ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 5වන වෙළුම
2025 දෙසැම්බර් කලාපය
කමා වෙලා අසනෙමි දෙව් දහස් නෙත
තෙමා වැටුනෙ නැතිවද ඔබ දහස් නෙත
කොමා තියනු මැන දෙස්පාලනෙට මිත
සොබා දහමෙ බයි ටොයි බේදයක් නැත
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
'වෙන්කට්' කාව්‍ය සංග්‍රහයට මම කැමතියි.
වෛද්‍ය වෘත්තියෙන් ලිවිසැරියත් ලිවිසැරියෙන් වෛද්‍ය වෘත්තියත් සමාජ ගරු බුහුමනට ලක් කරවන මෙම කාව්‍ය සංග්‍රහයේ කතුවර ශ්‍යාම කුමාර මුණසිංහයන්, 2004 වර්ෂයේ සිට එක්සත් රාජධානියේ වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් දැනට කොල්චෙස්ටර් රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවය කරයි. මා ඔහු මුල්වරට දැන හඳුනා ගත්තේ ද එහිදී ය.
කුටුම්බය තුළ ජීවක පරපුරට ම අයත් සිය පියඹ සහ යොවුන් වසන්තයේ වෙසෙන පුතුන් තිදෙනාගෙන් ද ලැබෙන අනුපමේය ආදරය, දිරිය සහ සවිය නිසා ම ශ්‍යාමයන්ගේ ලේඛන දිවිය වඩාත් සාධනීය දිශානතියකට මෙහෙයවී ඇතැයි මට සිතේ.
පාසල් වියේ සිට ම සරසවි බැල්මෙන් අවදිවන කවි සිත මෝදු වී ගොස් අනුක්‍රමයෙන් කාව්‍ය සංග්‍රහ කීපයක් ම එළි දැක්මෙන් අනතුරුව, අභිනව 'වෙන්කට්’ කාව්‍ය සංග්‍රහය ශ්‍යාමයන්ගේ පෑන් තුඩින් ජීවය ලබ යි.
ශ්‍යාම කුමාර මුණසිංහයන් කවියකු ලෙස වඩාත් නැඹුරු වී ඇත්තේ ඡන්දසින් තොර නූතන කවිය දෙස වපර ඇසින් බලා, කවීන්ද්‍ර ගුණදාස අමරසේකරයන් අනුදත් ඡන්දස්, විරිත් ආදී භාෂා භාවිතයෙන් රිද්ම ලක්ෂණ මතු කරන කාව්‍ය ප්‍රවර්ග දෙසට යැයි 'වෙන්කට්' අන්තර්ගතයේ බොහෝ නිර්මාණ අතරින් ඉඟි පළ වෙයි. සෙවි වහරට ගරු කරන නමුදු ජන වහරෙන් ඔහු ලබා ඇති ආලෝකය, මෙහි ඇතුළත් වැඩිමනත් කවි නිර්මාණවලින් විශද වන බව ද කිව යුතු ය.
භාෂාව, සම්ප්‍රදාය හා සංස්කෘතිය යන ප්‍රපංච ත්‍රිත්වයෙහි අන්‍යෝන්‍ය වශයෙන් පදාර්ථ වෙනස් වෙමින් නූතන කවියේ හැඩතල ද අනේකාකාරයෙන් ඊට සාපේක්ෂව වෙනස්වන කාල පරාසයක, ශ්‍යාම කුමාර මුණසිංහ කවියාගේ ලිවිසැරිය කෙරේ රසික අවධානය යොමු වී තිබීම සුබවාදී ලකුණක් ලෙස සඳහන් කිරීම වටණේ යැයි හැඟේ. මම ඔහුගේ ලේඛන දිවිසැරියට ඉත සිතින් ම සුබ පතමි.
නිශ්ශංක දිද්දෙණිය
ජීවිතය
බිඳක් සේ උල්පතක් පොළොවෙන්
උඩට මතුවී ගලන හෙමිහිට
ඇලක් වේ ඊළඟට ටික ටික
විශාලව එන විළස එළියට
ගඟක් වීගත් විගස කාටත්
ප්‍රතාපව අනුහසින් පෙනුනට
පලක් වේවි ද අසා දැනගෙන
ගඟක ඇති බිය මුහුදු යන්නට
නතර නොවෙනා ලෙසක සුදු පෙණ
බුබුළු ගල්පර හා බෙදාගෙන
අතර මගකදි වැටෙන මුත් කඳු
පහළ සුදු දිය ඇළි සදාගෙන
නිතර ආ මග බලයි ගඟ යළි
රිසිව නොයනුව තව ගලාගෙන
කවර නම් ගංගා ද ගැලුවේ
නැවත උඩු ගම් දෙස බලාගෙන
මුදුන් කඳු මහ කැලෑ ගම් බිම්
අතර සිසිලස බෙදා දුන්නත්
සවන් දුන්නොත් ඇහෙයි කාටත්
හෙමින් මුහුදට ඇදෙන සුසුමත්
පිටින් එන තල්ලුව නිසා වෙන
මගක් නෑ එහි නොගොස් ඉන්නත්
ඉතින් මහ සාගරය වෙන්නට
හිත හදා ගති සදා හැඬුවත්
කවිය බලන්න
ප්‍රේම රාග පරස්පරය
සොඳුරිය
නොවේ සත්‍ය ය අපේ ප්‍රේමය
ඔබේ ප්‍රේමය මගේ ප්‍රේමය
බලා විදසුන් දෑස් යොමුකර
පසක් කරගන්....
නුරා රසය ම පමණි එය
අපේ දෑඟිලි එකට එක් කළ
එදා ඇද වැලඳ සිඹ ගත්
අපේ ප්‍රේමේ නොහිම් සුව
ගෙවී යන විට යෞවනය
කොහි ගියේ දැයි කියන් මට
පිපෙන මලකට අරුත දෙන්නට
සුවඳ ගෙන නල සැරිසරන්නට
බමරු ඒ මල සොයා එන්නට
හීන ඕනෑ හිත පිරෙන්නට
පෙම් ගීත ආපසු ඇවිත්
පාරනාවිට දෙසවන
හද නිදා හුන් යහනින් නැඟී
හිත මුලා කරලයි
පැරණි මතකයෙ
යන්නට ම ගිය...එක දවසක
11-06-2024
170-පිටුව "නොකියවන කවි
යමපුරවත්"
කවිය බලන්න
දැනගනිං දිත්වා
විපතක් එද්දි කොයිවිටදිත් ලංකාවේ
තිස් තුන් කෝටියම මගහැර පැන්නාවේ
හමුදා පොලිස් දෙවි පිහිටට උන්නාවේ
මිනිසුන් මිනිසුනට දිගු අත දුන්නාවේ
කළ මහ විනාශය ඇවිදින් නුඹ දිත්වා
අපි වට්ටන්න බැරි බව දැනගෙන යත්වා
සමුදුර මහා මේ ජලකඳ ගිල ගත්වා
හිරු රැස් පැමිණ භූමිය වියලා දෙත්වා
බැට කා කලක් නැගිටින මගකට ගොඩවී
සිටිනා අපට පසුබටවනු බැහැ බියවී
පෙන්වා බලය ජනතා සාමයෙ ගොනුවී
තනනෙමු හෙටක් යන්නට ලෝකය සෙලවී
කවිය බලන්න
සුරැකේවා සැම!
____________
විසල් රළ පෙළින්
බැට කෑ මා දිනු මගෙ රට
අකල් වැසි දියෙන්
යට වන මා දිනු මගෙ රට
මහල් දෙරණ සිප
වැළලෙන මා දිනු මගෙ රට
සියල් සතුන්
සුරැකේවා මා දිනු මගෙ රට
කවිය බලන්න
සංසාරෙ මගේ නෙමෙයි වෙන්න ඇතී
සංසාරෙ මගේ නෙමෙයි වෙන්න ඇතී
පූජා වෙන්නම පුතුනේ උපදින්න අතී
ලොබ බැදීව බැමි තව හිරවෙන්න ඇතී
බැදීමක නිස්සාර බව ද මේ රිදුම් ඇති
වේල පත්කඩේ කීවේ එදා පූජා කරන්නට....
තුරුලු කරන් හැඩුවේ බැරිවයි
වෙන් කරන්නට..
සීයාත් කදුලු පුරවන් එදා අහකට වී
හැඩුවාට........
ස්තීරයි.පුතුනේ මොහොතක වත්
ඈත් නොවන්නට..........
සීලයේම..දවටා.හැඩි දැඩි කෙරුවාට
කැප නැතිවද..සැන්සුමක රැදෙන්නට
අකැප සිතුවිලි හා මුසුව ගැටුනාට
සිල් සිතයි...පුතුනේ මේ තරම් රිදුනාට
බුදු සිරිතේ එන මැණික මට
හිමි වෙලා
හිමි වුනෙම අහිමි වෙන්නද
පෙර මං බලා
ගිහි ගෙය ගිනි ගොඩක්ම බව
මට පෙන්වලා..
කොටු කරපු හුස්ම ක අද බොහෝ
තනි වෙලා........
හතර වරිගයම.....නිවන් යවන්නට
ආ පුතුනේ .........
පිං රැස් කර නිවන් දොරටු සෙවුවද
මා පුතුනේ ...
සංසාරෙ හුරු මතක දිගේ.. මට හිමි ව
ආ..පුතුනේ ........
බාධාවක් වූයේ එදාත්... මේ අම්මාද..
කියනවද.. පුතුනේ .............
සුනා .......🌹
ඩුබායි ..සිට...........
කවිය බලන්න
අම්මේ
වත්ත කෙළවර වතුසුද්ද වැටිය ළඟ
අම්මා නිදයි සුවසේ පොළොව යට
සිලි සිලි හඬින් හමා යන මද පවන
අම්මගේ හුස්මවල සීතල දැනේ මට ....
අම්මගේ සෙනෙහෙ විල සුමුදු සඳ එළිය වී
ගත සිතම නිවාලයි අදත් මතකය දිදී
දයාබර ඇස් මැවේ සිත රිදෙන විටදී
මට ඕන සැනසෙන්න ඔය ලයට තුරුළු වී ...
සුදෝ සුදු මල් හැලී සොහොන් බිම පුරාවට
බොඳ වෙලා රුව සොයයි මේ සතර දිශාවෙම
මහමෙරක බර දරන් සිනාසුන විලාසෙට
හදවතම ඉරි තැලී ඉකි ගසයි විලාපෙට ...
ලොවම අත හැරියත් දිනෙක අපි තනිකර
අදත් ළඟ දැවටෙයි අම්මගේ ගුණ සුවඳ
පිං කඳකි මා දුටුව බුදු බව ලබන්නට
සුළැඟිල්ලෙ එල්ලෙමි වරමි ඉල්ලන්නට ....
අම්මේ මතු බුදුවෙන්න අපි එනවා සුවඳට
Photo Credit; Brian Cockley
කවිය බලන්න
රාත්‍රිය මනරම්
සඳ එළියේ මඳ අඳුරේ
වැව් ඉවුරේ තුරු අතරේ
රිදි පැහැගත් දිය දහරේ
ගිලී මැවෙන රෑ මිහිරේ
වැයෙනා රැහැයි තනු මැද්දේ
බස්සෙකු හූමිටි තබනා නාදේ
සැලෙනා වවුල් තටුවක සද්දේ
නිසල රාත්‍රිය ඉඳහිට බින්දේ
පිපි කුසුම් සුවඳ දෙද්දී
සීත මද නල හමා යද්දී
වැළඳ සියළඟ කිති කවද්දී
දැහැන් ගත මන සිඳි බිඳී
Photo credit; Javardh
කවිය බලන්න
ඔබත් ඇති දුක තදකරන්.....
ඔබ කොහිද මම හොයනවා
තරු පොකුරු මග කියනවා
හිමබිමේ සීතල මැදින්
ඔබේ උණුහුම හොයනවා
තනි යහන නිදි කරනවා
හීන් ඉකියක් ඇඩෙනවා
තුරුළු වන්නට තව තදින්
මමම මට බල කරනවා
රැයත් දහවල තුරුල්ලෙන්
කාලයත් ගමනක් ගිහින්
මූදු හතකට දුර ඉදන්
ඔබත් ඇති දුක තදකරන්
කවිය බලන්න
හද විල පිපි ඉඳුවරී...!
යහන් තලාවට ඉසිමින් මුදු හසකැන් ආදරී
පහන් තරුව වී සඳ නැති ආකාසෙට රූබරී
සෙනේවන්ත කමට ඉතින් නුඹ කවදත් කෑදරී
අමාවකේ කළු අඳුරට වහං වෙමුද ගෝමරී
වන අරණේ තුරු පතරේ සුවැති සොබා විඳින්නී
හීන් හිනාවෙන් කඳුළින් හද හැඟුමන් පුරන්නී
ගෙයි ගෙපැලේ කුස අහරට ආදරයම පිසින්නී
මගේ වෙලා රැහේ උන්ගෙ කෙනෙහිලිකම් දරන්නී
පතිනි සළුව ඇඟලාගෙන බඹසර දම් සුරැකී
දනිමි එසළු උනා දැම්මෙ මා අභිමුව වරකී
ගත පහසින් සැතපන්නට ආවත් වට කැරකී
බඹරුන්හට ලැගුම් ගන්න ඔය හිත මහ දුරකී
නෙලා ගත්ත මේ රන් මල, මිණි පරයන ආකරේ
දුලා දිවිය යුග සබැඳිය හද ගැඹුරින් යාකෙරේ
සෝදුපතට ඉඩහසරක් නැති අරුමැසි ආදරේ
පාරමී පුරා පිහිනමි ඒ ලෙංගතු සාගරේ
ගෙවෙනා හැම තත්පරයක මගෙ ආලය යදින්නී
දනිමි දිනෙක සෙනෙහසදී මගෙ කණවැල දරන්නී
මා නැති ලොව හව්හරනක මග කිසිවක් නොදන්නී
ඇගෙ නික්මන මට දකින්න හැම සුසුමක පතන්නී
2025.11.12
කවිය බලන්න
සාදු සාදු අපිත් වඳිමු මුනි සිරිපා සමන්ගිර.....
