2025 ඔක්තෝබර් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 5වන වෙළුම

2025 ඔක්තෝබර් කලාපය

සසර ගණුදෙනු අනුව සැමදෙනගෙ පිළිසරණ ඔවුනොවුන් මත යැපෙන දුක සැපද දරා ගෙන ගම් මැද්දෙ පැල්පතේ ජීවයක් බිහිවුනේ

– නාලිනී කොඩිකාර
ඕස්ට්‍රේලියාවේ වෙසෙන කළා කාරිනියක් වූ නාලිනී කොඩිකාර ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් මේ දිනවල මෙල්බර්න් නුවර දී පැවැත්වේ. මේ එහි ප්‍රදර්ශනය වන “සසර ගණුදෙනුව” චිත්‍රයයි

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

මෙම වසරේ දෙසැම්බර් කලාපයෙන් ලන්ඩන් කවි අන්තර්ජාල සරණියට වසර පහක් සපිරෙයි. 2021 ජනවාරි 01 දා පටන් නොකඩවා සෑම මසකම පළමුවනදා ලන්ඩන් කවි සරණිය එළි දැක්වීමට අපට හැකි විය. 2026 වසරේ දී ලන්ඩන් කවි සඳැස් සංග්‍රහයක් මුද්‍රණයෙන් නිකුත් කිරීමට බලා පොරොත්තු වන්නෙමු. එහි පළවන්නේ 2025 වසරේ ලන්ඩන් කවියේ පල වූ සඳැස් වලින් තෝරා ගත් කවි පමණි. ඔබේ සඳැස් කවියට තව කලාප දෙකක් ද තිබේ. උත්සාහයක් කරන්න.

London Kavi Facebook

හනකො

හනකො

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

කළා සපිරි එස්.එල්.සෙනෙහෙධීරයන් විසින් රචිත ' හනකො ' අපූරු නවකතාව පසුගියදා ගොඩගේ ප්‍රකාශනයක් මඟින් දොරට වැඩිණි .මේ ඒ පිළිබඳව සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ සූරීන් ලියූ පසුවදනයි. ------------------------- කලා ක්ෂේත්‍රයේ සාමාන්‍ය නිර්මාණකරුවෙකුට වඩා උගත් බුද්ධිමත් විද්වතෙකු වූ එස්. එල්. සෙනෙහෙධීර සුවිශේෂී කලාකරුවෙකි. පාසල් වේදිකාවෙන් රංගන ශිල්පියකු ලෙස කරළියට පැමිණි ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටියදී නිෂ්පාදිත 'පාරාලෝක' වේදිකා නාට්‍යය ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් සහ පසුතල නිර්මාණයෙන් දායක වූයේය. 'තවලම' සිනමා චිත්‍රපටය සහ එංගලන්තයේදී රූගත කළ 'සිහින පාරාදීසය' ඇතුළු චිත්‍රපටය ඇතුළු රූපවාහිනි නාට්‍ය, සිනමා නිර්මාණ මෙන්ම වේදිකා නාට්‍ය ඇතුළු ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණ කිහිපයකටම රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබා දී ඇත. කවියෙකු ද වන සෙනෙහෙධීර 2022 වසරේ දී 'නව සඳේ පායන්' නම් ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළිදැක්වීය. ඔහු ගේය පද රචකයෙකුද වෙයි. කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, ජපානයේ තෝකියෝ හී නිහොන් විශ්ව විද්‍යාලයෙන් සිනමා හා රූපවාහිනී විශයානුබද්ධ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත්තේය. තවද ඔහු එංගලන්තයේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන්ද ජන සංනිවේදනය සඳහා ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගත්තේය. එංගලන්තයේදී බී.බී.සී. ආයතනයට සම්බන්ධ වූ සෙනෙහිධීර 2017 වර්ෂය දක්වා එහි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළේය. ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කළේ මෙරට ටී. එන්.එල් රූපවාහිනිය ආරම්භයේදීම එහි කලා අධ්‍යක්ෂකවරයා ලෙස සහ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසටය.' පියගැට පෙළ',පුංචි රුවන්, තාරකා යන වැඩ සටහන් නිෂ්පාදනය කරනු ලැබුවේද ඔහු විසිනි. 'රසවිත' ඇතුළු බොහෝ වැඩසටහන්වලදී නිවේදකයෙකු ලෙස මෙන්ම සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නෙකු ලෙසද ඔහු සිය කාර්යභාරය ඉටු කළේය. වර්ෂ 1996 ජපානයේ NHK රුපවාහිනිය මගින් සංවිධානය කෙරුණු අධ්‍යාපනික වැඩසටහන් තරඟයේදී සෙනෙහෙධීර නිෂ්පාදනය කළ 'පියගැට' පෙළ වැඩසටහනට විශේෂ සම්මානයක් හිමිවිය. සෙනෙහෙධීර ගේ නවතම ප්‍රයත්නය වන්නේ ජපානයතෝකියෝ නුවර පසුබිම් කරගෙන විරචිත 'හනකො' නම් නවකතාවයි. නවකතාකරණය පිළිබඳ ඔහුගේ කුසලතා කෙබඳු දැයි එම පරිථයෙන් හඳුනාගත හැකිය. විවිධ කලා ශානර නියෝජනය වන අයුරින් නිර්මිත කලා නිර්මාණ වලින් සෙනෙහෙධීර ගේ නිර්මාණ කුසලතා මැනවින් ප්‍රකට වන අතර මගේද ආදි ශිෂ්‍යයෙකු වන ඔහුට තවදුරටත් කළා ක්ෂේස්ත්‍රයට අගනා දායකත්වයක් සැපයීමට වාසනාව හා දයිර්යය ලැබේවායි ආශිර්වාද කරමි.
කවිය බලන්න
අවබෝධය

අවබෝධය

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

මාරුතේ අවුස්සා රැගෙන ගොස් දූළි රළ ජීවිතේ කලත්තා එහෙ මෙහෙට හමන කල මාවතේ මෙතෙක් රැඳි ඉන්න මට තිබුන බල මා අතේ අද නොමැත වැළපිලා කිමද ඵල පාට පාටින් දුටුව හීන දියවෙන කලක රෑට හිමිහිට දැනෙන දෑස වෙහෙසන තෙතක දාට සමහර හිතමි නිදි නැතුව මුළු රැයක කාට පවරමි වරද මටනෙ වැරදුන තැනක ගමන් මග සංසාර ලියා ඇති ලෙසකටම හිමින් ළඟ රැඳෙනවා දුක සතුට විලසටම තදින් අල්ලා කිසිත් තබාගනු බැරිබවම හොඳින් දැන සිටිය යුතු දහමක්ය තුන්කලම 'අඩක් මේරූ ගැබක්' කාව්‍ය සංග්‍රහයෙන් @ සැප්තැම්බර් 2025
කවිය බලන්න
ක්‍රිෂාන්තිගේ අඩිපාරේ - The Trail of Krishanthi's Foot Prints

ක්‍රිෂාන්තිගේ අඩිපාරේ - The Trail of Krishanthi's Foot Prints

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

ලන්ඩන් කවියට නොකඩවා ලියන ස්විස්ටර්ලන්තයේ වෙසෙන රත්නපාල ගමගේ සූරීන් ගේ නවතම කෘතිය 'ක්‍රිෂාන්තිගේ අඩි පාරේ' ගවේශනයයි. මෙහි පහළින් ඇත්තේ එහි පසු වදනයි. ------------------------------------------- ගවේශනාත්මක මෙන් ම ප්‍රායෝගික ප්‍රවෘත්ති වාර්තා කරණය සාහිත්‍යමය ගැලපීම් හා සහ සබඳ වනු දැක්ම සුලභ අත්දැකීමක් නොවේ. විශේෂයෙන් ම යුද පෙරමුණේ සිට එම කාර්යයෙහි යෙදීමේ දී බොහෝ විට ඇත්තේ ජීවිතයත් මරණයත් අතර නිමේෂයක වෙනසක් වන්නට පුළුවන. සුභාෂිතයේ කීවාක් මෙන් 'සටන් බිම අසිපත් ගත්තවුන්' දුලබ ය. එයින් සැතපුම් සිය ගණනක් එපිට නගරයේ සිට කඩු ලෙළවන්නෝ බොහෝ ය. ඔවුන් අතර සැබෑ සටන් බිම මාධ්‍ය සෙනෙවියෙකු ලෙස නිසැකවම ඉදිරි පෙළ සිටි රත්නපාල ගමගේ සාහිත්‍ය සූරීන් ගේ 'ක්‍රිෂාන්තිගේ අඩිපාරේ', ගවේශනාත්මක සාහිත්‍ය යේ අපූරු සනිටුහනකි. අයහපත් ශරීර සෞඛ්‍ය ද නොසලකමින් ඔහු විසින් රචිත මෙම ග්‍රන්ථය පාථකයා ගේ නෙතට කඳුලක් ගෙන එනු නොඅනුමාන ය. නීතිඥ අනුර හෑගොඩ - ලන්ඩනය The task of producing reportage that is at once investigative and literary in character is by no means an easy undertaking. To engage in such work from the very frontlines of war is to inhabit, quite literally, the fragile boundary between life and death. As the ancient maxim reminds us, “Those who have borne the arrows of the battlefield are few; yet countless are those in distant cities who brandish their swords.” Amidst those rare few who truly stood at the very forefront as a General of the media is Ratnapala Gamage. His latest work 'The Trail of Krishanthi's Foot Prints' , a distinctive contribution to the field of investigative literature, is a rare and precious testament. Composed despite the hardships of ill health, this volume is certain to move the reader deeply—bringing forth, at times, a tear to the eye. Anura Hegoda, Solicitor — London
කවිය බලන්න
පාලිත පෙරේරා

පාලිත පෙරේරා

චින්තක යාපා

සුදු පන්දුව පිත්ත සටනේ දළකාර- ගුවනින් ගෙනා අප වෙත අකුරක් නෑර- මතකෙට නැගෙන හැම මොහොතෙම මනහාර- අමතක නොවේ පාලිත ඔබ හැඩකාර සුද්දන්ගේ ක්‍රිකට් වැජඹුනු ඒ කාලේ- නැගලා විචාරක විස්තර අට්ටාලේ- තේරෙන බසින් අප වෙත ගෙන ආ තාලේ- මනරම් කවියක්ය රැව් දුන් මා බාලේ ඕවල් පිටිය එස් එස් සී තණ තිල්ල- දෑහින් නොදුටු අස්ගිරියේ හෙවණැල්ල- පෙන්වූ අපේ මුවගට දී හසරැල්ල- ගලා ගිය වදන් බඳු දියළුම ඇල්ල “වකාර් යුනිස් එනවා අස්වයෙක් වගේ”— “ඊටම ඔබින ජයසූරිය හිඳින රඟේ” රූ වාහිනි නැතුව සවනින් දැකපු අගේ- අමතක නොවේ තවමත් මට එදා වගේ “පැන්නා පෙරට පන්දුව එන මාවතට”- “දුන්නා පහර ගෙන පිත්තේ හරි මැදට”- අරවින්දගේ නොනිවෙන පිති හරඹයට- දුන්නා ඔබේ හඬ ජීවය තරගයට මනෝජ් ප්‍රබාකර් නියපොත්තෙන් තාලේ- රතු පන්දුවේ සීම් එක හූරපු වේලේ- උකුසු ඇසින් දැක තරගය මැද කාලේ- “මේකා දොඩම් විකුණනවද” ඇසු තාලේ අසූ තුනක් සමරන අද දින ඔබට- නිදුක් නිරෝගිව සුව පතනෙමි හෙටට- ඔබ මැණිකක්ය පාලිත අයියේ අපට- හැමදාමත් වටිනවා ඔබ මට රටට ආදරණීය පාලිත අයියාට සුබ උපන්දිනයක් චින්තක -03/09/25
කවිය බලන්න
වසන්ත රෝහන වසත් සරණී

