පනපොදක අරුත වටහමු

පනපොදක අරුත වටහමු

රංජනී කොස්තා නවසීලන්තය

සසර කතරක ඉපිද එකලෙස
ගෙවන දිවියම පිරෙන්න
එකතු කරගෙන රැගෙන යන්නට
තිබුනෙ කිමදැයි බලන්න
දුකද සැපතද කොතෙක් විඳගෙන
හෙව්වෙ මොනවද පෙනෙන්න
හැරිල පොඩියක් බලන් ඉඳිමුද
දිවියෙ ඇවතුම් දකින්න

හීනියට හිත ඇතුලෙ හඬනා
දුකක කඳුලැලි දකින්න
ඉසිඹුවක් හෙම තිබුන මතකද
හිතට ඒබව දැනෙන්න
දිනුම් කනුවෙත දුවන මිනිසුන්
පහුකරල , මම දිනන්න
දිනල බැලුවම ලැබුන දෙයතුළ
තියෙද , ජීවය පිරෙන්න

ලසෝ දුක්ගිණි දස දහස්මැද
හෙලන කඳුලක් පිහින්න
හිතක් සනහන සුහද සිතිවිලි
මුවඟ ඇඳුනද කියන්න
දෝත පානට බැරිව ලතවෙන
නිහඬ ඇරයුම් දකින්න
පාටවීදුරු වැටබිඳන් යලි
හිතමු පොලොවට බහින්න

සොයසොයා ගිය ඉසුරු කඳුවල
හිතක් සනහා නිවන්න
සොඳුරු සිතිවිලි වලින් පිරෙමින්
සවිය ලැබුනද කියන්න
ජීවිතය යනු තරඟයක් නොව ,
නිවී සැනහී දිනන්න
මහා පිංකම් පෙලහරක් නොවැ
සසර කතරින් මිදෙන්න

ගුණදහම් ගරුකරන හිත්වල
රැඳෙන සොම්නස විඳින්න
කොයින් ලැබුනද කවුරු දුන්නද
හීනෙටත් බැහැ හිතන්න
පිරුණු සතුටෙක වාසනාවේ
දොරකවුළු හැම ඇරෙන්න
හිතක බෝසත් පැතුම් පුරවමු
වාසනාබල පිරෙන්න,,

Photo Credit; Mohamed Nohassi

කවිය බලන්න