ජය සිරිමා බෝ සමිඳුන් දඹදිව සිට වඩමවාගෙන
සඟමිත් මහා තෙරණිය හෙළදිව වැඩියදින
උඳුවප් පුර පසළොස්වක පෝයට ඇරඹෙන
මුනි සිරිපා වඳින වාරේ ඇත යළි සැපැමින
ජාතිබේද නැහැ ගෞතම මුනි සිරිපතුල වඳින්න
ආගම් බේද නැහැ බුදුහිමි සිරිපා නමඳින්න
සිරස තබා උත්තම මුනි ශ්‍රී පාද වඳින්න
රටවැසි ලෝවැසි දන එන සමයයි දැනගන්න
සම්බුදු ගෞතම සමිඳුන් හෙළදිව තෙවැනිවර
මණි අක්ඛිත නා රජුගේ ඇරයුමෙන් කැළණි පුර
වැඩිඑදිනේ කළ ඇරයුම සුමන සමන් සුර
වැඩියේ මුනිඳුන් අඩවියට සමනොළ ගිර
වඳින්නට මතු සිය හිතවතුනට සිහිකර බුදුන්
ඉල්ලූවිට යමක් සුරිඳුන් එදා සුමන සමන්
තරණය කර සමනොළ ගිර මහකරුණාවෙන්
තැබුවේ වම් සිරිපා ඉඳුනිල් රුවන මතින්
ලොව සැරිසරන සුදු ඇත් වාහනය පිටින්
සමනොළ අඩවියට අධිපති සුරිඳු සමන්
අසා සදහම් ගෞතම මුනිගේ මුවින්
සෝථාපන්න වූවේ එදවස කැළණි බිමෙන්
ගෙවමින් යනගමනේ අප මේ බව සසර
පින්රැස්කරගන්න දැකුමට නිවන්දොර
බුදුහිමි දුටුව විලසින් තුන් සිත් පහන්කර
සාදු සාදු අපිත් වඳිමු මුනිසිරිපා සමන්ගිර
කවිය බලන්න
තවම කියවන කවියක්
අරුත් පිරි මියුරු සර පදයකින් කැළතෙන
නෙතු පුරා නුරා කැන් අකුරකින් වෑහෙන
උරණ වදනකින් මුව අග්නි සැර පිටවෙන
නිමා නොවනා කවකි මා තවම කියවන
උරතලේ හිස හොවා තොඳොල් බස් දොඩවන
දෙදෙව්ලොව සක්රදුගෙ උරුවිසිය පරදන
රිදුනු සිත සනසවා යළි යළිත් පාරන
නිම නොකළ කවියක්ය තවම පද අමුණන
අකුරකින් අකුර ගෙන පද පේළි මුමුණන
වදන් ගෙන පෙළින් පෙළ සියක් රස උතුරන
සොම්නසත් දොම්නසත් එකවරට පුරවන
තවම මා කියවන කවියක්ය නොනිමෙන.
කවිය බලන්න
සූරිය වරුණ..
පෙරඹර දිගට අදි පතී...
බියකරු තිමිර දුර ලතී..
පෙලපත රිවිඳු කුල පතී..
ගගනත සරන දින පතී...
කොකුමෙන බොජුන ගෙන තොසා..
මුළු ලොව බබුලුවන යසා..........
පිරිපත දුරැර හැර නසා..............
රිවිපති නැගෙන හිර දිසා...........
සියොතුන මියුරු රස වෙලා......
ගැයු කවි සුරිඳු දෙස බලා......
සියපත තුටින පෙති සලා...
හිරු දෙවි නැමැද තුති කලා...
සුරපුර ලෙසට සැම තනා...
මිහිමව රුසිරු කර වනා....
ජය ජය ජයතු ජන මනා..
දිනකර ලොවම සර සනා....
(පාදයක් පිලිවෙලින් නගන තුනකින් හා ලගුවකින් ගුරකින් සමන්විතවේ )
Photo Credit; Dadee Aissa
කවිය බලන්න
අපේ ගම
පිරිසිදු සඳ රැසින් වන මල් පොකුරු දිසේ
ඇල දොළ ගලන දිය දහරක ශබ්ද ඇසේ
විහඟුන් පළඟැටින් මී මැසි ගීත රසේ
සුදු කොක් රෑන ඉගිලෙන විට යාය වැසේ
කැප්පිටියා පඳුරු අතරින් කහඹිලියා
වැල් එතෙමින් නැගෙන දම්පැහැ බෝවිටියා
වත්තේ පහල වෙල'සල බිම තුත්තිරියා
එරමුදු පැල ඉනිද වැට බඳිමින් සිටියා
දිවුල් අඹ පේර බෙලි ගස් මවන රසේ
ගොරක දොඹ වෙරළු සපු ගස් උසට උසේ
කොස් පොල් දෙල් කෙසෙල් කුස්සිය අවට ඇසේ
නාරන් ජම්බු වැල වරකා සුවඳ ඉසේ
ගොයම් කපති සැම එක්වී සමගි වෙලා
පාවර රකිති පැල් රකිමින් එකතු වෙලා
ගම්බද සිරිය අද හෙමිහිට ඈත බලා
ගොස් ඇති බවකි දිස්වන්නේ සිතද තලා
කවිය බලන්න
මා මිය නොගිය බව ......
දූවිලි ද මකුලුදැල් වලින් පිරි මහගේ
ජනේලේ පඩිය මත අත නොහැර ගිහිගේ
ද්‍යාන ලැබුමට නොවේ මේ ඉඳුම මාගේ
පුහුනු කරමින් සිටිමි අත්තකිලමථානු යෝගේ
දිය පොදක මුදු පහස ලැබුනු දින අමතකය
සිහිල් සුළඟේ සුවඳ ජනේලෙන් නොමඒය
ඉර එලිය නැත නමුත් තවම මියගොස් නැතිය
නිහඬවම කෑගසමි මා මරණු නම් බැරිය
කවිය බලන්න
මහබඹා වයසට ගිහින්
කස්තිර නටා බැඳ දැන් ගිනි ගෙන රැවුල
විස්තර මොකද සතියයි තිබුනේ පවුල
අස්තිර දීගෙටත් ණය ගෙවමින් තැවුල
ඔපිසර බඹා දැන් පෙනේය නුඹෙ අවුල
ඉස්සර කලක මහබඹු පදවිය පතල
කොච්චර හොඳින් ගළපා දුන්නද දෙපළ
මෙච්චර වරක් වරදියි දැන් ඇයි අවුල
විස්තර මොකද කරදර දෙනව ද පවුල
බැඳපු ගමන් විගහට දික් විය කතුර
හිතෙන්නෙ මට නුඹ ලෝයර්ලගෙ මිතුර
කියපන් බඹා කමිශන් ගත්ත ද මෙවර
දැනෙනව රාජකාරිය කළ බව පැහැර
කවිය බලන්න
පද හතරේ මගේ
හද ඇතුලෙම පීන පීන
අවුස්සලා ඉහල දාන
මගෙ නිමැවුම් හිතට ගේන
පද හතරේ මගේ හීන
කිසිවෙකුටත් නොවී දීන
එලි දක්වන පිටින් රෑන
ලියන දෙයට සවිය ගේන
තිරිංග නැති මගේ පෑන
අහුමුළු වල මාන මාන
වරද දුටොත් කඩුළු දාන
සිත සවිකල නොකර දීන
පෑනට වැඳ තියමි පාන
ඔෂාවා , කැනඩාව
කවිය බලන්න
බිඳෙන හීනෙකට බැඳෙන ගී
ඡන්ද කැන්දු රස වඩමිනා
බැන්ද මහද ප්‍රේම රැහැණිනා
ලන්දු ඇයි මේ ඉවත බලනා
මන්ද මට මේ සා දුක් දෙනා
අන්ද මන්ද වී ඉන්නා
බැන්ද ප්‍රේමෙන් දැවෙනා
නින්ද නෑ හිත ඇවිදිනා
කින්ද වෙනසට කාරණා
මකරන්ධ උමතු කරනා
දුන්න සැණ දුක් මැකුණා
කින්ද දැන් ඈත හිඳිනා
නැත් ද ගල් හිත උණුවෙනා
13-11-25
Photo Credit; Nmin Naderloei
කවිය බලන්න
බෝසතුන්
බෝ සතුන් වෙසෙනා දියත තුළ
මනු සතුන් බෝ වෙසෙති තැන තැන
යදම් ඉණි වැට අගුල් ලාගෙන
බෝ සතුන් හිමිකම් සොරාගෙන
මහත් අබිමන් හිත දරා ගෙන
ගියත් මග ඉව බව මරාගෙන
විකල් ලෝබය අැති මිනිස් ළඟ
අනෙක් සත් වග ගොලු වුණා වද
නොතිත් රංගන බණ දහම් මැද
හිඳිත් නොමැතිව ගුණ බිඳකුදුව
කිසිත් නිලතල නොමැති සතුනට
උතුම් පැවතුම් තිබෙයි සදහට.........
කවිය බලන්න
ළමා විය
වැසි ඇදවැටෙන තුරු මග බලමින් එළියේ
කඩදහි ඔරු තනාගෙන එක එක ව්දියේ
ගේ වට කාණු සොයමින් පා කර හැරියේ
තෙමි තෙම් උනත් රස මිහිරියි ඒ දිවියේ
වැහි බීරුමයි ඉර අව්වයි ඇති දාට
දේදුනු නැගෙන තුරු අහසේ රන් පාට
පොඩි ගවුමක් ඇඳන් විසිරුණු මල් පාට
ලොවි බංකුවේ සිටියා සමහර දාට
පොල්පිති ගොන්නු සිටියා සෙල්ලම් ගෙදර
වැලි බත් මුට්ටි ඉදුනා උඩ පන් පැදුර
පොල් කටු කෝං පිට්ටුව සැදුවා නිතර
කොස් කොළ ඔටුනු ගැන තව කියනුම කවර
කොලපත් කරත්තය හවුලට පැදපු හැටී
ගස් බෙනවල කුරුළු බිත්තර සොයපු හැටී
වෙල් නියරේ සරුංගල් ගෙන දුවපු හැටී
දැන් දරුවන්ට ඒ සැනසුම නොමැති හැටී
පෙති මාලය සැදුවෙ මයියොක්කා කොලයෙන්
ගල් කැට විද්දෙ හදලා පොඩි කැටපලයෙන්
පියනක් අරන් ව්දගෙන මලකඩ ඇණයෙන්
ගැහුවම රීප්පෙක කැරකුණි ජිරි ජිරියෙන්
චග්ගුඩු සෙල්ලමට දවසින් අඩක් මදි
ටික් බෝලයට කොල්ලන් පෙරමුණේ හිඳී
ඔන්ච්ලි නැගෙන විට අහසට සුරල් දිදී
සුළඟේ තානයට කෙහෙරැලි මුහුණෙ වදී
බට්ටා කොටුව ඇඳලා මිදුලේ කොනක
කොලු කෙලි ලෙසින් බෙදුණා අපි පිල් දෙකක
කොටු ලොකු වෙලා ඉරි පෑගී ගිය විටක
පොඩි පොඩි හොර වැඩත් කල බවටයි මතක
වී තම්බලා වී පැදුරක් වැනුවාම
කපුටන් එළවීම අප සතු වගකීම
කණ්ණඩි අටවලා උන් බය කෙරුවාම
පැනගන්නට ලැබුණ කාටත් නොකියාම
ගැහැණු ද පිරිමි මල් පලතුරු නම් ලීම
තෝරන කව් කීම සහ ගම් කෙටවීම
පටලා ඇඟිලි ඉන් මැදඟිලි ඇල්ලීම
ගෙතුලත් කරන සෙල්ලම් තිබුණා බෝම
කළු දං ගෙඩ් ද එල දං බලු දං මේවා
ගේ ළඟ දං කැලේ ඉදුණා රස බෝවා
ඇති පදමට කෑව දිව දම් පැහැ වූවා
බිම් කඩ කැඩී විකිණී දැන් නැහැ මේවා
වත්තේ පහල උතුරන ළිඳකින් නෑවා
ඒ ළිඳ වටේ රස කටු ගෙඩි බෝ වූවා
කොල පැහැ කීන ගෙඩි ඉදුනම කහ වූවා
ආපසු ෂවර් ඒ ළිඳ නටඹුන් වූවා
ඇස දිසි මානයේ නිල් කෙත් විසිර ගිය
ගිරවුන් රෑන නද කරමින් ඉගිල ගිය
තිත්තයො දඟ කරපු වක්කඩ පිරුණු දිය
සුන්දර ගමක ගෙවුණා මගෙ ළමා විය
කවිය බලන්න
සඳේ කැලුම්,
අවපස අඳුරට ඉඩ දී
පෙරූ කැලුම් හෙමින් නිවා
අමාවකට සුයාමයේ
සඳ සැතපෙනවා,
අහස් ගඟේ සුනිල දියෙන්
පැන් සනහා රෑ රැජිණය
දුරින් ඉඳන් කලා මවා
කිරණ බෙදනවා,
තරු මල් නිල් අහස පුරා
පුර පෝයට රටා වියා
රණින් පෙරූ සඳ වතුරින්
ලොව නහවනවා,
සඳටම පෙම්බැඳි කඩුපුල්
සුවඳ හලන රෑ කුමරියො
නිදි නැතුවම රැය පුරාම
සුවඳ සලනවා,
සිසි වතකින් විහිදි කැලුම්
ඔය උවනෙත් දුටිමි කලින්
කවුළුව හැර දොරට එන්න
යළි සසඳනවා.
