අන් සතු ඔබ වෙත
නුඹ දුන් ආලය නුඹම සොරාගෙන ඈතක ගිය හන්දා
හද මන්දිරයේ මතකය සිරවුණි හද තුළ දුක රන්දා
සිදාදියේ තඹ කාසි වලට නුඹ රැවටුණි දෝ මන්දා
තනිකම පමණයි ඉතිරි වුණේ මට කදුළක් ඇස රන්දා
නෙක නෙක පාටින් දුටුවද මනරම් විසිතුරු අග නගරේ
සිත මත් කරනා සළෙල ළදුන් දැක බැඳුනද සිත මිහිරේ
නුඹ දිවි ගෙවනා සත් මහලින් සැදි ලස්සන මන්දිරේ
සැල මුතු සෙනෙහස දැනුණිද ඒ තුළ රැදුණිද ඒ ආලේ
පිවිතුරු ආලය පෙර දිනයක මම නුඹට පිදුව හන්දා
සිත බැදුනේ නැහැ වෙන කිසි හදකට මමම තනිව වින්දා
නුඹ ගැන සිතුවිලි නැගුණත් මතකෙට සිත හිර කර රන්දා
දොරගුළු වැසුවෙමි නැවත නොඑන්නට නුඹ අන්සතු හන්දා
