ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2025 සැප්තැම්බර් කලාපය
ගස් අතු දළු ලෑම මල් ලැබ බර වීම
පලවැල දිළුම කොළ කහ වී බිම ලෑම
දිවියෙහි අනිසි බව කියවෙන රඟ ඒම
සිව් රිතු නො විඳි උන් දැනගන්නේ කෝම
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
තුති පිදුම අනුර හෑගොඩ මැතිඳුන්ට
පොඩි කල සිට මම කියවා ඇති නෙක කෙටි සහ කෙටි නැති අපමණ පොත පත
සැමකල මනසට සැනසුම සතුටද ඇතිකර දුනි මට දැනුම ද ඔත ඔත
එනමුදු ගතවුණු විසි හතරක් තුළ මා කියවා නැත කෙටියෙන් බැඳි ගත
හෑගොඩ අනුරට පින්දෙමි 'හිමකැටි ආදරයෙන් ' සලකා ලූ අප වෙත
කවිය බලන්න
නා හිමි බැහැදුටිමි
මහ නා හිමියනි,
මං ගියානෙ ලන්ඩනයෙ
මියුසියම් එක බලන්න
යන්නම වටින තැනක් හිමියනි.
“අපෙන් හොරකං කරගෙන ගිය වස්තුව දැක්ක ද?”
එතැන ලෝකයම දකින්න හැකි
පෞරාණික වස්තු මහා සාගරයක් හිමියනි,
බලා නිම කරන්න බෑ සතියකින්වත්
“සේරම අපේ පුරා වස්තු, අපේ සම්පත්”
සමාවෙන්න හිමියනි,
අපෙත් කීපයක් තියෙනවා
සුරක්ෂිතව
ලෝකය තුළ අපි ඇත්තටම තිතක්නෙ හිමියනි,
“මහත්තයාගෙ ඔළුව නරක් වෙලා වගෙ ඇන්.ජී.ඕ. කාරයො එක්ක ද ඔය ගමන ගියෙ?”
අනේ නෑ හිමියනි,
මං ගියෙ පුතාව බලලා එන්න,
මං ගියෙ මගෙ වියදමින්
“හරිනෙ මං හිතුවා.”
ඒ කිව්වෙ හිමියනි,
“පුතා සුද්දගෙ රටේ පුතාගෙ කරේ සුද්දා පුතා දාපි තාත්තව සුද්ගේ මල්ලට, අබුද්දස්ස කාලේ හහ් හහ් හහ් හා.....”
සමාවෙන්න හිමියනි,
“නවත්ත ගන්න මහත්තයො
මං දන්නවා ඉතිහාසය හොඳටම
ඕකුන් අපේ රට අල්ලගෙන කළ හරිය
හෙණ ගහලත් මදි පරහැත්තට
අපි හිඟමනට වැටුණේ ඕකුන් හින්දා
සේසතම හූරගෙන ගිය හින්දා
තේරුණා ද?”
හිත කලබල කර ගන්න එපා හිමියනි,
හැම රටකම වටිනා කියන දේ
එතැන සුරක්ෂිතයි
ඒවා ඒ ඒ රටවල තිබුණානං,
විනාශ වෙලා මෙලහකට
මට අවංකව හිතුණ දේ හිමියනි,
මං කියන්නෙ,
දවසක වැඩම කරන්නකො හිමියනි
“මං හය වතාවක් ගිහින් තියෙනවා
පර සුද්දගෙ රටට
මට හිත දුන්නෙ නෑ
මගෙ දෑහින් ඔතන දකින්නවත්
මොකටද මගේ ලේ කෝප කර ගන්නෙ
මහත්තයට මං එකක් කියන්නං
රටට ද්‍රෝහි වෙන්න එපා
ජාතියට ද්‍රෝහි වෙන්න එපා
ආගමට ද්‍රෝහි වෙන්න එපා
උගත්කම කෙලෙස ගන්න එපා,
එච්චරයි මං කියන්නෙ”
“හා හොඳයි.
තෙරුවන් සරණයි”
සරත් විජේසූරිය
29 අගෝස්තු 2025 ශ්‍රී ලංකාවේ දී
කවිය බලන්න
වාසනා වාසනා රුහුණු රටේ වාසනා .......
සන්සුන් විලසින් ඇතු මගට බසින්නේ
ගෙනදුන් සියපත් සොඬේ පෙනෙන්නේ
ගිජිඳුන් මල්ගෙන වෙහෙරට යන්නේ
නවමින් දණහිස සෑ රජුට වඳින්නේ
බුදුමැදුරට ගොස් බුදුන් වඳින්නේ
බොදුබැතියකි නෙතින් පෙනෙන්නේ
දෙව්මැදුරට ගොස් සුරිඳු පුදන්නේ
දෙව් බැතියක් ඒ නෙතින් දිලෙන්නේ
බුදුසමිඳුන් සමඟින් දෙවි සමිඳු බලන්නේ
නැදුනගමුව වඩමවද්දි සිරිදළදා කරඬුව
දෑලේ ගිය වාසනාට දුන් ඔවදන් ගිජිඳුව
සිහියට ගෙන පුරවන්නට නැදුන්ගේ අඩුව
සෙංකඩගල නුවර එන්නේ වාසනනා ගිජිඳුව
කඳසුරිඳුන් වඩමවන්න බැඳි බැමි ලිහුනේ
නිමාගිමන් මා ඔයටත් ගිජිඳුව යන්නේ
ශ්‍රී දළදා වඩම්මන්න නුවරට එන්නේ
මහරන්දෝලියත් මෙදා වාසනාම නිමකරලන්නේ
වාසනාට සිරිදළදා සමිඳුන් සරණයි
වාසනාට කඳසුරිඳුගෙ පිහිට ලැබේවයි
වාසනාව බුදුන් දහම් මහ සඟ සරණයි
වාසනාව වාසනාට කළ පින් බොහොමයි
කවිය බලන්න
සසර පුරා ළඟ ඉන්න
විඩාබර හුස්ම එක්ක
ජීවිතේ ගිරි දුර්ග නගින විට
සියුමැලි පවන් රොදක් වී
නුඹ මෙහෙම ළඟ ඉන්න කොට
ජීවිතේ හරිම මහන්සියි දැනුනු වෙලාවට
තවත් දුර යන්න බෑ දැන් ඇති යි සිතෙන වෙලාවට
සිසිල් පැන් පොදක් සේ විඩාව දුරු කර
තව ටිකක් යමු මං ළඟින් ඉන්නවා හැම දේකටම
නුඹයි හිත හැදුවේ හැම විට
වසන්තය ළඟ ළඟින් ඉඳ
දුශ්කරම කාර්තුවල මඟ අරිද්දි හුඟක් අය
බිඳි විසිරෙන්න නොදී හදවත
හිමිහානයෙත් මල් පුබුදුවා වසත් සමයක් කලේ නුඹයි
කර්කශම ගිරි හිස පවා හැමදාම
ඉතින් මේ බවය විතරක් නෙවෙයි නුඹට
ඉන්න වේවී සසරම මෙහෙම
වෙන සැපක් මොකටද මට
මෙහෙම සිනාවක් වී ළඟින් ඉන්න සසරම නුඹ
නිවෙන්නට හැකියි මට නුඹේ ප්‍රේමය ළඟ හැමදාම
කවිය බලන්න
ජීවිතය
සිතුවම් මතුකරන් දිවි බර උරය දිදී
නැවතුම් නැතිම ගමනක ජීවිතය විඳී
ඇතුවත් කරුණු හිත සමහර දිනක රිදී
ඝෘතුවක් අගදි හිත ආයෙත් සිනහ අඳී
විඳිනා දිවිය එක ලෙස අප හැමට හිමී
නවාතැනකි සසරම තව නැතිව නිමී
නොසොයා ඇද පළුදු උස දිග පළල මිමී
අවසන් හුස්මෙවත් අපි අත හරිමු බැමී
Photo credit: zero take
කවිය බලන්න
ඔබ කොහිද මම හොයනවා
මගේ කවි පද ඇහෙනවද
ගලහ හංදිය පෙනෙනවද
තනිය මැකු අත හොයනවද
හිතේ සතුටින් ඉන්නවද
උණ පදුර යට බංකුවේ
අපේ මතකයි හැංගුවේ
ප්‍රස්ථාර, වගු ඇති පොත් ගුලේ
පෙම් කවිත් ඇවිදින් යතේ
මහවැලිය තාමත් ගලනවා
රයින් ගඟ මට පෙනෙනවා
ඔබ කොහිද මම හොයනවා
මගෙ හිතම දුර දුවනවා
කවිය බලන්න
ජීවිතේ ගලා යයි
ගලා යන ගඟ ගලා ගියදෙන්
කඩා බිඳ ඉවුරූ
කුමට වෙහෙසෙමු නතර කරනට
වටේ බැඳ පවුරූ
ජීවිතේ දිගු ගඟකි කිසිදා
නැවතුමක් නොපැතූ
කවුරු කෙලෙසක කළත් බාදා
පසුපසට නොගැලූ
හිරුත් බැසයයි අහස්ගඟ වැද
රතු කරන් මුහුණූ
අර බලන් සිතිජයේ ඉම තෙක්
රතු වලා ඇතිරූ
අඳුරු අහසේ පිපී දිළිසේ
පුංචි තරු පොකුරූ
ගඟක් සේ ජීවිතේ විඳිමින්
සිනාසෙමු මිතුරූ.
කවිය බලන්න
කෝමල අඟනා..
බෙරහඬ තාලෙට පාදය තබනා...
ඉඟසුඟ මුදුබඳ හැඩකර රඟනා..
සැමනෙතු පිනවන සිතමන බඳිනා...
සඳවැනි සොබමන් කෝමල අඟනා...
දෑලට නෙත්කොන් විගසින පානා..
රන්මිණි සේලෙන් විනිවිද පේනා..
පෙම්බර හසරැලි සැමටම ගේනා..
තෙම්තෙනෙ නම්තෙනෙ නම්තෙනෙ නානා..
රතඹර පැහැවත නෙතු සුව ගේනා..
පුලුලැති උකුලෙහි හැඩතල පානා..
සුරඹුව ලෙස කස් තිර මට මානා..
තෙනකතෙ නම්තෙනෙ නම්තෙනෙ නානා..
Photo credit; Natural light Bhupathi
කවිය බලන්න
රෙද්දෙ තුත්තිරි....
පරපුරක හත්මුතු ගා දැලී
අවුළුවාලු දස දෙස වලී
මඩ තැවරු පද ගෙන නැටු බලී
නුබෙ මුහුණු පොත ගැන මැසිවිලී
රෙද්දෙ තම තුත්තිරි වැදී
නුබ නොදුටු තාලෙට නිදි වදී
වෙනත් වුන් කුණු බොට මදී
අපුල්ලාපිය නුබෙ රෙදී
මොළය ඔද්දල් සේ බෙබේ
ඔළුව වර්චස් වී තිබේ
චරිත අන්දොස් කළ සබේ
නුබෙ ටිකට් එක නොමිලෙම ලැබේ
සිතෙහි මිනිසත් කම දරන්
ලියාපන් අරුතක් පුරන්
මනස සරුවී ලෙස සුරන්
නමට හැඩවෙයි මල් තොරන්
ඔෂවා , කැනඩාව
කවිය බලන්න
උගුලෙ මීයාගෙ සිතිවිළි
රැවටුණා පෙනුමට
සුවඳට
හිතුණා රසට ඇති
ඇතුළෙ පැද්දෙන කෑම
බැරිවුණා හිත හදාගෙන
හැරී යන්නට ඈතට
ඒකයි ගියේ ඇතුළට
එතකොටයි දන්නෙ
උගුලක් බව
කියා තිබුණා දෙගුරු ගුරු
මේ වගේ උගුල් ඇති බව
යන එන මං තොට වල
පත පොතේ දුටුවා ඔවදන්
සිතිය යුතු බව
පිනුමට පෙර
මේ වගේ අසු වී උගුල්වල පැන ගත්
වියත් මීයන්
කළා දේශන
අපායේ නොවැටී
උපායෙන් රස විඳින හැටි
සවන් කර සිටියත් ඒ හැම
හදාරා තිබණත් භාෂා ශාස්ත්‍ර, ගණිත
ලබා තිබුණත් ඒ බවට
සහතික උපාධි
නොදනිමි කොහි ගියාදැයි
නිති මුවහත් කළ
බුද්ධියේ සියුම් තර්ක ය
දුටු සැණින් කෑම
සිතුණේ ම තවත් නැති බව
එවන් රසයක් මෙදියත.
මෙතෙක් සත පහකට
(පහේ කෑලිත් නෑ දැන්
ලියන්නට වේවි ද අටුවාවක්
ඒකටත්)
මායිම් නොකළ
දෙවියන් බුදුන් පමණි
දැන් පිහිටට
උගුලේ දොර ඇරේවා
මට යන්න ලැබේවා
මීයෙක් වුණත් උගුලක අද මං
නොකරමි මෙවැනි ගොන් කම්
(නැතත් මට නෑ කම් උන්ට)
මෙයින් මතු
යන්න ලැබුණොත්
පණ කෙන්ද බේරගෙන
කෙසේ හෝ පැන ගති ඌ
නොවඳිනා වැඳුම් වැඳ
සිව් දෙසට අධිපති
දෙව් බඹුන් සැමට
ටික දිනකට පසු ඔහු යළිත්
එවැනි උගුලක වැටුණ බව
වාර්තා විය.
එය ගොන් කමක් ද වෙන යමක් දැ යි
වියතුන් ගෙන් ම අසා දැන ගත යුතු.
25-05-25
කවිය බලන්න
සමුගත් නුඹට
නිල් වන පියසක..
තුරු හෙවනක හිඳ..
මිමිනුව පෙම් බස් ගොළුවී නොදැනිම...
ගෙල පාමුල රැඳි..
සිපුමත් අවසන..
නුඹ ගිය ඈතක් මතකයෙ නොරැඳිම...
සුසුමට තුරුළුව..
සයනෙක නිදි නැති..
ඔය රුව නෙතු මත දඟ කල හින්දම ..
උරට හිස තියන්..
මිමිනූ සුරතල් ...
මැකී ගිහින් අද වදනුත් නුඹගෙම...
උරහිස තවමත් ..
බරයි වගේ මට..
කෙහෙ රොද මුව මත දැවටෙයි හෙමිහිට ..
අතැඟිලි හිස මත..
දඟ කල රිද්මෙට..
පාරයි නිදි නැති රෑ නුඹෙ මතකෙට..
තනිකම හුරු මට ..
දුන් මේ කඳුලට..
නිගා නොකර මම ඉන්නම් සදහට...
ප්‍රේමය සිත රැඳි..
අරන් ගියත් නුඹ ...
පන්හිඳ තවමත් පණ දෙයි මසිතට ....
- චමී -
❤️
Photo credit; Keisha Kim
කවිය බලන්න
බිතු ළඳුන්ගේ කඳුළු
නුරා ඇස් දෙක පුරා ගම් බිම් තුරුණු රූමතියන් ම සෙව්වා
සදාකාලික ප්‍රේමයක් නම් ඉතින් උන් ලැබුවේ ම නැතුවා
රිදී සඳවත බහිද්දී මෙන් නැගෙද්දිත් නෙත කඳුළු නැගුවා
අරා ගගනත මහා සීගිරි පවුර ඒ සුසුමන් හැංගුවා...
