හෙටක් එනතුරු
ස්ථිර සංඥාවෙන්
හිඳිමි අස්ථිර තැනක
අස්ථිර මොහොතක
හෙටක් එනතුරු
මඟ බලාගෙන
හෙට කරන දේ
හිත තුළ
පෙළ ගසාගෙන
අත්පත් කරන දේ හෙට
හෙට හදන භවන තුළ
පිලිවෙලට ස්ථාන ගත කර
සොයන්නට නිති දුක සැප
දැසි දසුන් පෙළ ගසාගෙන
වළඳමින් ප්‍රිය අහර
වායු සමනය කළ
යහන් ගැබ
යහන් ගත වෙමි
පිය සොඳුර තුරුළු කරගෙන
යාන වාහන
රට සවාරිත් අඩුවක් නැත
නෑ සිය මිතුරු කැළ මැද
කාටවත් සෙකන්ඩ් නැත.
විටෙක මේ
සීනයක ගෑ සුවඳකි
විටෙක ඇත්තට ම දිව ගෑ
රසයකි
මෙ හැම ඇවිදින් යති
එනදාට
සතුට අරගෙන එති
යනදාට දුක් දීගෙන යති
කඳුකර වංගු පාරක් පසුකර
මිහිදුම් වලා අතර
දහසක් හීන පාවෙනු බලා
අත්දුටු පමණකට
දිව ගා බලා
අත් කළ පමණකට
අත්හැරෙන සැටි බලා
කාලයක් හුරු කළ හිත
මැද තැනක තබාගෙන
හිඳිමි අස්ථිර තැනක
ස්ථිර සංඥාවෙන්
හෙටක් එනතුරු
මඟ බලාගෙන.
16-04-26
කවිය බලන්න
