නිද්‍රා ඉඳි කටුව ඇනි පිය රජු

නිද්‍රා ඉඳි කටුව ඇනි පිය රජු

කෞශල්‍යා ජයලත්

නිමිත්ත: 2024-12-11 දින, දක්ෂිණ අධිවේගී මාර්ගයේ, පින්නදූව ආසන්නයේ දී, රිය ධාවනය කළ පියාට නින්ද යාම නිසා සිදු වූ මාරක අනතුරකින්, දස හැවිරිදි සහ දහ හතර හැවිරිදි දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වෙයි . ------------------------------------------------- දුවේ , නිද්‍රා ඉඳි කටුව ඇනුණේ කුමරියට නොවෙයි පිය රජුටයි භවේ මා කළ පවින් නැසුනේ කිරිලි පැංචියන් දෙදෙනෙකුගෙ දෙහද යි ලොවේ නැත, දරු දුක් තරම් කරුණේ සිඳින ඇට මිදුළු, ලේ නහර, මේ සාපයක් මැයි නිවේ මින් මතු හිරු සඳු අපේ රජ දහනේ කුමාරියො දෙන්නා දුමක් වී සුළගට මුසුවෙයි දුවේ , මේ නිද්‍රා ඉඳි කටුව පෙතන්ගොඩ විෂ උණ කටුවටත් වඩා රුදුරු යි පවේ මෝරයි, දලුලන මරණීය නිද්‍රාව කාලයේ රුදු වෘක නිය හා තැවරෙයි වැවේ, විෂ කටු පඳුරු, වසා පාළු මාලිගාව නයි පොලොන් තුඹස් ද ඉදිවෙයි නොවේ සුරඟන කතාවක්, ඇහැරවන්නට අපව හාදු අරගෙන අපේ දෙදරුන් නොම එයි දුවේ , අධි වේග , සුක්කානම්, නිද්‍රා පියවරුන් නොමැති සුරඟන ලොව, මින් මතු ඔබට උරුමයි කැවේ නෙත වැලි කැට, සිහිනෙන්වත් දකින පැතුමින් නමුත් ඒ සිහිනත් පව්කාර පියෙකුට අකැප යි දැවේ හද ලාවා, ඇනුණේ ඔබට මෙ'කවෙන් ම'හද හිල් කළ ශරයෙන් අංශුවක් පමණ යි මිතුරනේ, නිදි මත නම්, රිය සක නොපදවන් මේ මිය යමින් සිටින පියෙකුගේ අවසාන පැතුම යි පිය රජුට නිද්‍රා ඉඳි කටුව ඇනි වරදින් සදාකාලික නින්දට පත් නිදි කුමරියන් දෙදෙනෙක් නමින් නව කතන්දරයක් ලියැවෙයි දුවේ , නිද්‍රා ඉඳි කටුව ඇනුණේ කුමරියට නොවෙයි පව්කාර පිය රජුගෙ හද ගැඹරෙ යි
කවිය බලන්න