මැරි මැරී යළි එම
පවම කරා...
අපමණ චරිත ලෙස රැඟුවත් දුකම දරා...
සැපයක් නාවෙ කිම දෙවියනි මහද කරා...
මිනිසත් බව ලබා සිටියදි
දිවිය පුරා...
මනසත් රැක ගන්න බැරි විය අවිම දරා...
වන සත්තුනට සිදුවෙද පව් ගොදුරු මරා...
අනෙ සත්තකට ගැලවුම එයිද අප කරා...
හදනෙමි ගැලවෙන්ට සුදු සිල් රෙදිද දරා...
පුදනෙමි දානෙ, සිතමින් පින්, මසුද මරා...
ඉඳිනෙමි ගොදුර එනකම් දැන් මෙමා කරා...
නොදනෙමි වැටෙද මළ පසු යලි වලට නරා...
කවිය බලන්න
සිංදු වර්ෂයක්. FOR SAKE OF HIS NAME
මහගම සේකර .. ඒ මහා කවියා
මියගොසින් අඩ සියවසක් ගෙවිලා
(1976 - 2026)
#############################
තිලොවට දීපායමාන..
සත් පියුමක කළ උදාන..
සීහ නාදයෙන් බැබළුණි..
බුද්ධ වර්ෂයක්.
දේව පුත්‍රයා උපන්න..
සීත නත්තලේ කතාව..
දුන්නානම් අපට ලොවට.
ක්‍රිස්තු වර්ෂක්.
*******************************
අවුරුදු කුමරිය කියන්න..
ලෝක සම්මතෙට කළාට.
ජනවාරියෙ පළමුදාට..
එයිද වර්ෂයක්.
අලුතින් ගී පද බඳින්න..
අප ඇරඹිය යුතුයි නේද..
ඔබ ලොව හැර ගිය දවසෙන්.
පද්‍ය වර්ෂයක්.
***********************************
දුරුත්තෙ වෙන් වෙල ගියාට..
""සේකර " යනු සඳ නිසාම..
චන්ද්‍ර වර්ෂයට දුන්නත්..
අලුත් අර්තයක්.
පන්හිඳ ඔබගෙන් ඇඳින්න..
කුණු කඳු දෑතින් බඳාන..
හිටියත් මට ඔබ වෙනු බෑ.
ගියත් කල්පයක්.
***********************************
ආවොත් මම කවි ලියන්න...
"ප්‍රබුද්ධ" "බෝඩිම" හොයාන..
තාමත් මම ලියපු නිසා..
ඔබෙන් ස්වල්පයක්.
බැරිවෙයි නොමියෙමි කියන්න..
කොහොමත් එමි ඔබ දකින්න..
ජීවිතයේ තව ඉතිරියි
කීප වර්ෂයක්.
*********************************
බෑ මුත් මට ගී ලියන්න..
ඔබ කිවු මාවත සමාන...
කිවිඳුනි මට නොබනිනු මැන.
කියා වල්ගයක්.
සෙනෙහස් ගඟුලක් ගලාන..
එනතුරු ඉන්නව බලාන..
අඩ සිය වස සමරන කොට.
සිංඳු වර්ෂයක්..
කවිය බලන්න
සසරක බර ඈ ලය යට
රිදී ඉරක් තෝර තෝර
හැම මහ වැස්සක
අතොර නැතුව ඇති නොවේද
දෙඋරට ඇති බර
සසර දොරින් පැන ආයෙත්
ගෙතුළට එබිකම
අම්මලාට හුඟක්ම වැඩි
ලය බර දරු ගැන
Photo Credit; Jalil Saeidi
කවිය බලන්න
සඳ-ලිය
උන්මාද බසින් තෙපළන සිතැඟිය
විසල් දෙනයන ගෙනෙනා විමතිය
අරුණට කෙමෙන් පා තබනා දිගැසිය
මට පෙර දිවයුරු දකිනා සඳලිය……..
කවිය බලන්න
Gonna miss you
In the silence of the night
I hear your voice
A gentle whisper
Guiding me rise
I remember the wisdom
You once shared
In moments of darkness
How deeply you cared
I am sorry for the words
Left unspoken
In my heart there's a token
Of the promise I had chosen
Gonna miss you
This ain't goodbye
In my soul you will remain
The guiding star leading me ashore
ඉ
20/12/25
කවිය බලන්න
ආදරය මුලාවක්ද?
ආදරය මුලාවක්ද?
කියනවා වගේ ම
මර උගුලක්ද?
පැවැත්මට ම පමණක්ද?
හැම දේම වගේ
ඇත්තටම අනිත්‍යයද?
එතකොට ඒ ඔක්කොම
බොරුද?
රෝමියෝ ජුලියට්
සාලිය මාලා
සිදුහත් බිම්බා
ඔක්කොම බොරුද?
ලැබුණාම නැද්දෝ
කිසිම රසයක්
විරහව විතරදෝ
මවන්නේ රස
පල දැරු පෙමට
නැති දෝ ලියවුණේ කව් ගී
වෙනස් වෙන එකෙත්
නැද්ද අමුතුම රසක්
අලුත් වෙන අමුතුම මිහිරක්
එකක් කියන්නද
මං කිව්වට
කරලා බලන්න
ආදරේ කරන්න
ඇබිත්තක් නෙමේ
පිරිලා ඉතිරෙන්න
පැලෙන්නම
කාව හරි ඇබ්බැහි කර ගන්න
වතුරට වගේ
හුස්මට වගේ
කාට හරි ඇබ්බැහි වෙන්න
වතුර වගේ
හුස්ම වගේ
අත ඇරලා බලා ඉන්න
අත ඇරියත් නොයන බව
දැනෙන කොට
අනිත්‍යම වුණත් මොකද?
