නා හිමි බැහැදුටිමි

නා හිමි බැහැදුටිමි

මහාචාර්ය සරත් විජේසුරිය

මහ නා හිමියනි, මං ගියානෙ ලන්ඩනයෙ මියුසියම් එක බලන්න යන්නම වටින තැනක් හිමියනි. “අපෙන් හොරකං කරගෙන ගිය වස්තුව දැක්ක ද?” එතැන ලෝකයම දකින්න හැකි පෞරාණික වස්තු මහා සාගරයක් හිමියනි, බලා නිම කරන්න බෑ සතියකින්වත් “සේරම අපේ පුරා වස්තු, අපේ සම්පත්” සමාවෙන්න හිමියනි, අපෙත් කීපයක් තියෙනවා සුරක්ෂිතව ලෝකය තුළ අපි ඇත්තටම තිතක්නෙ හිමියනි, “මහත්තයාගෙ ඔළුව නරක් වෙලා වගෙ ඇන්.ජී.ඕ. කාරයො එක්ක ද ඔය ගමන ගියෙ?” අනේ නෑ හිමියනි, මං ගියෙ පුතාව බලලා එන්න, මං ගියෙ මගෙ වියදමින් “හරිනෙ මං හිතුවා.” ඒ කිව්වෙ හිමියනි, “පුතා සුද්දගෙ රටේ පුතාගෙ කරේ සුද්දා පුතා දාපි තාත්තව සුද්ගේ මල්ලට, අබුද්දස්ස කාලේ හහ් හහ් හහ් හා.....” සමාවෙන්න හිමියනි, “නවත්ත ගන්න මහත්තයො මං දන්නවා ඉතිහාසය හොඳටම ඕකුන් අපේ රට අල්ලගෙන කළ හරිය හෙණ ගහලත් මදි පරහැත්තට අපි හිඟමනට වැටුණේ ඕකුන් හින්දා සේසතම හූරගෙන ගිය හින්දා තේරුණා ද?” හිත කලබල කර ගන්න එපා හිමියනි, හැම රටකම වටිනා කියන දේ එතැන සුරක්ෂිතයි ඒවා ඒ ඒ රටවල තිබුණානං, විනාශ වෙලා මෙලහකට මට අවංකව හිතුණ දේ හිමියනි, මං කියන්නෙ, දවසක වැඩම කරන්නකො හිමියනි “මං හය වතාවක් ගිහින් තියෙනවා පර සුද්දගෙ රටට මට හිත දුන්නෙ නෑ මගෙ දෑහින් ඔතන දකින්නවත් මොකටද මගේ ලේ කෝප කර ගන්නෙ මහත්තයට මං එකක් කියන්නං රටට ද්‍රෝහි වෙන්න එපා ජාතියට ද්‍රෝහි වෙන්න එපා ආගමට ද්‍රෝහි වෙන්න එපා උගත්කම කෙලෙස ගන්න එපා, එච්චරයි මං කියන්නෙ” “හා හොඳයි. තෙරුවන් සරණයි” සරත් විජේසූරිය 29 අගෝස්තු 2025 ශ්‍රී ලංකාවේ දී
කවිය බලන්න