මඟුලක් වූ අද කාලේ මලගෙවල්...!
පෙර කල මරණයක් සිදුවු ගෙදරට රැස්වන නෑයෝ ...
සැරසුනේම උදවු දෙන්න කඩිසරවී ලෙස වේයෝ...
සරසන දෑ, කෑම, බීම, ඇවසි දෙයක් දෙන ඈයෝ..
තිරවම දුක බෙදා ගමින් හදෙ දුක ගෙනහැර පෑයෝ...
දින ගණනක් එමල ගෙදර ඉවුම් පිහුම් නැත කෙරුණේ...
පින සලකා අසල් වැසියෝ අතිනි සෑම බර දැරුණේ...
විනයක් තිබුණේ එහෙමයි,එනමුත් අද නමෙ වරුණේ...
හෙණයක් වී ඇත, සිතෙනව ඇති "ඇයි දෝ මා මැරුණේ?"...
අවුරුදු ගණනක් ගෙදරට පා නොතැබූ අය එන්නේ...
කවුරුත් කච පච ගාමින් සල්ලාපයෙමය ඉන්නේ...
දිවුරුම් දෙන්නේ ඉදිරියෙ කරනාදේ ගැන වෙන්නේ...
පවුරුත් සේ රැක ගන්නා බව සැමටම පවසන්නේ...
එක වේලක් නොව දිනකට තුන් වේලම කොටා බාන්...
නෙක දෑ දොඩමින් සිට රෑ වෙද්දි හිටල අදී, 'දාන්' ...
සැකයක් නැත කියන විහිලු තහලු වලට සිනාපාන්...
දුක අමතක කරවන්නට දරණ වෙහෙස බලාපාන් ...
මැරුණ කෙනා නිසා ගෙදර අයට ඇත්තෙ දුක වුනාට...
කරුණ මුදල් ණයට ගන්න වීම,මේව කියනු කාට...
දිරුණ කයට ඇසෙනවාද ගුණ වරුණා දැමුව පාට...
තරුණයන්ට මේව හොඳා නේද සිතට ගත්තු දාට...
සිරිත් විරිත් කාලෙ අනුව වෙනස් වීම ඇවසි නැද්ද...
කිරිත් පැණිත් කන්න ගියත් නැති විට ඇයි දානු සද්ද...
පිරිත් කියා ඉන්න අයට සෙත් පැතීම කොහේ වෙද්ද...
දිරිත් අරං මේව ලීව නමුත් එයින් වැඩක් ඇද්ද...