Photo Credit; Benjamin Voros
කවිය බලන්න
අහිමි වූ වසන්තය
වසත් සමය හැඩ කළ
අතු රිකිලි මැලවිලා
හරිත පැහැ දිදුල පත්
බිම වැටී වැතිරිලා
සුරත් ඵල දැරූ තුරු
මුදුන් අග හිස් වෙලා
දේදුන්න පැහැය ගත්
කුසුමියෝ පර වෙලා
ගලන දිය නිසල වී
පළිඟු කැට දිලිසිලා
ඇද හැලෙන හිම තුහින
ධවල වරුසා මවා
මේ කුළු සෙවණැලි වැටී
හාත්පස අඳුරේ වෙළා
සිසිර කල සීතලෙන්
ඇහිදාර ගැහෙනවා
දරා ගත් සෝ තැවුල්
හසකැනින් පීදෙනා
ඇහැ අරින අතු රිකිලි
හරිතයෙන් දිදුලනා
නටු අග කුසුමන් පුරා
දේදුනු පැහැ තවරනා
ගිලන් සිත සනසනා
වසත් කල සොයනවා
කවිය බලන්න
සොයුරු පෙම...!
කිසිම හිතක් පපුවක් නැති ගානට කපනව අද ගස්...
දුසිම නොවේ දහස් ගණන්, දින දින
කරනව කම්බස්...
නැසුම මිනිස් දිවි එතුලින්, ඇරඹී
වැදිලා වස් දොස්...
විසුම පහසු නැත පෙරමෙන්, සොබා දහම ඇත වී රොස්...
කාලගුණය විපරිතවී ඇත්තේ එනිසයි පැවසේ...
ආලය කර මුදලට කැලයේ උන් නිතරම ගැවසේ...
පාලනයක් නැතිවම කපනව ගස් ගණනක් දවසේ...
ජාලය බලවත් හින්දම බලධාරින් නිදි සුවසේ...
එසේ ඝාතනෙට ලක්වූ සොයුරු කැලක් පටවාගෙන...
විසේ ඇතිව හරි වේගෙන් ආ ලොරියක් සැරදාගෙන...
ගසේ වැදුනෙ, එම සොහොයුර වාඩුව තම ගත්තාමෙන...
කෙසේ නමුත් සොබා දහම දී
ඇත්තේ හඬවාමෙන...
කවිය බලන්න
අඬහැරය
සමනළ කන්ද මුදුනේ සිට පැන නගිනා
සතර මහා ගංගාවනි මෙය අසනා
කයෙහි රුවා හංගාගෙන ඔය සිටිනා
මිණිකැට කුමට දෙනු එය දන වෙත හඩනා
බෑවුම් දිගා වෙයි තැනි මත දඟ පෙන්නා
ඒ මත යටව යන්නෙත් දන දුක දන්නා
වන හිස අහිමිවී ගිජිදුන් මොරදෙන්නා
වාවනු බැරිව දුම්රිය මගටත් පැන්නා
සූකිරි වගෙයි කිව්වට ඒ මිදුණු ලුණු
බෝ දින ගෙවුනි ඒ රසයත් තිත්ත වුනු
අඳුරු වළාකුළු ආහසෙන් පහව යනු
පායන හිරුට පුබුදන්නට ඉඩ හරිනු
මුව මී ගෝණ ඇත් සේනා යුතු වනය
රැකගත යුතුය එයමය ජාතික ධනය
කවියක ඉතිරි කර ඒ පද අඬහැරය
පොරව වෙඩිලි දෙන පිළිතුරු කළුවරය
කලුවන් කලු රුවින් පිරි ගම මදින්න
අවදිව යළිත් කිතුලට ගොඩ වඳින්න
එතෙර මෙතෙර මත් යකුනට නොදෙන්න
මණ්ඩි නැතුව රස සැමටම බෙදන්න
එගොඩ මෙගොඩ රත්තරනින් පිරෙන්න
බක් මාසේ කජු පුහුලන් ඉදෙන්න
නීල ගොයම සරු සාරෙට පැහෙන්න
වැස්ස වළාහක නිසි කල වැටෙන්න
සෙවණැලි අවදි නොම වීලම නිවෙන්න
කටුසර වන්නියේ දුක ගැන බලන්න
ළුණු මිරිස් තල් හකුරුත් ගෙනෙන්න
නෑගම් ලෙසින් උතුරට ගොඩ වඳින්න
ගුණ නැණ බෙලෙන් යුතු දරුවන් දිනේවා
තරු රැස විලස උන් දෙරණේ දිලේවා
සැම මෙත් හදින් මන දැළ හැර ඉඟිලේවා
මගෙ රට අරුණ මැද දියුණුව වැඩේවා
කවිය බලන්න
මතකය …
මග හැරුණු
අත හැරුණු
මග දාපු
හිත් තවම
කොතන හෝ
හුස්ම ගනු
දැනෙනවා
ඒ මතක
සදාකල්
වරින් වර
මතුව විත්
හදවතම අළු කරල
දමනවා
අතීතෙක මතක බණ
කියා ගනු
නොහැකි වී
හැමදාම
එකම තැන
තැවෙනවා
අවසාන හුස්මටික
යනකන්ම
හිතේ යට
මතකයන්
හුස්ම ගනු
දැනෙනවා
Photo Credit; Caleb Ekeroth
කවිය බලන්න
ළමයි ඇවිත්..
සෙනෙහසක් නැති උදළු පහරට මිනී මල් ගස් දෙකම කැපුනා
යන්තමින් නිදිකුම්බා පැලයක් හසුනොවීලා ඉතිරි කෙරුනා
පුතාලට කිසිදා වෙලාවක් නැතෙන් කුළියට කෙනෙක් එවුනා
වෙලාවක් නොබලාම දරුවන් වෙනුවෙන්ම අප දිවිය ගෙවුනා
දුවලගේ මල් පොකුරු එකටෙක වැදෙයි බියවී දුරින් රැඳුනා
ඉඩ ඇතත් සිටගෙන සිටිය තැන් සිව් දිශාවන් ලකුණු කෙරුනා
එකම අත්තේ මල් වගේ ඒ කාලෙ හිටි හැටි සිහියෙ රැඳුනා
මුහුණු නොබලා කථා නැතිවම යනව දැක අපි ආයෙ මැරුණා
එක ලාම්පුව වටේ එදවස සහෝදර කමෙ එළිය දිලුනා
තැනින් තැන ඉටි පන්දමෙන් අද අසමගියෙ කළු දුමක් නැගුනා
මළවුන්ගෙ දා කඳුළු දරුවනි මව්පියන් සිත් ගෙනද හඳුනා
නිදිකුම්බා හැකිලෙද්දි මිනීමල් නොමැති අඩුවත් තදට පෙනුනා
කවිය බලන්න
චමත්කාරය. BEAUTY OF BEAUTY
චමත්කාරය කොහි ගිහින්දැයි..
හොයන්නට මගෙ හිත කියයි.
මිනිස්සුන්ගෙන් අහන්නත් බෑ..
වැඩි දෙනෙක් තවෙකුට රවයි.
සවස් වරුවෙක අහස රවටා..
අරන් රත දෙනෙතින් හමයි.
දවස තිස්සෙම උඩට පහලට..
වමට දකුණට උන් දුවයි.
*****************************
ගලන ගඟ.. ඇළ දොළේ කැලතුණු
පෙණ බුබුළු සෝකය මවයි
හෙළන කුණු මලු ළයේ හොවමින්
හැඬුම් සඟවන්නෙත් දියයි.
කුලුනු උස්සන් බර දරාගෙන..
තරංගයකට බැඳුණියැයි
කළණ මිතුරන් තරහ වූ සේ..
කඳු මතට මීදුම නොයයි.
********************************
දිළෙන තරු සක්වලේ පාවෙන..
තවත් ඉර සඳවල් කියයි.
නැතිලු හාවෙක් සඳේ කිරි පැණි..
සැටලයිට් එහි තව යවයි.
වැටෙන පිනි බිඳු නෙවෙලු මුතු ඇට..
කියන හින්දා දැන් ළමයි.
නොදී පැහැසර මකා දේදුනු..
තරහ වී හිරු ලොව දවයි.
*********************************
පහන් වැටකින් වට වුනත් .
බෝ මළුව වෙහෙරද කලබලයි.
පණස් හතළිස් ගණන්වල ..
තිබුණු පිං බිම නිසසලයි.
ගුවන් තලයේ කලා පිරි සඳ..
ගතු කියයි වත දුක්බරයි.
මනස්තාපය.. චමත්කාරය ..
යට කරන් මගෙ සිත පෙලයි.
***********************************
කෝට්ටේ යුගයේ ලියා ඇති..
සඳෙස් ඇත්තේ කීපයයි.
ඒත් නළඟන මග වැනුම්වල...
මෝස්තර මල් රාසියයි.
මාත් එක්කල කිව්වෙ ඇවිදින්..
හංසයයි සැළලිහිණියයි.
ඈත් වීලලු චමත්කාරය ..
දකින්නට දැන් නෑ කියයි.
*******************************
ගහක් කොළයක් නොමැති ඉඩමට..
කැදැල්ලට විහඟුන් නොයයි.
ළඳුන් නෑ රන් ගොයම් නෙළුමට..
බූතයන් හොල්මන් කරයි.
රහක් නැති දේ අසමි දකිනෙමි..
හදවතයි ඔලුවයි බමයි.
තවත් කාලය නොමැතියෙන්....
ඈත දුර යන්නත් බයයි.
**************************************
නොයා කොහොමද මුන ගැස්සෙන්නේ ..
චමත්කාරය තව දුරයි.
කියා මා වෙත දෙනෙත් පාමින්..
සොබාදම් ළඳ ඉඟි මරයි.
"ඔහෑ " ගානා හඬක් ඇහුණා..
බිළින්දෙක් මවු කිරි උරයි.
හිනා වෙනවා චමත්කාරය ..
වැදුම් කුටියක සුන්දරයි .
********************************
පවත්නා කුණු වූ සමාජය..
මරණයෙන් ලේ රහ සොයයි.
දවස් ගානෙම මරණ.. මරවන...
කතන්දර රතුවෙන් ලියයි.
රුවක් නැති මුත් කණක් ඇහිලා...
නිදයි උන්...තනිකම සුවයි.
චමත්කාරය යළිත් හමුවුනෙ..
සොහොන් කොත් අතරින් තමයි
**************************************
2025.11.18.
Photo Credit; Scott Rodgerson
කවිය බලන්න
සමා වෙයන් දෙව්ලි පතිණී
ලය නොබලා ලැම සිබින්නට
නොදත් නුඹ ලඟ වෙලී...
හීන් සීරුවේ ඉගිලෙන විහගුන් ලඟ
ඇලුන තුත්තිරි බර මනිමී....
පහන් කණුව යට අදත් මියෑදුන
මෙරුවෙකුගේ පියාසැරි ගනිමී...
වෙදගිලි සරසා පාන්දරම යලි
පිරුවට සලුවේ කඩතිර මසමී...
කිරට ලෙහෙනා සුසුම් වැල් පාමුල
ලණු ඇදේ බෙහෙත් සුවඳම කවමී
හෙරලි ගහටත් රිදෙනවැති දහවලේ
සමා වෙයන් මට දෙව්ලි පතිනී
කවිය බලන්න
මට නුඹේ ඉවසීම........