ඉ
26/01/25
කවිය බලන්න
සසල පෙණ පිඩක්…
එකතු වූ බුබුළු පෙණ
සැදේ පෙණ පිඩක් ලෙස
පෙණ පිඩේ සොබාවය
දනී සියලු දෙන එලෙසට
තබා ගන්නට බුබුළු පෙණ
වෙනස් නොවී තිබෙන ලෙස
නොහැකි වේ කිසි විට
එය එසේ එයම වේ
හුස්ම නැගෙනා විට
පිම්බෙන රුපය ඔබ සතු
හුස්ම පිටවනවිට
නැවත හැකිලෙයි රුපය ඔබ සතු
ක්‍රියාවලියක් තුළ වෙනස්වන
රුපය වෙනස්වේ පෙණ පිඩක් ලෙස
රූපයත් අප සතු
සියලු දේ ඇති අවට
වැනිය පෙණ පිඩක් ලෙස
වෙනස්වන නිරන්තර
නියත නොවූ සොබාවය මෙවන්
වටහා ගන්නා නුවණීන්
පවත්වාගන්නට දිවිය සරලව
ඇති කරයි පුරුදු නිරතුරු ….
කවිය බලන්න
සමනල සඳෙස -32
දත යුතු කරුණු ගොමුව - 26
රජු නෑ දොළ-32
524. තව ලියකගේ හැඩ රුව දැක බලනු රිසින්
නව රස සොයා යන නුඹ පෙරදැරි ව හිසින්
“කව කාමිනිය” දස රස මතු කරන බසින්
දිව ගා කියනු මැන “රජු නෑ දොළ” ද රසින්
525. අලුපොල ඇල්ල දැක සමනල මිතුර මගේ
තලු මර - මරා පද කවිකොට කියපු අගේ
කුලු මේඝයෙන් වියරු ව හඩ-හඩා මැගේ
මුලු රැය කැට කදුළු සැලුවයි සිරුර දිගේ
526. පැරකුම්බා දවස සිට මැගෙ ඉතිහා සේ
වැර බැන්දා දොළක අසරිය ගත්තා සේ
සැර හන්දා අසල කෙත්-වතුපිටි සිර සේ
බැර කැන්දා පලින් බර වී නිති සැර සේ
527. කදුවැටිවලින් ගහණයි මිණිපුරයෙ මෙකී
රැදුණෙන් දිය පහර පහළට ගලා සකී
පදුරෙන්-පදුර තෙත්කොට එක්වෙලා එකී
සැදුණයි “රජුන් නෑ දොළ” අද කවුරු දනී
528. සමනල බලනු දෙපසින් ඇති ඉවුරු බිමේ
කළබල නැති ව වන මල් අගනුන්ගෙ පෙමේ
නළ රළ තරග වැද පිරිමැදි ඇයගෙ නැබේ
මද මල කිති කවයි පොපියා පියලි ඉබේ
529. ගැට-වර නෙත ඇදෙයි “රජනා දොළට” හියෙන්
කැට-කර වතුර මල විහිදන කලට සැරෙන්
පැට-කිර ඇගේ වණනට තව රසට කවෙන්
වැට-තිර දුහුල ගලවා පද පෙරට ගෙනෙන්
530. වටකොට බැදිය හැකිමුත් වැට රට ම පුරා
කටවට නොහැක එලෙසින් වැට බදිනු අරා
ඇට නැති දිවට හැක නැමි-නැමි කරනු ගරා
වැට නැති කටේ හඩ ගොලු කළ හැකි ද යුරා
531. යම් - යම් කලට එක් වන දෑ දිවිය මගේ
කල්-යල් පැන ගිය ද දිවියට හරි ම අගේ
ගම්-බිම්වලට පෙම් බැදිවුන් කියනු වගේ
වල්-පල් නොකිය ගුණ සුවද ම සොයනු ඇගේ
(මතු සම්බන්ධයි.)
Photo Credit; AARN GIRI
2026.01.01
කවිය බලන්න
ඊයේ අද සහ හෙට.
හැරයාම.
කදු මැදින් හිරු බසින හැන්දැව සුන්දරයි
හිරු මැකී යන දිහා බලා ගෙන හිත දොඩයි
කඳු වැටියේ තැනින් තැන හැන්දැව අඳුරු වෙයි
හිරු බසින පොළවමත සෙවනැළිද මැකීයයි.
සමුගන්න ඉඩ නොදී තවත් මඟ බලාගෙන
අඳුර දිග සිතුවිලිද හැංගුනා නොදැනිම
නිමක් නැති සිතිජයද මැකීයන හැන්දැව
අකාසේ වැසීයන අඳුරවිත් අප ළගම.
අප අවට ඇති දේම අපව හැර යන ලොවක
සිතුවිලි ද මතුවෙලා යළිත් එය නැතිවීම
සිත සතුටු වනදේම දුක් කදුළු මතුවීම
නොකියාම නොදැනිම හැරයනවා හැම දේම.
Photo Credit; Navi
කවිය බලන්න
සොයුරු සෙනෙහස
කැණිමඬල බිඳී සෙවිලි නැති ගෙයි.
දිවා රෑ කල නොම හැඟේ
දැනෙන හද ගිනි අහස තරමට.
වළා වී පාවෙනු වගේ .
දෙගුරුනැති ලොව බැඳී සොයුරු පෙම
සක්වලින් එතෙරට ඇදේ
එලද උණුසුම අහිමි වෙද්දි
තටු සිඳුණු සමනල් වගේ.
අපේ ලොව හිරු සඳුද අප වී
හැදුණු සෙනෙහස් කැදැල්ලේ
යළි නොඑන සේ ඉගිලයද්දී
සසරෙ පැතු නිමි වළල්ලේ.
