ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි සිව්වන වෙළුම

2022 අගෝස්තු කලාපය

ගෑස් පෙරහැර වන්ට අවසන් ලඟා විය ජය කණු බලා වීල් සයිකල් කාර් පෙරහැර නොමැත තව අහවර වෙලා සකල සිරිලක සියළු දන වෙත දයාවෙන් බැල්මක් හෙලා දියත සුපතල ඇසළ පෙරහැර ගමන් අරඹයි බල ලොලා
අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

ලන්ඩන් කවි සැප්තැම්බර් - ජැක්සන් ඇන්තනි උපහාර කලාපය.

කලා සපිරි, එක සහ එකම ජැක්සන් ඇන්තනි ශූරින් වෙනුවෙන් සැප්තැම්බර් කලාපය නම් කෙරේ. ඔහු පිළිබඳව ඔබ ගේ උපහාරය, ආදරය, අගය කිරීම ගොනු කර එවන්නේ නම් සුවපත් වූ පසු ඒවා කියවා බලා ඔහු සතුටුවනු නොඅනුමානය...




ඉරි දොරට වැඩුම ජැක්සන් ඇන්තනි දෙසුම



වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2022 අගෝස්තු කලාපය

ගමට ගියෙමි

සාද අතුල සුර සැප රිසියෙන් වින්දේ

නාද නෙලන පන්හිඳ අතැතිව නින්දේ

වාද නොකල මුත් ජීවිතයයි ඇන්දේ

බේද නොමැත හිත තවමත් ගං මැද්දේ

පාද ගෙවෙන ලඳු කැල ගං දිය සද්දේ

සේද ඇන්ද උකුලට බර දිය බැන්දේ

වීද පමා කුකුසකි හදවත මැද්දේ

මාද පන්හිඳත් කවියක රස වින්ඳේ
View Poem

2022 අගෝස්තු කලාපය

පාඩමක්......

"පසුගිය පාඩම පෙරලා ගන්න.... .."
ගුරුතුමා අණ කරයි !

ආර්ථික විද්‍යාව යනු කුමක්ද ?

ගැ ති වෙමින් සල්ලියට නෙතු පුළිඟු දිලි සෙනා
ඇ ති එකා ගොඩ ගසයි මැදුරු මන්දිර තනා
නැ ති එවුන් සුසුම්ලයි කුස පොත්ත හැකි ලෙනා
ඉ තින් වෙනදෙයක්නම් නොදන්නෙමි මෙය විනා

ඉල්ලුම -- සැපයුම

ම ල් ලියා හාමතේ ඉකි ගසන කඳුළු බිඳ
තොල් තියා මවගෙ වියළුන දෙතන උරන සඳ
ඉ ල් ලුවෙමි පිළිසරණ කුහක ලෝකයට වැඳ
ග ල් මුගුරු විනා වෙන දෙයක් නොදුටුවෙමි ලද

මුදලේ අගය

හොයා කුලියක් ගමේ වෙහෙස වී සවි වරා
ද යා බර මෑණියන් තැවෙයි ලෙඩ ඇඳ අරා
උ යා ලුණු කැඳක්වත් ඇයට දෙන්නට පෙරා
කි යා නිම කළ නොහේ අගය මුදලෙහි කිරා

නම්‍ය තාවය

රි වි කිරණ සිඳීලා අඳුර මැද හති ලමින්
දැ වි දැවී සුසුම් රැලි වැසෙන සඳ කළු දුමින්
ස වි ය සැනසුම ගෙනෙන විමුක්තිය අය දිමින්
දෙවි කෙනෙක් ළඟ නැමෙමි ආත්මය පුද දෙමින්

" විභාගය අත ළඟයි ළමයිනේ........ "
තිගැස්සී අවදි වුණෙමි ගුරුතුමාගේ හඬින්
දෙවියනේ....... විභාගය..........?
View Poem

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2022 අගෝස්තු කලාපය

අනවරත මායාව

ඈත සිට සඳ එළිය මැලවුණු

කළු වළාවක පැටලි පැටලී

දඟකාර ලෙස උසට විහිදුණු

රුක් මුදුන් හරහා පෙරී විත්

වැටෙන පණ ගිය කිරණ පිහිටෙන්

නුඹේ මුව පැහැදිලිව නොපෙනේ

සදා මා හද පිරී ඇවිලෙන

රශ්මි දහරා එළිය විහිදා

නුඹේ මුව මා දෙනෙත් දුටුවේ

නුඹට හොර රහසෙනුයි සොඳුරේ

නුඹට මා නොපෙනේය අඳුරේ

මාද නුඹ නොදකීය අඳුරේ

ඈත මිලිනව දිලෙන සඳ රැස්

විලස දිලිසේ මහද අරණේ

හීන් අඳුරින් මලොව වැසිලා

නුඹට මා නොපෙනෙන්න සළසා

මසිත ගොළු කොට වියළි කරවා

සිහින් මද නළ හමා යනවා

ගස් කොළන් වැල් එකට එතෙමින්

මල් පලින් බර වෙලා හිනැහී

මදෙස බලමින් ඉඟිපාන සේ

සෙනෙහසක් හද තුළ නැගෙන්නේ

නභෝ-මණ්ඩල මිනිස් සිත තුළ

පුරා පැතිරුන හිස් අහසවන්

සිතේ මායා ලෝකයක් වේ

නුඹද නොදනී මාද නොදනී

[මා විසින් රචිත 'හඬනා උතුනී' කාව්‍ය සංග්‍රහයේ පළවූ කවියකි]
View Poem

අනුර හෑගොඩ

2022 අගෝස්තු කලාපය

සුපුරුදු සිනහව පානු මැන ........

දැනට අට මසකට පමණ පෙර ශ්‍යාම කුමාර මුණසිංහ කිවිඳානන් ගේ 'ඉරි' කාව්‍ය සංග්‍රහය ලන්ඩනයේ සිට Zoom තාක්ෂනය මඟින් දොරට වැඩි දා ඒ පිළිබඳව දේශයක් කල ජැක්සන් ඇන්තනී ශූරින් හඳුන්වාදීමට මෙම කවි දෙක ලීවෙමි. ඔහු හඳුන්වාදීමට මට හැකියාවක් නොමැති බවද මේ ඔහු ගේ කුසලතා පිළිබඳව සියයට පනහක් බව ද සඳහන් කලෙමි.

අලගියවන්න මුකවෙටි කවි පඬි වියත
ලිව් කරුණක් වේය සැකයක් ඇත මවෙත
"ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත"
එහෙනම් කෙලෙස ජැක්සන් දිනුවේ දසත

රැඟුම නැටුම ගැයුමට එක ලෙස සූර
කථනය අරුම බස් වහරකි බරසාර
සකල කලා පිරි ලැබූ ජන උපහාර
ජැක්සන් ඇන්තනිඳු ඉරි ඔබටයි බාර

අද අපි ඔබ සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙත බාර දී , සුවපත් කරදෙන ලෙස යාඥා කරන්නෙමු.
View Poem

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

2022 අගෝස්තු කලාපය

ලද අත්දැකුම්......

බලා සිටියෙමි බොහෝ කල් හිඳ සිටින අයවළු ගැන ලඟ
සම හරක් ඒ අතර මෙන් විය කණ හපන අය සිට අඟ
උනොත් අමතක ඉහල යන්නට මං තනාදුන් ඉණිමග
වැටෙනු නියතය යලිත් පොළොවට පමණි ඉතිරිය මහමග
View Poem

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

2022 අගෝස්තු කලාපය

සඳවතිය සැඟවිලා

විසල් අහසට
පෙම් බැඳන් උන්
සඳවතිය නෑ සැඟවිලා
ඒ පෙමට නිති
සහය දැක්වූ
තරුත් දුකටම මැලවිලා
විසල් අහසම තනිවෙලා
කඳුලු සලමින් වැලපිලා
ඒ කඳුලුවල
පහස ලබමින්
පොළව සතුටින් ඉපිලිලා

අංජලී චන්දිමා සිල්වා
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
View Poem

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2022 අගෝස්තු කලාපය

මෙදා උපන් දිනේ ......

තරුවක් අරගෙන වරුවක්

යන්නට දුර එක යොදුනක්

හිත ගිහිල්ල Highway එකෙ

ගන්නව පොඩි නිවාඩුවක්

පරණ පුරුද්දට හිටියත්

අහන්න හුරු පුරුදු හඩක්

මෙන්න බොලේ Facetime

එකෙන් එනව කොල එළියක්

ලැබුණත් දහසක් පැතුමන්

එක්කල Sticker රැසක්

බලාන ඉන්නව එනකන්

ඔබෙන් ලැබෙන තරු අකුරක්

මල්ලක් කඩචෝරු ඇතත්

Cupboard එකේ තට්ටු දෙකක්

රටකජු ගොට්ටක මතකය

දුවනව දුර රස ගමනක්

අත් අල්ලා හිත සතුටින්

සදතැන්නේ ගෙවුණු රැයක්

Photo අතර හිත දුවනව

දුරින් දුරට දුර ගමනක්
View Poem

ආරියරත්න ජයසිංහ මහරගම

2022 අගෝස්තු කලාපය

කඩා වැටුන තරුවක්

සඳ හැංගී ගිය අමාවක දවසක
අනන්ත ග්‍රහ තරු දිලෙන රෑ මැදියම
පටු දේශසීමා නොමැති හිස් අහසක
ග්‍රහ යුද්ධයක් සිදුවිය දෙදරවා නුබ ගැබ
ඇසුනි දසතින් අසණි සෙණ අවි පුපුරනා හඬ

එක් කුඩා තරුවමියක් අහිංසක
වැදී මිසයිල් පහරක් බිඳී හදවත
කඩා වැටුනා හිමාලය කඳු මත
දැවෙන උල්කාපාතයක් විලසින
දෙදරවා මෙහෙසුරුගෙ කෛලාශ කූටය.

මෙහෙසුරු තෙමේ රැගෙන එය තම දෝතින්
තැන්පත් කළා සුරැකිව අති මහත් බැතියෙන්
මිනිසත් වගට මතුනොව සව් සතට අදරින්
පෙම් කරන එක් කුඩා මිනිසෙකුගෙ නිතියෙන්
සුවිසාල හදවතේ සැමදා දිළෙන විලසින්.
View Poem

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

2022 අගෝස්තු කලාපය

නිකිණි පෝයදා....

