ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2026 පෙබරවාරි කලාපය
හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූ
ඔහුගේ සෙවන ලැබ උල් අපමණය ඉනූ
රටදැය සමය පිලිබඳ ඇති හැඟුම උණූ
ඔහු වැඩ කරණ විට සඳරැස් එළිය දෙනූ
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
නතර වෙන්නැති මදක්
එවැනි නැහැ වෙන දෙයක්
හිත මහා පුදුමයක්
දුවන නැතිවම නිමක්
දශමයක් තත්පරෙන්
ගතවෙන්න ඉස්සරෙන්
එතෙරවී සමුදුරෙන්
වෙන රටක ගොස් හොරෙන්
මෙන්න මෙතැනට ඇවිත්
මොහොතකට නතරවිත්
නැතිව වෙනසක් කිසිත්
පියැඹලා ගොස් යළිත්
සොයා සතුටම දුවන
ඇදෙන කොහෙදෝ නොදැන
විටෙක දුක්වී තැවෙන
සිතම දැන් සිනහවෙන
චපල සඳ කාව්‍ය සංග්‍රහයෙනි @2026
කවිය බලන්න
නිවීම
උදය පියකරුව ඉර-මුදුන ළඟ වැලපුනේ
වැටෙන හිරු කිරණ සැඩ බවින් කය වැහැරුණේ
මද්දහන වියරු ගිනි රැසින් ලොව වියලුණේ
ඉරු මැවූ දවස යලි ඉරුහටම පිරිහුණේ
ගෙවී ගිය උදය හෝ වියරු මද්දානයේ
ගුණා ගුණ මොටද දැන් මේ සවස් මානයේ
අඳුර එබිකම් කරයි පේන තෙක් මානයේ
නිවීමක් ලැබෙන්නේ දවස අවසානයේ
Photo Image; Emilie
(දින සටහන් පොතිනි. 1961 ජනවාරි 13 )
කවිය බලන්න
සල්ලාල වලාකුළ
සඳ මඬල අහස හැර ගිය රැයෙක
පාළු ගිරි මුඳුන පෙම් සා පිපාසිත
සුළං රැල්ලක් අත යවයි පෙම පළ කර
අයාලේ යන දළ වැහිවලාවට
වලාකුළ පැමිණ සුළං රැල්ලත් සමඟ
සීතල දෙතොලින් සිප සනහමින් ගිරිහිස
රැය පුරා නිදිවරා ඇද වැලැඳ යහන් වැද
පතිත කර මහා වැසි සිය දහස් අසණි සෙණ
හිරු නැඟෙත හෙමිහෙමින් පෙර’ඹර ගිරට
මුවා වී රැය පැලැඳි අඳුරු මිහිදුම් පටට
පලා යයි මලින් නික්මෙන බඹරිඳු ලෙසට
නන්නාඳුනන තවත් ගිරි මුදුනක් වෙතට.
කවිය බලන්න
මල් පිපෙන කාලය
නොකර ගිම්හානයට රැඳෙන්නට ඇවිටිලි
හලා යමි සරත් කල උණු කඳුළු මැසිවිලි
සිසිරයේ ගල් කරමි දුක හිතෙන සිතිවිලි
පුබුදුවමි වසන්තයෙ මුව සිනා ඇතිරිලි
නිතින් අලුතින් අවට වෙනස් වන තාලය
දුකින් මුදවා සිනහ කැඳවගෙන වාරය
සිතින් සිතනා පැතුම් දවටගෙන ආලය
විඳින් දැන් ජීවිතේ මල් පිපෙන කාලය
AnA 2026/spring@UK
Photo Credit; Enes Bayraktar
කවිය බලන්න
මොනිකාවියනි
ලුහු බැන්දා විඩා නොදැනී දස අත දාඩිය පෙරමින්
පද බැන්දා කුඩා දෙනෙත් සුවිසල් ලොව විහිදුවමින්
මන බැන්දා පුංචි මගේ නුඹෙ කවියේ රස උරමින්
හද බැන්දා තැලෙන දනන් ජීවිත පන්නර ලබමින්
පැල්පත් තුල සහසක් දන පෙරණ කඳුළු දැක සැළුනා
මල් නොපිපෙන තේ වතුවල ලැයිමෙ හැඬූ පුතු මැවුනා
සල් ගස් යට කොළොම්පුරේ වැදු කුමරුට කිරි එරුනා
තල් ගස් පෙළ කුඩු කර නැගි ගිණි සැර දැක නුඹ තැවුනා
මතකයි නුඹ පංකාවේ යට හද ගැහිලා හිටි හැටි
සැතකයි මගෙ නෙත් රැඳුනේ කියවද්දී නුඹෙ ඒ පැදි
කුහකයි මනුලොව අසරණ මිනිසුන් තැලෙනා විටකදි
කටුකයි ජීවිතය මෙලොව බහු රූ පිරිලා නිම නැති
විරහ වේදනාව වසා කුස ගිනි සැර නුඹ දුටුවේ
හිරව කුඩය යට පෙම හැර වහලෙ සිදුරු නුඹ දුටුවේ
ගිරවි ලෙසින් කජු පුහුලන් අහුලා කනවුන් දුටුවේ
පරව ගියේ ඇයි රතු මල මගෙ නෙත් පිරිලා ගැළුවේ
කවිය බලන්න
අම්මා
අම්මගේ දෑතේ පහසින්
නැළවුණු තුරු ලතාවන්
වරා මල් පල කෘශ වෙලා
නොවැටෙද්දී බත් මිටක්
පාලුවී කුරුලුලෑල්ල ද
ගොලුවෙලා ගෙවුනම
පහනක් නොදැල්වෙන
අම්මගේ බුදු කුටියෙ
මල් සුවඳ වෙනුවට
පුස් සුඟද තැවරිලා
Photo credit; Nguyen Dang Hoang Nhu
කවිය බලන්න
සුදු නංගිගේ හිනාවයි අගේ
හෙන්දිරික්ක මල් පිපිච්ච , පාට වැටුණු තරු දිලිච්ච
සඳ රැස් පිරි ගුරු පාර දිගේ
ගවුම පුරා මල් හැලිච්ච , හිනා හඩින් මුව පිරිච්ච
සුදු නංගිගේ හිනාවයි අගේ
රෑ හීනෙන් මට පෙනිච්ච , මගෙම වගේ මට දැනිච්ච
විදුලි කොටන නෙත් යුවල ඇගේ
ඇබුල බෙදනකොට පෙනිච්ච , රන් තැබිලිය සේ පිරිච්ච
හංස යුවල හරි දඟයි වගේ
තනි යහනේ දුක දැනිච්ච , සුසුම් හැගුම් ගුලි ගැහිච්ච
කාලය දැන් නිම වෙලා වගේ
අහස පුරා සද පිරිච්ච , පැතුම් පොකුරු මල් පිපිච්ච
ඔබෙන් බහක් ලැබෙයි නම් අගේ
කවිය බලන්න
දුවේ
දුවේ නුඹ මලක් නොයිඳුල්
මගේ ළඟ තවම දැවටෙන
නිල් අහස නුඹටයි
සුළං වැහි කෝඩ එමටයි
පියාපත් , දැන් නුඹට අවනත
නිසා යන්නට හැකියි බෝ දුර
මතකයට ගෙන දුන්න ඔවදන්
පරිස්සම් වී ගියෝතින් මඟ
මලින් බර මල් යාය අතළඟ ......
නෙතට පෙනෙනා අවට ලෝකය
හරි ලස්සනට පෙනුනාට
යටින් විෂකුරු ඇහැට නොපෙනෙන
හුඟක් දේ තියෙනවා සැඟවී .....
ඉහළ අහසේ සැරිසරන විට
වැරදි මං පෙත් මුණ ගැසේවී
හරිම ලස්සන ලෝකයක්
නුඹේ ඇස් ළඟ මැවේවී
බුද්ධියෙන් විමසා බලා
නුඹට තනියම යන්න වේවී
වැරදුනොත් මඟ යන අතරමඟ
ටිකක් හැරිලා බලනු දියණී ....
අම්මගේ නෙත් නුඹේ අසලම
දුව ඇවිත් සැතපියන් තුරුලේ
කවුරු හිටියත් නැතත් නුඹ ළඟ
මව් සෙනේ හැමදා තියේවී ....
Photo Credit; Bence Halmosi
කවිය බලන්න
කොළොම්තොට මහා පෙරහැර නවම්.....
ඇසළ මහට පෙරහැර කතරගම්පුර රුහුණු රට
සිරිදළදා මහ පෙරහැර කන්දෙ නුවර උඩරට
වසර පුරා තැන තැන පෙරහැර සිරිලක රටවට
නවම් මහේ පෙරහැර ගංගාරාමේ කොළොම් තොට
මල්පෙරහැර නමින් තිබුණ ගංගාරාමේ පෙරහැර
හැත්තෑ නවයේ මුල්වී අගමැති මුල්වර
අනුශාසනාවෙන් නාහිමිගේ ගලබොඩ ඤාණිස්සර
හැඩවැඩ වෙලා ඇරඹුණි නවම් මහා පෙරහැර
දායකසභාවත් සමඟින් මෙහි කුළඟන සමිතියද
තරුණ සංවිධාන සමඟින් ජිනරතන විදුහලද
බුදුසසුනේ දියුණුව පතනා මහජන සැමද
එකතුව කරන්නේ බුහුමන් තෙරුවණට වැඳ
උඩරට ,පහතරට, සබරගමුවේ විසිතුරු නැටුමෙන්ද
මහ සඟරුවන වඩිනා නෙත් සනහන පෙරහැරකින්ද
ළමා ,යොවුන් නෙකිනෙක විසිතුරු රැඟුමින්ද
නවම් පෙරහැර සරයි මග කරමින් දනමන නන්ද
උඩැක්කි ,හේවිසි ,හොරණෑ බෙර දවුල් නද
ගැටබෙර ,පනාබෙර, මගුල්බෙර චාමරද
අවිඅතු, මුරායුධ ,කොඩිසේසත් කරුවන් ද
පන්තේරු ,වඩිග ,තාලම්, පතුරු නැටුමෙන්ද
විලක්කු, පන්දම්, තෙල්මේ, කෝලම් නැටුමෙන්ද
කථකලි, කාවඩි ,මෝලන්, වෙස්බැඳි රැඟුමෙන්ද
විසිතුරු නැටුම් පාමින් සැමනෙත් කර නන්ද
කොළොම්තොට සරයි නවම් පෙරහැර මනනන්ද
කවිය බලන්න
සැබෑ නිදහස
හිත දිගේ මනින මිමි මැද
ජනමතේ තුලිත සුව විඳ
පරවියෝ දෙරණ විනිවිද
නිදහසේ අරුත කියමුද
උපන් බිම දිනු සුපුළ අයිතියෙ පුරපසේ
වහල් බැමි නැති සහන් ලොවකට යන ලෙසේ
දිනන් සබඳුනි පූදිනා රුව නිදහසේ
රොදින් රොද බැඳ රකිමු ලක්දන දස දෙසේ
දිනුම පමණක් නොවෙයි නිදහස කියන්නේ
ජාති , කුල , බස් , දහම් සටනට නොදෙන්නේ
සරු මිනිස්කම් පුරන හදවත් රකින්නේ
නිදහසේ ගුණ සමරු එවිටයි දිලෙන්නේ
කවිය බලන්න
දුවනි
රන්වන් රුවට දිලෙනා
පුන් පෝදා සඳ විලස
දහඅට වසක් ගෙවිලා
මට සිහිනයක් වගේ
ලස්සන දුවක් සවනට ඇසුණා
ලවනත මුදු හසරැල් මැවුණා
පැහැයෙන් උදුල තරු පරදා
නුඹ මගේ දිවියම එළි කෙරුවා
තරු මුතු පරදනා
සොඳුරුම දෑසින්
බැලු ව්ට පිරෙයි මා හද
උතුරන සෙනෙහෙන්
කටු කොහොලින් පිරි
දිවියේ බාධක එමට
යන මග රළුයි නැත
සියුමැලි පාවඩ අතුරා
රුව මෙන් ගුණෙන් පිරි
හොඳ දියණියක ලෙස
දිදුලනු මැණික නුඹ
අහසේ පිරි සඳ විලස
කවිය බලන්න
Him and His Demon - Chamod Thimira
There was a war, that never ending inside his head. He had a demon that knew his name and kept him awake at night.
