ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2025 ජනවාරි කලාපය
අලුත් අවුරුදු සිහින දැන දැන පරණ හිරු ඒ ලෙසම පායයි
එකුන් එකසිය හැටක් මත තැබූ බලාපොරොත්තුව පිරුණු යායයි
කිරිබතක් රතු පිසනු දස අත හඹා යන්නේ පොලක බෑයයි
ලිපට කබලෙන් නොම වැටේවා! පැතුම අපගේ එයම වේයයි
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
ලන්ඩන්කවි, අන්තර්ජාලයේ පස්වැනි වසර අරඹයි. මෙතෙක් පළවූ කලාප 48 නොකඩවා සෑම මසක ම පළමු දිනයේ හිමිදිරි පාන්දර නිකුත් වීම සිදුවිය. එයට දායක වූ සියල්ලන්ටම නොවක් තුති. මෙම වසරේ පලවන කවි සියයක් මුද්‍රණයෙන් එළි දැක්වීම අපගේ බලාපොරොත්තුවයි. 2025 ඔබ සැමට වාසනාවන්ත සහ සෞඛ්‍ය සම්පන්න වූ නව වසරක් වේවා!
චරිතය හැරල්ඩ් පීරිස් කවුරුත් දන්න
හිතවත්කමින් කවදත් ඉහළම ඉන්න
අද වැනි දිනයි සුදුසුම කවි ලියවෙන්න
සමරන උපන්දිනයට සුපැතුම් මෙන්න
සංගීතයද සිනමාවද සිතුවමද
දායකවුණා මේ හැමතැනටම නොමද
අඩු නෑ වේදිකාවට ඔහු පෑ පෙමද
තිබුණා ඇඩ්වර්ටයිසින් හිතවත්කමද
බැලුවේ නිතර ඔහු තම මිතුරන් දෙසය
දුන්නේ සහය කාටත් උපරිම ලෙසය
දනිතත් කලාවේ ඇති නව නළු රසය
හිටියේ වැඩිපුරම තිරයෙන් පිටුපසය
ඇති කොයිකාහටත් ඔහු පිළිබඳ මතක
ලිව්වොත් ඉතිං පිරවෙයි පිටු මහ පොතක
මිනිසෙකි කලාවෙහි හැසිරෙන හැම අතක
ගැවසෙන එකයි සොඳුරුම ඔහු හා විතක
මිතුරන් ඔහු වටා නිතරම රොද බැන්ඳේ
ඔහුගේ සමාගම කවුරුත් රසවින්ඳේ
හිමිවෙයි ඔහුට ඉල්ලන්නත් පෙර ඡන්දේ
දන්නෝ දනිති වගතුග හැරලානන්දේ
මධුවිත මොටද නැත්නම් අද වැනි දවස
ඇවිලෙනසුළුයි නිවෙනව වෙනුවට පවස
සාදෙට ඉතිං එවරෙඩි හැරලුන් නිවස
නාරාහේන්පිට හමුවෙමු අද හවස
කවිය බලන්න
පුනරුදයේ ගීතය
රතු රතු පැතුම් ලොවෙන් ගලා ආ
රන්වන් රන්වන් රතුහිරු රැස්මාලා
රන්වන් කෙත්වතු යාය මැදින් එළි දල්වා
පුනරුදයේ පුනරුදයේ ගම්බිම් පිබිදීලා
උතුරේ දකුණේ
නැගෙනහිරේ බස්නාහිරේ
එක ධජයයි නන් පැහැයෙන් ලෙලදේ
කලඑළියයි නවෝදයයි
සිහළ යෝනක
දමිළ බර්ගර් මැලේ ජනතා
පරමචින්තනයේ නිදහසයි
පුනරුදයේ මව්බිම පිබිදීලා
බොදු කතෝලික හින්දු ඉස්ලාම්
සර්වාගාමික සමගියයි සාමයේ රාජ්‍යයයි
ජාත්‍යන්තරයේ රාජ්‍යතාන්ත්‍රික අභිමානයයි
පුනරුදයේ පුනරුදයේ මානව දයාවෙන් පිබිදිලා
ස්වර්ණා ලෝකය පැතිරේ
කවිය බලන්න
පළමු පියවර
දැකිය යුතු නම් වෙනසක්
පළමු පියවර
තැබිය යුතුමයි
එකම එක හෝ මිනිසෙක්
ඔහු නික්ම ගිය පසුවත්
ඒ වෙනස සිදුවෙයි
නැවත නැවතත්
පුළුස්සා
අළු පසට යටකර
බොහෝ කාලය ගෙවී තිබුණද
ඔවුන්ගේ සිතිවිලි පැළවෙයි
දළු දමයි
මල් පිපෙයි
දැකිය යුතු නම් වෙනසක්
පළමු පියවර
තැබිය යුතුමයි
එක ම එක හෝ මිනිසෙක්
2024-12-01
කවිය බලන්න
මිහිදන් විය දිය බිඳ
උදෑසන අවදි වී
අද මටත් පෙර
ඊයෙ රෑ වැස්ස
ඉතුරු කර ගියාද
දිය බිඳක්
පත අග
ඉදිරිපස
හිරු කිරණ පැමිණ
මේ දිය බිඳ විනිවිද
මවයි
සියුම් දේදුන්නක් මට
හිස වමට දකුණට පද්දමින්
විඳිමි දේදුන්න
මා ප්‍රිය
උදෑසන මද නලද
එබුනා
මේ අසිරිය විඳින්නට
අතුරුදහන් විය
දේදුන්න
කවිය බලන්න
සරාගී කවුළුව
[කෙටි කවි හතරක්]
1.
කෙලෙස
උණුසුම් වේද මෙතරම්
ම සිත
ඈ නිවුණු
නුවන් අබියස.
2.
එක් අතකින්
ළං කර ඈ මුව
සිප ගනියදී
ඈ අතැඟිලි
ම හිස පිරිමදී
සෙනෙහසින්
මවක සේ.
3.
අළු පැහැති
පසුබිම මත
කුඩා කවුළුවකි
සරාගයට ඉඩ දෙන
අහඹු ලෙස.
4.
නොදනී ඈ
මා කොතෙක්
සිප ගනීදැයි
ඈ රත් ලවන්
දුරින් හිඳ.
කවිය බලන්න
නිද්‍රා ඉඳි කටුව ඇනි පිය රජු
නිමිත්ත:
2024-12-11 දින, දක්ෂිණ අධිවේගී මාර්ගයේ, පින්නදූව ආසන්නයේ දී, රිය ධාවනය කළ පියාට නින්ද යාම නිසා සිදු වූ මාරක අනතුරකින්, දස හැවිරිදි සහ දහ හතර හැවිරිදි දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වෙයි .
-------------------------------------------------
දුවේ , නිද්‍රා ඉඳි කටුව ඇනුණේ
කුමරියට නොවෙයි පිය රජුටයි
භවේ මා කළ පවින් නැසුනේ
කිරිලි පැංචියන් දෙදෙනෙකුගෙ දෙහද යි
ලොවේ නැත, දරු දුක් තරම් කරුණේ
සිඳින ඇට මිදුළු, ලේ නහර, මේ සාපයක් මැයි
නිවේ මින් මතු හිරු සඳු අපේ රජ දහනේ
කුමාරියො දෙන්නා දුමක් වී සුළගට මුසුවෙයි
දුවේ , මේ නිද්‍රා ඉඳි කටුව
පෙතන්ගොඩ විෂ උණ කටුවටත් වඩා රුදුරු යි
පවේ මෝරයි, දලුලන මරණීය නිද්‍රාව
කාලයේ රුදු වෘක නිය හා තැවරෙයි
වැවේ, විෂ කටු පඳුරු, වසා පාළු මාලිගාව
නයි පොලොන් තුඹස් ද ඉදිවෙයි
නොවේ සුරඟන කතාවක්, ඇහැරවන්නට අපව
හාදු අරගෙන අපේ දෙදරුන් නොම එයි
දුවේ , අධි වේග , සුක්කානම්, නිද්‍රා පියවරුන්
නොමැති සුරඟන ලොව, මින් මතු ඔබට උරුමයි
කැවේ නෙත වැලි කැට, සිහිනෙන්වත් දකින පැතුමින්
නමුත් ඒ සිහිනත් පව්කාර පියෙකුට අකැප යි
දැවේ හද ලාවා, ඇනුණේ ඔබට මෙ'කවෙන්
ම'හද හිල් කළ ශරයෙන් අංශුවක් පමණ යි
මිතුරනේ, නිදි මත නම්, රිය සක නොපදවන්
මේ මිය යමින් සිටින පියෙකුගේ අවසාන පැතුම යි
පිය රජුට නිද්‍රා ඉඳි කටුව ඇනි වරදින්
සදාකාලික නින්දට පත් නිදි කුමරියන් දෙදෙනෙක්
නමින් නව කතන්දරයක් ලියැවෙයි
දුවේ , නිද්‍රා ඉඳි කටුව ඇනුණේ
කුමරියට නොවෙයි
පව්කාර පිය රජුගෙ හද ගැඹරෙ යි
කවිය බලන්න
අනාගතයේ දුටු නපුරු හීනයක්
(ඌව පළාත සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ හපුතලේ කන්දක තේ පෝච්චියක හැඩය ගත් කෞතුකාගාරයක් සහිත සංචාරක හෝටලයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය - ප්‍රවෘත්තියක්)
බෙංගාලේ බොක්ක
හදිසියේ කැලඹිලා
පිස්සුවක් කෙළිද්දී
ලංකාවම හෝදගෙන,
මං හිටියේ හපුතලේ
නාය ගිය කන්දක් අද්දර
හදන්නට යෝජිත Tea-Pot
හෝටලේ තේ බිබී.
හම්බන්තොට තෙක්
පහළ මිටියාවතේ …
තුරු මුදුන් කරකවා
සුලි සුළං හමද්දිත්
හරි පුදුමයි මට
නින්ද ගිය අපූරුව!
හීනෙන් වගේ මං දැක්කා
Adam Smith මහත්තයා
Wealth of Nation ලියනවා,
හෝටලේ පැත්තක තිබුණු
Tea Museum එකේ
ලියන මේසෙක ඉඳගෙන
තනියම,
‘අදිසි හස්තයේ න්‍යාය’
(Theory of invisible hand)
තලු මරමින්.
‘තව තේ එකක් දෙන්නද සර්?’
වේටර් වේලු ඇහුවා විතරයි,
කෙටුවා විදුලියක්
ඇස් නිලංකාර කරගෙන.
තිගැස්සුණු David Ricardo
රිංගුවා මේසේ යට.
‘තුලනාත්මක වාසි’
(Comparative Advantage)
විසිරුනා හතර අත
කලබල වුනු Museum අභිරක්ෂකයා
කටුගෙයි දොරගුලු වසා දැමුවේ
තල්ලු කරමින් මාවත්.
ලිස්සල වැටුණු මං
පාවෙලා ගියේ
තට්ට කඳු මුදුන් අතරින්
උඩවලවට ඉහලින් ගොස්
මං පතිත උනා
මහා මුහුදේ
අටවලා තිබුණු
කාලතුවක්කුවක් මතට.
අම්මට සිරි!
තුවක්කුව හයි කරලා තිබුණේ,
එලිසබෙත් (I) මහ රැජින ගෙන්
වරලත්
පෙරදිග ඉන්දියා සමාගමට අයිති
රුවල බිඳුනු නෞකාවක.
ලෝකෙ පළවෙනි බහුජාතික සමාගම
East India Company
මාව උඩ ගිහින් ඇහැරුණා !
අහස තාම ගොරවනවා
විදුලි කොටනවා
වැස්ස වහිනවා
නින්ද අහලකවත් නැහැ දැන්
කවිය බලන්න
පුදුම ඉවසිල්ලකි එය...............
මකුලුවෙක්
දැල එලා
බලාසිටී ඉවසිල්ලෙන්
ගොදුර එහි පැටලෙන තුරු
පුදුම ඉවසිල්ලකි එය
පෙම්වතකු විසින්
පුහුණු කළ යුතු
කවිය බලන්න
සමාධි පිළිමේ
සුවහසක් පිළිම මැද
එකම එක පිළිමයක්
රැඳී ඇත මා සිතේ
සිතූ සැනින්
පහළවන
එකම එක පිළිමයක්
සිටින. හිදින. නිදන
වඩින, නිවුණ
පිළිම අතර
දැවෙන් සෙලෙන් මිණෙන් මුත්තෙන්
රනෙන් රිදියෙන් තඹෙන් දළෙන්
ඇඹූ පිළිම නෙලූ පිළිම
ගලේ මලේ කොළේ වස්ත්‍රයේ
ඇඳි පිළිම
කොතෙක් වෙතත්
අප්පටිම බුදුන්ගේ
කලාකරුවන් මැවූ
සියලු පිළිම
පරයා
සිත නිවන
සමවතට සමවන්
මහමෙව්නා
සමාධි පිළිමේ
සිත් නිවා සනහන
සමාධි පිළිමේ
කවිය බලන්න
මං යන්නෙ නෑ දරුවන් අරන් .........
දන් දෙන්න යන බව දන්නේ නම්
මං යන්නෙ නෑ දරුවන් අරන්
සංසාරේ විඳි දුක් නිම කරන්
ඉස්තීරයෙන් මිදෙමී ඔබෙන්
බුදුවෙන්න ඔබහට ස්වාමීනි
විඳවන්නෙ ඇයි මගෙ හා පැටව්
පුපුරාවි හද දරු සෙනෙහසින්
විඳවාද ඒ පව බෝසතුන්
මේ කඳුලු ලෝ ගංගා වෙලා
මිහි දෙරණ සත්කඩකට පලා
හෙණ පුපුරුවා අසනිය හලා
නිවනක් සොයා දරු දන් දෙනා
හිමි නොපතමින් හඬමී සදා
කවිය බලන්න
ජීවිතේ මහ පොත.....
පරිච්ජේද පරිච්ඡේද
බෙදා වෙන්කරන පරිච්ඡේද
සසර බවකතර පුරා
එක් පරිච්ඡේදයකි ජීවිතය .....
'ඇගේ'පරිච්ඡේදය නිමාව
"ඇගේ" පරිච්ඡේදයක ඇරඹුම විය එදා
කඩින් කඩ බිඳී ගිය
බිඳෙන් බිඳ කැඩී ගිය
පරිච්ඡේදයක අවසන
විය මෙදා .
එහෙදු
ඇරඹෙයි පරිච්ඡේද
නිමවෙයි පරිච්ඡේද
ජීවිතය ම එකතුවකි
පරිච්ඡේද ගොන්නක.
01-12-2024.
කවිය බලන්න
මියුරු සිනා රැළි අතරින් නව වසරක් ලබනා
දුරුතු සිහිල මැද අරුණේ හිරු දෙවිඳුන් එබෙනා
නැඹුරු වෙමින් අවදිකරන් මිහිලිය මුව සිඹිනා
අඳුරු බිඳී එසැණ ලොවම එළිය වැටී සොබනා
මියුරු සිනා රැළි අතරින් නව වසරක් ලබනා
The Sun peeks at misty dawn in the chilly Duruthu month
Slowly bending down, he kisses and wakes the earth damsel
Instantly the light springs up driving away all that gloom
Amidst sweet smiles, the world sees a New Year in bloom
කවිය බලන්න
මේ තවත් කතාවක්
බදාගෙන විඳ විඳා සෝ තැවුල් රාශියක්
මුදාගෙන යනු බැරිව ඉඳීමම ශෝකයක්
හලාගෙන පත් බිමට නැතිව කිසි ලෝබයක්
සිනාවෙන තුරු හිසක් කියන්නෙම පාඩමක්
දමා ගොස් අතීතයෙ මතක බර ඉඳුරාම
විදා අතු රටාවට එන්න පෙර දළු බෝම
මහා තුරු නිල් ගගන වැළඳගෙනපා ප්‍රේම
ගයා සතුටින් නටයි කිසි දුකක් නැතිසේම
අතපසුව මග හැරණු දේ ගෙනාවද බියක්
නැවතුමක ළඟ ළඟම තිබිය හැක නව මගක්
හිම සිසිල විදෝගෙන ඉන්න නග්නම ගසක්
කියන්නෙම ඉවසුමක අගය එන තුරු හෙටක්
පවන් රළ ගෙනයද්දි පත් එකින් එක දුරක
හිමින් ඒ ඉඩ ගනියි පොට්ටුවක් නව මලක
ලබන්නෙම නොයෙක් සම නොවැරදි හැම වසක
කියන්නට කතාවක් ඇති නිසයි හැම ගසක
Photo credit; Fabrice Villard
කවිය බලන්න
සුබ පැතුම් මල්ලේ ඔබේ නම ඇත...
මිතුර හරි හැටි
කියවමුද විසි පහ
පෙර වැරදි පසෙකලා
නව හැඟුම් පුබුදුවා
අතීතෙන් ඉගෙන ගෙන
වත්මනේ හැඬය ගෙන
මතු දිනේ දිනන හැටි
වැඩ වලින් පෙන්වමුද
සුබ පැතුම් මල්ල තුළ
ඔබේ නම ලියා ඇති
කැමති වෙන එකක් ගෙන
නව පැතුම් පිළිගන්න.