වර්ණවත් දැවටුම්
සෙමෙන් මුදා හැර
තෑගි පොදි
විවර කර බලනා
නුඹ දිටිමි
පිරික්සන්නට සිතුණි
මට නුඹේ ඉවසීම
මගේ පරපුරේ අබිමන
දෝත දරා
ලෙහි හොවා
කිරි පොවා සනසනා
නුඹ දිටිමි
පිරික්සන්නට සිතුණි
මට නුඹේ ඉවසීම
ඈ සමඟ
ඇගේ කඳුළු පිසදා
ඈ යන්නටම ගියදා
ඇගේ දෙන ළඟ කඳුළු සලනා
නුඹ දිටිමි
පිරික්සන්නට සිතුණි
මට නුඹේ ඉවසීම
ගිලන් ඇඳ ළඟ
දැවටෙනා
දිය පොදක් පොවනා
නුඹ දිටිමි
මම පිරික්සා අවසන්
මිගාර මාතා
නුඹ සමත්
ඉ
4/7/25
Photo Credit; Farzin Yarahmadi
කවිය බලන්න
Girlehood
Oh girlie I love pink
I love purple too
Youthful colours of
Girlehood
Cherished loved
To the very core
I love flowers
Soft and fragrant
Oh girlie
I don't want a wreath
I want flowers
I want them now
I love candles
Glowing lights too
As soft as
The first sun rays
Not to forget the
Tiny butterflies
Let's fly
Amidst light
Amidst fragrance
Abve all
Amidst love
Before it's too late
ඉ
05/10/25
Photo Credit; Michael Dam
කවිය බලන්න
සිහින මායාව
අලස වූ
නිදිගත් මනස තුළ
සිහින මායාවට ඇලී
අත් දකී
විවිධ වූ වින්දනයන්
අවදි වූ මනස තුළ
ඇත තවත් සිහිනයන්
විවිධ වූ විවිධ වූ
දකින දේ
මේ මොහොතේ
අසන දේ
මේ මොහොතේ
දැනෙන දේ
මේ මොහොතේ
අතීතය වේ
ඊ ළඟ මොහෙතේ
අතීතය සිහිනයකි
සිහින වූ අතීතය
අත් දකින මේ මොහොත
පවතින මේ මොහොත
වේ පදනම අනාගතයට
අනාගත මායාව
නොපවතින අනාගතය
ගැන සිතයි නිරන්තර
තවත් සිහිනයකි එය
සැරිසරන සිහින ලොව
මායාවකි නිරන්තර
පමණමයි මේ මොහොත
පවතින්නේ හැමදාම
අතීතය මායාවකි සිහිනයකි
මායාවකි සිහිනයකි අනාගතයත්
පවතී මේ මොහොත පමණක්
වටහා ගන්නට මෙවන්
අවැසි වේ සිහි නුවණ
Photo Credit; DODJI DJIBOM
කවිය බලන්න
නොඇසෙන බෝපත් සිලිය
පුරවනු පිණිස අඹුදරු සැමදෙනගෙ කුස
අරගෙන නෙළූ කුසුමන් නෙක සුවඳ යස
කරගෙන අලෙවි පිවිතුරු පැන් එමත ඉස
වරදක් නොදුටුවෙමි යොමුවුණි එදෙස ඇස
පුදබිම වෙළෙඳ කුටි ගහනය කඩිසරය
තරඟය කුසුම් අලෙවිය හරි ජරමරය
බුදු හිමි පුදනු කෙලෙසද හඬ තව සැරය
නිසසල සැදැහැ සිතුවිල්ලට කරදරය
කෙනෙකුට කෙනෙක් නොදෙවෙනි නිතරම වලිය
අතමිට හිඟ දනන් වෙත නම් කෙණෙහිලිය
තිලොවට තිලක සම්බුදු දහමක එලිය
මිලකට යටය නොඇසෙයි බෝපත් සිලිය
කවිය බලන්න
මහත් මොහොත
නිරුත් සුසුම් සෘතු සැඩ සුළඟෙක ඇමිණී
කදත් බැඳන් දුර ගමනක් ගිය බැවිනී
වසත් සඳක් මන්දස්මිත ගෙන පැමිණී
යළිත් කුසුම් කැන් අතැඟිලිතර පිපුණී
හිරුත් වලාතර සැර රැස් සැඟවුවෙනී
තුරුත් අතු පතර විහිදා සෙවණ දුනී
අරුත් සපිරි ගී පැතිරී අඳුරු දෙණී
තරුත් නව රටා නිමැවී සඳ නොදනී
ගඟත් මඳක් නැවතී පෙම්බර හදිනී
සදත් විලක් සරි සිසිලක් පිනට දුනී
සිදත් ඉසිඹු දූවක ගයමින් රමණී
ලොවත් මගේ අත්ලෙහි නැටවෙනු හැඟුණී
නමුත් නැවත හේමන්තය එනු දනිමී
මලුත් කොළත් තුරු හැර යනයුරු දකිමී
නිලත් අහස් ගඟ දියවෙන බව බියෙමී
මහත් මොහොත සේයා රූ ගත කරමී
හද බිතුතර සේයා එල්ලා තබමී
දද මත පෙරා සමහර සේයා නෙළමී
සඳ වුව පුලින වුව සැම ලෝ දනට හිමී
මඳ මොහොතක මවා සේයා ගමන නිමී
කවිය බලන්න
අපි අපිමයි
පන්සල පල්ලියෙ කෝවිලෙ නේක මලින් දෙවන සුවඳ!
ඝණ්ඨාවත් සීනු හඬත් දෙන පණිවිඩ එකම නොවෙද?
සෙත් පතනා දියර පොදත් ජීවය දෙන පැන්ම නොවෙද?
මිනිස්කමේ ගුණ සුවඳට සීමා මායිම් කොහේද?
සඳ දනීද පෙනෙනායුරු වෙනස් ලෙසින් බැතියෙන් හද
පොල් ගෙඩියත් හඳුනාවිද කෑලි කැඩෙනයුරු පැතුමට
මෘදංග නද ගැටබෙර හඬ කන්කළු ලෙස දෙවන මිහිර
හුස්ම පොදට වටිනාකම් දෙනුහැර වෙන කුමන ඵලද
මහා සුතුරෙ ගුණ බලයෙන් බොදු දනමන පහන් වුණේ
භගවත් ගීතිකා තුළින් හරෝ හරා හඬ ඇසුණේ
කුරානයේ නද ස්වරයෙන් දහස් දෙපා බිම නැමුණේ
බයිබලයේ ගුණ මහිමෙන් බැති ගී හඬ රැව් දුන්නේ
දිස්නෙ දෙවනා සිලික ඇත්තේ මඩකලපු සුදු වැල්ල ඇතුලේ
දිදුලුවේ සේසත් තුළින් නොවැ කන්ද උඩරට පෙරහැරේ
මෙවන් දහමක අරුත් බව නිති පසක් වුවහොත් දනන් අතරේ
ජාති ආගම් භේද වියැකී සැඟව යනු ඇත සිතිජ ඉමයේ
2025.11.24
කවිය බලන්න
ඊයේ අද සහ හෙට - මතක අමතක.
ඉරට පුළුවන්ද පොළවට පිටුපෑම
සඳට හැකිවේද අහසින් වෙන්විම
මලට බැරිවෙවී බිඟු හැර පැවතිම
නුඹ සමුගත් නිසා තනිකඩ වී මම තාම .
හිතට තාම බැරිවිය හැරදා මතක
නෙතට දැනුන සතුටකි පියවර මතක
අපට උරුම කඳුළට හිමිකම හිතක
මුණිවත දරා නුඹ හිටියා දිගු කලක.
කාලය විසින් බොහෝ දේ වෙනසක් කළද
මාළ ගිරව් අහසද දුටු ඔබ මමද
බාලවියේ එරමිණියා ගෙඩි සුවඳ
ආයෙත් කවදද හමුවන්නේ සබඳ
කවිය බලන්න
සමනල සඳෙස -31
සමනලයා දුටු දියැලි 3
අලුපොල ඇල්ල දියකිඳුරිය - 31
515. මල් පල එමට පීදුණු තුරුලිය සොළවා
නල රල හමයි ඇගෙ බඳ කිකිණිය නළවා
හස රල උපද්දවමින් විළි බිය පළවා
අලුපොල ලිය ගලයි පෙම සිත තුළ අළවා
516. හ`ඩ තුරු වදුලෙ පැටලී කෝකිල යුද්දේ
වෙණ සංගීතයක සර නැඟ එයි බැද්දේ
දළුපත් සුළගෙ වෙළෙමින් උපදන සද්දේ
මම තනි වීමි සෙවුමට වන පෙත මැද්දේ
517. මා සිත සේ ම නෙක හදවත් වසී කළ
ලා-ලිත ගමන සිඳු හිමි ළඟ මුලා කළ
පා-ලිත කරන එකෙකු ද නැත මෙලෝ කල
ඈ වත බලන්නට එයි නන් දෙසින් හෙළ
518. එ- ද මල් කෙමි සැළී මී මුසු නල සුව දේ
වැ-ද නැහැයට දැනේ රසගෙන එන නිබදේ
මැ-ද තැනිතලාවකි සුව දෙන සිත සබදේ
ඇ-ද ගෙන හැළෙන අලුපොල කුමරිය එ මැදේ
519. මාලති ගිරා සූටික්කන් ඈ සියොතින්
කූඩු ද තිබේ වඩු අතු අග බැඳි රහසින්
පැණි බර හිඹුටු මාදං ඇති බැද්ද සොඳින්
හ`දුනයි මට වඩා එහි පල බුදින සතුන්
520. හදවත් පතුලෙ ඇය ගැන මගෙ ඇති රුති ය
දැකුමෙන් ඇය තවත් වැඩි කර තුඟු ගති ය
සේලය - මෑත් - කරමින් මේ රූ - මති - ය
ගලමින් වේගයෙන් පෙන්වයි හිමි බැති ය
521. සුකොමල සුපෙම් ගති ඇති සුරවියක වගේ
අමතක කරනු කෙලෙස ද මුදු ගතිය ඇගේ
පැහැදෙන අය අතරෙ සිත්-පිත් නොමැති රගේ
දනවයි පඳුරු දැවටී ඇගෙ නටන ඉගේ
522. වෙහෙසත් මහන්සිය හා රළු ගතිය මඟ
දැනුණෙන් පහස වින්දෙමි ඇගෙ බදෙහි සුඟ
වන සිවු පා සිටින මේ සුරතලිය ළඟ
හො`ද හැටි දනිති උන් ඇගෙ රස-පසගෙ රඟ
523. කලින් - කල වෙනස් වන පරිසරය දියේ
නුඹෙ ලස්සන කොතැන-කොහොම ද මැකී ගියේ
නිබඳ ව නොනැවතී දුර යන සවාරියේ
අමතක නොවේ මට අලුපොල කුමාරියේ
(මතු සම්බන්ධයි.)
2025.12.01
කවිය බලන්න
නත්තල් සීයා එනවා අසිරි නත්තලේ
කුළුඳුලේ සිහිතලේ - දිළිඳු ගව ලෙනේ
බිළිඳු ජේසු කුමරු උපන් - මහිමයේ පිනේ
තාරකා පිපී ලොව - ඒකාලෝක දිදී
සාම කුමරු ලොවට ම දුන්- අසිරිමත් දිනේ
අසිරි නත්තලේ! අසිරි නත්තලේ!!
පාපයෙන් මුදා දී - සාමයත් කළ උදා
කල්වරි කන්දේ දී - කුරුසියෙ මත ම නිදා
හිසෙහි කටු ගසා - වැගිරූ ලේ මතින් එදා
සැම දනාගෙ පාපය - සින්ඳ ද දිවිය පුදා
ජේසු සමින්ඳ ! ජේසු සමින්ඳා !!
දුක් සංතාපය සෝ ගිනි - සිත් කම්පා නැති කර සති
ඔබ එන්නෙ ද ඇසිල්ලකින් - සතුට දෙවාලන්නට නිති
සතුට සමාදානය නිරතුරු ව - සම ලෙසින් රජයන
ලොවක් තනන්නට පිවිතුරු - එනු මැන සිත් තුළ ඉඩ ඇති
සාමෙ රජින්ඳා ! සාමෙ රජින්ඳා !!
එදා දිළින්දන්ට හොරෙන් - හොරෙන් දුන්නු සතුටු තෑගි
මෙදා සැමට බෙදා හදා ගෙන - ප්‍රේමය වඩන අනගි
පිණි මුවන්ගෙ හිම කරත්තෙ - නැඟ අරගෙන තවත් තෑගි
නත්තල් සීයා එනවලු - මේ වසරෙත් අපට සමගි
ජේසු උපන් දින සමරන - කාගෙත් සිත සතුට සදන
අසිරි නත්තලේ! මේ අසිරි නත්තලේ!!
2026.12.01
Photo Credit; Sergio Zhukov
කවිය බලන්න
දුවේ පුතේ.
මලක් සේ පිබිදෙන්න
ගුණ සුවඳ පතුරන්න
මල්ගසක් වී නැවත
දහස් මල් පුබුදන්න.
සඳක් සේ බබලන්න
සොමි කිරණ විහිදන්න
එකලු කොට මිහිමඬල
සැමට සිසිලස දෙන්න.
දිනිඳු සේ පායන්න
තෙද බලය පෙන්වන්න
නිවී සැඟවී යලිදු
ලහිරු සේ මුඳුවන්න.
සයුර සේ සපිරෙන්න
ණැන ගුණය පුරවන්න
දුක් සුසුම් විඳ දරා
නිහඬ බව සුරකින්න.
මිනිස්කම් හඳුනන්න
බි කිරට වගවෙන්න
සැබැ මිනිසෙක් ලෙසින්
දෙපයින්ම සිටගන්න.
මිතුරුදම් සුරකින්න
සෙනෙහස බෙදාගන්න
ළබැඳි පැතුඅය නැතොත්
තනි ඇතෙක් සේ ඉන්න.
Photo Credit; Benjamin Manley
කවිය බලන්න
උණෝපකාර වෘක්ෂය
ගහේ පොල් පල
නෙලන්නට කොකු
පිහිය රඳවා
සහය වී
දෙපැත්තට පය
තියා ඉහළට
නගින්නට
සහයට ඉඳී
සසිරි සිරි සිරි
නාද සෙවනැලි
පෙම් බඳින්නට
සහය වී
පුරුක් පරපුර
ඉලුක් වහලට
මුක්කුවක් සේ
හිට ගනී
කවිය බලන්න
මම තවම ඉන්නවා!
මට ඔබව පේනවා
මම එය හොදට දන්නවා
ඒත් මට කියන්නට බැහැ
මට වචන මතක නැති නිසා
මගේ හදවත කියනවා
එය පවසන්න කියා.......
මට අමතක වුනත්
මම තවම මා තුල ඉන්නවා
මට මාව නැතිවෙන්න
දෙන්නනම් එපා!
නැවතිල්ලේ අහන්න
මා දමා නොයන්න
ඔය සුන්දර සිනාව මට නැවත දෙන්න
මේ වචන මට හරි බරයි
මගේ මතකයට නොඑයි
මට අමතක වුනත්
මම තවම මා තුල ඉන්නවා
මට මාව නැතිවෙන්න
දෙන්නනම් එපා!
