ඇරයුම....

ඇරයුම....

පවිත්‍රී මෙන්ඩිස් මතුගම

ආමන්ත්‍රණය කෙසේ
විය යුතුදැයි අවිනිශ්චිත බැවින්
කරදාසි බොහොමයක්
අපතේ ගිය පසුවය
මම මටම කියා ගත්තේ
එය ඔබට එතරම්ම
වැදගත් නොවන වග

ඇරයුමකි මේ
මංගල සාදයකට
මඟුල් බෙර නොවැයෙන
සක් හඬක් නොනැගෙන
පෝරුවක් නොතැනෙන
පිය පාර්ශවයේ නෑයින් නොපැමිණෙන

කුඩා ලිලී මල් කළඹක්
සුදෝ සුදු දිගු සැටින් ගවොමක්
නිදහසේ මුදා හරිනු ඇත
කැරලි කෙස් වැටියත්
එයයි කැමැත්ත දෙන්නගෙම
මට විය නොහැක මැදිහත්

පරම්පරා කුල ගොත්
වත්පොහොසත්කම්
විපරම් නොකල හන්දා
ඔහු වෙලා බැහැපත්
කාරණය එයයි කිව්වා
කැමති වෙන්න දූ නම්

ඒ පුතා ගැන අනාවැකි
කියන්නට නොතේරේ මට නම්
කොයි පිරිමියත් එකයි
එහෙමත් හිතුනා කාලයක්
මගේ දූට වරදින එකක් නෑ
මං වගේ නෙවෙයි ඈ කොහොමත්
තව දුරට ලියන එක
තේරුමක් නැති කාරණාවක්

ලබන මාසේ විසි දෙක
ඔයාගෙයි මගෙයි දුව
ඉගිලෙනවා කැදැල්ලෙන්
රෙජිස්ටාර් කාර්යාලයට
එනවා නම් ලිපිනය ලියා ඇති
මේ ලියුමෙම අග හරියෙන්.....

මීට සදා නොවෙනස්
ආදරිය මම වෙම්.....

කවිය බලන්න