නව අවුරුදු පැතුම හා මගේ රට

නව අවුරුදු පැතුම හා මගේ රට

ප්‍රියංගිකා බටගොඩ

වැදු මව දෙවෙනිකොට දිනුබිම හිතේ තියා
පිදු පෙර සිහළ සිත්වල රස එඩිය වියා
සිඳු ලෙස වටව සුරකින දිය පවුර නියා
වදු එක පෙළට දෑකුළ ගොත් වග නො සොයා

උතුරේ මෙන්ම දකුණෙත් අපි අපිට මිස
මිතුරේ පිහිට ලෙස එත් අදහසේ විස
පැතිරේ නොයෙක මත, බිඳිනට ජයේ ගොස
නිතරේ වඩව සති සිත පෙර අපර ගස

මිය යන ලෙසින පැතුමන් හද පතුළෙ ඔබා
සිය සිය දහස දොර දොර විය කඳුළෙ තබා
ගිය ඒ දශක මත කව නැණ නුවණ ලබා
දිය දෙස පරද හොබවමු සිරි ලකේ සොබා

පැරදුම දිනුම මත නොසැළී නොගැටි මන
යුතුකම සිහිව තරකොට ළය පතුළෙ ඇන
නැතිකම පරදවා හැකිකම පෙරට ගෙන
සැනසුම සතුට වපුරමු රට බබළ මින

විඳ පස මිතුරු බස මෙත මුනි දහමෙ දෙසූ
රඳ ඇස සෙනෙහ රස මුවඟට සිනා ඉසූ
ඇද නොවු වුවනෙ යස කැළුමෙන් එදිරි නැසූ
කිඳ ලනු ලෙයෙහි දස රාවණ බලය මුසු

තරසර සිතින යහපත මව් බිමෙහි වගා
නිසියුර ලෙසින පොදු ජන හද මඩළෙ නගා
දිවයුර රුවින ගගනත මැද දිදුළ රඟා
නිමකර මියෙන දින බුහුමන උතුර ළඟා

කවිය බලන්න