මම වජිර ජයවඩන
කවිය බලන්න
සාක්ෂ්‍යාත්කරණය
ජවයෙන් දිවගිය
සොල්දර පඩිපෙල
තරණය නොකළැකි
මහමෙර වූදා
දිවිමග කුලුපග
ළබැඳියෙකුගෙ නම
වියැලුනු මොලයෙන්
ගිලිහී ගියදා
තුරුහිස් මුදුනක
හැඬැවෙන ගී නද
දුරුවල සවනට
යළි නොඇසෙන දා
දෙකොපුල නොතෙමෙන
තනිවුන කඳුළක
අමතක මතකය
නිදහන් වූදා
දුබලවු සියොළඟ
හැරමිටි තුඩකට
පැවරෙන තරමට
අසරණ වූදා
කුමටද නොදනිමි
පරවෙන මලකට
බිඟුකැල එනතුරු
බලා සිටින්නේ
කවිය බලන්න
පියාණෙනි
තරු නිදන රෑ අඳුර
උරදරා ගෙට වඩින
සඳවතට එළිය දෙන දිනිඳුන්
පියාණෙනි දිවි අඹර
සැඩ කිරණ මුවා කළ
නැගී අවුකන සමිඳු විලසින්
දරු සෙනේ රන් කරඬු
දිවිතුරා හිසින් ගෙන
පෙරහැරේ වඩින ඇත් රජුනේ
නොහැරුණත් ලේ කිරට
හැලූ දහදිය සයුර
මදිද බුදුවන්න ඔබ මතු භවේ
හදේ ලෙන්දොර බින්ද
දූ පුතුන් එනතුරා
ඉදිකඩේ රැදුන සිහරජුනේ
ලොව්තුරා සුව පතා
සසර බැමි බිඳින දා
රහල් පුතු වෙමි ඔබගෙ සෙවනේ
කවිය බලන්න
බාසිලෝනා නුවර ඔරලෝසු කඩන මල්ලිට
යත බාසිලෝනා
හොරැහින් බලා මානා
පැන්න කඟවේනා
ගොදුර ඩැහැගනු බැරිව මිදුනා
මගේ අත හූරා
ගැනුමට යතුර හෝරා
තැනුවද වෙරදරා
නොහැකිවී පැනදිවූ මිතුරා
නුඹේ කලු මූනේ
මා නම් දුටුවෙ එසැනේ
හෙටක සුබ සිහිනේ
නොවේ අලුමයි කුසක ගින්නේ
අම්මාට බෙහෙතක්
දූදරුවන් ට අහරක්
ගන්නද සමහරක්
විට නුබ රැක්කෙ පාරක්
මනුතාපයේ මෙන්
කැඳවා නුඹව සතුටින්
ඔරලෝසුව ගනින්
කියන්නට හද උතුම් නොවුනින්
සමවු ලොව වසනා
විටෙක මතු නුඹ හැදිනා
වේලාව අසනා
දිනක් ගැන මං හීන දකිනා
කවිය බලන්න
ළඟින් හිටියත් දුරින් සේ ඉමු
ගහකොළ පෙති හැලේ කහ රතු පාට හැදී
පිහිතල විලස සීතල ඇඟපතේ වදී
නත්තල නිමාවුණ සොම්නස ලොවම විඳී
මග බල බලා ඉඳලම ඇස් කෙවෙයි රිදී
ආවත් දිනෙක මල් පෙත්තක සුවඳ ගෙන
මාවත් අපට නැත එකමග ඇවිද යන
කාවත් සතුටු වෙන ලෙස හැසිරිලා තැන
ආයෙත් ඈත් වෙන එක හරි දුකයි පණ
ළඟකම ඉඳන් දුරකින් මෙන් සිටින එක
පිස්සුම වගෙයි නොදුටුව සේ ඉන්න දැක
අඳුරම උරුම මුත් සීතල ඉර්තුවක
හොඳටම දැනේ එනබව මල් වසන්තෙක
කවිය බලන්න
නුවණින් අලුත් වසරට පා තබමු අපී
ඊයේ ගිය ගමන ඊයෙට අහවරය
හෙට යායුතු ගමන අද මෙන් කරදරය
මේ තුන අතරතුර බිහිවන හිරිහැරය
මට මා හමු නොවන දවසක කෙළවරය
වසරක් ගෙවී නව වසරක් උදාවිය
කරනට තිබූ වැඩ අපමණ පමාවිය
අවසන් නොමැත අප යන දිවි සවාරිය
මේ වසරෙවත් විය යුතු වැඩ නිමාවිය
පෙර පින් නිසා හිමිවුණු ජීවිතය කොට
බැහැ අත් හරින්නට රිසි වුව ඔබට මට
පින් පල ගෙවී එය අවසන් වේවි හෙට
එනිසා අද කරමු නිසි දෙය පිනෙහි සිට
සැමදා අලුත් වසරක් වන විටදි උදා
සමරති සැමදෙනම කා බී සතුට බෙදා
නුවණින් බලනු මැන වැටහෙයි ඔබට මෙදා
මරුවෙත ලංව ඇත නොදැනිම දහම ලෙදා
තුටුවන දිනක් නොව වසරක උදාව
දුක දෙන දිනකි කොටවී දිවි කතාව
සැනසෙන පරිදි එනිසා දිවි රටාව
කළ මැන පිනක් රකිමින් සැම සතාව
නතතල් සමඟ අවුරුදු එන විටදි පිපී
සතුනගෙ කෝටි ගණනින් බෙලි යාවි කැපී
වළකා සැවොම වැළපෙන එක පොළොවෙ හැපී
නුවණින් අලුත් වසරට පා තබමු අපී.
2024 / 12 / 25
කවිය බලන්න
නිමක් නැති කතා
සළපනා බැමි බින්ද
විලඟු අවලංගු වූ
අකීකරු ජල තරඟ
ගලනවා..
ගඟක් දැක වැව කියා
පුවරුවක් ගසාගෙන
මිනිස් කැල මායාවෙ
ගිලෙනවා..
කැඩපතින් සඟවගෙන
යථාවේ මුහුණු පෙළ
මෙයයි ජීවිතෙ කියා
සොයනවා..
අතින් අල්ලා මගක
ගිය දිනය අමතකව
සිටි අයෙක් ආලෙ ගැන
කියනවා..
දෙව් මැදුරු නීතිපත්
බිඳලමින් ඩාවින්චි
ලෝකයට සිතුවමක්
පුදනවා..
මොනලිසා හඬන බව
දැන දැනත් ලෝකයම
ඇගෙ සිනා සපථ කර
තබනවා..
මග ලකුණු නොතිය ගිය
අනීතික සෙනේහය
අභිරහස් රිද්මයක
ගැයෙනවා..
සමාජය පසෙකලා
ජීවිතය සොයාගත්
බොහෝ දන සතුටු මල්
සිඹිනවා..
ලොවට නොහැඟෙන දේම
අපට හැඟෙනා දිනෙක
හිතවතුනි! අපි සැවොම
නිවෙනවා..
කවිය බලන්න
නුගරුක
ගොන් කියල මහ ජයට නොයෙක් කටකතා ගෙතුවට
නොදන්නව වගේ හිටිය, හැමදේම දැනුණට බොහෝවිට
හොඳින් අත්දැක්ක ඔවුන් හිතුව හැමදේම හැරෙනකොට
හොඳ හිතිං කරන හෑම දේම උන් දැක්කෙ පරහට
මිනිසුන් අහසට හැකියාවෙන් ඉහළ
යනකොට
ඔරොත්තු දෙන්නෙ නෑ ඉසි-කෝ පිරුණු හිත් වලට
හැකිකමට සම වෙන මිනිසුන් ඇසුරු කරන විට
වාවන්නෙ නෑ කටු ඇණුනු කැහැටු හිත්
වලට
නැති වුනාම මොන කෙං ගෙඩියක් වත් හොයා ගන්නට
ඒ මේ අත පෙරලෙමින් තව හොයනව හෙවනැල්ලත් ඇදට
කන්ස්පිරසි මවනව මෝඩ උන්ට හිතෙන
හැටියට
කෙල වෙනකං කෙල හලමින් බලං ඉන්නවා අනුන්ට
මුදුන් මුල එකට තව මුල් වැහි වැහැපු නුග ගස් වලට
මොනවා හෙලවෙන්නද බලු කපුටො චූ
දානකොට
මහ නුගරුක දෙන දාන එලෙසටමයි
හැමදාට
දානෙ හැමටමයි ‘එන්න බලු කපුටනි
පෝලිමට’
01/11/24
කවිය බලන්න
පැවසුවෙමු අපි සැවොම අපූරු කතාවක්
තෙමසෙන් තෙමස
මසෙන් මස
දිනෙන් දින
වියැකී ගිය ද
ම’ගත කොටස්
පැමිණේය හෙට තවකෙක්
නැත... නැත...
රැගෙන ඒය එතැනට වෙනකෙක්
මා රැගෙන ආ මිනිසා ම
වියැකී ගිය අපි සැවොම
විමසුවා දිනෙක
හමු වී අපි එකිනෙකාගෙන්
අපි රැගෙන ගිය මිනිසා ගැන
පැවසුවෙමු අපි සැවොම අපූරු කතාවක්
කලින් කල අපි ඉවතලන මිනිසා
තවත් කෙනකුව ගෙනෙන්නේ
අපි දිනෙන් දින නැවුම් වූව ද
රැඳෙන්නේ එහි වසෙන් වසට ම
එදා සිටි මිනිසා ම එලෙස ම
තවම ඒ තැන රැඳෙන්නේ
නැතේ වෙනසක් පෙනෙන්නේ
පෙර මිනිස ම ය සිටින්නේ
කවිය බලන්න
අපරිමිත ආදරය
ස්වර්ණ හංසරාජයකු විලසින්
මිතුරා ගේ බෙන්ස් රථය
නවතා තිබුණා
එක් සැන්දෑවක
මා ගෙමිදුල
සී මැදුරු කවුළුවෙන්
ඉස්සී ඉස්සී තාප්පයෙන්
වතුසුද්ද මල් අස්සෙන්
එබී එබී බැලුවෝය
අසල්වැසියෝ හා ඥාතියෝ
අපරිමිත ආලයෙන්
ස්නේහයෙන්
සුබ පතමින් ම.......
කවිය බලන්න
සිව් දිසාවට විවර හදවත්
සිව් දිසාවට විවර හදවත්
දරා සිටිනා සොඳුරු මිනිසුන්
අන් දනන්ගේ සිතැඟි පුබුදා
සිත් තුටින් දිවි ගෙවන මිනිසුන්
හදවතේ වූ ගැඹුරු තැනකින්
කෙරෙන පින්බර පැතුම් වරුසා
ගත සිතත් සතුටින් පිරේවා
ලබන්නා වූ නව වසර තුළ
දිසිවන දසුන් මනරම් ලෙස දැනේවා !
සැනසෙන වදන් නිති සවනත වැකේවා !
කළණ මිතුරු සුපසන් තෙද ලැබේවා !
සැනසුම් සුසුම් නව අවුරුදු ගෙනේවා !
කවිය බලන්න
“රතු අවුරුදු” ඇවිදින්...
සෙල් කවි -1
“රතු අවුරුදු” ඇවිදින්...
අවුරුදු මල් පිපෙන්නේ අවුරුදු වාරේ
ළඟ ළඟ එන බවයි පොට්ටු ද දෙන හූරේ
ලැබුවත් උපන් දා ගිය නොදැනුණු පාරේ
දැන්නම් දැනෙයි යන මඟ හැමට ම තේරේ...
කවුරුත් හරි හොඳයි ලෝකෙට එක ම රැහේ
ගතු කිය - කියා එක මේසෙට වැටී ඔහේ
උන්නත් එකයි මිනිසුන් සැප නොමැති දොහේ
කටුවත් කැරකුණා නොනැවති දොළොස් මහේ...
වසරක් ගත වුණා ඊයෙන් නොදුන් දුක
කියනුව නොවිඳි දෑ කුමට ද අටුව - ටික
යන්තම් “අහස දැකුමට ඇති කැසබු” ඇස
හැමට ම බැලිය හැක අද සිට “වෙනසෙ” රැස...
සිහිනෙන්වත් නොසිතු ලෙස අද ගෙයි මුල්ලේ
පුරවා ගත් “බෝග” දිවි තුරු එක එල්ලේ
“තන්හා ජායතී සෝකෝ” සිත පල්ලේ
“දිටි දම් වේදනී” නාටක ඇත කුල්ලේ...
ඇත්තෝ දනිති ඇති - නැති දෑ කිල්ලෝටේ
කිව්වත් කා ළඟත් ඇත “අඩු - වැඩි” කීටේ
ලෙස “එළි වෙන්න ජාමෙට” දකිමු ද පාටේ
“සායම් රෙද්දෙ පල්ලෙන් බේරෙන නාටේ”...
රතු මල්ලිලා “කාලෙක සිට බලා” සිටී
අවුරුදු එළැඹ ඇත “කාරිය කරනු!”වටී
මේ අවුරුද්ද “සරු වන බව” දකිනු සැටී
හිඳිත් දනෝ “කන්නට පෙරළමින් වැටී”...
පාවා දෙමින් පිල් අතරෙ ම සටන් වැකී
“හාවා ගන්න සඳටත්” යනු අරුමයකී
නාවා නම් හොඳයි වැසි දිය බිම් නොමැකී
ආවා! “නොආවා නම්” ඒ තව පුදුමයකී...
සෝදා පාළු කර මුළු රට -තොට නාවා
පාදා දෙන්න නිවැරැදි මාවත ගාවා
සාදා ගන්න “අරගලයෙහි යද කාවා”
රතු අවුරුද්ද “වෙනසක් කෙරුමට” ආවා!!!
(මතු සම්බන්ධයි.)
2025.01.01
කවිය බලන්න
කෝ ...... ඔබ කොහිද?
හිරු සඳුට මග හරියි
තරු ඇස් නිදා සිටියි
සිත් මුහුද නිසසලයි
කෝ ......ඔබ.......කොයිද...කෝ....සොයයි
මේ සෞමය රාත්‍රියයි
මුළු ලොවම නිදි හැඩයි
නින්ද දුර තියෙයි
මා ඔබේ සුපෙම්වතියි
කෝ...ඔබ...කොයිද..ගියෙ සොයයි
දෑස් ඉරි තලයි
සිත පතුල උණුසුමයි
මුහුදේ ගිලුණු හිරු සොයයි
Photo credit; Slawek K
කවිය බලන්න
මොණරිඳු
හිමිදිරියේම අප ගෙමිදුල තණ නිල්ලේ
ලා හිරු කිරණ තුරු අතරින් එක එල්ලේ
රටා මවන විට සිඹ මල් පියල්ලේ
මනරම් රුවකි නෙත ගැටුනේ ඇසිල්ලේ
තද නිල් පැහැය විල්ලුද මෙනි දිඟු ගෙලකී
හිස මත කිරුල මෙන් දිලෙනා පෙඳ පෙලකී
දිඟු පිල් කළඹ තාලෙට සැලෙනා ලෙසකී
මොණරිඳු දසුන ඇස අදහා ගත නොහැකී
තරමක් ලං වුණද කිසි බිය සැකක් නැත
හුරු පුරදුවට මෙන් එහෙ මෙහෙ ඇවිද යත
හිස සල සලා වට පිට යොමමින්ද නෙත
පැදකුණු කළේ පෙන්නන්නද තුරුණු වත
මෙතරම් දුරක වෙහෙසක් නොම බලමින්ද
නඟරයෙ විසල් මන්දිර මග හරිමින්ද
වෙන කිසිවෙකුට නොපෙනී නොම දැනෙමින්ද
මගෙ නිවහනට මග කිව්වේ කවුරුන්ද
මොණරෝ නුඹව කඳ සුරිඳුන් එව්වාදෝ
සුවදුක් අපේ විමසන්නට කිව්වාදෝ
නව වසරකට සුභ ආසිරි දුන්නාදෝ
කවුරුන් නැතත් සුරකින බව කිව්වාදෝ
හොඳ කල්පනාවෙන් වට පිට බලාපන්
නපුරු දනන් ඇස නොගැටී මුවාවෙන්
කෙටි දුර වුවත් හැකි අයුරින් පියාඹන්
අප හොඳ සුවෙන් බව මොණරෝ කියාපන්
28.12.2024
කවිය බලන්න
ආට්ටකාරී
එබුවත් සඟවමින් මිහිමත නොවේ යට.
සැදුවත් වටකරන් ඉඩමේ වටා වැට.
තැබුවත් රැකවලුන් සිව්දිග වටාපිට.
රස මුසු හැඟුම් බැහැ යටපත් කරන්නට.
තලා දමා ගත මුලු කස සැමිටි වලින්.
වෙලාදැමූවද තද බැමි රැහැන් වලින් .
වලා කළුව පහ වීගිය කලදි සැණින් .
දුලා එළිය විහිදේ සඳ මඩල තුළින්.
සුළියට යටවී නොයනා නාරී.
කරළිය වෙත එනවා හැඩකාරී.
සුරලිය වන් පුන්සිසි හැඩකාරී .
සබේ නටනවා ආට්ටකාරී .
දෑත දෙපය ඉඟසුඟ නලවා සුමටා.
පාත උඩරටද දෙනුවර නැටුම් නටා.
ගීත කවිද තානම් වන්නම්ඩ රටා.
දෙනෙත නොවිඳි නම් ඒ රැඟුමන් කුමටා.
අඩව් කස්තිරම් අතැඹුල
සේම දැන.
තිරස් සිරස් පිනුමන් දණ්ඩ් යම පැනගෙන.
පරස් නොමැතිවම ඉඟි
නලුව දැනගෙන.
බලන් නිලි රැජින යන ගිරින් ගිර පැන.
කවිය බලන්න
Just a little blind kid
Flowers are beautiful, so they say,
Look, look along the path way,
See so many colours bright,
Red, yellow, blue, pink and white.
Flowers have a sweet, sweet smell,
That I do know very well,
Their softness too, I can tell,
But their colours baffle like hell!
This thing called colour, I neither feel nor hear,
Please tell me why, Mommy dear?
What do "look" and "see" mean, oh so unclear,
Are they things we do to items near?
I am just a little blind kid, they say,
Will I see, when I’m bigger someday?
The day is warmer than the night,
But what is this thing they call light?
I know the sweet scent of flowers ,
But not their rainbow of colours.
How would I know beautiful things?
Stars that twinkle or rainbows in springs
Are those tears dripping down my arm?
Mom, dear mom I meant no harm.
Because of what I say, please do not cry
For other kids, sometimes they lie!
⁃ Niranjan Selvadurai
Note: Inspiration from සුදෝසුදු by Sagara Palansuriya (කේයස්) who wrote මල් ලස්සනයි on a similar theme.
කවිය බලන්න
ගලායන ජීවිතය .............
තරුත් පායන්න ඇති නිවි නිවී දිලිසිලා
සඳත් බැසයන්න ඇති හිස් අහස හඬවලා
සිතත් නැවතෙන්න ඇති දුක් අතර සැඟවෙලා
ජීවිතය ගලන්නැති කඳුල මත හිනැහිලා.
නොලැබු පැතුමන් රැසකි ලැබුනු දෙයකට වඩා
නොලද සෙනෙහසක් වෙද හදෙහි රැඳුනට වඩා
නොපිපි මල් වල සුවඳ දැනේ පිපුනට වඩා
නොවැටි කඳුළක දුකක් දැනේ හැඬුමට වඩා.
