2026 මැයි කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2026 මැයි කලාපය

පෝය දෙකකි වෙසක් මහේ බුදුගුණ සිල් වැගිරේ බලු නට්ටෙක් වැඳුම් ලබයි මහ මග යන අතරේ පාර සොයා ගනු නොහැකිව මුලාවෙලා සසරේ ධර්ම දීපයේ ඇත්තේ මොන දහමද මිතුරේ

අනුර
Photograph: Shehan Gunasekara

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන
දේශබන්දු සිරිසුමන ගොඩගේ මැතිදුන්ට නිවන් සුව පතමු!!

දේශබන්දු සිරිසුමන ගොඩගේ මැතිදුන්ට නිවන් සුව පතමු!!

කෝ ආනන්ද පැරීසිය

පළවා දමා නොදැනීමේ ගණ අඳුර දුලවා නැණ පහන් වැට දුන් පල මධුර පිරුවා පාරමී පොත් අරණේ විදුර බෙදුවා අගසස් ගොඩගේ පොත් මැදුර
කවිය බලන්න
මැතිඳුනි සිරිසුමන!

මැතිඳුනි සිරිසුමන!

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

දුල පුන් සඳකි සාහිත අඹරට නැගුණ හෙළ පන්හිඳට පත් ඉරුවක් විය නිතින ලෙළ දුන් සිළුව වී දැල්වුණු නැණ පහන කළ පින් සපිරි ගරු මැතිඳුනි සිරිසුමන සුදුවත පමණි නැත කිසි දිවසළු පැළඳ මුනිවත රැකී නොදොඩා වදනක් බොළඳ පත පොත වෙතම සිත බැඳි දන වෙත නිබඳ අතහිත දෙවුනි දෙනමෙන් සකුණට විළඳ ඇතිදා දෙරණ මත සාහිත ඉඩෝරය ගියදා සිඳී දනහද රස හව් නදිය වෙරදා වැලිමතින් ඔරු කඳ රැගෙනගිය ගිජිඳා ඔබයි නිති පෙරමග ඇවිද ගිය දෙනුවන් වැසුණු මුත් කරුණා ගුණ පැතිරූ සුපසන් නම තියේ හෙළබස තිබෙන තුරූ සසරින් මිදී මතු මොක්සුව විඳින තුරූ භවයෙන් භවේ හමුවෙමු මැතිඳුනි සොඳුරූ
කවිය බලන්න
උතුම් වෙසක්

උතුම් වෙසක්

අමිතා පද්මකුමාරි

දැවෙන සතහට සිසිලසක් වී තැවෙන දනහට සැනසුමක් වී මහා කරුණා මෙත් දියෙන් ලොව නිවාලූ බුදු පියාණෙනි මෝහ තණ්හා බැමි ද බිඳලා ක්‍රෝධ සිත් මෙත් ගුණෙන් සනසා දෙසා මුවඟින් අමා දම් පද ලොවක් සැනසූ බුදුපියාණෙනි නමදිමි හද පිරුණු බැතියෙන් උතුම් වෙසඟේ සැදැහැතින්
කවිය බලන්න
සමරමු අපිත් සම්බුදු තෙමඟුල..........

සමරමු අපිත් සම්බුදු තෙමඟුල..........

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සුරලොව සුරසැප අතහැර මිහිබට දඹදිව සුදොවුන් රජුහට පුතනුව බිසවුන් මායා දේවිගෙ කුසතුල පිළිසිඳ ගැනුනේ පින්සරු කුමරුන් දසමස ගෙවලා සියපුතු ලැබුමට මව්පියො දැකුමට දෙවිදහ යනමග පෙරහැර සරුකල පිරිසද සමගම දේවිය සපැමුණි ලුම්බිණි උයනට සල්ගස අත්තක් පහතට නැමුවා සල්මල් නෙළුමට දේවිට සිතුනා නෙලමින් සිටියදි බිසවුන් සල්මල් සලිතව මිහිකත පිළිගති කුමරුන් වලඳා කිරිපිඩු සුජාතා දේවිගේ තලියත් පාකර ගඟදිය ඉහලට පරදා දසබල මරුවන් ගඟබඩ ලැබුවා බුදුබව සඳනැගි යාමෙට බෙදමින් දම්රස තුන්ලොව සැනසූ පන්සාලිස් වසඅවසන එළඹුණු වෙසක් පොහෝදින පුන්සඳ පෑයු පිරිනිවුනා අපේ සම්බුදු සමිඳු
කවිය බලන්න

" පිං" වචනේ හැඩ

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

පාට පහක් එකතුකරලා හැදුව කොඩිය යට පිං කරන්න පොරකන හැටි මකර තොරණ යට සරු පිළිවෙත් නිසි අයුරින් හිතට ගන්න කොට බොරු සෝබන වැඩ මොටදැයි දැනෙනවා කදිමට අත හරින්න බැමි බිදින්න කියන වෙහෙර යට පුදනකොටම පොදි බැදගත් ගොඩවල් යමරෙට කිසිදා වැඩ ඉවර නොකල ලොකු පන්සල යට බෝඩ් ලෑලි, නම් පුරවති පිං යන වදනට නිස්කලංක සිතක් එක්ක සැනසුනු දවසට හුගක් ඇත්තො කියාවි මට , පිස්සුනෙ ඕකට සැහැල්ලු බව පුරවාගෙන හිත ඉපිලෙන විට භව ගමනට විරාමයකි තරගය නැතිකොට
කවිය බලන්න
පුවත : සාම පාගමන නිමකර හිමිවරුන් දිවයිනෙන් පිටත්ව යති.

පුවත : සාම පාගමන නිමකර හිමිවරුන් දිවයිනෙන් පිටත්ව යති.

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

පියෙන් පිය තබමින් ගිණියම්ව රත් වූ තාර මත අව් වැසි සුළං යට ඇරඹුමෙම පැහැදිලිව දේශනා කර සිය අරමුණ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා, නිම කළා සිය වීර්ය පාරමිතාව සම්බුදුන් තෙවරක් වැඩි මේ උතුම් පොලව මත මෙත් හදින් සාමයේ නාමයෙන්... එක්කලා ආලෝකයක් ආලෝකා ද සැම සත ට මෙත් පිරිය යුතුය යන්න අරුත්ගන්වමින් සාමයේ පණිවිඩය ඉතිරිකර ගියා මතකයක් නොව පිළිවෙතක් සෑම නිමේෂයකදීම නුවණැසින් දැක ක්‍රියාවෙන් පුරන්නට කේවලව පුද්ගල සිත් පුරා මෙත් හැඟුම් උපදවමින් සාමය... සැම සිතම මෙත් මගෙහි සාමයෙන් සරද්දී ඒ සිත් ද දරන්නාවූ කුටුම්භයන්ද ගම් නියංගම් ද දේශදේශාන්තර ද සාමයේ සිසිලසින් නිවී පහන්වනු නියතය එයයි ගරු හිමි ප්‍රමුඛ මහා සඟරුවන පාද චාරිකාවේ පෑ උතුම් සම්බුදු දහම... පිළිවෙතින් පෙළසදමු හදින් කය වචනයෙන් තමාගෙන් අරඹමින් පෙළින්පෙළ විහිදුවා නිහඩබව සාමය... අරුත මත පිහිටමින් පුරමු පිහිටමු රකිමු අපි හද බැතින් " මම නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! වෛර නැත්තෙක් වෙත්වා ! සුවසේ වෙසෙත් වා ! මා මෙන්ම අන් සියලු සත්වයෝද නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! වෛර නැත්තෝ වෙත්වා ! සුවසේ වෙසෙත් වා ! ඉතිං ගරු හිමියනි, අවසරයි ඔබ ඇතුලු පිළිවෙතින් පෙළසැදුනු ගරුතර මහා සඟරුවනෙහි පැලී ඉඳිමී රිදුම් දෙන පා නැමඳ පතන්නට " බොහෝ ජන හිතසුව සදා දියෙහි සාමය පිණිස බෝ දුරක් වඩින්නට සුඛී දීඝායුකෝ භව ද සසර අවසන ඔබ වහන්සේළා පැතූ ඒ සඳාකාලික සාමය උතුම් නිර්වාණය "
කවිය බලන්න
පුදසුන මත දිළිසෙන කුසුමක්.........

පුදසුන මත දිළිසෙන කුසුමක්.........

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

ලෝ දම අනුවට සෙව්වට මත් බිඟු අතු අග සුවඳට පිපි කුසුමක් කැකුළක් සෙව්වෙම අරුණ උදයට පතිත ලා හිරු කිරණ පොදක් ඈතින් හිඳ දිලිසෙන විට දිවයුරු දුන්නට අරුණේදී සිසිල බිඳක් හේමලයා හා පෑහුණ යාමෙට හිත පුච්චන සැර ගිනි දල්ලක් ගිනි කන වැටිලා දැවෙනා යාමෙට මුවා වෙලා හිටියෝතින් පොඩ්ඩක් අව් රැස් මිලිනව සඳ නැඟ එන විට පුදසුන මත දිළිසෙන කුසුමක් ඉ 16/04/26
කවිය බලන්න
බුදු සමිඳේ ..

බුදු සමිඳේ ..

