සිහිවටන බැන්දෙමි ඔබ නමින්
හතර රියනත් අයිති නැතිබව
දන්නවා හිත හොඳටම
පස්කඳුත් සේදිලා පොලොවට
එක්වෙලා යයි නිතියෙම
දුන්න සවියට බැතිව හැමවිට
වෙහෙසලා ජීවිතයම
නමමි සිරසා ඔබට ගොඩනැගු
අපගෙ ජීවිත පියසම
පිරුණු ලෙංගතු දහඩියෙන් නිති
පොහොනිවූ මල් කැකුළුම
දිලෙයි ලොවටම සුවඳ පතුරන්
වෙසෙන මුලුගම් පියසෙම
නිහඬ වතකින් දරාඋන් ඔබ
ලයෙහි උනුහුම ඇතිවම
උතුම් ඔබ පියතුමෙකි අපහට
සැදුව සුවසෙත නිබඳම
නිහඬ වදනින් කරන යුතුකම්
ලොවක් සැදුවා වාසනා
දිලෙන තරුකැට දෙස බලන් ඔබ
අනේ තනිවම සැනැහුනා
ආදරය මහ මෙරක්වාගේ
හිතක ඇතුලෙම ඇවිලුනා
නාමයට ඔබෙ අදත් හදවත්
තුළින් බැතියම වෑහෙනා
ඔබේ සොහොනෙම මම නිදයිදෝ
නොදන්නෙමි මේ විලසම
ඔබෙන්ලද සෙනෙහසට නයගැති
වෙමිය අප හැම බවයෙම
පුදන්නට මල්කැකුළු දෝතක්
අරන් එමි හැකි දිනයෙම
ඔබෙනමින් සිහිවටන බැන්දා
ඔබ නිදන්කළ සොහොනෙම,,,,,,,,
