සමනල සඳෙස -32

සමනල සඳෙස -32

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව - 26

රජු නෑ දොළ-32

524. තව ලියකගේ හැඩ රුව දැක බලනු රිසින්
නව රස සොයා යන නුඹ පෙරදැරි ව හිසින්
“කව කාමිනිය” දස රස මතු කරන බසින්
දිව ගා කියනු මැන “රජු නෑ දොළ” ද රසින්

525. අලුපොල ඇල්ල දැක සමනල මිතුර මගේ
‍ තලු මර - මරා පද කවිකොට කියපු අගේ
කුලු මේඝයෙන් වියරු ව හ‍‍ඩ-හඩා මැගේ
මුලු රැය කැට කදුළු සැලුවයි සිරුර දිගේ

526. පැරකුම්බා දවස සිට මැගෙ ඉතිහා සේ
වැර බැන්දා දොළක අසරිය ගත්තා සේ
සැර හන්දා අසල කෙත්-වතුපිටි සිර සේ
බැර කැන්දා පලින් බර වී නිති සැර සේ

527. කදුවැටිවලින් ගහණයි මිණිපුරයෙ මෙකී
රැදුණෙන් දිය පහර පහළට ගලා සකී
පදුරෙන්-පදුර තෙත්කොට එක්වෙලා එකී
සැදුණයි “රජුන් නෑ දොළ” අද කවුරු දනී

528. සමනල බලනු දෙපසින් ඇති ඉවුරු බිමේ
කළබල නැති ව වන මල් අගනුන්ගෙ පෙමේ
නළ රළ තරග වැද පිරිමැදි ඇයගෙ නැබේ
මද මල කිති කවයි පොපියා පියලි ඉබේ

529. ගැට-වර නෙත ඇදෙයි “රජනා දොළට” හියෙන්
කැට-කර වතුර මල විහිදන කලට සැරෙන්
පැට-කිර ඇගේ වණනට තව රසට කවෙන්
වැට-තිර දුහුල ගලවා පද පෙරට ගෙනෙන්

530. වටකොට බැදිය හැකිමුත් වැට රට ම පුරා
කටවට නොහැක එලෙසින් වැට බදිනු අරා
ඇට නැති දිවට හැක නැමි-නැමි කරනු ගරා
වැට නැති කටේ හඩ ගොලු කළ හැකි ද යුරා

531. යම් - යම් කලට එක් වන දෑ දිවිය මගේ
කල්-යල් පැන ගිය ද දිවියට හරි ම අගේ
ගම්-බිම්වලට පෙම් බැදිවුන් කියනු වගේ
වල්-පල් නොකිය ගුණ සුවද ම සොයනු ඇගේ

(මතු සම්බන්ධයි.)
Photo Credit; AARN GIRI

2026.01.01

කවිය බලන්න