වසන්ත රෝහන වසත් සරණී

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

හඬ ප්‍රබාවයි සරස්වතියයි උරුමයෙන් ලත් වාසනාවයි සිත් විලෙහි පිපි සියපතක් සේ දශක ගණනක් සුවඳ විහිදූ ගුවන් විදුලියෙ හඬ පෞරුෂය සමුගනියි දිවි ඉසඹු ලබමින් අනෙක සිත් මල් සසල කරමින් අයු කාලය ශේෂ විනි නම් උපත ලද කවුරුනුත් හෝ ලොවැ මහළු වූ සද ගිමන් හලයුතු අළුත් පෙළකට ඉඩ ලබාදී ඔබෙන් ලද පන්නරයෙ අබිමන් විස්වයේ ඉඩ රැදුණු හිඩැසක තවත් දිගු කල් රැදෙනු නියතයැ ගේය පද ලිවු අදත් විහිදේ ගගන තලයේ හෙළඹරේ සාද සම්භාෂණ ද රසකළ මදුර හඬ නැත වියැකුනේ ඉසඹු ලත් හිත මිතුරු සකිසද නමින් "රෝහන වසන්ත" ය වූ ඔබට ආයුරාරෝග්‍ය සම්පත් පතා නවතිමි සෙනෙහසින් ====================== කලාභූෂන කිවිපති ඩබ්ලිව් කේ සරත් විමලසිරි ====================== 12/9/2025
කවිය බලන්න
අනන්ත රාත්‍රිය

අනන්ත රාත්‍රිය

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

සිතම දවටා දුඹුරු පැහැයෙන් කලත කලතා පතුල බලමින් ශීත සුසිනිඳු පින්න තවරා ගියේ ඇයි රෑ වෙන්න දී දුහුල් සාරිය අහස දිගටම විසිරිලා මඳ සුළඟෙ දැවටී අනන්තය තෙක් ඈත ඈතට සෙමෙන් කිම පාවී ගියෙ පාළු අහසේ සිත ගලා යයි පින්න මුළු සිරුරම තෙමා ලයි රුක් වදුළු අතරින් ගලා එන ගීතයේ නුඹෙ හඬ ඇසේ සුමුදු ඒ හඬ හදවතට වැද කොඳුරමින් සිත තල තලා යයි අනන්තය වෙත නුඹ ඇදෙද්දී තනිවෙලා කවුදෝ හඬයි Photo Credit; Oliver Fehrle
කවිය බලන්න
කවියෝ...!

කවියෝ...!

අජිත් පුෂ්පකුමාර මාදින්නාගොඩ

බස කලතා පද එක්‌කොට මහ බරැතී ලෝ රසයක නැති රසයෙන් කවි ලියතී පෙම, නුරාව, හද විරහව වන් රුවැතී පැදි ගඟුලක බැස යහමින් ඔරු පදිතී නිසංසලේ අහුලාගෙන සඳ රෑට උපමාවට ගෙන එසඳේ ආවාට පෙම වැනුවත් දේදුනු පැහැ දී ඊට විරහ දුකටනම් ගෑවේ දම්පාට හිරුට මුවාවී දැවෙනා දවාලක සඳට දිදී පදරුත්, වුව අමාවක ආලප්පන පෙන්වා තරු මුලාවක උන් අතුරයි හද හැඟුමන් වළාවක හිත හතිලන හද කිතිලන ආල කතා නෙත කඳුළින් බර තතු ගෙන විලස ගොතා පද සොයමින් සමබර රුචි බවක් පතා දෙයි මේ හැම රස නීරස එකට ඔතා හද පත්ලෙන් නැගි උල්පත නොදැනීම පැදි නදියක් වූ වග බෑ නොකියාම පන් හිඳකින් ගී ගැයුවෝ ඉඳුරාම වගවීමය කවි සයුරට නතුවීම 2025.09.04
කවිය බලන්න
සුවඳ විතරක් තියා යන්න

සුවඳ විතරක් තියා යන්න

අනුරාධා ගුණසේකර හොරණ

රැය පුරා තනි වී සුසුම් මැද වින්ද මතකය අවුස්සා අපි කතා කල හුඟක් දේවල් ලිව්ව කවියක උලුප්පා හිටිය ලකුණුත් පේනවා රැය දෙගොඩහරියක් පුරා මගේ කවියක් නොදැක්කා වගේ යන්න යනවද ඔයා .... සෙමින් අඩි තිය තියා ඇවිදින් පපුව ගැඹුරේ ලියු සසර මඟ හැම බවක් පාසා යන්න එන බව පැතු නුඹේ කවිවල හුඟක් ඇත්තේ මගේ සුවඳයි කියු නුඹේ මතකින් දැවෙනවා අද විසල් කතරක රුදු ... හැර ගියත් නුඹ පිදු සෙනෙහස පපුව ඇතුලේ නිදන් කරගෙන වෛරයක් නැ විඳින්නම් පන බවෙන් බව ඒ මතක එක්කල සසර මඟ එක බවක් ඉල්ලමි මගේ විතරක් වෙලා ඉන්නට සුවඳ විතරක් තියා යනවද රහසේ ඇවිදින් තුරුල් කරගෙන .....
කවිය බලන්න
මගේ සිහිනයේ හිමිවේදෝ

මගේ සිහිනයේ හිමිවේදෝ

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

වැල් පාලමෙන් ආවාදෝ සඳ සීතලේ තෙමුනාදෝ තරු මංසලේ හැඩුවාදෝ මගේ සිහිනයේ හිමිවේදෝ දේදුනු විලෙන් මතුවේදෝ හිම ගිරි මුදුනේ සැඟවීදෝ කෙත්වතු මැදින් ආවාදෝ සිරිකත මගේ ඔබ කොහිදෝ මීන නුවන් ඇතිවාදෝ රිය සක ඔබට පරදීදෝ දෙව්ලොව සුවේ ගෙන දේදෝ AI ලියක් දැයි සැකදෝ
කවිය බලන්න
ඇලිස්ගේ විස්මලන්තය

ඇලිස්ගේ විස්මලන්තය

ආරියරත්න ජයසිංහ මහරගම

දුහුන දන මන පිනවන ඉඳුදුනු සත් පැහැ මුසුකොට රූ දසුන් තෙළිතුඩින් ඔබ මවන සුවයක්ය දැවෙනා සිතකට කතා කරන සිව්පාවුන් සරන යෝධ සමනලුන් පියඹන ගොළුබෙල්ලනුත් හිනැහෙන කුළුණුබර දේවතාවුන් හැසිරෙන නිකැළැල් අහසක නිල්පාට රෝස පැහැ සුරඟනන් ඉගිලෙන විසුළු මායාකරුවන් රඟන ඇලිස්ගේ විස්මලන්තයකි ඔබ මවන ඒ අරුම ලොව සිත්තරාණෙනි ! ලොව මවන මහ බඹු විලස වෙන්කර දුන මැන මට වෛරයේ ගිනිදැල් ඇවිලෙන අසීමිත දුක් වේදනා ඉතිරෙන පියවි ලොවින් කල්පිත ලොව. රඳවනු මැන මා ඔබේ ඒ විස්මිත ලොව තුල.
කවිය බලන්න
ඇතුගල් පුර නා උයනේ මහ අනතුරේ ....

ඇතුගල් පුර නා උයනේ මහ අනතුරේ ....

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සිතා දුක නිවාගන්නට බව සසරේ පවතින ලබන්නට සුවයක් බුදු දහමින් තිරලෙසින දිනන්නට මගක් කෙලවර දකින්නට නිවන සිතුවේ කෙළෙස් නැසුමට සිවුරු දරමින අතහැර දමා සැප සම්පත් ගිහිගෙයි විඳිමින් සිටිය සැකහැර පියා සිතුවේ බුදුමග යන විදිය දුරු රට සිට ඇවිදින් සිරිලක නා උයනට වැඩිය මහශෝකයකි සඟ තෙනමක් අපවත් සැටිය සිතුවේ වඩන්නට බවුන් සිත සැනසුමට පැතුවේ කෙටිකරන්නට බවදුක බැඳදැමුමට බෙදුවේ දහම් ගුණ සිත පැහැදුමට පෑදුවේ මාවත බුදුමග යන්නට දහතුන් නමක් හිමිවරු ඩක්කුවකට ගොඩවී තිබුනේ සැතපෙන්නට සිතා සියකුටි තුල වන අරනේ කැඩිලා යකඩ දඹයක මැද දැක දැක ගමනේ නොසිතුව නිමේෂෙක ඩක්කුව මහ රෑ පෙරලුනේ දහම් දිවයිනේ ඇතුගල්පුර කෙළවර මැල්සිරිපුරේ බිනරමාසේ සුවිසිදින මහ රෑ කෙළවරේ නා උයනේ කඳුමුදුනේ සිදුවූ මහ අනතුරේ අපවත් හිමිවරුනට ළංවේවා දොර නිවන් පුරේ සිරිලක සිව්නමක් හිමිවරු අපවත් වීලා දුරුරට සිට වැඩි තුන් නමකුත් දිවයට සමුදීලා පැතූ බෝධියක් වේ නම් අපේ හිමවරු පතලා ලබනන්ට හැකිවේවා නුදුරේ භවයක ඉපදීලා
කවිය බලන්න
වීදි දරුවෝ

වීදි දරුවෝ

අමිතා පද්මකුමාරි

ඔසවාගෙන කලිසම් කොටය අතකින් නාවර පෙරාගෙන සියළඟ වැඩියෙන් සිනහ නඟද්දී පෙන්වා කැකුළු දසන් පිරුනා හදම පුත නුඹ ගැන ආදරයෙන් හිසට නිවහනක් නොමැතිව මහපාරේ අඟුවක පිළක හිටියත් වකුටුවෙලා කාගේ වරදකින් හෝ වීදියේ අයාලේ උන්නත් තවම මේ කිරි දරුවෝ නොවෙදෝ හොරැහින් බලනවා පාසල් දරුවෝ දෙසම නැතිදෝ කැමැත්තක් අකුරක් අත ගාන්නට උරුමය සිගමන ද මේ පොඩි දරුවන්ගේ නොහැකි ද තනන්නට ඔවුනට ද ලොවක් Photo Credit; Nashith Basheer
කවිය බලන්න
කුමුදු

කුමුදු

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

කලල් දියෙන් මතුව පිපුන කුමුදු දුල පළල් රිවිරැසට නතුවන අයුරු බල තැවුල් මතින් පෙති ගැලවී මතින් ජල කිවුල් දියට කැඳවාගෙන ගියයි නල රැයේ සිනහවයි දිය හා පහළ ගිය වැයේ විරහ ගී දහවල ඉවුරු ළය ඇගේ සරාගය කැලතුණු ගඟේ දිය ළයේ හොවා කුමුදක් දියඔටම විය Photo Credit; Maddy Weiss
කවිය බලන්න
ෆැන්ටසිය

ෆැන්ටසිය

අනුර හෑගොඩ

පි. සිහිනයේ සිහිනය වෙලා ඔබ හිඳීවිද දිගු නෙත් සලා ගැ . නොඉන් එන තෙක් මග බලා මා ඔහුගෙ සිහිනයෙ සිරවෙලා පි. නිල් අහසෙ දිව යන මුදු වලා ඔබ පහස ඉල්ලා නැවතිලා ගැ සඳේ පිපි මල් රොන් පෙලා අප රහස දැනගෙන එයි ගලා පි. ඔබ ඉන්න මට උණුසුම සලා අලුයමත් අද ඉක්මන් වෙලා ගැ හිරු කළින් විත් කලබල කළා නොම හඬන් කුකුළනි සිත් තලා
කවිය බලන්න
දෑඟිලි අතර සිරවුණ තෙලි තුඩග

