ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2026 ඔක්තෝබර් කලාපය
වස් දෙසි යයක් දස අත ලොව අණ පැතිරූ
හෙළ දීපයෙත් හිස් සිඳලූ මැඩළු විරූ
නිලඹර පහළ එලෙසම බල ගෙනෙනු බැරූ
බල නොබසිනා අධ්රාජයෙ බහින හිරූ
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
සුකුමාල ලාලිත්‍යය ගත නොදැවටු ඇගෙ යෙහෙළියයි ඇය
තවරා ගත් සිනහවෙන් මුවමඬළ නොසැරසූ යුවතියයි ඇය
යොවුන් වසන්තෙ චන්ඩ මාරුතෙ උපෙක්ශා පෙම්වතියයි ඇය
මිරිවැඩි නොලද දෙපයින් රතු පළසෙ ඇවිද ගිය කිවිඳියයි ඇය
නැළවිලි ගීතයෙ ලසොවින් උසුලනා දයාවෙ මෑණියයි ඇය
ජීවිතයෙ කටුරොද මැදියම ජීවන සුවඳ හළ කඩුපුල් මලයි ඇය
මඩ ගොහුරෙ වියැකුනු පත් අතර දිග හැරුනු මහ නෙළුමයි ඇය
මිහිදන් කළ යුක්තියෙ අළු ගසා අවදි කළ හෝරාවෙ කනිසමයි ඇය
සරල බව ගීතයටත් චරිතයටත් කළ උපමාවයි ඇය
නිහතමානිකම අල්පේච්ඡ බව රඟ දුන් භූමිකාවයි ඇය
කටු ගෑ මතක පොත අස්වැසු කෘතවේදි පන්හිඳයි ඇය
ආදර්ශය අවවාදයට දුන් ප්‍රතිභාව ගැහැණියයි ඇය
අදුරට නඟන අවමන් මැද දැල්වු පහන් සිළුවයි ඇය
කාසියට වලංගු දේශයක අපෙකම කියාදුන් පාඩමයි ඇය
ගණදුර පීරා නැගෙන ඇරුණල්ලෙ දැයෙ උදාවයි ඇය
සවන් මිස ගිලන් හද නොවැකුන යුග මෙහවරයි ඇය
ඇගෙ නම නන්දාය.......
කවිය බලන්න
ගී යතිවර ලකුණ දැයේ - ආචාර්ය බොකන්මරුවේ දේවානන්ද හිමි
ගී යතිවර ලකුණ දැයේ
නිවී ගියා ගී ලෝකේ
ගී පහනේ ආලෝකය
දැයේ හෙටත් දැල්වේවි
හදේ රිද්ම ගීය තුලින්
සමාඡේට බෙදා දෙමින්
ගී දැහැනේ රස පෙරමින්
නිවී ගියේ ගී පහනයි
රස පද වැල් ගොතා නිබඳ
දහම් අරුත් රස කරලා
රසාලිප්ත තනුව හදේ
අද නිහඬයි ඇයි ද අනේ
ජපානයේ හචියෝජී බෞද්ධ හා පාලි විද්‍යාලයේ විදුහල්පති
කවිය බලන්න
නන්දා අපේ ගීයේ මාලනිය - ආචාර්ය බොකන්මරුවේ දේවානන්ද හිමි
නන්දා අපේ ගීයේ මාලනිය
පදවැල් ගැයූ වා මිහිරෙන් මිහිර කර
ගැයූ සුභාවිත ගී අපමණය
දැන් නිහඬයි සුපසන් ගී රාවය
තැලුවුණු බිදුණු හදවත් නිති පිනවා
ගැයූ ගීත වාතලයේ මුමුනනවා
යසෝරාවය ගීයට සමුදෙනවා
මාලනියේ නන්දා ගී රැව්දෙනවා
නිවුණු ගති පිරුණු මාලනියේ නන්දා
යසෝරාවයයි හෙළ රස ගීතයේ
ඇයි ඔබ අනේ හනිකට යන්න ගියේ
ඒ ගී රහ ඇයි මරු අද අරන් ගියේ
ජපානයේ හචියෝජී බෞද්ධ හා පාලි විද්‍යාලයේ විදුහල්පති
කවිය බලන්න
සමිඳුන් අපේ හිමි රඹුකන සිද්ධාර්ථ
සම්මා සම්බුදු අපේ ලොව්තුරු බුදුසමිඳු
දෙසු දම්සයුරේ මැද කිමිඳී ගෞතම මුනිඳු
අපේ නාහිමි සිද්ධාර්ථ රඹුකන ජනතාවාදි
නිවුණා පහනක් අකාලයේ ගී සංකල්පනා
ජනිතව එදා මොරවක ගම දකුණු ලක
ලියනගේ ආනන්දය නම් ලබා සිට
ලබා සිප්සතර පසුව බැඳුනා සසුනට
නවසිය හැටතුන වසරේ ඇසල මහේ
දෙසුවා මුනිබණ දම්පද ඇසුරුකොට
ලීවා ගී පද නිති බුදුගුණ වනන්නට
බැන්දා රස පදවැල් මව්ගුණ දැනේනට
ගඟුලක් වුනා ගීපද කරුණා රස සයුරට
ගී පද ලියාදුන්නා ගායන ලොව තරුවලට
දුන්නා අතහිත කලාවේ කාටත් ආධුනික
මානව දයාවෙන් පිරිපුන් අප නාහිමිගේ
ලැබුවා රැකවරණය තරුකැට කලා ලොව
කවිය බලන්න
දිගුකල් දිනේවා අප මිත්‍රයානෝ !
ගීතය කියන්නේ අමයුරු රසයක් ය
සංගීතයත් ගීයත් මහ බලයක් ය
දෙවගම සතු කෙනා ළඟ මහ සවියක් ය
එඩ්වඩ් කියන්නේ පන්සිලු කුලයක් ය
දුටුදා පටන් වෙනසක් නොම දුටු සබඳ
මිතු මිතුරියන් හදවත් සනසන පැහැද
නොදත් දත් සැමට පෑ එක ලෙස සුහද
එඩ්වඩ් ජයකොඩිය හෙළ ධජයකි නිබඳ
තනවා ලොවට දුන් ගී සිසු පරපුරක
ගී හඬ දියත විසිරෙනු දැක දැක ළයෙක
තුටුවන දිස ගුරුන් ගුත්තිල නොවු දිනෙක
සිරිලක ගී පොතේ සටහන් ඇත මතක
සුවසක් සිත්සතන් නිති පිනු දයානෝ
දහසක් සිසුන් බිහිකළ ගුරු පියානෝ
යහපත් මිතුරි චරිතා සහ ළයානෝ
දිගුකල් දිනේවා අප මිත්‍රයානෝ !
කවිය බලන්න
ඇගේ නම නන්දාය....
ජීවන කළල මැද ඉපදුණු මුදු කැකුළ
ඒ මඩ ගොහොරුවේ පිබිදුණු සුදු උපුල
පෑසර හඬින් ලොව පැතිරුණු තුඩු පතළ
ඈ නම නන්දාය බැබළුණු හුදු පබල
ගී හඬ උපන්නද ඉපදුණු පැළ ඇතුළ
ඒ හඬ පවන දද සෙලවුණු ජය මඬල
මී හඬ අමර ගුරු පුදදුනු හද බබළ
ඈ හඬ යශෝරාවය වුණු ලක විපුල
මී රස මල්සරය සුගැයුණු පද සිසිල
ගී රස නිසා පුද දුනි උණු රජ මඬළ
ඒ රස නො විඳි නම් ගොළුවුණු හද සසළ
සා රස කුමට යළි නොගැයුණු ගී එ මල
කවිය බලන්න
සූරියකාන්ත - නයනා සුම්ත්රාරචිචිගේ. කැනඩාවේ සිට.
සූරියකාන්ත හැරුණේ හැමවිට ඉර දෙසට,
ආලෝකය සොයමින් දින දින ජීවිතයට,
අඳුර ආවත් මඟ නොහැරී හෙටට,
දිනන්නට හැකිය දිරි ගෙන හිතට,
මල් පෙති වැටුණත් සුවඳ රැඳේවි සුළඟේ,
කඳුළු වැටුණත් සිනහවක් තියේවි හදේ,
පැරදුණු දවසක් හෙට ජයගන්නට තියේ
විශ්වාසය තියේ නම් ඔබේ හදවතේ.
සූරියකාන්ත ලෙස ඉර දෙස බලන්න,
කළු වලාකුළු අතර එලියක් සොයන්න,
මඟ වැරදුණතොත් අළුතින් හිතන්න,
ආයෙත් ගමනක් තුටින් අරබන්න.
කවිය බලන්න
කටු ඇනෙන හාද්දක් - කැළුම් චතුරංග
සිඹිමි ඔබ,
විඳිමි ඔබේ
කඳුළැල්ල, ඉකිබිඳුම,
ගැහෙන හද සමඟ
ඔබේ,
එක්වෙමි මමත්.
විඳිමි ඔබේ අත් පහස
මහා පවුරක් මතින්
විටින් විට.
හිනැහෙමින්, ඉපිලෙමින්,
කිතිකවමි මම
නිවන්නට ඔබේ
සංකාව.
සියුම් හෝ සිනාවක්
දකින්නට ඔබේ
මුවග.
නොපෙනුණත් සිපගන්න
ඔබේ අත්ල.
නොඅසමි, නොහඬවමි යළිත්.
නමුත්
කටු ඇනෙන හාද්දක්,
රළු අතක පහසකුත්
ලැබුණොතින්,
මියයන්න පෙර
ඉතින්,
කළලෙකට
සැනසුමක්.