He smiled as if nothing was wrong, but in every nights, I could see the heavy weight of his shadows, drowning in a grief that had no bottom.
He called life “Hard Reality” and treated hope like a fool’s errand. While searching for proof that he was worth saving, he became the very reason he could not escape.
I watched him fade away, little by little. Even before he lost love, he lost faith in himself. He listened to the cruel voices of the demon and called them “The Truth”, never realize that demon only lies about the things it fears.
He didn’t want a savior, just wanted to be able to look at himself with love without reading the map of his past scars.
My God, if he only knew how special he was…His kindness and his quiet, charming heart were his greatest rebellions. I wanted to tell him “Pain was not your name. You don’t have to bleed everyday just to stay alive”
One day, the world see him through the smoke, and he will finally see who he really is. On that day, he will find the door. I won’t be in the front row then, but I will be standing by the door, clapping for him as he finds his way out.
කවිය බලන්න
මඟ බලන්
ගූගල්ගෙ සිතියමේ ලොව පුරා සැරිසරමි
හුරු පුරුදු මාවත් හි තනියෙන්ම පියනගමි
මහ ගෙදර ඉදිරිපිට මදක් නතරව සිටිමි
තාත්තා මඟ බලන් හිඳින්නේදැයි බලමි
කවිය බලන්න
Load on the shoulder
I sense
This whole journey
is just a thankless job
loaded on my shoulders
by the destiny .
I ealized that
quite late
when I thought about
my mother and father
and what they did for me
and my brother.
We just lived
and grew up
tried to follow
what the others were doing.
It took a long time
for me to realize
all that happened
on somebody else's toil.
was it intentional ?
Did they do
what they felt , had to be done ?
Was it a biological reaction ?
We came in to existence
because of a biological
reaction.
Whether it was biology
or chemistry
When I really understood
the sacrifices they made
I cried hiding the tears
from the world
in their absence
because they left
long time ago.
I know that I am in debt
but it is too late to repay
I am weeping inside
while laughing
to the world outside.
Probably the load
on my shoulder
I carried for years
and still carrying is the
repayment
I never felt the weight
during those long years
but may be I am old
I am feeling the weight now
My grown up kids
will be waiting to
take that load
on their shoulders..
They are busy getting ready.
When I depart
They will take short leave
to bury or burn my bones
because the world says
it is their duty.
I hope they will not cry later
the way I did !
06-01-26
කවිය බලන්න
අපිට හොරා අපි..............
හිරු හොරෙන් හොරෙන්
ඇවිත්
නුඹ දොරකඩ
සඳු යන්ට පෙරින් දවසේ
වැඩ නිමකර
බල බලා ඉන්ට බැරි තැන
සුළඟ ඇවිත් වැසුවා ගේ
හැමතැන
ඔබ නෑ තාමත් දන්නේ
දිවාකර ඔබ නොවේ
චන්ද්‍රවතියද නොවේ
වායු තරංකය වෙලා
ඔබ යන්ට යා යුතුය
ලොව ඇත බලා
ඔබ එනතුරා
මා නිමා නොකළ මෙහයට
ඔබ දෑත් සවිමත්ව දිගුකොට
අපි යමුද එක් වී පෙරටම
නෑ සිටින්නට කාලයක්
රැඳී වල්මත් වෙන්නට
මේ
ඔබට කාලයයි
මේ
ඔබට දේශයයි
සැබෑ දියසෙන්
ඔබ කියන්නට
අපට ඉඩසරයි.
ඉතින් යෂ්ටිය ගන්න
නවසීලන්තයේදී 13/01/26.
කවිය බලන්න
යහගුණ ඇති දුවෙකී......
සිසි වන උවන මදහස පිරි රුව මලකී
රිසි ලෙස හැදුනු යහගුණ බෙල ඇති දුවෙකි
ලැසි පිය නගන ඇය කෝමල සිරි කතකී
දිසි ඇසිපියට සරිලන නුඹ පුර සඳකී
පව පින දැනම මිනිසෙකු වෙනු සෑම කල
රුව ගැන නොබල ඔය හද තුල දවා සිල
පවසට දිය පොදක් ගෙන එන සුවද විල
නවතා අඳුර පොදි බදිනට එපා ගෙල
මල් වැසි වහින ජය දද පිරි සම්මාන
විල් වල පිපී මඬ යට යයි ගිම්හාන
කල් ගිය නමුදු පරවී ගිය ගම්මාන
වල් බිහි වෙවී පවතී හැම නිර්මාණ
කවිය බලන්න
සිල් රෙද්දට මුවා වී
තුන්සිය හැටපස් දවසෙම බණ අසනා මිනිස්සු
සිල් රෙද්දට මුවා වෙලා නිවන් සොයන මිනිස්සු
ධර්මය හැර අන් සියල්ල කරනා අපෙ මිනිස්සු
කාසි බලෙන් නිවන් යන්න දඟලන අපෙ මිනිස්සු
දනට පිනට යකඩ කටෙන් ඇසුනොත් පමණයි
යදින්නෙකුට තඹ සතයක් දෙන්න සිත් නොදෙයි
සිල් ගත්තට ඕප දූප වලට හිත දුවයි
සාදු සාදු කිවත් සිත තාම දුර්වලයි
බණ ඇසුවට සිල් රැක්කට අවබෝදය බිංදුවයි
කාසි ඇතොත් 'නිවන් පැකේජස්' දැන් දැන් බොහොමයි
දෙසන්නෝ ද අසන්නෝ ද දැනගත යුතු දේ බොහොමයි
නිවැරදි මඟ අත හැරුනොත් අවසානය දුකමයි
කවිය බලන්න
පව්කාර ප්‍රේමයට.... ගල් ගැසීම
මුහුණ බිමට නැඹුරුව තිබිණි
වස්ත්‍රද තැනින් තැන ඉරී
සිටියාය ඇය බිම වැතිරී
ගුරුදේවයිනි ! මේ ප්‍රේමයයි .
අයුක්තියේ ගල්කැට අතැති
සදාචාරයේ සළුවෙන් සෙලුව වසාගත්
ඔවුහු මොරගැසූහ
අල්ලා ගතිමු අසම්මතයේ යහනෙහි සිටියදී
ගල්ගසා මරා දැමිය යුතුයි
උන්වහන්සේ ඇඟිල්ලෙන් බිම යමක් ලිව්වේය.
"හදවතක් නැත්තෙක් පළමු ගල ගසත්වා!"
කවිය බලන්න
ඉන්දු සයුරේ නූතන සිතුවමක්
සේද මාවත හරහා ඈත පෙරදිග සොයා
ඇමරිකන් ධජය යටතේ
යුධ නැව් සමූහයක්
වෙන්න ඇති කුළුබඩු සොයන්නට
චීන සබ්මෑරිනයක්
ඉන්දියන් සාගර පත්ලට
සාගර ගවේෂණයකට
ඒ ඇසිල්ලේම
කුළුබඩු වලට නොමැත කිසි අවධානමක්
පළමු නැව් සමූහය
මිත්‍ර අභ්‍යාසයක්
ගවේෂණයක් නොවන
ආවේශන රාජකාරියක්
ආරක්ෂාවට සිඳුරක්
එපා පිවිසෙන්න
අපේ සාගර කළාපයට
ලොක්කයියාගෙන්
එකම කොලයක දෙපැත්තක ලියූ
තොරතුරු සැඟවීමේ හා අනතුරු හැඟවීමේ
රාජතාන්ත්‍රික ලිපියක්
මහා ඈනුමක්
පොඩි මල්ලීගේ වෙරළබඩ
ධීවර පැල්පතකින්
ඉන්දු සයුරේ හෝ හඩද පරයමින්
දරාගනු නොහී කුටුම්භයන්හි
සාගින්දරේ රස්නය
මන්නාරම් තොටින්
දියඹ දෙස නික්මුණි
කාලවර්ණ ධීවරයින් තිදෙනෙකු රැගත්
කුඩා ධීවර යාත්‍රාවක්
ආදම් ගේ ශේෂ වූ වැලි පර මත නොගැටෙමින්
සීරුවට සිය මුහුදු සීමාවන් හී
සොයද්දී රන මසුන්
හාල්මැස්සකු හෝ නොලද කල්හී
හාල්මැස්සන් රංචු සේ තම දියෙහි සරන
ලොක්කයියාගේ දකුණු ඉවුරේ
ධීවර යාත්‍රා බලඝණ අතර
ඔහේ පාවිය අකුණු සර මැද
වේලාව හැන්දෑවේ හයයි පනස්පහයි
" දවසේ පුවත " දිග හැරුණි
රූ වාහිනී තිර මත
උත්කර්ෂවත් හඩකින්ද
ඇග ලොමුගන්වනා
AI රූ පෙළහර කින්ද යුතුව
රාජතාන්ත්‍රික ගැටලුවක
ප්‍රගූ අර්ථකථනයන්ද සමගින්
මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ වරදට
ලොකු අයියාගේ වෙරළ ආරක්ෂක
හමුදාව රැගෙන අත්අඩංගුවට
පොඩි මල්ලීගේ ඈනුම
නරඹන්නන් ඇස් තබා ඉහලට
හුස්ම නොගෙනම සොයයි
තව තවත් උණුසුමක් පුවතින්
වෙරළබඩ පැල්පත් වැසීයයි අඳුරින්
ඇනුම හීන් කෙඳිරියක් ව
දැන් මහා විලාපයක්
නොතකමින් ඇගවීම් අනතුරු
ගිහින් බෝ දුර එයලු ගැටලුව
අවසාන නිගමනය තව බොහෝ දුර
සාකච්ඡා අඛණ්ඩව
ගැටලුව දැන් රාජතාන්ත්‍රිකයි
ඉන්දියන් සාගරය ගැඹුරුයි
හැබැයි ඒ කුසගින්න
ඊට වැඩි දරුණුයි...
කවිය බලන්න
නියම පාඩම්...!
සොබා දහම අපූරුතම
පාඩම්මය කියාදෙන්නෙ...
ලබා ගතොත් ඉන් කිසිවක් ඉදිරියටම ගියාවෙන්නෙ...
නොබා කිසිම ගැටලුවකට
කෙලෙසද අප දරාගන්නෙ...