ඉෂංකා මිහිරි කුමාරතුංග

දම් සුවඳ හමා ලෝතුරු ගුණය බෙදා අම රසින් සිහිල සදා අපට ලොවක් තැනූ... බුදු සමිඳේ.... නිවන් පුරය තනා යනෙන මග මලින් සදා පස් පවින් ලොවම මුදා දෙව් විවන් තැනූ බුදු සමිඳේ ... යලිදු දෑස් යොමා අපා දෙපා සිව්පා සනසා බුදු වදනක් දෙසනු මැනේ වල් වැදෙනා දනන් සොයා අතිර ලෝ පුරා.... බුදු සමිඳේ ..
කවිය බලන්න
වෙසක් මග

වෙසක් මග

ගමගේ ලයනල්

සසර පොකුණක පිපුණු සියපත කුසුම සුවඳයි අද දිනේ කෙලෙස් සුළඟට සැලුණු සිතිවිලි නිවුණු දවසයි අද දිනේ ලොවේ බුදු වී පිරිනිවන් පා දුකට සසරට එක් නොවේ වෙසක් මගුලට සිතින් සමවැද නිවන් මග යං සකි සඳේ
කවිය බලන්න
අමරස...!

අමරස...!

ලලනී ගීකියනගේ රත්නපුර

සඳ කොමලියට ඟං දිය අත වනන හැටී.. ! විඳ විඳ මිහිරි මතකය සිහිකරනු දිටී..! සිඳ දුක් ගැහැට රැහැනින් ගං දියට වැටී...! හද රැඳි රිදුම් සුසුමක දිය කරනු වටී...! කැලේ දල ඇත්තු දළ බිඳගත් සේමා..! වැලේ ගෙඩි වැලට බර නැතුවා බෝමා..! උලේ ඇනිඇනී නලියන සිත පේමා...! හිතේ රිදුම් හිතයට සඟවනු කෝමා..? කසාවත ගෙනෙන සුවදායක වතක..! මුසාවක වෙලී ජීවිත ඔරු කඳක...! පතා එතෙරවන සසරේ දුක් ගොඩක ...! අසා ඇති ලෙසම දුක් දොම්නස් හිතක...! ජීවන කතර තරණය කලයුතුවන්නේ.. ! සම්බුදු වදනමයි නිති පිහිටට එන්නේ ..! වෙරවීරිය වඩා සසරින් ගොඩවන්නේ...! මුණි දෙසු දහමේය අමරස ඉහිරෙන්නේ..! නැග එන පුන් සඳේ අසිරිය විඳිනු රිසින්..! බෝපත් ලෙලෙයි සිලි සිලියේ මිහිරි නදින්....! සිතතුල වැතිර සුව මදනල එතෙයි නිතින්... ! බුදු හිමි පා කමල සිඹිනෙමි ඉතා බැතින්.. !
කවිය බලන්න
නික්ලේශී ගමන

නික්ලේශී ගමන

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

නික්ලේශී ගමන ​සම්බුදු හිමි අත්හළේ එලෙසද? රාජ්‍ය සීමා මාලිගා දොරටු අගුළු ලා කිසිවකට උරුම නොපවසා වෙන්වෙමින් ​කැටයම් දොරටු සිහිලැල් උයන් තැන්න අතහැර නොකී සේ පැසසුම් ගී රළු පරළු දුෂ්කර මාවත් එක ලෙස මැඩ අනන්ත මෙත් සිතින් ම සනසා මරු, නිවනට ම මං පාදමින් ​සසර කතරේ අතරමං වූවන් එතෙර කර පසක් කර අජරාමර ශාන්තිය සම්බුදු හිමි අත්හළේ එලෙසද?
කවිය බලන්න
නියතවූ එ'දහම

නියතවූ එ'දහම

නයනශාන්ති දිසානායක

වෙණු සේ වළාහක අරා හිඳ නබෝගැබ දිලි රජත තේජස ගිගුම් දී අණසකින සුර අසුරන් සතුරු කැළඹි'යුරු කිරි සයුරු මේඝ ද වී වියරු නැඟි උදම් බිඳ පවුරු සෝදා ගිරි මුදුනු රූරා සිහින ගැලුනු පාරා හද නැඟුනු තෝරා කෙළස කියනු සිඳි බිඳි සේසත ම විලස අට ලෝ දහම යලි නැඟි සේ පියුම කිම හිඳ වැතිර තැවුම ගසකින් මල් දැරුම සේ ම තුරු පත් හැලුම නියතවූ එ'දහම ලෙසින් වේ දිවි ගෙවුම ('උමතු' ගී විරිත)
කවිය බලන්න
වෙසක් අසිරිය

වෙසක් අසිරිය

ප්‍රියංගිකා බටගොඩ

සොයමින් සිත නිවෙනා මග බවයෙහි බොහො රැඳුනා පුරමින් දස පෙරුමන් හිමි නෙක නෙක රුව ගැනුනා විඳිමින් සුව හැඟුමන් හැම මව් කුස තුළ ගිලුනා සුවඳින් පිරි උයනක යළි නොපිපෙන මල පිපුනා බිඳිමින් පෙම අතැරී ඇය නොකියම රැයෙ නිදනා ළසොවින් නෙත නොබලම පුත අසුගෙන දුර ඇදුනා නුවණින් දැක කෙළෙසේ රුදු එගොඩට පය තැබුනා දිනමින් මරු දිනවා සත බුදුරැස් ලොව විදුනා මුදමින් දන නිවනේ රස මුව මුව පිරි බසෙනා සැපමෙන් ගිජු ලෙසිනා රස දුකමය එහි මැවෙනා ගනිමින් පන්සාළිස් වසරක මෙහෙවර යෙදුනා නිවුනෙන් දුල පහනේ සිල තෙමගුල සිහි කෙරෙනා
කවිය බලන්න
සමරමු වෙසක් තබමින් සැම දුකට තිත

සමරමු වෙසක් තබමින් සැම දුකට තිත

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

නොමැති කෙළවර සසර කතරෙහි ඇවිඳ අපමණ දරාගෙන දුක පැමිණි ගමනෙදි නොයෙක් කරදර විඳින අසරණ දනන් දැක දැක අනුන් සමඟම තමාවත් මේ දුකින් ගැලවී ඉන්නෙ කෙලෙසක සිතා බුදුහිමි දැරූ වෑයම කියාලන්නට බසක් නැත එක තිලොව වැසියන් මුහුණ දෙන නෙක දුකට සපුරා තබාලා තිත මෙලොව සුව හා එලොව සුවයද ලබාගන්නට සදාලා සිත දෙලොව අතරෙහි අතරමංවී සිටින සැමටම බෙදාලා මෙත පොළොව මත කරුණාවෙ සිසිලස බුදු නෙතින් නිති ගලාලා යත වසන මිනිසුන් ලොවේ එක එක වෙනස් වෙයි කෙනෙකුගෙන් කෙනෙකුට කෙනෙක් කරුණා මෙතින් පිරුණත් දරුණු සිත් ඇත තවත් කෙනෙකුට අයෙක් සැම දිවි රකින්නට තම දිවිය කැපකර වෙහෙස වන විට තව කෙනෙක් සැම දෙන නසා හෝ බලයි තම දිවියම රකින්නට ජීවිතේ ජීවත් කරන්නට කෑම බීමයි අවැසි වන්නේ ලෝ ඇතේ ඕනෑතරම් නෙක අහරපානද මිහිරි පන්නේ මාවතේ සැරිසරන මිනිසුන් එහෙත් දුකසේ දිවි ගෙවන්නේ හාමතේ මිය ඇදෙන ගණනද කෝටි ගණනින් ඉහළ යන්නේ කෑම නොමැතිව මෙසේ මිනිසුන් කෝටි ගණනින් මැරෙන අතරේ උගුර ළඟටම කකා සමහරු බොහෝ කොටසක් දමයි වතුරේ උපන් සැමටම තිබේ අයිතිය දිවි ගෙවන්නට සුවය අතරේ සිතා ඒ බව සැවොම රැකුමට කරමු අදිටන් අදම මිතුරේ 2026 . 04 . 28
කවිය බලන්න
වෙසක් සුව

වෙසක් සුව

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

සිල් සුවඳ නැහැවිලා - ගස් මතින් බේරිලා තාරපති හිනැහෙමින් බුදු ගුණය බෙදනවා මල් මතින් ඇහැරිලා - පැටවුනට කොඳුරලා සමනල්ලු පියඹමින් දම් ගුණය නෙලනවා පිච්ච පෙති ඉපදිලා - පුදසුනට සැරසිලා සුදු සළුව පොරවමින් සඟ ගුණය සදනවා සියලු දේ අතැරදා - ඇසතු බෝරුක බලා සිදුහතුන් ගිය බැවින් පෘථිවියම දිලෙනවා
කවිය බලන්න
වෙසඟේ අසිරිය

වෙසඟේ අසිරිය

ගරු සනත් කුමාර ප්‍රනාන්දු පියතුමා (දි. ගැ. නි. ) මහනුවර

මඳ නල තුරුලිය නළවනා පුන්සඳ අහසේ හිනැහෙනා වෙසක් සුළඟේ දිදුලනා ඉද්ද වතු සුදු බැතියෙනා සලා වන පෙත තඹර කුසුමන් මතින් ගෙන ආ අසිරියයි නදී දිය මත රටා අඳිනා සඳේ එළියත් මනහරයි සිළෙන් සිළ ගෙන පහන් දල්වා ලොවම බබළන කාලයයි ළමා සාරියෙන් සැරසී බැති ගීත ගයනා රාවයයි නෙක විසිතුරු වෙසක් පහනින් වීදි සරසන අසිරියයි සිල් සුවඳ මැද නිවන් දුර කෙටි කර ගන්න සමහරු වෙර දරයි අමා බුදු හිමි දෙසු දහමින් ලොව එකලු කරනා අරුමයයි මිදී දන්සල් පෝලිමෙන් බුදු සමිඳු වැඳිය යුතු කාලයයි සාන්ත මරියා සිද්ධස්ථානය මහනුවර
කවිය බලන්න
බෝ සෙවන යට,

