වියපත් (නොවූ) ප්‍රේමය

වියපත් (නොවූ) ප්‍රේමය

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

ගතක් වයසට ගියත් හිමිහිට හිතක් ප්‍රේමය හොයනවා
හුඟක් දැනෙනා තැනක් දුටුවම ටිකක් නැවතී බලනවා
කවක් මිහිරැති ගලප ගලපා ජීවිතය එහි ලියනවා
ඉඩක් ලැබුනොත් රොනක් සොයලා බඹර තුඩු දිග අරිනවා

පැයක් දොඩමලු වුණත් කාලය අසුරු සැණකැයි හිතෙනවා
තුටක් වාගෙම දුකත් ගලපා දවස් පැය ඔහෙ බෙදනවා
හෙටක් නැතිමුත් දුරක් යන්නට හේතු දහසක් මවනවා
රැයක් නිදි නැති වුනත් ඉඳහිට කමක් නෑ ඇස කියනවා

වැඩක් නෑ මේ කිසිත් පෝයට බණක් ඇහුවම දැනෙනවා
පෙළක් සේ රූ මතක එබි එබි හදේ කොණකට අනිනවා
පණක් ලද සේ දවස ගෙවනට තල්ලුවක් ඉන් ලැබෙනවා
කුමක් කීවද දිවිය සොඳුරුයි ඉතුරු ටික ඔහෙ ගෙවනවා

කවිය බලන්න