දිවි සැඳෑ කල ලැබු වත් සුව
අපට හිමි දිවි නිදැල්ලේ
තාම සුව දෙයි බාලවියෙ විඳී
සොයුරු සෙනෙහස් කැදැල්ලේ
Photo Credit; Annie Spratt
කවිය බලන්න
චූටි දූගෙ විභාගෙ ඉවරයි
කෘදන්ත තද්දිත සමාස දෙගොඩ තලා ගලා යනවා.
ඉස්පිලි පාපිලි ඇලපිළි නින්ද නැතුව හති අරිනව......
කොමිබු ගොඩේ නණලළ ඇහිපිල්ලන් පිඹ හූල්ලනව.
යන්තං 'මව් බස 'ඉවරයි අද නං මට නින්ද. යනව.
ඔන්න බබෝ ඇතින්නියා ගලිං ගලට පනින්නෙපා. !
පින්න කැලේ රෝස පැටව් හෙමිහිට හංගන්න එපා..
ඉන්නා දිහාවක තනිකම් දෝස මොකුත් වෙන්න එපා
අම්මා නැති කලට ඉතිං බඩගිනි නං වෙන්ට එපා...
'වස්සානේ' කවි මිහිරෙන් පුන්චි හිතේ මල් පිපුනා. ..
අස්සැන්නක් නෙලාගන්ට
කල්පයක් ම පෙරුම් පිරුනා..
උස්සාගෙන බර කන්දක් දෙගොඩහරියෙ මං ඇහැරුනා...
ගස්සා ගෙන යන්න ගිහිං පැතුම් පොකුරු බිම ඉහිරුනා .
ආයෙත් නං බෑ අම්මේ කරන්ට මේ හැටි විබාග
කට පාඩම් කරත් බැහැ නෙ
උත්තර ඉරි තිත් විබාග
තෝරන්නට සමාන පද අවුල් ගොඩක් මැද විබාග.....
'මව් බස' මේ හැටි අමාරු ඇයි
ඇත්තට බොරු විබාග..??
හා හා හරි හාවා..කැලේ මැදින් ආවා...
කවි කිය.කිය දීවා පුන්චි කාලෙ ඒවා..
දැන්නං ඛැහැ මේවා 'සිලබර්ස් 'එකටයි කීවා
,පෙන්නාගෙන හිනා කටක් ගුරු මව්වරු ලීවා.
ඉරේ ඉතින් නිදියෙනවද අහස් ගැබේ රතු පාටින්..
තරුවක් වී එන්න හිතයි
පාට කූරු දෑතෙ තියන්
හද කළුවර බින්දු දිගේ අහසට පාලමක් අරන්
සින්ඩරෙලා වක් වී මට,ඉන්න බැරිද හැන්ගි හොරෙන්
2025.06.18
කවිය බලන්න
නෙතඟ තෙත් කළ අදුරු රාත්‍රිය
නෙතඟ තෙත් කළ අදුරු රාත්‍රිය
සඳට නොකියා හිටිය දුක ගැන
රිදුණු හිත ගැන තතු සඟව ගෙන
ඉරට කීවා පායා එන්නට
විසඳ ගනු බැරි එකම පැනයක
තුන් කොණක් ඇත එකම විදියක
කාගේවත් පිට වරද පටවන
කතා දහසක් මැවෙන්නට ඇත
එකම අහසක වැතිර සැනහෙන
තාරකා ගැන අපි දන්නවද
අහලා බලලා දුක හිතෙන තැන
කඩා වැටෙනා තරුවකට ඉඩ
හදා දෙන්නට විඳින දුක ගැන
දියත කවදා පහදා දේවිද
Photo Credit; Guilherme Stecanella
කවිය බලන්න
නුඹේ මතක!!
රැයේ සිසිල ගෙන එයි නුඹේ මතක,
හදේ පවන් ගී මුමුනයි පෙම් මතක.
සඳේ ආලෝකේ මට කොදුරයි නුඹේ මතක,
නිවන් සැරයක් වගේ සිත සනසයි ඒ මතක.
හැදුවත් අමතක කරනට ඒ මතක
සිහියට නැගෙයි නිරතුරු සොදුරුම මතක
හිත ඇවුලුවත් අමිහිරි වු ඒ මතක
නොහැකිය බදිනට වැටකොට ඒ මතක
කැමති විටක ඇවිත් යන්න ඒ මතක
මම නැහැ තවත් වද වෙන්නේ ඒ මතක
නැවතීමට ඉඩ කඩ නම් නැහැ ඒ මතක
කවදා කෙලෙස නිමවේවිද ඒ මතක.
කවිය බලන්න
කඳුවැටිය
උසට උසයි
හරි පුදුමයි
පපුව කෙළින්
බඩ මහතයි
තුරු වදුලයි
ගල් ශිකරයි
දිය ගඟුලයි
නුඹ අසලයි
සිසිල රඳයි
කුරුලු හඬයි
සුළඟ සැරයි
නුඹ නිසලයි
ඇද වැටුණොත්
අප ඉවරයි
ඔබ රැකුණොත්
පල ඉහලයි
( " රුවිතෙට ගිය කරත්තය "-කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගැනීමකි.)