සමයක් නිසා වැසි වැඩි මතු තුන්මාසේ
රුක්මුල් අසල ඇතිවන සීතල දැඩිසේ
අපහසු නිසා කරනට බණදම් රිසිසේ
එකතැන විසීමට දුන්නා බුදු උපදේසේ

පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ
මගහැරුනොතින් සඟුන්හට ලැබුමට සීල
පසුවස් වසන්නට පොහොදින විසුල
නිකිණි පෝයදා සිදුවෙයි විලසින් පතළ

ලලාට ධාතුව අපේ ගෞතම බුදුහිමිගේ
තැන්පත් කරවන්න මත්තෙහි ලක්මවගේ
ඉදිකරවන්න සේරුවාවිල වෙහෙර අගේ
වැඩ ඇරඹුනේ නිකිණි පොහොදා ඈත යුගේ

දෙසුදම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි
මතකයෙ තබාගත් මැනවින් නැතුව නිමි
ලැබුවේ රහත්භාවය බිඳ සසර බැමි
නිකිණි පෝයදා මහ ආනන්ද හිමි

ගෞතම බුදුන්ගේ මහ පරිනිර්වාණෙන්
තෙමසක් ගෙවුණුදා මහ කසුප් තෙරුන්
මුල්තැන අරන් අජාසත් රජු අනුබලෙන්
නිකිණි පෝයදා කළේ සංඝායනේ මුලින්

සම්බුදු සමිඳු වැඩ සිටියදි දෙව්රම් වෙහෙර
එළඹුණු වස් සමයෙ එකුන් පසලොස් වසර
අසා බුදුන්ගෙන් රාහුල හිමි රාහුල සුතුර
ලැබුවේ රහත්භාවය පොහොදා නිකිණි පුර

දළදා සමිඳුහට පුදමින් බොදු බැති උපහාර
කරනා උතුම් පෙරහැර මංගල්ලේ මෙම වර
සෙංකඩගල වීදි සරන අවසන් රන්දෝලි පෙරහැර
අදයි දිනේ පුන් පොහොදා උතුම් නිකිණි පුර
View Poem

2022 අගෝස්තු කලාපය

ටකරන් මඩුව......

තුන වසරේ දි මම හිටි ටකරන් මඩු ව
ඈතින් පෙනෙයි සිරිපා කඳු මනහර ව
පන්තිය නුදුර ඇති සුරිය ගහ මුලු ව
පොත්තක් නොමැත එහි ඇති දලඹුව හමු ව

වසරේ හැමදාම තැන හතලිස් එක හරි ය
මෙතරම් ලකුනු අඩු පුත නැහැ නේ සරි ය
ඉතිහස, භුගෝල මට නිතරම බැරි ය
අම්මා අකුරැ කීම ද හරි අමාරැ ය

කහ සමනලුන් යන සිරිපා හැම වාරේ
මුල් ගරැතුමා පුතු හැම දා අවිචා රේ
පමා වී පැමිණ සිසු කරදහි ගනින් පොරේ
අයුක්තිය බැලිය නොහැකි හද මාඉතින් පොරේ

දිනක දි පමාවී මා පංතිය වෙත ආවා තොසා
වෙන සිසුනට ද කරනා පිළිවෙල කීවා දෙසා
ඉවසනු නො හැකි බෑ, මා රකුසෙකු විල සා
ගැහුවා ටකරම ට උස්සා පොල් පිත්තක විලසා

නොහො බින වචන පැවසු බව ගුරැතුම ට
දාහත් වරක් රැව්දුනි වේවැල අත් දෙක ට
තව තහනම කි ක්‍රීඩාව ට නොයෑම ට
සිදුවිය බෝඩිමේ වසර ම තැපීම ට

අන් යහලුව න් එක් වී ක්‍රීඩා කර ආවා
මගෙ ඉරිසියා නෑ, දැන් හිත පොත ගාවා
තව තව අලුත් අදහස් හැම දා මට එක් වුවා
දින දින අලුත් මිණිසෙකු සේ පිය නැගුවා

වසර අවසාන පැවතුණු විභාග යෙන්
මා මුල් තැනට තේරී ඇත නොසිතු ලෙසින්
අදහා ගන්න බැරි තීරණ යක් විලසින්
ජීවිත ගමනෙ වෙනසත් විය මේ විලසින්

සෑම අවාසිය ක්ම, වාසියකට පෙරළා ගන්න

ඔබට ජය.......
View Poem

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

2022 අගෝස්තු කලාපය

නුඹේ සුහුඹුල් දෑත සුවඳයි

<img src="https://londonkavi.com/wp-content/uploads/2022/08/ghjg.png" alt="" width="100%" />
View Poem

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව

2022 අගෝස්තු කලාපය

ගිණි දළු හා සීතල

සියළු දේ හලු කලන්
ලං වෙන්න බැරි වුනත්
ගිණි දළුත් සුන්දරයි
දැල්වද්දි බුර බූරා
මවමින් විවිධ
හැඩතල රූ රටා

අකමැති වුවත්
කොපමණ
සීතල තමයි ඕනම
සීතලට හුරු වුන
මිනිස්සුයි ජයගත්තෙ
ලෝකය
ද්‍රව්‍යමය
View Poem

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

2022 අගෝස්තු කලාපය

විප්ලවයක් ම වේවා..

උස් කාලයක් තිස්සේ
කන්දක් දුන්නු පීඩනය
හීන් දිය පාරක්‌ ගලා
තැනිතලා කර ඇත

නාය ගියත් දේපළ
කවුරු ඇසුවාද කන්ද දුන් පීඩනය

සයුරු ගැබ ඔක්කාරව
කුණු කන්දල් සේරම
වැලි මාලිගා ද සුන් කර
වීසී කරඇත වෙරළ ට

සාප කළ මුත් මුහුදට
කවුද දැක්කේ දියඹ පැසවන දුක

භාරත තනපුඩුව යට
එකම කිරි බින්දුවට
ගොම කුරුමිණි වැහුවම
කිරි දරුවෝ තටු කඩා ඇත

බැන්නා ට අරගලය ට
දුටි ද හොරරැළ එකතුවන රඟ
View Poem

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

2022 අගෝස්තු කලාපය

කලාත්මක පැතුමන්

තාත්තෙ මොනවාද අඳින්නේ
අද මුහුරත් උළෙලට .......
මම නම් මඟුල් ගෙදරට
යනවා වාගෙයි අඳින්නෙ,....
කලාකරුවාණන් ගේ
දුරකථන පිළිතුරු තම පුතුට,...

සිංහබාහු චිත්‍රපට
මුහුරත් උළලේ,....
කැපීපෙනුණේ ඔබ
රන්වන් පැහැති ඇඳුමින්

නරඹන්නන් විස්මිත කරමින්
අයස්කාන්ත රංගනයෙන්
සිංහබාහු චරිතය පණ ගන්වමින්
කලා ලොව සොලවමින්
රඟ පෑ කලාකරුවානෙනි,......
උතුම් නිරෝගී සුව ලබමින්
එක්වන්න අප අතරට
සියලු දෙවි පිහිටෙන් !!!!

ගිඡිදානෙනි වන පෙත් අරණට
සොයාගෙන ඵන්නම්,.....
ලැබූ සැනකින් ඉන්ධන
වෘක්ෂ ලතාවන්ගේ
ඖෂධීය පිහිටෙන්
නිරෝගී සුවයක් ලැබ
එන්න අප අතරට
නොබියව,.....
ගිඡිදානෙනි,..
ඔබ නිදොස් කොට නිදහස්කර හමාරය.





16/7/2022
View Poem

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)

2022 අගෝස්තු කලාපය

මධු විතින් සැඟැවුනු යාතාර්ථය....

බිඳෙන් බිඳ හිස්වෙනා මධු විත
පිරවිය හැකි නමුදු යළි යළි
දිනෙන් දින ගෙවෙනා වූ දිවි මල
පරව යයි ප්‍රමුදිතව නොම යළි

සෙමින් දිව යද්දී රස මධු
ගත නහර පුරවාන සැළි සැළි
වයස අමතකව සිතිවිලි
නැගෙයි සඟවාන සම රැළි

නග්න අඩවන්වු නෙතු යුඟ
බොඳකර දසුන් සියුමැළි
විඩාපත් මහළු ගත සිත
පුබුදුවාලා මවයි හසරැළි

මත් වී තිරිහන්ව නින්දට
ගියද තරුනකුව හැඩිදැඩි
පසු දා අවදි වී බැළු සඳ
හොල්මන් කරයි මහළු සෙවනැළි....
View Poem

ඩිල්හාන් ෆොන්සේකා ඔස්ට්‍රේලියාව

2022 අගෝස්තු කලාපය

උක්ත අහිමි ආඛ්‍යාත

ක්‍රියාවක් කරන්නා තමයි උක්තය
කරන ක්‍රියාව ආඛ්‍යාතය
ක්‍රියාවට ලක් වෙන්නා තමයි කර්මය
"ඔය බොරු" මම කිව්වා මිස්ගෙ මූනට
"උක්‍තයක් නැතත් ක්‍රියාවන් කෙරෙනවා"
රතු වෙලා මිස්ව තරහට
ඉස්සුවේ නැතත් වේවැල
රැදිලා තිබුනා මිස්ගෙ සුරතෙම
" ළමයෝ වාක්‍යයක් උනත් කර්ම කාරක
කරන්නෙක් ඉන්නවා ඒ තමයි නියමය"
මම හිටියෙ ඇස් හරව ගෙන බිමටම
"හොදයි කියනවකො තමුන්ගෙ උදාහරණය"
මතක් වෙන්නෙම අක්කගෙ කඳුළු පිරි මුහුණම
"අක්කා තමයි කර්මය"
"බඩට ලමයෙක් දීලා ආක්‍යාතය”
"කොහෙද මිස් එතකොට උක්තය?"
"මරන්නම හැදුවත් අම්මා ඒකිව
කිව්වෙ නෑ උක්තයක් ඇති බව
අක්කා හරි බයයි මිස් අම්මට
උන්නා නම් සහතිකයි කියනව ඒකි ගැම්මට
මිස් හිතන්නෙම උක්තයක් ඕනිමද ආඛ්‍යාතයකට?
View Poem

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2022 අගෝස්තු කලාපය

අත සැපීම...!