ගැහැණු ලෝභ ම ආදරේටයි එදා අද වෙනසක් ම නැතුවා
නෙත ගැටෙන හැම ළඳකටම ගිරි කසුප් ළඟ ආදරේ තිබුණා
හිතේ ගැඹුරෙම තියාගෙන රැකි ප්‍රේමයක් ඔහු සතුව නොවුනා
පුරා නිල් ඇස් මහා වැහි බිඳු දරාගෙන දිගැසියන් හැඬුවා...
සෙනේ ගම්බිම් නෑ පරපුරක් දකින්නට යළි පිනක් නැතුවා
ගිරි දුර්ග වන දුර්ග ජල මහ පවුරු අතරේ හිනා හෙව්වා
බලා තුනු සිරි නුරා විඳ විඳ උරා බී යෞවනය ඉඳුරා
සලෙලු මහරජ උන්ගෙ විළි බිය ඉනික්බිති මහ ගලේ කෙටුවා...
මහා මේකුළු පවා රහසින් අප්සරාවන් නමින් තැවුනා
මහාමේරුව සේ දරාගෙන සිතුවමේ මුව සිනා නැගුනා
මලානික වසරක්ම අවසන හෙණ ගගහ මහ වැස්ස වැටුණා
අදත් වැහි බිඳු බිතු ළඳුන්ගේ තෙත කඳුළු කම්මුල් හැංගුවා...
කවිය බලන්න
කවියයි ගීයයි
කවියක් ගීයක හැඩ තල දාලා
පනිහිඳ රුන්දුව රස පද මාලා
සත්සර ගන්වා ගයනා ලීලා
නන් රස කැන්දයි අසිරිය පාලා
සිත රැඳි සිතුවම් උස්කොට අන්දන
කෝමල රේකා තත් මත ඉන්දන
විරිතෙන් විරිතට මදු රස කැන්දන
කවියෙන් ගීයක රඳවයි වින්දන
පෙර කල කවියන් මුනි ගුණ විසිරුව
මග හිඳ ගීයට රස පද ඇසුරුව
පද වැල් මෙත්තා ගුණයෙන් මිතුරුව
සිත් මත මැව් හැටි කදිමයි බුදුරුව
බැරි බර උහුලන දිවි මග කතරේ
සුවඳින් සරසන කවි වැල් අතරේ
ගීයට මුහු කළ ලියවිලි නිතොරේ
සුසුමන් හස කැන් සමවම විසිරේ
කවිය බලන්න
රක්ත හාරත
ටික්ටොක් මහ වනය මැද්දෙදි
දුනුහී මානගෙන පැන්නෙ වැද්දෙකි
නුරා රැඟුමන් වනය මැද රඟද්දි
අතහැරුණා මනමෙ අත බැද්දෙදි
ටික්ටොක් වනයේ පෙමින් රඟනා
රක්ත හාරත නොමිලෙ වහිනා
හාරත වැස්සෙ යස රඟට තෙමුනා
අනේ උණ සන්නියත් හැදුනා
හෝරා එකින් එක ගෙවෙනවා
මග බලාන හිඳ දෑස් කෙවෙනවා
පමා ඇයි දැයි බයත් හිතෙනවා
එයිද නොඒවිද සිත හඬනවා
රෝස මල් වරුසාවකුත් එව්වා
තව තෑගි මහ කන්දක් ම ලැබුනා
ටික් ටොක් මහ බැද්දෙ සැරි සැරුවා
කොපුව මනමේ අතම තැබුවා
රජමාළිගාවක වඩා හිඳුවා
සිහින ලෝකෙම දුන් සෑබෑ කරවා
මනමෙ කුමරුන් සොහොන් කරවා
වැදි රජෙකු මහද සොරා ගත්තා
කවිය බලන්න
අපිට කොහේද අපි මට නැතිකොට මාත්.....???????
හීංවට වැස්සක් ආව
හුළං පොදක දැවටිලා
හුළඟ හෙමින් හමා ගියා වැස්ස අතරමග දමා
දැත් ඔසොව බලන් හිටිය
ගහ කොළ හැම එක්වෙලා
වැස්සත් නෑ හුළඟත් ආයෙත්
අපි හිටියා බිම බලා
හුළඟ ගල් උනා
වැස්ස වියළුනා
ගහකොළ වියළී ගියා
හිස් අහසට අත් දිගු උනා
මිනිස්සු කෑ ගැසුවා
බඩසයින් පෙළී මිරිකී
වියළි ගස් නෑ දුන්නේ වාතය
අඳුර ඇවිත් කළු උනා
හුළං ආව පිටින්
වැස්ස ගෙනාව යන්තරෙන්
එළිය දුන්නා එතෙරකින්
හුරේ දැම්ම අපේ එවුන්
රතුපාට වියැකී ගිහින්
පාට පාට ලෝකයක් මැවී
හැමෝටම අණ, අං ඇවිත්
මඟුල් මඩුවට ගිහින්
නොකරම අත්සන්
නොගසා ම පෙත්සම්
අපි අපිට නැති වී ගිහින් .
කල්පනාවෙන් ඉමු අපි ඉතින්
සෙත් සිරි දෙන දොහක්!
27-08-2025.
Photo credit ; Zoë Gayah Jonker
කවිය බලන්න
ඩොක්ටර් සත්‍යනාදන්
තල් ගසක් මෙන් සවිමත්
පොල් ගසක් මෙන් සුවපත්
පිච්ච මල් මෙන් සතිමත්
නොවෙයි හේ කිසි දිනෙක වියපත්
පුනරීන් කළපුවෙන් හමා එන සුළගට
යොමා නාවක්කුලියෙ නග්න පපුතුර හැඩට
මවා මඳහසක් මුව බංඩි ගොයමට ලංව
කතාබහ කරපු හැඩ පුංචි දරු කැළට මෙන
කඳවුරේ පිවිසුමට ඉහත්තෙන් යොමා මුව
නුඹේ නිවහන විය වෙඳ හල ද එයම විය
යාල්පානම නිවෙන බොහෝ වරු වල හවස
දිඟ ඇදුනු කතාබහ යාල්දේවි ට දිගය
බයිබලය කුරාණය වේදයෙන් නොනැවතී
පන්සියය පනස්පස් ජාතකය කියාදී
කහට බොමු කැප්ටන් තල් හකුරු කියද්දී
දුටිමි ඉරබටු තරුව පෙරඹරෙහි සිනාසී
බලාගෙන ඔය ඇසුර පුල්ලි වෙයි නොවෙනස්
ඉඳහිටෙක කී නමුඳු කෙනෙක් වී උදහස්
පෙරමුණ ට යන තුරා පිරුණු ඒ මදහස්
ඇසුරෙ විය අද ද හද නිවන සුව බෝසත්
කවිය බලන්න
කුමට මේ ලොව?
වැනසියන් ලොව වැනසියන් තද ගංවතුර ගලලා
වැනසියන් ලොව වැනසියන් ලැව් ගිණි ඇවිලි දැවිලා
වැනසියන් ලොව වැනසියන් ගිණි කඳු පිපිරි සැලිලා
කුමට මේ ලොව සිඟිති බිළිඳුන් කිරි නැතිව මැරෙනා
බිඳී කුඩුවී ගියාදෙන් බිම කම්පිතව පැලිලා
නැගී කැළබී ගියාදෙන් සැඩ සුලිසුළං හමලා
තැලී වේලී ගියාදෙන් ගං වැව් මුහුදු සිඳිලා
ලොවක් කුමටද පුංචි දරුවන් කුසගින්නෙ හඬනා
දැවීයන් ලොව හිරුගෙ කිරණින් චන්ඩවූ කිපිලා
හැපීයන් උල්කා ඇවිත් රුදු ඝෝර හඬ නගලා
වැදීයන් හෙණ කුරිරු පාලක හිස් දෙකඩ කරලා
කුමට ලෝකය එහිම වැසියන් යුද්ධකර පෙලනා
නොසිට නිහඬව හඬ නගව් යුක්තිය සාමෙ පතලා
ඉඩ නොදී මිනිසුන් නසන්නට යුධ බලය යොදලා
හැමට නිදහසෙ දිවි ගෙවන්නට ඇති උරුමෙ රැකලා
තනමු යහපත් ලොවක් දරුවන් සිනහවී සිටිනා
Photo Credit; Toby Wong
කවිය බලන්න
වියෝව …
එලබේවි නිමේශයක්
හැර යන්න
පෙර සේම
දැනේවිද
මෙවරවත්
ඈත් වෙන කල
රිදෙන බව
පතුලටම
පුළුවන් වේද
රැදෙන්න
අන්තිම තත්පරය
තෙක්
වෙනදා සේ
කලබල නොවී
ආසයි තියා ගන්න
තුරුලේම
නමුත්
උරුම නැති කරුම
ගෙවන සද
බලාපොරොත්තු විය නොහැක
මීට වඩා වැඩි යමක්
අනිත්‍ය ජීවිත
හැමදාම ඉතුරු කරාවි
හදවත පතුලෙන්
නැගෙන වියෝව
විතරක්ම ….
කවිය බලන්න
හෙටට හිරු පායාවි අමා වැස්සක් ලෙසින් -දයාන් කන්නන්ගර
පිරිසිදුව සුදුවතින්
සිනාමුව සරසමින්
හුදීජන රවටමින්
මඩිය තරකරවමින්
වස පොවා මරවමින්
මාපිලුන්, පොලොන්ගුන්
ලේ උරණ කුඩලුන්
පිළිවෙලට පිලිවෙලින්
අධිකරණ වෙත යමින්
යදම් රස ඉවසමින්
සිපිරි රස රස විදින
මේ දසුන දකින්නට
මේ රටේ දුක්විදින
සුවහසක් ජන තොමෝ
හදේ ගැබුරුම තැනින්
පැතු දහසක් පැතුම්
ඉටුවෙනා අයුරු දැක
මියගියත් සැපකි හෙට
ලන්ඩනය
Photo Credit; Hiran de Alwis
කවිය බලන්න
දෙවටගහ වළව්ව
කරදිය සුවඳ මුසු දුවන වැහි කෝඩයක්
ගාලු මාතර පාර පැන දෙවටෙන් වළව් වත්තට
වියපත් පිච්ච වැල යටින් පරඩැල් පතක් සේ
මතුවු පොඩි හාමු නෝනා පොරබදයි වහන්නට ජනෙල් පියන්
වහද්දී එකක් වදියි තවෙකෙක් බොල් හඩක් නංවමින්
නමුඳු නොඳැනෙයි ඒ කිසිත් සමර ගැලවුන බිත්තියට
සයනයේ පොරෝනාවක්සේ වැහැරී වැතිර සිටි
වාරු නැති ලොකු හාමු නෝනා අවදිව අසයි වෙව්ලුම් හඩකින්
" කව්ද ඔය ඔතන ජනේලය ළග පොල් ගන්න ආ කෙනෙක්ද
හිටිං මං එනකන් කාරි නෑ එක්කො පොඩි හාමු ගෙන් අහපන්
සීලා සීලා කෝ මේ කෙල්ල ගනින් අත්වාරුව
දැන් හොරු හැමතැනම
අමතකද බොලට මේක දෙවටගහ වළව්ව "
දිරාපත් සිහල උළු වහලෙන් කඳුළු බිඳු සේ වැටෙන
වතුර බිඳු වලකන්න මුට්ටි කල්දේරම්
තැනින් තැන තබමින් පිලිතුරු නොදෙන සීලා
කිමිදෙයි දෙවටගහ වළව්වේ මතකයන් තුල
" මුහන්දිරම් හාමුගේ කාලයේ සිට අප්ප මුත්තලා
කල මෙහෙය අත්නොහැර තනි අතින් අල්ලන්
දිරාගෙන යන හැටි වළව්වෙම සිය කය ද
හැරුණු කොට වළව්වේ හතර කොන
පොල් ඉඩම් කුඹුරු බඩ ඕවිටි සියල්ලම
විකුණු වග සුදු හාමු රට යන්න කලියෙන් තම්බි මුදලාලිට
දන්නෙ නැත වගක් එහි ලොකු හාමු නෝනා
කියන්නෙත් නෑනෙ එය පොඩි හාමු නෝනා "
වැහි කුණාටුව දැන් සැරෙන් තඩි බායි වලව්වට
විඩාපත් පොඩි හාමු නෝනාත් ඇළවිය කවිචියේ අවසාන
" කව්ද ඔය ඔතන ජනේලය ළඟ පොල් ගන්න ආ කෙනෙක්ද
හිටිං මං එනකන් කාරි නෑ එක්කො පොඩි හාමුගෙන් අහපන්
සීලා සීලා කෝ මේ කෙල්ල ගනින් අත්වාරුව
දැන් හොරු හැමතැනම
අමතකද බොලට මේක දෙවටගහ වළව්ව "
නොනැවති මොරදෙයි ලොකු හාමු නෝනා වැහි කුණාටුව මැඳින්
කවිය බලන්න
යාලුවනේ මේ අහන්න...!
ඔබ සැමටම වටින කියන උපදේසෙකි දෙන්න යන්නෙ...
සැබවින් මෙය පිට රටකදි වුන දෙයකිනි උපුට ගන්නෙ...
නිබඳව මෙම රටෙත් මෙවන්
දේ දැන් දැන් සිද්ධ වන්නෙ...
පබඳින්නට සිතුවේ කවි, කියවූවොත් තමයි දන්නෙ...
දුටුවොත් යම් කිසිවෙක් අප වෙතට ඇවිත් බඩු විකුණන...
තුටුවම මිලදී ගන්නේ, උදව්වක් ලෙසින් සිතමින...
ඉටු වෙනවා එමගින් ඒ අයට යහපතක් විගසින...
පටුව සිතනවා නොව මා , ඔබ සැලකිලිමත් වුවමැන...
අලුත්ම සෙල්ලම හොරුන්ගෙ
රථ ගාලක් ලඟටවෙලා...
කලුත් බලා, තනියම රථ පදවා
එන අය සොයලා...
"මලුත් විහිදනා සුවඳත් පරදයි
මේවා" කියලා...
පලුත් යවන 'විස' උරවා, යයි බඩු සොරකම් කරලා...
උරන්න දෙන බෝතල් තුල සිහි නැති කරවන විස ඇත...
මරන්න නොව , එහි අරමුණ,
වටිනා දෑ අරගෙන යත...
දරන්න බැරි රටෙ උද්ධමනේ ප්‍රතිඵල මේවා වෙත...
කරන්න සුදුසුම කීමයි, "බඩු ගැන්මට මුදලක් නැත"...!
කිසිවකු ඇරයුම් කරතොත් සුවඳ බලා, ගන්නට බඩු...
කිසිවිටෙකත් නොකරනු එය, ඉතුරු නොවෙයි, කීමට නඩු...
ඇසිපිය ගහනා වේගෙන් ඉවත්ව යනු , සලකා 'කඩු' ...