කවිය බලන්න
පැතුම
පැන්සල අතින් ගත් විට අත වෙව්ලනවා
තෙලි තුඩ සායම් බදුනේ නෑ වෙනවා
කොහුමිට අතින් ගැලවී සී සීකඩ යනවා
වහලට ජලය ගලනා හඬ රැව් දෙනවා
අවතැන් වෙමින් පවතින ජන වැඩි වෙනවා
රූප වාහිනි තිරයත් බොඳ වෙනවා
සුරැකිව සිටින මට මෙතරම් හිත බිදෙනා
ජලයෙන් වටවූ දන හට කෙතරම් රිදෙනා?
සියතුන් ඇසෙන්නේ අඳෝනාවක ස්වරයෙන්
ගස් වැල වැනෙන්නේ රකුසන්ගේ හැඩයෙන්
මදනල දැනෙන්නේ සුලිසුලඟක් විලසින්
බත් පත කැවෙන්නේ වසවිස කැවන ලෙසින්
හැඩට ඇඳන් විදිනා සැප පෙන්වන්නේ
මුහුණු පොතේ පිටු විසිතුරු පළවෙන්නේ
කෙලෙසද ඇඟිලි තුඩු ඒවට නැව ගන්නේ?
හදවත ගලින් නිමවද දුක නොදැනෙන්නේ?
කලහැකි දෙයක් කරනට මැලි නොවෙමි අද
දිය හැකි දෙයක් දෙන්නට දිග හරිමි අත
මේ රට දනන් සුව වෙන්නට පතමි! සෙත
සැනසුම ලඟා වෙයි රකුසා ඉවත් කොට
කවිය බලන්න
නත්තල් ගීතිකා ගයයි
සිත් තුළ සාමයක් නැති කල
අර්ථය කිම ද නත්තල
වෛරයෙ සිතුම් හද තුළ
දිදුළයි වගේ පිත්තල
දිළිසෙන සැරසිළි එල්ලා
ලස්සන එහි බලපල්ලා
අයැදින දුගී මහල්ලා
මහ මඟ සමඟ ය බල්ලා
නත්තල් සාදය නියමයි
සාමයෙ පැතුමන් ඉහළයි
දුගීන් අමතක කෙරුමයි
සමිඳු උපන් ගෙයි නැසුමයි
දුගී පැලේ බතක් ඉදෙයි
ඔවුන් ගැනත් අයෙක් සිතයි
කුඩා ළමුන් සිනා සලයි
නත්තල් ගීතිකා ගයයි
මත් වී බමන මන සැරිසරනා සත්තු
සාමය නසන උන් කයි කුණු මස් කොත්තු
පාරේ තොටේ නිවසේ කොකු ඇද ගත්තු
සැබැවින් මෙලෝ වසනා යකුගේ පුත්තු
Photo Credit;Chad Madden
කවිය බලන්න
දුටු නොදුටු
මෝරන කඩුපුලක් හිනැහෙන කණිසමට
නාඹර මල් කෙමිත් කැළඹෙන මැදියමට
සීතල හිමකැටිත් දියවෙන සිසිලසට
කෝඩය නිමවෙමින් පිවිසුණි කරලියට
දෙ අදර නතුව නෙතු පියවෙන ඇසිල්ලේ
අරමුණ තිරව සළු විසුරුණි නිදැල්ලේ
සිඹ සිඹ පොට්ටු කැලතුනි රස වැදිල්ලේ
නිපුනෙකි නුඹත් කිතුලෙහි මල තැළිල්ලේ
පසුකර නිම්න හා තෙත් බිම් මැද සානූ
දඟකල දෙ අත නිලමත ඉඳුදුනු මෑනූ
රසවිල කැලතෙමින් ගිලිහෙන විට නානූ
කනකෙන් නිම වුවත් හැඬවිය හැක සීනූ
බෙරපද තාලයට ලෙළදෙන මද්දලය
දෙපසට නැටවුණේ ඉඟමත පද්දලය
තිසරුන් ඉඟිකළේ උඩුකුරු රන්දලය
සුසරව වෙණ වැයේ කෙඳිරිය නංවලය
දියඹට වැදී හබලෙන් ඔරු කඳ පදින
විටෙකදි චණ්ඩ මුත් මුදුබව මන බඳින
තොටුපළ දුර වුවත් වෙහෙසද දුර ඇදින
කිමිදෙයි රති ගඟේ දියවැල් දැන හැඳින
පැතිරුණි වෙරළු මල් සුසුවඳ ඇසිල්ලෙන්
සුසුමන් ගිලිහුණිය හසරැළි නැඟිල්ලෙන්
තරුපති සැංගුනම ළයමත තුරුල්ලෙන්
කඩුපුල හැකිලුනලු අලුයම ලැබිල්ලෙන්
කවිය බලන්න
සුසිලයි මමයි සිසිරයි
සුසිලයි මමයි එක ළඟ එකම පන්තියේ
එක ළඟ වුණත් ඈ හිටියෙ ගෑනු පේළියේ
අපෙ ඇස් කී කතා සුළඟෙ ඔහේ පාවියේ
වදනක් දොඩන්නට වත් ගටක් නැති වියේ
සඳෙසක් ලියා මං සුසිලාගේ නමට
සැළලිහිණියා වෙනුවට දුන්නෙ සිසිරට
ලියුම නොගත් බව මට අකමැති කමට
ඔහු කී දෙයින් මගෙ හිත රිදුණි හරියට
දවසින් දවස කාලය පෙරට දිව ගියේ
එක්පස පෙමක යදමින් මහද සිරවියේ
සුසිලා දිනෙන් දින මා වෙතින් දුර ගියේ
පාසල නිමාවී අප සැවොම වෙන් වියේ
ගොළුහදවත දරාගෙන බරට මම මගේ
යන විට ගමන රසයක් නැතිව දිවි මගේ
ආරංචියක් නොලැබම සුපෙම් සුසිලගේ
මග ඇර ගන්න බැරිවිය ඉඟිය කමලගේ
කමලයි මමයි එක්වී දිනෙක නැකතක
ජීවන ඔරුව පැදයන අතර දවසක
ගමනක් යන අතර දුරබැහැර පෙදෙසක
රථයේ ගමන නැවතුණි ළඟදි ගෙපැළක
ගෙපැළේ මිදුල පොල් අත්තක රටාවට
සොඳුරුය රෙදි වැලක රෙදි විය ලතාවට
අඟනක් දුටිමි ඇගෙ මුව නොපෙනුණත් මට
තෙත කෙස්වැටිය විසිරී තිබුණි දනිසට
කුමකින් කුමක් කරමුද මේ නුහුරු බිම
නගරය හුඟක් දුර බව මතක් කළෙ මම
විමතිය බිය ඇඳුණි කමලාගෙ මුහුණෙම
සැනෙකින් එළඳ ආවා අපේ ළඟටම
හිතට හුරු බවක් දුන් උවනෙ හැඩයට
හීන් විදුලියක් විහිදුණි පිට දිගට
දැවුණි මහද මුව පිපි සිනා මඬලට
සුසිලා ඔයා ඇයිදෝ මෙහේ දුරු රට
කතා පෙළක් අප සැම අතරේ දිව්වා
හදා ඈ දුන්නු තේ පැන් අපි බිව්වා
කැඩුණු රථය හදනට තැනකට යැව්වා
සිසිර ඒ වැඩට හරි දස්සයි කිව්වා!
2025 නොවැම්බර් 07 දින
කැලිෆෝනියා හී දීය
කවිය බලන්න
නිවන් සොයා බව කතරේ එකට යමි.........
සවන් යොමා ඇවිටිලි බස් ඇසූයෙමි
නුවන් පුරා තරුවක් වී සිනාසෙමි
ගිමන් නිවා මද්දහනෙත් සෙවනදෙමි
නිවන් සොයා බව කතරේ එකටයමි
රිදුම් තැවුල් හිත කොනහන වෙලාවට
නැවුම් කවි ගොතමි ජන්දස් කලාවට
පියුම් අරන් හිරු එන විල් තලාවට
ගැයුම් ඇසේ බිඟු මුවරද මුලාකොට
නගින විටදි කදු පල්ලම් පසු නොබැස
ඇනෙන කටු තිඹුල් ඉවසා සාපවස
තුහින වැටෙන මීදුම් පායන දවස
සිහින විමානෙට පාවී යමු දිගැස
ඉල් මහ වැස්ස ආවත් ගං දෙගොඩ තලා
වැල් පාලමෙන් යමු නොසැලී එතෙර බලා
ඇල්මෙන් දෝත පා පරසතු කුසුම් නෙලා
දල්වමු පහන් වැට අදුරට නුවන් හෙලා
සිදුරු සොයා ලොව වෙහෙසෙන බවක් හැඟේ
මිතුරු සුළං රැලි චන්ඩව ඉහල නැගේ
අතුරු අන්තරා පිරි මාවතක් දිගේ
ඉතුරු දුරත් යමු දුක පැණි රසක් වගේ
කවිය බලන්න
නිවෙමි
පෙර ඉඳන් ලියවුණා සිතු සසර කතාවක
සිර කරන් හැම පැතුම් මලුත් නැති අවාරෙක
පරදුවට තැබු දිවිය සඟෝගෙන සිනාවක
දුර ඉඳන් සිහිකරමි රස මතක අතීතෙක
ඇඳ ඇඳා වෙරළ මත මැවෙන නන් රටා පෙළ
හඬ හඬා මකන හැටි දකිමි මුදු සයුරු රළ
ගල ගලා වැටුන'මුදු කඳුළු මත කොපුල් තල
සිත සිතා අසමි ඇයි දුක ඉතිරි ලෙසම මුල
පිපුන එක තරු ඇසක් හැඩැති මහ රටාවක
වැටුන විට විට ගිලිහිලා පැටලිලා මුලාවක
සිතුන මුත් අඳුරු වෙයි එළි නිවී පළාතක
දිලෙන හැටි දැක නිවෙමි ශේෂ තරු නිශාවෙක
කවිය බලන්න
වේෂාන්තරනය
කිරිල්ලක්මි,
සවි වී නැති මුත් පියාපත්, හැර ආමි මව් පියස
සාගතය බැට දුන් වන්නිකරයෙන් මිදී
ඇහිඳ ගන්නට යව හාල් ඇබින්දක්
සනුහරේ පැටි පැටවු ගේ හිනා වෙනුවෙන්,
මඳකට ගිමන් හරිනු වස්,
කෙම් බිමක් යැයි සිතූ ඒ නිම්නය,
විදාරණ ය වන්නට පොපියමින් තිබූ යමහල් ය
පියාසැරි සුදෝ සුදු සළු හැඳි සලෙලු දන
බොර පැහැති හදවතින්, සිල් රකී කලල් දිය මත
කොවුල් ගී මුවග ය, නොමැත පායක ඉසිඹුව
සංචරණ සුවය නිරාමිස ලෙස විඳිමින්
වෙසතුරු සේම සමවැදි ව දැහැන් අස
දෙසනා අසත් දම, එය ම අදහන මූසිල රෑන් ය
මොනර නැටුමක ට වසඟ ව, මත් ව මදයෙන් ආතුරව
පිල් හැලුණු නිරුවත නොදකින අසරණ සෙබඩ වැලපුම් ය
තව බොහෝ විසූක දස්සන එමට ය .
දහදිය කඳුළු, නොවටිනා බොල් පිනි තරම් මිස
ජීවිතේ ලංසුව දැන් දැන් කිරෙන් බාලය
දැඩි කොට හිතම
පිළිමලුන් පිටු දැක නැගෙනු ද
දුබලව වැටී වැනසෙනු ද
එසේ නොව
වේෂාන්තරණය වීමි
කවිය බලන්න
යුද්ධයේ අසිරිය!
මහ යුද්දෙ සිදුවෙද්දි
පොඩි කොලුව මියැදෙද්දි
රණ විරුවො බිහිවෙද්දි
ජයගොසින් සැනසෙද්දි
වීරකම් පොඩි කොලුගෙ
මගේ සිත පුබුදද්දි
උන් අතින් මළවුන්ගෙ
මාපියන් වැලපෙද්දි
සටන් බිම නිහඬ විය
‘සාමයක්’ උදාවිය.
“උන්ගෙ වැලපුම්වලට
පිලියම් ද බිහි වේවි
එවිට අපෙ දොම්නස් ද
නැති වේවි, දුරු වේවි.”
අනේ මගෙ පොඩි එකා
රුපු මරා කෙහෙලි ලා
නයුවනට ලද නම්බු,
නැත ඌට කිසිවක්.
ඌටවත්
ඌ මැරූ රුපුන්ටත්
උනුන්ගේ අපේක්ෂාත්
නොවිය කිසි සාක්ෂාත්
ඉතින් මගේ කොලුවනේ
කුමට යලි යුද්ධයක්?
නොමැත ඉන් කිසි පලක්
නොමැත ඉන් කිසි පලක්!
