වසන්තය ළංවෙලා

වසන්තය ළංවෙලා

ජයන්ති සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

දකින විට අදුරු වී නෙක පැහැති කොල වරා
සැණින මතකෙට නැගිණ සිටිය හැටි මල් දරා
සුවද පැතිරූ දසත වසත් කල හැඩ වෙළා
සොදුරු මතකය පිබිද මසිත මන්මත් කළා

පිපුණු මල් පල දරා බර වෙද්දි අතු පුරා
වැඩුණු පැළ සරු පසේ නිල් අහස් කුස අරා
රුවිනි තව හැඩ වෙද්දී නෙක පැහැති පත් දරා
දුටිමි ඒ සතුට නුඹ ලැබූ බව සිත් පුරා

හැමූවද සැඩ සුළං දරාගෙන වැහිවළා
ඉඩෝරය පැමිණියද පොළොව සැම ඉරිතලා
මියෙන්නට නොදී නුඹ රැක ගත්තු සැටි බලා
මතකයට නැගෙද්දී නෙත් කෙවෙනි තෙත් වෙළා

සොබාදහමින් උරුම දුක සැපද කලතලා
රැගෙන යන්නට වරම් අපට ඇත හිමිවෙලා
ගිම්හාන කාලයේ වින්ද දුක් නිම වෙලා
දැනේ සතුටක් යළිත් වසන්තය ළංවෙලා

කවිය බලන්න