නිසි බලධරයින් දැනුවත් වියයුතු මේවනෙ, අවනඩු...
කවිය බලන්න
ලොව කැලඹූ තුන් ඇපලේ...!
ඇපල් කන්න, පෙර බෝ පින් කර තියෙන්න ඕන කියා...
කපල් එකක් කතා වෙනව ඇහුනේ මට ඊයෙ මෙයා...
සපල් බොඩියකින් යුතු වූ සැමිය
එලෙස එතැන තියා...
තිපල් කසායක් බිවු සේ එ බිරිඳ
හරි දුකින් ගියා...
මතක් වුනේ ඉන්පසු මට ඇපල් කතන්දරම තමා...
සිතක් පහල වුනි ලියන්න කරුණු
වදන් හැඩට දමා...
දතක් ගැසුවෙ තහනම් ඇපලෙකට,
"ඒව", දනිති සැමා...
කතක් නිසා ලොවෙම දනෝ විඳවයි අද නැතිව කොමා!...
කලකට පසු "අයිසෙක් නිව්ටන්" හිස මත වැටුන ඇපලෙ...
ලොවකට ඇති ගුරුත්ව ආකර්ෂණෙ ගැන ඔහුට තෙපලෙ...
එවකට එය ගැන නොදැනම උන්නත් අප නැතිව අපලෙ...
මෙවකට හරි වටිනා බව වැටහෙනවා නෙවද එ පලෙ...
පසු ගිය සත වරුසෙ අගදි තවත් ඇපලයක් එවලා...
අසු කරගත්තා ලොවෙ හැම, "ස්ටීව් ජොබ්ස්" තුමා , කවලා...
මසුරන් වගෙ ගණං එ දේ
"අයි ෆෝන"යි නම් කරලා...
ඉසුරු බවේ සංකේතෙලු , නැතිද ඔබත් එය අසලා...
අනේ එයත් යන්න ගියා අනිත්‍ය
බව ලොවට කියා...
කනේ ගසං නැටුවත් අප සැම තාලෙට අඩිද තියා...
විනේ ඇතිව ඔය කොයිවත් පරිහරණේ හොඳයි මෙයා...
සෙනේ සිතිං නවතමි මෙය, ඉවරයි මා කවිද ලියා...
කවිය බලන්න
අප්සරා මමයි
ඉවසනු කෙලෙස හැඟුමන් නොදැනෙන්නා ද
ඇවිළුණු පවස සිතුවම් ලෙස ඇන්දා ද
පවසනු මෙලෙස ගැහැණුත් තව උන්නා ද
කහවණු පිණිස නිරුවත් කර දැම්මා ද
පහසින් කලා තෙළි තුඩ හස මත රන්දා
රහසින් පෙළා යයි හද විළි බිය කැන්දා
යටැසින් බලා මගෙ සිතු හඳුනන හින්දා
විගසින් වලා සවි ගෙන තැබුවයි අන්දා
මොහොතක් නෙත යොමා තෙළිතුඩ පිසදාලා
රහසක් කියනවා වැනි මදහස පාලා
දහසක් දකින මා ළැම ගිනි අවුලාලා
තපසෙක් ලෙස ගියා නොබල ම පිටු පාලා
නිරුවත් කෙරුන ළැම දුටුවත් දෙනා සැම
එක සිත් බැඳුණ පෙම වෙති සිත්තරාවම
සුසුමත් පතන හැම පැතුමත් පුරාවම
පියුමත් රැගෙන එන නුඹේ අප්සරා මම
ඇඹිලිපිටිය
කවිය බලන්න
මිනිස්කම.
ම න ස ක සැමගෙ මෙත් සිසිලස නිති ගලන.
න ල ව ල සුමුදු සිතිවිලි මල් හද දරන.
ස ව න ත මිහිර රඳවා දිවි සරු කරන.
ක ල ත න මිනිස්කම සැමවිට වෙති සොබන.
ස න ස න සුවය ලබනට සදහම හැඳින.
න ද ක ර වන විටය සැප ලැබෙනුයෙ සසර.
ම ක ර යෙ නොමවැටී වියයුතු නම් එතෙර.
න ර යෙ නි දැහැමි මග කරගත යුතු සුසර.
න ම දි න විටදි තෙරුවන සිහි කර වැතිර.
ම න න ද කරුණක්ය එය සැමවිට මිතුර.
දි න ය ක මෙත්සිසිල යන මොහොතක පැතිර.
න ද ක ර සාධු හඬදෙයි දෙවිවරු නිතර.
කවිය බලන්න
කට කහනවට
සතියට සෑහෙන්න අඩුම කුඩුම ටිකක් අරන් එන්න
බිරිඳට කී පොලට යන්න, පන්දාහේ දෙකක් දුන්න
හනිකට ඈ රෙද්ද හැට්ටෙ හැඳ බසයට විය නගින්න
මොනවට ඒ සෙනග කියනු, පොල් පැටවූ ලෙස දකින්න
සෑහෙන දේවල් ගත්තා එහිදිත් තෙරපී රැඳෙන්නෙ
පෑහෙන කී මුදල දෙන්න අත යවලා ඇය සොයන්නෙ
කෝ, ඒවා නැහෙනෙ එතැන හොරු අරගෙනමය හිතෙන්නෙ
ගත් බඩු ආපසු දීලා ලතැවිල්ලෙන් ගෙදර එන්නෙ
ඈ යෝදියෙ හැට්ටෙ අස්සෙ රැකවරණෙට නම් එබුවේ
ඒ නෝට්ටු ගන්නා තෙක් උඹ එහි මොනවද කෙරුවේ
මා තිසරුන් මත තෙරපෙන අතැඟිලි ගැන නෑ තැකුවේ
ඒත් කවුද, මේ හදන්නෙ සල්ලි ගන්න යැයි හිතුවේ?
කවිය බලන්න
යතා රූප...
සාර සුබාවට ලියලා ....
ඇතත් පොත.
ස්වර්ණ මුද්‍රිකාවට ...
ලොකු මිලක් ඇත.
දුගී පන්හිඳක් ...
කලමුත් කවක් යස.
බැලූ දනෝ මිලයට ..
අරගත්තෙ නැත.
*********************************
බොහෝ දුමිඳු මණ්ඩල ...
වැලි මළුව මත.
වැටී තියෙන බෝ පත්..
හමු වුනත් නෙත.
ගියේ කුණු ගොඩට ..
නැත බැතිමතෙක් දොස.
පිහිටිකරේ ජය බෝ ..
පත් පිදෙති සිත.
********************************
සීත මන්දිරෙන් ඇවිදින් ..
පළස මත.
සළුව වැසු අදී ..
පෙන්වයි වෙහෙරෙ කොත.
ධවල පිළි රුසිරු ..
මැතිඳුට ගහපු කස.
දුගී පේරු දානය ලඟ ..
ඇසුනෙ නැත.
********************************
රූප ළන්ඳු සීගිරියේ ..
ලොවක් වෙත.
පාන සිනා මල්වල ඇත...
ලවන් තෙත.
මැදුරු වෙහෙර මළු පිය ගැට ...
බරක් හිස .
දැරූ නෙලූ වාමනයන් ..
කිම්ද කැත.
*********************************
පාරමිතා නැතිනම් ..
පුදසුනක් මත.
දෑත හිස තබා වඳිනට ...
කෙනෙක් නැත.
දුකින් නොලැබු වේ නම් ..
බුදු දහම් ඇස.
බනින එවුන් සිදුහත් හට ..
තාම ඇත.
**********************************
කවිය බලන්න
Fists of mine - Hiruni Bhagya
When I had tiny fists
I wanted to fight with the world
And ask why they did “this and that”
And I felt each year I grow
A little bigger knot holds me
Tying my hands and dragging my feet
Then as I grew my fists
Strong enough for a punch
I spread them to wave “Goodbye”
To all my enemies
Photo Credit; Steven Rector
කවිය බලන්න
පංචපාපා ට
අසා නුඹ කිතු ගොස
ගෙවා අවුදින් දුර ඈත
දිටිමි මුවා කළ නුඹ වත
වට ඇඳි සුසුදු තිර පට
ලැබ සුරත අම පහස
විදිලි සර වැදුණි ගත
නුරාවෙන් සලිත විණ
මගේ නව යොවුන් සිත
දෙස බලා මුදු නයන
දැන් ඉතින්
කියනු කෙලෙසද
මා උමතුවෙන් බව නුඹ ට
ඉ
16/07/25
කවිය බලන්න
සමිතියේ අන්තරය .........
ලොකු ලොකු සමිති සංගම් ඇත අප අතර
එහි ඉන්න උන් පෝශිතව ඇත මුදල් අතර
එනමුදු මනුස්සත්වය අල්පයට විකුණා ඇති අතර
කවදා නිවන් දක්කන්නද මේ මිත්‍රයෝ අතර
කවිය බලන්න
කේතකී ලඟින් හිදින්න දිවි තිබෙන තුරා
කේතකී නුඹත් පිපෙන්න කාටවත් හොරා
මා වෙතේ තවත් දැනේවි ඔය සුවඳ නුරා
ආදරේ කවක් ලියන්න හදවතින් සරා
ලංවෙලා කියන්න එන්න ඉමි පෙරුම්පුරා
කාලයක් ගෙවී ගියා ම මතක හංගලා
ජීවිතේ පැතුම් සියල්ල දුරක පාකලා
ඔය දසුන් නෙතින් දකින්න නොහැක ලංවෙලා
මාවතේ සුලං හමන්නේ ඔබෙ සුවඳ සලා
හීනයක් තවත් තියේවි සසර ඇති තුරා
රෑ දහක් පහන් කරාවි නින්ද ගෙන සොරා
ආලයක් මියෙන් කෙසේද සිතක් ඇති තුරා
කේතකී ලඟින් හිදින්න දිවි තිබෙන තුරා
කවිය බලන්න
පියවරූ...
සිතා ගන්නට බැරිම ප්‍රේමයක්
විරාගික කලාළයක ඇතිරූ....
නිවන් නොදැකම නිවන දුටුවා
දරු සෙනේ ලඟ පියවරූ
අභිනික්මන් කරනු බැරි බව කියා
බුදු ගෙයි ලඟදි ආපසු හැරුනූ....
පැලුණ දෙපා අතරෙත් තව පූදනා
මා වී ඇත හෙටටත් පැසුනූ....
පපු මැද තියා ගැබ්බර ස්නේහය
සිනා කඳුළක රහසෙම ලියවූ...
ප්‍රේමයට අරුතක් ගෙනා ප්‍රේමයක්
වේනම්.....
නුඹයි ඒ...බුදුන් බුදු නොවුනූ...
Photo credit; Mohamed Awwam
කවිය බලන්න
අහිමි දෙනතෙ මතකය .............
අඳුරු නිමේශයක දොස්තර මා සමග දෙඩු දෙනතෙ මතකය
මාගේ සොඳුරු බාර්යවගේ හද ගැස්ම දැනුන ඒ මතකය
මාගේ ආදරණිය දෙනෙත අහිමි වී ගිය ඒ මතකය
සමාධියට සම වැදී දැහැන් ගත වීමට පඬු පෙවූ ඒ දෙනතෙ මතකය
අනිත්‍ය ලෝකයේ නෙත නිත්‍ය වන්නේ කෙසේද වූ මතකය
මා සොයා නිවන් පාරමිතාවේ යන අහිමි දෙනතෙ මතකය
පිට්ටුගල
Photo Credit' Parker Johnson
කවිය බලන්න
ගිජිඳුන සුසුම් ලත් ....
මා උපන් එදවස
දුටුවෙමි නුඹ සිඹිණු
මගත
එතැන් පටන් හැම දවසක
හිනාවුනා නුඹ
මගෙ දඟ දැක
බිඳෙන් බිඳ නැඟුනෙමි
කයෙන් උස්ව එහැම
වඳන් කොහෙද මඟහැර
නුඹත් මසිත හැර දුර
යදම් බඳට සිර කර
උදම් වුනේ කෙලෙසක
බලන් දෙපා රුහිරෙක
තලා මසිත බිඳ බිඳ
තුටක්
දකින අඳුරක
රුදුරු වුනිද මනුසත,,,
කවිය බලන්න
පියාණෙනි!
ගයා නිම නැති ගුණ ගීය ඔබ
ලියා නිම නැති බණ පොතයි ඔබ
දයා සිහිලෙන් අපව නැහැ වූ
කලාවෙන් පිරි පුරහඳයි ඔබ!
කටුක ගිරි හෙල් කඳුරු මඩිමින්
සුවෙන් යන්නට මං තැනූ ඔබ
එමග නොවැරද පුතුන් යන දෙස
බලා සෙනෙහෙන්,හිනැහුනේ ඔබ!
කඳුළු ඉවසා පුත් සෙනේහෙන්
නොසැලෙමින් බුදු මගෙහි ගිය ඔබ
පියාණෙනි,අප දිවි පහන් කළ
සදා නොමියෙන මං තරුව ඔබ!
කවිය බලන්න
විරහ වේදනා
විරහවේ වේදනාව
විරහවේ වින්දනය
කවිය තුළ සැරී සරයි
සැරී සරා රස විඳියි
තලුමරා රස විඳියි
හමු වීම එක් වීම
විරහවේ පදනමයි
හමු වීම එක් වීම
දුකම බව නොම දනී
සොබා දහමේ අරුත
මෙයම වේ
මෙයම වේ
සොබා දහමේ අරුත
දැනගන්න දැකගන්න
හැකි පමණ හැකි පමණ
අවැසි වේ ඔබ තුළින් ......
වින්ඩ්සර්, කැනඩාව
Photo credit; Hibathulla K
කවිය බලන්න
දෑතෙ වාරුව ගනිමි පුතුනේ
හීන තුළ ගොනු කරපු පැතුමන් සැබෑ නොමවී ඇදෙනවා
පාරුවක යන රුදුරු ගමනම සිතේ බිය සැක වඩනවා
දිවිමගේ සැඩ සුළං හමුවේ අපව හෙම්බත් කරනවා
දෑතෙ වාරුව ගැන සැකක් මට කිසිම දිනයක නොවෙනවා
පරතෙරක් නැති සයුර වාගේ අපේ දිවි ඔහෙ ඇදෙනවා
හිරු රැසක් වී එළිය දෙන්නට නොලැබු හිමිකම් සොයනවා
තනි කමක් මැද දැනෙන සරතැස හිතට සවිබල ගෙනෙනවා
නිම්තෙරක් පෙන්වන්න නුඹලට මගේ රුහිරය පුදනවා
පවනැල්ල දෙන හිරිගඩුව ගත උණුසුමක සුව රැඳීයන්
සිතිවිල්ල හා ගැටෙන හදතුළ සැනසුමේ එළි පෙනීයන්
කැළඹිල්ල පා නැගෙන සිඳු රළ තව තවත් රළු නොවීයන්
සෙවනැල්ල වී සිටිය හිමිගේ බැල්ම අපවෙත ලැබීයන්
කවිය බලන්න
කළණ මිතුරු
මතුවන හැම ගැටලුවකදි අතනෑර
පුරුදු ලෙසට එයි ඔහු නැත සිතපාර
බියක් කොහෙද සපුන් මැදත් විසගෝර
කළණ මිතුරු නොපැකිලවෙයි උපකාර
තමනට වුනු දෙය ලෙසටම කරනෑර
දුකට පිහිටවන ගතියකි තිරසාර
ජීවිතයට කරදර එන හැමවාර
කළණ මිතුරු ළඟ සැනසුම යයි දෝර
ගොනු පසුපස සක යන ලෙස හැමපාර
දුක සැප එයි දිවි මග කැරකෙන වාර
කොහි වෙනසක් ඇති නැති වග නොමතෝර
කළණ මිතුරු වෙරළයි ළඟ රුවනාර
දිවියට ගෙනෙමින් අරුතක් බරසාර
වලකන අකුසලයෙන් දුටු හැමවාර
වඩවන සිතුවිල්ලෙන් සිත පින්සාර
කළණ මිතුරු සැපතක්මය සංසාර
Photo credit; Shuvro Mojumder
කවිය බලන්න
සෙල් කවි 6 - ආං ඒක හොඳා!
