මොරදේය හුම්මානය...

මොරදේය හුම්මානය...

රන්සිරිමල් ප්‍රනාන්දු

පෙනෙන තෙක් මානයට ඈතින්
සක්වල ගලට එපිටින්
අහස ඇවිදින් පහලට
මුහුදු වතුරට ගෑවෙන
ගිනි දැලින් දැල්වී උදේ හවසට
දේදුන්නෙ පාට කැලතෙන
ඉසව්වේ මෝදුවෙන
නා නා වර්ණ සියුමැලි
සුසිනිඳු කුසුම් සුවඳැති
හිත පුරා දවටාන...

අත හැරුණු වගක් නොදැනම
කල් ඉකුත් සිනාරැල් පරවුනු
සයුරු පතුලත විසිරවුණු
සුසුදු සුදු බෙලිකටු
දණ නවා සීරුවට
ගත නවා ගැඹරට
අත යොමා අහුලාන...

සඟවාන කාටවත් නොපෙනෙන්න
තුරුළු කරගෙන ලමැදට
දුව දුවා ආවත් වෙරළසට...

වෙරළ විසිරී පලසක්ව ඇතිරී
මල් පිපෙන වරම් නැති සඳ
ගල් කුළක බිම්ගෙයක සැඟවී
වෙස්සන්තරය මුමුණයි මුහුදු රළ...

මිහිකතගෙ ගිනිගැනුනු හදවත
දියව වැගිරුනු රුහිරු වියැලී
ජනිත වූ ආග්නේය පාෂාණ
ඇතිරුණු මළුව සලපතල
සිඳ බිඳ කීතු කීතු කර
පිපිරවිය නොහැක්කෙන්
ගිරි බෙයද අතරින්
හිරව තෙරපී
වැර නගා රිංගා
නැගී අහසට
බිඳු බිඳුව විසුරයි
කරිජ්ජ දිය මල් පොකුර
පෙති පෙති කඩා කුඩු කර...

සිර කෙරුණු ගෙලකින්
නොහැකියෙන් ගැයුමට
සොඳුරු ගී පද බැඳ
හූම් ගා... හූම් ගා...
මොරදේය හුම්මානය...!

කවිය බලන්න