25 න් 26 ට
නිල් මහනෙල් මලක පැහැය - අහස් කුසක් වැන්නේ
හිරු සිඹ සිඹ සිනා සලයි - ගස් වැල් රිටිපන්නේ
කඳු වැටියක් වරල මුදයි - පහළට බිම් තැන්නේ
කවුරුන්දෝ මේ මනහර - දසුන් උදුර ගන්නේ
මල් යහනක කවි පදයක් - නුවර වලා බැම්මේ
හැපී වැටුන හැටි පුදුමයි - එක පිට එක පිම්මේ
දවසක් දා විරසක වී - කඳුළු උනා දැම්මේ
නොබෝ කුමරු තරමට අපි - වැරදි ද ලක් අම්මේ
විහඟ රෑන් සිල් සුවඳින් - පෙළින් පෙළට සැදී
නව වසරක මුරපදයක් - අතින් අතට දිදී
අඳුරු වලා ඉරා දමා - අහස් තලෙන් මිදී
උන් හැම තැන - නෙක පැහැයෙන් අලුත් රටා අඳී
වංකගිරට වුවත් දිනක - සඳ පායනු නිසැකැයි
මන්ද පමා නෙළාගන්න - සාමය තුරු හිසකයි
නව වසරට තව ඇත්තේ - තත්පර කිහිපයකැයි
ලක් මවුනට මේ වසරේ - කිරි ඉතිරිය යුතුමැයි




































