Photo Credit: Anne Nygård
කවිය බලන්න
..... හඳී ....... - චින්තා ප්‍රියදර්ශන -යක්කලමුල්ල
සුරතල් පපා දෙණි ඕවිටි මත නිල්ල
දැවටී ළඟින් සෙනෙහස පෑ පොඩි කෙල්ල
අඳුරෙහි ගිළුණු නිවසට පහණක දැල්ල
විලසින් සිතට දුනි සොම්නස සැනසිල්ල
පෙන්නා නිහඬවම ආදර බැඳියාව
උන්නා නිරතුරුව විඳ හද ලැඳියාව
ගෙන්නා සිරිය ගෙපැලට සොඳ සිරියාව
දුන්නා අපට සොම්නස සංහිඳියාව
උස්සා වලිග නිති දඟ දෙයි. නැහැ මෙල්ල
ගස්සා හිසින් මොරදෙයි යුතු කැළඹිල්ල
පස්සා පයෙන් ඇන කියනා පැමිණිල්ල
වස්සානය ට පෙර නිවපං ගිණි දැල්ල
දරුවෙකු සේම හැමදා සෙනෙහසින් රැකී
නලලේ සඳකි කන් සැලෙනා අවානකී
කුළුඳුල් දරු සිහින නුඹ සේ මාද දැකී
ගැබ බිහිවෙන්න තිබුනේ තව දෙ'පෝයකී
උදයෙම පුරුද්දට ආවෙමි නුඹව සොයා.
කැපු කඹ ගැටය උනි අසුබම ලකුණ තියා
අතහැර යන්න බැරි බව මට නොකිය කියා
කුර අඩි ලකුණු තිබුණා මඩ පසෙහි ලියා
අඳුන බලන්නට දෙවොලට යන මගෙක
කඳුලින් පෙඟුණු නෙත් මා දෙස බලනු දැක
හිටි වන දෙපය අවසඟ උනි එක තැනක
හිස හා කුර හතර විය මැස්සෙක කොණක
මොර ගහ යටදි අගලෙන් ලිස්සා බිඳුණු
සුව වුන නමුදු තෙල්ගා ඇදයට හැරුණු
දුටුවෙමි පයෙන් තවමත් උණු ලේ උනණූ
මුදුනෙම කොක්කෙ 'නාන'ගෙ කඩයේ වැනෙණූ
එහි උනු වැඩිම මිල ලෙස සටහන් කෙරුන
පුවරුව අසල නිසලව සෝබර ලෙසින
කුටියක විදුලි එලි මැද විනිවිද පෙනෙන
ලොව එළි නුදුටු කලලය වකුටුව නිදන
මැණිකෙගෙ අරුංගල් විකුණා කාසි ගැන
නුඹෙ හිස සමග කුස දැරු කලලය ද ගෙන
වත පැන් වඩා කඳුලැලි උතුරන නෙතින
මිහිදන් කලෙමි දොරකඩ මට පෙනෙන තැන
කවිය බලන්න
එකත්පස් විරහව - දිනුෂි සිල්වා
නොදුන් නුඹෙ හාදුවක
සුවඳ වැඩි හින්ඳා
මල් පොකුරු ළඟින් ගෙන
බල බලා උන්නා
තෝඩු ඇස් නුඹෙ පෙනුණ
ගණන් මට පෙනුණා
නොආවත් වචන මං
මමත් කවි ලිඋවා.
කෙහෙරැලින් කළ ඉඟිය
ළඟින්වත් නොතියා
හීනි හසකැන් මගේ
නුඹෙ මතක ලිව්වා.
ප්‍රේමයේ හුඟක් දුර
තනිව මං දිව්වා
නුඹෙ නොවුණ මගෙ හීන
තනි නමට වික්කා
වසන්තය අකුරු කළ
බවක් නැති හන්දා..
දික්කසාදය කුමට
දැන් ඉතින් කැන්දා
සුදුවේල හත්මාල
උරුම නැති මන්දා
මතක තුළ හිඳිමි මං
කඳුළු තව නොලියා
2026.09.26
කවිය බලන්න
දෙගං දෑල ගම - ඩබ්.එම්. සිරිවර්ධන - විදුහල්පති - තිත්තවල්කිවුල විදුහල
ගං කොමලියන් යුගලක් ඉඟසුඟ පෙන්නා
ඉං ගම්මාරු අතරින් රිංගා යන්නා
දං පලු වීර ගෙඩි දිය මත කැර කෙන්නා
පං ගස් රඹුක් ගස් කෙහෙරැලි අඹරන්නා
සෘං ගාරයක් ගෙන දෙන රස මිහිර ඔතා
මං තනි නොතනියට රන්රස කොමල කතා
දුං මල ගස යටිං යන විට ඇසෙයි ඉතා
කං දෙක නටයි ඒ ගීතයෙ රසය පතා
බං නංගියේ නුඹ කොතනද සිටින්නේ
සං සුං බසින් පෙම් වරුසා වසින්නේ
ටං ටං ගෝන දෙන දියටයි බසින්නේ
සිං සිං නෝරු නැටුමට මෙහි වරෙන්නේ
වැල්ලේ සලකුණක් ඇත පා තැබූ ලෙස
රැල්ලේ වරක් කැරකෙමු අපි දියට බැස
තැල්ලේ දිලිසුමට රත්වෙයි මෙමා ඇස
කිල්ලේ යන්ට පර පෙන පිඩු නොවෙද යස
ලඳු මැද පැලේ සිට කටු අකුලක් පීරා
මුදු දෙපතුල් තබා මුල් අතරින් රූරා
සුදු වැලි තලාවේ මැද පොකුණක් හාරා
රුදු දිය පිපාසෙට කල පුරවති බේරා
හැවන් කපන්නට ඉවුරට එන ලන්දු
පවන් සලා වියළා දහඩිය බිංදු
සවන් පත් දෙකට සුළඟේ එන සිංදු
ලවන් සනසවයි රසයෙන් මන බැන්දු
වැස්ස වැටී ඇල දොල පිරෙනා කාලේ
බැස්ස ජලේ එක්වී මේ ගං දෑලේ
ඉස්ස දංඩි පෙතියන් පීනන ලීලේ
රිස්ස යන්ට පලඳිති කුඩුමසු මාලේ
අහල සිටින ගැමියන් හට වී යාලූ
පහල ඉඳන් ඉහලට පීනති මාලූ
සිහල දමිළ තරුනන් සුනිමල් වේලූ
නිහල මල කුනක් ළඟ මුත් නැත පාලූ
ඍතු භේදයක් ඇතිවන කල ලං වෙන්නා
උතුරා ගැලූ මහ ජල කඳ පටු වෙන්නා
බිතු සිතුවම් විලස සිටි උන් දුරු වෙන්නා
මුතු ඇට වැලි තලා මත රන් පෑ ගන්නා
කෙකටිය පඳුරු වට නැළවෙති ඇඟිලි තුඩු
නෙක නෙක ලියන් මල් හා දඬු සමව කැඩූ
රැක සිට ගලක් මත ගොරහැඩි බසක් දෙඩූ
වක නැති මලක් දීපන් මට එයයි අඩූ
තරුණන් තරුණියන් ඉර බස යන වේලේ
කරුවළ ගලන තෙක් දිය නානා තාලේ
වරුවක් දෙකක් බර වැඩ කල ගොවි රාලේ
පිරුවට ඇන්දේය උනමින් සරුවාලේ
වැල්ල පීරමින් සොයනා මැණික් කැට
අල්ල මැද තබා බැලුවා විටින් විට
බෙල්ල වටා තදකර රන් චේන් පොට
තැල්ල සරසවනු ඇත වාසනාවට
කලකට ගලන ගංගා දෙක ඉවුරු තලා
විලකට එකතුවී යායට ගිගුම් කලා
පලකට නොගත් මුඩුබිම් මත කඳුලු සලා
මලකට පූදින්න බැරි රට එකලු කළා
තාල තබන පායුග වාසනාවන්
මාල බැඳෙන දිගු ගෙල වාසනාවන්
ආල වඩන කිදුරිය වාසනාවන්
දෑල දෙගං ගම හරි වාසනාවන්
Mo/B/Thiththawalkiula Primary School
Kotabowa
Madagama
Bibile
SriLanka.
කවිය බලන්න
A New Night - Tanya Nathari De Silva - Sirimavo Bandaranaike Vidyalaya
A little child,
clinged on to his mother's hand,
sadly gazes at the horizon
watching the sunset
he whispers to his mother,
"Does the sunset mean the day
has come to an end?"
The mother smiles,
and whispers smoothly,
"No my chlid,
it means ...
a new night has begun."
Grade 10
Sirimavo Bandaranaike Vidyalaya
Colombo - 07
කවිය බලන්න
නාවුක සැමියාගේ ලියමන
සේද සළුවක දවටලා
පාට දේදුනු අමුණලා
ආදරේ තවරා එවන්නද
සීත හිම කදු පෙන්නලා
හීන් හඩකින් කොදුරලා
සුළං පොදකුත් තවරලා
ආදරේ මතුරා කියන්නද
ඇවිත් තුරුළට ලංවෙලා
වැඩමුරය මගෙ නිමවෙලා
ගෙදර එන දින බල බලා
රූපයක් අමුණා එවන්නද
වරායක ජැටියට වෙලා
කවිය බලන්න
සඳ එළිය
දඟකාර සුළං රැල්ලක්
සොලවමින් පොල් අතු ද
පියස්සත් සිදුරු කරමින්
ගෙට ඇවිත් සඳ එළිය
රටා මවමින් වරිච්චියේ
වකුටුවී ගෙබිම මත
කුසගින්නෙ නිදන පුතු
සනසවයි මොහොතකට
සඳ එළිය හා මිතුරුව
සිනාපාමින් පුංචි පුතු
ඉල්ලද්දී කිරි පැණි
ඉකිගසයි මගේ සිත
කවිය බලන්න
හිත
අනවර්ථ නාමයෙන් කවි පිටුවෙ ලියන්නී
විරහ කඳුළත් රහට ආදරෙන් පෙරන්නී
මරණවා නොකියාම නොමරාම මරන්ණී
සත්තමයි කියාපන් නුඹද කවි ලියන්නී
ඒදා වාගෙම වචන හිතට පෑහෙනවා
මෙදා කියලා මොකද මටම තේරෙනවා
නොදා නම ලිව්වාට නමට පේවෙනවා
හදා ගන්නව හිතපු හිතම පෑරෙනවා
කවිය බලන්න
සෙනෙහෙ සොඳුරුම මතක සැමරුම්..........