දෑඟිලි අතර සිරවුණ තෙලි තුඩග

නිරෝෂා දිල්හානි අක්මීමන

දෑඟිලි අතර සිරවුණ තෙලි තුඩග අගින් මට නුඹ පෙනේ යලි රිදවන මතක ගෙනත් ඉඳ හිට නුඹ පබඳින කවිය තුලත් මට හැ⁣ඟෙනවා මා නුඹ තුල හිඳින බවක් ඉඩෝරයක කෙලවර දකිනා පොදක දූවිලි සුවඳ දැනෙනා හුස්මක තදට පපුවට සිහිල් සුළඟක් වැදෙනා රැයක නිකමට සිහිවුනා නුඹ ලියු පදයක් කවක සුළඟට ඇරුණු කව්ළු අතරින් රැයක හිමිහිට ඇවිත් හිස අතගා කිව් කවක පද ගිලිහිලා මා අමතක වූ දිනෙක තරුවක් හිණැහිලා ගිය බව සත්තද රැයක... Phot Credit; Klemen Vrankar
කවිය බලන්න
(සුද්දෙක්) නොව මිතුරෙක් ඔබ අමතයි

(සුද්දෙක්) නොව මිතුරෙක් ඔබ අමතයි

බන්දුල කුරුවිටආරච්චි

වේදිකාවෙත් , පුංචි තිරයෙත් චලන සිතුවමෙ දස අතේ රැගූ රැගුමන් , කියූ කියමන් නිබඳ රැව්දෙයි හදවතේ සබඳ මිනිසත් කමට මුල් තැන සතිර කල ඔබ මුදු සිතේ දිගක් , පළලක් , යොදුන් ගණනක් මනිනු බැහැ ඒ ජීවිතේ ලැබූ ගරු සම්මාන එමටය සුදුසු තැන ලැබ පන්නරේ දුටිමි සැමටම ආයුබෝවන් : කියා ඔබ ගිය විස්තරේ සසර ගමනේ මෙවන් අයුරින් යළි නොයනු මැන හිටිවරේ ජාතියට ණය නොමැති ඔබ ගැන සදා සමරමි සොහොයුරේ රඟ සොබා නිති දැව පලස මත සරු කලා ඔබ පිළිවෙලින් සොයුර ඔබගේ සුගුණ පිළිවෙත් පුබුදුවා ජන හද මලින් ඉන්න කාලය තවත් තිබියදි ඇයිද ගියෙ අපටත් කලින් යලිත් දවසක වරම් ඇත්නම් එන්න මිත " උඩුවෙල නලින් " ඔෂවා , කැනඩාව .
කවිය බලන්න
මරණ භය

මරණ භය

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

එක්තරා කාලෙක අසාවත් නැති මරණයක් ගැන බයක් තිබු⁣ණේ ම නැත තවත් කාලෙක දෑහින් දැක දැන සිටි නමුත් එහෙම බයක් තිබුණේ ම නැත මරණය පේන මානෙක නොවූ නිසාය නොදැනුන නිසා ය බොහෝ වැඩ තිබුණ නිසාය ඒ ගැන හිතන්නට වෙලාවක් නොතිබුණ නිසාය ජීවිතය කියලා දෙයක් පසුපස එලවන්න දෙගුරු නෑසිය මිතුරු ලෝකයක්⁣ බල කළ නිසාය ජීවිතය කියලා දෙයක් සැබැවින් ම හමුවිය බර හීන කරතියාගන තැනිතලාවක යන විට තාරුකා මල් පිපුණ යායක ප්‍රේමය නම් දෙයක් ද මුණගැසුනි එතැන් සිට බෑවුමකි ඉහලට සකල සිරි මැදුර කඳු මුදුන බව වංගු පාරක මාර්ග සංඥා වල කියැවිනි ප්‍රේමයේ නාමයෙන් රාගයෙන් කාමයෙන් එකිනෙකා බදාගෙන ඇති දෙයක් බෙදාගෙන බොහෝ දුක් සමඟ පුංචි සැප අනාගෙන නිදි නැතිව දුක් තකාගෙන කඳු මුදුන බලාගෙන යන අතර හමු විය පොඩි පොඩි මන්දිර නැත එහෙත් සකල සිරි මැදුරක් මළ ඉර බහින හැන්දෑවක හැකිවිය ළඟා වෙන්නට මුදුනට වෙහෙසයි ගමන ඉදිරියට පමණි එහෙත් එය පතුල නොපෙනෙන ආපසු හැරීමක් නැති අගාධයකි තව ඉහල මුදුන සිට සකල සිරි මැදුර අත් කළ වුන් ද අගාධයට වැටෙන හැටි මා හිඳින මුදුන සිට දුටිමි පහල අඳුරු අගාධය බලනා විට දැනුනි මට මහා බියක් එය මරණ භය නම් විය 12-08-2025
කවිය බලන්න
කිම මේ අරුමේ, !

කිම මේ අරුමේ, !

චමින්ද ලියනගේ බලංගොඩ

සුන්දරතාව මැව්ව යුගයක මතක මැදින් ආවට ගම් තුළානෙ වෙන වෙන පැහැය අරන් නිල් දිය වැල් ගලාය නිහඬව පුරුදු වෙසින් සත්සර නාද එක්ක කොහෙ ගියෙ කුරුළු කොබෙයි, දේදුනු පාට ගෑව අසිරිය දුරට ඇදී නිල් කඳු යාය දැක්කෙ වෙනසක නොගෙන වෙසක් මී මොර මල් පිපිච්ච තුරුලිය වඳව ගිහින් මානම මයි වැවෙන්නෙ පිණිකැට කඳුළු පෙරන්, බත් පත දුන්නු යායෙ නැතුවට වපුල ගොයම් වැව්වද මූකලාන දඬුවමෙ නියැදි සොයන් කාලය මැව්වෙ මේව අරුමය දෙනෙත මවා රන් කුරහන් තනාපු අඩවියෙ බකුසු ගැයුම්, ඉව් වැලිබත් බෙදාපු උදවිය නොමැති සොවින් හිස් අහසත් ළතෙත්ව අව පැහැ ඇඳල උඩින් පුස්පිත මල් නොදැක්කෙ සුවඳට දෙවට දිගේ තිස්සෙම රණ්ඩු ඇල්ලු සඳලිද කොහෙද ගිහින්, Photo Credit; Hưng Nguyễn
කවිය බලන්න
සුසුමක සීතල සවන්පත්

සුසුමක සීතල සවන්පත්

චතුරිකා කස්තුරිආරච්චි මොරටුව

සුසුමක සීතල සවන්පත් හිරි වැටෙන රැහැයි පෙම් ගීය නැවතුනා නිසල සීතල නිශාමය මැදියමත් පසු කළා සිත් කවුළු පියන් හැර සුසුම් වැල් පා කළා කොපුලකට දැනුණ සීතල නිශාමය හැඩි කළා මැදියමේ වට රුදුරු වැස්සට පිරී ගිය නයන විල් දිය ඉවුරු සිඳිමින් ගලා හැලුනා නිශාමය සීතලෙන් සැලුනා Photo Credit; Erik Brolin
කවිය බලන්න
සමගි බලේ...!

සමගි බලේ...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

පවුලක දරුවන් අතරේ වෙනස් කම්ද බොහෝ වෙතේ... දවුලක හඬ පරදා වදනුත් පිට වෙයි තියෙන සිතේ... හවුලක අගයක් දන්නෝ සමගිව දිවි ගෙවනු ඇතේ... අවුලක සේයාවක් දුටුකල කලබල කරනු නැතේ... අතක ඇඟිලි පහ ගතහොත් එකට එකක් වෙනස් වෙතේ... පොතක තිබුණෙ නම්කරලා "දබර", "වෙදා", ලෙසින් ඇතේ... මතකද ඔසවාපු යමක් තනිව ඇඟිල්ලකින් පුතේ... සිතකට ගනු, අවම දෙකක්වත් ඇති කල, ගැටලු නැතේ... එනිස කියමි සමගිව වසනා කල එය සවිය දෙතේ... දණිස නමන්නට සිදුවෙයි ඉවසුම නැති කලට පුතේ... මිනිසට පමණක් ඇති බලෙ , සිතන්න මොලයකුත් වෙතේ... පිණිස දියුණුවීම, ඉතින් ඒක ඇත්තෙ ඔබේ අතේ...
කවිය බලන්න
අරුත

අරුත

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

වයස යද්දී පියාසර කර නැවත හැරිලා බැලු නොයෙක් වර හිතට දැනුනේ එක දෙයයි තිර සතුට දුක යයි උස් පහත් කර දිනක් වෙයි තුට දිනකි දුක්බර විටෙක පැණයකි වෙන නිරුත්තර විසඳලා බැලු විටදි එක්වර දිවිය හුරු ගමනෙහි නිරන්තර ගලන ගඟ මෙන් නැවතුමෙන්තොර දුක සතුට එයි යයි නොයෙක්වර කෙටි කලෙහි ඇති අපට වෙන්කර සොයමු සතුටම වෙයි අරුත්බර
කවිය බලන්න
වරෙන්තුව …

වරෙන්තුව …

දීපා ද සිල්වා ලන්ඩනය

නිරුවත් වීමට ස්වාබාවික වරෙන්තු ලැබ ඇති තුරු පෙළ මොහොතක සංතෘෂ්ටිය උදෙසා නෙක පාට සළු පිලි පැලද උනුන් උන් පරයනා ලෙස බලා සිටී … Photo Credit: Adam Bixby
කවිය බලන්න
උතුම් වූ ඇසළ පෝය

උතුම් වූ ඇසළ පෝය

ධර්මසිරි වීරක්කොඩි සීතාවකපුර

ඇසළ සඳ නැගේ පෙරඹර වෙහෙර වෙත ඇදී එම වර හද ගැබේ වඩා බුදු ගුණ වඳිමු පා බැතින් කුමරුවන් උතුම් සිදුහත් මව් කුසේහි පිළිසිඳගත් දිනේ අද තමයි සිරිබර සිතට ගමු එයත් පස් වග මහනුන්ව සොයා වැඩම කෙරුව තිලොව පියා මුල්ම දහම් දෙසුව අයුරු මතකයට ගමූ අඹ රුක් මූලයෙදි එදා පාල යමා මහ පෙළහර තීර්ථකයො දමනය කළෙ මෙවැනි පෝ දිනේ තව්තිසාව වෙත වැඩලා මාතු දෙව් රජුන් හමු වී දහම් දෙසා ඇත්තෙත් මේ උතුම් වූ දිනේ මෙවන් කරුණු සිහිපත් කර තිදොර සොඳින් පිරිසුදු කර වඳිමු තිලොව සෑසි පියා පතා අම නිවන් Photo credit; Guzmán Barquín
කවිය බලන්න
සරු - නිසරු

සරු - නිසරු

ෆිලී ජයවර්ධන

බොඳව ගිය එක් සිහිනයක් විය දහසකින් එකක් වු පැතුමක් ලෙසින් බැලුවෙ බොහො අය නොසතුටින් සිත් මිතුරන්ද නෑයන් දුන්නේම රිදුමන් කුමන ඇති පල මොනව තිබුණත් සරුවු කුසකට පිනක් නැත්නම් නොතියෙ සැමදා කළු වළාවන් අහස් තල මත එක ලෙසින් පැවසීය දෙවිඳුන් සොඳුරු දිනකදි මකුස පිරිමැද සෙනෙහසින් තැලී පොඩිවී රිදුම් දූන් සිත නිවී සැනහින මොහතකින් මන්මත්ව පිහිනමි අද සතුටු ගඟුලක තූරැළු කරගෙන මගෙ පුංචි කුමරුන් හිරුත් නුඹය මට සඳුත් නුඹමය මැණිකකී මට දෙවියො දුන් නුඹේ උණුසුම් සුසුමකට වැඩි දෙයක් අද මට නැත ඉතින් Photo Credit; Nienke Burgers
කවිය බලන්න
දඩබ්බරයාට චරිත සහතිකයක්

දඩබ්බරයාට චරිත සහතිකයක්

පී. බී. ගුණරත්න

නැගලා පාසල් වහලට​ හැදුවා තෙමෙනා දවසට​ නැමිලා බර අතු ඇතිකොට​ කැපුවා හිතලා හනිකෙට​ තරඟෙට දුවනා අය හට​ අඳිනට නෙක ඉරි පිටියට​ අන කට කලියෙන් දැක සිට​ හැම හට බැරි විය එලෙසට​ සගයෙකු අනතුර දුටු විට​ දඟයෙකු වුව ගෙන දෙඅතට​ හුඟ අය වන තැන පසුබට​ මග තැනු සුවයට හනිකට​ ඉඳ හිට කෑ කෝ ගැසුවට​ යම් විට අත පය වැනුවට​ එය වුව අන් අය වෙනුවට​ දොස එනමුදු විය නුඹ හට​ සා පෙළ හරියට නැතුවට​ උස් මිනිසත් වග මොනවට​ ඒත් සහතිකේ කොතැනට​ මේවා ලියනුයෙ කොහොමට​?
කවිය බලන්න
දෙවියොවත් නොදුටුවෙද​?