කන්න දුන් අත සපන බව ඇත අසා සැම, පොඩි කාලයේ...
මෙන්න බලනුව එවන් දසුනක්
ගැලපෙනා ඒ තාලයේ...
දුන්න කල අප උදව් යම්කිසි අයෙකු හට ලෝ ගෝලයේ...
පන්න පන්නා සපන්නේ මේ ලෙසිනි,
නෑ තෙත ඒ ලයේ...

කිරි පෙවූ නයි දස්ට කළ බවකුත් ඇතේ නිතරම අසා...
තිරිසනුන් හට සිතනු බැරිකොට සමා දිය හැක ඒ නිසා...
සිරි මවා සිනහා පපා එන මිනිස් කැල කරතත් ගොසා...
නරි වගේ හැසිරෙනා කලනම්
එපා වනවා හද නසා...

මුලින් පානා සෙනේ කෙලෙසද වෙනස් වන්නේ , එක සැනේ...
දලින් විස පිට කරන අයුරින්
දොඩවමින් එහෙ මෙහෙ වැනේ...
කලින් කල ඒ පැහැ වෙනස් වන රෝගෙකින් පෙලෙනව දැනේ...
තුලින් හද පැන නගින්නේ දුක
සිහි කැඳවමින් වැදි, ඇණේ...

දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා. දෙහිවල .
Attachments area
View Poem

දමයන්ති රූපසිංහ බ්‍රිස්බේන්

2022 අගෝස්තු කලාපය

හඬන ලක්මව

තුන් තිස් පැය ම පිරිතෙන් මය ගතවෙන්නේ
පැතුවට පැතුම් නෑ රට නම් ගොඩ යන්නේ
දුෂ්කර සමය කරුමය බව නොසිතන්නේ
මොළගෙඩි කොහිද ලොකු තැන්වල මිනිසුන්නේ

අතහිත දීලා සුළු නිපැයුම් කරුවන්ට
ලෝකයේ අනිත් රටවල් යයි ඉදිරියට
ලක් මව යන වගක් නොපෙනෙද පසුපසට
ඉදිරිය අඳුරු මය නිපැයුම් නැති රටට

දළදා මැදුරෙ, කැළණියෙ සහ අනුර පුරේ
හැංගූ කාසි එළියට ගෙන මෙදා සැරේ
පැදුරේ ඉන්න මිනිහව තිබ්බොත් මැදුරේ
මහ සඟ රුවනටත් දෙව්ලොව දොරක් ඇරේ

සෝ ගිනි දැවෙයි දකිනා සැම පුවතකම
දින දින වැටෙන හැටි දැක මගෙ උපන් බිම
නැඟි කඳුලකින් තෙත් වුණ ඇස් දෙකෙන් මම
ලියවුණ කවියෙ දොස නොදකින් මිතුරු සැම
View Poem

දීපා ද සිල්වා - ලන්ඩනය

2022 අගෝස්තු කලාපය

සද කැලුම් ....

වැව් කන්ඩියට නෑගම් එන පුර හදට
පාවඩ එලන්නට සැරසෙන තරු කැලට
යහන තනන්නට වෙහෙසෙන නිල් ගැබට
චාමර සලන්නට හැකි වෙද මද නලට

සද කැන් වැටී දිලිහෙන රන්වන් වතුරේ
සේරුන් නා ගනී කලකින් ලද මිහිරේ
සෙවනැලි රග දේවී කෙකටිය මල් පදුරේ
නිදිගත් ඕලු මේ සිරි බලනට ඇහැරේ

වවුල් පියාපත් වදිනා නාදයට
දවුල් බෙර පදය පරයන තාලයට
දිවුල් ගහේ එල්ලී සිටි සාරයට
තැවුල් නිවේ මේ සුන්දර කාලයට

මෝරා වැඩෙන සද මඩලේ කාන්තියයි
කුමුදු කුසුම් සිත් පුරවන ශාන්තියයි
සිතුවිලි ඉමක තනිකරවන රාත්‍රියයි
සරතැස නිවා මල් පුදින සුයාමයයි

සැම සුවදින්ම පෙරමුණ ගත් සිල් සුවදයි
නල මුදු රැල්ලෙ දැවටී ගත සිත සනහයි
බෝ පත් සද කැලුම් සමගින් බණ තෙපලයි
හදවත් නිවාලන දම් සාදයේ සිසිලයි
View Poem

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2022 අගෝස්තු කලාපය

හොරුන්ට යති කඩේ

නිතර අම්ම පුංචි කාලෙ යැව්වා මාව කඩේ

තිබුණෙ රොබට් අයියලාගෙ ගෙදර පුංචි ඉඩේ

වෙහෙස නිසා පැදන් ගිහින් මගෙ සයිකල් ලඩේ

ඉතුරු සල්ලි වලට ස්වීට් දා ගත්තා බඩේ

පුරුදු වෙනව මේ විදිහට ගමේම කොලු නඩේ

සහය දීම වරදක්‍ නැහැ නිකං ඉන්න විඩේ

නරක මේකෙ ලොකු වුණාම පෙන්වා වැඩ කිඩේ

නැතිව සංගෙ දෙස්පාලකයින්ට යෑම කඩේ

කැමහි එකා කළත් අමන වැරදි නොයෙක් හැඩේ

නොපෙනි වගේ සිටින එකත් ලක්ෂණයකි ලෙඩේ

නොලැබ වුණත් ගරු සේවෙට එකක් පුංචි වඩේ

නොගහ අමුඩෙ පීනනවා බැහැලා වසුරු ගොඩේ

දැවුන පුස්ථකාලය ගැන ගැලුව දිගට හොඬේ

කඳුළු නොමැත පාසැල ගැන වැසුව නෙතඟ තුඩේ

ඇසෙන විටදි හොරකම් ගැන රකින සීල කැඩේ

කැතයි නැමෙන හැටි හොරුන්ට වගේ නමන කුඩේ

රකිනු පිනිස පාහරයින් බොරු බේගල් දෙඩේ

ගහල යද්දි සුනාමියෙන් පලක් වෙයිද අඩේ

අතැර නොදා ගියොත් තවත් රට එරෙන්නෙ මඩේ

මෙයට ගෙවයි මතු පරපුර හෙට දිනයෙදි දඩේ
View Poem

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2022 අගෝස්තු කලාපය

මේ ණය ගෙවා මිස කෙලෙසක මිය යම් ද

බත් දුන් ගොයම
ලය දී පණදුන් දෙරණ
මා ගත නහර ලේ බිඳු
පණ දුන් දෙරණ
අත දරුවකු ව මහ මිනිසකු
කළ දෙරණ
මට අමතක ද
මා ණය ගැති බව ඔබ ට

මා ඉපැදුනේ
මගේ ලෝකය වෙනුවෙන් ද
තනතුරු ඉසුරු
සුව යහනාා වෙනුවෙන් ද
සාරය ඔබේ
මා මිනිසකු නොකළේ ද
මේ ණය ගෙවා මිස
කෙලෙසක මිය යම් ද

මහ වැව් තනා
නිල් ගොයම ට පණ දෙම් ද
කවු . ගී ලියා
ඔබේ ගුණ කඳ නමදිම් ද
සටනට ගොසිිින්
ඔබ වෙනුවෙන් දිවි දෙම් ද
මතු පරපුරට
ඔබ කෙලෙසක රැක දෙම් ද

2010

අප දෙපයින් සිටුවා මහ මිනිසුන්
කළ දෙරණ ට අප ණය ගැති බව
අමතක කළ හැකි ද ? .අප ඒ ණය
නොගෙවා මිය යතොත් අප කවර
දරුවෝ වෙමු ද ?
View Poem

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

2022 අගෝස්තු කලාපය

රට වටේ වැට ගසනු

වල් ඌරු රැළ කැකුණ ගෙඩි තලන වෙලේ

හබන් කුකුළට නොවෙ ද රජ මඟුල මලේ ?

පුරවැසින් හබ කරත බෙදී තම පිලේ

දැයේ උරුමය වැටෙයි සොර සතුරු දැලේ

හොඳ වෙදුට ඉඩ දුන ද සිහි සිඳින නිලේ

දෙමු ද අවයව සොරුට සැත්කමට බලේ ?

වකුගඩුව ගැලවුණොත් ඉඳිත සැත් හලේ

සුව විණැයි රැවටිලා කිම ද ඇති පලේ ?

වෙන්දේසි කරුවන්ට ආ විටදි දළේ

රට-දැයෙහි හතර කොන අලෙවි වෙයි පොළේ

හෙට දිනක් පතන්නන් ගොනු වෙලා රැළේ

රට වටේ වැට ගසනු, ඇතොත් සිහි මොළේ ....!
View Poem

හසිතා ඉන්දීවරී දාස්වත්ත

2022 අගෝස්තු කලාපය

කුරිරුය ලොව දම්

නෙළා ගත්තු
මලෙක
රැඳෙන්නෙ නැහැ
සුවඳ

දකින කලෙක
මලක
නෙළන්නෙමැයි
සිතෙන

නොනෙළුෑ මල
දකිත
හද පැලෙතැයි
සොවින

නෙළන කලට
මලෙක
රැඳෙන්නෙ නැහැ
සුවඳ

2021. 01. 05
View Poem

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

2022 අගෝස්තු කලාපය

සෙල්ලම් බඩු

සෙල්ලම් බඩු

දරුව, කොයිතරම් සතුටින්ද නුඹ!
උදෑසන පටන්ම, දූලි පිරි බිම හිඳ
කෝටු කැබැල්ලකින් සෙල්ලම් කරමින්

නුඹ දෙස බලා සිනාසෙමි
ගිණුම් වැඩ කර පැයට ගෙවුම් ලබමි
සමහරවිට නුඹ මදෙස බලා සිතනවා ඇති
"කොයිතරම් මෝඩ සෙල්ලමක්ද… උදේ වරුවම නාස්ති කරගන්න!"