බබා වගේ හැසිරෙන්නොයි
අවසන ඔය මරාගන්නෙ...
කඩා වැටුනකල දිවියක් සේරම ඉවරයි සිතන්නෙ...
වඩා දියුණුකර නොගත්ත මනසක්
ඇත්තොයි කියන්නෙ...
හඬා, දොඩා කඳුලින් කෙලෙසද විසඳුම් අප ලබන්නෙ...
විඩා නිවා නැවතත් නැගිටින්නයි
මේ හුරු කරන්නෙ...
සුලඟින්මය දැවැන්ත මේ රුක
ඉදිරීලා වැටෙන්නෙ...
මලකඳ සේ නොයිඳ එතැන සිටන් නෙවද වැඩ කෙරෙන්නෙ...
මුල අමතක නොකරම අලුතින්
කඳවල් ඒ නැගෙන්නෙ...
කළයුතු දේ අප හැමටම වටහා දෙන්නයි සිතෙන්නෙ...
කවිය බලන්න
මිනිස්සු
සුමුදු මුදු වැලිතලා
දෙපළුවී ඉරි තලා
සිත් නිවන කදූ පෙලින්
මතුවෙනා ජල දහර
ගිරිදුර්ඝ පුපුරමින්
හෙල් බලා පෙරලෙමින්
පෙණ දමන ජලදහර
රකුසු සතුරෙක් ලෙසින්
මුරුගසන් වැසි ලෙසින්
ජනතාව වනසමින්
කුබුරු වතු තැනිතලා
ගේ දොරද කෙත් වතුද
දෙදරවා පුපුරුවා
විනාශය අභිමුවට
රැගෙන පත්කලාවූ
ඒ මහා විනාශය
පරදවා නැගී ආ
උතුම්වූ මිනිස්කම්
මතුවෙනා සැටි දුටිමි
ශීත කාමරවලින්
බාහිරට නොබැසිනා
ඉතා උස් නිලතලින්
විරාජව වැජබෙනා
සිවිල් බලතල සහිත
ඉහල නිලදාරීන්
සියලු සැප ඉවතලා
දිවා මෙන් රෑ කලද
ජන දුකට පිහිටක්ව
වෙහෙසෙනා සැටි දිටිමි
තරු ඔටුනු ඉහල නිල
කිසිවක්ම නොසලකා
ත්‍රිවිධ හමුදා සොයුරු
සියලු නිලයන් එක්ව
මානුෂික මෙහෙයුමට
පමණක්ම දෙවෙනි වන
මහා ජන මෙහෙවරක
නියැලෙනා සැටි දුටිමි
දකුණුලක සුරක්ෂිත
සැබෑ මිනිසුන් එක්ව
බඩවියත සුරකිනා
යාත්‍රා රැගෙනවිත්
සිහල මුස්ලිම් දෙමළ
බේදයක් නොසලකා
ජාතියේ මෙහෙවරට
උරදෙනා සැටි දිටිමි
මඩ ජලය ගල් බොරළු
ගිරිදුර්ඝ මැඩ ලමින්
දෙපායුග නිරුවත්ව
රළු අදන කඩයකින්
පමණක්ම සැනසෙමින්
හාල් පොල් හිස දරා
විපත් ජනයා සොයා
බුදුපුතුන් පෙළගැසී
වෙහෙසෙනා සැටි දුටිමි
නිවාඩුව පාසලේ
පටන්ගත් පසු හනික
සීගිරිය දකින්නට
කැට වලට එකතුකළ
පොඩිකාසි පුංචි කොළ
සිහින් ලා අත්වලින්
පිරිනැමු සැටි දිටිමි
දුපතේ සියළු දණ
සියලුදේ ඉවතලා
එකිනෙකා රකින්නට
උරෙන් උර ගැවටෙමින්
ජාතියේ එකමුතුව
සුන්දරද මොනතරම්?
Photo Credit; Ruwan
කවිය බලන්න
නිරිදුනි ගුවනට වඩින්න .....
අදුරු වලා පට ඉරාන මුව එලියට වඩින්නේ
රැය දුටු මුදු සිහින පහස තවමත් ඉගි කරන්නේ
තරු දරුවන් සද මව් තුරුලේ සුවසේ නිදන්නේ
ගුලි වෙන්නට සිතුනත්, නෙත් හෙමින් සැරේ අරින්නේ
සුදු සේලය අතුරා ඇති ගුවන් ගැබේ සරන්න
නීල අදුර හෙමින් සැරේ පිහිදාලා හරින්න
දබ රන් කිරණේ එළියෙන් මිහිතලයම සිබින්න
තරිදු පහස අත හැරලා අහස් ගගේ ගිලෙන්න
පෙති සියයක් පිබිදෙන්නට මාන බලන ඇසිල්ලේ
බබරිදු කුසුමන් ලුහු බැද සෙනෙහෙ පුරන නිදැල්ලේ
වසන්තයක සැබෑ සුවද දියට බෙදන විසල්ලේ
නිරිදුනි කිම තවමත් නුබ වලා කැරලි තුරුල්ලේ
මුතු කැට විලසින් දිදුලන පිනි පලසේ ගිම් නිවන්න
නිදි කිරනා සේපාලිකා පොහොට්ටුවට නිදා ගන්න
සීතලයට කීරි ගැහෙන පවන උණුසුමින් තවන්න
පමා නොකර නිල් අබරට නුබෙ රැස් කද මුදා ලන්න
Photo Credit: Jeremy Bishop
කවිය බලන්න
දල්වමි කෙලෙස මම නිදහස් පහන්සිල..
LOST FREEDOM AGAIN
ගුවන් තොට ජැටිය ...
තෙල් හා වෙන තැන්ද.
විකුණා ගෙවන විට ..
අරගත් ණය කන්ද.
ජය භූමියේ උරුමය ..
උගසට බැන්ද .
නිදහස සමරන්න ..
අපහට පුලුවන්ද ???
*****************************
සැත්තෑ අට වසක් ...
වැරදුව විටදි මග.
තාමත් ඌණ ...
සංවර්ධිත රටක් ලඟ.
නිදහස් මන්දිරේ ..
කොඩි ගහ උඩට නැග.
කොඩියේ සිහ රජුට ..
දැරුමට හැකිද කග. ???
*********************************
මුවදොර පිටි යෙ ...
බෙර වෙඩි හඬ බලන්නට .
පණිවුඩ කතා ...
යලි යලි යලි අහන්නට.
වී, අයි ,පී ,නෝන ..
මහතුන් දකින්නට.
නිදහස එපා නුඹ ..
මේ බිම වඩින්නට.
*******************************
ලැබුනයි කිව්ව ..
නිදහස ගෙන මිලින කල.
ඒ පිල මෙපිල පැන ..
තම පිල දියුණු කල.
ණය කල රටක් ..
සිරවුන විට ඩොලර්වල .
දල්වමි කෙලෙස ..
මම නිදහස් පහන් සිල. ???
**********************************
සඳකඩ පහනෙ
අඩවට ගිය ලියවැලට.
අහසින් වැටුණු..
දිය සිර කළ වැව් පෙළට.
වෙඩි හඬ වැදුණු
වෙල්ලස්සේ පණ නළට
මම හිස නමමි..
නොනමමි ඒ කොඩිවලට.
කවිය බලන්න
වසන්තය නිම වේවි , එන්න මල් වියන යට
වසන්තය නිම වේවි
මල් පියලි වියැකේවි
ඉරු ගිලෙන්නට පෙර
එන්න මල් වියන යට
කාලයත් හිදී
හදවතට ඉඩ දී
මල් පාවාඩ එලූ
මල් මාවත ඔබ එනතුරු
පෙර මග බලා සිටි
සොදුරිය
වසන්තය නිම වේවි
මල් පියලි වියැකේවි
ඉරු ගිලෙන්නට පෙර
එන්න මල් වියන යට
සුළග අද ඔබේ නම
මුමුනමින්
මල් සුවඳ අරගෙනම
හමා යයි
හෙමි හෙමින්
වසන්තය නිම වේවි
මල් පියලි වියැකේවි
ඉරු ගිලෙන්නට පෙර
එන්න මල් වියන යට
සැන්දෑවේ මුදු පැහැයෙන්
අපේ සිහින උණුසුම් ව
ඔබේ නෙත් තුළ රැදී තවම
මගේ හද තුරුලේ
ප්‍රේමය
Photo Credit; Pascal Bernardon
කවිය බලන්න
දෙම්ව්පියෝ
රිඳුම් ඉවසන් නේක දුක් විඳ කඳුලු ඇස් යට හංඟලා
දරුවො වෙනුවෙන් නොකලෙ මොනවද කියලා දෙනවද පෙන්නලා
දැනී කුස ගිනි හඬනකොට අපි ඇගෙන් කිරි තන ඉල්ලලා
බුදුන් දැකලත් නිවන් නොවිඳම ආය හැරුනා අම්මලා
හිතින් නොවැටී දරුවො වෙනුවෙන් පවුලෙ බර තනි කරට ගත්තු
වෙහෙස වූවා රජුන් කරනට ලෙයින් ඉපදුනු ඔහුගෙ පුත්තූ
ඈත සමනොල කන්ද වාගේ සියලු දේවල් දරා ගත්තු
තාත්තා ළඟ දනින් වැටෙනවා සද්දන්ත කුල වලත් ඇත්තු
කවිය බලන්න
තුන්පත්
රෑ කරුවලේ තනියම තරු ගනින විට
රෑහී හඬට සිත ඔද්දල් විණි බයට
නළලත සිඹින හිස අතගා සනසවන
කුමරුන් හිටියේ පෙර මා ඇසූ කතා වල
ඈතින් ඇසෙන වස් දඬුවක එතී ගෙන
සිත පිරි මදින නැළවිල්ලක මුළා කර
ඈතින් ඉඳන් අදටත් මා දෙස බලන
කොඳුරා කනට මට දිරි දුන් ගිජිදාණ
වියපත් වුණත් කිරි නොවැරුව ඇතින්නිය
අදටත් ඇවිත් සිහිනෙන් ළඟ සරන්නිය
තුන් තිස් පැයේ තැලෙනා මගෙ යකඩ හිත
නුඹ ළඟ රුසිරු මල් ගොමුවකි සුවඳ දෙන
ඉ
21/01/26
කවිය බලන්න
සඳවතී...
මලින් පිරී ඍතුව මගෙ නොවේ
ඉල්ලා නාඩමි සසර පුරා....
සිතින් බැදි පෙම රකින්නෙමි
මුනිවතක පෙම තියා....
ඈතින් හිද බලා ගමි දෑස පුරා
ඇදි මැකි යන රුව දිහා...
නුඹෙන් සිත පිරුන දා ලද්දෙමි
රිදුමන් ප්‍රේමය කියා....
අතැර ගලා යන දිය සීරා දැක
නෑඩූ ඉවුරු ඉවත බලා
නතර ව බලා හිටියා පමණය
නොකියා ආදරේ කියා...
බලා ඉන්නෙමි...දරා ගන්නෙමි..
ලය හඩනා අයුරු අසා...
නුඹ අහසය ...මා පොලව ය
ඈත උව සැනසුම ගෙනා...
පේවී පේවී පිරුවට දරා හීනෙක වෙලෙමී..