දෙවියොවත් නොදුටුවෙද​?

ඥාාණවතී හේරත්

දිය ඇලිද තුරු වදුලු බලන්නට ඇති සිරිය​ වනමල්ද සුපිපිලා පතුරනව සුමිහිරිය​ කඳුු හිස්ද එලනවා මිහිඳුමද හිත පිරිය​ දරු කැලද සමග චාරිකාවකි හිමිදිරිය​ ගම් දනව් පසු කරන් බස් රථය ඇදි ගරුව​ නන් දෙසින් විසිතුරුව සිතුවමක් මැවු සරුව​ අත් පුඩිත් වදිනවා ගී ගයා රඟ පෙරුව කුල්මතින් හැමදෙනා චාරිකාවේ සැරුව​​ හදිසියෙම තිරිංගයෙ දෝසයක් මතුව​ රැඳි පැතුම් සුන්වෙලා හැමට දුක නතුව​ කැරකුනෙද ලෝ දහම හේතුඵල ඇතුව​ දෙවියොවත් ඒ සතුට නොදුටුවෙද මිතුව​? Photo Credit; The Guardian
කවිය බලන්න
නමක් කියනු සකී.........

නමක් කියනු සකී.........

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

හීන පේන හැම රැයකම සිහින පුරා සැරී හිතට දැනුණු රස කවියකි අමතක කළ නොහී මද්දහනේ අවු රස්නේ සිත් පතුලක රැඳී නෙතු අග තෙත් කළ කඳුළට නමක් කියනු සකී Photo Credit: Govardhan
කවිය බලන්න
ඒකද වරද ....

ඒකද වරද ....

ඉෂංකා මිහිරි කුමාරතුංග

සති අන්තෙ ලඟ එනකොට ඉවර උන සැන් පවුඩර් සුවද පිරී ඉතිරී යන කාමරෙ පුරා සීතල උනුසුමක පහස සති මැදත් ඒවිද බලන සති අන්තෙ මුලම දවස දුර වැඩී බව දැනුනම ඉනෙන කඳුළු ඇයී මේ තරම් බරම මතක තියෙනවා තාමත් උනුසුම වෙනසක් නැතිව දැනුන ඉන වටේ අත දාගෙන තුරුලුව වැඩිම ආදරේ මැන බැලුව මදි පාඩු ලඟ පිරවුන හිස්තැනට අඩු පාඩු නැතිව නුඹට ලැබුන ඒ ස්නේහය හිග උන දාට එන්න මතකද.. යතුරක් නුඹ ලඟත් තිබුන ලිප්ස්ටික් සලකුණක් තද රතුවට මගේ නොවන බවත් දැනුන දරාගෙන හේදුවත් කමිස කොලර ලැවෙන්ඩර් සුවද ඇගෙන් ලැබුන තැන තැන නොකියා රැකගෙන මගේ නොවන ඔය පපුව උන හෙම්බිරිසාව දාටත් නාලා ඉම්බ එකද රත්තරනේ මගේ වරද....
කවිය බලන්න
වත්සානේ නුඹ එතැයි ....

වත්සානේ නුඹ එතැයි ....

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

ඉනික්බිති ,,, ලෙළදෙමින් පත් ඒ අතර හෙමි හෙමින් පාත් වෙන වියළි පත් මිහිය රත් වෙනු පෙනේ,,, විටෙක විත් බරක් දෙන කුරවි පා ඒත් එක්කම සර සරින් වියළි පත් හූල්ලයි රිඳුම් මැද,,, පැත්තකින් ඉකිගහන අතු පතර මොර දෙනා සූ හඬක් මේඝයේ වේගයට නතුවෙනා බව හැඟවෙනා ඒ හඬක්,,, ක්‍රියාවේ ප්‍රවේගය සිඳ බිඳලු තිරිසනුන් තැන තැන්හි පණ ගන්න දරනා උත්සාහය තව හැඩක් ,,, විපරීත සුයාමය පන්හිඳට වෙනමම වෙරක්,,, වත්සානය දුර ඇදෙන වඟ කියන කාරණා ඔබ්බවන මේ කවක්,,, තව තවත් දිග ඇදෙන කව ලියෙන අකුරු තැන තැන නහින පිටු ගොඩක්,,, දෙතනෙ හිස් කතාවකි එතැන් මැද කඳුළු ගුලි එල්ලෙනා වැස්සියක නොකීමුත් හීරෙනා පපුකැවුතු හිතැත්තෝ ඇස් දකින කතාවක්,,, දිව ඇදෙන බැල්ලකගෙ උඩු බිරුම හාත්පස වේලෙනා වෙලාවක්,,, රත් රුහිරු නාඳුනන තැන් ඇවිද අතෝරක් නැතිව පරවෙච්ච කවි ලියන කලාවක්,,, හිත හොයන නුඹ කොයිද ආයෙමත් නොදකීද සිහිනෙකට සම වීද හද ගැහෙන පද ලෙහෙන කල්පයක්,, වසත් සම හමුවෙන්න පෙරුම් පුරනා සිතඟ ඇස් තෙමෙන අසෝබන විඩාවක්,, කලක් දුර පණ ඇද්ද සරත් සම හිතවතා මුලසුනේ වාඩිවී යළි නොයන වඟ කියන රටාවක්,,, වපුරනා අස්වැන්න නෙලන්නට කාලයයි මහ හඬින් ඌ කියන උද්දච්ච කතාවක්,,, නුඹ ආයෙ නොඑනු යැයි මුළු පිටම හීරෙනා කඳුළු මල් සිත්තමේ කලාවක්,,,😪 ඉනික්බිති ,,,🥺 වත්සානෙ නුඹ එතැයි දැයි ? Photo Credit Basil Smith
කවිය බලන්න
පියෑඹීම

පියෑඹීම

ජයතිලක කම්මැල්ලවීර

මහ සයුරු ඉමේ මැරුණු කුරුල්ලෙක් - උෑ කොතෙක් දුර පියඹා එන්නට ඇත්ද? වෙහෙස නිසාම ජීවිතය අත්හැරුණාවත්ද? පියාඹන මිතුරනි, ඉතින් අපි? Photo Credit; Devin Avery
කවිය බලන්න
නදිය අසල නුවර

නදිය අසල නුවර

කපිල කුමාර කාලිංග

නදියත්, නගරයත් එකිනෙකා දෙස බලාගත් වන ම, මෙලෙස කොතරම් කල් ද? දැන දැනත් නුවරුන් රහස් සඟවා එසැම ළැම ගලා යන්නීය ඈ විටෙක පිරිසුදුව ද විටෙක අපිරිසුදුව ද, බොර දියත් පෑදී දියත් නදියේ සොබාවයවැයි නුවරුන් දිවිය හා සම නියඟින් ඉරි පැළුණ ද මහ වැසි වැටී ගැලුව ද, නදිය යළි නදිය ම ය නගරය අතැර නොම යන Photo Credit: Gourgen Karapetyan
කවිය බලන්න
සමනලයා දුටු ගජමන් නෝනා - 30

