ඉතින් අපි කතා කරමුද...
නාද බෝපත් සිලිසිලිය මැද
ලා පාට කහ පහන් දැල්ලක්
ඈත නොනිමෙන වංගුවේ අග
ඉතින් අපි කතා කරමුද .........
කහපාට මල් කිණිති ඉකිලන
කොළපාට වැට දිගේ යන එන
සොයුරු කැල මැද පාර අද්දර
ඉතින් අපි කතා කරමුද ..............
යදම් බිඳගෙන නැගී පෙරමග
සිහින් ස්වරයෙන් කවිය මුමුණන
කවුරුවත් නැති වලේ කෙළවර
ඉතින් අපි කතා කරමුද .........
ලා දම් මල් පෙති එකින් එක
කාලයේ සුලගින්ම හැඩවෙන
අලු පාට ගල් බංකුවක් මත
ඉතින් අපි කතා කරමුද .........
රහස් හාදුව කනට කොඳුරන
කඳුලු බිඳු මත හීන තවරන
බිත්ති කැටපත් පවුර අබියස
ඉතින් අපි කතා කරමුද .........
ඔබේ සුන්දර සිනා එක්කම
හිතේ ගින්දර නිවුණු මොහොතක
ඉතින් කොහොමද වත් අහන්නට
ඉහලගම පන්සලේ හෙවනක