දිලුන තරු නිවෙන්නැති නෙතින් හිනැහෙන්න පෙර
පැතුම් මල් මියෙන්නැති සිතුම් නැවතෙන්න පෙර
සඳත් බැස යන්න ඇති අඳුර දුරු වෙන්න පෙර
කවිත් ලියවෙන්න ඇති හදින් ගිලිහෙන්න පෙර.
වෙරළ වෙත දිව ඇදෙන දිය රැල්ල පරිද්දෙන්
නුබ සමඟ සිතිජයේ හමුවෙනා පරිද්දෙන්
දුක දරණ හද මඬල ඉකිබිදින පරිද්දෙන්
එක්වෙලා වෙන්වෙමුද ලොවෙහි ඇති පරිද්දෙන්.
කවිය බලන්න
මෙහෙවර ඉටු කර
මෙහෙවර ඉටු කර
දිවි මඟ නිමකර
සඳ තරු අතහැර
බැසගිය දිනකර
දශක අටක් තුළ
යුතුකම් ඉටුකළ
කිසිගොස සුපතළ
වැඩුණිය දරු කැල
දෙසවන් පිනන හැඟුමින්
ගැයුවේ මිහිරි ගී සර
එනමුදු ඔබ නැති මේ දුක
කාට කියන්දො
අප සිත් හඬන තරම්
කවිය බලන්න
නත්තල් සීයාට තෑග්ගක්
නත්තල් සීයා - නත්තල් ගහ යට වාඩිවෙලා
අම්මලා තාත්තලා දෙන තෑගි පෙට්ටි
ආයෙත් පුංචි එවුන් අතට දුන්නම
පුංචි එවුන්ට හරි සතුටුයි
ඒ විතරක්ද ..........
නත්තල් සීයට තුරුලුවෙලා
ඉන්න ෆොටෝ එකකුත් අම්මලා තාත්තලා
සතුටින් අරගන්නවා
මම බංකු කොනක වාඩිවෙලා
බලන් ඉන්නවා
ඔන්න... නත්තල් සීයට පුංචි විවේකයක් ඇවිත්
මම වාඩි වුනු බංකුවේම
නත්තල් සීයත් ඇවිත් වාඩි වුනා
කටකොනකින් යන්තම් හිනා වුනා
ඒ හිනාවේ හැංගි තිබුනේ
දුක්බර ආයාචනයක්
මිනිත්තුවක් දෙකක් ගෙවුනා
නත්තල් සීයා මගේ දිහාවට හැරුනා
කෝපි එකක් අරන් දෙන්න පුලුවන්ද ඇහුවා
බොහෝම සංයමයෙන්
මම කොපි එකක් අරන් ඇවිත් දුන්නා
නත්තල් සීයා, අසාවෙන් කෝපි උගුර උගුර බොනවා
ඔහු මට මෙහෙම කියනවා
" මගේ පුංචි එවුන් දෙන්නා
හවස මම එනකම් බලන් ඉන්නවා
නත්තල් සීයට ඇඳගෙන - මේ තෑගි බෙදලා
හම්බවෙන සොච්චමෙන්
රෑට කෑම ගත්තම
මගේ පොඩි එවුන්ට - නත්තල් තෑගි ගන්න
මුකුත් ඉතුරු වෙන්නේ නැහැ....."
නවසීලන්තය
29 දෙසැම්බර් 2024
කවිය බලන්න
නිඳා සිටිනවා මම නොනිඳා ම
බැඳෙන තරමට ම බැඳුනු හිතකට
තනිකම ම දරාගන්නට කියූ විටෙක
දරාගන්නට ගලපගන්නට බැරුව
ලතවෙන ම මම පළමුවරට ම
හඬක් නැති රුවක් නැති
වචන පෙළකට
බැඳුනු හිත
මෙතරම් ම බව
පසක් කරගන්නට
නොහැකිව ලතවෙනවා මම
බලා හිඳීමත් ප්‍රේමයක් බව
දැනුනේ නුඹ නිසා ම බව
පසක් වන විටද
නිඳා සිටිනවා මම නොනිඳා ම
කවිය බලන්න
The Mood of Nature
The sky grows darker
Day by day,
Hour by hour,
Minute by minute.
The sky illuminates
As darkness fades away.
Day by day,
Hour by hour,
Minute by minute,
Hail falls across the globe.
Rain pours down upon the world,
Driven by the wind that circles the earth.
For all the weather that never ends,
It’s as if the world pushes
Against itself for all eternity
New Ash Green Primary School
කවිය බලන්න
කැදැල්ල
වැසි සුළං අතරතුර
ගරා වැටෙමින් තිබෙන
පවුලකට සෙවණ දුන්
නිවහනකි මේ පාලු
මව්පියන් කඩිසරව
ඉදි කෙරූ මේ නිවස
පොඩි උන්ගෙ නවාතැන
වුනි ඉගිල යන්න පෙර
සෙවන රැකවරණ දුන්
කොළද වියළී හැලී
අත්තිවාරම් දෙබල
සුළඟ හා සැලි සැලී
කොහේදැයි නොදනිමී
මුලු පවුල මෙහි විසූ
නොඇසුවෙමි කාලෙකින්
කිචි බිචිය උන් නැඟූ
වසන්තය ආ කලට
තිබෙයි පරඬැල් මෙතැන
යළිත් නව යුවලකට
නිවහනක් සදන්නට
කවිය බලන්න
ආදරය?
පහන කෙළෙසින් නිවී ගියෙහිද?
සුලං පහරින් රකින්නට යයි
මගේ සළුවෙන් වැ සූ යෙම් මම්
එයින් එ’පහන නිවී ගියෙහිය.
මෙ මල කෙලෙසින් පරව ගියෙහිද?
ඉතා අදරින් රකිනු වස් එය
මගේ ලෙහි මම හොවා ගත්තෙමි
එලෙස මේ මල පරව ගියෙහිය.
කෙලෙසකින් දිය දහර සිදුනෙද?
වඩා වැ ඩියෙන් වැඩක් ගන්නට
ඇහුරුවෙමි මම වේල්ලක් බැද
එයින් සිදුනෙය දිය දහර අද.
සබද, වෙණ තත කෙලෙස සිදුනෙද?
තැත් කළෙමි මම ලබා ගැන්මට
දැරිය නොහැකිවු ඉහල ස්වරයක්
එලෙස බිදුනෙය සබද වෙණ තත.
(රබින්ද්‍රනාත් තාගෝර් මහා කිවිදුන්ගේ කවියක් ඇසුරිනි)
කවිය බලන්න
අහිමි පුදබිම්
හිසේ එදවසේ සිපගත් මුදු කෙස්ස
දිසේ බත් පතේ කිම දික් කර හොස්ස
මසේ රුව මැකි දැන් මතුවෙයි කොස්ස
කෙසේ ලොව දකිනු ඇස් බැන්දුම් ලෙන්ස
මුතු පොට සේම එදවස දුටු දත් පේලි
නතු කර ගන්න කොච්චර ලිව්වද හෑලි
ඇතු දළ සේම දඟ යුග දැන් සුදු මෑලී
මතු නොව දැනුත් මම තුන් කුදු වූ මෑලී
නා දළු දෙතොල් ගොරකා ලෙලි දෙකක් වගේ
ගල් කුළු ලමැද දිය නැති පෙරහනක් හැගේ
කෝ සළු තිළිණ කණ කර බර කරපු මගේ
වාසල පහන නැති දා නුඹ දකිති අගේ.
වරල් පැලුන විලුඹේ දැලි නාවරය
ඉදල් මිටට දැතේ කර ගැට පෙලය
කරල් පැහුන යල මහ දැන් අහවරය
තුරල් නොවී වැහැපන් මහ රෑ දිගය
නිලුපුල් කියා දෑසට කවි පද බැන්ද
මුලු කොන ඇසේ කඹ සුඟ දැක තරහින්ද
කුලු මීමා නිවී, දැන් නුඹ දස සිල්ද
අළු යට ගින්න තැන් තැන්වල ඇවිලෙයිද
සුරල් අමතකව බෙර ඇහැ එලි පත්තේ
කිරල් දෙන හඬයි මිය ගිය දෙහි අත්තේ
කුසල් නොම කලත් වරුවක් සිල් ගත්තේ
කොහොල්ලෑ මිදි අත් පැටලේ කැත්තේ
කාසි මම නොවේ පිං කැටමයි ගත්තේ
දාසියක උවත් මල් නෑ ගේ වත්තේ
වාසියක් නැතත් අද හෝ මතු මත්තේ
රාසි වැරදිලා සෙනසුරු අත ගත්තේ
කවිය බලන්න
(අව) නඩුවේ පාපොච්චාරණය
මගෙ නම
බිම්බා දේවි වර්ණකුලසූරිය ස්වාමීනී
සිද්ධාර්ථ කෙනෙක් වෙනුවට
දේවදත්ත කෙනෙක් මුණගැහුනෙ
කයිමන් දොරකඩදි ස්වාමීනී
බොහොම හදිසියෙන්
කෝච්චිය අල්ලගන්න
දුවමිනුයි හිටියෙ මම
කඩු ගන්නාවෙ කන්ද නගින්න
පටන් ගන්නකොටමයි
අපි ප්‍රේම වන්තයො වුණේ
නෙළුම් කුළුණ විතරක් නෙවෙයි
අයිපල් කුළුනත් මුලින් උදුරන්
මගේ පාමුල ගෙනත් තිබ්බා
ගමනාන්තෙට ලඟා වෙද්දි.
නුවරින් බැහැල ගෙදර ගියෙ
රටක් රාජ්‍යක් අයිති කරගෙන
එදා ඉඳන් හීන මැව්වෙ
අයිපල් කුළුනටත් වඩා උසට
ආදරේ දෙන්න
ඒ වගේම ගන්න
ජීවිතේ පුරාවටම.
ඒත් දවසක් ඔෆිස් එකේදි
පොඩි කසු කුසුවක් ඇහුණා
රැ ගෙදර බත් මුට්ටිය
පොඩි වුණා
පොඩි උන් බඩගින්නෙම
හීනෙන් ඉකි ගැහුවා
එයා ආයෙත්
අර අයිපල් කුළුනම
උදුරගෙන ඇවිත්
අපෙ ඔෆිස් එකේ සුන්දරීගෙ
පය පාමුල තියල තිබුණා
ඒ හින්දා ගෙදර තුන් බියම
ඇතිවුණා ස්වාමීනී
දුර්භීක්ෂ බිය
යුධ බිය
මරන බිය
බැරිම තැන තමයි සුන්දරීව
ජේතවනාරාමෙ ලඟ කානුවෙ
හංගල දැම්මේ
ඒක කලේ මමයි ස්වාමිනී
වරද කාරිය මමයි.
2024.12.01.
කවිය බලන්න
මස්සිනා ගේ රහස් ආදරය
වරලස නොදමනු පහලට, සඳලුතලයෙන්
මට ලෝභයි
මම එන්නම් පියඹා ලිහිණියෙක් වෙලා
ලෝභයි මට කෙස් ගහක් වත්
කැඩුනොත් හානියක්
කවි ගීත මොකටද මට, ගයන්නට
මගේ නම කීවත්, කවියක් වැනිය මට
සංසාරේ පැතූ
සවන හොත් මී පැණි විලස
ලෝභයි මට, අසන්නට ඕනෑ නැත ඔබෙ කවි ගී
දරුවන්ටයි හිමි කවදා හෝ ඔබගේ
ආදරය අවැසි නැහැ දෙන්නට මට
මුහුණේ සිනහව දෙස හොරැහින් බලා
සැනසෙන්නට හැක සිත පුරාවට
අයිති නැතිමුත්, දන්නේ නැතිමුත්, ඉන්න බැරිමුත්
දන්නවා යැයි සිතා
කවිය බලන්න
ගැලවෙයි අරය ගේ වගේ
ආචරි මහචාරි කථිකාචාරි වගේ
අධි නීතිඥ විසෙස් වෙදැදුරු කමයි අගේ
සිතමින් ගතොත් නැති ටයිටල් කියා මගේ
සළුපිලි දිනෙක ගැලවෙයි අරය ගේ වගේ
කවිය බලන්න
අනුත්තරා!!!
ප්‍රයිවෙට් බස් එකේ කොනේ ප්‍රේම කරපු අනුත්තරා
මුහුදුවෙළෙ කුඩේයටින් සැප හැඟවූ අනුත්තරා
ටියුෂන් යනවාය කියල ලව්ම කෙරුව අනුත්තරා
ආදරයේ මුල් පාඩම් කියලදුන්න අනුත්තරා
ගිය සතියේ අහම්බෙන්ම මට හමුඋනු අනුත්තරා
තවම ඛැඳල නෑ කිව්වම ලෙක්චර් දුන් අනුත්තරා
උඹ බැඳලද මම ඇහුවම අහක බැලුව අනුත්තරා
ඇස් පොඩිකර මහ හයියෙන් හිනාඋනා අනුත්තරා
කවිය බලන්න
අඩි 13 ක් පස්සට
නව වසරකින් පරිසරයම හිනහෙනවා
නත්තල් සීතලෙන් ගත සිත පිනවෙනවා
තුන්සිය හැට පහක අග මුල සමරනවා
අවුරුදු වගෙ සමහරු එනවා යනවා
කොච්චර ආදරෙයිදො රැල්ලට වෙරළක්
ඉස්සර දිනක තනිකර ගියමුත් මොහොතක්
කාලය ගෙවිලා එළඹුනි නව අවුරුද්දක්
ගෙන දෙනවදො දැන්වත් මට සැනසිල්ලක්
අඩි දහතුනක් පස්සට ගොස් ඉවසීම
වෙිගය සමඟ ලැබ දෙනවාමයි සැනසීම
ඉස්සර වගෙ ආයෙත් ඔබෙ පැමිණීම
අවුරුදු එතකොටයි මට නම් හැමදාම
කවිය බලන්න
නව වසරට සුබාසිරි
ගෙවී ගොස් වසක්
ඇවිත් තව වසක්
බිඳුණු පැතුමන්
තැවුණු හදවත්
බලාපොරොත්තුවෙ ඇසින්
බලාසිටිනා නව වසක්
කඳුල මත සිනහ මැවෙනා
දුකින් සතුටම මතුවෙනා
පරාජය ජයම ගෙනෙනා
සියලු සිත් සැනසෙනා
සුබම වසරක්ම වේවා!
කවිය බලන්න
නව වසරට ආසිරි
බිඳුණු සිත්මත කඳුළු ලතැවුල් නිවී සිනහව පිරී යන්නයි
විඳින දුක් කරදරින් මිරිකුණු සුසුම් වැල් දුර ඇදී යන්නයි
පැතුම් බොඳවු ගෙවුන වසරේ තිබුණ බාධා දුරුව යන්නයි
සියලු සිත්මත නැවුම් පැතුමින් පිබිදෙනා වර්ශයක් වෙන්නයි
යනෙන මඟ තොට දරුණු අනතුරු කිසිම කෙනෙකුට නොවේවා
නපුරු සිතුවිලි වලින් මිදිලා කාරුණික හදවත් දිලේවා
පිපෙන මල්වල සුවඳ පැතිරී සියලු දුක් ගිනි නිවේවා
සෙනෙහසින් පිරි හදවතින් උතුරන සිසිල හැමටම දැනේවා
කුසට අහරක් නැතිව හඬනා හැමගේ කුසගිනි නිවේවා
සතුන්ටත් කරුණාව දක්වන සිතක් හැමටම ලැබේවා
රටට යහපත් හෙටක් ලැබිලා දියුණුවෙන් දියුණුව ලැබේවා
ඔබට මට මෙන් ලොවට සාමය සතුට අරගෙන හිරු වඩීවා
අනුරාධා ගුණසේකර
හොරණ
කවිය බලන්න
අඹරට නැගී දිදුලන සඳ පුන්සඳ............
සම්බුදු සමිඳු ගෞතම අපේ මුනිඳු
බුදුවී ලොව්තුරා අටමසකින් පසිඳු
උරුවෙල් දනව්වේ දුරලා අවිදු අඳු
දමනය කළේ ජටිලයො දුරුකර අඳු
සිදුහත් කුමරු ගිහිගෙය හැර යනමගට
හමුවුණු නිරිඳු එදවස සිටි මගධරට
බුදුවී පසුව වඩිනා ලෙස සියරටට
බිම්බිසාර රජු කීවේ බෝසතුට
ලැබුපසු බෝසතුන් පදවිය සම්බුදු
වැඩියා මගධරට සිහිකර යලිඳු
දෙව්රම් වෙහෙර කරවා මහ නරනිඳු
දුරුතු පොහෝදා පිදුවා සසුනට බුදු
හෙලදිව එදා මහ උයනේ මහනාග
ඇවිලුණු අරගලය මහ යක් හා නාග
දිවසින් බලා බුදුරජ සලසන්නට යහමග
විගසින් වැඩියෙ ලක්දිව ගුවන් නැග
අමෝරා සිටිද්දි යක්දන නෙක නෙක අවි
දමනය කරන්නට යෙදුවේ බුදු සමිඳු සවි
මහාමේඝ අකුණුද මහවැසි පෙලට මැවී
බියවුණු යකුන් දිව්වා ගිරිදිවට නැවී
මහියංගනේ යක්සේනා දමනයට
වැඩිදා බුදුහිමි මේ හෙලදිවට
සමන් සුරිඳු වැඳ බුදු සමිඳුන්ට
ලැබුවේ කේශධාතුන් වැඳ පුදන්නට
කවිය බලන්න
තේ දලු නෙලන ලියේ
කඳුකරෙන් පෑයු සඳ මව් සෙනේ ගලනුයේ
ළඳු අතරෙ විඳින දුක ඈ නෙතේ ඇමිනියේ
ඉඳු සයුර පිරී ගිය කඳුකරේ ඩහදියේ
මුතු වටින ලක්බිමම නුඹෙ හඬින් ලෙලෙනුයේ
මිනිස් දම් ලෙලෙන දින නුඹ උපන් මව්බිමේ
නිදහසක ඉව වැටෙන පරපුරකි කඳු ඉමේ
සයුරු තෙර පාවෙමින් කඳුළ අද ඇගෙ ලැමේ
නළවාවි දරුන් සැම නුඹ ගීය සැනසුමේ
සතුටු කඳුලින් පිරෙන තේ දලුව කඳුකරේ
රතු පාට වෙද්දි තව රස වඩයි ආදරේ
ලොව දසත තේ සුවඳ මනු සිතට තුට පිරේ
නුඹෙ දෑත් එක කරන කඳු නගයි සුරපුරේ
ශතක පරයලා ගිය කාලයේ වැලිතලේ
පායලා සිසිල් සඳ රැස් ගලයි කඳු පෙළේ
දලු නෙළන සැම දෑත් සමගි බැම්මක වෙලේ
දෙනෙත ලක්මෑණි ගේ කඳුලු පිරිලා දිලේ
කවිය බලන්න
අපි අපට තව දුරද දේවී
තරු එළිය ළග ළගයි දේවී
අපි අපට තව දුරද දේවී
බමුණු මත, බැමි පවුරු ඒවී
ඒත් ඔබ එක හිතද දේවී
එරෙහි වන බල මුලක සතුරු
මළු පිරෙන තරම් ගල් මුගුරු
ජාති ආගම් නැමැති පවුරු
ඇයිද අප තකන්නේ කවුරු
එක හිතට බැදෙන්නට සතුටින්
බදිමු අප කැදැල්ලක් විගසින්
ගුලිකරන් ඒ පැතුම් එලෙසින්
දුරු රටක හෝ වෙසෙමු සතුටින්
කවිය බලන්න
සරසුති බන්දා..
