ඔවදන්
මැණිකක් වගේ දැනුණට දිලිසිලා නෙතේ
පෙනුමක් තියෙන හැම දේ මනරම් ද නැතේ
රහසක් කියමි සුරකින්නට සදා හිතේ
දවසක් දෙකක් මදි ලොව දැනගන්න පුතේ
තණ බිස්සක උසට හිටියට පලක් වෙද
අග්ගිස්සෙන්ම තලයට අසු නො වේවි ද
උස ගස් අතර හැදුනොත් හොඳ ඇසුර විඳ
අනුහස් විලස බැබලෙයි තුරු මුදුන් මැද
සගයන් අවට හිටියත් මැසි මදුරු ලෙස
මිතුරන් වෙන්ව හඳුනාගත යුතුය යස
දවසින් දවස ඉහළට යන පාර මිස
එකතැන් වෙලා පල් වීමෙන් වැටෙයි හිස
නිසි කල සුදුසු දේ නිවැරදි තැනක තියා
නිම කළ යුතුය අද මරු එනවාය කියා
කොයි වල ගියත් දවසක මිල මුදල් සොයා
මොන ඵලයක් ද හොඳ මිනිහෙක් නොවී ඔයා