බෝ සෙවන යට,

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

පුරපස සඳකි, කුළඟන වෙස්ගෙන මලුවේ නිල් මානෙලක් ඇය දැක විලියෙන් රතුවේ සුවඳ දුම් කැරළි ඇගෙ කොපුලෙහි ලතැවේ ගිතෙල් පහන් සිල, නෙතු කැල්මෙන් බොඳවේ බෝධිය වටා යන සන්සුන් ගමන මැද පැන් කළ හතක බර දෑතෙහි දරන සඳ හෙමිහිට දෙතොල් මුමුණන සෙත් කවක වැද නිල් කොඩියක් සැලෙයි බෝ අතු අතර හිඳ බෝපත් සිසිල යට බුදු ගුණ ගයා සෙමින් දෙවියන් නැමද පින්පෙත් දී මධුර සරින් සත්පුරුෂයෙක් සහයට ලැබ ගෙවන පෙමින් දිවියක් යදිනු දැක, නරකෙස් සැලෙයි හොරෙන්
කවිය බලන්න
සඳක සිසිළ

සඳක සිසිළ

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

සඳ සෙමෙන් සෙමෙන් ඈතට යද්දී හද දුකෙන් පිරී හාමත් වෙද්දී මද සිනා පෑව කොමළඟ වෙත පියාඹා ගියේ අමාවකේ සදා කලක් මා තනි වූයේ ගඟ ගලා බසින සැඩ පහරට මනෙත් යොමුවුයේ සැඩ පහරේ පොඩිවී යන මල් පාවූයේ ගඟ ගලා ගලා මහ සයුරට යනව දිස්වුයේ සඳ අඳුරු අහසෙ ඈත ඈත මගෙන් සැඟවුයේ ඉවසනු බෑ මහද රිදේ අඳුරු කාමරේ සයනය මත මා නිදි නැත කඳුලු ගලායේ කඳුලු ගඟක මා තනිකර සඳ නොපෙනි ගියේ Photo Credit:NASA
කවිය බලන්න
හිනා පිරුණු ඔබ දකින්න ගතම කලබලයි

හිනා පිරුණු ඔබ දකින්න ගතම කලබලයි

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

මන්දාරම් නුවරට වැහි වහින්නට ළඟයි හීන පිරුණු ආකාසය හරිම කළුවරයි පැයූ ඉදු දුනු සැව්වේ පැහැය දුක්බරයි අද නම් ඔබ හමුවන්නේ නැතිම නැති හැඩයි දුම්බර කදු යාය මත්තෙ කෝච්චිය හැඩයි අපේ හිතත් යාකෙරුවේ මැණිකෙලා තමයි හීත සුළං පොද දැනුනම තුරුළ උණුහුමයි තාමත් හිත රිදුම් දෙන්නෙ ඒ හාද්දමයි මීදුම් තිර කඩා වැසෙන කදුත් දුක්බරයි නිම්න සානු මිටියාවත් හරි හැගුම්බරයි පැතුම් පොකුරු පිරෙන හිදෙන මසිත චංචලයි හිනා පිරුණු ඔබ දකින්න ගතම කලබලයි
කවිය බලන්න
නුඹ අහස

නුඹ අහස

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

තරු කඩා වැටෙද්දී පැතුම් මල් අතුර ගොරවලා ඔරවලා කළු කරණ අතර සැරසිලා හිනැහිලා හැඩ මවන නිතර නුබ වගේ වෙනස් වන කෙනෙක් නෑ මිතුර දිවා රෑ ඉර හඳින් ආලෝකෙ බෙදුව දවසකට අමාවක කිසිත් නෑ පැතුව මගේ හදවත දැනී වැස්ස සේ ඇඬුව නුඹත් නුබ වගේමයි දේදුන්න එතුව AnA 2026 Photo Credit:Zoltan Tasi
කවිය බලන්න
වෙසඟ සිරි ආසිරි!

වෙසඟ සිරි ආසිරි!

බන්දුල කුරුවිටආරච්චි

ගුණයුත් උතුම් නරදම් සැරි තුමානෝ. බඹ, සුර, නරන් හට විය මහ රජානෝ. සඳහම් සිප් හලේ පාමොක් දිසානෝ. තෙකලා දුකට ඔසු දුන් වෙදැදුරාණෝ. හිමි දෙසු දහම් තුන් ලොවටම බරසාර. අම මහ නිවන් මොක් පුරයට දිසි පාර. සිඳ බිඳ දැමී පරදා රුපුසෙන් මාර. නිවනින් නිවෙන මග දුටු උතුමෙනි වීර. තිසරණ බෙලෙන තුන් කල් දුක් නිවේවා! සතහට සෙත දැනෙන සිතුවිලි මැවේවා! ගුණදම් සුවඳ මල් සිත් තුල පිපේවා! වෙසඟේ අසිරි සිරියෙන් පින් පිරේවා!
කවිය බලන්න

"හඳුනා ගත්තොත් ඔබ මා..................."

ග්‍රන්ථ කතුවර චම්මින්ද වෙලගෙදර

සරා සඳ අවරදිග අවරදිග සරා සඳ බැස නොයා නැගෙත ඔබෙ හද වී මගේ සඳ බලා ඉමි නිබඳ බලා පෑ නෙත කැල්ම වෙලා මගෙ හද සෙනේ දුරාතීතෙක මතක පද සෙමින් ගයන හද පත්ල චන්ද කින්නර ජාතකේ ධවල ගිරි සේනාසනේ වංක ගිරි හද අරණේ ඔවුන් හැර පියා ගොසිනැ සිංහබා ගිය මාවතේ අපිම වෙමු අද ඒලෙනේ ජීවිතේ අපෙ නොවේ අපට ජිවීතයක් නොවේ හිමි තැන්ම සොය සොයා ඔලොගුවම කර පියා හෙට උදේම යා යුතුව තියේ ඔබේ රුව ඔබ වෙතම මගේ රුව මා ළඟම රූ දෙකම එක් වූ සැණින ඔබම මා විය මාද ඔබ වී ඒත් දෙදෙනෙකු වෙලා..... ඔබට මා හමුවෙලා මටද ඔබ හමුවෙලා. හඳුනා ගනිමු අප අපේම වී ඉඳින් 17-04-2026.
කවිය බලන්න
කන්නට වෙන්නෙ හොදි නැති අල පලු යන්න....

කන්නට වෙන්නෙ හොදි නැති අල පලු යන්න....

චන්දන හෙට්ටිආරච්චි නිට්ටඹුව

දුන්නට දරණු බැරි බර ඇති බොරු ගොන්න දුන්නට පැනලා ගත්තද සඳ. ඇති වෙන්න පැන්නට හතර අත ගව රැළ දැවටන්න කන්නට වෙන්නෙ හොදි නැති අල පලු යන්න සිහිනෙක දැවටිලා සුන්දර කමක ඇලී මන්දිර බිහිවෙලා ගින්දර ටිකට දිලී දෙනකොට ගන්න එක වරදක මොමැත විලී ඇට නැති දිවට මොන අපහසු කමද මිලී සුපසන් සමාජයකට මුල පුරමි කියා පසසන් බොහෝ දන උන් පසු පසම ගියා එළුවගෙ බිජ්ජ දැන් දැන් බිම වැටෙති නියා රැවටෙන තරම අකුරින් පද කෙලද මෙයා Photo Credit: LOGAN WEAVER | @LGNWVR
කවිය බලන්න
Marriage

Marriage

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

Marriage (Law,Biology, Sociology Psychology and Medicine) Marriage is the legal term for bringing man and woman to live under one roof without others pointing fingers. Objective of the law is to bring out the next generation and to raise that in secure environment with adequate knowledge to run the machine for its continuity Creating an environment for equal opportunity to experience sex is an underlying factor too because we are no animals. No fights for sexual bliss. Great Objective of the nature is continuity of the species. Nature does not care whether it is marriage or no marriage. Objectives of the man are free sex (ofcourse there are hidden payments with cumulative interest) and a tidy life without running wild which is his inheritence from the jungle days OBJECTIVES of the woman are Love and cuddling food for sweet dreams protection comfort etc (No harm you can tell loads of lies. Lying is a taboo as per the five precepts. Repercussions are bad too.. Ofcourse for your lies retribution is in store with interest in this life itself) and sex as per the personal taste artistic, ferocious or any enjoyable version and a baby to experience motherly satisfaction which is nature's gift and to show the world that she is not barren that is to silence the other women, an essential social requirement and a free slave who will toil to keep the doll happy inspite of daily doses of scolding,accusations humiliation still wag the tail non-stop like the pet dog for a piece of flesh at night. My friends ( Male) you can see you have to deal with a very complicated animal you have to find your own medicine Medicine prescribed by the other doctors may not be the best for your chemistry 20-0226
කවිය බලන්න
සාදු සාදු සාදු

සාදු සාදු සාදු

චන්දන ෆොන්සේකා ලන්ඩනය

සාදු සාදු ඔන්න එනව - ආලෝකා! සාදු දොහොත් මුදුන් දී වඳිනව - අනේ මෙහෙම සර්දාවක් සාදු සාම ගමන ඔහේ යනව - බල්ලට නෙත් සිත් යනවා සාදු අඳ භක්තිය රජ වෙනවා - ධර්මය යටතට යනවා සාදු බුදුන් අපට දෙසු ධර්මය - මහ පොළොවේ වැලලී ඇත දළුලා පැළවී ඇත්තේ - වැඩකට නැති දේවල්මය බුදු බණ දෙසනා හිමිවරු - හිතුමතේට නන් දොඩවන අනේ අපේ සැදැහැවතුන් - සාදු සාදු සාදු කෙසෙල් කොලේ බතක් බැඳන් - කන්න වෙන්නෙ නෑ පයට එලපු කෙසෙල් කොලෙත් - ගන්න දෙයක් නෑ ගහපු බෙරයෙකුත් නැතුවා - බෙරේ පලුවකුත් නැතුවා සාදු සාදු බුදු - පෙරහැර සාදු ආලෝකා යන්න ගියා පින් රැස් කරගෙන බුදු පිළිමය බිම වැටුණු නොසිතූ මොහොතක ඇතුන් ලවා අද්දන්නට බැරි ගිය නුවණට සිහිනුවණින් සිතන්න කල එළඹීලා ඇත
කවිය බලන්න
විනාසයට මුල...!