අදත් ආවේ අනේ ආයිබෝං අපේ ගමට
කිව්වත් වාගෙ ඔිං සං වර්දන වැඩ බිම්වල
අනාතනාත -තානතාන තැං තැංවල කලබගෑනි
අම්මප මොටද කියල දුන්නෙ මේ ඇත්තං ඒ දිනවල...
කොරන්ට කිසි ම දෙයක් - නැද්ද බොලල්ලාට වෙනත්
උන්ගෙන් උගෙන ගත්තු - දේවල් ඔය පංති ගිහින්
ඇත්තක් ඇති සැටියට - නොකිව්වාට ගමට ඉතින්
බොරුවත් ඇත්තක් ලෙසට ම - හැකි වේවි ලු කියන්ට දැන්...
අත්තලටත් මුත්තලාට - එහාට ගිය කිරිකිත්තල
නත්ත පනත්තල කාලෙත් - නොතිබුණු යැයි කියන නීති
“පරබූවරු” ගන්නට ඒ - නැති නීතිත් පණ ගන්වල
බලන්නට එපැයි ගුරම්පියෝ - මුන්ගේ අලුත් නීති
බොටයි මටයි උන්ටත් එක - වගේමයි ලු ගෙනා රීති...
කිව්වට ඒ කාලෙ අගක් - මුලක් නොදැන උගෙන ගත්තු
ලිහා ගන්න ගිහින් තමයි - දඟලන්නේ වලේ සත්තු
ගලපිටම`ඩ විදානයත් අල්ලල - දැන් සිපිරි ගෙයි ලු
සුකුරුත්තං රාළ අල්ලගෙන - උන්දැත් හිරේ යාලු...
එකා එකා අල්ල අල්ල - බානව දැල දම්මා සේ
තෝරු මෝරු පරා පැටව් - අහුවෙනවා පොකුරක් සේ
කිව්වට තරහා ගන්නට - කාරි මොකද මේ මැස්සේ
කූනිස්සන් හාල් මැස්සො - හරි ලාබෙට ඒ අස්සේ...
අනේ ආයුබෝං රාළහාමි - මොකද මේ පැත්තේ
කවදාවත් ගෙදරින් එළි බැහැල ගමනකුත් නැත්තේ
හදිස්සි ගමනක් ද නොවෙයි - නං පොදු වැඩකට මත්තේ
ගස් ගණින්නවත් ද කඩන - කොස් පොල් දෙල් පැල වත්තේ...
හැම දෙනාට කාල බීල - ඇඳල ඉන්න රටක් ලු බං
බොහෝ උගත් උපා දි ඇති - අය රට කොර වන වලු බං
අනේ ඉතිං අපේ පිනට - පහළ වුණේ මේ අය බං
රට කෑවයි කියන්නෙ ඔය - හැත්ත එකේ කැරැල්ලෙ බං...
මං නං ඒ මොකුත් ම දන්නෑ - ගබිලිං අයියෙ ඉතිං
ඔිවට හූමිටි තියලා - ලගින්න වෙයි සුපිරි තැනිං
උන් කළාට උන් ලොක්කෝ - අං අය හැම දෙන සොක්කෝ
පහත් තැනිංමයි කවදත් - ගැලුවෙ වතුර දනු කුක්කෝ...
පටන් ගත්ත තැන පසු කර - යන යන දෙස ඇඹරි ඇඹරි
කළ කී දෑ හොඳ නරකට - සැඟවෙයි තැන මිරිකි මිරිකි
අට ලෝ දහමත් නීතිය - කුමන නීති ඉපදි ඉපදි
ආවත් ඒ නීති යටයි - ඇත ලෝ දම කැරකි කැරකි!!!
2025.09.01
කවිය බලන්න
සමනල සඳෙස -28
දත යුතු කරුණු ගොමුව - 24
කව් පෙම්වතිය
479. කලක දි දෙරණ තුළ පාලන කළ ගොල්ල
ඔිලන්දයෙන් සපැමිණි ලන්දෙසි රැල්ල
අල්ලා මුහුදු බඩ පසු හිර කර බෙල්ල
ගත්තැයි වටින දෑ අතගාමින් තැල්ල
480. දායාදය ලැබුණි ගම සහ නගරයට
දුන්නේ සහයගෙන පට බැඳි නම්වලට
ආගම මුවාකොට වෙළඳම නතුකමට
ගත් උහු රජ කළැයි අප පත්කොට නිවට
481. ලන්දේසියා අමතක කළ නොහැකි බව
හේතුව මෙයයි නුඹටත් මම කියමි තව
අග-මුල සොයනවිට හෙළිවන තතු නැති ව
මැය ගැන කීම නුඹටත් බැරි වෙයි රුති ව
482. රදළ පෙළපතක නෑකම් ඇති ව හැදී
පහළොස් විය පිරෙන්නට පෙර කොළඹ ඇදී
ඉගෙනුම කළ ඇගේ දස්කම් අතර මැදී
කවියට තිබුණු දස්කම දුනි සුවඳ දිදී
483. දෙනිපිටි වැව ගැනයි තරගෙට කවි ලීවේ
මැයගේ අදහස ද කවියට හැර වූවේ
ඇලපාතින් පැමිණි කිවි`දුන් හමු වූවේ
ඉන්පසු දෙදෙන තරගෙට ම ය කවි ලීවේ
484. කවියෙන් සිතෙහි හැම කරුණක් පිටුව පුරා
සවියෙන් ලීවෙ දෙන්න ම හිත් මලට හොරා
දවසින් - දවස මෝරන පෙම් දමක නුරා
පවසින් මිදෙන දවසක් ගැන සිතෙහි දරා
485. සිවුරේ නොසිට උපැවිදි වූයේ මොට ද
ඒ ලෙස පෙම් දමින් හිඳ කවි ලියන්න ද
එලෙසින් පැණ අසා දෙදෙන ම තැවෙන්න ද
සමනල කියන් කවියෙන් ගජමන්ගෙ හද
486. සරගමුවෙ නූනත් ගජමන්ගෙ ගම
කිවි`දු ඇලපාත - කුට්ටාපිටි මහිම
ගජමන් පුවතෙ කියැවුණි නව මගක පෙම
සුන්දර නිසා ම ය නුඹටත් කීවෙ මම
( මතු සම්බන්ධයි.)
2025.09.01
කවිය බලන්න
තනිකම.
නෙත් සිත් පුරා දසත
ඔබ සොයා සරණ සිත
වැළපෙයි යලිත් එයිද
කියලා මාළඟට.
පියාඹා ආවට
ඔබ නොවේ නෙත් අතර
තනි තටුව දුක කියයි
සිතිජ ඉම ළඟ තනිව.
ඉර අහසේ බැස ගියත්
අඬ අඳුරේ තනි කරලා
රන් පාට සඳ ඇවිත්
නිල් අහස සරසනවා.
සංකාව රැවටුවත්
මගෙ හිතට දුක දීලා
නෙත් කෙවෙනිතනි
රකියි
මගේ කඳුලු හංගාලා
මාතලේ
Photo CreditAlexander Krivitskiy
කවිය බලන්න
ඊයේ අද සහ හෙට.
මතකය.
එදා හිරු බැස ගියා දුටුවම
හිතට දැනුනේ පාලුවක්
මෙදා සඳ රැස් මැකෙන මොහොතේ
හුදකළාවක නැවතුමක්.
හිතාගත් සිත් පැතුම් බොඳවී
විරාමය වු කාලයක්
පාලුවී ගිය අවරගිර අද
මැකුණ සෙවනැළි මතකයක්.
කලාතුරකින් ඇහිදගන්නට
සතුට සෙව්වා බොහෝ දුරක්
නවාතැන හැරදමා ගිය නුඹ
මගේ හිතළඟ සිහිනයක්.
Photo credit' Igor Kasalovic
කවිය බලන්න
ආදර ඇමතුම්
මල විකසිත ය සුවදින්
සද තව ම නැහැ ඇවිදින්
හිත කළුවරට තනියෙන්
නුඹ සොයයි දුරකතනෙන්
හඩ ඇවිත් මද පවනින්
කවි කියයි නුඹ කෙටියෙන්
හිත හඩයි හිත රිදුමෙන්
නුඹ සොයයි දුරකතනෙන්
සද පෙනෙයි මට තිරයෙන්
පෙම කියයි මට ඇසකින්
හිත හඩයි හිත රිදුමෙන්
නුඹ සොයයි දුරකතනෙන්
කවිය බලන්න
සුවඳ මල්...🌷🌹🌷
එදා වාගෙම අදත් සුවඳ මල් පිපෙනවා..!
ගූණ සුවඳ මිහිමතට පිරිත් පැන් ඉසිනවා..!
පිය වරුණ කවදටත් සිත් තුලට දැනෙනවා...!
කවි සිතක රිදුම් යලි යලිත් පිරි මදිනවා....!😥
ඉබේ පැලවන ගොයම කරල් දෙයි පැසීලා..!
ඔබේ කට හඬ ඇසෙයි මදනලක එතීලා..!
තඹේකට මායිමක් නොසිතාම වෙලීලා...!
කඹේ දුර ගිහින් සිත දිගේලිය සොයාලා..!💖
පාසලේ සීනුවට අවනතව
පීරුව...!
ගෙවී ගිය අතීතය දවයි සිත
සීරුව...!
දැවී මතකය රැගෙන මිහිරි රස සාරුව...!
ඔහේ ඈතට ඇදෙන දෙගම්බඩ පාරුව....!🌹
උදේ පායන හිරුම සවස්කල බහිනවා...!
නුඹ නමින් තාම මහ පිං ගොඩක් පිරෙනවා..!
අපුච්චේ කවදටත් නුඹ හදේ රැඳෙනවා...!
අදත් දෑසට නැගෙන කැට කඳුළු පිසිනවා...!😥
යහගුණය මේ තරම් මට ලබා දුන්නේ....!
කවි සිතට උපන්ගෙයි හැඩතලය වන්නේ...!
දොහොත් මුදුනත තබා වඳින්නට පින්නේ...!
මතු සසර නිවනටම ඔබ ලඟා වෙන්නේ..! 🙏
කවිය බලන්න
යුරෝපේ ග්‍රීෂ්මය
රන් වන් පැහැ අරුණලු වසා ගත් ගල් වැලි මාවත්
ඒ අරුණලු වලින් විකසිත වුනු පැරණි ගොඩනැගිලි
සන්ධ්‍යා මලහිරු පාටින් මිදි ගස් දිලිසෙයි,
ඇපල් ගස් හිනැහෙයි!
නිල් අහස්තලය සිබිමින් කදු පන්ති රහස් කියයි.
රන්වන් පැහැයෙන් දිදුලන මුහුදයි
මලහිරු බැස යන උණුසුම් සන්ධ්‍යවයි
ඉතිං නමක් යොදමු අපි
යුරෝපේ ග්‍රීෂ්මයට.
කවිය බලන්න
විල් දිය
විල් දිය නිසසලයි
ඈ දිය සසල කරවයි
දිය මත සිහින් රැළි නඟයි
අතීතයේ රැළිති මත නැගී
කෝඩුකාර වන්දනා කරුවන් වෙතී
සංසාර විල් දියේ තෙර සොයා පැද යතී
ගැඹුරු නිසසල සංසාර දියේ
ජීවිත අනියතය ලියවා තියේ
දිය තරංගයන්ද නැඟී මියැදේ
කවිය බලන්න
බොඳ වූ සිත්තම
තැනූ කූඩුවෙ ඇයත් සමගින් ගෙවූ කාලය සන්තොසින්
මැවී තවමත් පෙනෙයි අප එක් වෙලා විඳ ගත් හැටි රසින්
බලා ඉද්දිම කඩා හැලුනයි පැතූ ලොව සිහිනය ලෙසින්
තබා කඳුළක් පෑල දොරකඩ මගේ සොඳුරිය හැර ගොසින්
දිනේ නිමකර හිරුත් බැස යයි අහසෙ නැත සිතුවම් ඇදී
වළා රොදකින් මකා දැමුවයි දැනීලද දුක්ගිනි පොදී
ගලා හැලෙනා අඳුර අතරින් සැඟවිලා නෙක තරු විදී
පිපී හිනහුන කුමුදුණිය පෙති හකුළගෙන තවමත් නිදී
නුඹේ රුව සිතුවමක් වී මැවි මැවී සැමදාමත් දකී
කියා ගන්නට බැරිව පත් ඉරු මත කොටා පිරවිය වැකී
සොරා ගෙන ගොස් අපේ සෙනෙහස සදාකල් පන මෙන් රැකී
එපා තනිකම අතැර යන්නට රැඳී ඉදපන් මගෙ සකී
කැකිරාව
Photo credit; Natalie Trout
කවිය බලන්න
බිනර මස
බිනර මස මට ලබා දෙන්නේ ජීවිතේ සුන්දර සිතුම්,
තනිව් සිටි මම බිරිඳ වන්නේ මෙමසෙ දිනයක නොවැ ඉතින්,
එමසෙ තව එක දිනක් වැදගත් ඔහුගෙ ජන්මය සමරමින්,
දොලොස් වෙනි දින ලැබුනෙ මට මව් පදවියත් නිති අගයමින්.
ලොවම අගයන දනන් මිහිතල
වැලඳ ගන්නේ බිනරයේ,
අනගරික ධම්පල් තුමානන් බිහිවුනෙත් මේ බිනරයේ,
වෙලඳ පොල දනයාට ගෙනදුන්
තූමා බිහිවුන බිනරයේ
අම්ලකර දෙන ගසුත් වර්නෙන් හැඩ් ගැසෙන්නෙත් බිනරයේ.
කිරුල පලඳා වැජබෙමින් සිටි
දේසයට අනෙ කිමවුනේ?
ත්‍රස්තවාදී හෙනය වැදුනෙත්
බිනර මස නොවෙ පෙරදිනේ,
ලෝකයම කැරකුනේ එදිනනෙ, බටහිරට පැරදුම අනේ,
සරු දනන් පය ගැසුවෙ පොලොවට නිඹුලු කුලුනන් සමගනේ!