සෙනෙහෙ සොඳුරුම මතක සැමරුම්
රහසෙ පා කර කී නොකීදේ
ආදරේ මුදු පවනෙ මුසුකොට
ප්‍රේමයම යලි යලි විඳිමින්නෙමි..
සමුගන්න පෙර එක වතාවක් දකින්නට ඇතිනම්..
නෙතු ගැටෙන මායිමක නැතිමුත්
ඔබ නැතිව ඔබ දකින්නෙමි රිසිසේ
සෙනෙහේ සුව සඟවා ගතිමි ලය මඬලේ.
යලිත් දිනයක දකිනු රිසියෙන්
හැංඟුවා පෙම රස කවක් මැද
වරහනක් ඇතුලේ.
ලොවේ සැම නෙතු වලට රහසේ.
මහට පමනක් දකිනු රිසියෙන්
හැංගුවා නුඹ වරහනක් ඇතුලේ..
කවිය බලන්න
සිත්තරා ඔබයි මා අඳින
පැන්සලෙන් ඇඳුණු කටු සටහන මත
පින්සලෙන් ගෙන නෙක පැහැ උලමින
නිමවමින් එ මත කටුක දිවි සිත්තම
ඔබයි සිත්තරා මගේ හැඩරුව අඳින
අමාවක රෑ අඳුර මුස කරමින
එ මැද ඉසියුම් කණමැදිරි එළි දල්වන
ඒ එළිය ගෙන මා තුළ ඇවිදින
ඔබයි සිත්තරා අඳුරු අහුමුලු අඳින
වලා කඳුළෙන් චණ්ඩ හිරු වසමින
කඳුළු බිඳු මත ඉඳුදුන්න මවමින
කඳුළට සතුටක් එක් කොට අනමින
ඔබයි සිත්තරා මගේ හදවත අඳින.
කවිය බලන්න
මහනුවරට පමණක් දෙවැනි මෙසිරිලක
මහනුවරට පමණක් දෙවැනි මෙසිරිලක
මනරම් පෙරහැරක් හඟුරන්කෙත ඇසළ......
රජ දවසේ සෙංකඩගල මහනුවර අතීතේ
විමලධර්ම රජු රජකල සමයෙන් ඇරඹී
අවසන් රජු රාජසිංහ ශ්‍රී වික්රමත් පැතුව
රැකවරණය දුන්නා දියතිලක පුරවර
රාජ අණින් රාජසිංහ රජුගේ දෙවන මහා
ඇරඹෙන්නේ දියතිලකේ ඇසළ පෙරහැර
අද වඩමවන්නේ කරඞුව මැද නදින් හේවිසි
වීදිසරන්නේ ඇත්රජු ඇසළ පෙරහැරේ
පායාලා බිනර තරිඳු සිනාසිසී නිල් ආකාසේ
නහවද්දී දියතිලකය සඳවතුරෙන් රෑ සීතේ
සවන වැකෙන සුමිහිරි බෙර වාදන මැද්දේ
වීදිසරන්නේ පෙරහැර සඟරුවන්කෙත
කවිය බලන්න
Best Advise from the World
This journey is difficult
backbones are creaking
because of the sheer weight
but can not stop
forget any rest
don't curse
nobody forced you
nobody asked you
to take this load
on to your shoulders
you did it yourself
you did it willingly
because innerself was telling
that was it
that looked like the right thing
but much wiser now
you see the missed options
What is the use
of belated elightenment
you have to carry
the load to the bitter end
whatever your effort
don't expect
any appreciation
Nobody will ever
take notice of
What you have accomplished
let alone any thanks
If you have
aches and pain
take a Panadol
If you have a pain
in the heart
take a Cardipirin
that is to keep the
pump going
That is what everybody does
That is the best advise
the world can give....
March forward !
13-08-26
කවිය බලන්න
ඔබ කොතනක මේ මොහොතේ...........???
මම බලා සිටිමි.
මම අසා සිටිමි.
මට බොහෝ දේවල් පෙනේ.
මට බොහෝ දේවල් ඇසේ.
වරද
මට බොහෝ දේවල් දැනීමය.
දැනෙන දේ මම සිතූවෙමි.
හොඳම දේ යැයි සිතූ දේ කළෙමි.
කාලය ගෙවෙමින් තිබේ.
එහෙත්
වෙනස් වූ දෙයක් වෙද?
වෙනස් වූ අයෙක් වෙද?
මා වෙනස් වී ඇතිද?
අසමි මම මගෙන්.
තවමත් මම සිතට ඉඩදී නොවිදිමිද දුක්...?
නොදෙන්නද දුක්...?
ලැබුවේ කුමක්ද මෙතුවක්?
අවසානයේ මට සිතුනේ මෙයයි.
කලේ මොනවද කියා,ලද්දේ කිම්දැයි සිතා ,
නොකළ යුත්තේ කුමක්දැයි කියා
බලන්නට හෝ සිතා ලද සිතුවිල්ලම මදිද?
අලුතින් ම ජීවිතේ අරඹන්ට
නොවී වෙනස් පරාද නොවී නොදී දුකක්, නොවි ද දුකක්
මම සිනාසෙමි.
නොලද දෙයින් ලද එකම දෙය
ලබා ගැන්මට සියලු දෙය.
සිනාසෙමු අපි සතුටින්
පමා වෙවී හිඳිනට නැත වේලා.........
28-09-2026
Phto Credit: Apostolos Vamvouras
කවිය බලන්න
දෙගං යාව ගඟ ගලාය,
යන මග කඳු හෙල් තලාය
තැන තැන බාදක හෙලාය
එනමුදු අසිරිය දුලාය
දෙගං යාව ගඟ ගලාය,
දැකුම් සපිරි සිතින් යුතුව
අරන් පෙරත් පුරුදු හුරුව
පායන තුරු පැතුම් තරුව
ගඟ දිගටම ඇදෙයි ඔරුව,
නොගෙන සිතට තරහ මරහ
වැරදුන තැන හදල පරහ
හස කැල්මෙන් මුවග සරහ
ගත් සිත නොහඳුනයි විරහ,
දුර නොපෙනෙයි පියවි ඇසින්
වෙහෙස නිවෙයි දොඩන බසින්
විඳ දුක සැප නෙල්ලි රසින්
දුර සරුවෝ වෙසෙති තොසින්,
කවිය බලන්න
ස්වභාවික ප්‍රේමය
සුසුනිඳු සේල දවටා ගංඟා කුමරී
පෙණ පිඬු නඟන සිරි පෙන්වයි එහි තැවරී
නෙතඟට සිසිල් සුව රසඳුන ගෙන ඉතිරී
දෝතින් බදා ගන්නට නොකැකිද සොඳුරී ....?
සිරිකල පිනට ඔබ වැනි ගං කොමළ ළියෝ
ගෙතුවද මෙවන් රිදියෙන් කල සේද දියෝ
දියයට මැණික් සඟවාගෙන කිමද ගියෝ
ඔබ හා වෙලෙන්නට නොහැකිද සුකොමළියෝ
විටෙදි සැඩය තව විටෙකදි නිසල වැනී
දුටුවම මගේ හදවත නම් නතර උනී
ප්‍රේමාදරය ඔබ හා මා විතර දනී
වින්දන සුවය ගත හා සිත අතර විනී
ගමටම සිරිය දී හැළෙනා මනහාරී
දුටු නෙත පිනයි කඩිසර ඇය හැඩකාරී
සුදිළෙන ගමන වටපිට සරුකර කාරී
යන්නට ඇතොත් මතුදින දැරණියගල තේරී
කවිය බලන්න
දෙදිවැත්තෝ...!
එක තැනකදි යමක් කියා පසුව නොකියු බව කියනා...
සැක ඇති නොවනා ගාණට, මවා කතන්දර වියනා...
නෙක නෙක ආරවුල් වලට එලෙසින් මුල් ගල් තියනා...
බක තපසුන් ගැන දෙදිවැති, සිතෙනා දේ අද ලියනා...
ගෙයින් ගෙයට සුවදුක් බැලුමටසේ ගොස් කා, දිය නා...
පයින් ගමන කිසි වෙහෙසක් නැති ගාණට අඩි තියනා...
නයින් හුඹස් වලින් රැගෙන තව තැනකදි ඇර පියනා...
එයින් වැනසුවේ ඉස්සර සිටි ඈයොලු, දැන් කියනා...
මෙදා ලෝකෙ දියුණු නිසා කෙටවීමට මං තියෙනා...
හදා පදත් පතුරන්නේ ඇත්ත ලෙසින්මයි කියෙනා...
යොදා රූප මවා තාක්ෂණෙ පිහිටෙන් දෙය වියෙනා...
බෙදා හරින කලදි ලොවට සිතුවද චරිතද මියෙනා...
කෙතරම් කෙටිදෝ අපෙ දිවි ගැටුම් මදිද ලොව තියෙනා...
පතුරම් හින්දා දිනකකට කීදෙනකුන්දෝ මියෙනා...
ඉ'තරම් දහමක් ඇති රටෙ, ඇසිලත් බන ඒ කියෙනා...
නොතරම් වැඩකිය ඉන්නට වීමත් අපහට බියෙනා...