සරසුති..(ස්වර සෘති)
හදවත නිසසල දැහැනක ඉන්දා...
සරතැස දුරුකර මිහිරැස දුන්දා..
ලබැදිව මුසුකල සිතිවිලි රන්දා..
දෙසවන පිරිමැද මුදුසුව බැන්දා
සරිගම පධනිස සරසුති බන්දා...
මිහිරිම කෝමල තත්විත බින්දා...
මගෙසිත නොසිතන මානෙක කැන්දා..
සොඳුරුම කන්කලු මධුරස වින්දා..
දෑතෙහි රතැඟිලි ඔබමොබ නන්වා..
තාලෙට කවකට හඬතල කැව්වා..
කාලෙට සරිලන හැඩතල ගන්වා...
ගීපද පවනට මුසුකර යැව්වා..
කවිය බලන්න
ජේසු සමිඳාණනේ !
වෛරයේ ඇණ සිදුරුකළ හද
ගලවා දමා අප මුදන ලෙස
ගොල්ගොතා කඳු හිස කුරුස මත
දිවි පුදා ඔබ දෙසූ ඒ දම
කොහේ සැඟවී ගොස්ද අද දින
අසල්වැසියාගෙන් පටන්ගෙන
ලොවේ සත් වග වෙතට පෑ යුතු
ප්‍රේමයකි ඔබ දෙසූ අප හට
දිවි පුදා ගොල්ගොතා කඳු මත
සොයමි මම අද මෙලෝතලයෙහි
කොහිවේද ඔබ එදා දෙසු පෙම
බලමි සැම මිනිසෙකුගෙ හද තුල
මෙතෙක් හමුනොවුනි එය මට
දකිමි මා තුලද නොමැතිබව.
යළි බිහිව මේ කුඩා ග්‍රහලොව
ගෙනෙනු මැන සිත නිවන ඒ පෙම
ජේසු සමිඳාණෙනේ !
කවිය බලන්න
ඉඩෝරය.
සත් මසක ඉඩෝරය
හදවත ඉරි තලා ගිය
විරසක සිත් පලුදු කර
නුඹ ගියා එතර
ඉඩෝරයට.. වැලි කුණාටුවකුත් එකතු කර.
වසන්තයේ පිපුණු මල නුඹ
කනාටු මා හද ගෙවත්තේ මැද
පරව ගියේ ශනිකයෙන්
සුවඳ රඳවා මතක තුළ
ඒ ඇරඹුමයි ඉඩෝරය හදවතක.
ගිම්හානය සරත් සමයත්
ගෙවීගොස් මට හොරාවට
ශීත සෘතුවත් ඇවිත් දොරකඩ
නොදැනුනේ මට හිත ඉඩෝරෙක.
දැනුනු තෙතමන නාස් පුඩුවට
හැමූ සුලගක බොහෝ දුරසිට
සිහින් වැහි පොදක නිමිති ද
නිමාවද සත් මසක ඉඩෝරය
බලාපොරොත්තුව මිය ඇදෙන්නේ
දිනක මා මියගිය පසුවමය.
කවිය බලන්න
උන්මාද චිත්‍රාව සේ පෙනුනේය නුඹ නංගියේ
එක්ටැම් ගෙයි ඇය සිර කර සිටි ඒ සංදියේ
උන්මාද චිත්‍රාව සේ පෙනුනේය නුඹ නංගියේ
ඒ සුවඳ දැනුනු බව කියන්නට මේ වංගියේ
කොයි ඉන්නෙ කියාපන් මට හැරෙන්ට හංදියේ
නොකැලැල් පිදුව ආදරයෙන් සුවඳ විදා
චිත්‍රාවනුත් ලොව සැමගෙ සිතම බදා
ඉරිලා වැටුනු සිත ගිනි කඳු ලගම පුදා
කිරුලක් නැතත් ඇයගෙ නම දිලිනී සදා
චිත්‍ර රාජලා වගෙ නැතුවාට මුරට වටේ
ලොවක් ආදරෙ කරන අය ඇත නුඹට රටේ
දීඝ ගාමීනී එදා රැකුනට ගොඳුරු කටේ
කාල වේලලා ඉන්නවද දැන් මුතු ඇටේ
එදා ආදර කතා අසමින් පොත පතේ
සතුටු වෙන්නට හබල සොයමුද හැම අතේ
ඔරුව පැදගෙන ගියත් අද නම් ජීවීතේ
ප්‍රේම කරනට කවුද දන්නේ ඔය දුපතේ
කවිය බලන්න
නුඹ
වැහි පියළි එක්ක තරඟෙට හිනාවෙන
තොරතෝංචියක් නැති බස්
පපුවට ම බර වෙච්ච බැල්මට
මුළු හිත ම හිස්!
බොර පාට ඇඟිලි අතරෙ පැටලිච්ච
කෙටි අක් බඹරු කෙස්
කොළ පාට කමිස අත් නම නමා
ලස්සනද අහන නියොන් එළි ඇස්!
සංවර ම බැල්මෙනුත් තිගස්සවන
අසංවර ම වැහි වැටෙන දවස්
කලුවරට දාව දඩබ්බරව මෝදු වුන
නුඹ රතු පාට ඉර රැස්!
කවිය බලන්න
තීන්දු ......
කැපුම් සීරුම් තැලුම්
පැල්ලම් මකයි ලවණ රේඛා
ප්‍රතිකාර අනවැසිය
ලවණ ප්‍රතිකාර නිරායාසය.
නඩු නැත අවනඩුත් නැත
ගනු පමණි දෙනු නැත
පෙර ගෙවුම් පසු ගෙවුම් නැත
සියල්ල එකවර
ප්‍රාර්ථනාවකින් තොරවම
දෝත පුරා ලැබේ.
නඩුවක විත්තියක් ඇත
සාක්ෂිත් ඇත
නමුත් මේ අධිකරණ ශාලාවේ
නුඩුකාර හාමුදුරුවන් පමණි
ඔහුත් මන්දමානසික අන්ධයෙකි.
පසුව
වින්දිතයාම වෛද්‍ය වරයා වෙයි
රෝහලත් අධිකරණ ශාලාවත් පොලීසියත්
ඊටත් ඔබ්බෙන් දෙවියන් නැති දෙවොලත්
දොළහේ දොළහේ කාමරයක් තුල
පුදුමයිද
නැත පුදුම විය නැත .
චමරි වික්‍රමසිංහ .
පිලියන්දල.
කවිය බලන්න
යකාගේ සැන්ඩ්විච්
මඟිය නූඹ සිරකරුවෙක්
කාල යකුගේ අහරක්
ටිකෙන් ටික
කා දමන බැව්
නැත කිසිම දැනුමක්
හෝ සිතිවිල්ලක්.
දැනෙයි
යන බව ගමනක්
කර තබාගෙන ජීවිතයක්
ඊයේ දවස
අද වගේ දැණුනත්
නොවෙද එය
ගෙවුණු අතීතයක්.
අද දවල් අද හවස අද රෑ
කාල සටහනක්
දැනෙන ව ද
අත ළඟ වුණත්
එය
ආ හැකි නා හැකි
අනාගතයක්
වර්තමානය
එක මොහොතක්
යන ගමන චීස් පෙත්තක්
අතර හිරවුණ
අතීත අනාගත
පාන් පෙත්තක්
ටිකෙන් ටික කා දමන්නේ
කාල නම් යක්ෂයෙක්
ඔබ මා වුණත්
කවර ලොක්කෙක්
සහතිකයි
ඌ කරනවා ඉවරයක්
11-12-24
කාලය යක්ෂයකුට සම
කරන්නේ එය මිනිසා,
ඔහු ගොඩ නඟන දේ
සතා සීපාවා ගහ කොළ
ඇසට පෙනෙන නොපෙනෙන සියල්ල
කා දමන හෙයිනි.
එසේ කා දමා ඉතිරි කළ
ඇට කටු සමාන දේ අප
නටබුන් ,ෆොසිල සහ
තවත් විද්‍යාත්මක නම්
වලින් හඳුනා ගනිමු
කවිය බලන්න
සුබ නව වසරක්,
සඳ හිරු අලුත් වී
තුරු ලිය මලින් බරවී
පැතුමන් නවමු වී
නැවුම් වසරක් ඇත උදාවී,
දුක සතුට කැටිකර
ආ මග තතුද සිහිකර
නෙලන්නට සිරිසර
යන්න හැකිනම් එයයි පැහැසර,
මිහි මඩල සරසන
බැඳ එකමුතුවෙ අබරණ
දැයක් ලෙස දුර යන
පිරිස් ළඟ නිති රැඳෙයි අබිමන,
මුව මුව සිනාවන්
රැඳි සිත් හරි මනාවන්
හැර වේදනාවන්
ජයතු! ඔබ සැම වාසනාවන්,
කවිය බලන්න
ගොයියෝ දෙයියෝ හ.
නාරි හෝ වෙන සැපක්
නොවෙයි මට කාරි
සාරි නොම ඉල්ලනි ඈ මගේ
බාරි
ගෝරි ඇති මා එක්ක ඈ බැංකු
කාරි
වාරි කේ දෙන්ඩනං පුරෝපන්
වාරි
ඉපනැල්ල නොදන්නා උපදේස දෙතී
සැප කියා රා එක්ක මය්යෝක්ක
කතී
ලැප තියං කන්න ගැන බස වදාරති
ඇප වෙන්ඩ කුෂිකර්ම නෝනා එන් නැතී
කන්ඩ රටට ඕනිනං
කන්න තුනක් වවමි මං
දෙන්ඩ පොහොර බැරිමනං
බොන්ඩ ඕනි අපිද බං
වක්කඩේ නොදන්නා
සක්කරයො මෙහෙන්නා
බුක්කරං හොටෙල් උං
ගොක්කොළේ වියන්නා...
රටක් ගොඩ යන්ඩ නම්
බඩක් පිරවිය යුතුයි..
ඉඩක් දී ගොයියන්ට
ගොයන් බැත විය යුතුයි..
මඩක් පෑගුනු පයට
ඉපල් පෑගිය යුතුයි..
ගොඩක් උං කන බතට
උං වැඳලා කෑ යුතුයි..
කවිය බලන්න
මෙවන් විපතක් යලි නොවේවා !!!
සිත දිව ගියා මගෙ දෙදහස් හතර වෙත
අන්තිම මාසෙ විසි හය බව මතකඇත
මේ වගෙ විපත් මින් පෙර සිදු වෙලම නැත
අදහන්නට බැරිය ඇත්තට මගෙම සිත
ළඟ නෑසියන් පිරිසක් විය දකුණු දෙසේ
වාසය කලා වෙරලට යාබද නිවසේ
නැත තොරතුරක් දුරකථනත් ගොළු විලසේ
බෝ වෙහෙසිලා දැන ගති ඇති බව සුවසේ
ඇඳි වත පමණක්ම ඉතිරිව ඇති ඉන්නා
නෑදෑ පිරිස දකිනට යුහුසුළු වෙන්නා
බීමට වතුර සහ අඩු වැඩි සමඟින්නා
දුර පාරකින් ඒ පෙදෙසට පිළිපන්නා
හැම තැන නටඹුන්ය වැටිලා ඇත පවුරූ
දුර්ගන්ධය කෙලෙස ඉවසන්නද පැතිරූ
දුටුවම නිවස සුන් බුන් වී ඇති අයුරූ
දිවි ගැලවුනු බවක් පිළි ගන්නෙද කවුරූ
නෙක නෙක බෝට්ටුද ගොඩ බිම තුළ තිබුණා
නොබිඳුනු එකදු නිවසක් නැති ලෙස පෙනුණා
සුන් බුන් අතර මලකුණු ඇති බව දැනුණා
නුවරෙහි විසාලා පුවතද සිහි ගැනුණා
පිය වරු අතින් මල් කැකුළුත් පොඩිවෙනවා
කිරි කැටි ළදරුවන් මුදලට විකිණෙනවා
සුන්දර පරිසරය නිතරම වැනසෙනවා
මිහිකත සැලී මෙලෙසට දඬුවම් දෙනවා
කවිය බලන්න
පස්සට පයින් ගැසිල්ල...!
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල...
වීරිය ගන්නෙ කරමින් හරි ඇවිටිල්ල...
ආරිය සිංහලේ වැඩ ගැන
පැවසිල්ල...
ගෝරියකට මුලද , නැතිවෙද ඉවසිල්ල...
යටි අරමුණු ඇතිව මිතුදම් ඇරඹිල්ල...
කෙටි කලකදී පන දෙන සේ මැතිරිල්ල...
හිටි හැටියේ උදව්වක් ගැන විමසිල්ල...
කෙටියෙන් කියමි , නැති කරවයි සැනසිල්ල...
අනුකම්පා සිතැති අයගේ හැසිරිල්ල...
බුමිකම්පා වෙන්න යන්නේ
එඇසිල්ල...
හදකම්පා කරන පස්සට
එගැසිල්ල...
දෙයියම්පා කරනු කෙලෙසද දිරවිල්ල...
කවිය බලන්න
වියසිදුර
මේ කපේ කිසිදිනෙක
සපල නොමවන සිහින
දුපතක් සිසාරා
සපලවී දිලෙන්නේ
සතර රියනක් යටට
සුදුසුකම් ලබන්න
ආසන්න අවධියක
අපේ දරු මුණුබුරන්
ගොඩනගාවී සිතු
ඒ සොදුරු ගරු මිතුරු
හුදී ජන අත්වලින්
සැබෑකර ඇත සිහින
නමස්කාරය පුදමු
ඒ වෙනස් අත් වලට
එකම එක රොටියකින්
දවස පාකර හරින
දුවිල්ල වැව් ජලය
මැද ගෙවා ජීවිතය
මසවුලක් නොමැති රළු
මස් නොමැති ඇටසැකිලි
පණු කැදලි රැලක් මෙන්
පා පුවරුවේ රැදී
සිදාදිය වෙත දුවන
සැපඅහිමි හුදී ජන
ඉහළ සහ මද්‍යමේ
හදවතක් හිසක් හිමි
සියලු ජනතා කොටස්
එකතුවී සමගිවී
ගොඩනගා ඇත රටක්
දශක පහකට වඩා
දුගියන්ගෙ ගෙල කඩා
දහදියෙන් බඩවඩා
ලේ බුදින මා බිලුන්
දුර්මුඛව සිටින පැය
උදාකරගනු පිණිස
ජීවිතය පුදාළු
සියලු ඒ ජනකොටස්
ජාතියේ නාමයෙන්
නමස්කාරය පුදමු
ජනතාව මරවමින්
රුධිරයෙන් සැනසෙමින්
සදළුතල සරසමින්
සියලුසැප විදවමින්
ගෙවාලූවස් එවන්
සිටුමැදුරු පාලනය
කඩා සුනුවිසුනු කර
දහඩියේ සුවද හුරු
සැපක් කිසිදා නුහුරු
හුදී ජන කැල මැදින්
බිහිව ඇත රජවරුන්
එවන්වූ දේශයක
මල් පිපෙනු දකින්නට
මරණයට පෙර අපට
දකින්නට ලැබේවා!!!🌹🌹
කවිය බලන්න
සුපැතුම් !
තවත් වසරක් ගෙවීගොස් එයි උදාකරදී නව වසක්
දොලොස් මසකුත් ගෙවීගිය හැටි වගෙයි හරියට සති දෙකක්
පුරුදු නුපුරුදු සටන් මැද්දේ එකක් පසුකර තව එකක්
සතුට සැප දුක සිනහ කඳුළුද කීවෙ ජීවත්වෙන බවක්
කෙනෙක් සතුටෙන් ඉපිල යද්දී ඉපදිලා පවුලට බබෙක්
තවත් ඇසකින් කඳුළු සැලුනා නැතිවෙලා පෙම්බර අයෙක්
සිතක් සැනසෙන විටදි මොහොතක ලබා ගත්තායැයි ජයක්
වැඩිය ඈතක නොවෙයි තැවුනේ පැරදුනා යයි තව සිතක්
දිනක් ඇරඹෙන විටදි හිරුනැග උදාකර පැතුමන් දහක්
බැසගියා අවසනේ සවසට ඉටුව නොඉටුව ඉන් යමක්
නැවත පසුදා අවදිවී යළි පටන් අරගෙන තව වරක්
වෙනස් නොවෙනස් ක්‍රියා දාමෙක යෙදුනු තුන්සිය හැට පහක්
ලබන දෙදහස් විසි පහට යමු රැගෙන යහ හැඟුමන් රැසක්
වෙහෙසවෙමු මල්ඵල ලබන්නට ගෙන දිරිය හා හැම වෙරක්
දයාකරුණා ගුණය වඩවා තර කරමු සොහොයුරු දමක්
සැවොම එකතුව ගෙවමු සමගිව එළඹි වසරේ සැම දිනක්
අවැසි අපහට සමව පැතිරුනු ලොවපුරා එක සාමයක්
සැවොම කැපවෙමු පතුරවන්නට සදා පවතින ප්‍රේමයක්
මනසෙ නිදාහස ලැබෙන ගතසුව ජයෙන් දිලෙනා කාලයක්
පතමි ඔබහට ලැබූ වසරේ සැම සතුට සහ ප්‍රීතියක් !