ලං වේ නම් අහස උව තුරුලේ හොවා ගමී...
හාදුවක් දී වෙන්වෙන සුලඟට පැතුම් දී...
වෙන්ව ගියත් සිනහව නුඹයි සඳවතී....
යටියන්තොට
කවිය බලන්න
බල බල සොඳුරූ........
බල බල සොඳුරූ
නිල්වන් මිහිය වැපිරූ
මඳනලක තැවරූ
රඟ දෙන සොබාවත මහරූ
විද විද තෙපලූ
සිරිලිය වනයි සැවුළූ
පෙරඹරක වෙව්ලූ
හිරු එබී මේකුළු හැරලූ
සත සත පිනවූ
ගෙවිලිය උරෙන් හැඩවූ
දිවි කතර පිරවූ
ගැමි සිරියකි බලන් සැඟවූ
නද නද වැස්සූ
කිචිබිචි සවන් සැනසූ
කිරණ මල් ගැවසූ
අරුණය පිනයි මල් පැවසූ
තුට තුට ඉපිලූ
සංතුට වහා ඇතිලූ
කෙම්බිම ගම මලූ
නිම්නද සැනෙකින් දවටලූ
දකුණු තොහොල් ගී විරිතෙනි,,,
මාත්‍රා 8,,,11,,,9,,,13
කවිය බලන්න
මා අත පොතකි.....
මා අත පොතකි
ඔහු අත උල් පිහියකි
මුහුණට මුහුණ දී සිටිමු අපි
මේ මොහොතේ
මුඵ ලොවම අප දෙදෙනා අතර
නැත, වැරදීමකි
මේ මොහොතේ පමණක් නොව
ඉතිහාසය පුුරාම.
කවිය බලන්න
සිහිවේ මව් තුමිය මගේ...!
විසි එක් වසක් ගතවිය ඔබ ළඟ නැතුව
අද ඊයේ වගෙයි මතකය මා සතුව
හැමදෙන එකට විසුවත් අප එකමුතුව
යළි ඔබ නොඑන බව දන්නෙමි සැක නැතුව
තුරුලේ සැතපිලා ලැබගෙන සැප නින්ද
බද වට දැවටිලා ආදර සුව වින්ද
සුරතල් තෙපුල් කියමින් රස මන නන්ද
මව්තුමි ඔබයි අප වෙනුවෙන් දුක් වින්ද
මනුලොව අතැර පියතුම වෙන් වූ දවසේ
ඔබගෙන් ලැබිණ දිවියට අරුතක් නිසිසේ
මව්තුම ඔබව සිහිවන විට මා මනසේ
කදුලක් නෙත නැගෙයි ලොව සැමටම රහසේ
මතු අත් භවේ ඔබ කුසයෙම ඉපදේවා
දුක නැති මගේ යන්නට පින් පෑදේවා
මෙත් බුදුරදුන් පා මුල දුක දුරුවේවා
අජරාමර උතුම් නිවනින් සැනසේවා...!!!
කවිය බලන්න
මෑණියනි !
ගයා නිම නැති ගුණ ගීය ඔබ
ලියා නිම නැති බණ පොතයි ඔබ
දයා සිහිලෙන් අපව නැහැ වූ
කලාවෙන් පිරි පුරහඳයි ඔබ !
කටුක ගිරිහෙල්,කඳුරු මඩිමින්
අපට යන්නට මං තැනූ ඔබ
එමග නොවැරද පුතුන් යන දෙස
බලා සෙනෙහෙන් හිනැහුණේ ඔබ!
කඳුල ඉවසා පුත් සෙනේහෙන්
නොසැලෙමින් බුදු මගෙහි ගිය ඔබ
මෑණියනි ,අප දිවි එකළු කළ
සදා නොනිවෙන මං තරුව ඔබ!
කවිය බලන්න
නටඹුන් අතරේ
ලොවක් වසඟ කල නකල්ස් රැජිණ ගේ
ඒ අභිමන් සත්මල් පායේ
රවුල් රඦිඳුගේ ඔද තෙද සිඳුනද
යහන් ගලෙන් කඳුලැලි වෑහේ.
ගිරිකඳු පුපුරා සත්මහල් බිඳදා
ගැලු රුදුරු සැඩ දිය දහරා
සුපිපි නෙලුම් විල වැසුවා පස්යට
මිහිකත් මවගේ හිත පහරා.
තිබු මතක මිස සලකුණකුදු නැත
මිහිදන් වු නටඹුන් අතරේ
සැඟවුණු පුත නුඹ සටහන් තැබුවද
රැඳි ඉතිහාසයෙ පොතඅතරේ
කවිය බලන්න
ඊයේ අද සහ හෙට.
සාම මහ පාගමනේ
ආලෝකය වු ආලෝකා
ලෝකයට මඟ කියන නුහුරු නුපුරුදු ගමන
සාමයේ මල් වැස්ස තව තවත් මල් පිපෙන
මහ සඟුන් වඩින මඟ සාමයේ ඉදිරි මඟ
සමඟ යන ආලෝකා ලෝකයම හිත බැඳෙන
කරුණාව දයාවට වැට ගසන්නේ කුමට
අලෝකා දිනකදී නුඹ ඇවිත් සිරිලකට
තබා පියවර සෙමින් දකුණ කොණ උතුරු කොණ
බලායමු ඒ ගමන මහ සෙනඟ සමඟ ඔබ.
ඇවිදයන නුඹේ දෙපා සිඹ ගනි රට සැවොම.
ආලෝකා නුඹ ඇවිත් අපි එක්ක යන දිනක
සාමයේ මල් පොකුරු නුඹ සමග යන ගමන
සැම දෙනා එක්වේවී උතුරු දකුණද සමඟ
කරුණාව පැතිරේවී අරුණෝද හිරු සමග
ඇවිදයමු නුඹ අපද වටහාගෙන නව මඟක
ආදරය සාමයද ලෝකයට කියා ගෙන
ඇවිදයමු ආලෝකා ආදරය බෙදාගෙන.
එක් දිනක භාරතයේ වැඩිය මහ සඟුන් හා
යාළු වී හිත බැඳි ආලෝකා ගිය ගමන
මහ සෙනඟ ගම් නගර තව තවත් දැන හැඳින
මිනිස්සුන් අවදී වීය සාමයට මල් රැගෙන.
වීඩාව ද පීඩාව පසු කරන ආලෝකා
ඇමරිකා මඟ දෙසම දරුවන් ද ජන ගඟද
ලොව පුරා කාචවල ආලෝකා පිටු පිරෙන
දුවා දරුවන් අතර හුරතලා වී යනෙන.
බර අවිද වෙඩි හඬද එපා තව හෙට දිනට
සාමයේ නුහුරු මඟ පසු කරයි නව මඟක
වෛරයෙන් උණ හැදෙන දේශපාලන බොරුද
තව එපා බොරු කියන ඒ කතා නම් අපට.
මහ සඟුන් වඩින මඟ සාමයේ මල් පිපේ
දස දහස් සෙනග විත් මල් පොකුරු තව පිදේ
මිනිස්කම ආදරය ආලෝකා යන මගේ
දේශසීමා දොඩන මතවාද බිඳ වැටේ.
අපේ රටටත් ඉතින් මිතුරු දම් පතුර මින්
ආලෝකා පා ගමනේ සාමයට යන සිතින්
රටපුරා ඇවිදයමු සාමයට මිතු දමෙන්
අපි යමුද ආලෝකා කරුණාවේ පා ගමන්
කවිය බලන්න
මිරිඟුවක් පසුපස
දිවා කල එළඹ ඇත
පිටත් විය යුතුව ඇත
කරන්නට කාරියක්
හිරු රැස් පතිත වූ
මගක් ඇත ඉදිරියෙන්
කාල වර්ණයෙන් යුතු
යන්නට පෙර ගමන්
අවට ඇත වියළි බව
පැන් පොදක් නොම දැක්ක
ජල කඳක් වැනි දෙයක්
දුරින් ඇත දකින්නට
දාහය නිවාගත
හැකි වේය ඒ තුළින්
හානි හනික ගියෝතින්
ළඟා විය හැකි සැනින්
කෙසේ පය එසවුවත්
ළඟා විය නොහැකි බව
තව දුරස් වන බවත්
දැනේ මට හැඟේ මට
දකින ලද ජලය එම
නැත එතන සැබෑවට
දකින ලද මුලාවකි
මිරිඟුවයි එය නමින්
අසන, දකිනා, දැනෙන
සියලු දේ අවට ඇති
ඉපිද නැති වී ගියත්
ඇති බවක් සිත කියයි
මිරිඟුවක් වැනිය එය
කවිය බලන්න
ඔබලා පින් මහිමෙන් මගෙ සිරිලක ආරක්ෂා වන්නේ ......
පින් ඇති මගුල් ඇතුන්ට
සන්සුන් ගමනින් පාවඩ මත ඔබ කොහේදෝ මේ යන්නේ
දළදා කරඬුව අරගෙන යන්නට කොහොමද පින් කෙරුවේ
ලස්සන ලස්සන සැරසිලි කරලා බැබලී ඔබ යන්නේ
හැම අවුරුද්දෙම පෙරසිට ඉඳලා පෙරහරෙ ඔබ යන්නේ
කරඬුව අරගෙන යන හැටි දැක්කම උණු කඳුළුයි එන්නේ
වියනක් යට ඇති කරඬුව අරගෙන පාවාඩ උඩ යන්නේ
දෑල රජුන් මැද තාලෙට යන ඔබ දෙවිවරු රැක ගන්නේ
ඔබලා පින් මහිමෙන් මගෙ සිරිලක ආරක්ෂා වන්නේ
කවිය බලන්න
රෑට පිපෙන මල්..!
ඇඟිලි තුඩක රැඳි අපූරු සෙනෙහසකි...!
ගත උණුසුම්ය.
හිත සීතලය.
හිම පිපී වැටෙන රට..
උණුසුමක් සොයනා දුරක..
තනිවී සිටින ඇය.
අතරින් පතර නර කෙසකි..
කෙටි වරලසය..!
මෘදු සිනහවකි..!
වශීකෘත වදනකි..!
කෘතහස්ත භාවයක ගිලී
විචාරයි සෙසු සහෘදයින්...!
කබායක දැවටී..
උණුසුම්ව කිතිකැවී..
මුලාවී ඇති හදවතක..
දැවටි දැවටී..දොඩයි පෙම්බස්.!
බනුව සිඹිමින් .
නැත නිමාවක්..
රැයද දහවලද..නොතකා ඇය.
ඇයිද මේ...ආදරේ හරි අපූරුයි...!
දෑස් අඩවන්ව..
උපැස් යුවලට යටින්..
ගාම්බීර මුහුණකි...!
තාරුණ්‍යය පසුකල..
මහා වියතෙකි..!
ගාන්ධර්වයෙකි..!
බහුශ්‍රැතයෙකි..!
සිත්තරෙකි..!
ඉඳින්...
ඇඟිලි තුඩක දුරින්..බණුව තුල හිරවී...
රැයද..දවාලද නොතකා..
පෙම්බස් දොඩයි ඔහු...ඇය හා
මුසපත්ව ප්‍රේමයෙන්..!
මේසා විශාල නුවරක...
කිසිත් කරකියාගත නොහී..
අසරණව බලා සිටින්නී
තව එකියකි..!.