කවිය බලන්න
දිග්ගල ලන්ද
දිග්ගල ලන්ද යට අම්මා නිදන තැන
අරලිය ගහක කුසුමන් ඇත සුවඳ දෙන
ඒ මල් සුවඳ මට දැනෙනා සෑම තැන
අම්මා මතක් වෙයි නිතැතින් සුවඳ දෙන
ගල්ලැහ පන් නෙලා වේලා තලා දමා
සායම් දමා නියඟින් එහෙමෙහෙට නමා
රටා පැඳුරු මැව් දෙව්ලිය නුඹම තමා
කුටුම්භයම ඉන් හැඩ කළෙ මෙතින් අමා
බදු වත්තේ රබර් ගස් වට දුර මැනලා
හේහත් වනා නුඹ පෙනෙනව මට මැවිලා
බාල්දි අතින් එල්ලන් උරහිස නවලා
කිරි රොටි තැනූ නුඹෙ අත මැලියම් පිරිලා
පිඟන් පහක පුරවා රතු හාලේ බත
මුට්ටියෙ පතුල හූරන හඩ නුඹගෙ අත
ඉර හැරි හවහ නියතෙකි තෙත් කරන නෙත
දුකම එයත් යළි අපටම බෙදන හිත
කැළෑ කොළ ඇන්න ශනිඳා පොළට යන
ගමන නොම නතර අව්වැහි යටද හෙන
පන් මල්ලේ හවහ බැතියෙන් සිනාසෙන
බරකත් කොපි පොත් ය නවමුව සුවඳ ගෙන
අප්පොච්චා වැටුනු කිතුලේ ගල ළඟට
දොහකට වරක් නුඹ දිව යන්නේ කුමට
පොඩිවුන් දොහේ පැනයකි නැඟි අප හිතට
හඟිමි එතන වෙන්නැති සංහිඳ නුඹට
වැහි බීරුම් අඳුර මැද කලුවර පිරුන
දිනයක සිරිත් ලෙද නුඹ ගස් කිරි දොවන
තනිකුර සිරස දැරු රජෙකුගෙ මුව රැඳුන
විතක් කිම නොදිටි ගල්තැලුමන් හඩන
උර මත තිබූ හිනිමඟ යළි නොදා බිම
ඔසවා හති ලිහන දිග්ගල ලන්දෙ ඉම
තැනූ කදු උනුන් පරයා නැගෙන යම
මිනින්දෝරු අඩි වැදුනයි බෙදා ලැම
කවිය බලන්න
වැරදි වැද්දාද ?
කවි සින්දු නාටක කතන්දර ලියැවිලා ඇති දහස් ගාණට
කොයිකෙදිත් මම දුෂ්ඨයාමයි වරදමයි පැටවුණේ මාහට
නිමාවක් නැති උඩගුකමටයි පැටලුනේ මම එක්ක ගේමට
පණපිටින් නොයවාවි නුඹලත් ජාති දැම්මොත් ඇවිත් සාලෙට
බුහුටි කම පෙන්වන්න මුරුගයො මැරුවෙ විද විද ඔහු විනෝදෙට
කුමරවරු යැයි යුතුද ඉඩ හල වනසන්න රට හිතු මනාපෙට
රැකිය යුතු නීතියත් යුක්තිය නිසාවෙන් රජු මේ කැලෑවට
සටන් වැදුනා මිසක දිවුරමි නොවේ ලොල්වී ගැහැණු රූපෙට
නොසතුටක සිටි මුහුණ දිස්වුණෙ සඳක් මෙනි වැසි කළු වලාවට
නොදැන හරි අත කඩුව දුන්නෙත් රැගෙන බියෙනුයි ගැහෙන දෑතට
අතරමං කළෙ නැහැ කුරිරු ලෙස කවුරු කීවත් බොරු කතාවට
ගොසින් ඇරලූවෙ මමයි ඇය තක්සලා විදුබිම පෙනෙන මානෙට
කවිය බලන්න
අපිට අපිවත් හිමි නැති
හැලෙන අන්තිම පතත්
සවි යෙන් ඇල්ලිලා තිබෙනා විට
කෙතෙක් යන්නට ඕන වූවත්
යන්න විදියක් නැති විට
මතක අමතක මතක පමණක්
සිහිනයක සරනා විට
තවත් කුමකට පමා වෙනවද
මටත් මා හිමි නැති විට
පෑරෙනා සිතුවිල්ල විතරයි
වදනකට ගන්නට බැරි
සියලු දුක් ගිනි වේදනාවන්
කදුලකට වුව බර වැඩි
වාරු නැති අත් පා කියන්නෙම
යන්න නියමිත දින හරි
ඇවිත් යන මේ සසර ගමනේ
අපිට අපිවත් හිමි නැති
Photo Credit: Misael Chavez
කවිය බලන්න
මරණයට නියම වූ ගවයෙකුගේ මැසිවිල්ලක්
සතුටින් කෙළිදෙලෙන් මව හා ගත කෙරුවා
මතකයි තුරුණු විය වෙත මා පය තැබුවා
ඉන් පසු අපල කාලය මා හට ලැබුවා
දිවියෙහි කටුක බව පැහැදිළි ලෙස දුටුවා
නාසය මගේ විදිමින් ඇයි තුටු වූවේ
දාලා එයින් ලණුවක් තව රිදවූවේ
ලාඩම් ගසන විට නොහඬා බැරි වූවේ
මා කළ පවක් පල දුන්නද සිහිවූවේ
රත් වූ යකඩ කූරක් ගෙන නොමැකෙන්න
ඇන්දා පිටේ ඉරි බිව් කිරි සිහිවෙන්න
අම්මා හිටියෙ නැත මගෙ හිත සනසන්න
වින්දා අපායක දෙන වද ඇති වෙන්න
බඳිමින් ගැලට හිර කරමින් හැමදාම
කෙවිටෙන් තලා වැඩ ගත්තා නොමරාම
මනසින් උසස් යැයි කියනා මිනිසාම
මෙතරම් දරුණු ඇයි සිතනෙමි මම තාම
ගත දිරි බිඳී මා අසරණ වුණු කලට
මොන හිතකින්ද දුන්නේ මස් කඩයකට
කළ ගුණ නොදත් මිනිසුනි මේ කළ පවට
යන්නට වේවි මතු බවයෙදි නරකයට
සිටියේ මෙතෙක් කල් මිනිසත් කමක් පතා
දැනුණේ දැනුයි ඒ පැතුමෙන් පලක් නැතා
තිරිසන් කම හොඳයි කාටත් සෙතක් වෙතා
අවසන් ගමන් යමි හෙට දින දුකින් ඉතා
කවිය බලන්න
තනි තරුවක්.
තනි තරුවක්
ඔරු කඳට පිටදී
මා හිදිනා විට
ගඟ මැදින් අහසට කෙලින්
තනි තරුවක්
මදෙස බලා සිටියි.
ගඟ ගලා යයි
ආපසු නොහැරී,
එහෙත් එහි රැළි අතර
අතීතයේ සෙවණැලි
තවමත් මා සමඟ යයි.
මේ ඔරුවේම හිඳ
අපි දෙදෙනා
අනාගතය ගැන කතා කළෙමු.
ගඟ ඒ සියල්ල
දුර ඈතකට ගෙන ගොස් ඇත.
කඳු මුදුන් අඳුරු වී,
ගස්වල සෙවණැලි
දිය මත දිගු වෙද්දී,
ඔරුව පමණක්
නිහඬව ඉදිරියට යයි.
මට හදිසියේ සිතෙයි
ජීවිතයත්
මේ ඔරුව වගේ නොවේද?
අපි ගඟ තරණය කරන බව
සිතූ මුත්
සැබැවින්ම
ගඟ අපව
අප නොදන්නා ඉවුරකට
ගෙන යමින් සිටී.
ඈත අහසේ
තනි තරුව තවමත් දැල්වෙයි.
ඒ
මට මඟ පෙන්වන්නටද,
නැතහොත්
අහිමි වූවකු ගේ
අවසන් මතකය ලෙසද
මම නොදනිමි.
ඔරු කඳට පිටදී
ඇස් වසාගනිමි.
ගඟ ගලා යයි.
තරුව දැල්වෙයි.
අප අතර
කියන්නට ඉතිරි වූ
සියල්ලම
ගං දියේ
සෙමින් දියවෙයි
Photo Credit: Alexander Andrews
කවිය බලන්න
ලෝක ළමා හා වැඩිහිටි දිනයට
ඒ මමයි. CHILDRENS DAY.
පාට පාට ඇදුම් ඇඳගත්තු හෝඩි
පංතිය ක් තිබුණා අපිට. ළමා කාලය කුත්
තිබුණා. දිනයක් නම් තිබුනෙ නෑ.
**********************************-****
ජංගියක් ඇඳ ගත්තු.
පුංචි කොලුවෙක් ඇවිත්.
මේ කාලෙ කවුරුවත්
අඳින්නෙත් නෑ එව්වා.
හෝඩියේ පංතියට ..
සමාවෙනු මැනවි මට.
දැන් ඒක එක වසර ...
කිව්වෙ පෙර පුරුද්දට.
***************************
පුංව් නිල් ඉරි තියෙන..
ඉස්කූල් ටයි පටිය.
සුදු කමීසයෙන් ..නිල්
පාට කලිසම ක් ඇඳි..
කළු මේස් සපත්තුව..
පැළඳ ගෙන එහි සිටිය
මා පුතුන් දෙස බලයි ..
ඒක රැවුමක් නෙවෙයි.
***************************
ගල් ලෑල්ලකුයි එක..
අච්චු පොතකුයි අරන්.
සුදු මැකුණු කමිසයෙන්
දෙපාවල නෑ වහන්.
වාඩිවෙල පෙර සිටිය ..
පුචි බංකුව සොයයි .
මා දෙසත් ඌ බලයි
පුතු වෙතත් ඇස් යොමයි.
මේ කව්ද ...??? අහන්නා සේ
මවෙත යලි හැරෙයි.
*********************************
විදුලි කෙටුවා වගේ..
රූපය ක් සිත ඇඳුණි.
වසර තිස් පහක පෙර
මතකයට මා යැවුණි.
පුංචි ඉස්කෝලයක..
පළමුවෙනි දවස ළඟ.
නතර විය මහලු සිත.
ඒ මමයි ඒ මමයි.
*************************--
මහා දුර ඇවිල්ලා ..
වෙහෙස ඇත මගේ ගත.
අර පුංචි එකාගේ..
නිදහස් ව තිබේ වත.
අඳුරන්න බැරි තරම්..
වෙනස් කම් ගොඩක් යට.
මතක් කළ නමුත් මම.
මටම මම මතක නැත.
***********************************
වෛද්‍ය නිලධාරී .
ප්‍රාතමික සත්කාර ඒකකය
තල්දෙන. බදුල්ල.
බදුල්ල .
2026.09.28
කවිය බලන්න
පියවරූ...
සිතා ගන්නට බැරිම ප්‍රේමයක්
විරාගික කලාළයක ඇතිරූ....
නිවන් නොදැකම නිවන දුටුවා
දරු සෙනේ ලඟ පියවරූ
අභිනික්මන් කරනු බැරි බව කියා
බුදු ගෙයි ලඟදි ආපසු හැරුනූ....