සමනලයා දුටු ගජමන් නෝනා - 30

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සමනල සඳෙස -29 සමනලයා දුටු ගජමන් නෝනා - 30 පෙම් සටන 487. විරතන මුලනයෙන් ගම්වර ලැබුව සොඳින් ගජමන් නාම පටබැඳි ලන්දේසි වෙතින් උපත ලැබ වැඩී ආරච්චිගේ පෙමින් විය කොර්නේලියා ඉසබෙල් දෝන නමින් 488. කවියෙකු බවට ගජමන් නෝනගේ පියත් ඇත ඉතිහාසයෙහි ලියැවී පත-පොතෙහිත් “අරේ ගුණ නෑර” ඇති කවිකමට පෙමත් හේතුව එය ද සිතුණැයි “එක වරට” මටත් 489. ප්‍රැන්සිනා ග්‍රේරු - තව නමකින් නෝනෙ බබා හාමිනෙ තමයි මව ආරච්චිගෙ සෝබා “පන්නක්කාරියක” නමගෙන ඇඳුම් කබා සකසා මෝස්තර හැඳ නෙතු ගත්තෙ සබා 490. දෙටු දියණිය ලෙසින් අකුරු ද උගත්තේ අවුරුදු දස සතරෙ කොළඹට සිත් ගත්තේ ඉන්පසු වත්තෙ “තුප්පහි” මාතර පැත්තේ “වේරගම්පිටියෙ” දිවි පෙත කර ඇත්තේ 491. තුප්පහි වත්ත අද ගජමන්ගේ වත්ත ඉදිරිපිටින් ඇත්තේ පන්සල් වත්ත ඉදිවී තිබෙයි ජාතික නිවහන් ඇත්ත සරි දේ කිරීමයි කවුරුත් කළ යුත්ත 492. කවිය ගැන කතා යම් - යම් ලෙසට කියා සවිය පෙන්නුවේ වැඩිහිටිකම නොසොයා විනය ඇති තැනට “කරතොට මහිමි” දයා “පැනය විසඳගමි එතුමන් ළඟට නොයා” 493. “ධම්මරතන” හිමියන් මා වෙතට එවූ උඩරට “රදළ පවුලෙන්” දිවි පැවිදි ගෙවූ කුට්ටාපිටියෙ හිමිගේ ගෝලයෙකි මොහූ “කවි පන්තියකි” නුඹ මෙය කියවා බලනූ 494. පත්තායමේ ලේකම් විය ඇගෙ මාමා “තමුනට එවූ කවි පන්තිය ගැන නාමා සඳහන් නොකොට එය කියවන්නට බෝමා ඇවිටිලි කෙළෙන් කියැවී වඩමින් පේමා” 495. “සීලෙට මොනව වේදැයි” මට සැක සහිතයි “බාලෙට කතා කරනව” නොසිතන් ඇත්තයි කාලෙට ඔබින “තුඟු දැඩි උස සිරුර” සැපයි වාසෙට සොයා ගත් මඟ නිසරුයි නිහඬයි 496. දෙනිපිටි වැව ගැනයි “ධම්රතනගෙ” කවිය පිළිතුරු කවි පෙළයි ලේකම්ගේ සවිය ඉඩ දුන්නේ බලන්නට “ගජමන්” මතය සරි නම් “පිළිතුරු ම ලෙස” යැවුමයි ගතිය 497. එලෙසට වැවේ දෙනිපිටි කව් රසට ගොතා පිළිතුරු කව් යැවී වෙනසක් වෙතැයි පතා යවමින් එවූ “ධම්රතනට” පැනයෙ කතා විසඳුම “කෙළෙස ලැබෙතැයි” සැක සිතෙයි සිතා 498. ඔතරම් “කවිකාර ඇලපාතින්” ආව “ධම්මරතන අද නැහැ පන්සල” ගාව උපැවිදි වෙලා “අසමින් අදහස්” පෑව හිතවත් පිරිස “ඔහු ළඟ හිඳිමින්” කීව 499. “ගජමන් නෝනෙ මං ඉන්නේ පානදුරේ මෙලිපියෙන් කියමි හද බැඳි කතන්දරේ මුදළිකමත් ලැබ උපැවිදි බවට හුරේ එනමුත් ඊට වැඩියෙන් හේතුවකි කරේ” 500. “කෙළින් නොකීවට නෝනට නොදැනේ ද මේ වගෙ ප්‍රශ්න විසඳනු බැහැ සිවුරෙ හිඳ ඒකත් තවත් කරුණකි වුණු උපැවිද්ද දැන් මට හිතේ හැටියට කළ හැකි සද්ද” 501. “මටත් ලැබුණු පසු ආරංචිය ඔබගේ අවිශ්වාසයක් තිබුණත් සැකය වගේ තහවුරු කර ගන්ට ලිපියක් යැවුම අගේ සිතුණත් එවන්නට සිත බිය වුණැයි මගේ” 502. “කුමට දැ බිය වෙන්නෙ සිත් මල දැන ගන්න විමසා රේණුවෙන් - රේණුව සිප ගන්න හදවත පුරා ඇති සෙනෙහස දන් - වන්න ගජමන් නෝනෙ දැන්වත් අදහස දෙන්න 503. මතක ද පන්සලේ ඔබ කළ කතාව අම්මා ඉතින් ලොකු ගජමන් නෝන බව එහෙනම් ඉතින් පොඩි ගජමන් නෝනෙ රුව ලීවත් නොලීවත් කැමති ද කියනු තව” 504. “එහෙනම් ඉතින් පොඩි වචනය මුල නොගෙනා ලිව්වොත් ලස්සනයි ලෙස ගජමන් නෝනා එවමුකො බලන්නට මුල් කව මෙදැන් ගෙනා යන්නට මේ නමින් මගෙ සිත - ගත ද පිනා” 505. “කිව්වත් වගේ ම ය එහෙනම් මෙතැන් පටන් ලියනෙමි කවි පන්ති පද රස කර ම වෙලන් දෙවියනු දුන්නු දෙය රැක ගෙන රහස් ලෙසින් පිනවමි මෙ කවිලිය රස බැඳ කවි සුරඟුන්” 506. පෙම් රස වැගිරෙනා රස පද ගොනු කරවා පෙම් රස ඉතිරෙනා හද සිතිවිලි බඳවා පෙම් රස දනවනා ලෙස ආලය කැඳ වා පෙම් රස සිඳු රළෙහි කිමිදුනි ඇය සොඳවා 507. නොපෙනෙ ද හදවතේ රස පදවලින් ගෙනා නොහැගෙ ද මුදළිගේ අදහස දැවුණු මනා නොමැණ ද නොවේ මුදළිගෙ උදහස ද දැනා නොමවෙ ද පෙමෙහි කිවිඳිය ගජමන් නෝනා (මතු සම්බන්ධයි.) 2025.10.01
කවිය බලන්න
ඊයේ අද සහ හෙට.

ඊයේ අද සහ හෙට.

ආචාර්ය කරුණාරත්න පල්ලෙගෙදර අනුරපුරයෙන්

ගොවි කඳුළු. අටුවට දැමු බොල්වී ගැන තව සොයති කැඩු අටුව පුටු කරලා විකුණා කති කතා ගොඩක් මැද ගොවිකම කදුළු වෙති තවමත් දොඩන බොරු රැවටිලි ඉවර නැති. වී පැසුනේ රන්වන් වී කුඹුරුවල මේ රන් කරල් තව පිරිලා ලියදී වල ඇවිදින ගොවි කදුළු තනිවී නියරවල දු දරු දුක් සුළඟ මෙතරම් කුඹුරුවල. ජීවන ගමන් මඟ සොයමින් එදා අද සහලේ බලය හා මිළ ගැන කතා මැද ගොවිකම හිරකළා සැළසුම් සුසුම් මැද ගොවිකම අසරණයි බලයේ යගුල් මැද
කවිය බලන්න
මා හදතුළ රැඳී ඉදින්

මා හදතුළ රැඳී ඉදින්

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

සිත පෑළ දොරෙන් යලි ඉගිල නොයන් නොරැඳී ගොස් අසුරු සැනින් නෙතු පියන් අගින් රැඳී කදුළු ලෙසින් මා හද තුළ රැඳී ඉදින්. පෙර දිනක සවන් රැඳි මියුරු වදන් යළි එලෙසම අසනු රිසින් ගිරි කුළ හා බැඳී සඳ මඬල ලෙසින් යළි මා ළඟ රැදෙනු නිතින්. හද ඇඳී සිතුවම් දේදුන්න ලෙසින් යලි බොඳවී නොයන ලෙසින් කැටපත් පවුරක ලියු ගීයක් සේ මා හැරදා නොයනු ඉතින්
කවිය බලන්න
ළමා හා වැඩිහිටි දින සමරමු!

ළමා හා වැඩිහිටි දින සමරමු!

ගමගේ ලයනල්

ගුණ නැණ සුවඳ විහිදෙන මල් පැටවුන්ටයි රට දැය සමය රැක හෙට ඔවුනට බාරයි විටකදි නැගෙන ගුණමකු කරදර බෝමයි අපි රැක ගනිමු ! දරුවන් තෙරුවන් සරණයි කැටපත් පවුරු මෙනි ඉපැරණි දේ පිරුණු සියපත් අත්දැකුම් ඇත ඔවුනගෙ පිපුණු අසිපත් වගේ නො බිය ව පෙරමග වැඩුණු වියපත් අය ව අපි ගෞරවයෙන් රකිමු ! Photo Credit: Robert Collins
කවිය බලන්න
සිහින යානයෙන් ගමනක්

සිහින යානයෙන් ගමනක්

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

බිනරය ගෙවී වප් මස අද ඇවිත් අනේ බටහිර දෙසට මනසින් යමි උඩු ගුවනේ යානෙන් බසින විට සීතල තුරුල් උනේ උනුසුම ගෙනෙන්නට පොරවමු කබා කොනේ තුරුවැල් වර්ණ ඇදුමින් සැරසෙන විලස දකිනට හැකි වෙනම් සීතල කමෙක් නැත සොබදම් කුමරි අදිනා මේ චිත්‍රයට සම වන්නට මිහිපිට දසුනක් නොමැත. හරිත වර්ණ කොල කහ සලුවෙන් පොරවා ඉන්පසු රතු සලුව හැඩයට අන්දවලා ලා හිරු එලිය සිප එන නල පොරවාලා සරත් රිතුට තුරුලිය හැඩ වැඩ කරලා ඇපල් ගසේ පල එන්නෙත් වප් මාසේ පල කොල සමඟ බුමුතුරනත් මේ දවසේ කිචි බිචි ගසන කුරුලන් පොදි දැන් අහසේ මේවා බලා නෙත වැසුනත් සුව පහසේ නොයක් වර්නයෙන් සැරසෙන තුරු අතර කවදත් හරිත සලු පලදින තුරු ත් ඇත නෙකවර්නයෙන් සැරසුන නැඟනියන් හට රැකවල් පුදන සොල්දාදුවො හරිත ගස මේ රඟ දැකුම කවිපදයට නඟන්නට නොහැකිය අනේ සබකෝලෙට වචන නැත සොබා කුමරි යොදනා වර්නයන් මට මිලදී ගන්ට මිහිපිට කඩ මන්ඩි නැත කුරුලු හඬින් ඇහැරෙමි සිටි තද නින්දෙන් මිය ගිය සැමිය යහනේ නිදි සිතුවිල්ලෙන් ඇස පිය ගසා බැස ගත්තෙමි ඒ යහනෙන් සිහිනෙන් ගිය දුරක්? සිතමින් විමසිල්ලෙන්! වප්මස හැඩ වෙමින් මැවෙනා දසුන් හෙට ආසයි චිත්‍රයට තෙලි තුඩ හසුරන්ට සොබා දහම කුමරිට අපහස වෙන්ට රිසි නැති නිසා සිතුවා හකුලා ගන ඉන්ට.
කවිය බලන්න
තනියෙන්ම...

තනියෙන්ම...

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

පිබිදුනෙමි .. තනියෙන්ම... හිරු දකිමි නල විඳිමි තනියෙන්ම..... පෙති සලා පරවෙලා මට යන්න ඉඩදෙන්න තනියෙන්ම... නිල් පාට විල් දියේ සිසිලෙන්ම විඳගතිමි සැනසුනෙමි තනියෙන්ම නල සුවය මුදු සුවඳ තැවරුණා නිබඳ මා අසලින්ම පැමිණ ඔබ ගිය වගක් කළියෙන්ම විල රහස් මිමුණුවා නිතැතින්ම ගොතා කවි පද පුරුදු මිහිරෙන්ම ලියූවා විල් දියේ සැබැවින්ම..... .....මැකී ගිය'යුරු නොදුටු ඔබ මෙන්ම... Photo Credit; Zoltan Tasi
කවිය බලන්න
මඟ හැරුන සැදෑවන්

මඟ හැරුන සැදෑවන්

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

දම්පාට වළාකුළු ගගන සැරිසරනවා නිම් වළල්ලෙන් එපිට ලෝකයක් තියෙනවා දුම්රියේ කවුළුවෙන් නෙත් ඈත ඇදෙනවා මම තාම මට අහිමි ජීවිතය සොයනවා හන්තාන මඟ හැරී නමුණුකුල හමුවේද පින්තාරු කළ හීන තුන්‍ යමේ බොඳවේද ගංගාවේ ගීතයට උල්පතක් හිමිවේද සන්තානගත කඳුළු හිත් පතුලෙ සිදුනේද ක්‍රිෂ්ණාට තමලු වැල් අතවැනූ බව ඇත්ත රාධාට හිමි වුණේ මල් නොවේ කටු ඉත්ත සොයා වෙහෙසී කුමට ප්‍රේමයේ පිට පොත්ත මඟ හැරුණ සැදෑවන් නුඹට වේවිද තිත්ත වැටෙන විට හේඩෑව ගිම් තැවුල් නිවාවි පිපෙන මල් අතුපතර සිය දහස් පිපේවි තුඩින් තුඩ විහඟුන්ගේ ගී නාද ඇසේවි ජීවිතය මොනතරම් සුන්දරද දයාවි
කවිය බලන්න
මිනිත්තු එකොළහ

මිනිත්තු එකොළහ

නයෝමි අමරසිංහ

ගිම්හාන ගීතය වයන්නේ කවරෙක්ද මැන්ඩලීනයේ ස්වර ළඟ අසමි ජීවන වත සංතාප නිම්නාද රැය වල දැල්වූ පහන් අලු නිවමින් වන මල් පිපෙන බිම්කඩ කාට හෝ අත වනනු ඇති නිල් අහස යට ආරණ්‍ය විඳ ගමි නුඹේ ලාවන්‍ය පා තබන හැඩයෙන් මනරම්‍ය මිනිත්තු එකොළහකට ලං වෙන්න ආදරණීය මරියා... ඇතුළතින් පවසන කතාවට මොහොතක් සවන් දෙමු මේ ඔබට පෙනෙන්නේ හෘදභ්‍යාන්තර ආලෝකයයි..
කවිය බලන්න
වේදනාව

වේදනාව

නිමේෂා ද සිල්වා

ගැහැණියක් හොයන්නේ ශරිරේ උණුසුම විතරක් නෙවෙයි, මනසේ මලකට වතුර වෙන්න ඟගක් වගේ මදළියක් හොයනවා. හොර ගැනියේක් උනත් ඇගේ ඇස් වල ගුප්ත කතා අහනවා, ඇගේ හුස්ම අතරේ අකුරු නොලියන ලොකයේ meaning සොයනවා. සෙනෙහෙ කියන වචනේ අළුතින් ලියන තරු රැදෙන ඉරක් වගේ, මොන මොහොතේ ආවත් ඇගේ හදවතේ සම්පුර්ණතාව නොතේරෙනා. _ නීම් _ Photo Credit; Mina Rad
කවිය බලන්න
හැබෑවුනු සිහිනය...