දරුව, කෝටු කැබලි හා කෝම්පිට්ටු වෙත ඇලී හිඳින්නට
මට දැන් අමතක වී ඇත
මා සොයන්නේ මිල අධික දේ ය
රන් හා රිදී ගොඩවල් එකතු කරමි

නුඹ නුඹට සොයාගතහැකි දේ ඇසුරෙන්
සතුටු සෙල්ලම් මවා ගනී
මම මට කවදාවත් ලබාගත නොහැකි දේ වෙනුවෙන්
කාලයත් ශක්තියත් වැය කරමි

මගේ දුර්වල ඔරුවේ නැඟී
ආශාව නම් සයුර තරණයට වෙර දරද්දී
මාත් නිරතව සිටින්නේ සෙල්ලමක බව
අමතක වේ මට

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the poem Playthings by Rabindranath Tagore

Link to Original poem https://www.poetryfoundation.org/poems/45671/playthings
Poet’s bio translated from Britannica
Copyright free photo from pixabay

1861දී ඉන්දියාවේ කල්කටාවේ උපන් රබීන්ද්‍රනාත් තාගෝර්- කවියෙක්, ගීත රචකයෙක් කතුවරයෙක්, චිත්‍ර ශිල්පියෙක් සහ දාර්ශනිකයෙක් ලෙස හැඳින්විය හැක. ඔහුගේ සාහිත්‍ය නිර්මාණවල භාවිත කර තිබෙන විචිත්‍ර ගීතවත් බස නිසා ඒවා ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ප්‍රචලිත විය. තාගෝර්ගේ ගීතාංජලී කෘතිය වෙනුවෙන් 1913දී නොබෙල් සාහිත්‍යය ත්‍යාගය පවා පිරිනැමුණි. බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ජාතික ගීයන් ඔහුගේ නිර්මාණ වන අතර ශ්‍රී ලංකාවේ ජාතික ගීයටද ඔහුගේ ආභාෂය ලැබුණු බව කියවේ. සාහිත්‍ය ලෝකයට මහත් සේවයක් කළ රබීන්ද්‍රනාත් තාගෝර් 1941 දී අභාවප්‍රාප්ත විය.
View Poem

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

2022 අගෝස්තු කලාපය

ස්ථම්භය

මතක දිවේ ගව් ගණනක් ඈතට
කහට ගසේ දිගිලිය ගම්මානෙට
මොර ගස් පීදී මහ දං රෑණට
අතු අග බර වී පොකුරු ගැසී වට...

දෙමාපියන් දෙදෙනා අයියා හා
අක්කා සමගින් සතුට බෙදාගෙන
පුංචි එකී මං සාරියෙ එල්ලී
ආවා මතකයි දුව-දුව පැටැලී...

කොළඹ ඇවිල්ලා ඒ ගම්මානේ
හිටියා මනසින් ගස්-ගල් ගානේ
මතක පොතේ හිටි ගමේ ළමයි හැම
දවසින්-දවසෙ ම ඉරී ගියේ කොළ...
සීලවතී යසවතී ගුණවතී
කේතුමතී රන්මැණික පියවතී
එ වෙනුවට අදේශක එක් විය
මහප්‍රාණ ඇලපිලි නං වැඩි විය!

චිත්‍රෙට ඇන්දෙත් වැව, දාගැබ,කෙත
මන්දිර වෙනුවට පැළයි සෙවිලි කළ
මෝටර රථයක හඩක් නොමැති තැන
“කර-කර” ගෑවේ ගොනු බැදි දෙසකය...

සද්ධ-බද්ධ වී දෙන දොංකාරේ
කරයි මනස නිති අවුල් විකාරේ
කොළඹට කිරි වුව කෙරෙන ප්‍රකාරේ
ගම සුව‍ ‌දෙයි‍ තවමත් ගැමි ආරේ!!
View Poem

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා විශාකා විද්‍යාලය

2022 අගෝස්තු කලාපය

නුඹට කවි ගැයෙත්වා

උනා භවබිය සරා සඳ දැක පිපෙන සුවඳැති කුමුදු මල්
අම්බපාලිය වැන්නවුන් අප'තරත් වයනව මිණි මෙවුල්
කන්නගිය සේ බිඳී හදවත නොදැල්වූවට අග්නි දැල්
බිඳීලා ගිය දෙපලු හදවත් පණ පොවයි ලෝකෙට විසල්

සදා කාලෙට කුස රජුන් සේ කිරුළු නොම'ලන හිමි ළඟින්
මෙදා පතිනී සහක් ඇති හදවතට ආලේ අගුළුලන්
විදා දෑතම කිසිත් නොකියා කුවේණිය සේ නොම කරන්
පුදා වඳිනට සදිසි තනි මව් රජ කරා ඇගෙ දරු රුවන්

ඉසුරුමුණියේ ශිලා ගත වී සිය ගණන් වස් පෙම් කරත්
මෙදා භවයේ දිනක හමුවක් දරා ගත්තා ගැහැණු හිත්
පිපී සුවයේ හිනැහෙනා රත් උපුල් දෑඟිලි අග නැතත්
සුකෝමලියේ නුඹට සීගිරි ළඳුනටත් නැති කවි ගැයෙත්
View Poem

හේමා ඩෙප් - ලන්ඩනය

2022 අගෝස්තු කලාපය

හැදූ මව

මං පුංචි දවස් වල - මගේ පසු පස්සෙන්ම
හිටියෙ මට ලං වෙලා - මගේ ලොකු අම්මාය
ආදරය කරුණාව - වගේ ගුණදම් වලින්
ඇය ඉතා පොහොසත්ය - කියා මට කිවහැකිය
තනිකඩව හිටියාට - ඇයට තනිකමක් නැත

උදෑසන නැගිටලා - මගේ මුව දොවාලා
කිරි ටිකද පොවාලා - ලස්සනට අන්දවා
නලල මැද කළු පාට - තිලකයක් තබාලා
ආදරෙන් සෙනෙහසින් - ඇගේ උකුලට අරන්
මගේ හැඩ බැලූ හැටි - අදත් සිහියට නැගේ

මහන්නට ලස්සනට - කරන්නට ගෙත්තම්ද
ඇගේ මුළු ජීවිතය - හැම අතින් බැබලුනේ
හිතන්නට බැරි තරම් - ඇගේ දස්කම් මතය
ගමේ පොඩි කෙල්ලන්ට - ගවුම් පොඩි මසාලා
අන්දවා හැඩ බලා - විදි සතුට අපමණයි

මා ඇගේ මැණික යැයි - සැම විටම පවසලා
මගේ මුව සිප ගත්තෙ - ඇගේ මුළු ලෝකයම
මා මිසක් වෙන කෙනෙක් - නොවන බව කියමින්ය
මා ඇගෙන් ලබාගත් - සෙනෙහසක මහිමයද
මගේ මුළු හදවතෙහි - සදාකාලිකව ඇත

සෑම මසකට වරක් - බුදු සමිඳු ඉදිරියේ
මල් පහන් දල්වලා - සීලයක පිහිටලා
අපේ හදවත් වලත් - ගුණ දහම් පුරවන්න
මහත් ආසාවකින් - ජීවිතය කැප කලේ
ඇගේ මුළු හදින් බව - මගේ සිහියට නැගේ

කුස්සියේ පාලනය - ඇගේ තනි මතයටයි
සේවකයො පිරිසගෙන් - ලබන සහයෝගයයි
ඇගෙ අතින් නිමවෙන්නෙ - රසම රස බෝජනයි
ඇගෙ අතින් බත් කවා - මිස මාව සනසන්න
මගෙ මවට ඉඩ නොදෙයි - අයිතිකරු ඇය කියයි

මා කොතෙක් කෑවත් - හොරෙන් ඇය ළඟ ට ගොස්
ඇගේ බත් පිඟානෙන් - මම කටක් නොකෑවොත්
මගෙ බඩට මදි බවක් - හැමදාම දැනී ඇත
ඒ ඇගේ ආදරය - මට ලැබුණ සම්පතයි

කොහෙ ගියත් ඇය යන්නෙ - මගේ මුව සිප ගෙනය
දඟ නොකර ඉන්න යැයි - සෙමින් මතුරා ගෙනය
මා කරන හොර වැඩත් - අම්මාට නොකියන්න
වග බලා ගත් මගේ - එකම යෙහෙළිය වුනේ
මගේ ලොකු අම්මාය - මා හැදූ අම්මාය ....
View Poem

2022 අගෝස්තු කලාපය

ජීවිතේ මට බයක් බං

කටට හරිම කාලකණ්නි රහක් දැනෙනවා බං
අසරණකමයි, සල්ලි නැති කමයි
පැලෑනක් පෙන්නන්නෙම නෑ
ජීවිතේ බයක් බං.

පුතාගේ පන්ති සල්ලි
දූට අලුතින් සපත්තු
වයිෆ්ගේ සීනි බෙහෙත්
කිසි දෙයක් හිතා ගන්නවත් බෑ බං
පර්ස් එක සූරල සූරල
වීල් එකට ලීටර දෙකක් ගැහුව
වැඩට යන්නත් එපෑය
නැතිනම් පඩි කපනව
ජීවිතේ මට බයක් බං.

පෙරේදා ගත්ත ඇඩ්වාන්ස් එකෙන්
යන්තම් සිලි බෑග් එකකට බඩු ටිකක් ගත්තා
රෑට උයන්න දෙයක් නෑ කියල වයිපරේ අද උදේ කිව්වා
ඊයෙ දවාලට කාපු ගමං ඒ ගෑනි මුකුත් කාලවත් නෑ මයෙ හිතේ
මං කාපු පාං කෑල්ලෙන් ඒකිටත් කැව්වා උදේ
සිනී වලට පාං හොඳ නෑලු දොස්තරයනම් කිව්වා
ජීවතේ හරි බයක් බං.

කෙල්ල ගේ ඇතුලෙමයි
ඉස්කෝලෙ යනවා විතරමයි
අලුත් ඇඳුම් ඉල්ලුවේ නෑ කාලෙකින්
කොල්ල පාඩම් කරනවා
භූමිතෙල් නැති නිසා ඒකා
රෑට කලියෙන් නිදනවා
උන් දෙන්නටම දැන් තේරෙනව
ජීවිතේ මහ බයක් බං.