පැලුණ දෙපා අතරෙත් තව පූදනා
මා වී ඇත හෙටටත් පැසුනූ....
පපු මැද තියා ගැබ්බර ස්නේහය
සිනා කඳුළක රහසෙම ලියවූ...
ප්‍රේමයට අරුතක් ගෙනා ප්‍රේමයක්
වේනම්.....
නුඹයි ඒ...බුදුන් බුදු නොවුනූ...
කවිය බලන්න
සන්සිත් නිවේවා......
උඩ මළුවේ බෝ සිහිලේ පැතු පැතුමේ
අලුත් සහල් බතකින් සැදි කිරි සිහිනේ
සමනල් තටු සෙමෙර සලපු ගැබ යහනේ
කවඩි සිනා ඇයි කලියෙන් මැකී ගියේ
රැකුමට පුතුන් ලෙහෙනිය සේ දැරූ වීරි
පුතුන් නිසා මව් හදවත් ඇවිලි ගිනී
සියක් පුතුන් වෙනුවෙන් හැඬූ ගාන්ධාරී
සන්සිත් නිවේවා පැතු බෝධියකින් සැනැහී
ඉ
11/9/26
කවිය බලන්න
අද පිරි නෑ වැහි ගුලියක් හිරු
වෑස්සෙමින් දිය බිඳු වැල්
ගැබ හිද ඉහිරෙනා
හැඩක් පෑහෙන්නට වෙර දරනා
මිහිලිය දඟලනා
විඩක් රූස්ස ගස් අතුරු නැතිව
තුරුපත් සිඳලනා
සදක් කාංසියේ හිත අතුරන
හිරු තනියට ලියා කවක් ගැබෙ
ඉහළන මේකුළුවක
භයංකාර වස් කවියක් දඟ දෙන හැටි
මේ මොහොතෙම
උවම් උනා දිය සුළියක්
කුළල් කකා එකිනෙක බිඳු
වෑස්සෙනා මඳ සුළඟක්
පළල් උනා වස්සානේ
සරත් දොහේ ලද උදයක්
කළුවර මිහි නද කිචි බිචි
අද පිරි නෑ වැහි ගුලියක් හිරු
කවිය බලන්න
එමල නුඹම විය
අවන්හලක කලබල නගරේ
ඔබ දුන් මදහස සිත බැදුණේ
අරුමැසි සිහිනෙක ප්‍රිය දසුනක් වී
දැක ගන්නට හැකි දෝ මිහිරේ
තුන් සිත සනහන මනකල් ප්‍රේමය
නුහුරුයි මට තවමත් ළදුනේ
නුඹ අවුදින් ඒ හද පෙම් සිතුවම
සරසන්නද ඇරයුම් කෙරුවේ
පිපී දිලෙන තුරු වැල් ගොමුවේ
විසිතුරු නෙක නෙක මල් සුදිලේ
මහද සොරාගත් එමල නුඹම විය
නුඹ වෙත සිත කිමදෝ බැදුණේ
කවිය බලන්න
ලැජ්ජ-බය (හිරි-ඔත්තප්ප)
පුගුලෙකු වේද යහපත්
විය යුතුයි ගුණවත්
වීමට ගුණවත්
වේද පදනම කුමක්
වේය පදනම
ලැජ්ජා බය වරදට
වලකින්න වරදින්
අන් අයට සිදුවන නිතැතින්
ගුණයකි තිබිය යුතු
ලැජ්ජාව වරදට
හැසිරෙන්න යහපත්
සමාජය පිළිගත්
අනුන් හට යහපත්
නීතියට අනුගත
වෙන්න නම් නිතැතින්
ඔත්තප්ප සිතුවිළි
විය යුතුයි සිහියෙන්
බැහැරවන ලැජ්ජ බය
මූලය වේ නිබඳ
ඇති වෙන්න දුෂණ
නැතිවෙන්න සාමය
සාධාරණයෙන් වියැකි
හේතු වේ ඇතිවෙන්න
අහිතවත් සමාජය
Photo Credit: Sage Friedman
කවිය බලන්න
සමනල සඳෙස -40
දත යුතු කරුණු ගොමුව - 30
කඳුවැටිය දකුව
598. ලැබ ගෙන අසිරි දෙව් සුරිඳුන් සුමන සමන්
නැබ නිල පතට පිවිස ව නුඹ සුහද සිතින්
ගැබ තුළ සරා ගගනේ සිට පියවි නෙතින්
බබ-ලන අයුරු දකු බුලුතොට කඳු ද ඉතින්
599. පෙර රජවරුන් ලක එක්සත් කළ අයුරින්
වෙර - දිරි වඩවමින් එඩි පා සිටිනයුරින්
මෙර ගිරි ලෙසින් උස් හිස් ඇති එකමයුරින්
තෙර බිම් වැටිය බල බුලු කඳු පෙළ ම ඇසින්
600. හිස් ඔසවමින් උඩු ගුවනට සුළං රළේ
විස්මිත ලෙසින් වනමින් උහු ළපටි දලේ
දිස් වන විට දසුන් දහවල නෙතට කලේ
නිස්කරු තරු මදින රැය ගැන කියමු මලේ
601. ඇද-බැඳ සිසිල සිසිලන දිය බිඳු සීරා
මැද මඳ සුළං රළ අතරට විද පීරා
පැද-පැද සිරස පාලා මදහස නූරා
වැද-වැද ගලයි පොළොව ද සිඹ-සිඹ රූරා
602. මිහි-මත රැඳි දියර උකහා ගෙන සංඟා
විහි-දත සුසැදි ජල බිඳු ලෙස දොළ-ගංඟා
සිහිලස වපුල වන පෙත් අතරින් රිංඟා
මිහිලිය තෙත් කරයි නිරතුරු ව ම හඬඟා
603. පසුබට නොවී නුඹ තව-තව දේ දන්න
දසුනට ගොදුරු වන අයුරින් පවසන්න
අසු වන මානයට නෙත් සර විහිදන්න
රසුදැල සොලවමින් කවි කර සුගයන්න
604. උඩ සිට සිරිය නැරඹුම සුදුසු ම වේ ය
බිම සිට එ අසිරිමත විපතට තුඩු දේ ය
වන ගහණයට මැදිවුණු කඳු පෙළ මේ ය
පින ඇති ඇසට “රසඳුනකි”ය රස දේ ය!
(මතු සම්බන්ධයි.)
2026.10.01
Photo Credit: MITESH SAVANI
කවිය බලන්න
අලුත් කෑම කඩේ
වෙරළු හිඹටු මාදං පිරි පඳුරෙ මිනිස්සු
ටොෆි චොක්ලට් පැණියට දැන් කැමති මිනිස්සු
කොරලි මාලු හාල් මැස්සො අතැර මිනිස්සු
රස කර කර තලු මැරුවලු මසට මිනිස්සු
බොරළු නොපා තාර පාරෙ දුවන මිනිස්සු
මඤ්ඤොක්කා අල බතලට නොඑන මිනිස්සු
තලප පිට්ටු රතු හාලේ බතට පරිප්පු
අතැර කොත්තු රයිස් කන්නෙ කෘතිම මිනිස්සු
කවිය බලන්න
අනාගත පරපුර උදෙසා වන අපගේ. වගකීම
අපට ලැබුණු මේ පෘථිවිය
අපේ උරුමයක් යැයි සිතා
අප කැමති ලෙස වැය කළ හැකි
වස්තුවක් නොවේ...
එය හෙට උපදින දරුවන්
අපේ අත්වල තැබූ
නොලියූ පොරොන්දුවකි.
අද අප කපන ගසක
සෙවණැල්ලක් පමණක් නොව,
හෙට දරුවෙකුගේ හුස්මක්
නිහඬව බිඳ වැටෙයි.
අද අප දූෂණය කරන ගංගාවක
මිය යන්නේ ජලය පමණක් නොව,
තවමත් නොඇසුණු
අනාගතයක ගීයකි.
ඒ නිසා
අපේ පියසටහන් මත
අඳුරක් නොව ආලෝකයක් තබමු;
අපෙන් පසු එන පරපුරට
ලෝකයක් නොව—
ජීවත් විය හැකි ලෝකයක් ඉතිරි කරමු.
මන්ද,
අනාගතය අපට අයිති නැත;
එහෙත් එහි දොරටුවේ යතුර
අදත් අපේ අතේය
කවිය බලන්න
ආදරයේ පාපැදි ගමන.....!!!!!
ඉන්දියාවේ උණුසුම් මාවතකින්,
ස්වීඩනයේ හිම සීතල දේශයට,
එක් හදවතක් තවත් හදවතක් සොයා
පාපැදියක නැඟී ගමන් කළා
අපුරු මිනිසෙක්.......
වර්ෂය — 1977.
ලෝකය ඔහුට කිව්වා,
“ඒ ගමන අසීරුයි...”
නමුත් ආදරය කිව්වා,
“ඇය එතැනයි... ඔබ යායුතුයි!"
රෝද දෙකක්,
කුඩා බෑගයක්,
කැඩුනු පාවහන් යුගලයක්
හදවත පුරා එකම සිහිනයක්.......
දුරින් සිටි ඇයව
තම දෑසින් දැකීම...
කාන්තාර පසු කළා,
කඳු තරණය කළා,
වැසි මැදින් ගියා,
සීතල සුළඟට මුහුණ දුන්නා,
හිම කුනාටු මැදින්
එහෙත් ඔහුගේ ගමන නතර කළේ නැත.
මාවත දිගු වුණාට,
ආදරය ඊටත් දිගු විය.
රටවල් වෙනස් වුණාට,
භාෂා වෙනස් වුණාට,
ඔහුගේ හදවතේ තිබූ
ඇයගේ නම වෙනස් වූයේ නැත.
ඉන්දියාවේ සිට ස්වීඩනය දක්වා,
දුර මැනුණේ කිලෝමීටරවලින් නොව.......
ආදරයේ විශ්වාසයෙන්.
අවසානයේ,
ඈත හිම දේශයේ
ඔහු ඇයව දුටු මොහොතේ,
වසරක් නොව,
මුළු ලෝකයක්ම
එක මොහොතකට නතර වූවා සේ විය...