බිනර මස දුන් පාඩමෙන් බුදු
දහම පැහැදිලි වෙයි නිතින්,
සතුට දෙන කල සමහරකට අද
වෙනෙකු හට ගෙන දෙයි සටන්,
සිතනු මැන සැම දෙයම නිති නැත
ලව්කික ලොවේ මේ අපි වසන්,
ගෙවනු මැන මෙත් ගුනය වඩමින්
සතුටු වී අනෙ ලද දෙයින්.
Photo Credit; Chirag Saini
කවිය බලන්න
තාත්තේ
කන්ද සමනොල වගේ හිඳිමින් පතුළෙ උල්පත් හංගලා
වින්ද දුක ගැන කිසිත් නොකියම බෙදුව සිසිලස හිනැහිලා
වැන්ද මහ සෑ කොතත් පරදා තිබුන දරුපෙම ඉතිරිලා
මන්ද නොදනිමි මතු බුදුන් වන කාරණාවෙන් ගිලිහිලා
මහා තුරු හිස් වගේ උහුලා අව්ව වැස්සෙන් වළකලා
කතා නැතුවත් එකම බැල්මෙන් සිතේ බය සැක දුරු කළා
දරාගන්නට බැරිම තැන්වල සිටින හැටි හැම ඉවසලා
කියා දුන්හැටි තවම පුදුමයි ගන්න බැරි මට අදහලා
සේම සැමදේ අනියතයි යන කාරණා මට පහදලා
බෝම දුරකට ගියා නොකියම යළි නොඑන්නම පියඹලා
කෝම ඉවසන් ඉන්න හැදුවත් සොබා දහමට නතුවෙලා
තාම කඳුළින් දෑස තෙත්වෙයි තාත්තේ ඔබ සිහිවෙලා
කවිය බලන්න
සාක්ෂි නැතුවම මා..මරන්න..
දරන්නම බැරි වචන පිහි තුඩින් ඇන්න තනිකමෙන් වැලපෙනවා නුඹ ගැන මතක.. ඔය තරම් දරුණු වචන පිටවුනේ කොහොම.. පුරවන්න ජීවිතේ නුඹ විදපු අඩුව වෙහෙසුනේ දියකරලා මගෙ ජීවිතේ සතුට.. ඇගෙ සෙනෙහේන් මත් බබරු නැටුවද ඉගිලිලා යන්න ඔබ පොටක් හොයනවද.. රිදන විදවන තරම දන්න උඩ දෙවියන් විතරද.. හැකි වුනා නුඹට ඇබ්බැහි කරලම සාක්ෂි නැතුවම මා..මරන්න..
Credit; Jon Williamson
කවිය බලන්න
සටනෙම තමයි සූවිසි පැය මහ බැද්දේ,,,,
උතුර නැගෙනහිර ත්‍රස්තයෝ කරන් වට
වනසයි ඒවා ඉන්නට බෑ නිදන් මට
සමච්චල් කරයි සමහරු අපි පාස් අට
රට දැය වෙනුවෙනුයි කැප කලෙ දිවිය, හෙට
අඳුර වැටෙන විට මල් වෙඩි වගේ සද්දේ
ඒමේ අතට ගිණි විදි පතුරොම් සද්දේ
සීතල රැයේ වැටෙනා පිණි පොද මැද්දේ
සටනෙම තමයි සූවිසි පැය මහ බැද්දේ
කුසගිනි පිරුනෙ නෑ කිසිවිටකදි රිස්සේ
පවනට සෙලවුනත් කොළ අතු හිත ගැස්සේ
රිoඟා බියට නැත හිටියෙම බoකර අස්සේ
එල් ටිටිඊ එවුන් දැක නැහැ පසු බැස්සේ
මාවිල්ආරු කිලිනොච්චිය තොප්පිගල
කේසර සිoහ ජවයෙන් ලද හටන්කල
සෝදිසි මෙහෙයුමේදි දවසක සවස්කල
බෝම්බයෙන් දෙපයම වෙන් උනෙද බල
ක්වේට්
කවිය බලන්න
උදුම්බර සොයමුද
සරුංගල් ඉගිළිලා දේදුන්නෙ දැවටේවි
වලාකුළු කැටි ගැසී
වැහි බින්දු මුසුවේවි
තාරකාවියො ගගන
මුකුළු කොට සැඟවේවි
ක්ෂිතිජ මල් උයනේම
අපට අප හමුවේවි
කඳු සිරස තැන්නකදි
මලක් වී පිපෙනවද
දියවැලක් වී හෙමින්
කළු ගඟට බසිනවද
සුළං රැල්ලක එතී
මල් සුවඳ ගෙනෙනවද
මඟ හැරුණ ලස්සනම
කවිය හෙට ලියනවද
උදුම්බර මල් සොයා කුමට
අපි වෙහෙසී
දහස් පෙතියා පිපෙයි
ගෙමිදුලේ දිගැසී
කුරවි කූජනයකින් ගෙනෙයි රස මියැසී
නොමිනිසුන් හමුවේද
පෙම් ලොවට සැහැසී
දළඹු සිහිනය දිගේ
ඇදෙයි දිගු ගමන
පියාපත් පිරිමදී
සමන් ගිර මුදුන
රොන් බරින් හමා එයි
සිහිල් වූ පවන
සරාසඳ සෙවණ යට
නිවා ගමු ගිමන
කවිය බලන්න
කොළොම් පුරේ......
වන්නිකරේ ඉන්න අපට කාර් බාර් නැතත් ලැබිල
බස් තුන හතරකම නැගල එන්න බැරියැ රූං කියල
පත්තර පිටුවක තිබුණනෙ කොළොම් පුරේ සිරිය ලියල
යන්නට නම් ආස හිතුණ කාසි පණම් ටිකක් හොයල
හරි ලොකු පොකුණක් තියේලු හෝ ගාගෙන රැල්ල නැගිල
තෝරු මෝරු පොකිරිස්සොත් පීනනවලු වරල් ගහල
මූණ ඇඹුල් කරන තරම් ඒ වතුරට ලුණුත් දමල
මහ විසාල නැව් යනවලු සුළං පාර දෙබෑ කරල
පෙළක් දාට උඩ ඉගිලෙන අහස් යන්තරයක් දැකල
මටත් හිතුණෙ මෙව්ව ඉතින් දෙයියො දුන්නවත්ද මවල
මොකක් නමුත් දන්නවාද ඒකෙ රහස ඉතින් ඔහෙල
කොළොම් පුරෙන් තමයි ඕව උඩට ගන්නෙ හුළං ගහල
ඇඟට මහන්සිය දැනේවි බස් එකේම දවස ගෙවල
හිතට බයයි ටවුම මැද්දෙ මහ මග වරදියිද කියල
තනිය මකන්නට හිටියොත් කවුරු වුණත් අගේ කරල
කහට ටිකක් බොන්න බැරියැ උළුඳු වඩේ එකක් හපල
පාට පාට මල් ඔසරිය ඇඳගන්නම් නෙරිය දමල
ආල වඩන ලැසි ගමනින් ඇවිදින්නම් අඩිය තියල
කාට වුණත් මේ කියන්නෙ දෙතුන් වරක් හොඳට හිතල
මා දකින්න පිට කොටුවට එනවද රෑ දවල් නොබල
කවිය බලන්න
හිරු සඳු හමුවීම
දවසක් හිරු අවදිව අළුයම
සිය අරුණලු විහිදා දසතම
ක්ෂිතිජය කෙලවර දිදුලන
රිදී රුවක් දුටුවා දෙකොනින
"සියුමැලි පැහැබර රුවැතිය
මින් පෙර මා ඔබ නොදිටිය
මීදුම් තුල සැඟවුනු යුවතිය
නුඹ කවුරුද දැන ගනු කැමතිය"
ඇසූ වදනින් ඒ රුව සසලව
පැවසීය මෙලෙසින් කෝලව
"මම නමින් සඳු වෙමි
රැයෙහි අහසේ ගැවසෙමි"
ප්‍රතාපය හරවා මදකට
හිරු පැවසීය මෙලෙසට
"තරු පිරිවරා වඩින
අඳුරට ආලෝකය දෙන
ඔබ පිලිබඳ මම දනිමි
රැයට අධිපති හඳුනමි
එනමුදු දහවල....
මට පමණක් නොවෙද?
අද ඔබ ආවේ කිමද?"
සුසුමක් හෙලා අනතුරු
සඳු දුනි මෙසේ පිළිතුරු
"මා රෑ පායන තරිඳු
ඔබමයි දහවල් නිරිඳු
තරු පිරිවරා සිටියත්
දැනුනි මට හුදකලාවක්
රෑ දහවල් ලුහුබඳින
ඔබ මා හමුනොවන
මේ ගමන නොනිමෙන...
ලොවට උනුසුම දෙන
සූරිය නමින් වැජඹෙන
ඔබ දැකුමට එක් වරක්
නැවතුනෙමි අද මදක්
නොකලත් පෙර ඇසුරු
විය හැකිද අප මිතුරු?"
රත් පැහැ රැස් විහිදා
මුදු හඬින් පැවසීය හිරු
"නැවතුනිද ඔබ මා එන තුරු?"
මද නිහැඬියාවක් ...
"හිතවතිය මම එමි
ඔබ දැකුමට
හැකි හැම විට
උදේ රැයින් අවදිව.
එනමුදු දැන් යව
මෙතැනින් යුහුසුළුව
දහවල් මෙහි නොරැඳෙව
එය ඔබ හට නොරිසිය
මා සියුමැලි මිතුරිය."
මදහස පා, සඳු සැනින් නික්මිනි
ක්ෂිතිජයෙන් ඔබ්බට පාවී
හිරු රැස් දල්වා, උනුසුම පතුරුවා
නැරඹීය ඒ ලාලිත ගමන නිහඩව
නුදුරු දවසක
සොඳුරු අළුයමක
යලි හමුවීමක්
පිළිබඳ හිතක්...
නිරන්ජන් සෙල්වදුරේ
කවිය බලන්න
ස්වාමීනී,
පරසිඳු මෙපුර යටගිය දවසක නුවර
පිරිසිඳු පහස ලැබු සම්බුදු කෙත නියර
කිරි සුදු පිරිත් හුය බැඳ තවරා පුයර
නිරිඳුද සිටියෙ සෝදා අත ලේ දියර
පිට නිය ගසා නොකසා රජ දරු ඇලය
බට දඬු දරා පැතුමකි බොන නිල් ජලය
හෙට ගැන සිතා තුරුණුය සිත් අරගලය
හැට ගණනකිය දහසින් එතනම බලය
සහලය දැනුම් උන්, රට කරනා කරුණු
රහලය, ගොඩක් අය, පියවරු මඟ හැරුණු
ඇහැළය වුණත් නව මං පෙත් හෙළි කෙරුණු
ගහළයො තමයි දෙසුවෙම මුණි, බණ කරුණු
පෙරපර බලන විට පවසට ගළපාන
බහුතර බෝසතුය බුදුවන සඳපාන
විලතර රකුසු ඇතියෙන් කර නළපාන
එනතර හෙතෙම මඟ විය, දත් විලිසාන
පවතිනු නැතුව දියමත විඳිමින් බින්දු
අමතනු පෙමින් රකුසුය සමනල සින්දු
නවතිනු පිණිස පවසට දියවර කැන්දූ
භවතුනි මෙහිද විල් අසලය බට ලන්දූ
කවිය බලන්න
බිළිඳිය,........!
තනිකර කැකුල වෙල් එළියේ වා තලේ
හඬ හඬ ගැහෙනවා දකිමින් සීතලේ
හදවත උණු වුවත් කිරි ලේ නෑ බළේ
බලනිය ඇහැ කොණින්, හිඳ ඈතින් වෙලේ
බිළිඳිය කුමුදු මල් සමඟින් රෑ යමේ
සඳළිය එළිය දුන්නද පායා ඉමේ
වනළිය උණුහුමින් කවියක් කී පෙමේ
මිහිළිය මවකි ඈ රැකගත් ලෝ දමේ!
