"සතිස්" සඳ යළි පායනු මැන !
කරළිය රිදී තිරයේ
ටෙලියේ මැවුන
යුග පුරුෂයෙකි
දන් දුන් සරසවි මවුන
අදියුරු වෙමින්
නළුකම සීමා නොවුණ
ඔබ ළඟ උපත ලද
නිමැවුම් මී පෙවුන
"මනමාලයෝ" සමගින්
"බක් මහ දීගේ"
රඟ ප්‍රතිභාව විහිදා
පුරහඳ වාගේ
"මනරංජන වැඩවර්ජන"
විය යාගේ
අදියුරුකමට එහි
ඔබ හට දොස් නෑගේ
"සංදේශය", "බඹරු ඇවිත්", "නිධානය"
"හන්තානේ කතාව"
-පෙම් පුරාණය
රංගන විස්කමට
ඔබගේ සදා ණය
පෙම් කළ රසික සිත් ඇති
මෙන් විමානය
"චරිත තුනක්", " සතර දෙනෙක්
සෙන්පතියෝ"
ටෙලි නාටක බිමේ
වැජඹුණු රසවතියෝ
හැඩ කළ ඔබේ නළුකම්
පුදසුන් සිටියෝ
සරසවි දේවියට කිසිදා
ණය නැතියෝ
කලා ලොවට කණ කොක්
නාදය කැන්දා
පලා ගියේ ඇයි ඔබ
ගණඳුර රන්දා
සලා කඳුළු ලක් මව
හැඬුවද මන්දා
බලා මෙලොව යළි
එනු මැන රස බන්දා