පාපැදියේ රෝද නතර වුණා,
නමුත් ඔවුන්ගේ ආදරය
එතැනින් පටන් ගත්තා.
1977 දී,
ඉන්දියාවෙන් ස්වීඩනයට
පාපැදියකින් ගිය ඒ මිනිසා
සොයා ගියේ කාන්තාවක් පමණක් නොවේ—
ඔහු සොයා ගියේ
තම ජීවිතයේ ආදරයයි.
අදත් ඒ ගමන
මාවතක් ලෙස නොව,
ආදරය දුරට වඩා බලවත් බව
ලෝකයට කියන කතාවක් ලෙස
ජීවත් වෙයි.
(සත්‍ය කතාවක් ඇසුරෙන්)
කවිය බලන්න
Visiting my second home
Counting the days now getting to hours
Mounting plane coming closer my dears
To see those faces I left with tears
Hoping no war zone will inturrupt no fears!
Left the trees in blossoming groom
And scents of roses spreading the room
Leaves will be changing the dresses soon
From green to shades of vivid chromes!
Walking across the parks in winter clothes
Holding hubby with walker, those days no more
Counting maples, firs, I will be alone
Limping on oak leaves wind has blown!
Getting on tram to see friends so gay,
Admiring the flora, getting naked by day
Ageing has slowed down the limbs this day
Yet thoughts running fast to share fun any day!
UK the Empire on " Sun never Sets"
My second home with loved ones for decades
Visiting the land with full of respect
My pleasure even at this limping stage!
කවිය බලන්න
ආවර්ජනා....!
රැයක සුපිපෙන මලක සුවඳට බඹර පහසක් අහිමි නම්....
දුරක ගිය නුඹ ආයේ ආවත් රකිනු කෙලෙසද හාදකම්...!
අඳුර විනිවිද දකිනු රිසියෙනි සරසවියෙ බිම්කඩ උඩින්..
මහවැලියෙ ගං දියේ කිමිදී
සිහිනයක දැවටී හොරෙන්...!
හන්තාන කඳු වළලු සිප එන වලාකුළකට දුක කියන්...
නුවර තේවා හඩින් මිලිනව වැව් දියේ දියරැළි සිහින්...!
කඳුල යලි නෙත් පියන් හිරකර ඉකිබිඳී ප්‍රේමය දරන්..
හදේ ගැඹුරින් පිදූ සෙනෙහස තිබේ තවමත් නුඹ නමින්...!
2026 .09.29
කවිය බලන්න
සෙවනැලි
සඳ මිය ගිය
වෙල්වට් අහස යට
පාළුවම තවරාගෙන,
මිය ගිය පිය සටහන් අතර
තවමත් ලියමි මා
වියෝ කව් ගී ...
තාරකාවන්ගේ නෙත් අග
රැඳුණු කඳුළු කැට දැක
අතීතයේ ගිලුණු සෙවනැලි
මුමුණයි හිත අද්දර ...
නුඹේ මතකයේ මඳනල
පිරිමදින මුත් මහද,
සැඟව ඇත ඒ සුවඳ යට
ඇණුනු විසකටුවල රිදුම්...
බිඳුණු ප්‍රේමයේ වීදුරු කැබලි මත
තාමත් පා තබයි ම'සිත,
රක්ත වර්ණ රිදුම් අතරින්
නුඹේ නම
යළි යළිත් කොඳුරමින්...
අලව්ව.
කවිය බලන්න
කාලය ඔහේ එක දිගටම ගලාවී!
ලීලය නැතුව කලබලයට ඇදේවී
තාලය කුමටදැයි පැන පැන දුවාවී
ආලය කරන දේවල් බිඳ වැටේවී
කාලය ඔහේ එක දිගටම ගලාවී
සිත්වල ඇඳුණු සිතුවම් තව තියේවී
ඔත් තැන තව ටිකක් කල් ඒ රූ රැඳේවී
ගත් මග අනුව ඉන් එකිනෙක මැකේවී
අත් හැරුමට නොහැකි කිසිවක් නොවේවී
බිඳ බිඳ එකතු කළ මතකය ලියන්නේ
කුමටද මතක පොත් පුරවා තියන්නේ
කවුරුද පරණ පොත් කියවා බලන්නේ
පහනද නිවුණු පසු අඳුරයි රැඳෙන්නේ
සැණයක් කල්පයක් විදියට දැනෙන කොට
දින සති මාස වී එක දිග ඇදෙන කොට
තණ අග පිණි බිඳක් වන් ජීවිතයකට
ඇණයක් කුමට බිතු මත දින දසුනකට
2026 සැප්තැම්බර් මස 11දින
කැලිෆෝනියාහී දීය.
කවිය බලන්න
කාල සංක්‍රමණ
පාලමකි එය
පොත් බර කර මතට දී
අපි එගොඩ මෙගොඩ වූ
අතර මැද මඳක් නතරව
රළ මත දඟ පෑ
මින් කැළ ගණනය කෙරූ
පාලමකි එය
අතිනත පටලවා
අපි එගොඩ මෙගොඩ වූ
අතර මැද මඳක් නතරව
සිසි කැන් රළ හා බද්ධව
නැළවෙන'යුරු දුටු...
පාලමකි එය
අත් වාරුවට බර දී
අපි එගොඩ මෙගොඩ වන
අතර මැද මඳක් නතරව
ඉම කරා ඇදෙන
ඔරුවක් දෙස බලා සිටින.
Photo Credit:Isaac Mehegan
කවිය බලන්න
මම මටම
තදින් හිත රිදෙන මුත් දෙනෙත් උල්පත් වසා
මැදින් පැලි හදවතේ පළුදු බැඳ ඇණ ගසා
තුටින් හරි සිටින බැව් පවසමින් බස් මුසා
දුකින් වුව සිනාසෙමි වැටෙනු රිසි නැති නිසා
කෙන්ද කන්දක් ලෙසට කර දමා මග හරස්
නින්ද පලවා හැරිය අය සමග බෝ දවස්
කන්ද නැග ගත් පසුව මැද වදන් රළු පරොස්
මන්ද මට කියනවද රැකිය යුතු වෘත තපස්
කප්පරක් කියුව මුත් නොඇසෙන්න බෝ වැරදි
කල්පයක් ගෙන ගෙතුව කතා තැන තැන පැතිරි
අල්පයක් වත් මසිත නොරැඳි පහවෙන පරිදි
තත්පරෙත් මම හිඳිමි නොයමි මා මට පැරදි
කවිය බලන්න
නොකී කතාවක...........
නොකී කතාවක
අගුළු වැටුණු තැන
තද කර ගත්තෙමි මතකයේ මුල...
පාළු හැන්දෑවක
තෙමුණු පියගැටපෙළ
අසල
සීතලට වහලක් නොවී
ඔබේ හුස්ම තිවුණි...
ඉවුරු දෙකකට
එකම පාලම
අයිති නැති තැන -
ඔබ රුවල් නැඟූ නෞකාවක
මම හඹලක් නැති ඔරුවක...
අඳුර ගැටගහන රැයක
කම්මුලට වට වැහි බිඳක්
නුඹේ තොල්පටක උණුහුමද?
සරනේරු අඳෝනාවෙන්
උළුවස්ස පහුකර යන විට,
ආයෙත් වහින්නට එන අහසට
මම කීවෙමි...
"දැන් ඉතින් වහිනවා නම්
වහින්න..."
Photo Credit: Milada Vigerova
කවිය බලන්න
ඉතින් අමතක කරනු කෙලෙසද…..