Photo credit : Omar Lopez
කවිය බලන්න
අහංකාර මස්සිනා
තනිව සරණ තුමුළ බළැති ගිජිද වනේ ලෙසින
සිහින ගෙනෙන තනිය මකන ම'හද සෙනේ පුරන
නෙතඟ බැළුම් මල් හීසර නොතක අගේ වරුන
කොතෙක් කලක් ගියත් මගේ නොවෙද නුබේ සෙවන
බහ තෝරන දොහේ ඉඳන් අපි දෙන්නට දෙන්නා
අත නෑරම කැලේ කොලේ දුර ඇවිදන් උන්නා
හිත පූදින සෙනේ තියේ හද පතුලෙන් නැගෙනා
මම නෑනා උනේ නුබේ අත ගන්නම පතනා
පැල් රකිනා පෝය හඳේ ඉන්නම් තනි යහනේ
පාළු මකන සී පදයක් මුහු කරලමි නිතිනේ
සේද සිනිඳු සළු නොපතමි සැරි සරමින් සිහිනේ
පායාපන් නැකත් තරුව ගෙපැල පේන මානේ
නෙලා නෙළුම් මල් දෝතක් හද පුරවා බැතිනේ
පුදා පහන් සිළු දල්වා එළි කරවන ලෙසිනේ
බෙදා සමව දුක් සැප නිති දරමින් එක මිටිනේ
සදා දිවිය අත් වැල් බැඳ එතෙර වන්න හැකිනේ
ඇඹුල තනා නියර දිගේ පා ඔසවා එන්නයි
පෙළට සැදී ගොයම් කයිය හා යා වී ඉන්නයි
රහට කතා කමත කොනේ ඉද අමුණා ගන්නයි
සිඟිති සිනා ගෙපැල පුරා හඩ පැතිරී යන්නයි
කවිය බලන්න
වඳින් සමිඳු දෙනුමැන පිළිසරණ මට
නිකිණි පොහොය දින පුර සඳ කිරණ යට
හදින් බැතිනි යුතු මුනි ගුණ සරණ කොට
තදින් බැඳුණු සිත බැමි බිඳ හරණු හට
වඳින් සමිඳු දෙනුමැන පිළිසරණ මට
මිහිපිට තණන මහ මැඳුරුද ඉසුරු සැමා
යනවිට සැවොම යනු වෙතිමය අතැර දමා
ගමනට පිනය සැනසුම නිති නුවන යොමා
සැමවිට පිරිය යුතු වහවහ නැතිව පමා
දින දින දිරණ කුණු කයහට ලොබ නොකොට
දැනගෙන අරුත තිදොරම කැටිකොට එකට
දන පින කුශලෙ යෙදෙනුය නොවැටෙති දුකට
යන එන සසර නිමවෙනුමය සැක මොකට
ගරු නම මුලට ලද ඉසුරිණි බැබලුනිය
පිරුණම විටක පව එලෙසම දුක දුනිය
හැරුමම ඵලයමුදු ඇලුමට පලවැනිය
මැරුණම සියලු කෙළවර නම වෙති මිනිය
මෙලොවට යැපෙනුරිසි දැහැමිව සෙවිය යුත
එලොවට පිනම හැර වෙන කිසි සරණ නැත
දෙලොවට ඵලය පිනිසම එය අනගි වෙත
තිලොවට තිලක මුනිඳුගෙ දෙසු දහමෙ ඇත
දින දින තැවෙන රැවටෙනසුළු සිත හදමූ
තැන තැන දුවන සිතුවිලි හට වැට බඳිමූ
දන පින තුලිනි අකුශල පහකොට හරිමූ
නිමවන සසරෙ දුක නිවනෙහි සුව විඳිමූ
කවිය බලන්න
චිත්‍රා 2
ඒක් ටැම් ගෙයක නුඹ හිරකර තබනවිට
ඔය රුව වනනවා ඇහුනා විටින් විට
දුටු සඳ උමතු වෙනවලු යයි කටින් කට
දිවි පරදුවට දා එමි නුඹ දකින්නට
මීන නයන දෙබැමෙහි හැඩ දේදුනුය
සිහින මවන රන්වන් ගත විසිතුරුය
පාන සිනා මල්සර හීයක් වැනිය
පේන කියන උන් නම් මට වහ වැනිය
එතන බැඳි වැටකි චක්‍රාවාලයකි
අතන ගැඹුරු දිය අගලකි කිඹුල් සකි
වටම නපුරු ආයුධ ගත් සෙබළු ඇති
එක් ටැඹ වටා බැඳි උස්වූ පව් රු ඇතී
රහස් කියයි සවනට මෙහි තුරුවදුළු
පහන් වෙන්න තවමත් කාලය මදිලු
යහන් තලේ නුබ වගුරනවද කඳුළු
කඳුළු නෙවෙයි ඒව වෙයි මුතු පබළු
අදත් බැරිය මේ බාධක පැනගන්න
සිටිත් සෙබළු සීයක් නුඹ රැකගන්න
මදිත් කිඹුලු දත කට බිල්ලක් ගන්න
යළිත් එමිය චිත්‍රා ඉවසාපන්න
කවිය බලන්න
කිසිවෙක් නොදනිති
දනිමු අපි දිග සැතපුමක සහ - යොදුන කොතරම් දැයි කියා
රටින් රටකට තිබෙන දුර හැක සිතියමෙන් ගන්නට සොයා
සඳට ඇති දුර ඉරට ඇති දුර වුවද ඇත පොත්වල ලියා
එහෙත් කිසිවෙක් හැඳින ගෙන නැත සසර දිග කොතෙකැයි කියා
කළේ ඇති දිය ලිඳේ ඇති දිය විලේ සහ ඇල දොලේ ඇති දිය
ගඟේ ඇති දිය වැවේ ඇති දිය සමඟ මහ සාගරේ ඇති දිය
ගිණිය හැකි වුව බින්දු විලසින නොහැක ගණිනට තිබෙන තුරු දිය
සසර තුළ අපි දුකට සතුටට හෙළන ලද අපමණ කඳුළු දිය
ගිනි කූරෙ ගිනි පන්දමේ ගිනි සමඟ එක එක ලිපේ ඇති ගිනි
ගිනිමැලේ ගිනි පෝරණුවෙ ගිනි එමතු නොව තව කැලේ ලැව් ගිනි
දැක තිබෙන අපි තරම හඳුනමු මෙගිනි වල සහ සැමගෙ සාගිනි
එහෙත් නිසැකව කියනු නොහැකිය කෙතෙක් සැර දැයි රාගයේ ගිනි
පවන් පතකින් නැගෙන සුළඟට හැකිය දාහය නිවා ලන්නට
එයට වැඩියෙන් එයම කළ හැක සුළං පෙත්තෙන් නැගෙන සුළඟට
ගෙවල් දොරවල් ගස්ද පෙරලා දැමිය හැකිවෙයි ටොනෝඩෝවට
ඊට වැඩි දේවල් කරන්නට හැකිය කෙනෙකුගෙ සුසුම් වේගෙට
2025 / 08 / 10
Photo credit: Sergio Kian
කවිය බලන්න
ගොඩපර සෙල්ලම්
අක් වැස්සක්වත් නැති ඉඩෝරය
දරා ගැන්ම තරමක් අසීරුය ...
ගොඩපර සිසිල විඳින්නට සිතා
වත්ත පහළට ඇවිද යමි
රුක්ෂය යටට පැමිණි විගසින්
මා හිස මත පතිත වී විසිව යන
ගොඩපර ගෙඩියක්
බම වැටී පල්ලම දිගේ දිව යයි
අවපැහැ ගැනුන කුඩා ලී පිත්තක්
මෙහි ඇති බව දකින සැනින්
එදවස ආ කොලු කුරුට්ටන්
සෙල්ලම් කර සතුටු වූ අයුරු සිහි වේ
පාත පොකුරකින් ගෙඩියක් කඩා
උඩ දමා පිති පහරක් දුන් පසුව
ගස තුළින් සටසට හඬක් නික්මී
නීල කොබෙයි යුගලක් ඉගිළ යයි
21.08.2025
කවිය බලන්න
කෘතගුණ...
කොඳු නමාගෙන බර දරාගෙන
බිම බලාගෙන වී කරල්....
පිදුරු ලෙස මිය ගියත් කුඹුරක
නොදැක කිසිදා සත් මහල්....
කිරි වැදී රන් පැහැය දුන් හැටි
වෙහෙස නොබලා රෑ දවල්....
සුදු ඇඳන් සිහි කරනවා ඇති
පිටි වෙලා සුදු වී සහල්....
2025.08.17
කවිය බලන්න
වඳුරු හාමි
නිමිත්ත - වත්තේ ගසකට රැය පහන් කරන්නට එන වඳුරු හාමි)
මගෙ රැළ සමඟ දවසේ දිවි සටන කරලා
ආවා රැය ගෙවන්නට උස අතු සොයලා
වෙහෙස නමුත් නිදිබර ඇස් දෙක පිසලා
දැකලා ආමි ගුවනේ ඇත නුඹ බබළා
අතීතෙ අප සැම එක විලසින් උන්නා
පරිණාමයේ වෙන අත්තකට ඌ පැන්නා
වල්ගා, ලොම් හලා දෙපයින් සිට ගන්නා
මොළයේ බලෙන් ලෝකෙට ලොක්කා වන්නා
ගින්දර, රෝද තව නෙක විජ්ජා පෙන්වා
මානව ශිෂ්ඨාචාරය පිහිටෙව්වා
දියුණුවෙ හිනිපෙත්තටම යන බව දන්වා
අපෙ ලොව මකා ඒ මත උගෙ ලොව මැව්වා
ලොව හැම බිම් අඟල සිය සන්තකට අරං
ගස් වැල් කපා ඇල දොළ සින්දවන නියං
කැන්දා, අපට නැති කර සැම යන එන මං
මිනිසා බලන් ලෝකෙට වින කරන තරං
හුස්මක් ගන්න බෑ විෂ වායුන් පාවේ
ඵලක් කොලක් නෑ කුස පිරෙනට කෑවේ
යන එන තැන අපට ගල් මුගුරුම ආවේ
ඇසුවත් නැතත් මගෙ දුක නුඹටයි කීවේ
කාලයෙ මුල පටන් නුඹ මෙ සියල් දැක්කා
අප අසරණයි මිනිසා මිහි මත ලොක්කා
එන්නම් හෙටත් රැකුනොත් පන, රැළ දක්කා
පරිස්සමෙන්, නුඹ මත බැස්ස ඌ එක්කා
Photo credit; Manoj Seenivasan
කවිය බලන්න
කුසුමේ.....
ඉද්ද මල් නුරුස්සන
ක්‍රෝටන් පැල වලට වතුර ඉහින
බොරළු පටු පාර නොඉවසන
ලන්දේ පාරේ ගමන් බිමන් යන
රතු බිංදු ගවුම් අඳින
කුසුම් නොදරන කුසුමේ.....
පෝයට රේඩියෝ බණ අහන
කන්දේ දේවාලයත් මග හරින
ඉඳහිට කවිත් ලියන
පත්තරය නොවරදවා බලන
පැණි කැවිල්ලක් හදාගෙන
හිච්චි පැංචන්ට බෙදන කුසුමේ.....
කුසුම්සිරි එන තෙක් මග බලන
උණු දියෙන් සනහා සතපවන
ගිරවියක මෙන් දොඩවමින
අලුත් ආදරයක් දවස ගානේ බෙදන
කුසුම් නොදරතැයි ළත නොවන
කිරි සිහින දකිමින් සුවසේ නිදන කුසුමේ.....
කවිය බලන්න
ඈත සිහිනයට.......
නුබ ගැබ සරණා සියොතෙකු වූවද
නැවතුනෙ නිසසල විල අසලයි
වියරුව ගලනා ගඟුලැලි වූවද
නැවතුනෙ නිල්වන් සිඳු අතරයි
සුවඳට පිපෙනා කුසුමන් වූවද
පිපුනේ තුරු හිස් මුදුන් වලයි
මිහිරට දකිනා පැතුමන් වූවද
නැවතුනෙ අපගේ සිත් අතරයි.
පායන හිරුගේ රැස් දහරාවන්
රැඳුනේ සුපිපුණු මල් අතරයි
දිලෙනා සඳුගේ සොමි සඳ කිරණින්
මැකුවේ තරුවක රැස් දහරයි
පාළුව තනිකම රැඳි හද මඬලක
දුක නිව්වේ නෙත් දිය දහරයි
බලාපොරොත්තුව යළි දැල්වෙන සඳ
දිලුනේ හද තුල රැඳි පහනයි.
ඈතින් ඈතට දිවයන කාලය
සිහි කෙරුවේ ලොව රැඳි දහමයි
මිරිඟුව මායාවක් බව දැනුනද
එය පසුපස ගොස් සිත පාරයි
අනන්තයට ඉගිලෙන සිතිවිලි නෙක
යළි ඇඳ ගන්නට සිත ලෝබයි
හුදකලාව තුල සිත සතපන්නම්
සිහිනෙට යන්නට තව ඈතයි.
කවිය බලන්න
අනේ මන්දා..
බලන්න ඔය ඇඳුමක හැටි
කරත් කැපිලා ගැඹුරට
පිටත් පේනවා තව
හා...හා...
නෙරියෙන් හරි වහගන්න බැරිද
ඔය බඩ.
වහින වෙලාවට
උස්සන් යන්න එපා සාරිය
හුඟක් ඉහලට ඔහොම
ඒක හරි නෑනෙ ගෑනියෙකුට.
යාලුවෝ කියලා ඉන්නේ
පිරිමි විතරයි ද ඇත්තටම
දැක්කොත් සිරික්කිය!
ලොකු දරුවොත් ඉන්න
අම්මෙක් නේද ?
ඔය සාය, හැට්ටෙට
මිනිස්සු හැරිලා බලයි
අඳිනව නම් ඇඳුමක්
ලස්සන දෙපතුල් ගාවට.
(අනේ මොකටද මගේ කට!)
අත් කැපුවාම ඇඳුමක
ඇඟ පේනවානේ එලියට
(ඒ එබි එබී බැලුවොත් නෙ)
කරාඹු මාල වළලු
මොන තොරොම්බල් ද?
එංගලන්තෙ මහ රැජිනට වත් නෑ
මේ හැටි වයිවාරන්න සපත්තු.
සාරිම අල්මාරි නම් කීයක්ද?
මොනවටද ඔයහැටි මෝස්තර
අපරාදේ වියදම් කරන්නේ බොරුවට.
(කාගෙවත් සල්ලියැ ඉතින්)
හිනාවෙන්නෙ ඔයහැටි පිස්සුද?
සින්දු කියන්න, නටන්න ඔහොම
ලැජ්ජාවක් ඇත්තේම නැද්ද
ඔය මොන නාඩගම් ද?
(කවුරුත් යටි හිතින් අල්ලන සවුදම්
කාටවත් නොපෙනෙන්නෙ හොඳ වෙලාවට)
ඇවිදින්න, කන්න, බොන්න
තව අටෝරාසියක් සිරා බිරා
හැමදේම අනුන්ට ඕන විදියට.
හුස්මක් කටක් වත් ගන්න
අවසරයක් නෑ
හිතුමතේට.
උදාරයි කීවත් මේ රට
ගෑනියෙක් වෙනව නම්
ලබන ආත්මෙක හරි දවසක
සියලු පින් පල දීලා වත්
බාරි වෙයන් රත්තරනේ
ඇස්කිමෝ පිරිමියෙකුට!!
කවිය බලන්න
I should have been
When the sun rises
The moon hides with stars
When the sun sets
The moon comes out with the stars
This reminds me of my past
Why I had been like the moon?
I was brighten by the sun
Why I couldn't feel that
I would have been so grateful
Now I have realized my fault
Most of his time was dedicated for working
He worked hard
Because Me and our children
I always missed you..
You always missed me
We became distant from each other
In our heart..!
Now ,I feel I couldn't be kind to him
Sometimes.. I feel it would have been better,
If,he had balanced the situation well..!
Then the sun and the moon would have been
In the same sky together..!
කවිය බලන්න
අප්සරා මං සිත්තරා
අඩසඳ වු නලල් තල
සිප ගන්න සිත්වුණා
දිගු දෑස අඩවන්ව
නීල පැහැවන් වුණා
දඟකාර කෙහෙරැල්ල
පළඳනා එක්කලා
දිගු නැහැය පියකරුය
හැඩය මා සිත් වුණා
දෙතොල් පෙති මදහසට
සලිත වුනෙ මගෙ දෙතොල්
දෙතොල් පට ඇඳෙනවිට
මහද මන්මත් වුණ
දෙකම්මුල් රත් පැහැව
විලියකින් බර වුණා
දෙකන් පෙති රන් තෝඩු
වලින් මම හැඩකළා
සිහින් දිග ගෙල වටා
මාලයක් පැළඳුණා
සිහි වුනේ පෝරුවට
ගොඩ වුණා දෝ කියා
පුළුල් උර සිතුවම්ව
සිතින් මා සැතපුණා
දිගු දෑත් මත රැදුණු
කට්රොල්ද නිල් වුණා
දෑතටම මගෙ අතින්
වළලු පොඩි පැළඳුණා
බාහුවට ගිගිරි සර
පළඳලා හැඩ කළා
පීන පියොයුරු දෙපළ
මගෙ දෑස මත් කළා
තබන විට තිසර තුඩු
බඹර තුඩ මත්වුණා
සිහින් ඉඟ ගලපද්දි
දෑත මගෙ ගල් වුණා
සිනිඳු සළු පොරවද්දි
සියුම් තැන් සිහි වුණා
නාභිගත මා දෑස
නුරාවෙන් මත් වුණා
සළුවෙ රැළි නාභියට
යටින් සිත්තම් කළා
නිශා කළ නිදි නැතිව
මනස හැඟුමන් සලා
අප්සරා නුඹ නොදත්
මං නුඹේ සිත්තරා
02/08/2025
කවිය බලන්න
දුර ගිය නුඹ
මත්වුනු බිඟුන් සමනල් කැලතගෙ පහස
මල් මල් පිරුණු නිල් වන් විල් තෙර විලස
රන්වන් අරුණු රැස් මට පැවසුව රහස
සන්සුන් වෙන්න පෙම්බර යටගිය දවස
කොඳමල් කැකුළු කඩුපුල් ඇහැරෙන රැයට
මැදියම ගෙවී සඳ දෙව්නිදියන පැයට
නිදිමත දෑස නුඹ ගැනවිමසන කලට
සුසුමක දකිමි දුර යනබඹරිඳු රුවට
බොඳවුනු ඇස සොයනසුව සීතල අතක
මැලවුනු වත සොයනමුදු බව හදවතක
පරවුනු හිස සොයනසැනසුම උරහිසක
හමුවනු නොමැත ආයෙම නුඹ කිසි කලෙක
Photo credit ; Matěj Jeřábek
කවිය බලන්න
අතුල රෝහිණී
මාගම් පුරෙන් පිටත් වී
කදිරාගමින් එහා
මහවැළි ගඟින් එතෙරවී
ගව් සිය ගණන් ගෙවා
මම අතුල සෙනෙවි රෝහිණි
ආවේ නුඹව සොයා
නිල් නෙතට ආදරෙයි නුඹෙ
මම නුඹේ සිත්තරා...