විනාසයට මුල...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

පව්ලක ලේලිය හැටියට අලුත ගේන මණමාලිට... අව්ලක පෙර නිමිති එන්නෙ නැන්දගෙන්ලු ගජරාමෙට... හව්ලක කැඳ හදන කලට බැරි වෙනවලු නෙව පානෙට... දවුලක හඬ ඇසේ කියයි අසල් වැසියො අම්බානෙට... ඉහත රූපෙ ගෙන බැලුවම ඉන් පැවසෙනවානෙ යමක්... ගහක එල්ලිලා ඉන්නේ එවන් ලේලි කියන ලඳක්... නහන අදහසින් නැන්දා කතුරක් ගෙන කරන වැඩක්... සහනය ගෙන එයිද එයින් මුලු පව්ලම මියෙන හැඩක්... පතා සාමෙ, සමාදානෙ, කැප කෙරුමක් දෙපැත්තෙන්ම... ඉතා ඇවසි වෙනව , නැතොත් තැලෙන්නෙ සැමි-පුතනුවන්ම... සතා සීප ලෙසින් හැසිර නැන්ද ලේලි කොටාගැන්ම. කතා දෙකක් නැත අනුමත නොකරමි මම හදවතින්ම.
කවිය බලන්න
සඳවතී....

සඳවතී....

දීපාල් කොග්ගලහේවා

නුඹ ඇවිත් අහසේ නොමැතිවම ආරාධනා එනවා ඒවගෙම නොකියා නොපෙනීම යනවා එනවා යනවා රැඳීමක් හෙම නෑ තරු ඇතත් පායා නුඹ කැපී පෙනුනා ඇවිත් යන්නත් ගිහින් එන්නත් එරෙහි වීමක් නෑ කවදත් අහස දන්නෙත් නෑ හුරු වෙලා පොලොවත් ලෙන්ගතුයි කවදත් ප්‍රේමයක් නොවුනත් සොඳුරු ලෙන්ගතුවක් සඳ යෙදෙන ගමනේ නිවී සැනහෙයි පොලෝ තල ගිමනේ මං දී
කවිය බලන්න
සතපා එන්න සතපා …..

සතපා එන්න සතපා …..

දීපා ද සිල්වා ලන්ඩනය

කලකින් මුණ ගැසුන පෙම්වත් හමු වීම නීල සලුපටේ රැස් කද බැබලීම චාමර සලන මුදු මද නල දැගලීම සංකා සෝ නිවේ රජිදුගෙ පැමිණීම නාගනු රිසින් දිගු කර තම අතු පතර සැරසෙයි වැලද ගන්නට සිය හිත මිතුර යලි ආ වසන්තය තැවරුව හද මිහිර මී පැණි කන්දකින් ගලනා දිය දහර තැන තැන දුවන වෙස් ගත් සුදු වළාවන් සැණකෙළි සිරිය උසි ගන්වන ඉනාවන් සැමටම බෝ කරන සතුටේ සිනාවන් කැන්දා ගෙනෙයි ලොවටම වාසනාවන් සගවා සිටිය කුසුමිගෙ රන්වන් මුහුණ බලා ගන්න හැකි විය පෙර කල පිනෙන සතුටදි පමණක්ම හිත ලග තනි රකින බබරෙක් කැරකුනා සිප ගන්නට උවන නාබර තාලයට කැලතෙන සිතුවිල්ල කෝඩු හිතට පිණි ඉස්සන අරුණැල්ල නිල් විල් තලාවේ පොපියන හද සොල්ල නව ලොව දකින පත් සියයක සැරසිල්ල Photo Credit: Robert Schwarz
කවිය බලන්න
ඔබ හා මම !

ඔබ හා මම !

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

ඔබ ඔබය ඔබ පමණක්ම හඳුනන මම නොහඳුනන මා නාඳුනන විටෙක මමද නොහඳුන මමම ඔබ හැඳින මුත් නොහැඳින ඔබ ඔබම මම හඳුනන
කවිය බලන්න
ඔබ මගේ දියණී

ඔබ මගේ දියණී

ගංගා නිරෝෂිණී සිරිවර්ධන තිත්තපත්තර

මව් වරම දෝතින්ම තිළිණ කර උපනී... සෙවනැල්ල සේ සදා මා වෙතම රැදුනී... කෙළි කවට සිනා බස් තෙපලන්න හපනී... මගේ පිළිබිඹුව නෙත් ඉදිරියේ මවනී... තෙත් කලේ නෑ දුකට මගේ නෙත් කෙවෙනී.. හදේ සෝ සන්තාප ඔබ ලගදි නිවුනී.. ආදරය නෑ මගේ කිසිවකට දෙවෙනී.. සිත් අඹර සුපුන් සද ප්‍රාණ සම දියණී...
කවිය බලන්න
සා දුකින් පෙළුන උන් ( මැයි දිනය)

සා දුකින් පෙළුන උන් ( මැයි දිනය)

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

WHEN WILL TEARS BECOME PEARLS ############################## දාගැබක් මහ වැවක් හැදු බිමක දා හෙළූ වෙහෙස වූ උන් එදත් මැළවුණා. සෝකයක් නැති නමුත්... උන් නමින් හදවතේ .. මට අපිට හැමවිටම වැරදුණා. මාවතක් නෑ කියා.. අවි අරන් දිවි පිදූ.. තුරුණු දූ පුතුන් පෙර පැරදුණා සා දුකින් පෙළෙන උන්.. ඉපදිලා මිය ගියත්.. රජවරුන් හැම දිනේ බැබළුණා. ************************************ මාසයේ අවසනට.. නොලබනා කිසි වැටුප් තව ගොඩක් ඇති බවක් නොදකිනා ලෝකයක් අබිමුවේ .. සිඟමනේ යන විටත් යළි වරක් මැයි දිනේ පැමිනුණා. දීපයක් දැල් වුවත්... කය පෙලා වැඩ කලත් නෑ දිනක් නුඹෙ කඳුළු මුතු වෙනා. දේසයක් මිය යැවූ ... රූපයන් දෙස බලා. උන්ට අපි ජය පතමු සතුටිනා.
කවිය බලන්න
නුඹ සොයා තැවීම < ඉන්පසුව නුඹ ලැබීමේ සතුට

නුඹ සොයා තැවීම < ඉන්පසුව නුඹ ලැබීමේ සතුට

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

නිම්නයට නුදුරින් හෙමින් නුඹ පිපෙන්න සංසාර සැඳෑවෙන් අඩක් නුඹ රැඳෙන්න කැරලිගසනා මහද නුඹ සොයා තැවෙන්න දිවුරන්න ප්‍රිම්රෝස මල අවසන් අඩෙහි නුඹ පිපෙන්න Primrose is a flower that bloom on the top of the transitional fence between Winter to Spring.Gentle, delicate flowers that appear early - soft yellows, pinks, creams. Very “first light after darkness” energy.
කවිය බලන්න
තුරු පා මුල.......

තුරු පා මුල.......

ඉනෝකා සමන්මලී ගුරුසිංහ අම්බලන්ගොඩ

තුරු පා මුල පොහොර වෙන්නට පැතූ වියළි පත් ඉරටු මුස්නට එරෙහිව සර සර හඬ නගයි සැළෙන හඬ මෙනි අසිපත් Photo Credit: Ali Bakhtiari
කවිය බලන්න
අඳුර

අඳුර

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

වැහුනා ගැබ අඳුරෙ, හිරු නෑ එළිය මැකී පිපුනා සිසි නුඳුරෙ, සුදුමයි සීත වැකී දිලුණා කඳෝ තිරෙ, වැනුනයි පවනෙ දැකී සැලුණා නුවන් පිරෙ, දෙව්පුර සිහිනෙ මැකී සුවඳයි කොඳ මනා, පිවිතුරු කැල්ම අගේ ඇට්ටෙරි දැකි වනා, එළියයි නුඳුරෙ මඟේ සේපලි රුව ගෙනා, දිලිසී බැද්දෙ දඟේ මේ මල් විසිරෙනා, නිශාව සොඳුරු නඟේ කොඳුරන නද ඇසේ, පුරයකි පෙම් සුවඳයි අඳුනන තොස දිසේ, විසයයි ගුම් දඟයයි බඹරුන රොන් රසේ, කෙළියයි හං කිතියයි දවටන බස ඇසේ, කුසුමිය ලඟ විසුවයි නින්දට දුර හැඩයි, සද්දෙට කන් පිරෙනා ලන්දට ඉඟි මරයි , මින්දද මල් එලනා මද්දට හරි ඉඩයි, තුන්යම සිල් හැලෙනා ඇද්දට හිත ලෙහයි, අඳුරට සිත පිරෙනා නන්දන සිරි එතෙයි, මංඟල සිරි බැන්ඳූ අන්දන මිණි ඇසෙයි, සින්දන දුක ලන්ඳූ නින්දක තතු ලෙහෙයි , සංවර මිත බිංඳූ ඉන්දන රස මෙයැයි , රැයකදි තුට කැන්ඳූ "රවුළු ඡන්දස " ට අයත් "නරඟරඟ" විරිතෙනි,,, මත් 19 යි, මත් 9 න් යතිය තබා මත් 10 එළිසමය කොට වැනුම නිමවෙයි,,, ලගු ගුරු බෙදුම් නොමැත,,, Photo Credit: Elliott Engelmann
කවිය බලන්න
විපුලී හිටියා නම්............