සති දෙක තුනක වෙලේ ඉඳලා
මගේ කකුලත් ඉදිමිලා
ප්‍රෙෂර් වෙන්නැති වයිෆ් කිව්වා
ඒත් කෝමද චෙක් කරන්නේ?
සල්ලි නැතිකම දැනෙනවා
ළමයි දෙන්නගෙ ඇස් ඇරෙනකම්
කෝම හරි මං ඉන්නවා
ඒත් උන්ටත් අනාගතයක්
ඉතුරු වේවිද හිතෙනවා.

මගේ දුක සැප අහන උඹටත්
ප්‍රශ්න තියෙනව දන්නවා
ඒත් මොනවා කරන්නද මං
උඹට මගෙ දුක කියනවා
යාලුවෝ මට හිනා වෙනවා
වෙනස සැපදැයි අහනවා
හරි බයයි බං ජීවිතේ ගැන
ඉන්නකම් දුක ගෙවනවා.
View Poem

කෞශල්‍යා ජයලත්

2022 අගෝස්තු කලාපය

කුහුඹු ජන පෝලිමේ දී ය.

පියාපත් දර ලිප දැවෙමිනි
සුදු සළු අඟුරු පෑයට හැරෙමිනි
තවනා රිදුම් තෙල් සිඳෙමිනි
කෙකිණිය බිඳෙන් බිඳ මියෙමිනි

තෙල් පෝලිමක වැනි වැනි
කිඳුරා රැය පහන් කරමිනි
පිණි හී ඇනී හඬමිනි
සඳ කිඳුරු දා කව ළසොවිනි

සැරිසර තෛල හිඟයෙනි
සංචාර තහනම් කෙරෙමිනි
ඇසුර සීමා කරමිනි
දුර සිට වැළඳ ගමි මිතුරනි

තක්සලා නුවර දොර වැසෙමිනි
ඔන්ලයින් සිප්සල් ඇරෙමිනි
සිග්නල්, කාසි හිඟ දරු මිණි
නියම් ගම් දොර සොවින් තැවෙමිනි

තෙල් පොහොර අහිමි වූ කරුමෙනි
පැළපත කෙසඟ වී මියැදුණි
කෙත්පල් යැදුම් යදිමිනි
දරු කැල සැකිලි සිරුරිනි

දියවන්නාව සතොසිනි
දිවිය සැණකෙලි සිරියෙනි
කරවෙමිනි වැස්සට තෙමෙමිනි
කුහුඹු ජන පෝලිම් ගලමිනි
View Poem

කපිල කුමාර කාලිංග

2022 අගෝස්තු කලාපය

කෙටි කවි හතරක්

1) ඇහිඳ ගතිමි
කවක්
පදිකවේදිකාවෙන්
මිලක් ඉල්ලයි
එයත්.

2) සායම් හැළුණු
කඩදාසියෙන්
අඟනක් එබෙයි
මා දෙස.

3) කතක් දෙස රුවැති
බලා සිටී සිත්තරෙක්
තැබීය අත්සනක්
ඈ බඳ මත
පුරුද්දට .

4) සුදුම සුදු
කමිසයක
කළුම කළු
පදක්කම්

2022/07/05.
View Poem

කපිල ෆොන්සේකා කොළඹ

2022 අගෝස්තු කලාපය

කවදා හෝ

මේ ලොව මත
යම් දවසක
හැබෑවටම
නුඹ විතරක්
තට්ට තනියමේ ඉඳීවි

හැබෑවටම නුඹ විතරක්

හරියට
වැලි පිරි කතරක් හරි මැද
නූල් පොටක් ඇඟ නැති වී
නිරුවත් වූ සේ දැනේවි
නුඹ විතරක්

නැතිනම්
වග වලසුන් මිග ලේනුන්
කිසිවෙක් නැති
ගහකොළ මියැදුනු වනයක
මග වැරදී
තනි වූවා සේ දැනේවි
නුඹ විතරක්

ආං එවිට
කවුළු පියන් පත මත ඉඳ
සියොතෙකු එබිකම් කරාවි
ඇඳ මත වැතිරී ඇති මේ
අර්ධ කාය දෙස බලාවි
උගෙත් ඔබෙන් නෙතු ගැටේවි
දිගු මොහොතක්
ඇසිපිය නොහෙලා ඉඳීවි

යළි බලද්දි
කවුළු පියන් පත පමණක්
තවමත් සැලෙමින් තියේවි ...

©කපිල 2022 ජූලි 12
View Poem

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2022 අගෝස්තු කලාපය

ප්‍රබුද්ධවරියගේ මරණය හෙවත් ප්‍රවද්ධ යබුරිගේ රමණය

ඒ රමණයා රම්‍ය වඩන්නට
“රමහාව” නම් වූ රමණීය සමඟ
රාගයෙන් උමතු ව - රංජනයේ
දඟ දනු දිටී රම’ඹුව...

* “...නිදිබර සුසුම් රොදක්-රහසක් මා සිතට කියයි...
සියුමැළි ඇඟිලි තුඩක් මා ඇසිපිය සෙමෙන් සිඹියි...
පතුල සිඹින වසින වරල - ගන මේකුලු හිසිනී
දෙතන දෙකඳු මැද ඇලි-ඇලි - ගලන දුහුල
රමණී...නිලන නිමල සිහිලිඹ පිරි - නයන

1
පොකුණු සොබනී...සසර කතර ගිම් සනහන
කෙම්බිම ඔබ මරණී...”
මන්දාර උයනේ - මන්දාර ලතාවක්
සේ ය ඇගේ රූ අසිරිය...
මන්ද ජනනීය වූ මන්දලෝචනය ඇගෙ
සැරසුණේ බිඳින්නට මායිමේ වැට කඩුලු...
මන්දානිල හමන මන්දාරම් වෙලාවේ
මන්දෝන්මත්ත වූ සිතට
පහර දුනි රතියෙන්-පහර දුනි රතියෙන්!
මන්මාලයේ ඇති මදසන් මැදිරියට ඇගෙ
බඩගෑවේ ය රහසින්-බඩගෑවේ ය රහසින්!!
වැරැද්දක් සිදු ව ඇත - මම නිවැරැදි කරමි එය
“මරණී (ය) -රමණී (ය) ලෙසින්!”
* “...සියලු සැප අවසානයෙහි ජීවිතේ
විඳින පරමානන්දයකි මෙය...”
අහා! බලව-බලව හිතවත!!-පරමානන්දනීයයි!!!

2
* “ගිලන් ඇඳේ මා තනි ව ම සිටින විට
අඹු-දරුවන් ළං වෙත මා හදවතට
නිරන්තර ව නැ`ග-බැස යන
ගිලාන කෙදිරිය තුළ - උන්ගේ කටහඬ
මට ගමින් ඇසෙයි-සිහින් සරින්...
ඊ.සී.ජී.එක්ස්රේ...හෘදරෝග
රමණීට අසනීපයි වහා එන්න...”
අහා! බලව-බලව හිතවත!!-වෙස`ගනක් ද කොහෙද... නැත්නම්... ගෑනියක් කියන කතා ද
* “මං නරක ලු! වල් ගැහැනියක් ලු!!
ඔක්කොම මගෙ යාලුවෝ...
ඒ වුණාට මං කැමතියි ඒ ඔක්කො‌ටො ම...”
මේ මටත්...!! ඉටි ගෙඩිය!!! මොන විහිලුවක් ද?
* “රමණී මම කීවෙමි...රමණී...නෑ මම මරණී
මරණී...(රමණී)... - රමණී...(මරණී)...
මම අද නුඔට කියමි - මම නොමියෙමි
2
යළි උපනිමි...මට බෑ ඔබත් එක්ක
ජීවිතයෙන් පැනල යන්න...වඩා කැමති
ජීවිතයට...ඔබට වඩා එය සො`දුරු ය...!”
කෙහෙම්මල! නුඹ කියන්නේ... ගැහැනිය නැති ජීවිතයක් ගැන ද...
එහෙමත් නැත්නම් ගැහැනියක් නැති ජීවිතය ගැන ද...?
එතකොට, ප්‍රබුද්ධවරිය...??
රමණී මළේ ද...???
මම නම් නොදනිමි, හිතවත!!!

* රත් වණින් ඇත්තේ මහගම සේකර ශූරීන්ගේ“නොමියෙමි” යන කාව්‍ය සංග්‍රහයේ සැහැළි කොටස් කීපයකි. ඊට විකල්ප ව, මා - මගේ සැහැළිවලින් මේ සැහැළිය නිර්මාණය කළ බව කරුණාවෙන් සලකන්න. ඒ මා සේකර ශූරීන්ගේ “නොමියෙමි” උකහා ගත් එක් අවස්ථාවක් විදහා දැක්වීම උදෙසා ම පමණි.

2022/08/01
View Poem

කමනිකා මොහොට්ටිගේ

2022 අගෝස්තු කලාපය

ගජගා වන්නම .. .

