නීතියේ දෙවඟනේ හැකි විගස පැනගන්න.
සැඟවියන් සැඟවියන් තේමිස් දෙවඟනනි!
උන් එනවා ආයෙමත් අනේ නුඹ සැඟවියන්
විනිශ්චයෙ ආසනය උස ඇතත් නොපෙනෙන්න
උසාවියෙ හතර මායිමෙ නොසිට පැනයන්න
පාපතරයන් එන්නෙ යළිත් නුඹ කෙළසන්න
දුර්වලයි නුඹ හුඟක් බැහැ නුඹට ගැලවෙන්න
දෙවියන්ගෙ නාමයෙන් පැනගොසින් සැඟවෙන්න
රෙදි කඩෙන් දෙඇස් බැඳි නුඹට බැහැ දැකගන්න
අසිපතත් උන් ගනියි කොහේ හෝ සඟවන්න
තරාදිය නැහැ වැඩක් වීසිකර දිවයන්න
ඉරාවී ඇඳිකඩත් මෙහි නොසිට පැනගන්න
නීතියත් යුක්තියත් රකිමු දිවුරුම් දුන්න
නුඹෙන් කිරි බී වැඩුනු ඇතැම් දරුවන් ඔන්න
කළු කබා හැඳ එනව අයුක්තිය දිනවන්න
හිතන්නැහැ දෙපාරක් වැදූ මව කෙළෙසන්න
යුක්තියේ දෙවඟණෙනි බේරිලා පැනගන්න
මෙය නොවෙයි තැන නීති යුක්තිගරුකව ඉන්න
දෙපා වැඳ අයැදිමී ජීවිතය රැකගන්න
නීතියේ දෙව් දුවණි මෙහි නොසිට දිවයන්න