විපුලී හිටියා නම්............

ජයතිලක කම්මැල්ලවීර

නුහුරු අදහසක් මතුවෙයි සිත්පතුලෙන් කවියකට නම් අගෙයි ඒත් කොහොමද කවි ලියන්නේ? මම යන්නෙමි කවි ලියන හැටි ඉගෙනගන්නට නන්දන, රණවීර, රත්න ශ්‍රී, ලාල් හෑගොඩ ⁣පරාක්‍රම වෙතට රුවන් බන්දුජීව, ඉසුරු චාමර, ලහිරු, සුහර්ෂිණී, කල්පනා ඇම්බ්‍රෝස්, අනුරාධා නිල්මිණි වෙතට, විපුලී හිටියා නම් නොවැරදීම ඇය වෙතට.
කවිය බලන්න
වසන්තය ළංවෙලා

වසන්තය ළංවෙලා

ජයන්ති සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

දකින විට අදුරු වී නෙක පැහැති කොල වරා සැණින මතකෙට නැගිණ සිටිය හැටි මල් දරා සුවද පැතිරූ දසත වසත් කල හැඩ වෙළා සොදුරු මතකය පිබිද මසිත මන්මත් කළා පිපුණු මල් පල දරා බර වෙද්දි අතු පුරා වැඩුණු පැළ සරු පසේ නිල් අහස් කුස අරා රුවිනි තව හැඩ වෙද්දී නෙක පැහැති පත් දරා දුටිමි ඒ සතුට නුඹ ලැබූ බව සිත් පුරා හැමූවද සැඩ සුළං දරාගෙන වැහිවළා ඉඩෝරය පැමිණියද පොළොව සැම ඉරිතලා මියෙන්නට නොදී නුඹ රැක ගත්තු සැටි බලා මතකයට නැගෙද්දී නෙත් කෙවෙනි තෙත් වෙළා සොබාදහමින් උරුම දුක සැපද කලතලා රැගෙන යන්නට වරම් අපට ඇත හිමිවෙලා ගිම්හාන කාලයේ වින්ද දුක් නිම වෙලා දැනේ සතුටක් යළිත් වසන්තය ළංවෙලා
කවිය බලන්න
ප්‍රිය සබඳ

ප්‍රිය සබඳ

ජගත් ප්‍රියන්ත පරංගොඩ, දෙකටන.

සසර කතරේ පුරුදු ලෙස පතාගෙන පැමිණ, කටුක දිවි මඟට දිගු කළා ඒ දෑත සෙනෙහසින්....... ජීවිතය ඔද්දල් වෙලා පරාජිතව ගෙවෙමින් තිබූ අඳුරු නිමේෂයට විරාමයක් තබමින්.... වසන්තයට අත වනා කිතිකවා ලය මඩල, තෙත් කළා සිත ආදර වැස්සෙන්....... පපුතුරේ හිස තියා මුමුණමින් මිහිරි වදන් ඉඟි කළා හදවතට සුපිපි පියුමක් ලෙසින්.... තිස් වසක් ගෙවී ගොස් අප තැනූ කැදැල්ලට, දූ පුතුන් කර උසට නුඹ මට දායාද කල. තුති පුදන්නම් දිවි මඟට ඔබ දුන් සවියට සෙනෙහසේ නාමයෙන් මා ප්‍රිය සබඳ...
කවිය බලන්න
ආවොතින් ඔබ ළඟදි දවසක.......

ආවොතින් ඔබ ළඟදි දවසක.......

කුසුම්සිරි විජයවර්ධන

ආවොතින් ඔබ ළඟදි දවසක නුවර වැව ළග හමුවෙමු ඈත සිට පෙම් කතා කියමින් මතක පොදි බැඳගෙන ඉමු එදා වාගෙම අතින් අල්ලා හිනාවී වෙන්වී යමු ඉඩක් ලැබුණොත් ආයෙ භවයක හමුවෙලා හිනැහී ඉමු
කවිය බලන්න
අඳුර ඉරන කුඹියෝ.

අඳුර ඉරන කුඹියෝ.

ආචාර්ය කරුණාරත්න පල්ලෙගෙදර අනුරපුරයෙන්

හැම බොරුවක්ම හරි හරි යයි කියන හැටි බොරුවේ තරම ගැන නොසිතා රකින හැටි ඉතිහාසයේ රොඩු අතරට වැටෙන හැටි උගතුන් කියනවුන් බොරුවෙම ඉන්න හැටි. මිනිසුන් මරණ එකේ අයිතිය තියෙලු අන්මත ඉවසිම යුතුකම නොවේලු සියළු දේම ගැන දැණුමද තිබේලු ගිණුමට ඉඩ නැතිලු මුදලුත් පිරේලු. කපුටා කලු වුනත් ඉහලින් සුදු කියති ගම් බිම් නගර කපුටා සුදු බව කියති කපුටා අඬ අඬා කලුබව යළි කියති සුදු බව කියන්නටකපුටත් මුදල් වෙති. ඉස්සර කතා වට අත්පුඩි වදින කොට දැන් එය වදියි අගු පිල්වල කලුවරට තැන තැන වට පිටද යුක්තිය හොයන විට අදුර ඉරන මිතුරෝ තව ඉදිරියට.
කවිය බලන්න
එල්නිනෝ තත්වයක්

එල්නිනෝ තත්වයක්

කපිල කුමාර කාලිංග

1.ස්කූල් වෑන්වල පුංචි ළමයි කවුළු තුළින් බෙල්ල එළියට දමාගෙන 2 තන පටින් නිදහස්ය පියයුරු 3.අයිස් කැට දැමූ දොඩම් යුෂ තුළ දියව යයි ලිප්ස්ටික්
කවිය බලන්න
නවසීලන්තයේ සිට

නවසීලන්තයේ සිට

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

පිවිතුරුය පියකරුය නෙත දුවන හැම තැනම මනහරය සිත් කලුය ඇඳි සිතුවමක් ලෙසින උඩු ගුවන සේ දිලෙන බිම එලු නිල් වියන හමන මඳ මුදු පවන ගත සිතද සනසලන. නෙක් වණින් හැඩ මැවු සුපිපිමල් ගොමු මතින් නිදැල්ලේ සැරිසරණ බිඟුන් ගේ ගුම් නදින් දසත විසිරි සරණ ඒ විහඟ ගී හඬින් මිහිරක් දැනෙයි රැඳෙනනිසල බව බිඳ සෙමින්. දා බිඳු මතින් නැගුණු කෙත්වතු උයන් වතුද සුරැකෙමින් සෙනෙහසින් වැඩෙන කඳු රුක්ගොමුද දිගු ආයු වළඳමින් වැජඹෙන වනස්පතිද සොබාදම් හැඩමවයි ලෝ සතුන් රැක නිබද දිවා රෑ නොම දැනේ නොමැත නිසි වේලාවක් අව් වැසිද නොම හැඟේ එයද එක කලාවක් තුරු තමන් පත්සලා නිදන්නට ⁣ වෙලාවක් සැරසෙනවා පිළිගන්න සීත සෘතු උදාවක්.
කවිය බලන්න
ඉතින් අපි කතා කරමුද...

ඉතින් අපි කතා කරමුද...

අංගප්පුලිගේ කැලුම් විරාජ් චතුරංග රාගම

නාද බෝපත් සිලිසිලිය මැද ලා පාට කහ පහන් දැල්ලක් ඈත නොනිමෙන වංගුවේ අග ඉතින් අපි කතා කරමුද ......... කහපාට මල් කිණිති ඉකිලන කොළපාට වැට දිගේ යන එන සොයුරු කැල මැද පාර අද්දර ඉතින් අපි කතා කරමුද .............. යදම් බිඳගෙන නැගී පෙරමග සිහින් ස්වරයෙන් කවිය මුමුණන කවුරුවත් නැති වලේ කෙළවර ඉතින් අපි කතා කරමුද ......... ලා දම් මල් පෙති එකින් එක කාලයේ සුලගින්ම හැඩවෙන අලු පාට ගල් බංකුවක් මත ඉතින් අපි කතා කරමුද ......... රහස් හාදුව කනට කොඳුරන කඳුලු බිඳු මත හීන තවරන බිත්ති කැටපත් පවුර අබියස ඉතින් අපි කතා කරමුද ......... ඔබේ සුන්දර සිනා එක්කම හිතේ ගින්දර නිවුණු මොහොතක ඉතින් කොහොමද වත් අහන්නට ඉහලගම පන්සලේ හෙවනක
කවිය බලන්න
අලුත් අවුරුද්ද සහ සුද්ද ගෙ වැරැද්ද

අලුත් අවුරුද්ද සහ සුද්ද ගෙ වැරැද්ද

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පානදුර

ඇදහුව නමුදු බටහිර ගැතියන් නිවට ජනෙරුවෙ නොමැත කිසි අවුරුද්දක් අපට ඇත්තේ එක අලුත් අවුරුද්දකි දැයට කිම වෙසෙසුමක් යොදනුම එහි නම මුලට ? සෙප්ටා හත බව ද - ඔක්ටා අට බව ද නොවා නවය - ඩෙකා දහය ද - නොම දනු ද? එබැවින් දෙසැම්බර දසවැනි මස නොවෙ ද? එකොළොස් - දොළොස් මස් එම වසරෙහි නැති ද? වසත් කල සොඳුරු පරිසරයට රිද්දා සියොත් මිහිරි නද නැති මසකට වද්දා දෙමස් උඩට අවුරුදු ගෙන ගිය අද්දා රහස් නොමැත කළ වරදෙහි, පර සුද්දා !! හිම වෑහෙන සිසිලෙහි ගෙ තුළට කොටු වී මොන සමරු ද අවුරුදු ? සිතනුව මැනැවී එයින් ජනේරුවෙ නොව බක් මහෙ ගෙනැවී සැබෑ අලුත් අවුරුදු සමරමු තුටු වී ... !!! ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!! ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වැන්නේ හෙවත් ශක නෘප වර්ෂ 1948 වැන්නේ බක් මස අව දොළොස්වක නම් තිථිය ලත් කුජ දින දී යැ.
කවිය බලන්න
ධීවර ගීතය