කවිය බලන්න
කදුළු කැට
සගවා කාන්තිය
වසමින් අන්දකාරය
බේරමින්
ඉතිරි වූ පත් එක දෙක
රිංගා අතු අගට
ගුලිවෙමින් සීතලට
විසි වෙමින් මද නලට
දියකර තනිකම
හෙමින් සීරුවට
බිම තෙමයි
කල්පයක
දුක ශේෂ වූ
කදුළු කැට ……
Photo credit; John Noonan
කවිය බලන්න
2024 ට ආයුබොවන්
නටු ලෙසින් දුක හදේ හා වී..
සතුටු මල් ගිලිහෙද්දි සුපිපුණ
ගතු කියන්නට එන්නෙ නෑ යයි..
සමනළුන් ඉගි ලෙද්දි බනිමින.
පිටු ගණන්වල අකුරු වී ඇති..
අමුතු සිතුවිලි හිතේ මතුවුන.
තටු ගසන්නට දරයි වෙහෙසක්..
ඇවිත් අත්තටු උමතු විලසින.
************************************
සෙසු මිනිස්සුන් කරන දේවල්..
දැක දැකත් තව ඉන්න බැරි තැන.
ඇස රිදෙන්නට මගදි හමු වී..
අහක යන කොළ කෑලි පිරවුන.
සිටු ගෙවල් වල විදුලි කැමරා..
යොමුකරන් බැලු පාරෙ හිල් ගැන.
මට ලියන්නට බොහෝ කවි විය..
හිනාවට වැඩියෙන්ම වැලපුන.
***********************************
දුක කියන්නේ මක්කදැයි ..හැඳුනුමක් හෝ වැටහුමක් නොමගෙන.
රට කරන්නේ මෙහෙම යයි..
තොපි මක්කරන්නද කියා හිනහුන.
ලොකු මිනිස්සුන්ගේ කතා ළඟ..
පොඩි එවුන් ඔරවද්දි පැරදුන.
මට ලියන්නට බොහෝ කවි විය..
දිණුම් කණුවෙන් මෙහා නැවතුන.
*************************************
තවත් වසරක් නිමා වුන තැන..
අලුත් විදියට හිනාවෙනු මැන.
වෛද්‍ය නිලධාරී.
බන්ධනාගාර වෛද්‍ය ඒකකය
බදුල්ල.
2024.12.14.
කවිය බලන්න
මධ්‍යතන පෙම්.වත
වතිකානුවේ රන් දෙවොලේ
අල්තාරය මත වැඳ වැටෙන්න
නොත්‍රදාම් දෙව් මැඳුරේ
පාට වීදුරු කවුළුවලින්
එබෙන්න
ආපස්සට සියවසින් වස ගොස්
ජෙරුසෙලමේ වැලි අහුරක් ගෙන
සිහිනැඟිලි උඩ විසිරුවා යදින්නම්
ක්‍රිම්සන් රතු දෙපෙති
ක්‍රිසැන්තිමම් දෙතොල'ග
තෙමවා නැවුම් සව්දියෙන්
දිවුරන්නම්
ඇතීනා නුඹ මගේ වෙනවද
ජීවිතේ තියෙන තුරු
ගෙවෙන හැම ගිම්හාන රෑකම!
කවිය බලන්න
සිරිපා සමය - Samanalawatte
සමන් සුරිඳු වැඳගත්තට පසු ගණ්ඪා නාදේ..
නිරන්තරේ උඩ මළුවෙන් පිරිත් හඬත් වීදේ...
දවල වලා කුළු අතරින් ඉර සේවෙත් පෑදේ
සාදු සාදු කරුණාවයි යමු අපි සිරි පාදේ...
සුදු පිරිවැට හැඳ හෙමිහිට සීත ගඟුල පේවී
ගෙත්තම් පහනෙදි ඉඳි කටු නූලුත් අමුනාවී
ලිහිනි හෙලය මහ ගිරි දඹ දොසක් නැතිව යාවී...
සමන් දේව කරුණාවෙන් හැමදෙන රැක දේවී..
දහසක් බර හිස දරාන දුකින් පෙළෙන දන
හිත් සතුටින් යන එන ගමනක් තියේද වෙන
සමොනොල අඩවිය සිරි පා පියුම පිපුණු තැන
මේ පාරත් වැඳගන්නට වරම් ලැබෙනු මැන
කවිය බලන්න
ප්‍රතික්ෂේපය
වැරහිල්ලක් වතලා ගෙන
දිවි ගෙවූ මගේ මළ වත
මිල අධික සළුවකින්
වසාලන්නට අවැසි නැත ඔබ.
මහ පොළොව නිදි යහන කරගෙන
දිවි ගෙවූ මගේ මළ වත ට
අවැසි නැත ඔබේ
මිල අධික බහාලුම්.
මා දිවි ඇති තුරුම
කළා වූ මෙහෙවරට
කිසිදා ඔබෙන් නැත පැසසුමක්
ලැබුණෙ මට.
ඒ නයින් මොකටද
ඔබෙ බොරු ගුණකථන
මගෙ මේ මළ වතට.
ඉඳුල් කටකින් කුස පුරවාගෙන
දිවි ගෙවූ මා නමින්
රස නහර පිනා යන
දම් බොජුන් සකසලා
ඔබ කරනා පින් අවැසි නැත මට.
පසුම්බියට ඔබෙ අගුළු ලාගෙන
කඳුළු ගඟට මා ඇද දැමූ පසු
හුස්ම හිර වෙවී එහි පිනද්දී
ආත්මය හැර ගියා මගෙ
ශරීරය තනිකර........
දැන් ඉතින් මට කිසිවක් එපා.
ඒ අන් කිසිවක් නිසා නොව,
කිසිවක් දැන් මට
නොදැනෙන නිසා......
හේතී
කවිය බලන්න
සුදු පුතේ...
වන්නට කිරක් නොවේ
ඉපදී මා ලය ගැබේ...
වාන් දමා කැලතෙන ස්නේහයක් වේ
නුඹට දැනුනද පුතේ...
හිස තියන්නට ඔය උරහිසින්
බරක් නොවෙමි මා කිසිදිනේ......
ඇගේ ලය වියලෙන දාට ඇව්දින්
දෙතොල තියනවද මා ලයේ.....
හීනයක් ගානෙම ඇව්දින් තුරුලුව
අප්පච්චි කිව් සංසාර ගීතයේ....
හෙටත් ඉඩ තියෙනවා නුඹටම
එල්ලෙන්නට ඇගිලි තුඩේ.....
මහා මේරුවට වඩා බර දැනේවි
තටු විහිදූ දින විසල් අහස් තලේ
ඉගිල යන දාටත් අමනාප නොවී
නුඹ හිනැහෙනවද...මගේ දෑස් කොනේ....
කවිය බලන්න
තිලොවඟ සමිඳාණ.....
වත සුපිපි පියුමෙකි
එසඳ මනහර දසුනෙකි
නිබද රන් කිරණකි
ලොවඟ සැනහෙන වැනුම උතුමෙකි
වඳනෙම කාරුණික
එතැනම බැඳී අරුතක
සුපිපෙණ ම පියුමක
එරැඳිහුන් උතුමණෝ තිලොවක
සත් වඟ මුදාලුව
එලත් තැනම නිවාලුව
පස්මරු නසාලුව
එඅවසන නිවනෙහි තබාලුව
අවරට නොයන්නට
පෙරඹර දිලී එන්නට
ගැඹරෙම නැඟෙන්නට
උතුමන දෙසූයෙකි නිවෙන්න ට
සත්කය නිවාරණ
වත්කම දහම් කාරණ
ලත්තැන දිනූවෙන
ඳෙසුවෝ මුනිම හිමි සඳාතන
නිරුත්තර නොවූව
යතාවම දෙසුව වූව
සත්‍යම වඳන වුව
උත්තම අමාමහ මෑණී වුව
මහ පියුම් විරිත
මාත්‍රා 09 - 11 - 09 - 14
කවිය බලන්න
නිල් දිය විලකි
නිල් දිය විලකි
ඉතිරෙන මෙත් සුනිල දිය
දිය බිඳුවක් වෙන්න
ඇයි බැරි මගෙ පිපාසෙට
තරු කැට දෙකකි
නිරතුරු නුබ කුස දිලෙන
මා දුටුවාම විතරක්
කලුවර අහස
දුටු දුටු දනන් හට
ලාබෙට බෙදන
කෝපි මල් සිනා
මිල වැඩිද මට
කවිය බලන්න
කඳුළු එන්නම ඕනද ඇඩුවම...
ඒ ටික කියලා දුන්නෙ තාත්තා
එන්න හදද්දි වැදලා
ඒ රලු කකුල් දෙක
ඔලුව අතගාන්න කලින්
පිහදැම්මෙ ඇස් දෙක..
කොච්චරම දරා ගත්තත්
ගැලිසියර් කදු ඒ සීත
දිය වෙලා වැටුනා උනත්
රකිනවා විතරයි මුනිවත...
කවිය බලන්න
අපෙ අම්ම ලෙඩ වෙලා !
කුස්සියේ හැලි වළං
හිටි තැනම ගොළු වෙලා
දවස් ගාණකින් නෑ
ලිපේ ගිනි මෙළවිලා!
කොස් ගහේ කොළ වැටිල
මුළු මිදුල හැඩි වෙලා
වාරු නැති අප්පච්චි
ලණු ඇඳේ ගුලිවෙලා !
රෙදි වැලේ වැනූ රෙදි
මහ වැස්සෙ බත් වෙලා
බුදු පාවෙන තෙල් නැතිව
පාන් තිර අළු වෙලා !
ලේන් කූඩුවෙ පැටව්
දුකින් ඇත මග බලා
පැටවුනේ !බත් දුන්න
අපෙ අම්ම ලෙඩ වෙලා !
කවිය බලන්න
කුජ හතේ කරුමය
මල් කුමාරි වෙලා හිටිය මගුල් ගෙදර මන්
ජය මන්ගල ගාතා හඩ නගා කිව්ව මන්
මනමාලිගෙ දෙවැනියාට ඇදල හිටිය මන්
තැල්ල බැදන් මගුල් ගේක හැඩට නැටුව මන්
මල්වර නැකතට කුස්සියෙ සැගව හිටියෙ මන්
වහලෙ සිදුරු වලින් මිසක් එලිය නොදුටු මන්
රෙදි නැන්දා පාන්දරින් නාවන කොට මන්
කරපු පවක් පල දුන්නද කියල හිතුව මන්
මල්සරාගෙ හීය පපුව සිදුරු කරන කන්
දඩු මොනරෙන් කුමාරයෙක් බලන්න එනකන්
හැටකුත් තව අවුරුද්දක් බලන් හිටය මන්
කුජ හත කරුමය හින්දා ගෙයි තනිඋනි මන්
කවිය බලන්න
වස්සානයක් යලි නොඑන වග...........
ගත දවන ගිම්හාන සෘතුවක කෙලවර
කටු තුඩු ඇනෙන වියලි බිමෙකි කර්කශ
වැටී සුනු විසුනු වුණු ඒ මයෙම හදවත
ඇහිඳ පිරියම් කරමි ලඟම එන වසත්සමයට....
බිඳුණු විසිරුණු හැඟුම් නම් බෝමැයි
තැලුණු පෙලුණු තැනුත් දැන් එමටයි
පෙර තිබුනු ඒ පණ ගැහුණු හදවත
නැවත පුරුදනු පහසු නොවමැයි
ගිම්හානයක හිඳ බලා හිඳින
වසත් සමයක නොදුටු සිහින
තව දුරයි මේ ජීවිතයෙ ගමන
හිතක් මිලිනව යනෙනු කොහොම
යලි පුරුද්දනු බැරි හිතකී බිඳුනු
කියනු ඇති කතාවක් අග මුලත් පැටලුනු
කිසිවකට ජීවිතේ තදින් නොඇලී ඉනු
එකම දහමද එයයි අප පුරුදු කල යුතු
සබඳ
වස්සානයක් යලි නොඑන වග
නොරිද්ද හෙමින් හිතට හඟවනු...
Photo Credit : Mahsa Habibi
28/11/24
කවිය බලන්න
පැවැත්ම හා නැවැත්ම
පැවැත්මට ලෝකය
ඇත බොහෝ අවැසි දේ
දැක ගන්ට දැන ගන්ට
විවිධ වූ පිටත ලොව
සොයන්නට සොයන්නට
දැකගන්න නිමාවක්
දැකගන්න කෙළවරක්
නොහැකි වේ නොහැකි වේ
එකතු වන දැනුම් ගොඩ
බරක් වේ නැවක් බඳු
තව තවත් එකතු වන
දැනුම වැඩි කරයි බර
ඇති කරයි ප්‍රමාදය
දකින්නට නිමාවක්
තමා සතු ලෝකය
නිමාවක් දැකගන්ට
කෙළවරක් දැකගන්ට
වැටහේ හැකි බවක්
නැවක් වූ දැනුම් ගොඩ
විය යුතුයි සැහැල්ලුව
සරල පාරුවක් ලෙස
වෙනස් වන බව නිතර
තමා සතු නොවන බව
අවසාන දුකක් බව
විය යුතු සරල බව
වැටහෙන්න වැටහෙන්න
සරල පාරුවක් මගින්
පැදයන්න හැකි බව
නිමාවක් දකින්නට
කවිය බලන්න
සමනල සඳෙස -20
දත යුතු කරුණු ගොමුව - 18
රජකු නොවූ රජ
368. වළගම්බා රජුගෙ දස් - විස්කම් ඇසු වේ
ඉපැරැණි රජ දහන පිළිබද බස් දෙඩු වේ
තෙරපුණු සිතිවිලිය පද බැඳ කවි කෙරුවේ
සමනල නුඹට නිරතුරු ජය මා පැතුවේ
369. මේ රජ දහන පසුකොට පහළට යන්න
වේ තැන නම් ලැබූ වෙල මඩුවන් තැන්න
සේ මහ විසල් මන්දිර පරසිදු දන්න
දේ නිසි ලෙසින් විසුවක පිළිබද මැන්න
370. රජ කෙනෙකු ද නොවී ඉන්නට රජෙකු වගේ
ගජ මිණි-මුතු-මැණික් ලැබ දිවි පැවැති මගේ
ධජ නංවමින් අණසක ගම් - දනව් දිගේ
නිජ බිම පුරාවට පැතිරී ගියා වගේ
371. උස් කඳ මහත හැඩි - දැඩි බාහු ද දෙ පයේ
මස් ගොබ පිපී එල්ලී දෙපසට සරි යේ
විස් කම් දකිනු හැර එක එල්ලෙට බැරි යේ
නස් පැත්තියයි ගියොතින් හරඹෙට පිරියේ
372. හැම සැපතකින් අඩු නැති දිවියට වන්නූ
මිනිසත් ගුණය කරුණා ගුණ පිට පෙන්නූ
කොතරම් හැඩි- දැඩි ව දරුණු ව සිත ගැන්නූ
වුව දිළිදුනට නොගැණ ම සේසත දුන්නූ
373. සමනල නුඹ කියන් තොරතුරු මොහුගෙ වටා
බැදි කට කතා ගොතමින් රස කර ම නටා
රට දන නොදැන ව ද මොහුගේ දරුණු රටා
අමතක නොකර කවියෙන් දෙනු නොවී මොටා
සමනලයා දුටු කළුකුමාරයා
මඩුවන්වෙල මහදිසාව 24
374. දිගු ගන රවුල දොඹ නෙත් රත වසා නො-යා
තෙද ඔද ගතිය වුවණත මැද නගා ති -යා
“මඩුවන්වෙල දිසා හාමුදුරුවෝ” මැ කි- යා
අමතති එ ගමු මොහුට ම “කළු කුමාර”- යා
375. අත් පා දිගේ මස් ගොබ ලියලා වැඩුණේ
අතු හා රිකිලි ගස්වල නොකපා කැඩුණේ
උසටත් මහතටත් සරි ඇග -පත දැමුණේ
කාගෙත් “දුටුව පමණින්” සිරස ම නැමුණේ
376. ගති ඇති නමුදු හැඩි-දැඩි ව ම ගුණය සැරේ
සලකුවෙ සැමට ආගන්තුක දනා කෙරේ
සිත උල්පතකි හැඟුමට බර සිනා පෙරේ
බැඳ අලි - ඇතුන් කෙහෙලිය ගති පනා-මුරේ
377. අබිමන මහන්තත්ත්වය මොහු මත්තෙ ම ලූ
මරණෙට මුහුණ ලන තුරු ජය ගත්තෙ ම ලූ
වචනත් රාජ අණසක ලෙස ඇත්තෙ ම ලූ
හඬ කුසරජුගෙ සේ වෙනසක් නැත්තෙ ම ලූ
378. මඩුවන්වෙල - ඇඹිලිපිටිය ද රක්-වාන
මිණිපුර - පනාමුර මගෙ සිත ගත් තාන
ඉදි කළ මහ වළව් ඇත වරදක් නූන
තෙද-ඔද මන නගයි බැලු-බැල්මට පේන
379. දස්කම් අසකු පිට හිද දිය තරග රඟ
නැත්නම් සුරුන් යති දෝලාවකට නැග
ගම්-බිම් මුතු-මැණික් මොන දෙයකින් ද හිඟ
දුටු නම් වැද වැටෙති දහසක් දෙපය ළඟ
380. දවසක මහ සලක නඩු විසදන්නේ ලූ
සවසක ගල් දොරටු ළඟ සැනසෙන්නේ ලූ
කවියක - කලාවක රස තැන් දන්නේ ලූ
නැටුමත් වෙස් අරා වෙරිකොට ගන්නේ ලූ
381. දැඩි එඩි සිතට මෙත් -කරුණා ගුණ මුහු ය
දෙ වනු ව ලකේ කිත් හඬ පැතිරූ රහු ය
නිල-බල-තල හමුවෙ අන් බල-තල පුහු ය
“මඩුවන්වෙල දිසා හාමුදුරුවෝ” මොහු ය
(මතු සම්බන්ධයි.)