=====
කවිය බලන්න
මහ පැරකුම් රජ
අහසින් බිම වැටෙනා දිය බිඳුවත් ගෙන රඳවා
මහ වැව් බැද අපතේ එය යන මං වට කෙරුවා
සරු කෙත්වතු සකසන්නට. වෙර වීරිය යෙදුවා
පැරකුම් මහ නිරිඳුන් කල ඉසුරින් රට නැගුවා
ඇළවල් දිය ගෙනෙමින් කෙත සොයමින් දුර ඇදෙනා
මිහිමව් හට පොවමින් මය ගොවියන් සරු කරනා
සසරැල් සිරි මවමින් නෙක රැඟුමන් ලෙස රඟනා
සැදෙමින් එම ගොයමත් සිත සතුටින් අත වනනා
සහලින් බත සකසන්නට මෙතරම් වැඩ කරවූ
පැරකුම් රජ සිරිලක් බිම ඉහළින් නම රැඳවූ
ඉතිහාසය තුල රන් මය යුගයක් ලෙස ලියවූ
දැහැමින් පිරි දනසිත් දිනු උතුමක් විය බිහිවූ
කවිය බලන්න
ඇය ලියූ එකම කව - Maithri Panagoda
දශක හයකට එපිට
ළද බොළඳ යව්වනේ
ඔබේ කවි ගී අතර
ගැවසුනා - තනිවුනා
ළංවෙන්න වරම් නැති
නිල් දියර විල් තෙරක
පිපී දිදුළන ඔබට
පෙම් කළා නොකියාම
හුදෙකලා සිහින මැද
මා ඉවත බැලු සැනින්
අදිසි සුකොමළ අතක්
ඔබ නෙළා - ගෙනගියා
මීදුමක අඩ අඳුරු
හැඟුම් අසරණ වුනා
මා හැඬූ කඳුළු බිඳු
කාලයේ වියැළුණා
ගමන් මග දිවි පෙතේ
අවසාන අදියරේ
එදා සැඟවූ හැඟුම
කොනිත්තයි මගේ හද
ඔබේ කවියක
කෙටිම පදයක
අකුරු ළකුණක්
වුනත් ඇති මට
කිවිඳුනේ
කවිය බලන්න
රියසක කැරකුණා ජීවන ගමන් මගේ ......
පරණ යකඩ අරගෙන බේසන් දෙනවා
හොරණ ඉඳන් ගම්මැද්දට ළං වෙනවා
හැරුණ විටදි වට වංගුව නවතිනවා
තරුණ ලියක් කටකොණකින් හිනැහෙනවා
බෝතල වගෙම මුල්ලක ගොඩකි පත්තර
සීතල වුනයි ඈ ගැන අසා විස් තර
වාතල ගිනි උණුවුනත් මද්දහනෙ ඔපකර
ඊතල එවයි ලොරියෙන් බසී මල්සර
පටු මාවතේ ටකරං ගෙයකි සුන්දර
කටු නායකින් ඈ හට ලැබුණි අන්දර
ඉටු නොවු පැතුම් දුන්නෙම හිතට ගින්දර
ඉටු දෙවි කියයි නෑසු අලුත් මන්තර
නිලුපුල් නෙතකි නා දල්ලකි ලවන් යුග
වියවුල් මැකී හස ගගුලක් ගලන රඟ
මනලොල් කුමරු ලොරි බට්ටා රියට නැග
සිහිලැල් හිතින් පිම්මේ එයි ගමන දිග
ඉවත දමන දේ පටවං ගෙදර දොරේ
නැවත කැරකිලා ඔහු එයි සිහින පුරේ
දියත සුවඳ නිල් මානෙල් වලින් පෙරේ
පුවත ඉසුරුමුණි රන්මසු පෙමට හැරේ
දවස ගෙවා වේගෙන් වටයක් දාලා
සවස හෙමින් හදපානේ එන ලීලා
පවස නිවන හසරැලි ඉදිකඩ පාලා
රහස කියයි ඈ කුමටද රන් දෝලා
රියසක කැරකුණා ජීවන ගමන් මගේ
දියදම පරිදි පිපුණා මල් මිදුල දිගේ
ගිය මඟ සුවඳ වී සිහිලැල් සුළඟ වගේ
පියවර නැවතුණා ලොරියකි නිවසෙ ඇගේ
Photo Credit; Daniele La Rosa Messina
කවිය බලන්න
හේමන්තයක.....
විසිතුරු රඹ පාටින්, ගස් කොළන් පාට ගාලා
අතු ඉති සොලවන්නයි, මේ සුළං රැල් හමන්නේ
කෙටි දවසකි මේකත්, ආකහෙත් පාළු පාටයි
හිරු අවරට යාවී, බෝ දුකින් නෙත් පියෙද්දී
ඇඳගෙන සුදු සාරී, සාමදානෙන් ලිලී මල්
නිසලව අරඹන්නේ, භාවනාවක් වගේමයි
පිනි බිඳු ඇවිදිල්ලා, සීතලෙන් හාදු දීලා
සිත කලබල වූවොත්, නම් දුකයි කාට කාටත්
අළුයම පුබුදාගත්, රන් පියාපත් සලා විත්
දොර දොර නැවතීලා, ආදරේ යයි කියාලා
නිදිබර නෙත් පෑදූ, ඒ කුඩා පෙම් කුරුල්ලෝ
නොගයන හැටි ගීයක්, ගායනාවක් කොහේවත්
පසුගිය ගිම්හානේ, සන්තොසින් උන්නු මේපල්
කොළ අතු වියළී ගොස්, සෝ සුසුම් පා කරද්දී
හිරිගඩු පිපෙනා මේ, සීතලේ රැස් නිවාලා
උණුසුම ගෙන ඩිංගක්, එන්නකෝ ඉක්මනින් දැන්
(මාලිනී විරිතෙන්)
කවිය බලන්න
දේවී
නුඹ වෙමින් මන්ද්‍රි උරෙනුර ගැටී
රස ඵල සොයන්නට
දෙමඟ ගොස් අපි සෙවූවේම කාසී
දිවි බර දැනී සිත වෙහෙස වී
උර තල සුවයකට
කෝ දැන් ඉඩක් දේවී
අපි ලියූ පෙම්පත් අතර ගැවසුන
සැදෑ වෙරළත මුදු පවන් රැළි
ගෙනගොසින් උඩු හුළඟ හා මුහු වී
විදුලි පෙති දුන් බොල් සුළඟ විඳ
ඉතිං දැන් මේ ගමන යමු අපි
නතර වෙන්නට ප්‍රමාදයි දේවී
හිම ගිරිවතේ අප හා වෙලී
තරණය කරන්නට ආ අත් බැඳී
සමනල පැටව්, තටු තවම නෑ සවිවී
ජූජක හිඳී මඟ දිග රැඳී
දන් දෙනු නොහී
දෑසේ තබා උන් රැකගනිමු දේවී
හුරු ලෙසේ සංසාර ගමනේ
එක්ව පියවර තබා ආ
නුඹ නොවෙන් කෙළෙසක ඒ නකුල මෑණී
ජීවිතේ මහ ගිරිදඹේ නැඟ
මේ ඔලොගු පැස හැර ගිමන් හරිනට
එක්ව මළුවට පිය නඟිමු දේවී
කවිය බලන්න
ඇරයුම....