හැබෑවුනු සිහිනය...

නදී රුබසිංහ දකුණු පළාත

පහුකරන් යද්දි යව්වනේ සුන්දර හරිය හීන තව දුර වැඩියි ගෙවී යයි ජීවිතය නයිටිංගේල් දියණියක වී රෝදන සුවය කැන්දන්න, කවදාද? හීන රජවන දිනය බලාගෙන ඉදලම දැන් නම් හිතට හරි මහන්සී 🥹 2024/09/26 නදී රුබසිංහ🖊️ after one year "හීන ඇහිදාර මත පෙම් කරපු ඒ කාලේ ජීවිතේ නැහැ බැරක් දැනුණේම මෙච්චරට" ප.ලි :- අතැ'ර යන්නට නොහැකි මානෙක බැදී දැන් හිත ගතද දෑතද, තැවෙමි නොතැවෙමි ගිලන් හද ලග නිවනු රිසියෙන් වේදනා ස්වර...🥺 2025/09/28 නදී රුබසිංහ🖊️ Photo Credit;Armand Khoury
කවිය බලන්න
මහරු සඟ ගුණ

මහරු සඟ ගුණ

නයනශාන්ති දිසානායක

සසල වේ දියත තරඟ නන්වා ලදින් එක් තෙරපුමක් සැණින තුමුළ ඒ දන පෙලන සෝක දැක මිදෙන සේ ඟංතෙරට පැමිණ විසුළ බෝ පත් පතල ලෝ දම දැන දැකම නොසැලෙනා සිතින නිසල මේ සිල් අරණ සෙවන සිත නිවන්න ට අනලස්ව නැඟුන නිතර සිහි කොට එ මුණි ගුණ දැන එතෙර වනු රිසියෙන් සිතාලා නොහැර පිය වර එ මහ සඟ ගණ වැඩිය මඟ නිතියෙන් බළාලා අතැර එකි නෙක එ දුක් දෙන වින සිඳින ලෙස විරියෙන් නැගීලා දුරැර විඳ හැම එ සිත් ලඳ දොස් සදොස් හැර සිහියෙන් දරලා මතක බණ පද පැන් වඩා දී නිවා නොනිවුන සිත්හි කඳුළු කුසක දැරු පෙම සෙත් පතා ලා පිරිත් පැන් බිඳ බිඳෙන් ඔපළු දුකක විපතක සියළු අණ විණ නොඑන ලෙස බළ වඩා ඉසිළු ගමක පරපුර නිවන් දොර වෙත කැටුව විත් කර දිවිය එකළු
කවිය බලන්න
බලා හිඳීමත්.. ප්‍රේමයක් නම්... ♥️

බලා හිඳීමත්.. ප්‍රේමයක් නම්... ♥️

නදී ශානිකා මහනුවර

විසුල අහසක ඇඳි රටාවක පෑයු තරු කැට දිලෙයි මනරම්.. ඈත දවසක නෙත් ඉසව්වට වැඩිය ඔබ සිත කලා සොරකම්.. ගැහෙන හදවත අස්සෙ ගුලි වුන නුහුරු හැඟුමට කරලා සරදම්.. අහම්බෙන් සිත අරා ගොඩවුන වසත් කල ඔබ වුණා මට නම්.. ඔබ නමින් සිත වැඩුනු හැඟුමට කලා ආලය ඇස් පියන් මම්.. හදේ ප්‍රේමය සුළඟ අත ඔබ වෙත එවන්නට කලා කවිකම්.. ඔබේ ආදර එකදු වදනක පහස ලබනට මග බැලුවෙ මම්.. සිත අවුස්සන හැඟුම් දී ඔබ ඇයි ද මා ළඟ නිහඬ මෙතරම්.. රිදෙනවා හද පෙමින් ඉතිරුන ඔබට මා සිත නොතේරේ නම්.. හදවතට මගෙ එබී බලනට සිතුවෙ ඇයි ඔබ පෙමක් නැතිනම්.. ප්‍රේමයට ලොව දෙන අරුත් මැද බලා හිඳුමත් ප්‍රේමයක් නම්.. කල්පයක් වුව ඔබ නමින් කවි ලිය ලියා මම බලා ඉන්නම්..
කවිය බලන්න
සසර ගණුදෙනුව

සසර ගණුදෙනුව

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

ලොවට බට බිළිදාට රැකවරන උදෙසාම අවදි වී මුළු ලොවම දෑස් දල්වා හිදී පා යුගල තිබුනාට ඇවිද යන්නට හැකිද? දෑත් යුග තිබුනාට, බාහු බල නැත ඔහුට උණුසුමින් රැකුනාට නොම දනී එහි අරුත කිසිවෙකුත් කිසිදෙයක් නොමැත හැගුමක් කිසිත් හිරු සදු පායන්නේ දිය ඇලි ඇද හැලෙන්නේ මද සුලග හමන්නේ පොළොව දළු ලන්නේ සොබා දම හිනැහෙන්නේ සිගිති පුතු වෙනුවෙන් නොවේදෝ? ගොවිතැනෙහි යෙදෙන්නෝ ඵල වැලද නෙලන්නෝ හිස සෙවන සදන්නෝ රෙදි පිළිද වියන්නෝ මිහිරි ගී ගයන්නෝ යස රැගුම් රගන්නෝ අකුරු කරවන ඇදුරු මහැදුරු ලියන පතපොත අයද කතුවරු ලෙයම කිරි වන අයුරු මේ සියල්ලම ඔහු නිසා වෙද ඇත් රැලේ ඇතින්නට ලැබුන විට ඇත් බිළිද රැලේ අන් ඇතිනියන් රකින්නේ ඔහු නොවෙද? සසර ගණුදෙනු අනුව සැමදෙනගෙ පිළිසරණ ඔවුනොවුන් මත යැපෙන දුක සැපද දරා ගෙන ගම් මැද්දෙ පැල්පතේ ජීවයක් බිහිවුනේ
කවිය බලන්න
සඳේ විත්ති

සඳේ විත්ති

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

අවපස ගෙවී ගොස් පුරපස පැමිණි විට එබිකම් කරයි පුරපස සඳ දුරක සිට කෙතරම් හැඩ නමුත් පුර සඳ පිරුණු විට මසකට වරකි පෙනෙනුයෙ එය ඔබට මට පුර සඳ ලොවෙහි හැමදෙන වෙත එන අතර සමහරු වෙතට එන සඳවල් ඇත නිතර ඇත තව සඳක් ඇතැමුන් ළඟ වී නතර කොයි සඳ දකින්නෙත් මම අතරින් පතර මල් හෙන්දිරික්කා කොඳ කඩුපුල් හිනැහී විකසිත වෙන්නෙ සඳ දුටු විටදිය සැනහී මුහුදද සතුටු වෙයි වඩ දියරෙන් සැරහී විරහියො නම් කැළඹෙයි ශෝකෙන් විරහී තිබෙනා රෝග වැඩිවී යයි මානසික යොවුනගෙ සිත පිරෙයි සිතුවිලි රාගධික සොමි ගුණ පිරුණු සඳ එළියෙහි සාරයික ගුණයම ලබමු සිටිමින් ලෙස ධාරමික සඳ සතු මහ ධනය සොමි කිරණම වන්නේ ලොව සැම දෙනාටම සම ලෙස එය දෙන්නේ සනසා ලොවම සැම මසකම පැමිණෙන්නේ අපගෙන් කිසි දෙයක් කිසි දින නැත ගන්නේ
කවිය බලන්න
ගාන්ධර්ව සිත නොසන්සුන්ය

ගාන්ධර්ව සිත නොසන්සුන්ය

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

හදවත උතුරා යන අති මහත් බැතියෙන් අභිවන්දන ගීයක් තනන පරම අදිටනින් කලක් පුරා වෙහෙසී නිදි නැති රාත්‍රියක නෙක පරාජිත හැඟුමන් මසිත සසලයි ⁣සමන් පිච්ච දෝතක් නෙළන අටියෙන් උයනට බැස සැරිසරන නිසසල අළුයමේ මඳ නල ⁣හා මුසුව එන පරසතු සුවඳ හා වරින්වර කන වැකෙන පා සළඹ නාදයකි ... විමතිය බිය සැකය ජනිත වන මොහාතේ රනින් කල වන් අප්සරා රුවක් නෙත ගැටී එවන් ⁣අසිරිමත් දසුනක් අදහගනු බැරිව තොල කට වියැලී මා එතැනම නතර වින නුහුරු වදනින් අමුතු සංගීත ශෛලියකින් සෙමින් තත්සර බිඳෙන වෙණ නද මැද සුගායනය ⁣වන ගීතයෙන් මසිත වසඟ වී ගනඳුර බිඳ දමන රිදී රේඛාවක් මතු වේ
කවිය බලන්න
ලිහිණි අක්කාට ඩිප්‍රෙෂන්

ලිහිණි අක්කාට ඩිප්‍රෙෂන්

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

ලිහිණි අක්කේ.. ලිහිණි අක්කේ.. සීත ගංගා කොමළිය අදත් සමනොළ කන්ද මුදුනින් පැන නඟින්නේ නිසලව දිනක් දෙදිනක් තුනක් හතරක් බලා සිටිමුත් ඒ දෙස ඔබේ කටහඬ පමණි ඇසුණේ දැක්කේ නැහැ නුඹෙ වත මල රාක්සයෙකුගෙ කන්නලව්වට පයක් ලෙස්සා වැටුණද.. එසේ නැතිනම් සමනලුන් විත් දෝංකාරයෙ තැබුවද.. රෝග ලක්ෂණ එකින් එක ගෙන කිරා මැනලා බැලුවම එදා අද හෙට කියා අපගේ කතාවේ වෙනසක් නැත ඩිප්‍රෙෂන් රෝගයට දුන් පෙති වීසි කරලා ගඟුලට අදත් අග්ගලා මිට මොලෝගෙන සිරි පතුල නමදී ඇය
කවිය බලන්න
ඉසිඹුව ඇවිදින්.......

