අම්මා - 4
එන දුක් කඳුළු මැද සිත හදවත සෙලවේ
සෙලවුණු හදවතේ සෝබර ගිනි මෙලවේ
ඉවසනු නොහැකි තැන ගත මුහුණද මැලවේ
පවසන වදනකින් අම්මා , සිත නැලවේ
මව් කෙනෙකුන් නිසා සරු ඇති මේ පොළොවේ
නෙක නෙක අයුරු වටිනා වූ බිජු පැලවේ
ගුණබර කුළුණු ගුණ පොහොරින් එය සරුවේ
හිමිවන අස්වැන්න මුළු රටටම හිමිවේ
සැමටම දුක හිමිය ඉපදුණ මේ පොළොවේ
එක එක ලෙසින් ඔබ මා හට එය හිමිවේ
මවකට ලැබෙන විට දුක තෙගුණෙන් වැඩිවේ
ඒ සැම දරාගෙන ඇය දරු පෙම වැඩුවේ
තම කුසගින්න වෙහෙසද ගැන නැත බැලුවේ
දැක දරුවෙකුගෙ දුක උණු කඳුළැලි හැලුවේ
ඒ දුක් නසන්නට නිති දහදිය හෙලුවේ
දරුවන් මිසක නැත වෙන දේවල් ඔලුවේ
එක මව් කෙනෙක් හති දාගෙන දර පැලුවේ
තව කෙනෙකුගෙ දෙඅත් සුරැදුනි තේ දලුවේ
එලෙසම කෙනෙක් වෙහෙසී පොල්ලෙලි තැලුවේ
තව එක් මවක් වැඩ හමුදා බල මුළුවේ
2026 . 05 . 28
ලන්ඩන්.
කවිය බලන්න