ආමන්ත්‍රණය කෙසේ
විය යුතුදැයි අවිනිශ්චිත බැවින්
කරදාසි බොහොමයක්
අපතේ ගිය පසුවය
මම මටම කියා ගත්තේ
එය ඔබට එතරම්ම
වැදගත් නොවන වග
ඇරයුමකි මේ
මංගල සාදයකට
මඟුල් බෙර නොවැයෙන
සක් හඬක් නොනැගෙන
පෝරුවක් නොතැනෙන
පිය පාර්ශවයේ නෑයින් නොපැමිණෙන
කුඩා ලිලී මල් කළඹක්
සුදෝ සුදු දිගු සැටින් ගවොමක්
නිදහසේ මුදා හරිනු ඇත
කැරලි කෙස් වැටියත්
එයයි කැමැත්ත දෙන්නගෙම
මට විය නොහැක මැදිහත්
පරම්පරා කුල ගොත්
වත්පොහොසත්කම්
විපරම් නොකල හන්දා
ඔහු වෙලා බැහැපත්
කාරණය එයයි කිව්වා
කැමති වෙන්න දූ නම්
ඒ පුතා ගැන අනාවැකි
කියන්නට නොතේරේ මට නම්
කොයි පිරිමියත් එකයි
එහෙමත් හිතුනා කාලයක්
මගේ දූට වරදින එකක් නෑ
මං වගේ නෙවෙයි ඈ කොහොමත්
තව දුරට ලියන එක
තේරුමක් නැති කාරණාවක්
ලබන මාසේ විසි දෙක
ඔයාගෙයි මගෙයි දුව
ඉගිලෙනවා කැදැල්ලෙන්
රෙජිස්ටාර් කාර්යාලයට
එනවා නම් ලිපිනය ලියා ඇති
මේ ලියුමෙම අග හරියෙන්.....
මීට සදා නොවෙනස්
ආදරිය මම වෙම්.....
කවිය බලන්න
පරහට පිහිට වෙමු පින පමණක්ම සිතා
කළමුත් උදව් සැම දෙනටම නිති වෙහෙසී
නැත මා දෙඩුවෙ ඒ ගැන කිසි බස් වහසී
අද කිසි කෙනෙක් නැත මා වෙත සිටි ගැවසී
එනමුත් මම සිටිමි සිත සතුටින් සැනසී
ඇතැමුන් ළං වෙන්නෙ ලැබ ගන්නයි වාසී
යහමින් ලදොත් කඹුරයි විලසින් දාසී
කෝපෙන් අතැර යයි නොම ලදහොත් කාසී
එලෙසයි විදිය හැසිරෙන මිනිසුන් රාසී
ඔබ කැමතිනම් කරනට පර උපකාර
එය කළ යුතුයි පුරවා සිත මෙත සාර
නොකැමති විය යුතුයි යළි ප්‍රති උපකාර
සිත තුළ පුරවගමු සිතුවිලි සරුසාර
මිනිසුන් දුක් විඳිති ඇඳ නෙක රෙදි වැරලී
ඉන් මුදවන්න වෙහෙසෙන අය නම් විරලී
වගකිව යුත්තො බුදියති කා බී පෙරලී
අපිවත් වෙර දරමු ගසමින් හෝ කැරලී
වසනා බොහෝ රටවැසියන් විඳින දුක
නවතා දමන්නට හැකිනම් එකින් එක
පින හැර නොසිතමින් කිසිවක් වෙනින් එක
අපි සැම කරමු වෙර වීරිය සිතින් එක
2025 . 11 . 27
කවිය බලන්න
ගිම්හානයක් අවසන......
ගිම්හානයක් අවසන
හැලූ පසුවත් වියැකි තුරු පත්
සීතලේ ගැහී ගැහී
ඉපල් වුනු තුරු හිස්
හැමදාම මග බලනවා
එබෙන තුරු හිරු රැස්...
උණුහුමක සේයාව
දැනුන විට පවා
ජීවයෙන් ගැහෙනවා
පුංචි තණ පත්.
අවදි කරමින්
තදින් බදාගෙන හිටි පස්
කුඩාම කෙඳි මුල් පවා
විහිදුවා පොඩි හිස්
දිගෑදී විහිදෙන්න ආසයි
තම අත්.
නිරුවතින් ඇකිලුනු ගස්
වසන්තයේ දවසක
නීල සළු පිලි හැඳ
අනග රැඟුමන් රඟයි
දුරු කරමින් සියලු වස් දොස්.