2025.01.01
කවිය බලන්න
නුඹ නිසාමයි
රැවුල නැති සිසි මඩලෙ සුමුදු සුව දැනෙන විදි
වරල කෙඳි ඇඟපතට වැටී කිති කවන විදි
හීනි මුදු ඇඟිලි තුඩු සෙනේ පිරිමදින විදි
මට ඉගැන්නුවෙ නුඹයි අතැර යා නො හැකි විදි
නිල් උපුල් මල් පිපී චූටියට වැනෙන විදි
වෙලාවක හංසයන් තාලයට රඟන විදි
ඇළක පොකුණක තියෙන සීතලට සිටින විදි
මට ඉගැන්නුවෙ නුඹයි අතැර යා නො හැකි විදි
දෑස තව දෑසකට සොඳුරු කවි කියන විදි
පාරුවක මං තියන් ප්‍රේමයක පදින විදි
ඈත යන්නට නොදී සිතට වැට බඳින විදි
මට ඉගැන්නුවෙ නුඹයි අතැර යා නො හැකි විදි
Photo Credit; frank mckenna
කවිය බලන්න
2025 අවුරුදු කුමරි
බලා සිටිනෙමි අහස දෙස හෙට වඩින අවුරුදු කුමරි එනකන්,
වලා කුලු පිරි අහස අඳුරුයි, තවම නෑ ඒ පාද සටහන්,
ගලා එන සුභ පැතුම් මලු බර වැඩිද ඩැහැගෙන එන්ට එතෙරින්?
බොහෝ ජනයා ඉන්නෙ ඔබ පිලිගන්ට එනිසා එන්න සතුටින්!
ගුව්න් යානා දෙකක් මෑතක පිලිසුනා ඒ අදුරු සටහන්,
මකා දාගෙන එන්න කුමරිනි නැවත දුක් ගිනි නිවා දමමින්.
කිතුනි බිහිවුන දෙසත් යුදබිම වීම වලකා ලන්න හැකිනම්
මෙවර එනව්ට ඉසිනු ඔවදන් පැනිය ගිනි අවි තුරන් කරමින්.
විසි හතරෙ ලක් දනයාට ලැබු
රජය හට දෙනු හොදම රුකුලක් ,
සොබා දහමින් ගෙනෙන උවදුරු
වලක ගන්නට අනඟි ඔසුවක්,
මිනිස් වන-අලි ගැටුම් වලකා දෙන්න කුමරිනි සැමට සතුටක්,
සහල් පොල් මාෆියා නවතා
දිවි ගෙවන්නට අපට වරමක්
මෙතෙක් මගෙ දිවියට ලබාදුන්
අසිරිමත් තුටු පඬුරු අගයන්,
සෙනෙහෙබර නෑ මිතුරු දරුවා
මුනුබුරන් ගෝලයන් සැමගෙන්,
එහෙත් ඔබගෙන් විසැසි ඔසුවක් අයැද සිටිනෙමි ඉතා බැතියෙන්,
ගිලන් ඇඳ රත් කරන සැමියට
දෙන්න පහසුව ඉන්න වරමක්!
කවිය බලන්න
දින දර්ශනය
පිටු හැලෙයි
දින මැකී යයි
ගෙවීයන දිනයන්
කාලයත් සමග පොර බදයි
තවත් අලුත් දවසක්
තවත් අලුත් වසරක්
බලාපොරොත්තු කන්දක්
අපමන වෙනසක්
සන්සුන් ගමනක්
අපුරු දින දර්ශනයක්!!
කවිය බලන්න
සැත්තෑ හය වසක්
ඩේලිය රෝස කානේෂන් පිච්ච සමන්
පිපි පිපි දිලී සැරසෙයි අතු අගින් නමන්
පොඩි පැල්පතුත් කරමින් දෙව්ලොවේ විමන්
එනවා විසිපහේ අරුනලු සුවඳ හමන්
සියවස් ගණන් දුක් විඳි ජනතා පවුර
කැළඹී අවුත් පන්නා සොරුරැල චවුර
රටකම බර දරාගෙන සතුටෙන් දෙවුර
සැනහෙයි සියලු දන හිඳ ලත් නදි ඉවුර
සියවස් ගණන් විඳි දුක් හැර හිනැහෙල්ලා
සැමදා අපේ දවසයි සිත් සනහල්ලා
දින දින දියුණුවෙන ලක් රැජිණිය අල්ලා
අපි දිනු දැය කියා සතුටින් සිඹගල්ලා
29 දෙසැම්බර් 2024
කවිය බලන්න
නව වසරට ලැබේවා! සම්බුදු සරන- Somasiri Ganewatta
යහගුණ සදාචාරය ලොව රැකදේවා
නිල,ධන, බලය මත පීඩන නොමවේවා
අනතුරු විපත් ලොව හැමතැන දුරුවේවා
ලැබු නව වසර ගුන දහමෙන් ඉතිරේවා
පාගාගෙන එකෙකු මතුවෙන්නට දරන
දන බල තනතුරට පොරකා වෙන උරන
මේ නොමිනිස් ගුනය සිත් තුල මතු නොවන
නව වසරට ලැබේවා සම්බුදු සරන
කවිය බලන්න
රිලා.. අදෝනාව
සාගරේ මුතු ඇටේ වැඩි කතා අපි ගැනයි
මැතිසබේ කථිකාව ගිනි බිදුම අවසරයි
වීසා නැති විදෙස් මග කඩිනමින් පැමිණෙතයි
රිලව් අප.. ඔබ වෙතින් සමුගන්න අවසරයි
කැට පොලෙන් විදින්නට අහස් වෙඩි තියන්නට
අපි හිටපු ගහ කොලින් එක පිම්මෙ දුවන්නට
මුළු ගමම එකතුවී අපට වින කටින්නට
මොහොතකුයි ගතවුනේ සතුරු වෙස් හෙලන්නට
අපි බුදපු භව බෝග දැන් හැමට වසක් වී
හැම කියයි රට පුරා නොකඩවා හඩක් වී
අප රැකුම හඩ තැලූ මහතුනුත් නිහඩ වී
සැගවෙන්න තැනක් කිව දිවි ගෙවුම බියක් වී
වරෙක දෙව් බැතියකින් අපට නිසි පුදකලා
සංහතියෙ පැවැත්මත් අපෙන් යැයි හඩකලා
එහෙවු අප යහගුණය හැම වෙතින් සැගවිලා
ඉතින් අප සමුගනිමු.. ඔබ වෙතින් දුරු වෙලා
කවිය බලන්න
නවමු වසරක් පතමි
දුක සතුට යස අයස
සම ලෙසින් විඳ දරන
වැටි වැටිත් යළි නැගෙන
සිත් දිරිය නිති වැඩෙන
දනන් හද ලැගුම් ගත්
හොඳ නරක දැන හැඳින
නවමු වසරක් පතමි
සම සිතින් හෙට දකින
කවිය බලන්න
ඩිමෝ බව්වා.
යන එන අතර මඟ මහ පාරේදි දැකලා
පුoචි පැටියො ආදරයක් නුඹ ගැන මට හිතිලා
අරන් ඇවිත් නෑව්වනෙ සුවඳ සබන් ගාලා
නමක් දැම්මෙ මo එයාට ඩිමෝ බව්වා. කියලා
අපිට නැතත් චිකන් මාලු අඩුවක් නැත උයලා
කන්න දුන්නෙ බත් පිඟාන හරිම රහට අනලා
විදුලි සැරෙන් ඒ ඔක්කොම ඉතුරු නැතුව කාලා
හැම වෙලේම ඔයා බිරුවා ගම දෙවනත් කරලා
හොඳට ලැබුනෙ සැප සම්පත් වගේය දරුවෙකුට
ටික දවසක් අසනීපව ගන්න බැරිව නැඟිට
නිතර එයා අරන් ගියත් වෙද මහතෙකු ලඟට
බේරා ගන්න බැරි උනානෙ හරිම දුකයි අපිට
Photo credit; Katie Bernotsky
කවිය බලන්න
මගෙම තනිකම......
සොඳුරු මොහොතක ඇඳුණු සිතුවම් බොඳ වුණේ කිම නොදනිමී
අඳුර පොදි බැඳ මියෙන සෙවනැලි නගන කෙඳිරිලි නොඅසමී
සතුට කොතැනක කෙලෙස මැවුණිද නොහඳුනන බව හඳුනමී
ම'හද හඬවන ඔබගෙ මතකය ඔබ වෙතම යළි පවරමී
ගලන ගඟුලක හෙළන කඳුලක සිසිල වදනක තවරමී
ම'හද දලුලන හරිත ලියගොමු තෙමන පිනිබිඳු සිපගමී
මැවෙන හැඟුමන් මියෙන මොහොතක සුසුම් සයුරක බැසගමී
නිහඬ වනු මිස කියනු කෙලෙසක නොදැන මුනිවත රැකගමී
නැගෙන රළ පෙල ඇදී වෙරළට බිඳී යන'යුරු නරඹමී
සිතිජ කෙළවර නිදන හිරු මල හෙළූ කඳුළක් පිස ලමී
නිහඬ කවියක නුහුරු පද වැල් රැඳුනු සුළඟේ තෙමි තෙමී
හිඳිමි තනිවම තුරුලු කරගෙන මගෙම තනිකම මට හිමී
කවිය බලන්න
හද බැදි මිතුරෙකුට සමු දෙමි (අසිත විමලසේන)...
ජීවන ගමනේ හැරවුම් ලකුණක් ලග අපි මුන ගැහුනා
දශක තුනකටත් වැඩි ඒ මිතු දම සවිමත් වී වැඩුනා
මිතුරෙකු සොයුරෙකු වූ ඔබ සැමටම අත්වැල වී තිබුනා
නොසිතු මොහොතක ඔබ ගිය බව දැන හදවත හිරි වැටුනා
නෙක එලි දැල්වෙන දිනෙක පහන් එලි දසතින් නෙත ගැටුනා
අදුර දුරලමින් ඒ සිලු අතරේ නුඹ සුළගේ දිලුනා
වල්ගා තරුවත් පායන්නට පෙර ලොවම අදුරු කෙරුනා
නත්තල් සීතල සුළගත් සමගින් ඒ පහනත් නිවුනා
කවිය බලන්න
රට වැ සියන්හට සිරි සුබ වේවා !
සුපුරුදු ලෙස තව වසරක් පැ මිණී
දින දසුනේ දින ගො න්නක් ඇමිණී
කුමරිය අවුරුදු සෙනෙහස පිරුණී
බැ ති සිත් ඇති මිනිසුන් වෙත හැ රුණී
නො මිනිස් අවගුණ පො ළවේ වළලා
එනු මැ න මිනිසුනි සිනහා සළලා
අඳුරේ ගැ වසුණු නො මිනිස් නිමලා
සුදු වත් ඇඳ හිරු කිරණේ ගිළිලා
ගැරඬින් විලසින් කුණු හැ ව හැරලා
මිනිසුන් නැ ගිටියි නව හිරු දැ කලා
නො මිනිස් හිවලුන් මළ පහ කරළා
ගඳ ගස්වයි මනුසත්කම් දුරැලා
කිවිඳුන් උයනේ කිවිඳිය සමඟින්
නැ හැ වී හිනැ හෙයි හමනා සුළඟින්
ලියැ වී ගැ යෙනා පැ දියන් එමඟින්
හදවත් හැ ර දා කිසි දා නො නඟින්
මිනිසුන් හට මිනිසුන් හමු වේවා
මනු සත් උයනේ මල් පිබිදේවා
දූෂිත නර කැ ළ මකබෑ වේවා
රට වැ සියන් හට සිරි සුබ වේවා
කවිය බලන්න
බාලගිරි.....
මවකට සිය දරුවා මහමෙරකි හැමදාම
දන්නවා මම අම්මෙකුගේ ආදරේ සිඳෙන්නෑ කිසිදාක
බිළිඳු හදවතක් පණ ගැහුණා මේ කුස ඇතුළේ පෙරදාක
ඉතින් කිරි බිළිඳෙකුට දෝෂ දෙන්නට හිතිලා නෑ තුන් හිතට..
යකින්නක්ද ,දෙවඟනක් දැයි සැකයකි මිනිසුන්ට
ඒ නොවේ ඇත්තටම මමත් අම්මෙකි කිරි සිහින විසිරුණු
ආශාවකින් හිටියා සිඟිති මුව දැක ගන්න..
ගෙලවැල ලා ගත්තේ නෑ ඇත්තටම
නොයෙක් අතවර දරා සිටියත් අන්තිමට
මරා මා එල්ලුවා ගිරි හිස උන් කවුරුන්දෝ නොදන්න
"බාලගිරි අද නොවේ හෙට "කියා
අඟුරු අකුරින් ලියා ඇත
බිළිඳු නිවසන නිවෙස් වල .....
බිළිඳු හිස අතගා සිනාසී නික්ම යමි
මා අහිමි බිළිඳුන් සිහිකර වැළපෙමි
කිසිදිනෙක බිළිඳෙකුට අහිතක් නොකරමි
ගිරිදේවි මම සංසාර පව් උහුලමි..
කවිය බලන්න
උදුවප් සීතල ගෙවී ගියා ..........
උදුවප් සීතල ගෙවී ගියා
තනිකම විතරක් උරුම කරන්
දවා අළු කර හදක පැතුම්
ඉර මැදියමත් ගියා හෙමින්
දෑ සමන් මලක පැටලී සුවද අරන්
මගේ සද නුඹ ඇවිත් යනවද
ලබන දුරුත්තෙදි
මද නලක හොරෙන්
දහසක් පැතුම් හද පුරවා
සෙනෙහෙ පුරන් මටත් හොරා
නුඹ තැනු ලෝකයේ පවුරු බිදන්
කැකුළු මල් දෙක පොඩි නොකර පෙමින් නවතින්න එන්න රත්තරං
මං ඉන්නවා මග බලන්
කවිය බලන්න
අලුත් වසරක් ඇවිත් අමතන
දුරුතු සීතල හඳුනන
අලුත් හීනෙක සුබ ඵල
පෙරමග නිමිති වල
තවරන් හමයි මද නළ
තැන තැන නිවෙස් වල
දැල්වෙන උඳුන් තුළ
සංකා තැවුල් හළ
අලුත් ලිප ගිනි මෙළවෙන
ක්ෂීර පායාසයක් විලසින
දොර දොර නැවුම් සුවඳෙන
මිනිසත් ගුණය අරගෙන
අලුත් වසරක් ඇවිත් අමතන
කවිය බලන්න
සුභ අළුත් අවුරුද්දක් වේවා..!
වියන් කඩ කඩ මකුළුවන්ගේ
නිස්කාන්සිය ඉහිරුවා
නිතර අතු පතු නොගෑ අහු මුළු
කොස්සෙ සැර වැර බල බලා
නිදිමතේ උන් දොර ජනෙල් රෙදි
නා-කියා ගෙන හැඩ වෙනා
ඔන්න පලවෙනිදා ඇවිල්ලා
සුභ ම අවුරුදු එක්කලා
හීන එක එක එකතු කර කර
සතුටු හිත් පොදි බදින්නයි
කාන්සිය දුක මක මකා ළඟ
හිතට ලඟ හිත් රැදෙන්නයි
ආදරය සිනහව සතුට නිති
හැම දුකක් හැර මැවෙන්නයි
ලැබූ නව වසරේ පුරාවට
නීරෝගි සුව ලැබෙන්නයි...!
සුභ අළුත් අවුරුද්දක් වේවා..!
කවිය බලන්න
ඔබමයි මව්නි සිත්මල රැඳි මකරන්ද
තිමිර පටල බිඳදා ගණදුර
බින්ද
තරුපති ඔබ තමයි දිවියේ දුක්
සින්ද
මහමෙර සදිසි සෙනෙහස නිති
හද බැන්ද
ඔබමයි මව්නි සිත්මල රැඳි
මකරන්ද
දිව රෑ දෙකෙහිදිම දරු පෙම සිත්
බැන්ද
මහ සයුරටත් වැඩි දුක් කඳ ඔබ
වින්ද
දිව ඔසුවකි නිබඳ හදවත දුක්
සින්ද
අම්මේ ඔබ වගෙයි මට සමනල
කන්ද
රස මසවුළු තනා සෙනෙහෙන්
කවන නිති
ඔබවන් කෙනෙකු ලොව අන්කිසි
තැනක නැති
ඔබගේ ඇකය තුල දෙව්ලොව
සිසිලස වෙති
අම්මේ ඔබට දෙවියන් නිති
අසිරි දෙති
කවිය බලන්න
මට මාව නැති වෙලා
ගංගා කුමරිය:
ගෙවා මග දුරු කතර
දමා හැඩ වැඩ ලකර
ඇදී ආවෙමි නිබද
සොබා දම හා මුසුව.
හමාරය අද ගමන.
මා සතු සියළු ගුණ
රස, වර්ණ, ඕජා ව
ඔබ වෙතට ආ කලට
නැතිවෙනා බව දනිමි
මට බයයි, මට බයයි
ඔබේ තුරුලට එන්න
මහා රකුසකු ලෙසින්
ඔබ හිදී මුව අයා
මට බයයි මට බයයි.
මහා සමුදුර:
බිය නොවන් සොඳුරියේ
හිම ගිරෙන් ඇදී එන
ඔබ දැකුම ප්‍රියයි මට
වැළඳ ගමි තොසින් මම
ජරාවද ගොහොරුවද
සුපිරිසිදු පැන් වුවද
නැත කිසිත් වෙනස මට
උස් පහත් ගති නොමැ ත
භේදයක් කිසිත් නැත
මගේ මේ රජ දහනෙ
ඔබ මගේ මෙහෙසියයි
ඇත්තමයි ඇත්තමයි
බිය නොවන් සොඳුරියේ
ඔබට ඔබ නැති වුවද
ම’ විජිතයම ඔබ සතුය
එකම රසයෙන් පිරුන
ඔබම වේ මහ සයුර
Image Courtesy; Shutterstock
කවිය බලන්න
ගේ කුරුල්ලෙක් දුටුවද
පයිප්ප වතුර නටවා සැදු කහටට
සුදු සීනි සමග කිරි පිටිද මුසු කර
හදාගත් තේ බඳුන ඇල් මැරුණද
කූඹින් නුදුටු බව මහත් පුදුමයකි
කරවල මිළ දී ගන්ට ඇවිද යන විට
යම් දුගඳක් ඈතට දැනුණා මතකද
සදා එහි අරක් ගෙන සිටි මැසි රෑන
අතුරුදන් වුනේ කෙළෙසදැයි කියනවද
බිත්ති ඇනයක් මත සවි කෙරුණ
මැටි වළඳකින් ඇසුන කිචිබිචිය
හිටි වනම මතකය අවදි කළෙද
ගේ කුරුල්ලෙක් දුටු දිනය අමතකය
කඩල හෝ මුං ඇට තම්බ ගත් දවස
පෙරා ගත් වතුර හොඳින් නිවාගෙන
ශක්ති ජනක පානෙකැයි කියා සොඳ
තම දරුවනට පොවන අය ඉන්නවද
16.12.2024
කවිය බලන්න
------ 31 -------
කැලැන්ඩරයේ වර්ෂයක
අවසාන දිනය
හිනැහෙයි මා දෙස
බලාගෙන ඔච්චමට
ඔව්, මම දන්නවා
උඹට පුළුවන් එච්චරයි
සරදමට විරිත්තන්න ...