'දෙව් පුර ඇතෙකි
කුඹු දහසයකි ..
දිග දළ අටකි
සත් ගැබකි ' ....
.
පියුමකි- ඇතෙකි,
කණ්ඩුල ඇතෙකි,
තවෙකෙකි බෝසත්
දළ දුන්නේ...
.
වෙඩි කෑ පියෙකි
දළ කැපු හිසකි
හනු පිපිරුමකි
ලේ මැද මවකී ..
.
තනි වූ පුතෙ කි
කෙඳි නැති කය කී
ගජගා නම කී
වන්නම කී ....
View Poem

2022 අගෝස්තු කලාපය

කෝ. ආනන්ද හිමිට

ඒ එල් පංතියේ නව කව්සරණියට
රස දුන් නිසා තවමත් ඇත කවි මනස
හිමියනි, ගුරු පියේ ඔබගේ මුව කමල
දුටු විට මතකයට ඒ මාතොට නුවර

යන එන හුස්ම පොද සඟවාගෙන පෙරට
ගිනිගෙන දැවෙන දිවයින ' විනිවිද 'දුටුව
ඔබගේ තෙලි තුඩේ රැඳි මව්බිම ලකුණ
අදටත් වටී මොළයක් ඇති මිනිසුන්ට
View Poem

ලක්ෂ්මි දමයන්ති

2022 අගෝස්තු කලාපය

ඔබ හමු වීමට මම පින් කල බව දනිමී

ආචාර්ය ලක්ෂ්මි දමයන්ති
බින්ග්හැම්ටන් විශ්ව විද්‍යාලයය
නිව් යෝර්ක්

නෙත් මානෙක නැතත් සොඳුරු කතා ඇහෙනවා
ඔය සෙනෙහස දැනී හිතේ කඳුලු ලිහෙනවා
ළං වෙන්නට බැරි තරමට දුරකි දැනෙනවා
මහා බරක් උසුලා ගෙන කන්ද නඟිනවා

දුෂ්කර ගමනෙක යන දුක සැප දරා ගෙන
ගැඹුර දනිමි නිසලව ගලනා වු ගඟුලෙක
හැපි හැපි සැඩ පහර කකා යන්නෙ නිහඬවම
අපෙ හිත් මෙතරම් සියුමැලි වුණේ කොහොමද

ආදරයට ආදරයෙන් පවසමි සබඳේ
ළං වී ඉන්නට පමා වැඩියි මේ සසරේ
එක් වී හිනැහෙන්නට ලැබෙනා හැම මොහොතේ
ලද දේකින් සැනහෙන අපෙ හිත් සරලයිනේ

දුන්හිඳ අද්දර ඉඳ ගෙන අපි කවි ලියමූ
සඳවතියට දුරින් ඉඳන් අපි අත වනමූ
සෙල් ලිපියකවත් නැති පෙම් සබැඳුම් හොයමූ
හමු වීමට ලද පින් මහිමයෙන් සැනහෙමූ

--
View Poem

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2022 අගෝස්තු කලාපය

අම්මා නැතිව....

වසරක් ගෙවුණු බව නම් නොදැනුන ගානයි
නිතරම දකින්නේ ඔබ සිටිනා හීනයි
ඔබ නැති බවක් සිත පිළිගන්නැති වාමයි
ඔබ හා කියන්නට ඇති දේ නම් බෝමයි

දොඩමළු වෙමි සිතින් ඔබ සිටිනා සේම
කට හඬ ඇහෙනවා වාගෙයි පෙර සේම
ඉමිහිරි මතකයන් සිහියට නැගුනාම
අද ඔබ නොමැති බව ඉවසන්නද කෝම

අඩුවක් නැතිව තිබුනත් අන් හැමදේම
ඔබ නැති අඩුව දැනෙනව මට හැමදාම
යන්නට ගියත් සුර ලොව වෙත නොකියාම
අම්මේ ඔබෙ සුවඳ මට දැනෙනව තාම

නවතාලිය නොහැක බේරෙන කඳුළු කැටී
පිරිමැද මගේ හිස යස'සිරු පැතුව හැටී
ගුණ සිහිකරමි ඔබෙ රුව ළඟ දණින් වැටී
අම්මේ ඔබේ මතකය මට ලොවක් වටී

සිහිනෙන් නිතර මම ඔබෙ තුරුලට වදිමී
සෙනෙහස පිරුණු ඇකයේ උණුසුම සොයමී
අප්පච්චිත් ළඟින් හිඳ හිනැහෙනු දකිමී
ලෝබයි අවදිවෙන්නට සිහිනෙම සරමී
View Poem

මාලිනී වික්‍රමනායක - කොළඹ

2022 අගෝස්තු කලාපය

දුකට ලියූ කවි

ඔබ තැනු සුන්දර කොළඹින් ඈත් වෙලා
ඇවිදින මං තීරු ඔබහට දුරස් වෙලා
යුද ගිනිදැල් දැවුණු මතකය උරණ වෙලා
අමතක නොවන මගෙ මතකය අලුත් කලා

ඔබ කල යහපතෙදි ඔබ හා ළඟ උන්න
වටයේ සිටිය අය ඔබ ඔසවා ගන්න
වැරදුනු තැනදි ඔබ පමනක් තනි වන්න
හේතුව බැරි උනා ඔබ හට දැන ගන්න

බොදු සිහලුන්ව ඔබ සිහසුනෙ තැබුව කියා
වැලිකතරකට ඇයි ඔබ ගියෙ සරණ සොයා
බොදුකම නැතත් ඒ මිනිසුන් පෑව දයා
ගුණයට මගේ හිස නැමෙනව සතුට කියා

ඔබ කල යහපතින් ඔබෙ දිවි ගලවන්න
කෙනෙකුට බැරිඋනා ඔබෙ ලේ සොලවන්න
ඒ දුර වැලිකතර රැකවරණය ගන්න
පතනෙමි සියලු දුක් කරදර දුරුවන්න!
View Poem

මයුරි කොඩිකාර ගම්පහ

2022 අගෝස්තු කලාපය

කණ කැස්බෑ නෙතක්

රන් කිරි කට ගෑ නැකතක් උරුම නැතී
සත් වටයක් කැරකෙන ඇත් රජෙකු නැතී
මව් කුසයක් පමණකි සෙනෙහසද නැතී
පින් පිරුවට අඳුරට හිමි සඳද නැතී

පිය පෙළපත ඉරකින් ඇඳ සපත වුනී
හිස සෙවනට අනත් නිවස සරණ දුනී
අරුමෝසම් සෙල්ලම්බඩු සිහින මෙනී
අඩක් පිරුණු කුස නිතරම හඬනු දැනී

මිමි ගිලිහුන ඇඳුමින් නිති සැරසෙන්නම්
රස මසවුලු දුටුමුත් තලු නොගසන්නම්
බෙලෙක් කෝප්පයෙ කහටෙනි සැනසෙන්නම්
කැඩුණු සෙරෙප්පුව කටුවෙනි අමුනන්නම්

සුජාත දරු කැළ අභිමුව ගොලුවෙන්නම්
අවජාතක නම අරගෙන වැළපෙන්නම්
නැව මගහැරි නැංගුරමක සිරිගන්නම්
සැඩ රළ පහරට මුව දී නොසැලෙන්නම්

අවුවෙද වැස්සෙද පින්නෙද දැඩිවෙන්නම්
රිදෙන සිතට කෝටුපාර ලැබදෙන්නම්
නෙලුම් මලක් මෙන් මඩපිට පිබිදෙන්නම්
විය සිදුරෙන් යලිදු අහස නොබලන්නම්

අහේතුකව නොයිපදුනත් අනුන්ගේ වරදට දඬුවම් විඳින දරුවන් කෙතරම් වේද....
වගකිවයුත්තන් නොදන්නා සේ හිඳින
View Poem

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2022 අගෝස්තු කලාපය

නිදි කුමාරී නම් නැගිට්ටා

"ඇනුණි දවසක පොඩි තුඩක්
රිදුණි කුමරිට මහ හුඟක්
වැටුණි නින්දට සියවසක්
නැගුණි ආ දින හොඳ කලක්"

එදා තිබුනා පොතක ලියලා
පුංචි සන්ධියෙ තිබුණු පෙරළා
බැරිද ඒ වගෙ වෙන්න කියලා
ඔලුව රිදුනා හිතල හිතලා

මෙදා ඇනෙණා කටු වලට විස
නිදා සදහට ඉමු වසා ඇස
සිතා කුමටද කසකසා හිස
නින්ද නොගෙනෙයි හිස්ව ඇති කුස

ඒත් බැලුවම ආයේ හිතලා
ඇත්තටම අපි නිඳන් ඉඳලා
ඇනුණු කටුවෙන් පණක් ලබලා
නැගිටින්න කාලයයි කියලා
View Poem

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

2022 අගෝස්තු කලාපය

අන්තිම පත්‍රය

නව දළුව ඇහැරුනා, මතුවෙමින් බිදෙන් බිද.
රතු දල්ල බැබලුනා, නලියමින් මද පවන.
වෙනස් කර පැහැය එය, එළඹුනා තුරුණු විය,
කොල පාට තනි කොලය අතු අගෙහි ලෙල දුනිය.

මියැදෙනා තුරාවට අත් නොහැර මිහි මඩල,
රස පොළොව නහර වැල් දිගේ යවමින් අහර,
පෝෂනය ඇරඹුවා, පොවා කිරි තුඩින් තන,
මිහි මඩළ, මහ පොළොව වීය නිති මගෙ මෑණි.

පුතු රකින පියෙකු සේ මා වටා දැවටෙමින්,
තේජසද පතුරමින්, ලහිරු රැස් නහවමින්,
පෝෂනය ඇරඹුවා ජීව ගුණයද දෙමින්,
බෝ තෙදැති හිරු දෙවියො වීය මට පියාණන්.

සුළග හා මුසු වෙමින්, තත බිදින වෙන නදින්,
හීන් ස්වරයන් යොදා රගන නළගන ලෙසින්,
එකින් එක වැහි බිංදු ආදරෙන් නහවමින්,
ගත නිවන වැස්ස විය, සෙනෙහෙබර යෙහෙළි මා.

වස්සාන, ගිම්හාන, සරත් කල් ගෙවී ගොස්
ගත පෙළන, රුදු අදුරු, ශීතයද එළඹුනා.
පැසී ගිය කෙස් ලෙසින් කොල පැහැය වියැකුනා.
පරඩලක් සේ ලෙලෙන අවසාන පත ඉදින්,
ගිලිහුනා නටු අගින්,
නියත, අනියත දමින්.

මෙල්බන් නුවර ශීත ඍතුවේදී
View Poem

නුවන් තොටවත්ත

2022 අගෝස්තු කලාපය

චිත්‍ර ප්‍රදර්ශනය .

