නව අවුරුදු පැතුමන්

නව අවුරුදු පැතුමන්

ධර්මසිරි වීරක්කොඩි සීතාවකපුර

දවස් තුන් සිය හැට පහක් දැන් ගෙවී අවසන් වී ඇතේ තවත් වසරක් සිනහ මුහුණින් අපේ දොරකඩ පේවෙතේ පිටක් ගානේ බලමු පෙරළා ගෙවුණු හැටි අපෙ ජීවිතේ හොඳත් නරකත් කිරා ගත් විට දිනුම පැරදුම තේරෙතේ කළා නම් අපි අපේ යුතුකම් හදට සැනසුම යාවෙතේ නිවා ලන්නට හැකිය ළතැවුල් මෙතෙක් දුර ආ මාවතේ වහා විමසා බැලිය යුතුමයි වැරදි තැන් කොහිදෝ ඇතේ සොයා පිළියම් යොදමු හනිකට එවිට කඳුළක් නෑ නෙතේ ලැබුණ තරමින් සතුටු වෙන්නට හුරුව ඇත් නම් ඒ ඇතේ නිතින සිනහව මුවග රැව් දෙයි සතුට සැනසුම පෑදෙතේ සිහින මාලිග කුමට මවමුද එයින් හදවත් පෑරෙතේ හිඳින පැල්පත අගෙයි කවදත් සෙනෙහෙ ගඟ උතුරා යතේ සොබා දහමට කරමු ගරුසරු හදෙහි පැතුමන් පීදෙතේ නසා ගහ කොළ අතට කහවනු ලබනු කුමටද නෑ සෙතේ එදා අපගේ මුතුන් මිත්තන් නිසා අපි නෑ හාමතේ වවා ගෙන කමු දිරිය අර ගෙන කුමට පසුවෙමු බීමතේ එදා පැරකුම් නිරිඳු දස්කම් පෑව හැටි දුටුවා පොතේ සොඳා අපටත් නොහැකි වේවිද විරිය වැහැරී නෑ ගතේ බැඳා වැව් සහ අමුණු කදිමට ජලය හරවාලා කෙතේ වැඳා අස්වනු නෙළමු සව්දිය පුරමු දුරලමු සාගතේ දිනූ රට දැය සමය වෙනුවෙන් යමක් කළ හොත් වේ සෙතේ තැනූ විට තම තමන් සිත් පොඩි ලොවම පිරිපුන් වී යතේ ඉනූ නොසැලී ඉන්ද කිල මෙන් වුවත් අබියස මාරුතේ එනූ පෙරටම බැඳන් අත් වැල් මෙයයි සුර පුර දෝ සිතේ
කවිය බලන්න