එතකොට මට
කොච්චරක් පුළුවන් වුණා ද?
උඹට වැඩියෙන්
දහස් ගුණයකටත් එහායින්
දරාගන්න
හිනැහෙන්න
අඬන්න
ඉවසන්න...
තත්පර - විනාඩි
දින - සති - මාස ගණන්
උඹට වගේ නෙවෙයි ඕං
පොඩිවෙලා හැළුණේ නෑ
කොහේදිවත් මං
ඔච්චං කරපු උඹව
අමතක කරලා
යනවා මම ඉස්සරහටම
අලුත් වෙලා
කලින් හිටියටත් වැඩිය...
ආලංකුඩාව
2024/12/28
කවිය බලන්න
The unwritten poem
Withered spring.....
knowing that,
It will never come back
For her.
Both my heart and soul
Never allow me to
leave her.......!!!
My mind is filled with her image.....
The smell of her perfume lingers in my mind....
It warms my heart......!!
The past.....spent with her.....!!!
Like a movie on the silver screen.... that.....
Unfolding in the dark ...!!
It catches my eye and hurts my heart
To make up my mind
I am going to write the poem that.....
I haven't written as yet.....!!
Kandy.
13.12.24
කවිය බලන්න
වසත් සමයක පිපි කුසුම
තුන් යම දුටුව සිහිනය නෙත් අසල තබා ලෙන්දොර විවර කෙරු දිවිමග විජය ලබා
කැන්දන ගුණසුවඳ දසතම රුවැති සොබා
සුන්දර වසත් සමයක පිපි කුසුම පබා
සියුමැලි ඇඟිලි තුඩු කරගැට නැගෙන තුරූ
නිදිනැති රෑ ගණන් පොත් පිටු අතර සැරූ
දින සති මැදින් ගෙන ගිය මල් සමය හොරූ
සැනසෙනු දුවේ නුඹ අද ජය කිරුළ දැරූ
කොස් දෙල් මිරිස් තුනපහ අත නොම ගැටුනේ
ගස් වල පිපුණු මල් දෙනෙතට නැහැ පෙනුනේ
අස්වැසුමකට ඉඳ හිට ගීයක් ගැයුනේ
මස් ලේ වල පවා වෙර වීරිය රැඳුනේ
පවසට දිය නොමැත කතරක වැලි අතර රැයකට එළිය දෙන්නේ සඳමයි නිතර මිණිකැට ගලා යයි ගං දිය යට වැතිර දුවෙකුට දිරිය දෙයි ලද ශිල්පය සතර
නුඹත් කුස දරා ගෙන සමයෙදි ගැබිනී
මමත් පියනැගුවෙ සරසවියට කැලණී
සමත් උනා සිව්වස බාධක මැදිනී
උගත් කමේ වත්කම හොඳ හැටි දැනුනී
ලස්සන මුතු මාල ඇතිමුත් රුවට රුවේ දිස්නෙට දිලෙන අබරණ ඉගෙනුමයි දුවේ
වැස්සට නොසේදෙයි කෙනෙකුට අයිති නොවේ
අස්වනු නෙලූ දා ගත සිත වෙහෙස නිවේ
තව ඉදිරියට යන්නට සිප් සතර මගේ
නව ඇරඹුමක් ඇත නව හිරු කිරණ නැගේ
දුව දිරි ගන්න මේ කවි මල් පියළි දිගේ
ලොව ජය ගන්න එවිටයි ලක් මවට අගේ
Photo credit;Allyson Beaucourt
කවිය බලන්න
සින්ගල් Mom ලා..
ඩබල් වෙන්නට හිතක් නැතියෙන්
දරුවෙකුට හොඳ මවක් වන්නට
දුටු හීනය අත්විඳින්නට
නොවදා මුත් හදා වඩා
කාගේ හෝ දරුවෙක්,
වෙනවා සමහරක් ගැහැණු
සින්ගල් Mom ලා..
සින්ගල් නෙවෙයි ඩබල් වුනාමනෙ හොඳ
බලාපොරොත්තු පොදි බැඳගෙන
ඩබල් ත්‍රිබල් කරගෙන වුනත්
කලක් යද්දී
මෝඩකමට දෙස් තියා
ඩබල් ගේම් කාරයෙක්
ඕනෙ නෑ කියා
නීතියෙන් ම සින්ගල් වී
දරු පැටවුන් වෙනුවෙන්
එඩිතරව ජීවිතයට
තනිවම මූණ දෙයි
සින්ගල් Mom ලා..
ඩබල් වී හරි ලකේට
ලෝකයට පේන්නට
වැඩත් ඩබල් වූ කල
තනියම සුමේ කරගෙන
කුටුම්භය රකිමින්
දහසකුත් කම්කටොලු
සුසුමකට එක්කරන්
ඇතුන් ලවා වත්
අද්දන්න බැරි නුවණ
හැඳි මිටේ තියා....
ඩබල් ත්‍රිබල් වුණු
කුස් තුර පුරවන්න
නිහඬව ම සටනකය....
ඩබල් වුනත්
ඩබල් ද සින්ගල් ද
හරියටම නොකිව හැකි
පෙනුමට ඩබල් හදවතින් සින්ගල්
ආත්මයම සල්ලන්
සින්ගල් MOM ලා!!
Photo credit; Micah Hallahan
කවිය බලන්න
නව වසර එළඹිලා
නව වසර එළඹිලා
බත බුලතින් සපිරිලා
ගම් දොර ඇලවේලි
සතුට ඉතිරෙයි
ගම් දනව්වල
දෝරෙ ගලමින්
වැව් අමුණු සපිරෙන්නයි
අස්වනු නිවසේ රැස්කරන්නයි
අත මිට සරුසාර වෙන්නයි
සිරි දෙව් දූ ගෙතුල ගැවසේන්නයි
පේදුරු තුඩුවේ සිට
දෙවුන්දර තුඩුවට
පියාඹන
මිහිරි හඬ ඇති පක්ෂියා
රැගෙන යන පණිවිඩය
තවත් ඇති ලේ හැලුවා
බිඳ වැටුණු දේශය
යළිත් බිඳ නොවැටෙන්න
සිව් දෙසින් සේනාවක්
ගොඩනඟමු දේශය
පතමූ නව වසර
ආවඩා ආයුබෝ වේවා!
කවිය බලන්න
සැඟව ගිය ඔබ .....
රෑ අහසෙහි
තරු අතරේ
ඔබෙ නෙත්
දුටිමි මම,
විලසින් තරුවක් .....
සෙමින් සෙමින්
ඔබ ඇදුනා
සඳ අසලට
විඳින්නට
ඒ සිසිලස
දැනුණා මට....
ඈතින් ආ
කළු වලාවක
පැටලී ඔබ
නොපෙනී ගියා
දෙනෙතින් මගෙ......
පැය නොව
බොහෝ දවස්
ගෙවී ගියා
නැහැ ඔබ
ආයෙත් ආවේ
එළිය දෙන්නට
මේ අහසේ .....
05 - 12 - 2024
Photo credit ; Steve & Barb Sande
කවිය බලන්න
අලුත් වූ දින දසුන
කැඩී බිම වැතිර වසරෙ අවසන් කොළය
ඉතිරි තවමත් පරණ බිත්තියෙ ඇණය
එල්ලුනේ මිටියක් පැතුම් පොදියක බරය
එකින් එක සොලවමූ තවත් වසරක හරය
සොය සොයා වෙහෙසුනත් සුභ ළකුණු ඇති දිනය
එකම පාටින් පෙනෙයි සතියෙ දින වල පැහැය
තවම කල් මදි වුණත් ලියන්නට පෙර වැකිය
අලුත් වූ දින දසුනෙ හැම දිනයම සුභය
කවිය බලන්න
රොමාන්තික ප්‍රේමය
ඔහු හා වැතිර මිටියාවතක
කන තබා ඒ ළය මත
හද ගැහෙන රාවය අසනු රිසියෙමි
අතිනත පටලවා සන්සුන් මාවතක
උණුසුම ට තුරුළු ව නිහඬව
සෙමෙන් පා තබා ඇවිදයනු රිසියෙමි
ලා වර්ණ මල් මිටකින් ප්‍රේමය කියා දී
අහේතුකව, තදින් වැළඳ
දෙතොල් මතට හාදුවක් ලබනු රිසියෙමි
සිහිනයෙන් හෝ අත්‍යන්තයෙන් නොලැබෙන
අත් නොවිඳි ඒ පෙම
සිහිනයක හෝ දකිනු රිසියෙමි
කවිය බලන්න
බර්මින්හැම් නගරෙ හැමගෙම දිනූ හද
නවසිය හැට අටෙි හත් හැවිරිදි කාලේ
කෙළි සෙල්ලමි කරන අවදියෙ හිදි බාලේ
දෙකේ පන්තියට සමුදී ඉස්කෝලේ
කස්සප නමින් ඇරඹුව පැවිදිව සීලේ
ගංගාරාමෙ ගලබොඩ නා හිමි ගාවා
සදහමි මගේ පර තෙරටම පත් වූවා
කැළණි සරසවියෙ ලබමින් ගුරැ සේවා
තනතුරැ සමිමාන එක පිට එක ආවා
ලෝක බොදු සමුලු තීීීීීීීීීීීීීීීීීරනයට අනුව
ටැන්සානියාවට යන වරමකි දිනුව
ඉන්පසු ලෝකෙ සමගින් කර ගනු දෙනුව
නැවතී ඒංගලන්තයෙපන්සල් තැනුව
යාපනෙ දමිල සිවතමිබි නැමැති වෙද
දැඩි මිතු දහමකින්ලන්ඩන් වලදි හොද
විවිධ ජාති ආගම් එකමිටට බැද
බුදු දමෙ පෙරලියක් විශ්මිත කරන ලද
සුනාමියේදී ලක් ජනයාට එදා
මිලියන දෙසීයක මුදලක් සමව බෙදා
කන්ටේනර්ම දාහතරක් වෙනම හදා
බඩු බෙදුවාලු අවතැන් අය ඉවත නොදා
චීන දමිල සහ සුදු ජාතික රට්ටු
අයගෙන් ඒකතු කර වටිනා බඩු මුට්ටු
පවුන්වලින් මිලියන ගනනක් කිට්ටූ
බුදු මැදුරක් හැදුව එහි හතරකි තට්ටූ
කඵතර මහ සෑය බදු ගර්බය තීන
වෙහෙරක් උඩ මඵවෙ හදමින් අසමාන
රටාවකට අටවිසි බුදුවරැ ගාන
දළදා මැදුර මෙනි හැමටම සෙත ගේන
දන්සාලාව යට මළුවේ මනාවට
තට්ටුව දෙවැනි දෙව්මැදුරකි යැදීමට
අපහසු අයට මෙම පින් බිම වැදීමට
සෝපානයකි උඩ මළුවට නැගීමට
මහ සඝරුවන දසතින් එනවිටදි වැඩ
දෙවැනි මළුව ආවාසෙකි බොහොම ඉඩ
යුරොපයෙම මහ වෙහෙරක් මෙවැනි උඩ
ලොකුම පන්සලකි මනරම් හරිම හැඩ
උගත් සුවිනීත හිමිවරැ සමග අද
බර්මින් හැම් නගරෙ හැමගෙම දිනල හද
විතාරන්දෙනියෙ කස්සප මහිමි සද
අදටත් දෙසන බණ කොතරම් වටිනවද
ගිහි කෙනකුට පවා නොදෙවැනි ලෙස කෑම
හෙල සිරිතට අනුව රස ඇති උපරිම
සකසයි කඩිසරයි සිය කටයුතු සෑම
දෙසැත්තෑ උනත් වැඩ තරැනයි තාම
ලැබගෙන සිසු වරම් ලන්ඩන් වලට එන
දූ දරැවනට සුව පහසුව සලසවන
මෙම පින්බිමේ ගිහි පැවිදී අයට යන
සිදුවන මෙහෙයඇසුවහමත් පුදුමවන
හැම පාසලකට ම පන්සල මැදින් සිට
බුදු දම පිළිබදව දේශන කරන්නට
වැඩපිළිවෙළක් නායක හිමි වහන්සෙට
ඇති හැකියාව සතුටකි බොදු නුවන් හට
ඔබටත් කර ගන්න ජීවිතයටම පිනක්
සසරින් එතෙර කරවන හොද අහල බනක්
බර්මින්හැමි වලට ගොස් බැලුවොතින් දිනක්
පුදුමාකාර මෙය නමි හිත නිවන තැනක්
හැඩිගල්ලේ සේන වික්රමාරචිචි ලංඩනයේ සිට ලියයි
කවිය බලන්න
ගලා යයි මන්ද මාරුතය
"දිවා රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා දෙයකි සෙනෙහස
නොලැබ පරිභව මුත් කිසිත් අන්
මොලොක් තෙපුලක් ලබා ගැන්මට
ජීවිතය තුරු
මුහුණ මත ඇස් රඳා ඉන්නා
දෙයකි සෙනෙහස"
-සරච්චන්ද්‍ර-
ගලා යයි මන්ද මාරුතය
ගුරු බැතියෙන් පෙම් මල් පුදාගෙන
දයාබර කස ගස් යටින්
සෙනෙහෙබර මල් මඟ මතින්
සෙහෙහෙන් සිතින්
ඔබේ මුදු වදන්
රැව් දෙයි දේශන ශාලා පුරා
නැගෙන සිනා රැළි මතින්
නුඹ බලයි මා දෙස හෙමෙන්
පා මුදු සිනා
මා සිනාසේදෝ කියා
දැනුදු මා බලා සිටිමි
තවමත්
ඇසෙන තෙක්
ඔබෙ මුදු කතා
කෙදිනද කියා
ගිලී යන අඳුරේ
පහන් කණුව දෙස බලමින්
චායාරුපය ; ලාල් හෑගොඩ
කවිය බලන්න
'ජයතු'
නිමිත්ත - 1983 වසරේ එවකට ශ්‍රී ලංකාවේ ජනපති ජේ. ආර්. ජයවර්ධන විසින්
එක්සත් ජනපද ජනපති රොනල්ඩ් රේගන් හට 'ජයතු' නම් මාස 18ක් වයසැති අලි
පැටවකු තෑගි කළ අතර ඉන් මාස දෙකක පමණ කාලයකට පසු වොෂින්ටනයේ සත්ව
උද්‍යානයකදී අලි පැටවා මිය ගියේය. (ඡායාරූපය සහ විස්තරය උපුටා ගැනීම -
Wikipedia)
රජුන් රජ කරවන්න
තුටු පඬුරු ලෙස දෙන්න
රාජ අණ නාමයෙන්
නැව් නැග්ග පොඩි ජයතු
ධවල මන්දිර මැදින් - මහ කැලේ පෙනුනාද
ශීත සුළඟකින් හෝ - කිරි සුවඳ සෙව්වාද
සනුහරේ එනෙනතුරු - මඟ බලන් සිටියාද
කාන්සිය නිසාවෙන් - නොයෙන මඟ පැතුවාද
මින්නේරි වැව් පිටිය
පාලු වූ මහ රෑක
අමාවක අඳුරේම
ඉකි බිඳී උලලේනි
පටාචාරා ලෙසින් - දරු දුකින් වැළපුනිද
කිරි එරුනු උන් රැළේ - නුඹ සමඟ ඇඬුවාද
ඇතිනියේ මහ මුහුද - ඉසලන්න සිතුනාද
දරු සොයා ගම් වැදී - උන් නුඹව මැරුවාද
(17.12.2024)
කවිය බලන්න
වනාතමුල්ලෙන් කතාවක්
දුක් විඳින්නම උපන්න
අම්මට සදහටම නිදන්න
ගත්ත ලැලි පෙට්ටියටයි නගර සභාවටයි
ගෙව්වෙත් පොලියට ගත්ත සල්ලි වලට
සිමෙන්තියෙන් බැඳපු වලක
අම්මව තියන්න බැරි උනාට
අම්ම ගේ ආදරය පපුවේ බැඳිල
මගේ පන තියෙන තුරාවට
කවිය බලන්න
ප්‍රණීතාඤ්ජලී ඉසිඹු සර
(කලාසූරී මහාචාර්ය ප්‍රණීත් නිශාද අභයසුන්දර හා ජ්‍යේෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක මහත්මිය විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන්.)
අනගි මිණි ඔටුණු හිස පළඳවනු නියා
මුතු කරුණා දහර සිහිලෙන් දොවා ගියා
බැබැලෙන සුමුදු රන්වන් හද ඇතිව දයා
බිඳ දා තිමිර පට මඟ ආලෝක කළා
පැසෙනා වී කරල නැමෙනා ලෙස බිමට
නැගෙනා විසල් කිත් පැසසුම් මැද විපුල
නිහඬව සිනාසී ආදර බස් වපුල
පෙම්බර අනගි සුන්දර මිනිසෙකි අභය
ගීතෙට කලාවට කවියට බැන්ද පෙමේ
මනමත් කරන රස පදවැල් බැන්ද රඟේ
පින් පාටින් බැබලෙන මුව මඬල ඔබේ
තාමත් දකින හැම තැනකම කල්ලමරේ
ප්‍රණීතයි බෙදන මුදු බස් මධු සේමා
නිශාදයි නමින් ඔබ වැජඹෙයි රාමා
මනෝරයි හිතයි මහැදුරු සඳ සේමා
රසෝඝයි ඔබේ දැකුමත් ගුරු උතුමා
පෙරමුණ විජය දද නංවනු පුතේ කියා
ආසිරි පතා සවිමත් අත්වැලක් වෙලා
බුදු මග අනුව ගොස් මිණි පහණ වෙලා
ආදර්ශය උතුම් බව ඔබ පසක් කළා.