ධීවර ගීතය

ලුෂානි දමයන්ති කැකිරාව

ඉර මල අහසේ පර වී යද්දී තනිකම පාලුව රජ වී එද්දී මුහුදේ හෝ හඬ සවනට දෙද්දී බියකරු බව මයි වන මේ සිද්දී ලය බැදි සෙනෙහස අතු පැලෙ තබලා අඹු දරු රැකුමට දිවි කැප කරලා ඔරුවත් සමඟින් මා පොර බඳලා ⁣යළි එමි නැවතත් අළුයෙම ඇදිලා නෙතු අඟ කළුවර වෙළුනා රෑවී ⁣ඔරු කඳ යයි තව ඈතට පාවී හිරි ගඬු පිපිලා සුළඟට නෑවී එවනද තනියට මගෙ සඳ සාවී ඔරු කඳ හබළින් වාරුව ගන්නේ සුළඟට තව දුර පැදගෙන යන්නේ දරුවන් ඇබණිය මට සිහි වන්නේ මත්සයො සැඟවී කොතැනද ඉන්නේ හෙට දින පුතුගේ ලොව ජය ගන්නයි දූගෙත් දිවියම කල එළි වන්නයි විකසිත වූ මල් සිහිනෙන් පෙන්නයි අයදිමි දෙවිඳුනි මා රැක දෙන්නයි
කවිය බලන්න
A teacher to many, yet lessons to learn!

A teacher to many, yet lessons to learn!

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

A teacher to many, yet lessons to learn Learning from many, during the graying zone Mistakes bring out the resilience shown Will give pleasure when living alone! Idioms and idioms we use to hear Do not bear value as we thought in early years " Time will heal anything " an Idiom to push fear Time will only train how to deal, if you are wise my dear Blood is thicker than water it is said Yet blood will clot so there will be no spread Water will cool the heat during a rising threat Bringing harmony among all, the cooling friends! "Tit for tat" another idiom those days Hitting each other all enjoyed in school days Tit will only hurt you taking revenge these days Ignore the " Tat" It will decay in few days! Learnt many lessons observing the green trees Offer shade even to the one who will axe for fees Forgiveness to all will bring solace and peace No thorns will prick you during the night sleep!
කවිය බලන්න
වියපත් (නොවූ) ප්‍රේමය

වියපත් (නොවූ) ප්‍රේමය

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

ගතක් වයසට ගියත් හිමිහිට හිතක් ප්‍රේමය හොයනවා හුඟක් දැනෙනා තැනක් දුටුවම ටිකක් නැවතී බලනවා කවක් මිහිරැති ගලප ගලපා ජීවිතය එහි ලියනවා ඉඩක් ලැබුනොත් රොනක් සොයලා බඹර තුඩු දිග අරිනවා පැයක් දොඩමලු වුණත් කාලය අසුරු සැණකැයි හිතෙනවා තුටක් වාගෙම දුකත් ගලපා දවස් පැය ඔහෙ බෙදනවා හෙටක් නැතිමුත් දුරක් යන්නට හේතු දහසක් මවනවා රැයක් නිදි නැති වුනත් ඉඳහිට කමක් නෑ ඇස කියනවා වැඩක් නෑ මේ කිසිත් පෝයට බණක් ඇහුවම දැනෙනවා පෙළක් සේ රූ මතක එබි එබි හදේ කොණකට අනිනවා පණක් ලද සේ දවස ගෙවනට තල්ලුවක් ඉන් ලැබෙනවා කුමක් කීවද දිවිය සොඳුරුයි ඉතුරු ටික ඔහෙ ගෙවනවා
කවිය බලන්න
ලෝකය

ලෝකය

මාලිනී හෑගොඩ USA

අයිසිං තැවරූ කේක් එකක් උණුසුම් වී අයිසිං දියවී වැගිරෙයි ඇතුළත ඇති දේ නිරාවරණය වෙයි වැදගැම්මකට නැති පිටි ගොඩකි! දවසින් දවස සුහුරු උපකරණ මතුවෙයි මිනිසා දියුණු වූවා යයි පාරම්බායි ලේ කඳුළු ලීටර් ගණනින් ගලා යයි සහකම්නය නින්දට වැටී ගොරවයි ඈත අවකාශයට යානා විදියි ඈත සිට බලන විට ලෝකය සොඳුරු යයි කැමරාවෙන් බලා කියයි! ඔය කැමරාව අතහැර එන්න ළඟට එන්න තව ළඟට එන්න සොඳුරු බව මියැදුණු බව පෙනෙයි! 2026 අප්‍රේල් මස 02 දින කැලිෆෝනියාහී දීය.
කවිය බලන්න
ඇරයුම්...

ඇරයුම්...

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

රතු පාට සළු පැලඳි මැයි මාර හෙවන යට සුළඟ හා යුද වැදී මල් හැලෙන කණිසමට ඔබ ඇවිත් සිටින බව දැනුණමුත් හීනියට නෙතු වසන මගේ සිත දැනේවිද ඔය සිතට පිනි වැටෙන උදෑසන හිරු එළිය පසුකරන දම්පාට හැන්දෑවෙ සුසුමකට ඉඩ දෙවන නිදි වරන රාත්‍රිය සීතලක සතපවන හීනයක තනිවෙලා කිමද අද ඔබ ඔතැන ඉගිල එන සිතුවලියෙ නෙක පාට තවරන්න කඳුළු පොද ඉවත ලා සිනාවෙන් සරසන්න මුතු පබළු සේ සිනිඳු සුමුදු පද අමුණන්න රිදුම් පිරිමැද තවන කවියක්ව ඔබ එන්න
කවිය බලන්න
නූතන කුණ්ඩලකේශී ලා

නූතන කුණ්ඩලකේශී ලා

මුදිතා ඩයස් කොට්ටාව

ප්‍රේමයෙන් අන්ධ වී රාගයෙන් මත්වී රඟයි හිස උදුම්වා කුණ්ඩල කේසියන් ලොවේ.. ​සත්ථුකට හද පුදා කුල ගෙයට ගරහලා සොරෙකුටම පෙම් කළා කුණ්ඩල කේසියන් ලොවේ.. ​ගිරි කුළට කැඳවලා මරණ බිය පෙන්වලා රන් රුවට රැවටුණා කුණ්ඩල කේසියන් ලොවේ... ​මරණය අබියසදී නුවණ ඇස් ඇරි නිසා සොරා ගිරි කුළෙන් හෙළා ජීවිතය දිනා ගත්තා එදා ... ​වෙස් වළා සත්ථුකලා අදත් මඟ රැක ඉඳී මුළාවට හසු වෙලා නූතන කුණ්ඩල කේසිලා ලොවේ... ​තාක්ෂණේ මායාවේ හදවතම කොල්ල කන සොරුන් හට රැවටෙතී නූතන කුණ්ඩල කේසිලා ලොවේ. . ​හරි මගක් පෙනි පෙනී කෙලෙස් වල දැවටිලා මඟ සොයා ගත නොහී නූතන කුණ්ඩල කේසිලා ලොවේ... ​ප්‍රඥාව මතු කරන් තියුණු ඇස ඇරියොතින් බේරිලා ‍යයි හෙටත් කුණ්ඩල කේසියලා ලොවේ... Photo Credit; Michael Dam
කවිය බලන්න
පළමු වතාවට මතු වූ සැකය

පළමු වතාවට මතු වූ සැකය

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

දැඩි ඉවසිල්ලෙන් සෙබලිය උකුසු ඇසින් සතුරු උපක්‍රම විපරම් කර රහසින් මැවෙන රටා විමසා නිරවුල් මනසින් පුරෝකතන කරනට සමතෙකි නැණැසින් සගයින් තිදෙනෙක් සමගින් රණශූර සැඳෑ මෙහෙයුමක යෙදෙනා අතරතුර දුටු විගසින් ගහ කොළ පිරි ගං ඉවුර වටහා ගති සිදු වෙන්නට යන නපුර ස්නයිපර් කරුවෙක් ගත් එල්ලය වරදී සුරතට පත් ගිනි අවියෙන් පහර දිදී දිය කිඳුරිය සේ වතුරට පැන කිමිදී ඈතින් මතු වේ මර උගුලකින් මිදී සෙවනැල්ලක් සේ පසුපස හඹා එන කවුරුන් හෝ දැක විපරම් කර තිබින යෙදූ ගණිතමය අවදානමක් ගැන නොසන්සුන් බවක් සැකයක් ජනිත වින
කවිය බලන්න
නැඳුන්ගමුවේ රාජා

නැඳුන්ගමුවේ රාජා

පුෂ්පලතා කැකුළාවල

දළඳා මැදුරෙ තේවාවට ගියා පයින් පිහිටා සත් බවෙහි මඟතොට වෙලා අයින් වළඳා කිතුල් පොල් අතු රිසි ලැබෙන දෙයින් ගෙවුණා වසර ගණනාවක් ඔයින් මෙයින් පෙර කල පිනකි සසරේ එන පතාගෙන වර ලත් කරඬු ධාතුව පිට දරාගෙන සුර ලොව බඹුන් උව එති තෙද විදාගෙන හර වත් ගමන් මඟ රජු ඇත් විලාසෙන නැති මුත් තවත් ඒ ත්ජස පෙර සේමා සිදුවෙයි පුරුදු පෙරහැර සරුවකි බෝමා පින්වත් රාජා ඇතු වෙත නැති පෙමෙ සීමා තවමත් අඬයි ඒ පෙම්බර කළු මාමා උප නූපන් බවෙක මතු පින් පිරේවා කිසිදා සතෙකු වී උපතක් නොවේවා ලෙඩදුක් රෝ බියක් මෙපිනෙන් නොයේවා නිවණෙහි සැනසීම විඳිනට ලැබේවා
කවිය බලන්න
ජීවන මතක......