වදුලෙ හැම තැන සුළඟෙ සැලි සැලි දිළෙන කහ පැහැ රණවරා මල්
මතක අරගෙන හිතට එන හැටි බලා ඉන්නද තවත් බෝ කල්
නැගෙන දුහුවිලි දෙනෙත පාරයි හිරුගෙ ගිනියම් සැරට දාවල්
ඇසෙන නෑසෙන දුරක සිටියත් කියනු නොහැකිය හිතෙන දේවල්
සිතක ලියැවුණ කෙටිම කවියක අරුත සැඟවුණ දිගම පද වැල්
වැටෙන වැස්සට තනුව අමුණා සවන අද්දර රැඳෙයි හැමකල්
රැයෙහි සීතල අහසෙ තනියට හිඳියි තැන තැන පුංචි තරු මල්
නැවත හමුවන දවස ළංවෙයි හැඟුම් බිහිකර හදක මිහිලොල්
රිදෙන අතැඟිලි ලියන කවිපද මියුරු ස්වරයෙන් ගයමි හැමකල්
නමුදු සිත ළඟ සරන සුසුමකි නිවී යයි දුර අහසෙ තරුවැල්
නොමැත කිසිවෙකු අරුත වැටහුණු නිහඬ හැඬුමක නෙත'ග ඉඳුනිල්
ගමන දුර බව දනිමි හොඳහැටි නමුදු නොදනිමි ඇතිද කඳුළැල්
ගතින් එන්නට නොහැකි වූවත් සිතින් අත්තටු විදා එනකල්
මමත් ඉන්නම් මඟ බලාගෙන පුබුදුවන්නට මුවේ හසරැල්
රැයක් ගතවී රැයක් එනතුරු සුවඳ විහිදා පිපෙයි කහ මල්
ඉතින් අමතක කරනු කෙලෙසද ගිමන් නිවු හදවතේ සිහිලැල්
කවිය බලන්න
දූත සුළඟ
සමන් මලේ සුසිනිදු
පෙරා උදෙන් නළමුදු
මගේ සුසුම් මුසු මදු
සිඹින් ඇගේ වත සුදු
පැතූ ලෙසේ බිතු සිතු
දරා හිදිම් මතු මතු
කියා හදේ රැදි තතු
සලා හමන් පිනි මුතු
කැලෑ මලේ මුවරද
පෙරා ගෙනා සුසුවඳ
සිහිල් සරින් විනිවිඳ
කරන් ලවන් මනනද
ගමන් ලතා බලමින
බඳේ වැදී නැළැවෙන
නැවුම් සුළං කිතියෙන
බලන් තොසින් විසිරෙන
සවන් පියන් පොබයන
කොවුල් ගැයුම් පරයන
නදින් ඇගේ මිමිනෙන
සරින් හමන් නිතියෙන
සරා භවේ හැම හැම
දිනූ ලෙසේ අප පෙම
නුරා රසේ නොම නිම
හමා ඇදේ පෙරටම
(සසපුලුත ගී විරිත)
කවිය බලන්න
විජායි නුඹට ලියමි - නුවන්ති අමායා ලක්ෂාණි
රතු වෙරළ කපු කටින කොට මං
නුහුරු හුළඟක් තදින් හැමුවා
කපු හුයත් පැටලිලා හුලඟට ඈත
දියඹට නැවක් ඇදුණා
සංසාර පාරමී පුරලද ඒ රුවට
මගෙ හිතම බැදුණා
කපු හුයට වඩා වැඩියෙන් ඒ
හුළඟ මට තදින් දැනුනා
පසු කරන් මං රන් පුලින තල
රිදී සළු පිළි සුවඳ බැලුවා
කපු හුයට හුරුවෙච්චි අත් දෙක
මුතු මාල මුදු පහස හෙව්වා
කරවිලත් මට තිත්ත වෙනකොට
මැඳුරේ දොරගුළු එදා වැහුවා
තුරුළු කරගෙන පොඩි එවුන්
මං පස්සෙ කාලෙක කැලේ වැදුණා
අන්ධ කාරෙට නුහුරු හිංදම
වනන්තරෙ මගෙ කදුලු වැටුණා
වරිගෙ පාවා දුන්නු පාපෙට
එදා උන්ගෙන් හුස්ම යැද්දා
නැවක් ආයෙත් මුහුදු හුළඟට
එද්දී මං හරවලා යැව්වා
උඹට හැකි නම් ගිහින් බලපං
පොඩි එවුන් නෑ වැරදි කරලා
කවිය බලන්න
*අවිනිශ්චිත නිමේෂයක්*
අභියෝගයට ලක් කර තිබෙන
ගීතයේ නිර්මාණ අයිතිය පිලිබදව
විනිශ්චය ලබා දීමට ප්‍රථමයෙන්
මටද කියන්නට කතාවක් ඇත
ප්‍රසංගයකට පසුව රෑ මැදියමද පසු වී
රිය කවුළුවෙන් තරු රටාවක් දුටු සැනින්
සිතට ගලා ආ ශෝකාත්මක රිද්මයක්
දුරකතනයේ වහා පටිගත කලෙමි
මද්දහනද පසු වී අවදි වුන මා
එම රිද්මයට ගැලපෙන විරහ වදන්
දැඩි ස්නේහයෙන් සරලව ලීවෙමි
තෙමසක් පුරා ගීතයට පණ පෙව්වෙමි
කිසියම් සොරකමක වංචාවක
පාප සිතිවිල්ලක් සිතට ආ සැනින්
ගී උල්පත මගෙන් උදුරා ගනු ඇතැයි
දැඩි විශ්වාසයක් බියක් පවතී
සත්‍යය හැර අන් කිසිවක් නොකීවෙමි
මා වරදක් කර නොමැති බව
හදවතට එකඟව
දිවුරා පවසා සිටිමි ස්වාමීනි!
16.09.2026
කවිය බලන්න
ගස් වැල් මල් සමග පිළිසඳරක්
දීර් ගතම සිසිරය ගෙවීගිහින්
දීර් ගතම රාත්‍රීන් හා ශීතල
සමුදීලා අපට
දුකම හිතෙන්නෙ මට
මල් අවාරය නිසයි ......
මල් පිපෙන කාලෙට විතරක්
තුරුලිය ලග ගැවසෙන,
එක්තරා අයුරක මිනිසුනි ඔබලා
මල් අවාරෙට කොහිසැඟවේදෝ
මට හිතෙන හැටියට
බිදිච්ච මිනිස්සු
නොබිඳුණු හදවතක් ඇතුව
මල් පිපුණු වසන්තයට
සිහින මවනවා ඇති
මල් අවාරෙට
ගස් වැල් වලටත් බලාපොරොත්තු ඇති
වසන්තයත්, මලුත්, මී මැසි ඔපරත්
එයාලගෙ කනට මී බිඳු වගේ ඇති
මේ අවුරුද්ද වගේම
ලබන්නාවූ අවුරුද්දෙත්
මල් පිපේවි, ඒවා පරවේවි
මේ ගස්වල වගේම
අපේ ජීවිතෙත් මල් පිපුනිනම්
කොච්චර ලස්සනද
ජීවිතේ මල් නොපිපුනත්
ගස්වල හරි මල්
පිපෙනවනේ
22/09/26
Photo Credit: Erriko Boccia
කවිය බලන්න
අයං වස්සාන කාලෝ
මකා සෙවණැලි සිතුවම්
තුරු හිස දොවන දිය බිඳු
දරාගත නොහැකිව
ගිලිහුනි
ටක්...ටික්....ටක්
පවනත හා රඟනු බැරිවග
සුලු මැදුම් දෙතිත පැටලුන
පුංචි වතුසුදු මල
බිම බලාගෙන
පිනවන තරම් දෙනයන
මේ අසිරිය
කවිය බලන්න
සීත සමුදුර ගිලී දිනකර සැඟ වෙද්දී .......
සීත සමුදුර ගිලී දිනකර සැඟ වෙද්දී
පාළු හිත ළඟ සුසුම් තනියට ගුලි වෙද්දී
රෑක ඝනදුර නුඹේ සෙනෙහස නැති වෙද්දී
ඈත දුරකට ගිහින් දියණිය තනි වෙද්දී
රැයේ සුවඳක් හමා හදවත යයි පිච්චී
පිපී අරලිය වැටෙයි සුළඟට පර වෙච්චී
නැතිව නුඹ ගෙව් දිනක් වත් සිහියට නිච්චී
සොහොනෙ තනියම නිදනවද මයෙ අප්පච්චී
දවා පහනක් බලා හිදිනෙමි මග පෙරසේ
සරා සඳ ළඟ වෙලා තරුවක් නුඹ අහසේ
දරා දුක්ගිනි යළිත් හිනැහෙන තුරු පහසේ
නිවා කඳුළක් හැකිද පිසලනු හිඳ රහසේ
කවිය බලන්න
පින මතින් සැප පූදියි
ලද මේ දිවිය පෙර අප කළ පින පෑදී
ගත කළ යුතුය සැම දුක් යන ලෙස සේදී
පින මත සිටියහොත් නිතරම සැප පූදී
ඉසි කෝ දුරැර ඉනු මැන කුළුණින් සෑදී
කළහොත් නොයෙක් පව් තිරිසන් ගති පෑදී
මෙලොවට ලැබෙයි වැලපුම් දුක් පීඩාදී
වලකනු බැරිය තබමින් පූජා බෝදී
යන එක නියතමය මින් මතු නරකාදී
උපයා ධනය සොරකමටම සිත බරදී
ඇතැමෙක් මැදුරුවල ඇත ලෙස ධනවාදී
දිනයක යාවි එමැදුරු ජලයට සේදී
නරකයටද වැටී බොන්නට වෙයි ලෝදී
තම සිත සුරැක පාපය වෙත නොම යාදී
හැකි ලෙස පරහටත් යහපත කරවාදී
ගෙන යන අතර දිවියට ලෙස සුබවාදී
එරෙහිව පවට නොපැකිල බසිමුද වීදී
ඇතිකර පිනැති සිතුවිලි මෙත් කරුණාදී
අපි ඉමු සැම දෙනට යන මග පෙන්වා දී
දුක දෙන කරුණ පාපය බව පහදාදී
සුහදව වසමු රැකගෙන ගුණදම් ආදී
බුදුගුණ ගයන විට පින් සිතුවිලි පූදී
දන පින කරන විට දුරුවෙයි ලෝබාදී
මෙත් සිත වඩන විට යටයයි දෝෂාදී
මැදහත් සිතට එයි සුව සැනසුම් ආදී
2026 . 09 . 25
කවිය බලන්න
ඇත්තෙන් මේ නුඹද
ඇඳගෙන කමිසෙ කලිසම බැඳ කර පටිය
මූණ පේන්නට මැද මිරිවැඩි සඟළ
කැරකෙන පුටුවෙ ඒ සී කුටියකට වැද
සී සී කෙනෙකි වැඩ සොච්චම් පඩියකට
සර් සර් කිව්වට කෙල්ලන් කොල්ලන්
තියෙනව කැමැත්තෙන් කියනවදැයි සැකයක්
මට නැති උපාදිය ඇතිවුන් ටික හරියක්
සර් කියන්නේ ඇත්තෙන් අකමැත්තෙන්
සීනියරිටි එකට ලොකු පුටුවකට නැග
කරනා හරීය මහ කන්දකටත් වැඩිය
හන්ඩ්‍රඩ් ප්රරසන්ට් කන්තෝරුවෙ වැඩ දන්න
බැහැ මා එක්ක හැප්පෙන්නට කිසිවෙකුට
කෑමට බීමකට තේ එකකට නියම
වෙලාවක් නොගෙන ගැස්ට්‍රයිටිස්ය කුසේ
දැන් දැන් බඩත් එනවා ඉදිරියට නෙරා
ඇස් කණ්නාඩි දෙකකුත් ගන්නටත් වෙලා
අළුතෙන් ආව ජී එම් නෝනා හැඩලූ
නමවත් දන්නෙ නෑ සෙක්ෂන් එකේ අය
කැඳවීමක් ලැබිය යුතු නෙව දකින්නට
හැඩයි කීවාම ඉවසුම් නෑ හිතට
පසුදා ලැබුණි කැඳවීමක් හමුවන්න
බිය මුසු හැඟීමෙන් එබුනෙමි මුහුණ වෙත
ඇදගත් හුස්ම ඉහළට, නොවැටුණි පහළ
ඇස් අදහන්න බෑ ඇත්තෙන් මේ නුඹද
කවිය බලන්න
හිත මත මතක අක්ෂර....
ඔබ....එය
බොහෝ කලකට පෙර
ලියා අහවර කලමුත්
මගේ හිත මත,
අරුත් පසිඳලනු නොහැකිව
සැරි සැරූයෙමි බොහෝ දුර
ගම් දනව් වල.
