හිරු සඳු හමුවීම

හිරු සඳු හමුවීම

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

දවසක් හිරු අවදිව අළුයම සිය අරුණලු විහිදා දසතම ක්ෂිතිජය කෙලවර දිදුලන රිදී රුවක් දුටුවා දෙකොනින "සියුමැලි පැහැබර රුවැතිය මින් පෙර මා ඔබ නොදිටිය මීදුම් තුල සැඟවුනු යුවතිය නුඹ කවුරුද දැන ගනු කැමතිය" ඇසූ වදනින් ඒ රුව සසලව පැවසීය මෙලෙසින් කෝලව "මම නමින් සඳු වෙමි රැයෙහි අහසේ ගැවසෙමි" ප්‍රතාපය හරවා මදකට හිරු පැවසීය මෙලෙසට "තරු පිරිවරා වඩින අඳුරට ආලෝකය දෙන ඔබ පිලිබඳ මම දනිමි රැයට අධිපති හඳුනමි එනමුදු දහවල.... මට පමණක් නොවෙද? අද ඔබ ආවේ කිමද?" සුසුමක් හෙලා අනතුරු සඳු දුනි මෙසේ පිළිතුරු "මා රෑ පායන තරිඳු ඔබමයි දහවල් නිරිඳු තරු පිරිවරා සිටියත් දැනුනි මට හුදකලාවක් රෑ දහවල් ලුහුබඳින ඔබ මා හමුනොවන මේ ගමන නොනිමෙන... ලොවට උනුසුම දෙන සූරිය නමින් වැජඹෙන ඔබ දැකුමට එක් වරක් නැවතුනෙමි අද මදක් නොකලත් පෙර ඇසුරු විය හැකිද අප මිතුරු?" රත් පැහැ රැස් විහිදා මුදු හඬින් පැවසීය හිරු "නැවතුනිද ඔබ මා එන තුරු?" මද නිහැඬියාවක් ... "හිතවතිය මම එමි ඔබ දැකුමට හැකි හැම විට උදේ රැයින් අවදිව. එනමුදු දැන් යව මෙතැනින් යුහුසුළුව දහවල් මෙහි නොරැඳෙව එය ඔබ හට නොරිසිය මා සියුමැලි මිතුරිය." මදහස පා, සඳු සැනින් නික්මිනි ක්ෂිතිජයෙන් ඔබ්බට පාවී හිරු රැස් දල්වා, උනුසුම පතුරුවා නැරඹීය ඒ ලාලිත ගමන නිහඩව නුදුරු දවසක සොඳුරු අළුයමක යලි හමුවීමක් පිළිබඳ හිතක්... නිරන්ජන් සෙල්වදුරේ
කවිය බලන්න