රියසක කැරකුණා ජීවන ගමන් මගේ ......
පරණ යකඩ අරගෙන බේසන් දෙනවා
හොරණ ඉඳන් ගම්මැද්දට ළං වෙනවා
හැරුණ විටදි වට වංගුව නවතිනවා
තරුණ ලියක් කටකොණකින් හිනැහෙනවා
බෝතල වගෙම මුල්ලක ගොඩකි පත්තර
සීතල වුනයි ඈ ගැන අසා විස් තර
වාතල ගිනි උණුවුනත් මද්දහනෙ ඔපකර
ඊතල එවයි ලොරියෙන් බසී මල්සර
පටු මාවතේ ටකරං ගෙයකි සුන්දර
කටු නායකින් ඈ හට ලැබුණි අන්දර
ඉටු නොවු පැතුම් දුන්නෙම හිතට ගින්දර
ඉටු දෙවි කියයි නෑසු අලුත් මන්තර
නිලුපුල් නෙතකි නා දල්ලකි ලවන් යුග
වියවුල් මැකී හස ගගුලක් ගලන රඟ
මනලොල් කුමරු ලොරි බට්ටා රියට නැග
සිහිලැල් හිතින් පිම්මේ එයි ගමන දිග
ඉවත දමන දේ පටවං ගෙදර දොරේ
නැවත කැරකිලා ඔහු එයි සිහින පුරේ
දියත සුවඳ නිල් මානෙල් වලින් පෙරේ
පුවත ඉසුරුමුණි රන්මසු පෙමට හැරේ
දවස ගෙවා වේගෙන් වටයක් දාලා
සවස හෙමින් හදපානේ එන ලීලා
පවස නිවන හසරැලි ඉදිකඩ පාලා
රහස කියයි ඈ කුමටද රන් දෝලා
රියසක කැරකුණා ජීවන ගමන් මගේ
දියදම පරිදි පිපුණා මල් මිදුල දිගේ
ගිය මඟ සුවඳ වී සිහිලැල් සුළඟ වගේ
පියවර නැවතුණා ලොරියකි නිවසෙ ඇගේ
Photo Credit; Daniele La Rosa Messina
කවිය බලන්න
