ධීවර ගීතය

ධීවර ගීතය

ලුෂානි දමයන්ති කැකිරාව

ඉර මල අහසේ පර වී යද්දී
තනිකම පාලුව රජ වී එද්දී
මුහුදේ හෝ හඬ සවනට දෙද්දී
බියකරු බව මයි වන මේ සිද්දී

ලය බැදි සෙනෙහස අතු පැලෙ තබලා
අඹු දරු රැකුමට දිවි කැප කරලා
ඔරුවත් සමඟින් මා පොර බඳලා
⁣යළි එමි නැවතත් අළුයෙම ඇදිලා

නෙතු අඟ කළුවර වෙළුනා රෑවී
⁣ඔරු කඳ යයි තව ඈතට පාවී
හිරි ගඬු පිපිලා සුළඟට නෑවී
එවනද තනියට මගෙ සඳ සාවී

ඔරු කඳ හබළින් වාරුව ගන්නේ
සුළඟට තව දුර පැදගෙන යන්නේ
දරුවන් ඇබණිය මට සිහි වන්නේ
මත්සයො සැඟවී කොතැනද ඉන්නේ

හෙට දින පුතුගේ ලොව ජය ගන්නයි
දූගෙත් දිවියම කල එළි වන්නයි
විකසිත වූ මල් සිහිනෙන් පෙන්නයි
අයදිමි දෙවිඳුනි මා රැක දෙන්නයි

කවිය බලන්න