
උගුලෙ මීයාගෙ සිතිවිළි
රැවටුණා පෙනුමට
සුවඳට
හිතුණා රසට ඇති
ඇතුළෙ පැද්දෙන කෑම
බැරිවුණා හිත හදාගෙන
හැරී යන්නට ඈතට
ඒකයි ගියේ ඇතුළට
එතකොටයි දන්නෙ
උගුලක් බව
කියා තිබුණා දෙගුරු ගුරු
මේ වගේ උගුල් ඇති බව
යන එන මං තොට වල
පත පොතේ දුටුවා ඔවදන්
සිතිය යුතු බව
පිනුමට පෙර
මේ වගේ අසු වී උගුල්වල පැන ගත්
වියත් මීයන්
කළා දේශන
අපායේ නොවැටී
උපායෙන් රස විඳින හැටි
සවන් කර සිටියත් ඒ හැම
හදාරා තිබණත් භාෂා ශාස්ත්‍ර, ගණිත
ලබා තිබුණත් ඒ බවට
සහතික උපාධි
නොදනිමි කොහි ගියාදැයි
නිති මුවහත් කළ
බුද්ධියේ සියුම් තර්ක ය
දුටු සැණින් කෑම
සිතුණේ ම තවත් නැති බව
එවන් රසයක් මෙදියත.
මෙතෙක් සත පහකට
(පහේ කෑලිත් නෑ දැන්
ලියන්නට වේවි ද අටුවාවක්
ඒකටත්)
මායිම් නොකළ
දෙවියන් බුදුන් පමණි
දැන් පිහිටට
උගුලේ දොර ඇරේවා
මට යන්න ලැබේවා
මීයෙක් වුණත් උගුලක අද මං
නොකරමි මෙවැනි ගොන් කම්
(නැතත් මට නෑ කම් උන්ට)
මෙයින් මතු
යන්න ලැබුණොත්
පණ කෙන්ද බේරගෙන
කෙසේ හෝ පැන ගති ඌ
නොවඳිනා වැඳුම් වැඳ
සිව් දෙසට අධිපති
දෙව් බඹුන් සැමට
ටික දිනකට පසු ඔහු යළිත්
එවැනි උගුලක වැටුණ බව
වාර්තා විය.
එය ගොන් කමක් ද වෙන යමක් දැ යි
වියතුන් ගෙන් ම අසා දැන ගත යුතු.
25-05-25
කවිය බලන්න