ඉසිඹුව ඇවිදින්.......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

යොවුන් වියේ සිට ගිලනුන් ඇසුරේ උගත්ත දේ නම් තව මතකයි ඒ දෙය පෙරළා ඔවුනගෙ සුවසෙත වෙනුවෙන් පිදුවා තව මතකයි සුවපත් වූ ගිලනුන් ගේ මුවඟේ නැඟෙනා හසරැල් තව මතකයි ඒ දැක හදවත තුල පිපි මල් වල සුවඳත් අද වාගේ මතකයි. මිනිසුන් නසනා රුදු අවි වෙනුවට සැත්කම් පිහියක් ගෙන අතට දරුවන් මල් මෙන් උපද්දවා සෙ⁣නෙහස දී මා පිය සිත් වලට පැතුමන් සපුරා ලද මනු දිවියෙන් සලසා වැඩ හැම ලෝ සතට ගතවුනු කාලය ගැන සිහි කරමින් හැරුනෙමි මඳකට පසුපසට. නොසිතූ මොහොතක ගිලන් වෙලා සිටි සත හට සුවය සදාලා අත් පා බිඳිලා එක් තැන් වූවන් හට යළි සරණක් වීලා දිවි මඟ සතුටින් උන් සරණා හැටි දුර සිට නුවන් යොමාලා සෙනෙහස් හැඟුමින් සිත් සනසා ගමි මතකය තුල ගොළු වීලා. දුරකතනය සයනය අසලම රඳවා ගන්නට වන්නේ නැහැ මතු ආයෙත් නින්ද නොනින්දත් අතරේ ගිලනෙකු හඬ නොඇසෙනු ඇත මතු ආයෙත් දිගු කොරිඩෝ වල දිව රෑ නොබලා ඇවිදින්නෙත් නැහැ මතු ආයෙත් කාලය ගෙවිලා ඉසිඹුව ඇවිදින් එන්නට වෙන් නැහැ මට ආයෙත්.
කවිය බලන්න
ගං කොමලිය..

ගං කොමලිය..

රේඛා කුමරප්පෙරුම

ළමැදෙහි උසම තැන තුඩු අග රිදී පැහැයෙන සිසිලස කොහිද වෙන විඳිමි සැනසෙමි මිහිර විඳගෙන නෙත් යොමා වටපිට බැඳෙමි නුඹෙ රූ සපුවට රැඳෙනු නුඹ හා මට කියනු මැන රහසකින් හෙමිහිට තැන්න මත දිව යමු කඳු හෙල් මතින් පැනගමු වැටි වැටිත් නැගිටිමු පෙමින් තුරුගොමු අතර සැඟවෙමු සිර කොට බැමි අතර ලබනු මෙතරම් හිරිහැර නොහඬන් ප්‍රිය සොඳුර පිනක්මැයි නුඹ දැයට සිරිබර සරු සාර කෙත් වතු නහවන දියවරක් සතු කිරිබරව ඇති තතු වහා පවසමි නුඹට වී නතු නිසළ බව රකිමින් විටෙක රුදුරුව පනිමින් මගදි තතු අසමින් සයුර සිපගනු සොඳුර සුපෙමින් Photo Credit; Cade Prior
කවිය බලන්න
එහෙමයි වුණේ

එහෙමයි වුණේ

රුවන් ඩී අළුබෝමුල්ලගේ

“එන ගමන් නෙව මල්ලි දෙකක් දාගෙනම යමු.” මහත්තුරුමයි කිව්වේ දෝලනය වුණා හිත දෙපැත්තට නතර වුණෙ අපායේ දොරකඩම දෙකක් වෙනුවට හතර පහ වුණා නොදැනම පාවුණා හිත අහසෙ ඉහළට හිනාවක් හිට ආව මුවගට දැණුන පොඩි අමුත්තක් ළාවට තිරිංගෙට වෙනුවට පය ගියේ ඇක්සිලේටරයට... Photo Credit; Sachin Benny
කවිය බලන්න
දායදවූ සොබාදහමක සිරිවිඳිමු සෙනෙහසින්,,

දායදවූ සොබාදහමක සිරිවිඳිමු සෙනෙහසින්,,

රංජනී කොස්තා නවසීලන්තය

වනපෙත් අරා රූටාගෙන හරිහැඩට කඳුහෙල්මත රජවෙනවා නොවැ දඟට ඉවුරු දෙකක් හැඩගන්වා යස අගට දියඇලි ගලනවා මනරම් ලෙස නෙතට Photo Credit; Kelsi Millar මදමුදු හුළඟෙ ගුමුගුමු නාද අසන් තුරුළිය නටයි පදයට තාලමවන් කවුරුන් දකිවි ,මල්‍ රොන් පොදිය පුරන් හීනැහෙනයුරු මල්පෙති මුව පිරෙනතරන් පිල්විදහන් රඟදෙන මොනරුන් කැලක අතුඉති මත සුපිපුන මල්වැල්දහක සුවඳට නතු පෙරහැර සමනල් කැලෙක ලොවටකියයි මනරම් තතු පෙරහැරක නැගෙන හිරුට මල් ඔමරිය පුදන්නට සේල අඳිනවද නුබගැඹ පිරෙන්නට පාටවළා තව තව රුව මවන්නට කවුරුකියනවද ගෙත්තම් කරන්නට මිහිළියමත නෙකසිත්තම් ගොනුකරපු විල්නිල් ජළ අතුගංගා හැඩකරපු අහස පොළොව යාකර රුසිරින් පුරපු බැතිමල් පිපුනද ,හදතුළ තුති පුදපු
කවිය බලන්න
ඉහල අහසේ ගැසූ කරනම්

ඉහල අහසේ ගැසූ කරනම්

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

ඉහල අහසේ ගැසූ කරනම් සිහිනයක්මය මෙදා දිවියේ දුබල වී ඇත යුගල පියාපත් වකුටු වී ඇත දෙපා නියපොතු නැත පුරුදු විහඟ නාදේ වියපත්ය එක තැන දිවියේ අතහැරුණ බෙනය නිවහන වී වැතිර සිටිනෙමි හුදෙකලාවක තුඩින් රැගෙන විත දුන් පෝෂණය මගේ කුරුළු දරු කැලට දයාවෙන් ඇති කල දරු පෙම අමතකද මගේ පුංචි පැටවුන්ට
කවිය බලන්න
නොකිසිවක්

නොකිසිවක්

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

අකුරු හතරක් යන්තම් පහසක් නින්දේ දුටු සිහිනයක් හී සරය වී ලය පසා කල ලාමක කයි කතන්දර හිම දියව හිමාලේ ගලන යමුනා තීරේ ඉවුරු මත නිහඩව හිදී අදටත් මධ්‍යතන යුගයේ රාධා ක්‍රිශ්නා එනතුරා කාලය විටින් විට ආත්මය අහස තෙක් ඔසවා අන්තරීක්ශය සරසා පායන දිව්‍යමය තාරකා පෙන්වා යලි වලලයි පොලෝ ගැබ කොලපත ඉරා වීසිකොට උනා කඩමලු ගිනි තබා කවි පොතට සිනාසී ගග ලග රාධාට යුහුව යන්නී ඉදිරියට නොකිසිවක් හා වේවැල්දෙනිය
කවිය බලන්න
සිතුවම

සිතුවම

ශර්මිලා බන්දුනි දන්වත්ත

ගැඹුරුතම සිසිරයේදීත් පතක් සුරැකිව තබාගෙන ගස ගිලන් සයනයේ වැතිර සනසාගමි සිත තවත් දිනයක් ඉතිරිය මට සිසිරය ගෙවී යන්නේ කාන්සියෙනි හමා එන කුණාටු එගස මා නෙතින් මුවාකර දමන්නේ වුවමනාවෙනි ඒත් ඒ කුණාටු සැමට පසුවත් පත සුවෙනි වසන්තයේ පළමු පැමිණීමෙන්ම මා සුවපත්වන බව දැනිණි හිස නගන ළදළු අතරින් පත ,තවමත් එලෙසිනි පියනගන්නට හැකිවූ දිනම සමීපව බැලුවෙමි ඒ අසිරිමත් පත ඔබ අතින් ඇඳුණු සිතුවමකි ලෝක පූජිත කෙටි කතාවක් ඇසුරින් ලියවුණු කවකි.
කවිය බලන්න
පුතුට මගේ

පුතුට මගේ

සමන්තා විතානගේ

මිනිසත් කම යතොත් පුතේ උගතෙක් වුව පලක් නැතේ යහපත් කම දරන් හිතේ හැදුනොත් මුතු මැණික් අතේ මුදලක් වෙත ලොබින ලොලා වරදක් දැක ඉවත බලා සිටියොත් දඬුවමට නොලා දහමත් යයි උරන වෙලා දරමින් දැඩි තමන් මතේ පෙලමින් සිත් මතින් විතේ ගිලිහෙත් නැණ නුවණ් හිතේ පිරිහෙත් මනු ගුණත් වතේ බලයට ලොබ බැඳ ගනිතොත් නිලයට උඬගුව සිටියොත් නියතය මනු ගුණ ගිලිහෙත් සුගතිය නුඹගෙන් හැරයත් Photo Credit ; Arthur Harutyunyan
කවිය බලන්න
නියම්(අ) නියම්

නියම්(අ) නියම්

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

යොවුන් මදයෙන් මත්වැ මනසින් ඈත්වී සිය බිරිඳ ගෙන් කාත් කවුරුත් නැති වෙලාවක අයාලේ ගිය ළදෙක ගෙන ආ පුතෙක්, හැරදා දෙමාපියනද පවුල් කති දැන් අනියමින් --- අතැර දා නෑ පරපුරක් වැතිර අම්මා සැදූ මැදුරේ තාත්තා දුන් ඉසුරු සම්පත් විඳී දෙන්නා අබිම්නින් --- අම්මාට අම්මා කියන්නත් තාත්තාට තාත්තා කියන්නත් නොහැකි ලෙද අද ගොළුවෙලා ඒ අජාසත් පුතණුවෝ සරාගික ලොව කොටුවෙලා -- පාර්ශ්වයෙනුත් අම්මගේ සනුහරෙන් පියතුමාගේ ඈත්වී මේ පුතාණෝ අතරමංවී දිවිමඟේ -- දිනෙක කවදා හෝ මතු පුතෙක් ලදහොත් ඒ පුතාටත් දැනේ මවුපිය සෙනෙහසේ සක්සුදක් සේ උතුම් බවනම් --- කළණ මිතුරන් සේ සිතා පාප මිතුරන් වට කරන් යනෙන ගමනේ කෙදිනකදි හෝ ඔබත් ඔබ ඇඹෙණියත් අතරමං වෙනු නියතමයැ ==================== කලාභූෂන,කිවිපති ඩබ්ලිව්.කේ.සරත් විමලසිරි ====================== 7/9/2025 Pgoto Credit; Loren Lee
කවිය බලන්න
ඉංග්ලන්ඩ් බකංනිලා

ඉංග්ලන්ඩ් බකංනිලා

සපුමල් බන්ඩාර ලන්ඩනය

දෙමාපියන්ට ලැබේවා ගොඩක්ම පිං ආවා ඉංගලන්තතෙට ඈත උඩිං කෙරුවා ඩිග්‍රියක් අමාරු කොම්පියුටිං මුල් බැසගත්තා හිමිහිට ලන්ඩනයෙං තනියම හදාගෙන කරගෙන ශොපිං උදවුත් කලා පස්සෙ ආපුඋන්ටත් ඉතිං හිතහොද එවුනුත් හිටියා ඒ බෝඩිමෙං ඒත් වැඩිපුර හිටියෙ අපිට ඇරපු එවුං නෛජල් ඇවිත් කියනව යවනවලු හිටං යන්නෙ කෝමද දමා පොලොව ගෙන්දගං ටැක්ස් ගෙවනවනෙ යකෝ උදේරෑ නිකං සුද්දො දම්මල කරයි අනේ උබ ලපං අනේ කාලේ දැන්නම් වනේ වාසං කොහි යන්නද හදාගත් පැල දමං අපි ආවෙත් ඉස්සර යන්න බලං ඒත් ඉන්නව බලාගෙන බකංනිලං
කවිය බලන්න
පැන්ෂන් සීයා සහ මොන්ටිසෝරි මිනිපිරී