Photo Credit; Stijn Swinnen
කවිය බලන්න
අදානි පර්යන්තයෙන් ඇමතුමක්
වෙරළේ කළු ගල්පර අතර රැඳී ඇති
කොල රතු කොටු අත් දිග කමිසයක්
විටින් විට දළ රළ ඒ මත වදින විට
ඉන් මිදී යන්නට දඟලනු සේ පෙනේ
වරාය පොලිසිය වෙත හරි කලබලෙන්
අදානි පර්යන්තයෙන් හදිසි ඇමතුමක් -
පෙනෙන මානයේ පාවෙමින් තිබෙන
සිරුරක් දක්නට ඇතැයි දන්වා සිටිමින්
ගාලු මුවදොර බැලුම් වෙළඳාමේ යන
හැටේ වත්ත පැල්පත් නිවසක මවක්
දරුවාටද හනික එන්නැයි හඬගාමින්
සිය ස්කූටරය වෙත දිව යන සැඳෑවක්
නිල් වන් ඩෙනිම් කලිසමක් හැඳ සිටින
කෙසඟ තලෙළලු- අඩි පහක් පමණ උස
කැරලි කෙස් උරහිස තෙක් වැඩුන මොහු
රැය පහන් වන තුරුත් හඳුනගෙන නැත
වෙළඳාම වෙලෙන්දියක්
20.11.2025
කවිය බලන්න
ගුරුතුමාගේ බණ ගෙදර
ගුරු පියාණ මියගිය දැන
තුන්මාසේ බණ කියවෙන
ගියත් එතැන ඔහු දෙසු ගුණ
වියැකී ගොස් තිබුණා මෙන
සෙනග ඇවිත් මිදුලෙ පිරුන
බණ අහන්න වැඩිය නොවුන
තේ වතුරට වන්ඩු කපන
තැන යුද්ධය ගමට ඇහෙන
කැරම් ගහති කාමර ගෙන
දාම් අදිති තව තැන තැන
මත් දියටද රිසි යම් දන
හොරගල් අහුලති ගැන ගැන
පුතාල සහ දූල දෙදෙන
එන අය පිළිගන්න දුවන
නෝනට මුත් කොහෙද නිවන
හාමුදුරුවො දහම් දෙසන
හිමි වැඩියා අවසන බණ
රෑ කෑමට පෝලිම් වුන
රහමෙර වැඩිවූ යම් දන
වලියක උන් උන් ගහ බැන
``මරණෙට මඟුලට දඟලන
යහපත් දේ අද වියැකෙන
සරල දැහැමි දිවි බැබලෙන``
ගුරුතුමාන දුන් ඔවදන?
කවිය බලන්න
තුටු සිතින් වසමු
නිලංකාරව යන ලෙසට නෙතු දිලෙන ගත තව තවත් හැඩකර
අලංකාරව වසන දිවියට නොඑන ලෙස දුක කඳුළ කැටිකර
අහංකාරව නොසිට සැමදෙන සමඟ සුහදව පිනද කර කර
භයංකාරව තිබෙන සසරට තබමු නැවතුම දුකද නිමකර
දිලෙන හිරු සඳු එළිය කර ලොව සැමට මඟතොට කියන විලසින
සැලෙන කඳුළට සිසිල එක්කර සිටිනයුරු සැප සතුට සමඟින
දෙලෙන වසනට දෙසුව සදහම සිතට ගෙන අද අදම බැතියෙන
ඇලෙන සිත හැම දෙයින වෙන්කර තබනු මැන තද ලෙසට නිතියෙන
ජීවිතේ ගත කරන්නට අප සැමට පීනා සතුටු විල තුළ
සොබාදම් මෑණිගෙන් එකසිය විස්ස වසරක් ලැබී ඇති කල
සියය ඉන්නත් බැරිව වැඩිදෙන ජීවිතේ හැර යන අයුරු බල
කුමක් කරමුද සැවොම ඔබ අප යන්න සිදුවෙයි පින ගෙවුණු කල
මමත් නොදනිමි ඔබත් නොදනී අපේ ආයුෂ කොතෙක් වේදැයි
සුවෙන් හෝ අද දුකෙන් හිටියත් නොදන්නෙමු හෙට කුමක් වේදැයි
කුමන තැනකදි කුමක් සිදුවී නොම දනිමු හෙට මැරී යාදැයි
ඒ නිසා අද තුටින් ඉමු අපි සිතා මරණය නියත නේදැයි
මෙවන් අනියත ජීවිතේ ගත කරන ඔබ අපි සරණ නොමැතිව
කුමට ඉසිකෝ මාන පුරවා පීඩනෙන් දිවි ගෙවා දුකැතිව
සැමට හැකිලෙස වෙමින් සහයද වසා සුවසේ සතුට සිතැතිව
මේ ලොවෙන් සමුගනිමු දවසක සුපිරිසිදු වූ සිතින් පිනැතිව
2025 / 10 /21
කවිය බලන්න
පාපොච්චාරණ
ගන අඳුර දිව ඇවිත් වසා දැමු දෙඇස
මුදු එළිය මත පැතුම හොවාගෙන ඉවස
රස නොවුන සිල් පදය ඉකිබිඳින වෙහෙස
නුඹ ඉවත ලූ පෙමට ලංසු සිය දහස
ඉනු කිරට වෙලුම් පටි උහුල දුක් පහස
කිරි සිහින මල් යාය ගිනිවද්ද මෙලෙස
පිය ඔටුනු වල දමා සිරි යහන අලස
අත හැරුණ ඒ සුවඳ සිහි නොවුනෙ කෙලෙස
සළෙල නෙත් පිය හැරී යදින රොන් පහස
කය මිසක සිත් රැහැන් දැඩි යදම් විලස
කැණි මඩළ බුරුල් වූ බියකරුය පියස
සවත් විදුරත් තිනෙත් නොහැලුවේ දිවැස
හිත පතුළ හෙමින් විද ඇවිලෙනා ක්ලේස
ගිනියම් ය නාස් පුඩු සුසුම් ගිල අහස
ඉඳහිටක දිව ඇවිත් ස්වයං නිර්දෝස
මම තවම එතැනමය දුන්නු බහ ගිවිස
කවිය බලන්න
වියරු වූ දිය දම් දිනිතියට.............
නපුරු වීලා රුදුරු වීලා
හාදු වෙනුවට දුන්නෙ ගින්නක්
දැවෙන ජීවිත පුබුදු වන්නට
පැතුවෙ සැනසුම් සිසිල පින්නක්
හරිත තුරු වැල් පුබුදුවා මල්
හදන්නට ඉල්ලුවේ වැස්සක්
පැතුම් ලොව වනසලා මේ ලෙස
දුන්නෙ ඇයි ඔබ වියරු ගින්නක්.
ගලා යන විට කඳු සිකර බැස
සොඳුරු ලෙස මිහි මතින් පිම්මේ
බලා සිටියෙමි අහිංසක ලෙස
පෙම් බැඳන් ඔබ හට නිදැල්ලේ
උනා දමලා සොඳුරු දැකුමන්
වියරු වී නා කපන වැස්සේ
මගේ පණ නල රැගෙන යන්නද
මේ විලෙස කඳු මතින් බැස්සේ.
රුදුරු වීලා ගලන ඇල දොළ
ගලා යයි සමුදුරට විගසින්
තලා දමමින් අහිංසක සිත්
ගං දැල වල සිටින සතුටින්
නිමා නැති වේදනා සදමින්
දවා ජීවිත අපා විලසින්
සිනා සෙන්නට හැකිද ගං දිය වලට
සිත් පිත් නොමැති අයුරින්.
දුකට මුල් වූ සොඳුරු දෑසම
ඇයිද කළු වී දුකින් ඉන්නේ
ලබා දුන් දුක් වේදනාවන් සදා සිත්
වල කොනක ඉන්නේ
වියරු වූවත් සොබාදහමයි
සදා අප හා බැඳී ඉන්නේ
තරහා නැහැ මං ඔබත් එක්කයි
සොඳුරු වූ හෙට දිනත් ඉන්නේ.
කවිය බලන්න
ජීවිත පොත
ජීවිතෙත් හරියට පොතක් වගෙයි
එක පරිච්චේදයක් වැරදුනොතින්
විසිකරන්නේ නැත පොතක්
එක දෙයක් වරදුනොතින්
අතහරින්නේද නැත ජීවිතය
කථා රචකයා ඔබේ කතාවේ
ඔබ මිස වෙනකෙක් නොවේ
පටන්ගන්න අලුත් පිටුවකින්
ඔබේ ජීවිත කතාව හරියට,
ආරම්භය නොවේ වැදගත්
අවසානයි වඩා වැදගත්
ඔබට හිමිවීමට යමක් ඇත්නම්
නිසැකවම එය ඔබට ලැබේවි
යමක් අහිමිවීම ගැන,
යමක් ප්‍රමාදවීම ගැන,
පසුතැවිලි නොවි
වෙලාව එනතෙක් රැදි සිටින්න
ගිම්හානේ අග
මල් පිපෙන වසන්තය
උදා වන්නාසේම
ජීවිතේ අසීරුම කාර් තු
ජයග්‍රහණ වලින් හැඩවනු ඇත
එතෙක් රැදී සිටින්න
කවිය බලන්න
මා හිත හැදූ ඔබට...
නිමක් නැති තුරු තිබේ
කාලෙකදි පත් හැලුව
එයින් සමහරක් ඇති
මල් පිපී පල දැරුව
ගලා යන ජීවිතේ
දිනක් සටහන් කෙරුව
අද මිසක හෙට තවත්
සිහිනයකි හිත පිරුව.
මාවතක් ඇති ද පා නගා
කිසිවෙකු නොගිය
අහස් තලයක් කොයිද
විහඟුන් ට තහනම් කෙරුව
රැලි නගන සාගරේ
මුමුණමින් ගතු කීව
සුළඟ පමණයි ඇසුවෙ
ඒ කතා වගකුත් නැතුව.
නොපවතින දේදුන්නකත්
පාට තැවරූව
අන්ධකාරයේ මග සොයා
යන්න හැටි කීව
තාරකාවක් වෙලා
හිත් අහසෙ පෑයූව
දිදුලනා හිත් තිබේ
හිනා එලි දැල්වූව.
දුක ලඟම ඇති සතුට
ගැනත් නිති දැන්වූව
සිනාවක සුවය මිස
නැත දිනක් පිටුපෑව
ආදරේ ඔසු පොවා
රිදුණු තැන් සැනසූව
උන් තමයි දිරි දුන්නෙ
හඟින්නට මට මාව!!!