මල් පිපෙන පැතුමකට
පොපියන හිතේ දොර ඇරන්
පිල් විදා පෙම රඟන සිතිවිලි
හීන පොදි බැඳන්
දුල් වලා යට රඟන සියොතුන්
විලස නිදහසින්
කල් බලා නොසිට හිත ළඟ
නවතින්න ඉඩ දියන්...
මේ සුළඟ නුබ අරන් එනවිට
සුවද කොයි තරම්
රත්තරන් නුඹ ගෙනැත් සුව
දෙනයනට ඒ තරම්
නුඹ චන්ද්‍ර මණ්ඩලේ සාවිය
කුමට තව උවම්
අඟහරුට පෙම් බැන්ඳ සුරු විරු
පෙම්වතා මෙ මම්...
කවිය බලන්න
ප්‍රේමය නිදහස් කවියක්
ආකර්ෂනීයව පෙනෙන්නට
පාට කඩදහියක් ගෙන,
නොමැකෙන ලෙස තෙලි තුඬින්,
කුරුටු ගාමින් කපා කොටා
පද සමගින් තුලාබර ගලපා
ලියන්න වෙහෙසුනි
රාමුවටම සිව්පද කවියක්..
ලගු ගුරු හා මාත්‍රා සමකොට
පබදින්නට අපොහොත් විය.
පුනරුත් දොස දොසක් උවත්
ඒ බැව් දැන දැනමත් මම
අලංකාරය සඳහාම එය
සියුම්ව යොදා ගතිමි.
අපාර්ත දෝශයනම්
කිසි විට සිදුවන්න නොදී,
අර්තයක්ම එක් කරන්නට
වගකීමෙන් වගබලා ගනිමි.
දශමහ දෝෂයන් අතරින්
අමුණ අමුණා යලි යලිත්
කියවා රසය විඳ ගමි.
කොන්දේසි පසෙකට දමා
ලියූ සිව් පද කවිය,
නොදැනම නිදහස් කවියක්
බවට පත් වී ඇත.
මම අතින්ම ලියවුනු
ප්‍රේම නිදහස් කවියේ
සුවබර,ආත්මීය රස විඳ ගමි.
කවිය බලන්න
එකම බිම්කඩ මුල් ඇදන් අපි....
එකම බිම්කඩ මුල් ඇදන් අපි
එකට අතුඉති දළුදමා
උස්මහත් වූයෙමු ටිකින්ටික
අතුපතර යදමක් දමා
හිරුට සඳුටත් මුහුනදීලා
ගතට සවිබල ඔපදමා
දකින දසුනෙත් නෙතක් පිනවන
රුසිරි ඇන්දෙමු හැඩදමා
කැටිව පවුලක් සවිව කුළුනක්
ලෙසින් නැගිලා අහසට
අව් වැසිද මහ සුළං කෝඩද
පලව හරිමින්ම , ඈතට
රකින්නට බිම්කඩෙක අයිතිය
මායිමේම එක හැඩයට
තුරුපෙලම අපි එකට හිටියා
බලැති වෙස්ගෙනම සවියට
අතින් අත්බැඳි අතුරිකිලි හැම
නිතිම පවනට මුහුවෙලා
දකින දසුනට තුට සදන්නැති
ගත සිතද සුවපත්වෙලා
පියඹලා එන පොඩිකුරුල්ලන්
හෙවනෙ ලගිමින් සැනහිලා
පුංචි ගීහඬ හැඩට ගැයුවා
අතුපතරෙ හිඳ ලංවෙලා
සමව අව්පිණි මාරුතද මැද
උන්නු එකටම ලංවෙලා
මිතුරුදම් අතුරිකිළි දැක දැක
උන්නෙ සතුටින් හිනැහිලා
සමයෙ සීතක ඉඟිය එනවිට
ඒත් උන්නෙමු හිනැහිලා
එකමුතුවෙ උනුහුමම සෑහෙයි
හිතුවෙ සවියෙන් දිලිහිලා
ඉතිද හැලිලා අතු ඉපල්වී
කඳට වෙලිලා ඉන්නවා
දකින දසුනේ හිතම ගල්වෙන
වේදනාවක් පුරනවා
ලඟින් හිටි නුඹ මගෙන් සමුගෙන
ගිහින් බව නෙත දකිනවා
සොබාදහමේ රීතියට අපි
යටත්බව හිත කියනවා,,,,
අවනතව ඉමි ,සොබාදම් රීතියට
කවිය බලන්න
කැලෑ මල්
අහස සඳ හිරු ලෝකයම වැනි
විසල් උපමා බිම තියා
දහසකුත් වූ ප්‍රේම මන්දිර
ඉරිතළා දෙදරා ගියා
ලොවට රඟපෑ හිනාවෙන් නොව
හදවතින් එක්විය යුතූ
එකිනෙකා ආදරේ නැති දා
මොනවට ද ගේ දොර වතූ
ඈත දෙපොළක තනිවුණත් තරු
එළිය යන්තම් විහිදුවා
ඊට සුපුරුදු සෙනෙහසින් නිති
හිනැහුණා හිත් පටලවා
තාර පාරක හැදුණ පැළුමක
අසීරුව රජ වුණ තැනේ
සරුව ලියලුව කැලෑ මල් පෙති
සුවඳ දී හිනැහී වැනේ
Photo Credit Ayo Ogunseinde
Photo credit
කවිය බලන්න
ප්‍රේමය නමින් බොහෝ හදවත් හමුවිය
ඒත් අම්මගේ තැන එතැන නැත..
අම්මා ප්‍රේමයේ පැන් කෙන්ඩියයි....
අම්මා නම් ප්‍රේමයමය...
ප්‍රේමය නම් අම්මාමය...
සෙනෙහස අමුණා සිනා මුතු වැලක
ආලය මල් ගොමුවක් කරලා
මුදු වදනින් සිත් සුවපත් කරනා
දයාව සංහිදියාවයි අම්මා...
"හිත හදා ගන්න බැරි උන බොහෝ තැන්වල ඕවා ඔහොම තමයි පුතේ හිත හදා ගමු කියල කීවෙ අම්ම විතරයි..හිත හදා ගන්න බැරි උන බොහෝ තැන්වල ඕවා ඔහොම තමයි පුතේ හිත හදා ගමු කියල කීවෙ අම්ම විතරයි.."
පන්සලක් වගේ හිත හැදූ
දන්සැලක් වගේ කුස නිවූ
උල්පතක් ව පවසම නිවූ
පින්කෙතම ඔබයි අම්මා...
සෙනෙහස අමුණා සිනා මුතු වැලක
ආලය මල් ගොමුවක් කරලා
මුදු වදනින් සිත් සුවපත් කරනා
දයාව සංහිදියාවයි අම්මා...//
දුකත් සතුටක් කරන් හිනැහුනේ අම්මාය..
මා ඇසූ මුල්ම සංගීතය ඔබේ හද ගැස්මය..
ඔබේ ඇකය තරම් සුව යහනක මා නිදා නැත.
අතගා සිත් හැම සුවපත් වනතුරු
සුමිහිරි සිනහව පුබුදාලා
බුදුරුව වාගේ හිත තුල ඇදුනා
දෙවැනි බුදුන් වූ අම්මා...
සෙනෙහස අමුණා සිනා මුතු වැලක
ආලය මල් ගොමුවක් කරලා
මුදු වදනින් සිත් සුවපත් කරනා
දයාව සංහිදියාවයි අම්මා...//
මගෙ ප්‍රතම හමුවීම ඔබයි
මගේ ප්‍රතම හාදුව නුඹයි
මගේ ප්‍රතම ප්‍රේමය නුඹයි
කිසිදාක මා හැර නොගිය...
මගේ සදාතනික බැදුම ඔබය...
Photo credit; Kelly Sikkema
කවිය බලන්න
රෝගියා සහ ලාභය
දරුවට ලියුකීමියාවලු
මහරගම හැමදාම යනවලු
හොයනවලු ඇට මිදුළු
සැත්කමට ගානක් යනවලු
අනේ පිහිටක් වෙමු
ජීවිතේ බේරමු
පින් පතා වැඩ කරමු
සීයෙ කොළයක් දනට දෙමු
පායනා කාලෙදි
රෑ දවාල් මාන්සි වී
කන්න දේ රැස් කරයි
කූඹියෝ
පලංචියකින් වැටිලා
කොන්ද හතරට කැඩිලා
උගුරටත් බට දාලා
යමක් ඉල්ලයි දෑත පාලා
පසුම්බිය ඇදලා ගමි
නෝට්ටුව තෝරමි
ලෝබයෙන් තොරව දෙමි
මතු දෙව් සැපක් පතනෙමි
පායනා කාලෙදි
රෑ දවාල් මාන්සි වී
කන්න දේ රැස් කරයි
කූඹියෝ
තැලසීමියාවට ලේ
නෑලු ඉස්පිරිතාලේ
යයිද මරු තුරුලේ
හිඟයි මිල මුදලේ
දරුවාව මැවී පෙනුණා
හිත සොවින් උණු වුණා
ආනිසංසත් හිතට වැටුණා
දාන පිංකම හොඳින් කෙරුණා
පායනා කාලෙදි
රෑ දවාල් මාන්සි වී
කන්න දේ රැස් කරයි
කූඹියෝ
කවිය බලන්න
කිසා ගෝතමී කෙනර
උපන් දාම මිය ගිය පුතු සොඬින් ගෙන
සොවින් හඬයි කෙනරක අයදිමින් පණ
මඟින් හලා ගිය නෑයෝ සොයා යන
අසන් මිනිසුනේ කෙනරක දෙසයි බණ.
යන එන මඟේ මදයා මඟ හමු විනිද
පණ දෙන්නම් කියා හොඬ ගා පැව සිනිද
දිනකදි මංමුලා ගාලේ පැටලිනිද
බණ පොත කොලපතට යටවි පොඩි විනිද.
ගැබ්බර දිනේ නෑයෝ පිටුපෑද නුඹ
මන්තර කියා අම්මා මිරිකුවෙද ගැබ
සුන්දර සිහින බොදවිද නෙක ගැටුම් හබ
ගින්දර කබලේ එසැනින් පිපිරුනිද අබ.
දෝනිය ගැබ්බරයි ඈ දොලදුක් ගාය
මෑනිය සත්පතිනි කරබා පිටුපෑය
හානිය රැලට කිසිවෙකු නොතකන සේය
කාලය ගෙවෙයි ගැබිනිය මිනිරන් පෑය.
බඩත් දරා උස් අතු අල්ලනු බැරිව
පෙලක් දවස්වල ගැබිනිය හිස් බඩව
ගොඩක් දුර ගොසින් තැන් තැන්වල සිගුව
දුවක් වැදු මවටත් කිම අමතකව.
සුඳු ඇත් පැටෙක් සොඬගින් රත් තඹුරු සිඳ
මුදු සයනයේ මහමායා කුසට වැද
සුඳු සඳ පාන සම කරුණා ගුණය විද
සිඳුහත් උපත මව් කෙනරක දකී අද.
කිසා ගෝතමි හමුවිනි නම් නුඹට
අසා ගන්න තිබුනා බුදු බණ යසට
දොසා කියනු බෑ මව් ඇතිනිය නමට
ගසා බසා යන්නැති හිත ගිය තැනට.
පටාචාර දරුවන් එක තැන නැසුන
නටා ගිණි දැල්ල සිටු ගේ අළු කෙරුණ
දුටා ඇස්පනා සැමියා පණ අදින
රටා එක වගේ ගැහැනුන්ගේ කොතැන.
මොකටද අසා නිබ්බුත පද අම්මාට
දස දුක් විදන් බිහි කල පුතු නැති දාට
වසවත් මරුණි කන් දෙන් මේ අම්මාට
ඉස පැන් පොඳක් පණ දෙන් මළ දරුවාට.
කැලේ මවක් පැටියෙක් බිහි කල දාට
රැලේ කිරි එරෙයි කවියෝ කීවාට
" මළේ ඇගේ පුතු හොඬදා බෑ ඊට "
ඇලේ දිය කෙලී අලි මිනිසුන් පාට.
24 / 08 / 2025
කවිය බලන්න
රන්දෝලි පෙරහැර
තුටු කරන් සැම, වීදියේ රජ, රන්දෝලි පෙරහැර ඇදෙනවා
රැජින හෝටල සඳළුතලයේ, ප්‍රභූ ඇස්, එය විඳිනවා
නේක සළු අභරණින් සැරසී, දෙපා වීදිය සිඹිනවා
රිදෙන දෙපයෙන් මැවෙන තාලය, දැයේ උරුමය රකිනවා
දවුල්, බෙර ගිනිකෙළි මැදින් මෘදු ස්වේත පාවඩ එළනවා
සිරි සධාතුක හිමි බැතින් ගෙන ඇත් රජුන් ඒ මත වඩිනවා
බරණ සූසැට පැළඳ ඇති, නැති, මෙහෙවරක තතු කියනවා
මඟුල් සක්වල අසිරි මතුකොට ඩා බිඳිති
බිම සිඹිනවා
වීදියේ එක තැනක මා ප්‍රිය සොඳුර, පෙරහැර බලනවා
"තත්තා නටනවා" කියමින්, මගේ පණ, හඬ
නඟනවා
වැයෙන බෙර පද තාලයට නෙත කඳුලු බිඳුවක් වැටෙනවා
පෙරහැරේ හැඩ, අපේ අගහිඟ ජිවිතේ දුක නිවනවා
කවිය බලන්න
මතුර මතුර මෙ සුබ මතුර
අතුර අතුර නැතිව අතොර
අතු අතරට කළගෙඩි තර
උතුර උතුර පැසෙන වතුර
ඉතිර පිරෙන ලෙස තිර කර
තුර තුර නුඹ ඇදෙන අතර
අතුර අතැර නොයන් මිතුර !
වස් කවියක් නමුදු මාමේ නුඹ ගමට
සෙත් කවියක් කොහොම නොලියා නුඹ නමට?
