රැඟුම් ක්ලේශ මර දූවරු .......
ගෙවී ඇවිද දෙපතුල් වේදනාවකි
ඇදී ඇදී යන වට වන්දනාවකි
නැගෙන බිදෙන මිය යන කල්පනාවකි
පැතු පැතුම සංසාරෙට සිනාවකි
මාරුත සුළි ගහණ අහසකි නිල් පියස
වාරුව රැගෙන යායුතු ගමනක වෙහෙස
සීරුව පය තබනු දිනුමට ගිම් පවස
පාරුව සෙලවේවි නැණසින් බල විගස
දුරකි ඈත ගව් සියගව් ඇදේයා
වරකි මිනිස් බව දුක් ගිනි සිදේයා
මවකි මඟ කියූ සම්බුදු සඳේයා
බරකි හිතට ගෙන ආ දේ බිදේයා
රැඟුම් ක්ලේශ මර දූවරු සිත කළඹයි
හැඟුම් රළ පෙරළි සත් සයුරට මුහුවෙයි
මැදුම් මඟ හරස් කොට වැටකොටු ඉදිවෙයි
පැතුම් පහන් දල්වනු කෙම් බිම හමුවෙයි
කවිය බලන්න
