අඳුර

අඳුර

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

වැහුනා ගැබ අඳුරෙ, හිරු නෑ එළිය මැකී
පිපුනා සිසි නුඳුරෙ, සුදුමයි සීත වැකී
දිලුණා කඳෝ තිරෙ, වැනුනයි පවනෙ දැකී
සැලුණා නුවන් පිරෙ, දෙව්පුර සිහිනෙ මැකී

සුවඳයි කොඳ මනා, පිවිතුරු කැල්ම අගේ
ඇට්ටෙරි දැකි වනා, එළියයි නුඳුරෙ මඟේ
සේපලි රුව ගෙනා, දිලිසී බැද්දෙ දඟේ
මේ මල් විසිරෙනා, නිශාව සොඳුරු නඟේ

කොඳුරන නද ඇසේ, පුරයකි පෙම් සුවඳයි
අඳුනන තොස දිසේ, විසයයි ගුම් දඟයයි
බඹරුන රොන් රසේ, කෙළියයි හං කිතියයි
දවටන බස ඇසේ, කුසුමිය ලඟ විසුවයි

නින්දට දුර හැඩයි, සද්දෙට කන් පිරෙනා
ලන්දට ඉඟි මරයි , මින්දද මල් එලනා
මද්දට හරි ඉඩයි, තුන්යම සිල් හැලෙනා
ඇද්දට හිත ලෙහයි, අඳුරට සිත පිරෙනා

නන්දන සිරි එතෙයි, මංඟල සිරි බැන්ඳූ
අන්දන මිණි ඇසෙයි, සින්දන දුක ලන්ඳූ
නින්දක තතු ලෙහෙයි , සංවර මිත බිංඳූ
ඉන්දන රස මෙයැයි , රැයකදි තුට කැන්ඳූ

"රවුළු ඡන්දස " ට අයත්
"නරඟරඟ" විරිතෙනි,,,
මත් 19 යි,
මත් 9 න් යතිය තබා මත් 10 එළිසමය කොට වැනුම නිමවෙයි,,,
ලගු ගුරු බෙදුම් නොමැත,,,

Photo Credit: Elliott Engelmann

කවිය බලන්න