සමරමු වෙසක් තබමින් සැම දුකට තිත
නොමැති කෙළවර සසර කතරෙහි ඇවිඳ අපමණ දරාගෙන දුක
පැමිණි ගමනෙදි නොයෙක් කරදර විඳින අසරණ දනන් දැක දැක
අනුන් සමඟම තමාවත් මේ දුකින් ගැලවී ඉන්නෙ කෙලෙසක
සිතා බුදුහිමි දැරූ වෑයම කියාලන්නට බසක් නැත එක
තිලොව වැසියන් මුහුණ දෙන නෙක දුකට සපුරා තබාලා තිත
මෙලොව සුව හා එලොව සුවයද ලබාගන්නට සදාලා සිත
දෙලොව අතරෙහි අතරමංවී සිටින සැමටම බෙදාලා මෙත
පොළොව මත කරුණාවෙ සිසිලස බුදු නෙතින් නිති ගලාලා යත
වසන මිනිසුන් ලොවේ එක එක වෙනස් වෙයි කෙනෙකුගෙන් කෙනෙකුට
කෙනෙක් කරුණා මෙතින් පිරුණත් දරුණු සිත් ඇත තවත් කෙනෙකුට
අයෙක් සැම දිවි රකින්නට තම දිවිය කැපකර වෙහෙස වන විට
තව කෙනෙක් සැම දෙන නසා හෝ බලයි තම දිවියම රකින්නට
ජීවිතේ ජීවත් කරන්නට කෑම බීමයි අවැසි වන්නේ
ලෝ ඇතේ ඕනෑතරම් නෙක අහරපානද මිහිරි පන්නේ
මාවතේ සැරිසරන මිනිසුන් එහෙත් දුකසේ දිවි ගෙවන්නේ
හාමතේ මිය ඇදෙන ගණනද කෝටි ගණනින් ඉහළ යන්නේ
කෑම නොමැතිව මෙසේ මිනිසුන් කෝටි ගණනින් මැරෙන අතරේ
උගුර ළඟටම කකා සමහරු බොහෝ කොටසක් දමයි වතුරේ
උපන් සැමටම තිබේ අයිතිය දිවි ගෙවන්නට සුවය අතරේ
සිතා ඒ බව සැවොම රැකුමට කරමු අදිටන් අදම මිතුරේ
2026 . 04 . 28