කවිය බලන්න
සතුටු සුවඳ පිරුණු රැයක්
පුංචි පුංචි බැලුම් බෝල
එහේ මෙහේ එල්ලා
සෙලිබ්‍රේශන් පාටි එකක්
අපේ ගෙදර දැම්මා
බටර් කේක් එකක් ගෙනත්
ඉටිපන්දම් දල්වා
අත්පොළසන් හඬ මැද්දේ
ඒ ගිනි සිළු නිමුවා
තාත්තගෙ ගී නාදෙට
අපි අත්පොඩි නගලා
සිනා මල් පිපුණු රැයකින්
සඳුන් සුවඳ හැමුවා
හඳමාමා රන්තැටියට
කිරියි පැණියි බෙදලා
හා පැටියා අතේ එවපු
කතාව මට කිව්වා
බත් කට කට අනා රසට
අම්මා මට කවලා
හිස අතගා මුව විහිදා
සුපෙම් සිනා නැගුවා
බැලුම් බෝල දෙකක් ම මම
මගේ අතේ රඳවා
සුව යහනේ සනීපයෙන්
නිදි දෙව්ලිය දුටුවා
Photo Credit:Hamed darzi
කවිය බලන්න
හිම කැටි ආදරයට සුබ පැතුමි…..
නීතියෙ දෙවගනගෙ හෑගොඩ අනුර පුතූ
හිරැ නො බසින රටෙි අද මැනිකකිය මුතූ
පද වැල් ගීත සහ කවි පද රසට ගෙතූ
ඔබමය කලා ලොව මහ සද්දන්ත ඇතූ
කීවා මගෙ දියණියන් ඔබෙ තතු හෑම
බිරිදයි දුවයි හරි හැඩකාර ලු බෝම
නිහතමානි කමට ම නොවරදවාම
පෙර පින් මහිමයට ලැබුණේ හැමදේම
පත්තර වලින් සගරා පොත පතින් අද
සන්නිවෙිදනින් ජනතා දිනුව හද
සිරි ලක් මවගෙ ගරැ නම්බුව රකින ලද
රසිකයෝ මොන තරමි ඔබෙ ගුන ගයන වද
හිම කැටි ආදරය නමි කවි කථා පොත
දොරට වඩින දින පහළොව යෙදී ඇත
ලොකු පොඩි හැම දෙනගෙ දිනමින් රසික සිත
නිසැක ය පෝෂණය වෙන එක කලා කෙත
නව කල එළි දැක්ම නමි ඔබෙ මී විතට
කන් කළු රසය කැටි කර දී හැම හිතට
පිනවා රස නහර වැල් වාතෙට පිතට
වත්සල නිවෙීදනයෙන් කර දෙයි තිතට
හෑගොඩ සුහදයානෙනි සිත දහිරි අරන්
සමි බුදු සරණ දෙවි පිහිටම සිතේ දරන්
දිගු ගමනක් යන්න සාහිත රසය පෙරන්
සිය පවුලට දිනේවා ලැබ ජයතු චිරන්
හැඩිගල්ලේ සේන වික්‍රමාරච්චි ලංකාවෙහි සිට ලියයි…..
කවිය බලන්න
මහද්වීපයට ළඟම දූපත
මහද්වීපයට පෙනෙන දුරින් ඇති
දූපතකි
මුහුද රළු වූ දිනදි
පහසුවෙන් යටවිය හැකි
මහද්වීපය වෙලාගත්
රෝ බිය
මර බිය
අමනුස්ස බිය
අඩු නැතිව ඇති
සුළං වැසි
සුළි කුණාටුද
හඹා එන විඩා නැති
විෂ වායු දුම් මවා එවා ඇති
එපමණයි
මහද්වීපයෙන් දූපතට ලද හැකි
කවිය බලන්න
නිදි - නොනිදි අනිත්‍ය
සිහිනයක් තුළ මන්දස්මිතයකින් මම ගැස්සි අවදිවෙමි
පසෙක නිදන ප්‍රාණ සමය හුස්ම ගන්නා බව පසක් කරගනිමිද?
හීන් හී ගඩු පිපෙන දහඩියෙන් තෙමෙන මැදියමක
අතපත ගාන්නේ ජීවිතයදැයි
නොනිදි නින්ද මැද හඩගාමි
ලෝබී වෙදනා බෙදාගමි
හද තලාගමි
රික්ත වූ දිවි සැරිය
මුදාගමි නැත පලානොයමි
ඉතිං ඇති මට
සඳ සොයායමි
නැත හඬා ඇති
ඇස් හරිමි
අහා!
ඔහු පසෙක නිදි
යළි වෙලී නිදමි....
කවිය බලන්න
සිතිජය දුරද ? .......
අහසෙ සිට නෙත් හෙලමි
ගොඩබිමේ මම තිතක්
පොළොවෙ සිට නුබ බැලිමි
තරු අතර මම එකක්
වෙරළෙ සිට සිතිජ ඉම
පෙනෙයි මට තනි ඉරක්
යන්න හැකිනම් එහෙට
අනන්තෙට නැහැ දුරක්
කවිය බලන්න
සකපෝරුවෙි ජීවිතේ
කැපුනු මැටිපිඬ දියෙහි මුසුකොට වෙහෙසවී එකසීරුවේ
කයෙහි දහඩිය බිඳිති ඉස ඉස කරකවා සකපෝරුවේ
රැයෙහි දහවල බඩවියත රැක ගෙව ගෙවා පව පූරුවේ
ලිහෙනු පෙර ගත ප්‍රාණ වායුව තබනවා දුව පෝරුවේ
වළඳ වෙනසක් නොකර එක ලෙස රස නහර පිනුවත් දිවේ
කුලය තවමත් වේලි බඳිනව අසිරි යටකරමින් රුවේ
අසෙනි මල් ඉස නගා සක් හඬ සුබ ගමන යන දින ලොවේ
දෙපස තැබු පුන්කලස හැඩ කලෙ කුඹල් අතකිනි පෝරුවේ
නුවණ දරුකැළ හිස පුරන්නට දිවියෙ බරමයි ඉහිලුවේ
බිඳුණු කරගැට සැඳෑ ගොම්මන මල් පැණිය යට සැඟවුවේ
කතිර යුද්ධෙදි කුලය දියවී සම බිමක හිඳ සැලකුවේ
ඉසුරු ගෙන දෙන සුබ නැකතෙ කිරි අපියි මැදුරේ ඉතිරුවේ
කවිය බලන්න
On Facebook I see… 😊😍- Shani Anthony,
Ladies in caps and waiting in shades,
Crossbody bags swinging free,
Trainers on feet as dresses dance with the wind,
Shorts that glow in the summery light.
Colours in calibre, singing with grace,
Singing and dancing videos with joy,
Trips filled with laughter,
Trending dress-ups, in a whisper
Poses, smiles that loving linger.
Tie-up shirts, trousers that hug,
Elegance painted in shades of delight,
Shoes that echo their tiny crop -tops,
Earrings swaying with a giggly vibe.
Songwriters bloom n new singers in style,
Poetic thoughts take flight on light,
Authors arrive with books to inspire…
And in these little windows of style,
My heart lights up as a trendsetter make life happy and alive. 😍😎
29/08/25
Photo Credit: Nataliia Rabinovych
කවිය බලන්න
කුරුලු ලොවේ විසිතුරු
තනිකම රැඳි වන පියසක දහවල කල ගෙවනා
උණු සුම දෙන මව් උකුලක සුවසේ රැය නිදනා
කැදලි තෙමා පිනි ඉහිරෙන හිමිදිරියට ගැයෙනා
ළමා කුරුලු ගී නාදෙන් සිත දැහැනක ගිලුණා
කලා ලොවේ ගනුදෙනුවෙන් අත හුරුවක් ලබලා
කුඩා කුඩා පියසි මතින් හොඳ කැටයම් නෙළලා
පහන් පැයේ රස ඉහිරෙන මිහිරි ගීත ගයලා
වනන්තරේ හැඩ ගන්වයි එකමුතු කම රැකලා
තුඩෙන් තුඩේ ගයන ගැයුම නොතේරුනද මිහිරියි
ලැගුම් පළෙන් පිටත් වෙමින් යළිත් ගමන් එකටයි
මිනිස් ලොවේ නැති තරමට එකමුතු කම ඉහළයි
කුරුලු ලොවේ ඇති විස්කම් හිතන්න බැරි තරමයි
වනන්තරේ කොතැන නමුදු තිබෙන බැවින්
අනතුරු
නිරන්තරේ සවන් නුවන් විමසිල්ලෙනි තොරතුරු
තැවුම් මකා නැවුම් වෙමින් සුතුට පිරුණු නිරතුරු
ගැයුම් උගත් සුමිතුරු කැල මවති ලොවක විසුතුරු....
කවිය බලන්න
හිඳින් ඉදිකඩ ළඟ ඉතින්
දෙනෝ දාහක් යනෙන මහමග
තනිව කදමලු උරදරා
ජීවිතේ බර තනිව උසුලන
කොහේදෝ නුඹේ පෙම්බරා
මගෙන් වෙන්වී තැනූ නව ලොව
දැවී නුඹ මියෙනා තුරා
නොඉඳ ගෙපැලට වරෙන් ඉන්නම්
සොඳුර නුඹ යළි එනතුරා
පෝරුවේ හිඳ නුඹේ ගෙළ බැඳි
තැල්ල උගසට දුන් දිනේ
හදේ ගින්නට දැවුණු පැදුරේ
අපේ ඇස් නැහැ පියවුණේ
උදේ නුඹ මට අරන් එන
තේ උගුර නැතිවූ ඒ දිනේ
ඉබේමයි මගෙ දෑස් විවරවු
පෑල දොර වෙත යොමුවුණේ
විදුලි කොටනා එළිය දැක
හුළු එළිය නිවලා වැව් දියෙන්
දිවි මගේ මංමුලා වෙන්නට
ගියේ ඇයි මා තනි කරන්
පුරා හඳ දෝතේ දරා යළි
පුරුදු ලෙස පැන කඩුල්ලෙන්
අළුත් පැදුරක් අරන් එන්නම්
හිඳින් ඉදිකඩ ළඟ ඉතින්
කවිය බලන්න
සිතුල්පව්ව සුපින් බිමට
බැති මී බිඳු කැළතීගෙන
සඳ තැටියෙන් කිරි ගැලුවම
සිතුල්පව්ව වෙහෙර හැඩයි
එ'පැන් කඳින් ගත දෙවුණම
ගණ්ඨා නද රැව් දෙන විට
සාධු කියවුණේ නොදැනිම
තරු නෙතකින් කඳුළු වැටුණි
සැදැහැ සිතම හිරිවැටුණම
සුදෝ සුදට නෙළුමක් දී
නමදින්නට පාළු අතට
එදා ඔබත් නකුල මවක
වූ රඟ මගෙ මෙ'භව මගට
පුදා දෙදෙන හා සෑ ළඟ
නිවන පැතූ සැණින් රුවට
නඳා හැඟුම් වැසි ඉහුණා
සිතුල්පව්ව සුපින් බිමට
හෝමාගම
කවිය බලන්න
ගෞතම ගීතය.
හේම වර්ණිත සළුපිළි ගත වසා දැවටුන
කොකුමගර ඈ නෙක සුවඳින් මන නදන
සුර පුරය තම පයට පාගා ඔද වඩන
පුරඳුර ට සිත් බැඳුණු බව නොකීවේ මන්ද
ගුරු පඬුරු මම නොයිල්ලමි
පඬුපුලට උණු වන්නටද නොකියමි
දඬුවම් විඳ විඳ වුව පතන්නේ නම්
පතිනි වුව ගල් නොකරමි
පතිනි සිත නගන මැසිවිලි
දැණුනා නම් මදක් හෝ සිතුවිළි
පා විලංගුව විසි කර දමමි
මන්ද්‍රි දේවිය ලෙසින් දන් දෙමි
මන බඳින තැන විසල් මාළිග ඉදිවිනි
මල් අතුල කටු යහන රිදවනා බව දනිමි
මල ගෙයින් අබැටක් නොසොයමි
නිවෙන තැන හිඳ හද නිවා ගමි.
2025.07.06
Photo credit: Gaurav Masand | Dreamstime.com
කවිය බලන්න
ඉරක් ගිණිගෙන....
උපන් පවකට ලැයිම් ගේ යට
ගෙවනවා දිවි දී බරක්
පනන් දෙකකට ඉතින් මේ හැටි
විඳිනවා මිරිකී දුකක්
අහන් නැතුවට කමක් නෑ නුඹ
බිඳෙනවා හිත වී රළක්
වහන් හිටියට රහස් ලෝකෙට
රකිනවා පණ සේ මලක්....
වරක් දැවටුන පමා මිහිරක වුවත්
සිතුවිලි ඉපිලිලා
දුරක් යන්නට කතාකළ නුඹ ඇවිත්
ළඟටම ගුලිවෙලා
මලක් පොඩිකර පලා ගිය හැටි තවත්
මතකෙම තැවරිලා
ඉරක් ගිණිගෙන දවා අළුවුණ හිතත්
රහසෙම ගොලුවෙලා...
දුරයි නුඹ මට අහස පොළොවට
විඳ ගනිමි දුක රෑ දිවා
ගලයි නෙතු යට කඳුළු බරටම
පියමනිමි පව මේ ගෙවා
බලයි ඉඳහිට ලැයිම දොරකඩ
සිර කරමි ඉකි රූ මවා
මෙයයි ඉරණම උරුම කරුමෙට
ඈ රකිමි ඇකයේ හොවා...
ගලේවෙල
Photo Credit : guille pozzi
කවිය බලන්න
හාල් මැසි කඳුළු
පිහිනන මායිමේ සීමා නොදැන සිටී
දිය අත ලෙස ඇදී දියඹෙහි මැදක ගැටී
දහසක් පියාසර යානා විලස වැටී
පැටලී එකිනෙකා තෙරපයි කඳුළු කැටී
දැල මත ගැටුන තෙත නෙත් නොම පෙනෙන තැනේ
අමු හෝ වියළි ලෙස සැකසෙයි හතර කොනේ
ධනපති මසුන් නොදකින පුර පොහොය දිනේ
කුඩමසු හාල්මැසි මසවුළු අතර පෙනේ
කිසි දින සෙනෙහසක වරුණක් නොලැබු ලෙසින්
අනතුරු දැලක අත්පසුරට සිරව ගොසින්
හැම පන්තියෙම අහරක වැද නොයෙක රසින්
වින්දද හාල් මැසි බොජුනක් ඔබද තොසින්
රිලවෙකු ගැන පවා දුක් ගෙන මග නොහැර
වැනසෙන සතුන් ගැන විපරම දෙන නිතර
පරිසර කමිටු දස දහසක් ඇත පවර
පොඩි එකෙකුගෙ නැසුම නොදුටුවෙ කිම මිතුර
Photo Credit:sohrab zia
කවිය බලන්න
🗙
















































