ඉඳහිට තොල ගෑ කෝපි සුවඳක් දිගේ
පැමිණියත් පැරණි මතකයන් වූ
ප්‍රේමයේ වටිනාම නටඹුන්
නැවත හාරා ගොඩගෙන
යළිත් නිදන් කලෙමි
සැහැසි ලෙසින්.
වෙහෙසව ගිමන් හල
නා නා ප්‍රකාර අම්බලම් වල
හමුවූ නන්නාඳුනනා බොහෝ
මිනිස් සන්තානයන් තුල ලියවුණු
කී නොකී කතා වල සැඟවුණු
පුරාවෘත්ත වී වැළලුනු
වීය ප්‍රේමයේ රුදුරු සලකුණු.
සීරුවෙන් කපා ඔප මට්ටම් කර
ලලාසාවන් සමග මුහු කර
ආදරේ යැයි මුලා කල.
අවසන පසක් විය
බොහෝ අයගේ සිත් තුළ
ඟරාකොටා නිදන්ව ඇති බව
කිසිවෙකුටත් හඳුනා ගත නොහැකි
අරුත් සුන්
ප්‍රේමයේ අක්ෂර!!!
Photo Credit: Daiga Ellaby
කවිය බලන්න
නූල
පෙන්වමින් කවුළුවෙන්
සරුංගලයක්
ඉපල් මත රැඳුණු
" කඩාගෙන ගියොත් ඔහොමයි
පේනවද !
වගේමයි ගැහැනු "
පවසයි ඔබ
රඳවාගෙන හිනාවක්
මුව මත විසුලු
නිම් හිම් නොමැති
අවකාශයේ සරණ
මගේ නිදහස් හදවත
සරුංගලයකි
ඔබ අතින්
නූල අතහැරුණු
කවිය බලන්න
පෝදා අසිරිය
පුන්සඳ පිපී ගඟනත පෑ සිනාවන්
නංවන කැලුම් විඳ සැනසුනි වලාවන්
පින්බර දිනේ සිල් සුව ලැබ මනාවන්
රන්තරු නිවී බැතිබර කල්පනාවන්
ගන්තෙර දියේ සඳකිත්මිනි රටාවන්
සංවර කලා බොල් සිතිවිලි ගුලාවන්
මෙත්පිනි නිවා සිත් අරණත විඩාවන්
ගල්වන සැබෑ සිහිලස වාසනාවන්
දිලි දිලි ගලන සඳරැස් දම් කලාවන්
පෙරි පෙරි ලදළු බෝපත් සැනසුවාවන්
වෙලි වෙලි සමඟ මදනල පා දයාවන්
සැලි සැලි ගයන ලොව්තුරු ගී අමාවන්
සුදුමුදු සුවඳ විහිදන මල් ලතාවන්
පුදසුන වැතිර සමවැද භාවනාවන්
තුඩ තුඩ නැඟෙන බුදුගුණ වන්දනාවන්
පිවිතුරු පැතුම නිවනට පුදකලාවන්
පෝදා උපන් පින්සර චේතනාවන්
පාදා දොවන් තුන්සිත පැහැදුනාවන්
සාදා දැහැන් සිඳ බිඳ වේදනාවන්
බාධා මැදින් පන්සිල දැල්වුනාවන්
ලන්ඩන්
කවිය බලන්න
ඇය නොමළෙන් මළගමට නොගියෙමි
කතා මැරුණ යලි ඉපදේ යැයි බියට
සිතාමතා නොගියෙමි ඇගෙ මළ ගමට
" සතා ඇවිත් ඇති " කසුකුසු එක වැලට
ගොතා තව කතා ! අවමන් ඇති ඇයට
තුත්තිරි ඇලුන වස්තර සගවා කොතැන
විස්තර රහස් පෙම්පත්, මැදිවි දෙතන
වස්තර උනා, තුරුළුව රහසේ නිදන
මන්තර කුමට,නිදි යහනයි ඇගෙ නිවන
දෙතොලින් තෙමූ රන්කද ගිණිදළු හමුවේ
විදිමින් පහස දුංගොබ අහසෙයි නැටුවේ
සිහිනෙන් අදත් ඈ හමුවෙයි, ගෙයි අගුවේ
මරණින් මතුත් උනුහුම අඩු නෑ සෙළුවේ
පිරුණ වටොර පොහොසත් වටමට දෙතන
පෙගුන දෙතොල් දිව තුඩගින් පිරිමදින
ගෙවුන දිනත් හෙට දිනයත් නොම මැරෙන
පවන සීතලයි,ගිණි දළු යලි නැගෙන
23 / 09 / 2026
කවිය බලන්න
පෙර දවසක .........
පෙර දවසක
තුල බසයක
ගැටුණා නෙත
මත තවත් නෙතක්...
යොමුකර තදින්
එදෙස මගෙ නෙතත්
සිටියා බලා
එක එල්ලේ .....
දුටුවා වෙනසක්
නොසිතූ ලෙසින්
ඒ නෙත් ඇතුලේ
කතා කරනවා
කලු ඉංගිරියාවන්
පැටලිය කතාවට
මගෙ
කලු ඉංගිරියාවන් ......
ඇයත් එලෙස
මමත් මෙලෙස
සිටි කාලය
නැහැ දැනුනේ
දෙදෙනාට හොරා .....
සිදුවිය බැසීමට
ඊළඟ නැවතුමෙන් ....
අවසන මම
තැබුවා ඈ අත මත
කොල කැබැල්ලක්
ලියා දුරකථන අංකය
සිතෙහි මවාගෙන
ඇමතුමක හඬ
ඇයගේ හඬින් .....
Photo Credit: Andreeew Hoang
කවිය බලන්න
නේපාලය වෙනුවෙනි
ඇද හැළුණු හිම කන්ද සීතලෙන් මිදුනාද
ජල පහර රළු වෙමින් ගං දැල බිදුනාද
දහසකුත් සුසුම් ළඟ හිමාලය හැඩුවාද
බුදු උපන් දේශයේ සෝ සුසුම් ඇසුනාද ..
සිඟිති අත් මවු ඇකය අතැර ගොස් සැඟවී ද
පස් අතර හුස්ම පොද යදින්නන් තනිවේද
සොබාදම මවුනි ඔබ සිතින් ලතැවෙන්නේද
ලොවක් ලෙස සිතින් අපි හිමාලය ළඟ නේද
කවිය බලන්න
වසන්තයේ සතුට
සිසිර හිමේ සිනා නොවුනු
නිරුවත් විලියෙන් ඇඹරුනු
හරිත වර්ණයෙන් සැරසුනු
රුක් සතුටිනි දියට නැමුනු
කැඩපත වන් විල් දිය මත
දැකුමට සිය රූබර වත
සමබර කර නැවෙනා ගත
මුල් ඉවුරේ විහිදා ඇත
කවිය බලන්න
ප්‍රේමය නම්
වසත් කල් ගෙවුන ද
චමත්කාරය දැනේ ඉඳහිට
පසුපස බලමි හෙමිහිට
මුවා වී බණ පොතකට
වියපත් බමරුන් ද
බමර කුරුට්ටන් ද
හිඳී තැන තැන
අවලාද නගමින් මිරිගුවට
පෙම හා වෙර
අතර කෙස් ගසේ පරතරය
තුළ යමෙක් මුමුනයි
පෙම් කළේ මම නුඹට
නොපතා කිසිවක්
එහි තරම නම්
සොඳුරියේ එපා මට
නුඹ පෙමද
කවිය බලන්න
කලකට පසු
සරසවි බිමට යළි යන්නට වරම් ලද
දිනයක් උදාවිය පසුගිය මාසෙ මැද
සුදු ගන බිත්ති ආවේණික ලකුණු කඳ
මතකය ගෙන ගියා ඈතින් ඈත ඇද
ෆ්‍රැන්සිස් පාර ළඟදී වාහනෙන් බැස
ඇවිදන් යද්දි අකුරට ගිය නිවස දෙස
ගඩොලක් ගානෙ දැන හඳුනන තැනකි ඇස
මටනම් දැනුනෙ එය මගෙ මහ ගෙදර ලෙස
කවදාවත්ම කටු දෙස නොබැලුව ද දිග
ඉස්සරහින්ම ඇති හෝරා කණුව ළඟ
මොහොතක් ගත කළෙමි උස පඩියකට නැග
මට සහි වුණේ මව් පිය ළඟ සිටින වග
ආ ගිය ඇසුරු කළ නැවතුණ පඩි පේළී
ලාවට තියේ එහෙමම අහුමුලු කෑලී
නාගෙන ගියා වැස්සෙන් ඉතිරුණ පීලී
තාමත් හිතේ තෙත එහෙමයි නෑ වේලී
කවිය බලන්න
මහා මායා කුලෙහි ඉපදී....
අනෝරා මහ වැහි වැටුණු දා
නොයා දුර සැඟවී
දයාලූ සෙනෙහසේ ගීතය
ගයනවද ගොලුවී
කියා දී හදවතේ දරු පෙම
ලොවට මුදු සඳ වී
මහා මායා කුලෙහි ඉපදුණු
රැජිනි නුඹ පරෙවී.
මුවා කර වැහි සඟවගෙන පුතු
නුඹේ තටු අස්සේ
දරාගෙන දුක සෙවන සැදු දා
තෙමී මහ වැස්සේ
වදාහල සෙත් පිරිත වාගෙම
තියා හද බිස්සේ
මකා ලනු බැරි මතක කවියේ
රැඳී පිනි ඉස්සේ.
නිමා නැති මහ සෙනේ ගඟුලේ
හොවා පපු තුරෙහී
සරා සඳමය නිවේ කිරණේ
ඇගේ දරු සැනහී
විඩාබර දිවි මඟේ නොසැලී
දරා ගෙන හිනැහී
දයාබර හද ගලා හැලුනේ
නුඹේ උණු කිරෙහී...
ගලේවෙල
Photo Credit: Jordan Whitt
කවිය බලන්න
🗙


























