පැන්ෂන් සීයා සහ මොන්ටිසෝරි මිනිපිරී

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

සිහිනෙන් අවදිවෙමි ඉකි බිදිනා හඬට යහනින් වැටෙනවා මා විටකදි බිමට පහනින් කවර පලයද නොපෙනේ අවට යහතින් ඉදින් නුඹ එලියයි හෙට ලොවට ඈතක දුරක නුඹ අකුරට ගිය හන්දා මෑතක පටන් නොපෙනේ කරුමෙද මන්දා පාරක ලකුනු කාලය මකනා හන්දා දාරක පෙමට රෑ තුන්‍ යම ඉකි බින්දා බාල වියේ පය ලෑ මල් සෙරෙප්පු මාල පබලු තැන තැන කල් පරක්කු ආල සිතින් විටකදි මා කෙනිත්තු කාල ගියත් සීයට දෙයි ඔරොත්තු තැන තැන ඉකිබිදි පැන්ඩා වලස්සු ‍යන තැන බලි රූප පපුතුර පිලිස්සූ කනු බොනු නොහැක දිව රෑ හිත ඇවිස්සූ පන යන දිනේ සිහිවේ දත් විලිස්සූ පැන්සන් පඩිය මා අත මෙලවෙන දාට එන්නන් දුවේ මා වලකනු හැකි කාට සන්නන් නාම නැති දේදුන්නේ පාට රහසින් අරන් එමි ටොපි දෝතක් රෑට ඉතිං සීයේ අසමින් නෙක කතන්දර තුටින් ඔඩොක්කුවේ මහ රෑ පාන්දර කටින් කිරි සුවද දෑසම පහන් තිර කරින් නොම බසි කිරිකැටි නොවේ බර ඇසෙයි විටෙක පා හඬ ගෙයි මැද සාලේ දිසෙයි කලක දන ගෑ එදවස බාලේ පිරෙයි උණු කදුළු වියැලෙයි නෙත් දෑලේ හිතෙයි පියඹන්නට, තටු කටු ගාලේ
කවිය බලන්න
පෙම් බැඳි ස​ඳ

පෙම් බැඳි ස​ඳ

සේපාලි අශෝකා එදිරිවීර

ඉර අවරට යන තෙක් කල් බලයි නෙතක් නැග එනතුරු රෑ අහසේ සරා සඳක් සොමි වත දැක්මට ඉවසිලි නොමැති පෙමක් කවි සිතකට එන සිතිවිලි කොහිද නිමක් දෑත විදා ඇරයුම තුරුලට එන්න​ දෝත පුරා මුදු රැස් තවරා ගන්න​ ඈත ගගනතේ දිලිසෙන තරු ගොන්න​ පාත නොබල මඳකට සැඟවී ඉන්න​ හැඟුම් සරාගී උතුරන නිමේෂයේ බැලුම් මුවා නොකරනු කලු වළා දියේ කැලුම් බොඳව යයි මදකින් උදා පැයේ පැතුම් සුව විඳින්නට තව වෙලා තියේ Photo Credit; Sergio R. Ortiz
කවිය බලන්න
කඩචෝරු පංගුව

කඩචෝරු පංගුව

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

සරුවට දෙපස පිපිලා ඇති මල් වලට ඉඳහිට හොඳින් හිනැහී සුපුරුදු ලෙසට සොහොනට උරුම ගල්පොත් දකිමින් අවට වටපිට බලා ඇදෙනා මිනිසෙකි පෙරට අරුණැලි පීරගෙන එන හිරු කිරණ වල සෙවණැලි අඳුරු කර ඇත ඔහු ඇතුළ තුළ ඉපනැලි වෙලා ගිය හේනක ගොයම් පැළ කලඑළි බසී සිහියට ඔහු මතක පෙළ සුදුවැලි අතුළ පස් කන්දක් ළඟ නැවත අතැ’ඟිලි වලින් අරලිය කොළ පිස දමත මුං ගුළියකුයි මල් ටිකකුයි බිම තියත කඳුළැලි හැලෙන්නට රිසි සේ ඉඩ හරිත
කවිය බලන්න
දෙ අත

දෙ අත

වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

බිම කෙටූ අත බිජු වපුළ අත පොහොර ලූ අත වල් මැඬූ අත ඵල නෙලූ අත වී කෙටූ අත බත පිසූ අත බත් පතේ නැත. අන් අතක් ඇත පතේ බත මත !
කවිය බලන්න
අපි එකම ජාතියෙ

අපි එකම ජාතියෙ

සෞමි සෙල්වරන්ජන්

මමත් අයියත් කාරෙකට ගොඩ වෙනවා සෙනසුරාද තාත්ත එක්ක කෝවිලට ඉරිදා අම්මා එක්ක පන්සලට සතුටින් එහි මිතුරන් සමග ගත කර ගෙදර ආවත් හිතට දුකක් අම්මා ගේ තාත්තාගේ නන්නාදුනනා වන්දනා ක්‍රම වඳිනා විට බුදුන්ට ගාථා එක්කම මතක් කෙරුවෙමි ඒ දෙන්නව ආයෙත් යාලු කරදෙන ලෙස ගණ දෙවියනි ඔබටද වැඳ මා කීවේ ඔවූන් සමගි කර දෙන ලෙස සාදු සාදු පිහිටයි අපි හැමෝටම කිවුවේ ඒ කාලේ රෑට වඳින වේලාවට අදත් අපි ඉතීපීසෝ ගාථාව සාදු පිහිටායී දඩීබීඩී ගාලා කියනව අම්මට ඉතිං හීනා කිසි දෙයක් තාත්තා දන්නේ නෑ ඒයා මහන්සි වුනා අපෙන් ඈත් වෙලා අපි හැමෝම ලැබෙන විදියට ජීවත් වෙන්න වුනත් ඉගෙන ගත්තත් පේනවා ගොඩක් අත හැරුනු තැන් දෙවිවරු නම් ඉන්න බව දැනෙනව පිරිත් ගාථා වල බලයකුත් තියෙනවා ඒත් ඊට වඩා සමභර මිනිස්සු ඛල සම්පන්න වෙලා
කවිය බලන්න
වස්තුව නැතුව

වස්තුව නැතුව

සුමිත්‍රා ආරියවංශ මහනුවර

වස්තුව ඇයයි බවයෙන් බවයම පැතුව කප් රුක ලෙසම ලැබ දෙන සැම දෙය සිතුව බස් ගැන රොස් වෙමින් අදමිටුවන් ගෙතුව ඇස් දෙක පියා ගත්තේ කිම දුක නැතුව සැම දෙය සපල වේවිද ලෙසටම පැතුව රිය සක අනුව පව පින යට වෙයි මතුව මරු හට සිතේ නැත අනුකම්පා සතුව කැඳවූ දිනයකදී තිබුණා යා යුතුව නිම විය තිබුණු වස්තුව සැම මා සතුව සිටියෙන් තනිව අලසවු ගතියට නතුව කුමටද ලොවක තම අය අසලක නැතුව ගෙවිලා ගියේ නොදැනිම වසන්ත රිතුව දුකමය කියා තිබුණද වැළලිය යුතුව නිතැතින් පැරණි දෑ එයි සිහියට මතුව පාළුයි හද මඩල තවමත් නුඹ නැතුව හමුවමු උපනුපන් ජාතියකදි මතුව. Photo Credit; Jimmy Chang
කවිය බලන්න
සරුංගලේ

සරුංගලේ

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

අයිතිය අතට ගෙන කවුරුත් වරින් වරේ දෙරණින් ඉහළ හිඩැසක රඳවන්න වෙරේ උඩටම යන්න දෙති විඳගෙන සුළං සැරේ පාවෙයි අහසෙ නොදැනිම සිත නිරන් තරේ නූල් පන්දුවත් අන්තිම වෙන්න ලඟයි උඩු සුළඟද තදින් වෙරෙන් මාව අදියි සිදුවෙන්නට යනදේ ගැන හිතට දැනෙයි කාට කියන්නද මම දැන් ඉන්නෙ දුරයි
කවිය බලන්න
පුරපස

පුරපස

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

වෙහෙරට, බෝධියට සුදු සඳරැස් වැටෙනා හිමි පිළිරුව දිළෙයි ඒ එළියෙන් සොබනා පහනක් නොමැත, මළුවේ, දැල්ලක් දිළෙනා සඳ පහනින් ගැයෙයි ලොව්තුරු ගුණ වරුණා විල් දිය එළිය කර පුන් පෝ සඳ එබෙනා කුමුදිනියන් දිළෙයි සඳකැන් සිප රඟනා ඉවුරේ ඔරුකඳට පැන, තනිකම මකනා සඳ රැස් මවන සෙවනැලි ඉවුරේ ඇඳෙනා පොල් අතු සෙවිලි පැලකට සඳ දිය ඉසිනා පැදුරක ගුලිවෙනා පැටවුන් මුව තෙමෙනා ඒ හැර සොඳුරු දසුනක් නැත නෙත ගැටෙනා සඳ දිය නොගලනා තැන් අඳුරින් පෙඟෙනා Photo Credit; Alexis Antonio
කවිය බලන්න
පරණ කවිය.

පරණ කවිය.

තුෂාරි ජයසිංහ මහනුවර

මට තේරෙන්නෙ නැ චන්දිමා කියල ඔය ලියපු කවියට කැමති වුණේම නෑ මම. ඇයි කියන්නට හේතුවක් නැති වුණත් කිසිදාක ඒ දෙබස් ඒ විදියට කිය වුණේ නෑ අපි අතර. අනික... හැන්දෑවක බංකුවක දෙකෙළවර හිටියෙ නෑ අපි කවදාවත්ම, කිටි කිටියට තදවෙලා අත් අල්ලගෙන මිසක. වෙන වෙන අහසවල් යට හිටියත් තරු ගැන්නෙ එකටනෙ නිතර තව දෙයක් කියන්නද, කොයි කවිය ලිව්වත් ඔයා අනූභූතියෙ අයිතිය තිබුණෙම මට කිව්වට පරණ කවියක් කියල ඒක දූවිලි මකුළුදැල් තිබුණෙ නෑ ඒ කවිවල ඉතින් කොහෙ හිටපු චන්දිමා කෙනෙක්ද ඒ.. . කියනවද මට ටිකකට. පොඩිදෙයක් දැනෙනවා මයෙ හිතේ කොනකට ආපහු ඔය හිතේ වැට ඉනි ඇරිලවත්ද කෙනෙකුට නෑ කියනවනම් දැන ගන්න හැකිවෙයිද මෙය මට ගොලුවෙලා හින්දද පන්හිඳ , හිස් ඔයාගෙ කව්පිට. 2025.08.17. Photo Credit; Tiny Tribes
කවිය බලන්න
මං යකඩ දෝලී...

මං යකඩ දෝලී...

උදයංගනී විජේරත්න

සෙනෙහසින් ලීවේම නුඹට කවි පේළී තැවුලකින් ඈතටම ගියෙද යළි නෑලී රැහැනකින් ජීවිතය කැපුණු විට කෑලී මදහසින් පේවේද යකඩ මනමාලී හදවතින් බැඳී නුඹ ගාව රන් දෝලී අහිතකින් කිසිදාක නොකී මං සෝලී කඳුලකින් නොහිතාම කඩා දුන් වේලී සුසුමකින් සනසාන හිඳී දැන් නෑලී කුසුමකින් ඵල නොවන වග දැනුන සෝලී සැනසෙමින් තව ළඳුන ළඟ මදන පාලී දැහැනකින් සමවදින වද සිහින පේළී සෙනෙහසින් මඟ බලන මම යකඩ දෝලී...
කවිය බලන්න
🗙