ලෝකුරු මාමා
දිනිසුරු සමග අවදිව සැම උදයකම
රත්ගුරු උදුන මොළවා ඇද මයිනහම්
විසිතුරු ලෝහ අවි මෙවලම් කරන නිම
‘ලෝකුරු මාමා’ කෝ අද පෙර සිටිය ගම
ඔසවා මිටිය කිණිහිර මත හෙළන විට
දුටුවා නහර වැල් ඉපිලෙනු සිරුර වට
නැතුවා වුණත් ලැබ කිසි අහරක් කුසට
හෙලුවා සිනා කාටත් එන කම්මලට
මන්නා, පොරෝ, වප්පිහි උදලුත් තනලා
දුන්නා ගමට යකඩෙන් මුවහත තබලා
උන්නා කරබාන දෙන සොච්චම නොබලා
පෙන්නා අනගි බව නිමැවුම අත තබලා
යන්ත්‍ර බලෙන් තැනූ ආයුධ දහස් ගණන්
ගම්දොර කඩමණ්ඩියට ආදා සතර දෙසින්
ලංකර කඳුළු පරපුරකට නොසිතූ ලෙසින්
සුන්කර දැමුණි ලෝකුරු ශිල්පය මෙරටින්
කාලය ගෙවී නිපැයුම් හැම අලුත් වෙලා
ලෝකය එකම සල්පිලකට වෙනස් වෙලා
ලාභය මිස අනගි බව නැහැ පලක් වෙලා
ශිල්පය නැසී ‘කම්මල’ මතකයක් වෙලා
කවිය බලන්න
