සේරි වෙළෙන්දාට රැවටුන සිටු මිත්තනිය

සේරි වෙළෙන්දාට රැවටුන සිටු මිත්තනිය

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

ගමකට බත බුලත එදවස පිදු මෑනි
තිබහට කහට බොයි අත්ලේ රතු සීනී
සවියට සැරයටිය තුන් පාදෙකි හීනී
සවසට මඟ බලයි ලගදැයි පොඩි දෝණී

රටකට අනේපිඩු දන්දුන් සිටානෝ
සටනට වමේ උරදුන් සෙනෙවියානෝ
සවසට සබේ රැස්කල රසවතානෝ
ගෙදරට වඩා රටතොට පෙම්වතානෝ

මලින් මලට ඉගිලෙයි සකිසද බඹරු
තුටින් ඉවසුවා පතිනිය නොම නපුරු
වටින් ගොඩින් ඉගිබිගි පෑවා පදුරු
ඉතින් පෑගුනා ගෙදරින් පිට පැදුරු

ඇසෙයි රැය පුරා මැදුරේ සාජ්ජය
රසයි තොලට උතුරයි මඳු පීප්පය
දුරයි දරු පැටවු ගිණියම් පෝච්චිය
බැදෙයි පුලුටු නිවනක් නැති තාච්චිය

එලා පැදුරු මැදුරේ සුවිසල් සාලේ
බලා මුහුණු අතවැසි හඬවයි ඩෝලේ
මුලාවෙලා මෝහිනි ගෙට ආ වේලේ
කලා සපිරි මුහුනයි පුර සඳ තාලේ

නගරයෙ ගෙවල් දොරවල් කඩපිල් එමට
තරඟයෙ දිනුම වස්තුව ලද පෙර පිනට
දිවරැයෙ ඇසේ මිණි ආකර තව දුරට
අවලියෙ නොවෙයි කුරුනියේ මිණි කැට ගොඩට

පෙලින් පෙළට මිදුලේ නෙක රත යාය
යලෙන් මහට පීදෙන කෙත් සයුරාණ
අතෙක් එකක් බර රන් දම් ගෙලලාන
තොසින් හති අරී සකිසද නොදොඩාන

වර වර ලගට කැන්දා නෑදෑ පතුරු
සැකහැර අත තඹා මුලු ගෙදරම යතුරු
අතකර රුවා රන්දම් කෙල්ලන් ඉතුරු
ගම්වර දායාද දීගෙක ගොස් සොදුරු

කැදවා ගේ අවට නර කෙස් පිරි ගෑණූ
අදවා සිල් රෙද්ද කුණු පැල්ලම් නොවුනු
පුදවා වට්ටි පූජා හිස ගා නානූ
හැදුවා වෙහෙර මල් ආසන කණු සීණූ

වටවන්දනාවේ අටමහ තැන්වලට
රට වට ගැහැණු කැදවා ගෙන එක මිටට
තුට මට මදෑ පින් රැස්කර තව කුමට
කැට කඩ කඩා ඈ කීවා රට තොටට

ඉරහද පායනාතුරු මේ අපෙ මහ ගෙදර
හිමිසද නික්ම ගිය පසු උන් ගියො මගැර
අවුසද අහිමි පතිනිය සයනේ වැතිර
සකිසද පොටෝ රාමුවේ මෙහෙවර අතැර

පිදූ අරම පන්සල්වල දෙව්දත්තු
සැදූ මහල් තෙමහල්වල වන සත්තු
සැදූ දෙවෙල් කඩපිල් විකුණයි කොත්තු
වැදූ මවගේ ලය ඇවිලෙයි නෑ පත්තු

සැන්දෑ අහස් කුස ඉරබට තරුව පෙනේ
මුන්දෑ කොහොද සුපුරුදු හඬ වැටෙති කණේ
මන්දා මෙතෙක් නාවේ හැදිනුවද පනේ
රන්දා පුරුදු මදහස ලග ළඟම පෙනේ.

25 / 05 / 2026

කවිය බලන්න