.............
ආදර පියෙකු ලෙස මහැදුරු දිලෙන සඳ
පෙම්මාදර මවුන් වූවා ඔබ අපට
කරුණාභරිත හදමල් සුපිපී පවර
විහිදා සුවඳ අතුරාලූවා නිබද
දුටු විට නිබඳ මුව හසකැන් දවටාන
කොහොමද පුතේ යැයි ආදරයෙන් අසන
හර බර කතා මැද පාඩම් රස කරන
තුංග සමනොලකි නුඹ සෙනෙහෙන් පිරුණ
ඉගෙනුම් වැඩට නිබඳව අතහිත දෙන්නී
විරියෙන් සියලු වැඩ කටයුතු කරලන්නී
උත්සාහය දිනුම කරපින්නාගෙන එන්නී
දෙටු මහැදුරුතුමිය සැමදා වැජබෙන්නී
මාවත යන්න පෙරමඟ හෙලිකර දේවී
කටු අතු මැදත් පිපි මල් පෙන්වන දේවී
කිත් අඳුනින් බැබැලෙන රන්වන් දේවී
ප්‍රණාම වේවා අපගේ ගුරු දේවී
...........
ලද මුත් ඉසිඹුවක් අද ඔබ දෙදෙනා
ගුරු මව් පියතුමෙනි ඔබ මතකයි සැමදා
නිදුක් නිරෝගිව ඔබ සුවපත් වේවා
සවි දිරි ලැබී ඔබ හට හැම සෙත් වේවා!
මානව විද්‍යා අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර සරසවිය
කවිය බලන්න
දෙව් මැදුරේ යාච්ඤාව...
හිම මිදෙන රෑ පුරා නිල් අහස සැරසුණී
තරුවකුත් හිනැහිලා ඒ කුමරු බිහි වුණී
සාමයේ මල් පෙති බිම පුරා විසිරුණී
ගවහලේ උණුසුමින් කුමරුවා සෑනසුණී..
සිතලේ හිරිවැටී තිබූ සිත් තුටින් පිරී
සාමයේ මුදු සුවය ලොව පුරා පැතිරුණී
නත්තලේ ගීතිකා දිනපතා රැව්දුනී
දින දින ගෙවි ගෙවී යුගගණන් පසුවුණී
සාමයේ පණිවුඩය මනුලොවෙන් ගිලිහිණී
ලොව උනුන් ගැටේ ගැටී මියැදුනා සැනෙකිනී
යලි එදා විලසිනි හිම මිදෙන රෑ එතී
සමිදුනේ මනු ලොවට යලි වරක් එනුමැනේ
සාමයේ මල් පෙති ලොව පුරා ඉසිමිණී
ප්‍රේමයේ පැන් පොදක් මා ඔබෙන් අයදිමී.
දෙව් මැදුරේ දණ නමා ඔබ දෙපා නමදිමී
වෙඩි හඩට බියවෙමින් මර බියෙන් ගැහිගැහී
යුදා බිමේ ඉකිලනා දරු පැටවු වෙනුවෙනී ....
කවිය බලන්න
පුංචි අපේ අවුරුදු පැතුම
මල් වෙඩි වැස්සක් වැහැලා සද්දෙන්
කලුවර අහස් තලේ
නව අවුරුද්දක පුවත කියා දෙයි
මැදියම් රෑ යාමේ.
පාට පාට මල් විසිරී පැතිරෙයි
හැඩ වැඩ දා සිතුසේ
දෙ ඇස් පිනා හද සතුටින් පුරවයි
එලිකර අහස් කුසේ
හිත් තුල පොපියන පැතුම් ගොඩක් වෙයි
ඒ සැම මල් වෙඩි සේ
හැඩ කර එලි කර පල ගැන්වේවා
මේ නව අවුරුද්දේ!
පුංචි අපට කවි සිංදු
කවිය බලන්න
සදහටම වෙන්වූ මගේ ආදරණිය යෙහෙලියට.
හමුවී,
තාවකාලිකව මගහැරී, නැවත හමුවී...
අදින් පසු ,සදහටම මට මගහැරෙන යෙහෙලියේ...
පාසල් මව් තුරුලේ
සුදු අරලිය ගස් සෙවනේ..
යොවුන් වියේ දඟකාරකම් පෑ අපි දෙන්නා..
එක බත්පත බෙදාගෙන කෑ අපි දෙන්නා..
පාසැල ඇරී යන සුදු කිරි කොකුන් රෑන අතරේ
අත් පටලාගෙන පිය නැගු අපි දෙන්නා..
නුඹ නුඹේ පාරෙන් හැරී යනකොට,
මා නතරවී නුඹ නොපෙනී යනතෙක්ම බලන් හිටියා..
නුඹත් හැරී හැරී බල බල අත වැනුවා..
ඒ ආදරය කියලා නිම කරන්න බැහැ.
හදිසියේම නුඹ මගෙන් හැන්ඟුනා...
නුඹව හොයාගෙන එන්න කොයිතරම් උවමනාව තිබුනත්,
පුංචි මට එහෙම හය්යක් තිබුනේ නැහැ.
ජිවිත කාලෙම හෙව්වා මම.
ඔයත් මාව හොයලා..
දයිවය කියන්නේ මේක වෙන්නැති.
අපි හමුඋනා.... ගිය අගෝස්තුවේ..අපි දෙන්න බදාගෙන ඇඬුවා.. අදහගන්න බැරුව.. අවුරුදු 30කටත් වැඩි කාලයක් නොදැක.ඒත් ඒ මිතුරුදම්, ආදරය අඩුවෙලා තිබුනේ නැහැ.
එදා ඉඳන් දවසක් නෑරම අපි කතා කළා.. පැය ගණන්...ඉස්කෝලේ කාලේ ගැන, ඉන්පස්සේ ජිවිතේ සිදුවීම්,
දරුවෝ... හැමදෙයක්ම.. අපි ආයේ හිනා උනා.. කෙලිලොල් වියේ වගේම..
"බෙහෙත් බොන්න, නිරෝගිව සතුටින් ඉන්න.
අපි හමු උනේ කොච්චර කාලෙකින්ද.
ඉක්මනට මැරෙන්න බැහැ ඔන්න."
මම බනිනව ඔයාට..
"උඹ ඉස්සර වගේමයි,පණ්ඩිතිච්චි උඹ වගේ යාලුවෙක් මට ආයේ නැහැ"
ඒ ඔයා...
අපි ගොඩක් සතුටු උනා, අපි නැවත හමුවීම ගැන..
අනාගතයේදී කරන්න දේවල් සැලසුම් කළා..
මට අම්මා නැති උනාට පස්සේ දැනුනු හිස් බව, පාළුව ටිකෙන් ටික මග හරීගෙන යන බවක් දැනුන. අපේ දේවල් කියන්න, ජිවිතේ බෙදාගන්න අපි දෙන්නට දැන් අපි දෙන්න ඉන්නවා. ඔයා කිව්ව.
අපි දෙන්නම සින්දු කියන්න, අහන්න ආසයි. සතුටින් සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න ආසයි. ඔයාගේ හිත හරිම කරුණාවන්තයි, මුදුයි.
උදේට මගෙන් message පරක්කු උනාම..
ඔයා - මොකද අනේ...
මම - ඇයි..?
ඔයා - මොකද බං....
මම - ඇයි බං. මට තේරුනේ නැහැ
ඔයා - message එකක්වත් නැහැනේ..
මම - ඉතින් මම ඇහැරුනේ දැන් නේ.
ඔයා - ආ... වෙලාව වෙනස් කියලා අමතක උනානේ බං...
මම - පිස්සි නේ
ඔයා - හරි මගේ මැණික, පස්සේ ගන්න එහෙනම්..
ඔයා මගේ ෆෝන් number save කරගෙන තියෙන්නේ 'මගේ මැණික ' කියලා ලු. (දැනගත්තේ ඔයා නැති උනාට පස්සේ )
ඒ ආදරය... ❤️
ඒත් මම ගොඩා....ක් අවාසනාවන්තයි.
ආයෙමත් අර ඉස්කෝලේ කාලේ උනා වගේම, ඔයාව හොරු අරන් ගිහින්...
මේ ගමන මට හොයාගන්න බැරිවෙන්නම.. වෙන ලෝකෙකට. 😪
අපි සැලසුම් කල ඉදිරි ජිවිතේ මට විතරක් ඉතුරු කරලා, මටත් නොකියම ඔයා ගියා.. මට ජීවිතය ගැන තවත් කියා දීලා. බුදුන් වහන්සේගේ ධර්මය මතක් කර දීලා..
'අපිට තියෙන්නේ ජීවත්වෙන මේ මොහොත විතරමයි..'
මගේ හිත ලියන්න මේ ලෝකේ තියෙන පිටු මදිවෙයි.
මේ දීර්ග සංසාර ගමනේ අපි නැවත හමුවෙයි. ඒත් මටවත්, නුඹටවත්.. අපිට මතක තියෙයිද අපිව. හඳුනා ගනීද අපි අපිව.
එසේ හමුවේවා.. අපට, අප හඳුනා ගන්නට තරම් අප පින්වන්ත වේවා.. මම ප්‍රාර්ථනා කරනවා..
සුන්දර සිනහා ඇති, මුදු සිතැත්තියේ,
මගේ ආදරණිය යෙහෙලියේ,
සසරේ සැමදා මට නුඹ හමුවේවා..
නුඹේ ආදරේ,
නුඹ ගැන ඇති මගේ ආදරේ
මගේ හිත පත්ලේම තැන්පත් කරගමි.
අදින් පසුව හමු නොවෙයි අපි.
සසර පුරා ආ ගමන
මේ භවයට මෙතනින් නිමාවිය. සංසාර ගමන සුවදායකම වේවා.... 🙏❤️🙏❤️🙏❤️
කවිය බලන්න
බඩ පිනුමක් ගෙන තැටියක්. ______________
නොපෙනෙන ඈතට යන විට ඇඳි ඇඳි පොත පත සිහිනේ
දෙක වසරට වැට බැඳුනම වැස්සට නැත දොර ඇරුණේ
හුස්ම පොදක අයිතිය මත කොඩි ළෙලදෙන විට තොරනේ
අප්පච්චිගෙ සිහිනය වුණු ජීවිත පටුණය ඉරුණේ
ගී පදයක අග මුල මැද නැතුවද මතකෙක රැඳුණේ
හාමතයට එකඟ වෙමිණි යන්තම් දිව කට වැනුණේ
කාසි වැටෙන හඬ ඇසුනම බඩ පිනුමට වෙර ලැබුණේ
දුප්පත් කම වෙළඳාමෙනි තැටියෙන් වියතද රැකුණේ
වාහන දුම් රොටු බැඳුනම තැන තැන වැරහැළි ඇඳුමේ
වේදනාව සඳුන් වගේ සුවඳ හමන සිත කුසුමේ
සෝ ළතැවුල පිස සතුටින් පිළිගත් පසු ලද උරුමේ
සාගත සිදුරේ යතුරෙනි දොර ඇරුණේ මෙම නැටුමේ
උණුහුම් වදනක සිසිලට හිත තුළ ඇතුවද ආසා
අත පොවනා හැම මොහොතෙම නැගුනෙම අමිහිරි ගෝසා
පියස සිඳුණු මහ කුලුනට බර වැඩි හින්දම මේසා
මගෙ සුමිතුරු නැටුම සසග සිටියේ ගැරහුම් නාසා....
දිගන.
කවිය බලන්න
මහා කවියක ලියවමී.. මම දයාවන් ගුරුතුමී..
සුවද අරගෙන ,මිහිර දැවටුන
හිනාවට සලිතව ඉමී
පෙනෙන මතුපිට තුළින් කියවෙන
අන්දරය මම කියවමී
හිමින් අතගා පැටවුනේ හිත
නුඹට සුවයක් ගෙන එමී
දැනුම නොව ආකල්ප අතුරා
නොකියවෙන දේ දන්වමී
හදේ රිදුමට දැනෙන හීරුම
හිතේ කොනකට අරගමී
සිනාවක සැරසුන මුවග මැද
හදේ ගිනි පහනක් වැනී
ලොවේ දිදුලන ලමා කැන් ලග
ඒ පහන් පෙළ දල්වමී
ගුහාගත සීරුමක තාපය
මහා කවියක ලියවමී....
සතුට ඇති තැන සොයා යන්නට
ගමන් මග තොට පෙන්වමී
ලැබූ පමණින් දරා ගන්නට
දිරිය පමණක් දවටමී
පහන් දැල්වු පහන දිනයක
නිවෙන දැල්ලක නිවෙනෙමී
හිනා පමණක් හැමට ක්ෂය කළ
මම ඔබේ මුදු ගුරුතුමී
හිම මිදෙන ඒරොප්පෙදී
18/12/24
කවිය බලන්න
නුඹේ අසම්මත පෙම හා මම...
දළුලන එ පැලය සනසන සදන උණුසුම
නුඹ හිරුය නැගෙන අළුයම
දිය බිඳක , සරු පොහොර ලඝු කළ
චූදිත මම ය තනිකඩ..
එල්ලා උසාවියෙ මිතුරු
අල්ලාන "තනිකඩ" මා , කර පතුරු
බල්ලා කියා අමතන අයුරු..?
සල්ලාල සකිසඳ වී නපුරු.
යෞවනේ දිනෙක විරහවූ ප්‍රේමයක
මව් විලස, ම'උර නුඹටමය තැනුනෙ
ඇති තරමට හොවා කඳුළු සලනට...
බැති පෙමින ඇසිමි පෙම් යාදිනි තරමට.
ඇස් වසා නුඹ දැහැන ගීතයක..
"ප්‍රියා මිල්ටන් ඔය කියන තරමට
සොඳුරු නෑ ප්‍රේමය"...
"මාස්ටර් නන්දා කපුගේ සුනිල් එඩ්වඩ්
කියන විදියට"....
පරල වී නුඹ ,
එදත් මම විසිවුනා ඈතක අද විදියට
වෙනස දෙන්නාම එදා තනිකඩ.
දැනෙනවා මට දැන්
බැඳුණු යදමක ,
කිරි කිරි හඬ බුරුලක
පෙනෙනවා දුඹුරු මළකඩ.
නොදැනෙනා එක කරුම වදයක්
නැතුවාම හිත ඇතුළෙ කහටක්
හිතෙනවානම් මම ද මළපුඩුවක්
නොකියාම වරදක්
තිතක් තියමුද මිතුර අපි
විරාමය මළ වදයක්.
කවිය බලන්න
අද වෙනස්.......
අදත් සඳ පායලා.......
ඒත් අද ඔබ ඒ සඳ දකින්නේ
වෙනත් කවුළුවකින්
වෙනත් කෝණයකින්
ඊයේ ඔබට තනිරැකි
දෑස නොව
වෙනත් දෑසක්
තනිරකිනවා ඇති
ඊයේ ඔබ හඳ ගැන ගෙතූ
වදන් වැල්
අදත් ගයනවා ඇති
ඒ විදියටම......
ඒ තාලයටම......
ඇගේ ප්‍රතිචාරයත් මගෙ වගේ වෙන්න ඇති
සමහරවිට......
ඇය සඳට කැමති නැතිවත් ඇති
මමත් දන්නවා
ඔබ දන්නබව
මගේ කවුළුවෙනුත් සඳ පේන බව
මම තවම දකින්නේ ඊයේ සඳම බව
අදත් මම
සඳට ගී ලියන බව
ඒ පද අතර ඔබ ඉන්න බව
Photo credit; Arun
කවිය බලන්න
නෑඹුල් කඳුළ
ඈවර කර
දෑවර තුන් ඈවර කර ආදර පොළ
පෑල දොරින් ගෑටූ ඇය අමතා හිඳ
බෑරක දැයි නෑසූ මා සෑදූ කව,
මෑත නො එන
ඈත ඈත ඈත ඇදෙන
ඈ ගේ රුව දෑසෙහි යළි ගෑවුණ සඳ
වෑහුණ කඳුළින් නෑවිණ!
පෑරුණ දෑසින් වෑහුණ නෑඹුල් කඳුළින් නෑවිණ,
සෑදූ කව!
වෑ ඉවුරේ
කෑල ගහට ඇහැළ ගහට
මෑනූ හොටින කොටකොට යන
කෑදර කෑරල ටොක හඬ
රෑට මවන
නෑඹුල් කඳුළින් නෑවෙයි, සෑදූ කව!
ගංදෑලේ
රස වෑහෙන මී අඹ නොව
කෑමට නො පැසුණු අමු ඵල
ලෑටි ගාන ලේන රෑන
රෑට මවන
නෑඹුල් කඳුළින් නෑවෙයි, සෑදූ කව!
නෑර එකක්
තුරු මුල බෑවෙන වෑවර
වෙත ඉඟි පෑ නෑ පිරිවර,
කෑ මොර දෙන වඳුරු රෑන
රෑට මවන
නෑඹුල් කඳුළින් නෑවෙයි, සෑදූ කව!
කවිය බලන්න
ඍතු නම් ඕනෑ ම නැ ත..
ඔබ ශීත ඍතුව වී හමා එත්දී
මට හිම බබෙක් වන්නට ඕනෑ විය
ඔබ වසන්තය වී මල් දී පිපෙත්දී
මට චෙරි මලක් වන්නට ඕනෑ විය
හිම බබා දිය විය
චෙරි මල පර විය
නිවර්තන අහස යට අතු ඉති ලා වැ ඩෙන
විසල් රුක යට හිඳිමි
හිස් අහස දෙස බලමි
හිත මුදා හරිමි
දිය වෙන්න හිම කො හිද
පරවෙන්න මල් කො හිද
කවිය බලන්න
🗙












































































