ආදරේ නාමයෙන්.
පෙරදා..මේ ආලයෙන්ම රැවටී...!
නමුදු..
උපේක්ෂාවෙන්. .!
අබැටකවත් අහිතක් නොමැතිව.. වෛරයෙන් විනිර්මුක්තව...!
2026.01.28
කවිය බලන්න
ආදරවන්තයින්ගේ දිනය....!!!
සිහින් ළාහිරු රැස්
තවත් අපුරු ලස්සන දවසක
උදාවයි මේ රැගෙන එන්නේ...
හිමි හිමිහිට .......
රිද්මයට ගැහෙන හදවත,
කොනිත්තමින්, පාරවමින්....
සැරෙන් සැරේ.......
ඔබවයි මතකයට රුගෙන එන්නේ!
රතුරෝස, ඉටි පන්දම්, රස කැවිලි
අද නැහැ අහලකවත්
හැගීම් සහා සුන්දර වු මතක පමනක්ම
ඉතිරිව ඇත දසත පුරා.
නිමක් නොපෙනනා ආදරයක උණුසුම සෙවු
බොදවුනු ඒ අහිංසක සිනාව අතරින්
උණුසුම්ව ගෙවී යන......
තවත් එක් ආදරවන්තයින්ගේ දිනයක්
පාලු අදුරු කුටියක මෙලෙස ගෙවී යන වගයි!.
කවිය බලන්න
Love you all same with full of BLESS
Fresh and naive in early twenties
Facing a challenge with a piece of chalk
Bright and naughty set with mischief
Staring with pens, among talk
Survived days hearing singing in hush
Attacking my dark skin and youth I thought
Sense of love filled my heart
when results brought smiles to
Bright young hearts!
Decades passed with climbing
Many to be elevated to world stage,
Reaching top of Himalayas cum researching on essentials range,
Reading papers at international slot
On flies and flora with climate change,
Stethoscope feeling the infants and lot
With love and care to patients all same
One make songs and humming
while steth hanging around the neck,
Another producing films while treating
white skin to reduce the stress.
Many a specialist, drawing crowds
Queueing around the desk
One with a melodious voice on tele FM
The brat who was drumming on the class desk
One expert on the thirty two set
Grabbed a high slot in Diyawanna shed.
Another managed to gain true votes
Yet his failures exceeded success
Many who engaged in business
Built sky scrapers to impress
Few stuck to the uniform
Adding badges to decorate chest
While many spread their knowledge
To kids to do their very best
Others inherited wealth
Thanks to the genes, working their best!
A rare kid excelled in shooting
Gaining the trophy for BEST
Another borrowed my scrappy notes
To excel in tuition set
Many digged the soil in Pera
One is gem on soil as a crest
Another with my signature stamp
A renown Agro in the West!
Few kept the ledgers up to date
Who didn't care how flora fed!
Some chose to prick the patient
To a brief sleep and wake up sans stress,
Another write drug lists when needed
While travelling and describing with zest,
One flown to deep South West
Keeping my subject text
Another chose a botanist lass
To fly to the past which gave him best,
My fair monitor in the seventies
Still monitors me in his motor, Bless,
A baker in my neighbourhood
Keep vigil on me, ensuring inside the nest
Many caught beauties to travel the rest
Adding dollars, sterling, yen to fill the emptying chest
Many a lad earned rupees making Lanka best
Few has left already wetting cheeks of us rest
What ever you are now my dear lads
Entrepreneur, ruler or anyone else
You are my assets gaining interest at the highest rate,
Make my old life, to get less stress
Still to me you are brats, who tried tricks, those days
Sons inherited sans umbilical break!
Love you all same with full of BLESS
කවිය බලන්න
උදෑසන
තුරුළිය මතින් දිඳුළන විට පිනිදිය
පෙරබර දෙසින් හිරු කිරණත් විහිදිය
සතුටින් සොබා දම් කුමරිය පැහැදිය
විල් මත නෙලුම් මානෙල් මල් පිබිඳිය
අතු මත සැඟව කොඳුරන ඒ මුණු මුණුව
සියොතුන් රැස්ව සඳමින් ඇත ගී තනුව
නියම්ත රාග තාලයකට ගෙන වැනුව
රසයක් ගෙනත් දෙයි සවනට උණු උණුව
ගැයුව නමුත් විටෙකදි ගීයක් විරහ
කුරුළු කොබෙයියන් ලඟ නම් නෑ තරහ
ඉඟිළ යද්දි කඳු බෑවුම් වල හරහ
දැකුම නෙතට සොඳුරුම දසුනකි එ'රහ
අත්තෙන් අත්ත පැන සෙල්ලම් කරමින්
ලේනුන් ඇඳෙයි රස පලතුරු සොයමින්
රුං රුං ගගා බඹරුන් පෙළ ගැසෙමින්
මල් වල රොනට පැමිණෙයි ගී ගයමින්
Photo Credit; Damian Markutt
කවිය බලන්න
බිඳුණු බැමි
අඳෝනා ඇගෙ අනෝරා
ඇද වැටී හද කැළඹුණා
සැඩ සුළං වා සුසුම්ලා
නාය ගියෙ හිත ඉරිතලා
නෙත් විලේ ඇහි බැමි කැඩී
දුක් ගඟේ කඳුලැලි බහී
ඒක හරියට මහවැලී
යන ගමන් ඈ ඉකිබිඳී
ගියේ පැල්පත දිය ගිලී
නෙතේ අබියස පෙනි පෙනී
ඇගේ දෑතේ අංගුලී
පපුව ළඟ නතර ව ඉඳී
කවිය බලන්න
නො එන ගමන්...
හිරුට කලින් අඳුර නසන
සඳ එළියෙන් ළිප මොළවන
හෙන්දිරික්ක කැකුළු පිපෙන
පාන්දරකි ඇය හිනැහෙන
රටල බතල රස සසඳන
කොහිල පලා ගුණ හඳුනන
කොස් දෙල් පිස දිව පිනවන
කුස් පිරවිය ඇය දින දින
නැති බැරි කම් අපට නොදෙන
තනිවම කඳුළින් පිසලන
මව්වත් බව හද උතුරන
ඇය විය මිහි පිට දෙවඟන
ඇය කොහි ගියෙදැයි නොම දැන
මඟ බලමින් දෑස් රිදෙන
දින සති තව ගෙවෙයි නිතින
ඒ ගිය ගමනක්ද නො එන
කවිය බලන්න
ඇයි බැරි ද?
හඳ ඇවිත් ඉඳහිටක එබෙනවා දවාලක
ඵල වුනත් අතු අගක පිරෙනවා අවාරෙක
තුටු වෙමින් ලස්සනට ගෙතී යන කතාවක
අත ගගා සොයනු කිම රිදුන තැන් අතීතෙක
කොළ හැලී ඉපල් වුණු තුරු මුදුන් අග සරත්
මල් පිපී මදනලට හාදු දී කල වසත්
හැපි හැපී කියන කොට පෙම් කතා බිඟු ඇවිත්
හිත රිදී හොයනවද ගිලිහි ගිය පත් යළිත්
වළලලා බිඳුණ තැන් ලෝකයෙන් හංගලා
ගළපලා කැඩුණු තැන් තක්කෙටම නොසොයලා
ගල ගලා යන ගඟක් ලෙසට සමුදුර බලා
හිනැහිලා සිටියොතින් හදම යයි සැනසිලා
Photo Credit: Joshua Earle
කවිය බලන්න
මේ අපේ නිදහසයි !
මහ සාගරේ මුතු ඇටයක් විය පෙර දී
සිහ ධජ සෙවනෙ බොදු ධජයත් ඇත ලෙලදී
හෙළ දැය නඟන්නට එක් වූ සැම උරදී
අද හිස අත් ගසා වැලපෙනවද? මොර දී
මවි පිය සොයුරි සොයුරන් නොම දැන හැඳින
අප සතු උතුම් ගුණ දම් ඉවතට ලමින
සිවුපාවුනට වත් කිසි ලෙස සම නොවන
උන් හට අකැපමයි මගෙ හෙළ ලක් දෙරණ
පුහු මානයන් හිස් මොළගෙඩි තුලට ඔබා
වෛරය වපුරමින් දෙදරා ලමින් සබා
දස අත දිවුරමින් පෙන්වන අමන සොබා
සැඟවිය හැකිද ඇන්දත් ටයි කෝට් කබා
තමන් නොදන්නා බව වත් නොම දත්තූ
සිවුරට මුවාවී තම පන රැක ගත්තූ
කළගුණයවත් ළය මානෙක නැති පුත්තූ
සිහිවේ දිය සැලිය තුල කෙළිනා සත්තූ
ආගම් ජාති කුල මල නොතකන විරුවෝ
කාටත් සමව ගරු කළ හෙළ ලක් දරුවෝ
විරසක කරන්නට දඟලන කස කරුවෝ
ජාතික සමගියට කවදත් වින කෙරුවෝ
හෙළ සිහ ධජය ලෙල දෙනවිට අහස් තලේ
ජාතික ගීය රැව් පිළිරැව් දෙවන වෙලේ
අභිමානයෙන් අප හදවත් පිරෙන කලේ
පෙන්වමු සැමට අප සතු වූ සමගි බලේ
රට දැය සමය සුරකිමි නිති දෙදන නමා
එය වනසන එවුන් හට නම් නොදෙමි සමා
ලක් දූ පුතුනි පෙරමුණ ගනු නැතිව පමා
රට රැක ගන්ට හැකි සුරු විරු ඔබට තමා
මාවැලි කුමාරි කුලතුංග
මහනුවර
30.01.2026
කවිය බලන්න
බක්මහ කුමරී
දුරුතු කුමාරි හැඩ වැඩ
ගමන් ලතාවයි
මීදුම් සුදු සේල හැඳන්
මුවඟ සිනාවයි
නැවුම් මුට්ටියේ කිරිබත
පිසින වෙලාවයි
මල් වරුසා පොද වස්සන
ගුවන් තලාවයි
දින සති ගෙවිලා නව
දින දසුන් ගෙනාවා
සීත සමීරෙන් එන
මල් මඟුල මනාවා
සුබ පැතුමක සුහදතාව
මවන සිනාවා
නව අවුරුදු ප්‍රාර්ථනා
කඳුළු නිවාවා
දුන්හිඳ ඇලි හසරැල් පොද
ගඟට ඇදෙනවා
කඳු නිසලව නිල්ල වසා
බලා සිටිනවා
හග්ගල පේරාදෙණි
මල් වැස්ස වහිනවා
දුරුතු සඳට වලා ගැබේ
යහන් සදනවා
උතුරු දකුණු යාකරනා පාලම බැඳියන්
එක ඉත්තේ විහඟ ගිත
නාද ඇසීයන්
වසන්තයට අරුණෝදේ
කවුළු හැරීයන්
ගිලන් රටම සුවපත්වී
රෝග නිවීයන්
අටුකොටු පිරෙනා
දවසක් ලැබේවි අපට
අතීතයට හඬා දොඩා
සුසුමන් කුමට
සොබාදමට මිතුරුවෙලා
සිතුවිලි සුමට
ආසිරි ජය මංගල ගී
ගයමුද රටට
කවිය බලන්න
ආදරේ ගාව උන් හෙන මෝඩයි.......