"ඇති වෙන්නෙ නැද්ද
ඔය තරම් බලං ඉඳලත්
ඔය ගෑනු රූපේ දිහාම"

පසු පසින් හිඳ
උරහිසට හිස තබා
ඈ මුමුණයි

රාමු කල සිතුවමේ
දිලිසෙනා වීදුරුවෙන්
මට
නිල් නෙතු සඟලක් පෙනෙයි
View Poem

නිශ්ශංක දිද්දෙණිය

2022 අගෝස්තු කලාපය

නිවුන් පෙම - (Twins Love)

නිවුන් පෙම - (Twins Love)

කවිය ගීය මනසේ සිතුවම් ඇන්දා
නුඹ රුව මා නෙත පළමුව හමුවූ දා
හදේ ගැඹුරු කෙත අස්සැද්දුණු හින්දා
පෙම් පුරන්න මං කවියෙක් උනා ද මන්දා

මං නිසලයි - නුඹ සසලයි - මදහස නංවයි
නෙතු - පිය අමතයි - මුවමල් පිබිදෙයි
මගතොට හමුවෙයි - ඉඳහිට නිවසට එයි
කාලය පැනයයි වියැකෙයි - හරි පුදුමයි
මං ඉදිරියෙ ඉඟි පෑ මල්සර ගොළුවෙයි

කවිය ගීය හදතුළ සිතුවම් ඇන්දා
නුඹ රුව මා රුව ඇසුරට හුරු වූ දා
කෙත පාළුව ගොස් මං තනි වූ එම දා
ගොඩක් ම අම්මා තනියම ඉකිබින්දා
View Poem

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

2022 අගෝස්තු කලාපය

… to take me away…

Dear Death, friend of Self-continuity
Though I’ve seen you often
I never wished your company
But on that distinct day
When I had lost my way
In this unfinished journey
Where existence continues
You arrived to take me away
Your courteous request
I most gladly did accept

Seated in that carriage next to me
Was none other than Self-continuity
You, dear Death
Very well knowing
That I the common earthling
Still wish continuing,
Facilitate this ‘closing’
To each sentient being
But for saints when they die
There is no Self-continuity and l

Through window I see beyond
As the carriage slowly moves on
I see sun rising in the east
Another day a new dawn
Though no ultimate bliss - Nirvana
And my destination unknown
In this journey I am not alone
As cause leads to fruit
We reap what we sow
So, it’s needless to sigh
Now towards that new life
For both Self-continuity and I
View Poem

E.W.S.Nayagara

2022 අගෝස්තු කලාපය

Snowflakes

I want to be a snowflake

Pure white and light…

to fall on a top of a tree and see the beauty of the winter…

after sunshine comes I want to disappear…

because I don’t want to see the end of the winter…
View Poem

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම

2022 අගෝස්තු කලාපය

ඇයට නොපෙන්වන කවිය

ඉන්පසු බොහෝ වේදනාකාරී දින උදාවේවි

අතීතයේ අප ගත කල

නිදහස් යෞවනත්වය පිරි දවස්

ඒක පාර්ශ්වික මතකයන් පමණක් වන

ඒ ගැන සිහි කෙරුම පවා

හදවත හිමින් රිදුම් දෙන

අමිහිරි දින බොහොමයක් උදාවේවි

ඔබ නැතුව ඔබ එක්ක ගත කරන්නට

ඔබේ මතකය විතරක්ම ඉතිරි වුනු

එකිනෙකා සනසා ගන්නට

වැඩිපුර නිහඩව මෙනෙහි කරන්නට

අනන්ත රාත්‍රීන් වල

තනිවම මතකය තුල සරන්නට

බොහෝ වේදනාකාරී දින උදාවේවි

හැම විටම සිනාවෙන්ම පිරුණු,

මුරණ්ඩු හිතක් ඇති

තරහ දවස් වල අහක බලන් යන

අවුල් කෙස් ලොකු ඇස් ඇති

උද්‍යෝගිමත් ගැහැණු ලමයා

නැවත නොඑන්නම අතහැර යන බව

ඒ පැරණි දේවදාර ගස් පෙල දැන සිටියාද?

නිය ආලේපන නොගෑ අතැගිලි

සිනාසෙමින් හිස හොලවා කතාකල

නවාතැන් වල නවතින්නට අකමැති

පියාට දැඩි ලෙස ආදරය කල

මේ කුඩා දැරිවිය

ඉක්මනින්ම පියා ලගටම ‍යන්නට යන බව

පියාට වත් කියා තිබුනාද?

ඉක්මනින්ම ඔබේ කෙටි පණිවිඩ නවතීවි

ඔබ එක්ක වෙනුවට

ඔබ ගැන කතා කරන්නට සිදුවේවි

වේදනා මැද ඔබ සිනාසුනු හැටි

සාමදානව වේදනාව ගැන කිව් හැටි

නිවෙන්නට කිට්ටු පහනක් මෙන්

වඩ වඩා ආලෝකවත්ව දැල්වුනු හැටි

හිමි හිමින් නිවී ගිය පසු

මතක වස්ත්‍ර පැන් වඩා සිහිකල පසු

බොහෝ වේදනාකාරී දින උදාවේවි

(වෛද්‍ය විද්‍යාලයේ ලගින් සිටි මිතුරියක දරුණු

පිළිකාවක් සමග සටන් කරන අවසාන දවස් වල

ඇය ගැන සිහිකරමින් ගත කරන

අදුරු වැසි බර රැයක...)

06/02/2022
View Poem

Omindu Bometh Fernando Meopham School - London

2022 අගෝස්තු කලාපය

Poeple always fight

At the end nobody's right
Are these People alright?
They need to have a walk tonight
Look at the moon is somewhat bright
No starts in the sky
like someone is guarding the light
It's really dark at night
Get the ghosts out of sight
View Poem

2022 අගෝස්තු කලාපය

සෙනෙහස

උපන් දවසෙ සිටම සෙනෙහස දැක්කුවා හැම දෙනාම..
මෙවන් ගතියක් මිනිස් ලෝකෙට වටින කරුණකි මනාම..
ලවන් අතරින් ගලන සිනහව දෙනු මැනවි හැම කෙනාම..
නොවන් අමිහිරි හැඟුම් දීමක් ගනිමු දිවි මඟ දිනාම..

ඇත් කුලේ ඇතිනියට පැටවෙකු ලැබුණු විට රකිනව වගේ..
මත් නොවී රාගයෙන් හැම කල බලමු දරුවන්ගෙද දගේ..
සිත් සතන් මත පහන් හැඟුමන් ගලා ඒ මාවත දිගේ..
සත් සියක් කල් උවත් යා හැක දිනුම එය යැයි මට හැඟේ..

පුංචි දරුවන් දෙනෙත් අතරින් මිදී යන විට ලෝකෙට
අංචි අදිමින් අකුල් හෙළුවොත් වැටෙනවා මයි සෝකෙට..
හිච්චි කාලෙදි සැලකුවා වගෙ වතුර දම දම සාකෙට..
කොච්චි කරලක් විලස නොම වී පිළියමක් වෙමු මේකට..
View Poem

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2022 අගෝස්තු කලාපය

ලකට හෙටක් ?........

කුණාටු මැද රුදු සයුරක
සීතල පිරි හිම කතරක
මල් නොපිපුනු වැලි තලයක
ගිනි ගෙන ඇත රට මොහොතක.

නෙතින් කඳුළු කැට හෙමිහිට
දහසක් මල් වැළපෙන විට
නෙතු දල්වා හිස් අහසට
සුසුම් පාව යයි සුළඟට.

නොමැත සහන් නිමේෂයක්
මැළවෙන තරු අනන්තයක්
පැතුම් කඳුළු ප්‍රපංචයක්
නොදකින හෙට වසන්තයක්.

අමන කැළක් රජ වී ඇත
නිමල පැතුම් ගිලිහී ඇත
ලක් මව වැළපී කඳුලින්
දහසක් මල් පරවී ඇත.

නිල්වන් කෙත් නැත සරුවී
රන්වන් කරලුත් හැකිළී
දුප්පත් දන ඇත ගොළු වී
පින්වත් ලක නැත සසිරී.

කියනු කා හටද සෝකය
දරණු නොහැක සංතාපය
කැකුළු නඟන දුක් ලාපය
කාට වැදෙනු ඇත සාපය.
View Poem

ප්‍රීති රන්දෙණිය

2022 අගෝස්තු කලාපය

සෙර කඩුපුලට ඇයි ද ලොලේ

ස්වාමී .... ස්වාමී ...
මේ තනි යහනෙ අද තනි වී
මා කල වරද කියනු මැනේ
බියෙනී .... සැකෙනී
හර්ද ස්පන්දනය ගැසෙනු තදින්
අප සිරි යහනේ ගිනි ඇවිලේ

දිව රෑ ...දිව රෑ
සුවදින් පුරවා
ඔබ වෙනුවෙන් ම පිපුණු මලේ
රවටා ...පිටුපා
සෙර කඩුපුලට ඇයි ද ලොලේ

නොනිදා.. නොනිදා
සදු ආකාසෙන් බසිනු පෙනේ
හඩවා...රිදවා.
ඉර කෝලහල කරනු ඇසේ
දෑසේ ...දෑසේ
දිය සීරාව ගලනු දැනේ
හද මිහිතලය පෙගෙනු සැනේ

වැලපී ....වැලපී
ශෝකෙන් ...බරවී
කඩු තුඩු අගට ගෙල පළදා
ළසොවින් ..තැවෙමින්
සුදු මුදු බාරි හර්දෙ පලා...