තනිවුණු ඉපල් ගහකට
කොයිතරම් දැනෙනවා ඇතිද
තනිකමක් හිස්..
නොමැති විට
අඩුම තරමින්
සඳ කිරණ වත්.
පැතූ සෙනෙහස
ලැබුනත් නොලැබුනත්
මගබලන් ඉඳීමෙන්
වෙහෙසට නම් පත් නොවේ
ආදරණීය හිත්!!
Photo Credit; Jan-Willem van Braak
කවිය බලන්න
පනපොදක අරුත වටහමු
සසර කතරක ඉපිද එකලෙස
ගෙවන දිවියම පිරෙන්න
එකතු කරගෙන රැගෙන යන්නට
තිබුනෙ කිමදැයි බලන්න
දුකද සැපතද කොතෙක් විඳගෙන
හෙව්වෙ මොනවද පෙනෙන්න
හැරිල පොඩියක් බලන් ඉඳිමුද
දිවියෙ ඇවතුම් දකින්න
හීනියට හිත ඇතුලෙ හඬනා
දුකක කඳුලැලි දකින්න
ඉසිඹුවක් හෙම තිබුන මතකද
හිතට ඒබව දැනෙන්න
දිනුම් කනුවෙත දුවන මිනිසුන්
පහුකරල , මම දිනන්න
දිනල බැලුවම ලැබුන දෙයතුළ
තියෙද , ජීවය පිරෙන්න
ලසෝ දුක්ගිණි දස දහස්මැද
හෙලන කඳුලක් පිහින්න
හිතක් සනහන සුහද සිතිවිලි
මුවඟ ඇඳුනද කියන්න
දෝත පානට බැරිව ලතවෙන
නිහඬ ඇරයුම් දකින්න
පාටවීදුරු වැටබිඳන් යලි
හිතමු පොලොවට බහින්න
සොයසොයා ගිය ඉසුරු කඳුවල
හිතක් සනහා නිවන්න
සොඳුරු සිතිවිලි වලින් පිරෙමින්
සවිය ලැබුනද කියන්න
ජීවිතය යනු තරඟයක් නොව ,
නිවී සැනහී දිනන්න
මහා පිංකම් පෙලහරක් නොවැ
සසර කතරින් මිදෙන්න
ගුණදහම් ගරුකරන හිත්වල
රැඳෙන සොම්නස විඳින්න
කොයින් ලැබුනද කවුරු දුන්නද
හීනෙටත් බැහැ හිතන්න
පිරුණු සතුටෙක වාසනාවේ
දොරකවුළු හැම ඇරෙන්න
හිතක බෝසත් පැතුම් පුරවමු
වාසනාබල පිරෙන්න,,
Photo Credit; Mohamed Nohassi
කවිය බලන්න
බලාපොරොත්තු
වසරක් ගෙවී යයි වේගෙන් අසුරු සැන
තව එක් දිනක් ඇමිණෙයි නව වසරකින
දරුවෙක් උදව් වෙනතුරු සිප් සතර දැන
අම්මෙක් පිලක වෙයි පෙර මග බලාගෙන
නත්තල සීතලට කොළ හැලෙනා රිකිලී
අත් හළ පැතුම් මැද ඇත ගුළි වී හැකිළී
ගහ තුළ අනාගතයක සුබ මල් පියලී
සරු පල දරන්නට පැතුමක් වෙයි නොසැලී
සේකර ඉඳන් අද වෙනතුරු කවියන්නේ
පෑනෙන් විමුක්තිය හොයමින් රඟදුන්නේ
ඒ කවි පැතුම් රජගෙදරත් දැන් ඉන්නේ
මේ රට අද හෙටම සුරපුරයක් වෙන්නේ
කවිය බලන්න
දගරිගෙ සහ මදුරිගෙ පෙමට මැදිව
වට දැවි දැවි අලුවි අලුයම නතර
කොට බව දිටිමි දිවි මඟ තව නෑ ඉතිර
කට නැති මදුරු දගරිය ඇද ලග වැතිර
මට සිහි කලා දම් සක් පැවතුම් සුතුර
ඇසුරුම් පෙට්ටියේ කොටුවූ සිරකාර
කලවම් නිවුන් සොයුරියෝ සම හැඩකාර
කැටයම් කැපූ උල ලමැදේ සරුසාර
සිතුවම් වැස්ම නින්ජා කඩු අත නෑර
උලේ හිදුවලා ගිනි කූරක් සොයපු
බොලේ උල් කටුව එක ගෙදරක වසපු
මෙලෝ හැඩක් නෑ අලු පමනක් හලපු
විලෝ පෙල මතක සරසවියෙදි දැකපු
පොලිතින් සලුව පොරවා එක මිටට ගුලි
රැයකින් මිය ගිහින් වටදාගෙයකි සුලි
එතකින් නිමයි දීගය හමු නොවන යලි
මිලකින් ලැබූ පෙමකට තව කුමට සැලී
උතුරා ගැලූ පොල්කටු පොකුනෙන් නෑව
කොදුරා මියුරු ගී දෙසවන් ලග කීව
මදුරා නංගි රහසින් මගෙ ලේ බීව
උදුරා ඇගේ පෙම දගරිය මා ගාව
ඩෙංගු මැලේරිය උණ හැදුනත් නපුරු
රන්ඩු උනත් මදුරිගෙ පෙම වේ සොදුරු
වන්ඩු කන්ඩවත් තඹයක් නෑ ඉතුරු
ඔන්ඩු දගරියත් අහවර අලු ඉතුරු
රුදුරු දගරි දීගය අහවර දාට
මදුරු පෙම යලිත් මට ලන්වෙන පාට
අදුරු කුටියෙ මදුරිය නොපෙනෙයි රෑට
මියුරු ගීත මට පමනයි වෙන කාට
ගිනි පෙට්ටියෙන් මැටි පහනක් දල්වාන
පැනි නැති මල් රේණු තැන තැන ඔරවාන
සනි අපලය ඇවිත් පිල ලග ඇනබාන
පිනි පොද හැලේ තවමත් මම නිදියාන
කවිය බලන්න
මම ඔබට පෙම් කළෙමි.