පවුරු වැටුණු දා
හරි හයියයි හිත මගේ
තම්බන්න බෑ මාව
ගෑණු කිව්වේ එහෙමයි
පරිනතයි කියලා හිතාගෙන...
ඒත් මොකද වුණේ?
සිනහවක් ගාව
නතර වෙනවා පටගාලා
වයස අමතක කරලා
අහුවුණා උන් මෝඩයි...
රැවටුණු පරිනතකම
අත්දැකීම් මිටි බැඳන්
පරිනතයි කියලා මවාගෙන
තම්බන්න බෑ කිව්වට
උන් තැම්බෙනවා ආදරේ ගාව...
ඉලක්කම් ලොකු වුණාට
හිත හරිම පොඩියි
අහුවෙන්නෑ කියපු උන්ම
අහුවෙනවා ආයෙමත්...
මෝඩයි උන් මෝඩයි...
හිතුවක්කාර හිත්
ලෝකෙට පරිනතයි
අල්ලන්න බෑ උඹට
ගෑණු කිව්වේ එහෙමයි
හයියෙන් පපුවට ගහගෙන...
ඒත් එක බැල්මකට
ඉලක්කම් දියවුණා
වයස පැත්තක තියලා
අහුවුණා උන් මෝඩයි
ආදරේ ගාව උන් හෙන මෝඩයි...
කවිය බලන්න
නිවෙනු පිණිස
සිඳ බිඳ දුරැර පිරිපත
බව දුක නසන අටියෙන
අත හැර මිටින ගත් පැස
යා යුතු තනිව නොපැකිල
ආතුර සිතක නොදැමුන
නැගී විසිරෙත අවසඟව සිඳු රළ
කාලය මවා අරුමැස
පිපි කළල් දිය මත පියුමක්ව
හෙත නොගැටි දිය හා පත
මෙනි තමන් මත තම සිත
මඩවා නොයෙක දස්සන
නොඇලෙන ලෙසින ඉවසන
හිස ගිනි ගැනුන කල මෙන
වහ වහා නිවනුයේ කෙලෙසක
එලෙසින්ම නොපැකිල
නිවනුයේ මේ බවය දුක් රැස
කවිය බලන්න
Remembering the Rose
On the edge of an old stool, slightly askew,
A forgotten vase settled beneath dust’s hue,
Still cradling memories of what Mother chose—
Waiting in silence for that single rose.
Each morn, Mother placed that vase with care
Upon our dining table, always there—
A dainty vessel with a single rose,
Fresh from the garden, the one she chose.
Those childhood days of laughter in the sun—
The vase remembers, though the years have run.
Sunday lunches: yellow rice, chicken curry,
Warm fish buns vanished in our childish hurry.
The laughter faded the day Mother left.
The vase, once cherished, loved, and kept,
Stood empty—silent, forgotten as well.
The single rose soon withered, petals fell.
I cleansed the old flower vase with care,
Filled it with water cool and fair,
Returned it to the table there
And placed within it one rose rare.
I opened the window; the darkness fled,
And light returned to where her footsteps led.
Twenty years today since Mother’s leaving —
The vase remembers, and so do I — still believing.
කවිය බලන්න
සැමදා ගරු බුහුමන් ලබන තිදෙනා
සලකන තරම කොතරම් දැයි කිව නොහැකී
තිදෙනෙක් සිටිති සැම රටකම දනුව සකී
සිත සැනසුමට ඔසුවකි මිල නොකළ හැකී
රැකගත යුතුය සැලකුම් ඒ අයම මෙකී
ගරු සැලකිලිද සමඟින් කන බොන සියලූ
ඇඳුමද පැළඳුමද ගේ දොර ඇති මිදුලූ
සළුපිලි සමඟ යහනා සැම සැප ඉසිලූ
දෙති නොමසුරුව පූජක වෙත ගුණ බැබලූ
මනසට සතුට සැනසුම සුව නිතර දෙන
දුක දොම්නසට තිත තබමින් දිවිය දෙන
සුන්දර කලා කරුවන් රස සැමට දෙන
ලබනා යසස ගරු බුහුමන් අසම වන
ලැදිමුත් නැතත් ක්‍රීඩාවට සියලු දෙනා
රට වෙත ගෙනෙන කිතු ගොස ගැන මතුරමිනා
සැම ක්‍රීඩාවකම යෙදෙනා සැමට මනා
බුහුමන් කරති රඳවා හද ගැඹුරු තැනා
මේ ලෙස අදර ගරු සැලකිලි ලබන මනා
මේ තිදෙනාම රැකගෙන සිත ගතද මනා
නින්දා අපහාස දොම්නස නිතර දෙනා
නුසුදුසු බිමක පා නොතැබිය යුතුම වෙනා
කීවොත් වෙසෙසින්ම දෙස් පාලනය යන
මඩ ගොහොරුවේ නොම නාගත යුතුය පැන
තව ඇත එවැනි තැන් ඒ ඇති සියලු තැන
සිටියොත් නොපැන සලකයි සැම සියලු දින
2026 . 01 .27
කවිය බලන්න
වැලන්ටයින් මල්
ආලය පියකරුය නිලි වැස්සක් සේය
නාඹර ගොයම් කොළයක පැහැයක් සේය
ලා සඳ පහන් කරනා සාවෙකු සේය
උදයෙම පිපී පරවෙන කුසුමක් සේය
දවසේ මිලට විකිණෙන මල් වෙළඳපොළේ
අඳුරේ දිලෙන කුටියක් තුළ සෙමර සැලේ
විසිරී සිටින බමරුන් සතු දෙමංසලේ
වැතිරී නිදයි කොඳ මල් පෙති කුලෙන් කුලේ
ආදර වසන්තය දැන් ඇරඹෙන ලීලා
සාදය ගලා යයි ගංගාවක් වීලා
මේඝයෙ කුළු මතින් පා යුග ගිලිහීලා
තාලය ඇද වැටෙයි අම රස පැන් බීලා
පිපිලා පර නොවෙන රහසක් තිබේවා
නැඟෙනා ඉරට තරු කැට මුණගැසේවා
කිසිදා වෙනස් නොවෙනා අය සිටීවා
ආදර ගහේ මල් පිට මල් පිපේවා
කවිය බලන්න
සිර වුනු මතකයන්.......
පායන සඳින් හැමදාමත් රැස් දෙනවා
බැස ගිය නමුදු හිරු නැවතත් පායනවා
තරු මල් විටින් විට ඈතින් හිනැහෙනවා
හදමල පිපුන සැනෙකින් යළි පරවෙනවා
හැම උදයකම පිපි පිණි මල් වියැකෙනවා
පිබිදුනු සියොත් නද ඈතින් අඩුවෙනවා
පෙර දින දුටුව සිහිනය ගැන සිහිවෙනවා
නෙත්දිය දෙනෙත් තුලටමවී වියැලෙනවා
අසු වී අකල් වැස්සට මල් දියවෙනවා
පෙර ගිය මඟක පියසටහන් සිහිවෙනවා
බොඳවුනුසිහිනයක මිහිරක් මතුවෙනවා
කොතැනක සැඟවිණිද සිතිවිලි සිරවෙනවා.
කවිය බලන්න
ජීවිතේ අපට දෙන්නෙ හොඳම දේවල්ද
පරණ හිට් සින්දු රොක් ආරෙන් ගයා
ගී අම්බරේ නැගී එන තාරකාවකි මා
නිතර හිස නැගෙන දරුණු වේදනාවක්
සිතට වද දෙයි තවත් ඉවසනු නොහැක
×××××××××
තුනට එකක් බව කියති ජීවිත අවදානම
ලඟින් උන් අය මගහරින හැටි පුදුමයි
බින්දුවෙන් පටන් ගෙන ආ ගමනක් මේක
කරන්නට දෙයක් නැහැ .. ඒකට කමක් නැහැ
තුනට එක යනු බින්දුව නොවේ
ලද ඉඩෙන් රිංගා යා හැකි වේද මට
දුක මතින් බලාපොරොත්තුවක් දැල්වේ
මල් පුදා බුදුන් වැඳ නමස්කාර කර
සිත මඳක් පහන් වී ඇති සීතල රැයක
ගම්භාර සුරිඳුන්ට පහනක් දල්වමි
කවිය බලන්න
කුඩා කුඩා සිහින....
ම'හිත සිත්තම් වූ
කුඩා කුඩා සිහින වේ
මම ම පාට තැවරූ
සඵල වන රිසියෙන් මග බැලූ.....
ඉසියුම් ම හද ස්වර
කම්පිත කරවා ගලන
මිටියාවතක දොල දියේ
රැළි සරැලි අතරට මුහුව
ඈතින් ඈතට ඇවිද යන්නට.......
හද බසින් ගැයෙන
මියුරුතම ගීයක මිහිර
නින්නාද වන'යුරු
මුදු සුළං රැළි අතර සරමින්
ඇහි පිය නොසලා අහන්නට......
දෙණි බිමක තණ පත් අතර
සීත පිණි බිඳු දරාගෙන
ඉරට හොරෙන්
හිනැහෙන' යුරු සිනිඳු මල් පෙති
හුස්මට හොරෙන් බලා ඉන්නට.....
ම'හිත සිත්තම් වූ
කුඩා කුඩා සිහින වේ
මම ම පාට තැවරූ
සඵල වන රිසියෙන් මග බැලූ.....
Photo Credit; Zoltan Tasi
කවිය බලන්න
ඇසූ දහම් පද
අඩ සලුය නළඟන සිහින් ඉඟ සුඟ නැළවෙන
රිදුන හිත තදින සිතුවිලි මුගුරු පහරෙන
විසල් රජ කිරුළෙන මිදුනි තද ලේ බැම්මෙන
නොබල සියුමැළි වුවන එගොඩ නේරංජනෙනෙ
හැඳින වඩුරුව ගෙන තරව කෙළෙසුන් හසුරන
බිඳුන කැණි මඩළෙන නික්ම ගිය සංසාර අරණෙන
ගෙවුන දෙදහස් පන්සියෙන රිසිව දොඩමලුය බුදු බණ
රැඳුණු හිමි පිළිමෙන සාදු..මොක් පුර රුචි කෙනෙක් විණ
පසඟ ඇන වැඳගෙන හඬයි අකනිට දෙදරන
පළමු දෙව් සැපගෙන නිවන ඉන්පසුය වදවෙන
ධවල දද ලෙළදෙන බැනරයකි මොක්සුව පතමින
සියලු සංකාර දුක් දෙන බෙදුනි කහවත නෙක නිකායෙන
රුදුව අකුසල විඳවන තමන් සීලය සැකයෙන
පිදුව දන්පත රසයෙන අගසව් ප්‍රමුඛ මුල් සඟගණ
රුවකි ශේෂව නැතිවුන දහම අරිඅට මගයන
මළෙන් මළ බැඳා දිරණ බුදුන් අවැසිම සමය තෙපළින
Photo Credit; Taiyou
කවිය බලන්න
ඉදින්....සබඳ!
ගිලි ගිලී යලිත් ඉපිලෙමි
තෙරක් නොපෙනෙන
ගැඹුරු නෙත් විල.
පියපතක සුව හැඳිනෙමි
පෑ නිසා පුළුලුරහිස
තබන්නට දිවි බර.
