පොත සහ ගැහැණිය
පොතටත්
ගැහැණියටත්
අහුවුණොත්
අහුවුණාමය
අතැති සොච්චම වුව
ඇපයට තියා
ගෙදර ගෙනියන්න ම
හිතෙනවා සිකුරුය
මෙදෙක සම නැත
විටෙක අසම ද නැත
පොත් කියවිය හැකිය
කියවා ඉවර කළ හැකිය
ගැහැණිය ද කියැවිය
හැකිය
කියවා ඉවර කළ නොහැකිය
ඇය කියවන්න ගත්තොත්
නතර කළ නොහැකිය
පොත රස කථා කියතත්
රස භාව කිති කවතත්
හිතූ සැණින් නැවතිය හැකිය
කැමති මොහොතක
යලි ඇරඹිය හැකිය
ගැහැණිය රස කථා
කර්ණ කටුක කථා
එකට අනා කියවන
අපූුරු ප්‍රාණියෙකි
ඇය කථාව පටන් ගතහොත්
කියන දෑ රස වුවත් කටුක
වුවත්
ඇය ම නවතන තුරු
බලා සිටීම හැර
වෙන විකල්පයක් නැත.
ඇය නැවතුනොත්
නිහඬ වීම සුදුසු ය
මන්ද එසේ වන්නේ
පෙර පිනකට ය
පැරැණි කල
මේ දෙකටම
මැණික් හා සමතැන
දී ඇත
ස්ත්‍රී රත්නං
පුත්ථක රත්නං කීවේ
එහෙයිනි
දෙක ම අනුන් අතට
ගියොත් ගියාම ය කියා ද
කියමනක් ඇත.
(පර හත්ථ ගථං ගථහ්)
පොත් නම් අරන් යන්නේ
බලා දෙන්නටය
ඉල්ලාගෙනය
ගැහැණිය අරන් යන්නේ
නොකියාමය
ගෙනැවිත් දුන් බවක් නම්
මොන පොතකවත් නැත
ආපසු ආ කථා නම් ඇත
ඒත් ඉඳහිට ය
ආවොත් භාර ගන්නවා ද
කියා නම්
හිතා බැලිය යුතුය
මනමේ කථාවේ නම්
එන්නට තැනක් නොවුණි
ගිය තැනින් ද එළවා තිබිණ
යන එන මං නැතිවුණා කියන්නේ ඒකටය
පොත් නම් එහෙම නැත
ගෙනාවත් ආවත් කමක් නැත
පාවිච්චි කර තිබුණත්
කමක් නැත
මන්ද කියන වචන
ගිහින් ආවා කියා
කථා අතන මෙතනින්
වෙනස් නැත.
එහෙම ම ය
මේ දෙකම ඇඳට ගත හැකිය
තුරුළු කරගෙන විඳිය
හැකිය
එකක් නිහඬව ම
විඳින්නට හැකිය
අනෙක නම් නිහඬ නැත
සම්භෝග සුවයත්
එපා වෙන කථා කියනු ඇත
එයට හිත හදා ගත යුතුය
නෑහුණා සේ සිටිය යුතුය
අර සොච්චම
ඇපයට තැබිය යුතු
දෙකින් කෝකට දැයි
පසුතැවිලි නොවෙන්නට
බොහෝ දේ ගළපා සිතා
කල්තියා
ඔබ ම තීරණ ය කළ යුතුය
පොතේ බොහෝ හොඳ දේ ඇතත්
ඔබ ගැහැණියට ඡන්දය
දුන්නොත්
මට නම් පුදුම නැත.
මන්ද
ලෝකයේ හැටි එහෙමය
26-09-25
කවිය බලන්න