මේ මොහොතේද
ඉඳුරා පැවසිය හැකිය
මා ඔබට පෙම් කළ බව.
නිවී ගිය ගිනි පුළිඟුවල
තවමත් රැඳී ඇත ප්‍රේම තාපය
නමුදු තවදුරටත්
වද විය යුතු නැත ඔබ
ඒ ගැන,
යළිත් පත්කරන්නට ඔබව
සංතාපයට,බිඳ දමන්නට
සියල් අපේක්ෂාවන් ද
අවැසි නැත මට,
තවදුරටත් මුනිවත
රැකිය යුතු නැත ඔබ
නමුදු මා මහත් ආදරණීය ලෙස ද
මාත්සරික, බයාදු හැඟුමින්
මැඩෙන්නන් සේ අපමණ සංතාප උසුලා
පෙම් කළ බැව් දත යුතුව ඇත.
ඉතා මෘදු ලෙස, ඉතා අව්‍යාජව
පෙම් කළෙමි මම
අයැද සිටිමි නිරතුරුවම
දෙවියන්ගෙන්
ඒ සා ප්‍රේමයක් නුඹට
ප්‍රදානය කරන සේ
I Loved you
By
Alexander Pushkin
පරිවර්තනය
සුනේත්‍රා අලුත්දුන්නේ .
Photo Credit; Kalyan Mukherjee
කවිය බලන්න
සිත්තරා
හිරු පැමිණ උදෑසන
සිතුවමක් අඳින්නට
ඉඟි මරා දුන් දිරිය
හදිසියේ දුරු කළා
වැසි වළාකුළු ඇවිත්
දැනුම් දීමක් නැතුව
දුක පිරුන කෝපයෙන්
ගත කළා මුලු දවස
හිරු ඒවියැයි සිතා
බැස යන්න පෙරාතුව
විසිකළා සායම් බඳුන
අහසටම සිත්තරා
කවිය බලන්න
මායාවී
රගහල තුළදී
උරහිස මට දී
රාග විරාගාදී
කතා කී ළබැඳි
කතා සරිත් සාගරී
අහස බදු ජාගරී
සිවි බඹ විහාරී
ඒත් මනමේ කුමාරී
ගිනි මලක් වී දැවේ
මුනිවරිය වී නිවේ
සාපේක්ෂ වූ ලොවේ
මායාව නුඹම වේ
කටින් පිඹ නිවූ
එළිය නැත සෙවූ
කල්ප කාලය මැවූ
අසුරු සැණකද නුඹ නොවූ
Photo Credit; Mehran Hadad
කවිය බලන්න
සුදු කිරුළේ සුව රැජිණී
රජවෙලා රෝහලේ රජගෙ ට
ඔටුණු ලා සුදු වනින් සිරස ට
රැකබලා ගිලනුන්ව ඇහැය ට
අණකළා පිරිසිඳුව ඉන්න ට.
ධවලයෙන් මුලු සිරුර හැඩකො ට
පව මතින් පින් කෙතම මතුකොට
දුව පනින නිසි තැනට ලහිකො ට
සුව සදන ලෙඩ වුනට මනකො ට.
ඔසුපැනින් රෝගයන් බියකො ට
මුසු කරයි එන්නතක් සිරුර ට
පසු වදන් ප්‍රතිකාර පිඬුකො ට
අසුන්ගත වාර්තා පළකො ට.
වේදනා කෑ ගැසුම් ඉවකො ට
දිවයනා ඇසිල්ලෙන් එදෙස ට
පා සිනා අවවාද දෙනවි ට
රෝ යනා සිරුර හැර ඉවත ට.
වැඩ මුරය කුම් වුවත් ක්‍රමය ට
රාත්‍රිය දහවල ද සුවය ට
කෙඳිරිලිය වේදනා නැසුම ට
වදන් ඔසු වැඩකරයි ටක්කෙ ට.
අසනීප සනීපෙන් සුවකො ට
ඔසවන්න බැරි සිරුරු සවිකො ට
බැස යන්න සයනයෙන් දිරිකො ට
ඇස තෙමෙයි වෙන්වෙලා යනවිට.
කවිය බලන්න
ඉරිසියාකාර අහස
අරියාදු අහසක් යට
පෙම් බඳින අප දෙදෙන
දැනගත යුතුම කරුණ
නොකලයුතු සැලසුමක්
කල්තියා හමුවීමකට
නා කපනා වැසි එවයි විටෙක
උගුලා දමයි ගල් කුළු බිමට
පහත් බිම් තමයි
යට වන්නේ නිතරම
සුළි කුණාටුවකදී නමුත්
ඔබ සිටිණු ඇත
කිව් තැන
කිව් වෙලාවට
හිත මිතුරු සුලඟ වත්
නොකීවද වැහි වලාවට
කාලෙකින් අප
හමුවන්න යොදාගත් බව
ඉරිසියාවක් වත්
හිතුනාද ! සැකයි අහසට
කෙදිනකවත් හමු නොවන නිසා
අහසට පොළව
කවිය බලන්න
සිහින දකිමි මම
ඈත ගගන තළ දිලෙන විටදි සඳ
සීත සුළඟ හා මුසුව නටන මඳ
නීල ජලය මත පිපෙන කැකුළු කොඳ
යාය පුරා මුදු සුවඳ සදත සොඳ
ඉවුර කොනේ ගල් තලය මතම හිඳ
සීත මකා උණුසුමකි සදන සොඳ
පාන නුරා නෙත අගින බලන සඳ
කෝල හැඟුම් කිති කවයි විටක හද
සුපුන් සඳේ බැස යන්න එපා අද
එරන් හිරේ නුඹ ඉන්න සයුරෙ කිඳ
සුළන් පොදේ නිති හමනු මෙදෙස මඳ
හිඳින් සඳේ තුරුළෙහිම ළඟින හද
කාරෙ ගතොත් නිති පෙනෙත පලුදු ඇද
ආලෙ රැකෙද සොඳ දෙදෙන දෙතැන හිඳ
මාගෙ සිතේ චකිතයකි සැදෙන තද
සීන දකිමි නිති දෙනෙත නැතද නිඳ....