පිරිමදිමි ඇඟිලි තුඩු සෙමින්
සුමුදුව දරා මා
අත නොහැරිය හෙයින්
අතරමග.
සිහිනෙන් පවා සිපගමි
සුව සැදූ මුදු දෙකොපුල්
අමතක කරවන මට මාව.
මුදාලමි හද පෙලූ පිරිපත
ඉඩක් නැති බැවින් යළිත්
නෙත් සලිල බිඳකට.
නිරතුරු සිනා නගමි
මුවින් පමණක් නොව හදවතින් පවා
ලද බැවින් පැතූ සනහස.
තාමත් විශ්මයෙන් ඇලලෙමි
ආත්මීය සුව කැන්දා
හමුවූ බැවින් මට මාව
ඔබ අභියස!!!
Photo Credit; Nathan Dumlao
කවිය බලන්න
පියමැනිමි එක කාර්තුවක්
හබල ඔරුවට අවනතව නැති
හුළඟෙ පාවී ඔහේ තිබුනා
ගංදියත් පොඩි පොඩිම රැළිමත
නොනැවතී දඟකරන් තිබුනා
දෙපස රැඳි ලියවැලක්වී සවි
තවත් එකටම එතී තිබුනා
පහව යාවිද කුනාටුව දැන්
හිතඇතුලෙ නම් කුහුල තිබුනා
ඇවිදි මංපෙත් වෙනස්වී ඇති
අළුත් මාවත් ඇඳී තිබුනා
වාරුගෙන හිත දිරිවඩව ගෙන
පහුකරන්නට මගක් තිබුනා
කරන තරනය නිමකරන්නට
නිසිලෙසින් අදිටනක් තිබුනා
සවියබොඳ අත්වැලක පිහිටෙන්
මඟහොයන්නට වෙලා තිබුනා
ගමන කටුකයි ගෙවන්නට තව
මහාදුරකුත් ඇතිද හිතුනා
වගෙයි හිසමත මහාමේරුව
දෑස පිරවී කඳුළු තිබුනා
දෙපා වාරුව ගිලිහියාදැයි
හිතේ කොනකම බයත් තිබුනා
අත්වැලම ගෙන ආදරෙන්දුන්
බලාඉදිරිය යමින් තිබුනා
මතක ලංතෑරුම් අතින්ගෙන
ඉදිරිමඟ තව යන්න තිබුනා
කුරුටුගෑ පංහිඳෙක සතුටත්
හිතේ කොනකට වෙන්න තිබුනා
රළු මගෙක දුරගමනෙ තනිකම
උරහිසෙක සවි මතකෙ රැඳුනා
දෙපාවාරුව සවිය කරගෙන
ටිකදුරක් තව යන්න තිබුනා
මුරුගසන් වැහි ඇදහැලෙන විට
පොදවැස්ස පාවීල තිබුනා
කිණිති මල්පොඩි බිමට බරවී
අතු අගම එල්ලිලා තිබුනා
වැලට බරනැති ඵලබරින් තව
තවත් හයියෙන් ඇලී තිබුනා
කුනාටුව රුදු පහව යනතුරු
නොසෙල්වී මව් ගසක් තිබුනා.
මවුබිමේ සිට.
Photo Credit; Rhamely
කවිය බලන්න
ඉසුරුමුණි වෙහෙරේ පෙම්බරිය
කිමිදිලා සිත පත්ල
කොඳුරන්න සොඳුරියේ
යා කරන් හුස්ම පොද
විඳ ගන්න ආදරය
වෙසෙන පෙම්බරිය සේ
ඉසුරුමුණි වෙහෙරේ
නුවර වැසියන් සැවොම
නිදිගත් රැයක තනිවම
හමුවෙමු අපේ ලොවෙහිම
දැවටෙමින් ප්‍රේමයෙම
වෙසෙන පෙම්බරිය සේ
හැමදාම මා ළඟය ඔබ
නිතර පෙම් හැඟුම් පාමින්
සුකුමාල තෙපුල් වදනින්
සනසන්න මා ප්‍රිය දේවි
වෙසෙන පෙම්බරිය සේ
ඉසුරුමුණි වෙහෙරේ
කවිය බලන්න
තුඩු ගගා
තුඩින් තුඩ ගෙන අවුත්
තුඩු ගගා පොහොනි කළ
පැටව් ඉගිළී ගිහින්
තටු ඇවිත් බොහෝ දුර
ආසාවකට වුනත්
නෑ එවුන් දකින්නට
ලඝුවෙලා මහලුකම
කඳුළකට සුසුමකට
මුහුණු පොත්වල උඹල
හැම විඩෙම ඉන්නවලු
යහළුවන් කියනවා
වට්ස්ඇපුත් කරනවලු
එහෙමවත් බලන්නට
ඒව අපි දන්නවයැ
මටත් වැඩියෙන් අම්ම
ඉන්නෙ මහ දුකින්මයැ
යුරෝපේ වගේ අපි
දියුණුවෙන්නැති නිසා
මේකෙ හිටියොත්
විඳින්නට වෙන්නෙ දුක නිසා
නුඹල වගෙ තව පැටව්
ගිහිල්ලලු සිය ගණන්
කමක් නෑ උඹලවත්
හිටපල්ල සැප අරන්
“රැවටිච්චි පොල්කිච්ච්
කැන්ද ගහෙ එල්ලිච්චි”
අපි තාම ඒ කැන්ද
ගහේමම හිරවෙිච්චි
අලයි ලූනුයි එකට
තියන්නෑ කියනවා
ගොරක මුට්ටියෙම
අපි තාම අත දානවා
කවිය බලන්න
නිදහස
සුළඟේ වේගෙට මුසුවෙලා
පාවී ඉගිලෙයි නිදහසේ. ..
රිද්මය අවසන් වන තුරා
පහළට යනවා නිදහසේ. ..
රන්වන් හිරුගෙන් නැහැවිලා
අහසට හිමිකම් කියන්නේ...
ඒ තටු නිදහසේ විහිදලා
සීමා මායිම් බිඳින්නේ...
කුරුල්ලෝ...
නිදහස සොහොනක වළලලා
තව උන් කූඩුවේ ඉඳින්නේ...
ඉගිලී යන්නට බැරි නිසා
හමනා සුළඟට බණින්නේ...
සැළෙනා අතු අග දුර නිසා
සෑදු කුඩුවේ ඉඳින්නේ...
නිදහස කිමදැයි නොදන්නා
කිරිල්ලි කඳුළේ ගිලෙන්නේ. ..
කිරිල්ලී...
සාන්ත මරියා සිද්ධස්ථානය
මහනුවර
කවිය බලන්න
හතර දෙනෙක්
කඳුළු සීතල පොරවගෙන
හද ගිරිමුදුන ඇද හැලෙත් සද්දෙන්
අකුණු බර ගිම් වළාවක් යට
පියාපත් විද සරත් පරඬැල්
දූලි සුළඟින් වැසී දුබල වු
නවම් සඳ ආලෝක විහිදත්
තනිව ගීයක් මුමුණ මුමුණා
කදෝපැණියන් ගමන් අරඹත්
Photo credit; Rootstock
කවිය බලන්න
මූණු පොත
මූණත් පොතේ නුඹෙ නම අද්දරින් ඇතී
සීයක් විතර මගෙ ළඟ මිතුරන් ම වෙතී
මා ගා ගන්න ඇති අකමැති අපුල ගතී
හේතුව මොකෝ නංගී අපි කළු ද නැතී
මුලින් දුටු දවසෙ වැලඳුණ හිත ලීලේ
යටින් ඉදිරුණා දැක හැසිරුණ තාලේ
පතන් ආපු එක ඇත්තයි ඒ කාලේ
ගණන් ඉහළ හින්දා දියවිය ආලේ
වාත කෝච්චිත් මිතුරන් සේ දැක්කා
ඒ තරමටම තරහද මගෙ නම එක්කා
රෑට රෑට මතකෙට එන්නේ මක්කා
මූණු පොතට දැන්වත් එන්න ද අක්කා
කවිය බලන්න
The Rose
The Rose a sight of beauty but one touch of a thorn it will leave a prick oh the might of the Rose
The war of the Rose is a conflict within struck between Thorns of 2 only if the Rose was blue
Staying true as the Rose grew what good did it do the rose withered and died
Dried crisp petals are taken away by the wind a distant memory of a recent past yet at last upon each year the rose grew not a tear was headed it remained true
The strength of a Rose is unopposed a beautiful red that will prick as it stick 2 self preservation nature’s beautiful creation for ever gazed upon and never touched
Photo Credit; Edward Howell
කවිය බලන්න
සමුගත් සේන සමරසිංහ
කස්‍තුරි සුවඳ අතුරා සිනමා තිරයේ
විස්වාසයෙන් ගිය මඟ ඔබැ තුන් හෙළයේ
අස්සක් නෑර නම රැදු සිතුවම් පටයේ
ඇස් කඳුළින් දවා හැරගිය මේ භවයේ
--
නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය තුළ
කළ කී දෙයින් රැදි සිනමා තුසර ව්ල
සමුදී කාලයට ගිය හැර විවිධ කුල
මානස විලෙහි පිපි නෙළුමකි විහිදු බල
---
වදයක බිගුන් මෙන් රැස්වී අනෙක දන
ගිලිහුණු කළ පුරා රස විදි සිතින් මන
ටෙලි හා පුලුල් තිර හැඩකල දසුන් පණ
තව කාලෙකට ඇත පවතින කරපු පින
---
තිර රචකයකු විලසින් ඔහු කල හරඹ
දන්නෝ දනිති නොඅඩුව වතගොත සුලබ
නිල්ල සොයා චංචල රේඛා දුලබ
සිතුවම් පටම ඇත රැදි හදවත් අරඹ
----
ඔබ සමුගත්තැයි.නොදන්නෙමු
තව ළඟ ඇද්දැයි සිතෙන්නෙමු
ලඟ දුර සිටිතැයි දකින්නෙමු
යළි හමුවෙන්නයි පතන්නෙමු
-----
කලාභූෂන කිවිපති
සාසනකීර්තී දේශාභිමානී
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
අතකස මාධ්‍ය උපදේශක
======================
30/1/2026
කවිය බලන්න
ජනපති අනුරට
කඩා වැටුනු සිත් වඩා උස් කොට
වඩාගන්න හැකි, මනසින් නොපසුබට
සදා නොවෙනස් නිකෙලෙස් සිත සුමට
සියලු දෙව් රැකවරණයි ජනපති අනුරට
30/01/26
කවිය බලන්න
දෙවිඳුනි වෙසෙන අභිමංසල
පුද දී තුරුණු විය ලක්වැසි දන නම ට
දිවි දී රණ බිමේ ගෙනදුන් නිදහස ට
ලෙළ දී සිහ ධජය සිව්දිග දකින වි ට
රැව් දී ඇසේ නුඹ නැඟූ සිහනද අප ට
වින්දා තිස්වසක් නෙක දුක් ගැහැට එදා
මන්දා අමතක ද නුනුවණ දනට මෙදා
කැන්දා රුපුන් යළි මෙහි උන් වැළඳ බදා
දුන්දා බෙදා ලක්මව වැලපෙවී සදා
විරුවනි මිය ඇදුණු රණ බිම වැළඳ
ගෙන සොයුරනි සිඳුණු අත්පා, නෙතු අන්ධ වුණ
නයුවනි අණ දිදී නීති පෙරමුණ රැඳුන
බැතියෙනි සිතින් සිපගමි නුඹ පා පෙමින
තනිමංසල ක හැරදා සුතනඹු සොවින
දිවිමංසල ක නැවතී පෙරුමන් පුරන
තුමංසල ක පිළිරූ නැතිමුත් පුදන
අභිමංසල ද දෙවොලකි දෙවියන් වෙසෙන
කවිය බලන්න
විඳිමී, සඳේ....