ජීවන මතක......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

ජීවිතය කියන්නෙම මතක පිරි කන්දක් වසා වල් පැළ වැවී දිලෙන තණ නිල්ලක් මල් පිපුණු තුරු ඇතත් ගෙනෙන සැන සිල්ලක් කන්ද යට දුක සැඟව නොමැත හස රැල්ලක්. පිණි වැටී දිලිසුනත් උදේ තණ මත්තේ දිනිඳු පායා පින්න අහසටම ගත්තේ මතකයේ තෙත නොමැත සදාකල් චිත්තේ අතීතය වැළලිලා පස් තුලයි ඇත්තේ. නිශාකර පෑයු එක දිනක හොර රහසේ වල් උදුර මතුපිටේ කිමිදුනෙමි රිසිසේ දුටිමි ගල් වුනු මතක ගුලිව සිටි දුකසේ දැන් කෙසේ මම ගම්ද මගෙ මතක රිසිසේ.
කවිය බලන්න
පස් දෙනෙකුගෙ අම්ම කෙනෙක්

පස් දෙනෙකුගෙ අම්ම කෙනෙක්

රුවන් ඩී අළුබෝමුල්ලගේ

රීඩ් මාවගේ ඇවිදින් පොද වැස්සේ කුඩයක් යට ගේට්ටුවෙන් ඇතුල් වෙනව යසෝදරා දැක්ක හැටියෙ ඔයා මගේ හිත ගත්තා අවුරදු දහයකුත් ගෙවිල දන්නෙම නෑ එක කූඩුවකයි දැන් අපි සිව් අවුරුදු කොළු පැටියත් තුරුල් කරන් පන වගෙ ආදරෙයි අම්ම කොළු පැටියට අප්පච්චිත් එහෙම්මමයි දැන් දැන් වසරක ඉඳලම අම්ම හෙමින් කිට්ටු කරල මගේ කනට ඈබන් ලොකු පුතේ දැන් හොඳ නෙව තව පැටියෙක් හදා ගන්ට... බේරෙන්නට බැරි හන්දම අම්මගෙ මේ වදෙන් පොරෙන් මං ඇහුවා යසෝදරා අපි තව පැටියෙක් හදමුද අහපු ගමන් කඩන් පැන්න යසෝදරා... බෑ...බෑ...බෑ... රාහුල හිටියම ඇති හොඳටම මට බෑ එකතැන පල්වෙන්නට ඔයා වගේ මං ඉහළට යන්න ඕන ලොකු පුටුවක ඉන්න ඕන ලොකු පඩියක් ගන්ට ඕන ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඕන... බය වෙන්නට එපා යසා අම්ම හදයි දරු පැටියව අම්ම හදයි වදන්න ඕනා මං නෙව ඇති ඇති ඇති එහෙනං අපි නහද ඉඳිමු අනේ අම්මෙ ආයෙත්නම් මට ඕවා කියන්නෙපා... අම්මා හෙළුවා සුසුමක්... පස් දෙනෙකුගෙ අම්ම කෙනෙක්...
කවිය බලන්න
Reason

Reason

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

I am all alone Loneliness only with me Is this my destiny? No.. No. Can't be.. Impossible.. How much? We kept people entertained.. Such as relatives, friends and colleagues Now all of them are far away from me They never come to see me At least they never call me I never understand When my wife was alive Visitors have always been a part of our life But, For the last three years.... As she's gone I had no visitors Now I've understood the reason For such situation.. It's bitter I am now living a simple existence Though the loneliness is difficult Solitude helps me to be in peace Solitude is a solace Photo Credit Roman Hnydin
කවිය බලන්න
මොරදේය හුම්මානය...

මොරදේය හුම්මානය...

රන්සිරිමල් ප්‍රනාන්දු

පෙනෙන තෙක් මානයට ඈතින් සක්වල ගලට එපිටින් අහස ඇවිදින් පහලට මුහුදු වතුරට ගෑවෙන ගිනි දැලින් දැල්වී උදේ හවසට දේදුන්නෙ පාට කැලතෙන ඉසව්වේ මෝදුවෙන නා නා වර්ණ සියුමැලි සුසිනිඳු කුසුම් සුවඳැති හිත පුරා දවටාන... අත හැරුණු වගක් නොදැනම කල් ඉකුත් සිනාරැල් පරවුනු සයුරු පතුලත විසිරවුණු සුසුදු සුදු බෙලිකටු දණ නවා සීරුවට ගත නවා ගැඹරට අත යොමා අහුලාන... සඟවාන කාටවත් නොපෙනෙන්න තුරුළු කරගෙන ලමැදට දුව දුවා ආවත් වෙරළසට... වෙරළ විසිරී පලසක්ව ඇතිරී මල් පිපෙන වරම් නැති සඳ ගල් කුළක බිම්ගෙයක සැඟවී වෙස්සන්තරය මුමුණයි මුහුදු රළ... මිහිකතගෙ ගිනිගැනුනු හදවත දියව වැගිරුනු රුහිරු වියැලී ජනිත වූ ආග්නේය පාෂාණ ඇතිරුණු මළුව සලපතල සිඳ බිඳ කීතු කීතු කර පිපිරවිය නොහැක්කෙන් ගිරි බෙයද අතරින් හිරව තෙරපී වැර නගා රිංගා නැගී අහසට බිඳු බිඳුව විසුරයි කරිජ්ජ දිය මල් පොකුර පෙති පෙති කඩා කුඩු කර... සිර කෙරුණු ගෙලකින් නොහැකියෙන් ගැයුමට සොඳුරු ගී පද බැඳ හූම් ගා... හූම් ගා... මොරදේය හුම්මානය...!
කවිය බලන්න
සිහිවටන බැන්දෙමි ඔබ නමින්

සිහිවටන බැන්දෙමි ඔබ නමින්

රංජනී කොස්තා නවසීලන්තය

හතර රියනත් අයිති නැතිබව දන්නවා හිත හොඳටම පස්කඳුත් සේදිලා පොලොවට එක්වෙලා යයි නිතියෙම දුන්න සවියට බැතිව හැමවිට වෙහෙසලා ජීවිතයම නමමි සිරසා ඔබට ගොඩනැගු අපගෙ ජීවිත පියසම පිරුණු ලෙංගතු දහඩියෙන් නිති පොහොනිවූ මල් කැකුළුම දිලෙයි ලොවටම සුවඳ පතුරන් වෙසෙන මුලුගම් පියසෙම නිහඬ වතකින් දරාඋන් ඔබ ලයෙහි උනුහුම ඇතිවම උතුම් ඔබ පියතුමෙකි අපහට සැදුව සුවසෙත නිබඳම නිහඬ වදනින් කරන යුතුකම් ලොවක් සැදුවා වාසනා දිලෙන තරුකැට දෙස බලන් ඔබ අනේ තනිවම සැනැහුනා ආදරය මහ මෙරක්වාගේ හිතක ඇතුලෙම ඇවිලුනා නාමයට ඔබෙ අදත් හදවත් තුළින් බැතියම වෑහෙනා ඔබේ සොහොනෙම මම නිදයිදෝ නොදන්නෙමි මේ විලසම ඔබෙන්ලද සෙනෙහසට නයගැති වෙමිය අප හැම බවයෙම පුදන්නට මල්කැකුළු දෝතක් අරන් එමි හැකි දිනයෙම ඔබෙනමින් සිහිවටන බැන්දා ඔබ නිදන්කළ සොහොනෙම,,,,,,,,
කවිය බලන්න
යුද්ධය හා කඳුලු

යුද්ධය හා කඳුලු

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

නැගිටපන් මල්ලියේ පාතිමා කෑගසයි වහලයක් කඩාගෙන බෝම්බය පිපිරිලා ගිනි වලලු ඇග උඩ පුන්චි දරුවන් මියැදිලා සමහරක් කෑගසයි ලේ විලක් මැද ඉදන් සුන්වූ දෙපා සමගින් මල්ලිවත් කර පින්නාගෙන පාතිමා එක පිම්මෙ දිව ගියා ගෙදරටම ගෙදරටත් ඒ වෙලේ කණකොකා ඇවිදින් වහලයත් බිමවැටී ගෙදර සැම මියදිලා දෙපා සුන් මල්ලිව තිබ්බ අම්මගෙ තුරුලෙම ඇස් ඇරන් හිටිය මිස නෑ ඇහුනෙ කෙදිරියක් කෑ ගසා හැඩුව මුත් නෑ කිසිම කෙනෙක්වත් ආවෙ අපෙ පිහිටට මුලු රැයක් පුරාවට නරයින්ගෙ කඳුලකට උණුවෙන දෙවිදු අසුනට දුක නොදැනෙන්නෙ ඇයි මේ අසුන ඒ සී කල නිසාවත්ද
කවිය බලන්න
තනිවුනු සිත්