Photo Credit; Hoi An Photographer
කවිය බලන්න
කිරුළ පෙරළා දමා
පෙරළුවේ ලෙන් දොර
පතාගෙන නිදහස
රුදුරු වනපෙත පියා
යන්නටය නගරයට
පියාණෙනි නුඹ මරා
පැතුවෙ රජකම නොවේ
නුඹෙන් රැක ගනු පිණිස
නුඹ පෙළුෑ දන එමට
මට නුහුරු ඔටුන්නක්
මගේ හිස මත වැටිණ
තෘෂ්ණාව හෙමි හෙමින්
දැනෙන්නට විය හිතට
රජ ඉසුරු රජ බොජුන්
වැඳ වැටෙන හුදී ජන
නැගනියැයි කියා මේ
අමතකව ගියා මට
ගල් ලෙනේ සොයුරු පෙම
වන පෙතේ මිනිස්කම
මේ මිනිස්සුන් අතර
නොදුටුවෙමි කිසිම විට
අඳුරු ගල්ලෙන ඇතුළෙ
තිබුණු නිදහස විඳිමි
කිරුළ පෙරළා දමා
වදිමි වන ගැබ තුළට
කවිය බලන්න
වසන්තයට මඟ ම බලමි
මහාමීදුම් කැරළි ගැලුවා
ඔතාගෙන කඳු පියසම
විදාහිරුගේ කිරණ නිවලා
තබන්නට සිතු විලසම
සවන් අද්දර නෑසුනා තව
කුරුළු කිචි බිචි පහසම
නිසල සටනක හිරුත් ඉන්නැති
බෙදන්නට එළි ලොවටම
සීත ගනදුරු සළු ඔතාගෙන
ඈත ගව්දුර නොපෙනෙන
පේන සිතුවම් මකාදැම්මද
දෑසමානෙට බොඳවෙන
හීනමල්පෙති ඇසිල්ලක තව
පිපෙන්නට බැරි ලතවෙන
හීනදහසක සිතුම් රන්දා
ඹමරු සමනලු දුක්ගෙන
ඇන්දු සිතුවම් වසා තිබුනත්
සීත සළුපට ඉරාන
බිංදු රංඑළි කිරණ ආවා
ටිකින්ටික දුක දරාන
බිංදු පිණිකැට එකින් එක ගෙන
තණපිඩැල්ලට එලාන
මන්ද නාවේ හිරුකුමරු තව
ඉඳින්නෙමි මඟ බලාන
ගංදොරින් එන සීත හුළඟට
නෙත්කෙවෙනි ඇති පේවී
හිත් මලෙක ,සුව සිහින පිණිකැට
පතුලෙ හදටම යාවී
මත්කරන් නෙක පාන සිතිවිලි
මෙත්පැනින් සිත්, නෑවී
හෙමින් ගොනුකර තැබුවෙමී මං
මනසෙ පතුලට ,හාවී
විදාහිරුරැස් දසාතට තව
බෙදාදෙන්නට බැරිවම
බලැති කුමරුත් ලතැවි ඉන්නව
මීදුමෙක කඳු අතරෙම
බොඳවෙලා යන ලෙසින් සළුපට
හීගතුවෙ රැළි මකලම
ඉතින් නැගියන් කුමරුවෙනි හිරු
වසන්තෙට දොර ඇරලම
කවිය බලන්න
අනිමිස ලෝචන
තෙරණිය සඟමිත්
හරසරින් වැඩම කළ
අප මහා බෝධියට
තේවාව කරන්නන්
අපහරණ කර ඇත
මිහිඳු හිමි තිත තැබූ
වන සතුන් දඩයම
ඇරඹිලා ආයෙමත්
සතුන්ගේ ඉඩම් වල
තේවාව කරන අත්
සතුන්ගේ රුධිරයෙන්
නැහැවිලා මුළුමනින්
වැඳ වැටෙයි බෝධියට
සතුන්ගේ මස් මාංශ
කපුවන්ගේ කුස තුළය
දනන් වෙනුවෙන් ඔවුන්
පතයි බෝධියේ පිහිට
කිලිටි වූ දෑත් ඔසවා
පිහිටවන ලෙස ඉල්ලුවත්
නිහඬව සිටී බෝධි මුලය
අනිමිස ලෝචනයෙන්
කවිය බලන්න
ඔන්න ස්ත්‍රි:
ගැහැණිය කාන්තා මියුලැසි ලලනාව
ස්ත්‍රිය කබඳ මාගම ඈ මහිලාව
බවලත් පියඹ ලිය නාරිය වනිතාව
විලාසිනී ලිය ලඳ කත මිහිරාව
දොහොත් මුදුන් දී වදිනව අම්මාව
පුංචි නැන්ද ලොකුමවු මී ආච්චිව
නැගණිය සොහොයුරිය යෙහෙළිය අක්කාව
සිටුනු බැරිය නොකීවොතින් බිරියාව
වනිතා දිනිති තිරි සඳකැන් සොඳුරාව
දම්හෝ අල්මෝ දරකැන් තී මෙහෙලාව
දිගැසි ඇසී පිය තුනුවඟ අඟනාව
කියනෙමු එසේ තේරුම් ගන්නට බැරුව
Photo Credit; hosein zanbori
කවිය බලන්න
නිර්වාණ
පෙලුනු හිතලු ආසා මැද ගෙවනා දිවියේ ලතාව
දැනුනු සියලු රස පසුපස කෙලෙසක වලකමු සතාව
ඇලුණු බැඳුනු තැන කියවුන උරුම දුකක ඇති කතාව
මිදුනු යමෙකු ලොව ඇත්නම් ඉපදුනු අවසන් වතාව
බණ දහමක සිත යෙදුවත් අතගානා සේ අඳුරේ
අත හැරුමක සේයාවක් නොරැඳෙන තෙක් බව කතරේ
දුක පමණය නැවත නැවත ඉපදෙනවා අප මිතුරේ
මහ බලගතු අකුරු තුනක අරුත සොයනවා සසරේ
උත්සාහය පහසු නැතිය අවිද්‍යාව පවතින තුරු
චතුරාර්‍ය සත්‍යය විසඳුම දෙසුවා තිලොවග ගුරු
විශ්වාසම නෑදෑයෙකි ලොවට පෑයු තෙද රන් හිරු
සංසාරය කෙටි වන්නේ තරමටමය වීරිය පිරු
කවිය බලන්න
හබ මැද්දෙන්
සත්තම් හඬකි සවනේ නිති රැව්දෙන්නේ
වාදයෙ පොර පිටිය නිවසේ රඟදෙන්නේ
සිත්තම් ඇඳි නමුත් අඳුරින් බොඳවෙන්නේ
පාඩම් පොතට හීනෙන් මං පිවිසෙන්නේ
කුස්සියෙ පිඟන් පියඹන පීරිසි වූවා
වැස්සියෙ නමින් මා ඉවතට විසි වූවා
යස්සියෙ වහන් කට කටු බස් පිට වූවා
පිස්සියෙ රුවින් අම්මා අනෙ හති ලෑවා
ගිනි වතුරට ම හැම සේසත දිය කරලා
දිනිසුරු නිවසෙ දිනු හැම සතුට ම මරලා
බිණි බේගල් පමණි දියුණුව රස කරලා
පෙනි පෙනි අපේ ජීවිත යන හැටි දිරලා
පාඨශාලාචාරිණී ,
හෝමාගම ම.ම.වි
කවිය බලන්න
ඒ තමයි වැස්ස
ඔබ.... කන්දක්
තැනි බිමේ හිටගෙන
හුදකලාවම කල් ගෙවුව
මම වලාකුළක්
විටින් විට විත්
හැපෙමින් ආදරය සෙව්ව
කඳු දෑත දිගු වුණේ නැහැ
බදා වැලඳගෙන
වලාකුළ රඳවගන්න
වලාකුළ ඇහුවේ නැහැ
අවසරද !
ඉවතක නොයා ළඟ රැඳෙන්න
ප්‍රේමයේ හැටි එහෙමයි
ඕනෑම තැනදී ගොළුවන
තනි තනිව විලිලා
මහා වැස්සක්ව ඇදහැලෙන
Photo Credit; Rodion Kutsaiev
කවිය බලන්න
ඉන්ද්‍රඛීල
ගං දිය හැඩවුණේ වංගුවක්. ගනිද්දී
සද එළිය දිලිසුනේ අදුර ඉකි. බිදිද්දී
ගල් පිළිම නිමැවුණේ කළුගල් හඩද්දී
සුගන්ධය විහිදුණේ සදුන් තුර. මඩිද්දී
මුදු කුසුම ගිනි මලක් වී ලොව. දවද්දී
වැටෙන තැන පැලවෙන්න සිත දිරි ගනිද්දී
ආරාම සිතුවමක් විලස නූඹ. සිටිද්දී
නෑසුනිද හඩ බදුන දහස්වර. බිදෙද්දී
ලොවේ සිරිතට ඔහේ පෝරුවට. නගිද්දී
තෙමස් කළලය සිහිව හිස ගිනි. ගනිද්දී
පිරුවටය සරසන්න පෑල්ලමි. හොයද්දී
හිනැහුනා නුඹ...මා අගුල් මල් කියද්දී
හැඩකාර පවුල් ගහ...නමි පට. බැදෙද්දී
කුලූදුලේ පිපි මලට වාසගම්. ලියද්දී
හිරිවැටී අත ඇහැට කදුලක්. උනද්දී
මුත් සුනෙරගිර හිදී මුදු සිනා. පොදක්දී
Photo Credit; Melanie Rosillo Galvan
කවිය බලන්න
අම්මා
දොලසතකින්ය අවිබර දරණුයෙ සුරිඳුන්
මුදු දෙඅතින්ය දිවිබර උසුලන්නෙ මව්න්
දරුබර කුසින් කිරිබර පුන් ළමැද දරන්
බැරිබර දරාගෙන දිවිමග සරති ළඳුන්
සූරිය උදාවෙයි අහසෙහි පැල් බඳිමින්
කාරිය කරගත්තෙ මල් තැන තැන පිපෙමින්
සේලය ලිහනවා මීදුම ලහිලහියෙන්
ගැටබරු දෙවියනේ අම්මා කොයිබ ගිහින්
තම්බා ගහල අල මුට්ටිය පිරෙන්නට
ගාලා පොලුත් ලුණුමිරිසත් ඇත රතට
ලිප උඩ කේතලය ගිනියම් වෙයි සොඳට
අම්මා නොමැත නෙත් මානෙක පෙනෙන්නට
මිදුලට බසිමි අතුගා ඇත රටාවට
පහනට එබෙමි දල්වා ඇත මුනි පුදට
දොලට දුවමි දොල බැසයයි රිද්මයට
දෙනතට කඳළු රොක් වෙයි බිය ගෙන සිතට
අප්පා නිදයි පිල මත ගොර අදිමින්නේ
මලයා නිදයි කිරි සිහිනෙක දැවටෙමිනේ
කොපුලේ කිරිබිංදු තැවරී ඇත සොඳිනේ
කිරි දුන් සැනින් අම්මා කොයිබද ඇදුනේ
හිසමත දරමිටිය සමබර ලෙස රඳවා
ඉඟවට කොස්ගෙඩිය මත දකුණත රඳවා
වමතේ ගඩාගෙඩි රසඵල වැල රඳවා
අම්මා එනු පෙනේ මුව හසරැලි පුරවා
Photo Credit; Raul Angel
කවිය බලන්න
ඈ දුන් දෑ
කිතුල් මල හිණැහේවි
නුඹෙ වරළ දුන් රුවට
බිඟුන් හැඩ වැඩි වේවි
බෲ ලතා නැමි හැඩට
තුති පුදයි අඩ සඳක්
නළල අනුකර- ණයට
සවන් පැහැ ගත් තෝඩු
හාස ලයි රන් වලට.
තඹරනක් මුසපත්ව
නුඹේ වත දුන් සිරින්
මහනෙලක් ඔදවත්ව
දිගු නුවන් සම දිරින්
පියුම් පෙති පැහැපත්ව
මුඛ පද්ම රත- දරින්
ගෙලෙන් ගෙන රුව මත්ව
මුතුලතා තුති බරින්.
රෝස පැහැ කම්මුලේ
සෙව්වන්දි හැඩ කළා
තිලකෙ ආඩම්බරව
නළල පසුබිම් වෙලා
කොඳ කැකුළු සුදිලේවි
දසන් පැහැ ගෙන උලා
මමද නුඹ දෙස බලමි
ඒ අයට සැඟ- විලා.
ලළිත බව දෑතෙ ඇති
වළලු ගෙන ඔද වත්ව
සුළැඟිල්ල හා ගැටී
රජත මුදු සුව පත්ව
සුවඳ ගත දැවටීම
සුදු සේල මඳ මත්ව
දෙනෙත් මා ලැබූ අද
නුඹ නිසා දිරි මත්ව.
සිරිවසක් හිනැහුණා
හැඩය ගත් සිහි නිඟට
මෙවුල්දම දිළිසුණා
පුලුළුකුළු කම් පනට
පරෙවි පා ගත්තේලු
ඇගෙ දෙපාසිරි ණයට
සියල්ලන් ගත් දෙයින්
මම පත්මි විශ් මයට.
වළලුකර හැඩවැඩම
පා ජාල ගෙන බලනු
නිය කැළුම් පා මුදුව
ඇගෙන් ලැබ ඔය දිලෙනු
පාදැඟිලි පිහිටීම
නෙළුම් පෙති ගෙන පිපෙනු
මගෙ හදත් ඇය දැකම
පෙමින් මුසපත් කෙරුණු..!
කවිය බලන්න
මළ ගෙදර බලු රාළ
නින්දා අස අසා අගුපිල්වල වැතිර
බින්දා, කොලු කුරුට්ටෝ අත දඩු මුගුර
කැන්දා මුදන් ආ අම්මා මා ගෙදර
උන්දෑ ගොහින් ගමනක් අපි හැම අතැර
කටුවා කාපු ඇග වට ගොම අතුල්ලා
සිටුවා අව්වේ කිනිතුල්ලෝ උගුල්ලා
ඇසුවා දොස්පරොස් කන් අඩි අගුල්ලා
මෙව්වා සසර බන්ධන සරි කොහොල්ලා
වල් බලු පෙලපතේ ඉපදුන මා නමට
විල්ලුද පලස් ගෝනිය නමලා හැඩට
මල් යහනක් කෙරූ අම්මේ නුඹ නමට
සල් මල් හැලේ කොතෙකුත් ආ ගිය දෙවට
ඇද පාමුලේ වකුටුව මා නිදන්නේ
සඳ අමතමින් නෑයෝ ගී ගයන්නේ
පොද වැසි වැටේ " උඹ නිදිදැයි " අසන්නේ
කොද මල් මිටක් සඳ එලියේ අඩන්නේ.
පිලියක් නැතිව මේකා කන්නේ කොහොම
දවසක් නොවේ දිව රෑ ඇසුනේ බොහොම
වටයක් කැරකිලා කට ගෑ බත් පතම
සසරක් පුරා යලි හමුවේ දෝ මෙහෙම
අහස ඉරාගෙන මහ වැසි වසින්නේ
දවස නිමයි වේ ගඟ ගොඩ ගලන්නේ
පලස දිගේ අදුරයි පා තබන්නේ
කෙලෙස කවුද මගෙ බත් පත බෙදන්නේ.
වලට පස් දමා උන් පිටුපා යනවා
පෙලට හිටෙව් සුදු කොඩි කනු ගැලවෙනවා
කනට පුරුදු නම අදුරේ මුමුනනවා
නුඹට තනි රකින්නට අම්මේ මම එනවා
2025 / 11 / 25
කවිය බලන්න
චාරිකාව
අරුනළු උදාවක පිනි මිණි කැට දියවී
මීදුම තුරුළුකර තුරු හිස මල් සැඟවී
බෑවුම් කඳු ශිඛර මැද නොම වී ලතැවී
උඩරට මැණික යන හැඩ, ගමනට පේවී
හෙමිහිට ඇදීයන, බිම්ගෙයි අඳුර කපා
දියණිය නිදයි තුරුළුව, හිස උරෙහි තබා
ප්‍රිය හිමි නෙතු සිරව තිරයේ සුහුරු සොබා
පෙම් ගීයක් අසමි, ගන්නට තනිය මකා
සෙයිලම් තරඟ බිම හෙමිහිට මඟ හැරුණී
සීතල සුළං රැළි, එක දෙක ඇඟ වැදුනී
සංකා විඩා කවුළුව පැන, මඟ වැටුණී
සෙංකඩගල මිහිර මල් සුවඳක එතුණී
කවිය බලන්න
ප්‍රතිරූප බිඳ හෙළන්නා
පියා දැරු නිල බලය හින්දා පාසලක් හිමිවුණා
මට යාන වාහන ධනය ඇත්තන් වෙතට මගෙ සිත නතුවුණා
තුරුණ ජවයෙන් සිතැගි ලෙස ගුම් නාද දී විකසිත වුණා
පාසලේ නොමනා එවුන් යැයි පාසලෙන් අප නෙරපුණා
නිල රථත් ඇත, මිල මුදල් ඇත, රාත‍්‍රිය දහවල වුණා
මධු මතින් අප හා රඟන්නට යෞවනියො බෝ පේ වුණා
නසා දමමින් සියලු සම්පත් කලක් සිතු ලෙස වැජඹුනා
පියා හිරගෙට, මවගෙ මරණය අහෝ විපතක් සිදු වුණා
කරුමෙකට මං ඉපදුණාදෝ? සියලු දේ මට වැරදුණා
සියලු සඟයන් දසත විසිරී ගිය මඟක් මට නොපෙණෙනා
නිලංකාරව අයාලේ යමි හිතට සැනසුම සොයමිනා
මටත් පහළින් සිටි එවුන් කර පටි පැළඳ ඔජ වඩවනා
කන්ද මුඳුනෙන් වැටී පාමුල පැල්පතක දුක් විඳිමිනා
ගත කරන පව්කාර දිවියකි වෛරයෙහි ගිනි දැල්වෙනා
රාජකීයෙන් උරුම කඩුවෙන් දිනමි දිරියෙන් සිතු ලෙසා
ඒඅයිගෙ සරණින් ලබා අවි සරමි මත් කෙසරිඳු ලෙසා
මහසභා මැද වසුරු සලමින් තනා ගමි ප්‍රතිරූපය මනා
නසමි, වනසමි මහා පඬුවන්, කලා ලොව රන් සිළු මනා
වාද ගින්නේ දවමි ප්‍රති රූ නසමි යොවුනන් අභියසා
රටක කරුමය පෙරට ගෙන යන පරපුරක් තනමිය මනා
සරත් විජේසූරිය
13, සැප්තැම්බර් 2025, ශ්‍රී ලංකාවේ දී
කවිය බලන්න
නොගැළපෙන ගැළපිල්ල
කතක් සිටියා මගේ දොරකඩ පටියකින් අත වෙළාගෙන...
