බෝ සෙවන යට,
පුරපස සඳකි, කුළඟන වෙස්ගෙන මලුවේ
නිල් මානෙලක් ඇය දැක විලියෙන් රතුවේ
සුවඳ දුම් කැරළි ඇගෙ කොපුලෙහි ලතැවේ
ගිතෙල් පහන් සිල, නෙතු කැල්මෙන් බොඳවේ
බෝධිය වටා යන සන්සුන් ගමන මැද
පැන් කළ හතක බර දෑතෙහි දරන සඳ
හෙමිහිට දෙතොල් මුමුණන සෙත් කවක වැද
නිල් කොඩියක් සැලෙයි බෝ අතු අතර හිඳ
බෝපත් සිසිල යට බුදු ගුණ ගයා සෙමින්
දෙවියන් නැමද පින්පෙත් දී මධුර සරින්
සත්පුරුෂයෙක් සහයට ලැබ ගෙවන පෙමින්
දිවියක් යදිනු දැක, නරකෙස් සැලෙයි හොරෙන්