තනිවුනු සිත්

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

කුටි දෙකක අප සිටිමු නෙත් සමග සිනාසෙමු සිත් තුළට නොවෙන යොමු සෙනෙහෙ මදනල විඳිමු දූ පුතුන් එක් රැස්ව සිටින්නට නිදහස්ව සිතා අප වෙති තොස්ව සිර කළෙද අනලස්ව අප එකට වී සතුටු දිවි ගෙවූ'යුරු නොදුටු අය කෙසේ තුටු පහටු කරාවිද සිත් අරටු ඔබට මා මතක නැති එ‍ය මහත් දුකක් දෙති අපේ සිත් සිරව ඇති ලෝකයක් අපට වෙති පෙම් කවක් ලියන්නට ඇත සිහිය තවම මට නමුත් රස විඳින්නට හැකිවෙයිද එය ඔබට ප්‍රස්තුතය-එදා පෙමින් බැඳුනු, අද මහලු නිවස්නයක වෙසෙන යුවලක් පිළිබඳ සිතිවිල්ලක් ඇසුරෙනි.
කවිය බලන්න
වියපත් විහඟ

වියපත් විහඟ

ශර්මිලා බන්දුනි දන්වත්ත

විහඟෙකි ඔබ එදවස සිතුණු විට සිතුණු තැන පියැඹුව රිසි තුරු හිසක ලැග රිසි විරිතකට පෙම් කවක් පබැඳුව සිතේ ඇඳි කිරිල්ලිය හමු වූ දින තනුව හීලෑ වුණ කුරුළු හදවතකි ප්‍රේමයෙන් හිරිවැටී කූඩුවන්නට සිත්වුණ උදෑසන නැගිට පාරේ බස් එකෙන් වැඩට යන එන පියාපත් වැඩී නැති පැටවුන්ට මියුරු පල වැල ගෙන එන හවස් කල වැතිර පුටුවක පියාපත් පිරිමදින ඔබ දැන් වියපත් කුරුල්ලෙකි ගී ගයන්නට අමතක
කවිය බලන්න
ස්වර්ණමාලියේ

ස්වර්ණමාලියේ

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

නුඹේ නමින් බැඳි සෑය විසල් අහස දෙසට නෙත් නගා ලකල් හිරුට සඳුට කියනා. මනකල් ගීය නිරාමිසයකි තුන්කල් රන් තෙළඹු ගසින් බැස කොහි ගියෙද සෑ රදුන් විමසයි ඇය. නිබඳ කල්ප කාලය සෙමෙන් ගතවුනිද උඩු සුළඟ අදත් මුමුනයි ඒ ගුණ සුවද සසර දුක් දිනූ අරිහත්. මුනිඳු ද්‍රෝණයක් ධා නිධන් කොට සෑදු රුවන්වැලියට විමානය. පිදු ඈ හිඳී අද කැලෑවක. ලඳු සෑය නොබැඳම ගසින්. පන්නා දැමූ අගනන් ලොව කොතෙක් ඉන්නා සිතා සිත කමටහන්. ගන්නා ස්වර්ණමාලී දැහැනෙ උන්නා
කවිය බලන්න
හාඩ්වෙයා කඩේ උඩු මහලේ ජිම් එක

හාඩ්වෙයා කඩේ උඩු මහලේ ජිම් එක

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

දවන්නට බැරි තරම් ඩිපොසිට් කැලරි ගොඩ නවන්නට කොහොම අත් පා, කළය බඩ කරන්නට ඉඟ සිහින් නළු නිළි වගේ හැඩ බලන්නට වටි ජිම් එක කඩේ උඩ කෝටු කකුල් තඩි බඩ ගෙඩි ලබු කැටයා නාටු කකුල් මැස්සේ ලඹ දෙන සැටියා ලාටූ කාපු රිලවුන් සේ හති ඇරියා කෝටු කිතයි සිහිනෙන් six pack දිටියා කතා නොකර පෝනය කොට කොටා සිටි ඉතා මහත අගනෝ ජිම් එකේ සිටි ලතාවකට ඇවිදිති බලි වගේ මැටි පතා බට තුරක් තල් ගස් පෙලක් දිටි සිලි සිලි මල්ල ඔසවා හති කට බලියා මැලිකම කුසිත එක වල්ලේ පොල් සැටියා විලි වහගන්න රට අමුඩේ ඉඟ වටයා ගුලි කෑ කිඹුලියෝ පලසේ හති ඇරියා අගනා සළු පොටෙන් අඩ සෙළු කය වැසුන වටිනා වතුර බෝතල් මූඩිය ඇරුණ සොයනා බැලුම් අනෙකගෙ මස් පිඩු නටන ලලනා සමිති ජිම් එක රන් මසු ගිලින පදවා ගෙන ආව නෙක නෙක තුරඟ පෙල රදවා ඉස්තාලේ හරවා බලයි ගෙල විදවා ගන්න වෙනවා අකුසලේ බල රිලවා වගේ නටවයි අය කරයි මිල පාත කඩේ බර ඔසවන නාටාමි සීත රෑක අඩියක් ගැහුවත් දෑමි ගාත දෙකේ අගනෝ වෙති කදසාමි නාථ දෙවිද රැකදෙන් කළු නාටාමි 25 / 04 / 2026
කවිය බලන්න
මිතුරු වෙස

මිතුරු වෙස

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

දුටු පමණකින් හිත ඇද බැඳ ගත් මිහිර ඉටු වූ විලස දැනුණත් පැතුමක් සසර කටු ඉති රිකිලි මගහැරගෙන එන අතර නටුවෙන් ගලිහුණේ ඇයි තනිවුණි කතර ලෝකෙම එළිය දෙන හඳ පළුවකි දකින ඒකට මොකද ඇයි මේ කළුවර දැනෙන සේපාලිකා මලකිය අකලට පිපුණ තාමත් සුවඳ විහිදෙන හදවත පිරුණ සමාවෙන්න කියලා කොච්චර කීවත් එසේ වෙන්න බැරි බව දන්නෙමි කෝමත් නෙතේ තියෙන තෙත නම් එහෙමයි තාමත් හිතේ ඉන්න මිතුරකු වත් වෙමු ආයිත් Photo Credit Benjamin Voros
කවිය බලන්න
Artemis II හොයාගත් සඳවතිය.

Artemis II හොයාගත් සඳවතිය.

තුෂාරි ජයසිංහ මහනුවර

ඇය තව දුරටත් ළදැරියක නොවේ හාවුන් නිදිකරවාගත් උකුල මත. කිරි පැනි වෙනුවට , ණයට ගත් සඳරැස් ලොවටම බෙදන මිහි මතට පමණක් හිනා වි අඳුරේම ඉකිලන ඇය දැන් ගැහැනියක්. ඇය තව දුරටත් යුවතියක් නොවේ. සුසිනිදු ස්පර්ෂයන් නොමැති, බොහෝ කටුක ගැහැටයන් අනේක දුක්ක දෝමනස්සයන් විඳි බවට බොහෝ සාක්ෂි ඇති කදිම ගැහැනියක් . ඇය තව දුරටත් පෙම්වතියක් නොවේ රළු මතුපිටක කඳුළු ලාවා ගලා ගිය, ආවාට බොහෝ ගණනක් ඇති හුස්මක් ගන්නටවත් නිනව්වක් නැති ඇය කදිම ගැහැනියක්. ඇය තව දුරටත් උපමාවක් නොවේ කවි ගී ලියන්නන්ට සෞම්‍ය වූ කතකට. ඕනෑම උණුසුමක දිය නොවී සිටිය හැකි සෘණ පාඨාංකයක වුව නොමිදී සිටිය හැකි සදාකල් වුව අඳුරේම ඉදිරියට යා හැකි ඇය දැන් පරිනත ගැහැනියක්. 2026.04.14.
කවිය බලන්න
සුතුර නුඹ....

සුතුර නුඹ....

උදයංගනී විජේරත්න

සඳ සිසිල තරු වියන එළිය දෙන ලොවක මඳ නලක මුදු සුවඳ තැවරුවද මලක හදවතට සුව දැනෙන හුරු පුරුදු මතක මදහසක මුසු කරමු නිවන දුටු දිනක.. සුතුර නුඹ තුන් සිතම නිවන හැමවරක වැතිර ළඟ මං විඳිමි සුවය සඳවතක අතර මඟ වෙන් නොමව ඇවිද ගිය දුරක සසර දුක අත් හරිමු එකට එක භවෙක... ඇවිද යන අතර මඟ සංසාර ගමනේ සුවඳ විඳ කතර මැද අත්නෑර ගිමනේ මහද සිඹ සුවය දෙන හංගාන විමනේ පැහැද සිත එතෙර වෙමු පිංසාර නිවනේ... ගලේවෙල Photo Credit; Klemen Vrankar
කවිය බලන්න
මේ වසන්තයයි

මේ වසන්තයයි

යමුනා ප්‍රියංගනී පතිරණ

කැකුළු පිපුණ මල් යායක ඇවිද යන්න කාලෙ ඇවිත්.. නිල් අඹරේ හිරු එනවිට ඒ උණුසුම යටින් ඉදන් හිරු තපින්න හරි ආසයි.. ශීත සමය ගෙවා ලමින් වසන්තයයි උදා වුනේ.. හිරු එනවිට සිනා සිසී ගත පිබිදෙයි - සිත සැනසෙයි.. ගස් වැල් වල මල් එනවිට බලන්න හරි සිරියාවයි.. කොළ පාටින් දළු ලාලා අවට සිරිය හැඩකාරයි.. සමනලුන් ද රෑන් පිටින් එන කාලය අත ලගමයි.. වන බඹරුන් මලින් මලට රොන් සොයමින් තෙරපෙන විට බලන් ඉන්න - හරි ආසයි.. හිම කැට සුදු පහව ගොසින් හිරු හැමදාමත් වඩින්න.. ලස්සන මල් සෙවනැති රුක් අප හැම සුවපත් කරන්න.. කුමරිය ඔබ සොබා දමේ එපා තවත් වෙනස් වන්න.. හැමදාමත් බලන් ඉන්නෙ හිරු කුමරුට අත වනන්න... කොවෙන්ට්‍ර්‍ එංගලන්තය. ...
කවිය බලන්න
🗙