වැහැරිලා ගිය තරුණ අම්මෙක් හඬන දරුවත් වඩාගෙන…
මගේ මිනිහා ගහපු පාරට ඔළුව පැළුණා අතත් කැඩුණා…
බොන්න දෙන්නයි මගේ දරුවට කිරි පැකට්ටුව සොයන්නේ…
කුසට අහරක් නොමැති හින්දයි ඊයේ ඉඳලා හඬන්නේ...
ගංජා තිබුණා කියා ඌ ළඟ ඊයේ පොලිසිය ඌව ගත්තා…
ගැහුවත් ඌ මගේ මිනිහනේ කනේ කරාඹුව උකස් තිබ්බා...
හිරේ ඉන්න කොට දුකක් දැනුණා ඌට ඇප දී බේර ගත්තා…
ගෙදර එන්නට පෙරම අයියෝ ඌට සික් එක ආයේ හැදුණා...
බිම දමා ගෙන මට ම ගහලා තිබුණු සතයත් ඌ ම ගත්තා…
යන්න හිතුණත් දාලා යන්නම දෙන්නේ නැහැ හිත අනේ මන්දා...
මගේ ළඟ ඉඳ උගේ පණ මෙන් ආදරේ දුන් කාලේ හින්දා...
පාප මිත්‍රයෝ ඇසුරු කරලා මතට ලොල් වී සතෙක් වූවා...
මගේ කරුමෙද උගේ කරුමෙද තවම මගේ හිත උණුත් වෙනවා...
අතේ දරුවා මාස හතරයි කුසට ඌ තව එකෙක් දුන්නා...
කවිය බලන්න
විජ්ජුලතා
සීතල පොරවගත් මේ මාලිගය පුරා
දැල්වෙයි උණුසුමේ සිත් ඉටිපහන් සරා
නංවා එයින් නැග එන සුසුවඳින් නුරා
රිංගා ඇදෙයි සිහිගිරි සිට යහන් අරා
බන්දා මිණිමෙවුල් ගෙලවට මුතු මාලා
සොලවා නාද කරවා පා බැඳි ජාලා
දුලවා නෙත් අගින් විදුලිය එළි මාලා
විහිදාලීය දෙ අධර මුදු රස තාලා
ලාලිත අනග රූබර නැටුමින් ඔපලූ
මනමත් කරයි රූලිය සුරඟන දිළිඳූ
ඇගෙවත දැවටි රන්වන් පාටින් ඔපලූ
ඡායා මවයි බිත මත නෙත් කළු තරිඳූ
පිහිනා කිරි සයුර වට රණහස පිම්මේ
ගෙනවා සුරැක තැබුවා හදවත නැම්මේ
දුටු දා කසුප් නිරිඳුන් හිඳ ගල මත්තේ
අඳවා තබාගති ඒ රුව බිත මත්තේ
රූසිරි අනගි ඒ සීගිරි ලදුන් සැමා
මුතු මල් නෙලා පුරවා සිනහවේ අමා
බිඳලා යදම් සීතල පිණි පවුරු වළා
නැගිලා ගියා ආයෙත් ගිරිමුදුන බලා
කවිය බලන්න
හඳුනාගැනීම
සාද මේස මත
බඳුන් පිරී ඇත
තොලට ගැටෙන විත
පුබුදයි නෙත සිත
සැලෙන දිගැස් වෙත
බැමි පුපුරයි සිත
ඉන් එකියක නෙත
මට යොමුවී ඇත
ඇය සුරූපි නැත
කියයි මගේ සිත
නැත ඒ කත වෙත
මා හෙලුවේ නෙත
රුවැති කතක් වෙත
යොමුවෙයි මගෙ නෙත
ඇගෙ නෙත මා වත
දෙස හෙලුනේ නැත
මා ලස්සන නැත
ඇය සිතන්න ඇත
එහි සැකයක් නැත
කියයි මගේ සිත
අබියස කැඩ පත
බැලුවිට මෙන් වත
විත මත් කළ සිත
මා හඳුනා ඇත
කවිය බලන්න
දනිමි නුඹ ඉන්න වග
බැඳී භවයෙන් භවය පැමිණ මේ සසර මග
හිඳී අසළින් නිබඳ නිතින පා දෑතයුග
සැදී නීතියෙන් පෙරට ඇදෙන්නට කටුක මග
දිදී දිරියෙන් සවිය දනිමි නුඹ ඉන්න වග
නෙතුපියන් පළා එන කඳුළුමල් වැස්ස යට
සා දුකින් ඉකිගැසුණු සුසුම් සඟවා ලො වට
රුදු ලොවින් ලබද්දී හද රිදුම් දුක් ගැහැට
සෙනෙහසින් සිහිකරමි නුඹ දුන්න සවිය . මට
නිලා කූරක් විලස දැවී යන ජීවිතය
නොලා පරඬල් අතර දවා මනුසත් වනය
වෙලා සෙනෙහස් ගඟුල නොවීමහ මහෝඝය
ගලා යමු හෙටත් අපි නිමාකර ඉඩෝරය
කවිය බලන්න
ඉරණම
සුළඟේ සැළෙන අතු අග තැණු කැදැල්ලේ
රිසි සේ සැරිසරන විහඟෙකි නිදැල්ලේ
නෙත රඳවමින් ඉරණම නම් කඩුල්ලේ
අත්තටු සිඳී තනි වන්නෙකි සඳැල්ලේ
සවිබල සිඳුණු පසු වරපට කඩුල්ලේ
බොරදිය ඉතිර නිල් කලුරට ඇසිල්ලේ
කැළඹිලි නැගි නැගී සුළි එක කැරැල්ලේ
සිවු කොන් ලිහිල් විය සවි නැති කැදැල්ලේ
සෙනෙහෙන් දැවටෙමින් එති එති
එතී යතී
නැහැඹුල් සුවඳ ඉව කරමින් කතී බොතී
ඉටු දෙවි නොමැති දෙවොලෙහි වියැකෙමින් බැතී
නිර්මල පුදසුනේ නිලමැසි ළැගුම් ගතී
තනිකඩ දෙකඩ ඇති නැති උන් පවුල් වෙවී
යති එති සතුටු වෙති කති බොති හවුල් වෙවී
කටගැස්මකට විමසන විට දිවුල් ලොවී
සාදය නිමා විය බැඳි හිත අවුල් වෙවී
දෙන ලෙස තින්දුව වරදට අයාලයේ
අවනඩු අසන දින හිත නම් උසාවියේ
දඬුවම නියම කර පෝරක පරාළයේ
විත්තිය විනිසුරුද චූජක පලා ගියේ
කවිය බලන්න
දැවෙන ලොවක මෙලෙක සොයා...
වසඟ කරන තාලයටම
ගිණිසිළු රඟදෙන්නේ
මිහිර දෙවන ආරයකට
හදවත සසැලෙන්නේ
නිතර දැවෙන රාගයටම
කුමටද ඉඩදෙන්නේ
දහම මියෙන දාකටමද
හැමටම සිහිවෙන්නේ
දැවෙන ලොවක මෙලෙක
සොයා කොයිබද ඇවිදින්නේ
දිලෙන නිවෙන එළිය බලා
කුමටද රැවටෙන්නේ
දිවිය ගෙවන අයුරු දැනා
යහපත වපුරන්නේ
නොදැන යනෙන ගමන පුරා
වෙහෙසකි උතුරන්නේ
පියුම පිපෙන ගොහොරු මඩේ
කවදද නවතින්නේ
අරුම ගෙනෙන දසුන මැවේ
කුමටද රැවටෙන්නේ
නරුම ලෙසින වියරු වෙතේ
කරුමය ඵලදෙන්නේ
දිනුම ලැබෙන සසර මඟේ
දහමට නතුවෙන්නේ....
Photo Credir; cheng feng
කවිය බලන්න
Sweet Dues, Silent Promises - Umesha Lokuranamuka - Canada
I never thought New York could feel like this
soft at the edges, warm in its shadows,
a city that suddenly remembers how to breathe
just because you’re walking beside me.
I came here only to see you,
to repay the quiet debts of all the moments
you waited,
you called,
you cared,
while I kept my distance like it meant nothing.
But then came your laughter,
spilling into the streets like a language I’d forgotten I knew.
Your touch, accidental, intentional, impossible to ignore
wrote its name on the back of my hand.
And as you pulled me through the winding lanes,
as if the whole city belonged to us,
I felt something give way inside me,
something tender, terrifying,
undeniably alive.
You showed me things I never wanted to see
not because they were beautiful,
but because you were the one showing them.
And somehow that was enough
to make even the ordinary glow.
So here I am,
falling in ways I’ve never fallen,
into a city I never loved,
into a person I never expected
into you.
To be continued…
කවිය බලන්න
ගිය දවස් ගැන කවක්
සාමා අමර ලෙස දුව පැන හිටි තාලේ
තවමත් සිහි වෙනව අපගේ පොඩි කාලේ
ගුටියක් දෙකක් කෑවත් කර ඳඟ බාලේ
මිහිරියි රසයි සිහිවෙන කොට ඒ කාලේ
ගණනක් දෙකක් වරදින කොට පොඩි කාලේ
අම්මා බය වුණා වරදක් ඇතිය මොළේ
සෙල්ලමටමයි හිත ඇදුනේ හැම වේලේ
පොත ඇල්ලුවේ බයටයි කෝටුවේ බලේ
උදේ හවා කර ගොන්කම් අමන මැටී
කාලා තියෙනවා ඇතිවෙන තරම් ගුටී
අකැමැති වුනත් ඒ කාලේ කන්න ගුටී
කාපු ගුටි නිසා ලැබු දේ හරිම වටී
කාලය ගත වෙලා පහුවෙන කොට බාල
නොදැනිම ඇවිත් අපි යුගයට හිරිමාල
දැක්කම කෙල්ලො හොඳ හිරිමල් සුකුමාල
මෝදු වුනා රස හැඟුමන් මනමාල
අහල පහල ගෑණු ළමයි ඳඟ පාට
මුකුළු කලා පාමින් දත් සුදු පාට
නැවුම් පෙම පුදන්නේ සිතමින් කාට
පහන් කලා නිදි මරමින් හැම රෑට
කලක් ගත වෙලා එළැඹී යොවුන් විය
විසිර යන්ට කාලය දැන් සැපත් විය
ඉගිල ගියා සමගින් සිත බැඳුණු ලිය
තැනුවෙ කූඩු පිරි වදනින් තෙපුල් පිය
තැනූ කූඩු පිරුණත් ඳඟ පොඩි උන්ගෙන්
පිටව ගොසින් දැන් උන් තුරුණූවු ගැම්මෙන්
කූඩු හිස් වෙලා ඇත දැන් පිය වදනින්
හවස් විය ගලා එයි හෙට අප දිවි ගමනින්
පළමු පන්තියේ මිතුදම් අපෙ බාලේ
රැකෙනව අදත් හිටියත් දුර මේ කාලේ
දුකයි සිහිවෙලා ගිය අය පෙර කාලේ
සමහර අපේ යාළුවො දැන් උඩු මාලේ
මෙලොවින් ගිය මිතුරන් ගැන දුකින් තැවී
සොඳුරු ඔවුන් ගැන ලිව හැකි දහස් කවී
කෙතරම් කව් ලිව්වත් උන් සිතේ මැවී
හැම තිස්සෙම යයි මගෙ සිත ගිනින් තැවී
ඉතුරු මිතුරු රැළ තැන තැන දිවි ගෙවනා
කලින් කලට හමුවෙමු අපි හැකි නිතිනා
හමුවූ කල තවමත් රස පිරි සිතිනා
එකම රස ගුලාවක් මවමුය නිතිනා
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී
ඉඳ හිට පොඩි ගෝරියකුත් දමා ගතී
ඒත් මිතුරු දම් දිවි ඇති තෙක් පවතී
කවිය බලන්න
🗙

































































