රකිනු පින්බිම ශක්‍ර දෙවිඳුනි

රකිනු පින්බිම ශක්‍ර දෙවිඳුනි

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

කරන ලද නෙක පිනෙහි ඵල ලෙස ලබා සක් දෙවි ලෙසට බලතල සයම දෙව් ලෝ රකින විකුමෙන යොදා අසදිස තෙදැති දලබල දහම නොරකින නිසාදෝ නිති විපත දෙන සිරිලකට සුලකල දිවැස යොමුකර රකිනු මැන අද පමණ නොව හෙට දිනද නොපැකිල නිතර වැසි ඵල දෙමින් අධිකව නසයි ජීවිත සමඟ ගේදොර එමතු නොව තව සතුන් ගහකොළ වගා භූමිද දමයි නැතිකර වැස්ස පාලක " පජ්ජුන්න " හට කියා නොකරන ලෙසට කරදර අවැසි නම් දෙනු මැනවි දඬුවම තෝරලා පව් කාරයන් හොර ළදරුවන්ගේ කිරි කඳුල සහ ළමුන්ගේ පොත පතද පෑනද ලොකු කුඩා සැම දෙනාගේ කුස ගිනි නිවන ආහාර පානද අඳින පළඳින ඇඳුම් සමඟින් දිවිය රැකදෙන හරක බානද නසා දමනුයෙ සැණෙන් අවුදින් සැමදෙනාගේ සොඳුරු සීනද කිසිවෙකුට කිසි වරද නොකරන අහිංසක මිනිසුන්ගෙ ජීවිත බිලිනොගෙන මේ ලෙසට සැමවිට රැකදෙමින් උන් සමඟ සේසත සුදනයන් සේ පෙනී සිටිමින් රටම වනසන වියරු වූ සත ඉවත හැර කළ මැනවි පිරිසිදු උතුම් බුදුදම සුරැඳි මිහිකත කඳ සුරිඳු මහ විෂ්ණු පත්තිනි සමන් විබිසන භද්‍රකාලී දෙවියන්ට නිති තබා පූජා යදිති කියමින් යාග හෑලී එහෙත් පිහිටක් වන බවක් නැත විපත දුක එයි පේලි පේලී රකිනු මැන සක් දෙවිඳ ඔබවත් වන්ට පෙර මෙය නැසී දූලී 2025 / 12 / 28
කවිය බලන්න