ඔබට පායන්නට
ඉඩක් දී ඉක්මනට
කිව්වා මම හිරුට
සිතිජයේ ගිලෙන්නට
මා බලා සිටියා
නුබ අඳුරු චායා
මකා ඔබ පායා
එළිය දේවිය කියා
සුළඟට කියන්නට
මතක නැති උනා මට
ඔබට හැංගී ඉන්ට
වළාකුලු නොතියන්ට
ඔබව සොයනා විට
දෙනෙත් යොමමින් අවට
හිනැහී තරුත් මට
කළා ඔච්චම් එමට
ඔබ එබිකම් කළා
කලු වලාවෙන් ඇදී
සතුටුයි දැන් සිතට
ඔබේ සොමි රැස් වැදී
Photo Credit;Matt Nelson
කවිය බලන්න
තරහවූ ආදරේ
සමාවෙන්න මට කෙතරම් කීවත් එය දැන් මදි හින්දා
ලියා එවමි මම කෙටි පනිවිඩයක ඔබ කියවාවි සිතලා
සතුටු සමීචෙක මීවිත බදුනක
රස බැලු බව දනිමී
එනමුදු සොදුරේ මුවෙන් නැගුන බස්
සිරකොට ගනු බැරිවී
මගේ ලෝකයේ එකම සඳවතිය ඔබ බව ඔබ දන්නේ
සමාව බැරිනම් සිනාවකින් හරි
මා දෙස බලනු මැනේ
කවිය බලන්න
ඇසීම
නොකියනා දෙය ඇසීමට
හදවත සුසර කළේ
ඔබ හමුවූ මුල් යුගයේදීමය
හර්ට්ස් විසි දාහටත් වඩා
වැඩි තාර තාවයෙන්
ඔබ මොර දෙන්නේ
රික්තය පුපුරවා හරිමින්ය
ඒ හඬ ඇසී
නටුවෙන් මල් මිදී
සමනල පියාපත් සිදුරුවී
අකාලයේ කුහුඹුවන් බිහිරි විය
බරම වදනක්
සිරවී ඇතිදැයි සැකෙන්
කන් සිදුරු
අතගා බැලුවේ රහසේය
පෙරහන් කඩදාසියෙන්
නිමවා ඇති හදවතට
වැද්දාගන්නේ
නොරිදෙනා වදන් පමණය
කවිය බලන්න
මෙහෙමත් උදෑසනක්
හිටි ගමන් නිදි ඇඳෙන් පිබිදිලා බලනවිට
හිරු පිපෙන්ටත් කලින් එළිය දී කුස්සියට
බිරිඳ පායා බලන් හොරෙන් ගියමුත් ළඟට
බැනුම් අසමින් නැවත කුටියෙ ඇඳ උරුම කොට.
සුවඳ එයි වැංජනේ අත් ගුණය කියන සේ
පොඩි එවුන් පුබුදමින් හඬ ඇසෙයි සෙනෙහසේ
ලකලැහැස්තිය දිරිය සැම දෙයක් මට දිසේ
මා ගැනත් බලන්නට දිවෙන පා හඬ ඇසේ.
පුබුදමින් මා උදේ තේ පිළිගන්වමින්
උදව්වක් කරන්නට සිතී දරුවන් ගමින්
මුව දොවා මව් වෙතට හැරියමුත් හද පෙමින්
මැද නොමැත උන් දසන් බාරි බෙරිහන් දෙමින්.
තව දිනෙක උදව්වට ඇඳුම් මදිනා වෙලේ
පිළිස්සුණු ගවුම දැක උදව් තහනම් කළේ
දහසකුත් එකක් වැඩ අතර සරදම් බලේ
මට පෙන්වමින් දුවයි හුළඟ මෙනි කලබලේ.
කොයි කොතැන වුව පෙනුණෙ හුස්ම නැති තදබදේ
නාන කාමරයටද නැකත විටෙකදි යෙදේ
පමා වූ විට මෙමා බිරිඳ ඒහා බැඳේ
මා සිටින විටදිනම් දෙකන් හොඳටම රිදේ.
පොඩි උන්ගෙ සුළු රණ්ඩු අමනාප අඩු නැතිය
දෙන්නාගෙ කළමණා හුවමාරු වෙයි නිතිය
විනිසුරුව නඩුහබත් ඇයම විසඳනු ඇතිය
පිය උරුමෙ අතට ගෙන මමත් ලක ලැහැස්තිය.
ඔෆිස් ගෙනියන කෑම බෙදා අතටම ලැබෙන
දිනක් මට අමතකව පිටින් අරගෙන තිබින
පිළුණු බත්පත හවස ඇයට හමුවී තිබෙන
මා පැමිණි විට පෙනුණි මුකුලිතව ඇගෙ වුවන.
පානදුර.
කවිය බලන්න
කාක වසුරු බෝ
කාක වසුරු පිඩකින් ඉපදි පෙරක
නේක උස් කුලේ නෑයෝ දුර රටක
ලෝක අට දහම් නොදුටුව බණ පොතක
රෑක දඩ මසක් කෙරුවා නොවැ ගොරක .
කෙම්මුර දාට ඉරමින් කළු අඳුරු සළු
ගින්දර වගේ නෙක එළි පෙළ වඩිනවලු
මන්තර කියන ලොඹු කටවල් පෙලම ගොලු
සුන්දර දසුන් මැව්වෙම අතු පතර දලු.
තුං මංසලේ වැඩුණත් ඇහැටුව උසට
පැං ඉස මලක් පිදුවේ නෑ පෙලපතට
යංනං වාලේ එමඟේ ආ ගිය අයට
සංනාමයක් පමණයි බෝ ගහ සැමට.
රෑනට විදුලි අත ලග දිරාපත් අත්ත
බෑමට බියයි පොලවට සබයේ හැත්ත.
කීවට කපුටු පෙලපත අතගා පොත්ත
ලාවට තවම බිය හිතයට එය සත්ත.
මෙමඟ රෑ ධවල් යන එන උන් අතර
තුරඟ පැජරෝව පැද යන්නෙකි නිතර
තරඟ තව කුමට මනිඅක්කිත අතර
සෙනඟ මහ ගොඩක් උන්දෑ අත නොහැර.
අත් පා රං දම්ය බඩ තඩි මුදලාලි
පොත් පත් නාදුනා හිමිකරු කඩ පේළි
රත් වූ යකඩ තළනා මාගම් සෝලී
මත් වූ කවියෝ ඔහු ගැන ලිව්වෙම හෑලී.
යන එන අතර ඔහු ඇහැටුව පසුකරණ
දින දින දකී ලා පත් මෝරා වැඩෙන
යන එන කොතැන රංමසු පාවඩ එලන
බණ පොත උඩින් බිල් පොත තැබුවා ඉතින.
තාප්පයක් බන්දා වටකර බෝදී
ගේට්ටුවක් සවිකර තුං සිත පෑදී
රිදී වැටක් අටවා ඇහැටුව පිටදී
යකඩ කටක් දිව රෑ එකලෙස මොරදි.
දුර බැහැරක නෙලා වඩමා ගෙන ආව
බර පිළිමයකි මසුරන් ගනනින් කීව
සර සර හඬින් පෙර දා බුදු ගුණ කීව
කරබා සිටී ඇහැටුව හදවත දෑව.
ඉඳහිට ඇසේ බෝධිය ගැන කතන්දර
නිවනට මඟ දෙසූ සමිඳුත් පිටස්තර
නමකට කියා ඇහුනෙම හඬ බොහෝ දුර
සසරට බැඳුණ මුදලිගේ නම නිරන්තර.
උස් කුල තුරක් යැයි පඬුවෝ පොත් ලියති
කුස්තුර වසන්නට රන් මසුරන් කොටති
දොස්තර ඇවිත් පස් කා ගුන දොස් කියති
විස්තර ලියා පත්තර රුපියල් ගරති.
කෙම්මුර දාට දැන් නෑ දේවතා එලි
සමහර දාට බෝ පාමුල සබේ වලී
සිහිකර මුදලි නාමය පෙරහැරකි අලි
දුක්බර රැයේ බෝ තුර පඬු කඩක ඇලී.
2026 / 01 / 25
කවිය බලන්න
(නො)රිදෙන
අපි අපිට හිමි උනත්
අපි අපිට නැති තැන....
අහිමි උන් විත් හිමින්
හිත් යටින් හැංගුණ.....
අසම්මත කතා ලෙස
ලොව පුරා නම් කළ....
සම්මතම ආදරය
මිය නොයයි කිසි දින.....
පිටුවකට පුලුවන් ද
හිමිකමක් පවරන්න.
හිත පුරා දුව ඇවිද
සෙනෙහසක් වපුරන්න.
නිමක් නැති දුක් කඳුලු
සෝදලා පිසලන්න.
රිදෙන පපුවක යටින්
කවි පෙළක් අමුණන්න.
හමන සැඩ සුඟකට
මකුළුදැල් බැඳ කුමට?
වැයෙන තත බිඳුණු විට
මිහිරි වැයුමක් කොහිද?
අකුරු නැති විට පොතක
කතාවක් තියේවිද?
සමුදුරක ඝෝෂයක්
කාට නවතනු හැකිද?
කවිය බලන්න
කලා අඹරේ රිදී සීනුව
කෝකිලා නුඹ ගොළුවෙලා.......
ලතාවක් නුඹ ගැයූ මිහිරට
සවන් පිනවන අයුරිනා
විඩාවන් මඟ හැරී සරතැස
සැණින් දුරුකර සනසනා
සිනාවක් මුව මතේ නිරතුරු
දරන් විකසිත විලසිනා
යථාවක් කර නිවී සදහට
ගිහින් සුරලොව සැඟවිලා.....
ලක් මවගෙ අභිමානයට නුඹ
ගැයූ ගී පද තුටු සිතින්
පිං මහිම ඇති ලෝකයට සුර
යන්න මාවත හැර බැතින්
පන්හිඳක දුක ශෝක තවරා
ලියූ කවියක මගෙ අතින්
ගැබ්බරව උණු කඳුළු මෝදුව
ගලා යාවී නෙතු මතින්....
ගයා ගීතේ ගැලී සතුටේ
ප්‍රේමයේ පද සරසලා
සදා කාලේ රැඳේ මතකේ
වේදනා බිඳ සනසලා
කලා අඹරේ රිදී සීනුව
කෝකිලා නුඹ ගොළුවෙලා
වළා අතරේ හිඳී සැනසී
ලෝකයේ සුර හිනැහිලා....
ලතා වල්පොල ගී කෝකිලාවියට
උපහාරයක් වේවා...
කවිය බලන්න
🗙





































