Photo Credit; Ganapathy Kumar
කවිය බලන්න
නිහඬ දිවිය
පියා මට අහිමි විය කුඩා කල
තුරුණු කල මට මවත් අහිමි විය
වැඩිමහල් සොහොයුරන්
දෙන්නෙකුත් සිටියා
වැඩිමහල් සොයුරියන්
දෙන්නෙකුත් සිටියා
අනේ මා හැදුණ හැටි පන්සලක !
සිවුරු හැර පන්සලෙන් ආ ගමන......
නෑසියන් නැද්ද මට !
අනේ මා කවුරුන්ද?
කපුටු වසුරින් වැඩුණ පැළයක් ද?
පින්වතුන් පින් පිණිස හැදෙන්නට හැරියේ ද?
දරමි දැන් නිලයකුත්, සිටින්නෙමි අගනුවර
ඝන අඳුරෙ ඔරුවක්ව ගඟුල මැද
පුතෙකු හා දුවක් ඇත මව සමඟ
තනිකඩව වෙසෙමි මම බෝඩිමක
මිනිස් ඇසුරට තිබේ මට බියක්
ගුප්ත මිනිසෙකි ලබන අවමාන
නොකළෙමිය කිසි වරද කිසි විලස
නොගැලීමි පාපයක කිසි දවස
නොවැටහේ හැමදාම තනිකෙරුම
තනියෙන්ම, තනිවීම ඉරණම ද?
Photo Credit; TONG KBP
කවිය බලන්න
හද බිඳුම
මිතුර නුඹ නෙලන්නේ
මගෙ ඉමේ පිපුණු මල්
සුවඳ දී පිපෙන්නේ
මා සිටවු ගසේ මල්
ඉර හඳත් පවතිනා
තුරුම තුරුළුව තියන්
කුරුළු කූඩුවකටත්
අතු ඉත්තෙ ඉඩ හදන්
මම රැක්කෙ පොඩි පැලේ
නෙතු පියන් අද්දරින්
කිම ඉතින් මගෙ මල ම
නුඹත් හෙව්වේ කියන්
වැටෙන පිනි දිය පවා හෙමින් පිස දමද්දී
නිදා නොනිදා රැයම රැක බලා ගනිද්දි
කල් ඉකුත් නොවන පෙම හදපුරා දුවද්දී
පොහොනි කර වැඩුවෙ මම මගේ දා වැටෙද්දී
බඹරුන්ට මල් අයිති බව කියා කියද්දි
ඉතින් නටුවේ කටුත් යහමින්ම දිලෙද්දි
දෙඹර තුඩකට වැදී මල් පෙත්ත ඉරෙද්දී
හදවතයි ඉරුණෙ මගෙ කටුතුඩට ගැටෙද්දී
2025.12.15.
Photo Credit; Niek Doup
කවිය බලන්න
උෂ්ණත්වය ඉහළ ගිහින්
අපි බැඳලා මාසෙකින්
ගිය මුල්ම ට්‍රිප් එක මතකද
අනුරාධපුරයට
ශ්‍රී මහා බෝධිය රුවන්වැලිය වැඳලා
ලාබෙට ගත්ත නවාතැනට
පයින්ම එද්දි
ඔයා හොඳටෝම හෙම්බත් වෙලා
පරණ තීන්ත බකට් එකකින්
ටැංකියෙන් වතුර ඇඳන් නාලා
රෑ ඇඳුමෙන් සැරසුණු ඔයා කිව්වා
මට හරි සීතලයි කියලා
මට පුදුමත් හිතුනා
දාඩිය ඉහින් කණින් බේරෙන
හුංඩුවක් වගෙ කාමරයක් ඇතුළෙ
ඒ තරම් සීතලක් කොහෙන්ද කියලා
ඊට හරියටම අවුරුදු දහයකට පස්සෙ
දරුවන්ගෙ පෙරැත්තට
අද අපි නුවරඑළි ගියා
අපේම වාහනයකින්
සුව පහසු නවාතැනෙ
සීතලෙ ගැහි ගැහී
ජර්සියකුත් ඇඳන් ඉන්න ඔයා දිහා
මං බැලුවා නෙවේ බැලුනා
හරි මහන්සි මං නිදාගන්නවා
මදෙස නොබලාම ඔයා කිව්වා
ගෙවුණු අවුරුදු දහයට
අනුරාධපුරේටත් වඩා
නුවරඑළියෙ උෂ්ණත්වය
ඉහළ ගිහින් කියලා
මං අද දැන ගත්තා
කවිය බලන්න
🗙


































