1--8--2022
View Poem

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2022 අගෝස්තු කලාපය

අපේ යටගිය මතකෙ වග තුග

දේව මැදුරේ මල් පැසක් ළඟ
තිබෙන අල්තාරයේ මත හිඳ
ඔබ නමින් ගැයු ගීතිකාවක්
අදත් සවනට ඇසෙයි ඉඳ හිට

ජේසු සමිඳුගෙ දෑස් අභිමුව
ගලා ගිය මහ කඳුළු ගඟ මැද
හාස්කමකින් රැඳී තිබුණා
අපේ යටගිය මතකෙ වග තුග

එදා කල්වාරියට ගිය මග
හෙලූ ලේ කඳුලකට දාව ව
උපත ලද ආදරේ නාමෙන්
කුරුසියට බිලි වුනා සනහස

මරියතුමිය ගෙ බාහුවක හිස
හොවාගෙන දුක් කඳේ හැඩ තල
ඇයත් සමගින් බෙදා ගන්නට
දෙව් මැදුර යළි විවර කර ඇත
View Poem

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

2022 අගෝස්තු කලාපය

ඇසළ පෝදා දුටු දසුනක්

ඇසළ පෝදා දුටු දසුනක්

මලයණ්ඩියා රෑ සිහිනෙක හැඬුවාද
අපි දිවි ගෙවෙන හැටි දිවැසින් දුටුවාද
පේරාදෙණියෙ සිට අහසින් වැඩියාද
යාන්තමින්වත් කුසගිනි නිවිලාද

කඳුළු විදින තැන් මැද්දේ හිටියාද
ජාතක කතා වෛවර්නෙට පෙනුනාද
කුළු පොලු වලට අතපය දෙක රිදුනාද
කැකිල්ලේ කොසොල් සිහියට නැගුනාද

ගින්දර ලිපේ තවමත් දැල් වෙනවාද
මොන මොනවා නමුත් තැම්බෙනවා ඇද්ද
මහ පාරටම දෙමාපියන් වැටිලාද
නිදි නැති රැයක හිත චංචල වූවාද

හිරේ විලංගුවෙ පැටලෙන්නට වේදෝ
වානේ පන්නරය එතකොට දැඩි වේදෝ
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේදෝ
හිමි සඳ දිනෙක සසුනඹරට පායාදෝ

13.07.2022
View Poem

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2022 අගෝස්තු කලාපය

යුරෝපයේ ලැව් ගිනි

(මේ දිනවල යුරෝපීය රටවල් කිහිපයක පැතිරෙන ලැව් ගිනි නිසා මිනිස් ජීවිත නැතිවී දේපල හානි සිදුවී ඇත)

සියොළඟ දවන උණුසුම් සුළඟකි හැමුවේ
සර සර හඬිනි මහ රුක් අතු ඉති සැලුවේ
අකුණක සැරය විහිදුණි වියළුණු දලුවේ
මුළු වන පෙතම බියකරු සුසුමකි හෙලුවේ

අතු අග රඟන ලේ රතු පැහැ ගිනි දළුය
වියරුව හමන සුළගෙන් ගෙන යන අළුය
සැනෙකින් නැගී නුබ විසිරෙන දුම කළුය
දසතම වැසේ ලෙස වන මැද ගල් කුළුය

සර සර හඬින් වැනසෙයි වන පෙත සිරිය
සිරි සැප දුන් වනය සිර ගෙය වූ සරිය
දරුමල් වැළඳ බව බෝ සිත අත හැරිය
සැරසුණි පලා යන්නට සිත ගෙන දිරිය

බුරා නැගෙන රතු ගිනි දැල් දස අතින
ගරා වැටෙන ගේ දොර සඟවා නෙතින
දරා නොහෙන සිතිවිලි පුරවා සිතින
පරාජය රැගෙන නික්මිණි දැඩි සිතින

පසල් දනව්වල මතුවූ ලැව් ගිනිය
නිසල් ගුවන කම්පිත බිහිසුණු ගිනිය
විසල් නුවර හැම දන ලය සෝ ගිනිය
තුමුල් මිනිස් දිවි බිලිගත් ලැව් ගිනිය
View Poem

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

2022 අගෝස්තු කලාපය

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

පෙරව සඳකිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්

සඳ කැළුමෙන් පොරවනා ලද හාත්පස පිපුණු කුමුදු
මල් හා පරවී වැටුණු නෙලුම් මල් පෙති ඇති ජල තලාවෙන්
යුක්ත වූ කොන්තගංතොට නම් ප්‍රදේශයෙන්, පරතෙරට
යන ආශා ඇතිව යහළුව සිහි බුද්ධියෙන් පියාසර කරන්න.
View Poem

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

2022 අගෝස්තු කලාපය

"ඊයේ" " අද" වූ හින්දා !!

ඊයේ රෑ බෙහෙත් බීලා
නැත්තෙ මොකද මහත්තයා
රෑ කෑමට යනකොට මම
අතටම දුන්නානෙ බෙහෙත්
කෑම කාල ගෙදර ආවෙ
මැදියම් යාමෙනෙ කොලුවො
ඇවිත් බලන කොට වෙලාව
රෑ දොළහත් පහුවෙලා නෙ
ඊයේ අද වූ හින්දා
ඒක බීවෙ නෑ කොලුවෝ
අද උදේට නියම බේත
අරන් වරෙන් දැන්ම බොන්ට!!

රම්‍යා අත්තනායක, මහනුවර

2022 ජූලි.12.
View Poem

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2022 අගෝස්තු කලාපය

අපි අපට හමුවන තැන එතැන....

නිහඬ නිසසල ඉමක පාලුවෙන් පිරුණ
විහඟ ගී නාදෙකින්
නිසල බව බිඳුන
හිත කොහෙද ලෝකයක අතරමං කෙරුන
ඔබට මා මුණගැහෙන
එකම තැන එතැන..

ලතාවට ගලන දිය
දොල ඉවුරු සිඹින
හුරතලේ බලාගෙන
භාවනා කරන
මොහොතකට සමවැදුනු
ඒ දැහැන බිඳින
මතකයේ ශේෂ පත්
මිටින් අත හැරිණ..

සයුරු මැද නැවියෙකුට
මග නොමග කියන
පහන් තරුවට බැඳුන
ප්‍රේමයක් තිබිණ
තරු කඩා වැටෙද්දී
සිහින මග හැරුන
හිතක තනිකම වාවගනු
බැරිව මිදින.

එවන් තරුවක ප්‍රභා
හද එකලු කරන
දකිනු මිස ලංවන්න
උරුම නැති බැවින
රාත්‍රියකට අයිති
වෙරළු මල් සිහින
විසිර නෙතු පිණි පොකුරු
මල් යහනෙ රැඳින.

ගීතයක් කවි පෙලක්
සේම ගතු කියන
තව බොහෝ දේ තිබේ
ආදරෙන් පිරුන
ගිමන් හල් ඇති නමුත්
විඩා සංසිඳන
එකම එක තැනක් වේ
ආත්මය නිවන..

පෙම් වඩනු නොහැකි මුත්
ප්‍රේමයෙන් බැඳුන
ලෙන්ගතුම වදනකට
ආදරෙයි කියන
හිමි අහිමි ලෝකයේ
රිදුම් පිරිමදින
පණ සේම බැඳුණු හිත්
අහෝ!! මග හැරිණ.
View Poem

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2022 අගෝස්තු කලාපය

සොඳුරුතම දසුනකිය ඔබ

හිම වැටෙන දුරු රටකි
ගිලන් වී රෝහලක
ඇදක් මත සිටි දිනෙක
දොර ඇරන් කාමරයේ
ආවා කළුමකළු හෙදියක්
තල්ලු කරගෙන ට්‍රොලියක්
තොරොම්බල් කරත්තය වාගේ

හලෝ ගුඩ් මෝනින්ග්
මිහිරිතම වදනක්
බලමු අපි බ්ල්ඩ් ප්‍රෙෂර්
ඊළඟට බ්ල්ඩ් සුගර්
අතරතුර කථාවක්
ගනිමින් වැටෙන නාඩිය
අත තදින් අල්ලාගෙන
ඊයේට වැඩියෙන්
අද දවස කොහොමද
බොන්න මේ බෙහෙත් ටික
යන්න යයි අල්ලපු ඇඳට

මව්බිමේ හිටි දිනක
දැනුනි පෙර මතකයක්
පෙරදිනක රෝහලක
වී සිටිය රජ කුමරියක්
ගැන කියන
මියුරුතම ගීතයක
සොඳුරුතම දසුනකිය ඔබ
View Poem

සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුරය (ප්‍රධාන ආගමන විගමන නිලධාරී)

2022 අගෝස්තු කලාපය

කාලෙකින් "හලෝ" කියු මිතුරාණ..

"කාලේන ධම්ම සාකච්ඡා දැන් අහවරද" ?
අහන්නට හිතුණාට....
ව්වර නොකෙරුවෙ ම මුව දොර
ගලන දිය රළෙහි සැඩ බව දැන..

නින්නාද දෙයි කළ චෝදනා
සන්නාම කොයිතරම් පිදුවාද?
උන්නාම වගෙ පෙනුණු තරමට
උන්නාද මට සැකයි සුමිතුර...

කරදර රෝ වාහක
නුඹට වාගෙමයි මට ද
නොදැන නොබැලූ වරදම
මට පමණමද හිතවත?

මේ නිහඬ රැය පුරා
තලු මරා හප කරන හම ගසා ඵල බුදින
හඬ නගා තටු ගසන
වවුල් සර මිහිරි යැයි සිතමි..
වෙනදාට නැති සොඳුරු
බකුසු ගී තනු අසමි..
පිණි බිඳක හඬ මඩිමි.

දුක දැනුණු , නිහඬ වුණු කාරණා....
නුඹ කරන චෝදනා....
ගොනු කරමි වරපට බඳිමි ගිණි තබමි
හුස්මකින් අවුලවමි..

නුඹෙ ගිලන් බව අසමි ..දුක කියමි
හී සරක වේදනා චෝදනා විඳ ගනිමි
ගුණ කියමි සිත සදමි සෙත පතමි
දුරක සිට ළඟ රැදෙමි..

මොනාලීසා නොවන
ඇත්තෙන්ම සිනා පමණක්මය
ඒ අමිල සිතුවම.
ඇඳි බිතේ හදවතේ ඇණ ගසමි තද කරමි

නොකල්හී වැටුණාට
වැසි දියේ සුව දනිමි
ගිණි ගැනුණු සිත් පස තෙමමි
සහෝදර සෙනෙහසක නොමැරි මුල්
දිය බිඳක පහසකින්
පණ ගසා යළි නැගෙනයුරු දකිමි
වැසි පතමි ! ඵල දරන දින ගනිමි..
View Poem

Sinelya Fernando New Ash Green Primary School. Year 4

2022 අගෝස්තු කලාපය

Summer Love

Flowers blooming
The sun is rising
Stars are shining
Night to morning
The moon is looming
We are enjoying
But sometimes,
The weather is warning
Drying.... Raining....
Trees are wearing
The sea is waving
The sand is sunbathing
And the clouds are flying
Finally............
The world is swinging

Sinelya Fernando
Year 3
New ash green primary school - London
View Poem

Sanjaya Priyadarshana Sri Lanka

2022 අගෝස්තු කලාපය

Powder Puff

Sanjaya Priyadarshana – Sri Lanka

I feel your sweet scent

gone through my heart vent

blending a delicate kiss

hug by my rough lips

Once melancholies withered

blooms a may flower feathered

you are the all sensible relief

in this infinite world unbelief

be hold in my dream

spraying your aroma beam

dissolve my life emptiness

by fulfilling my hopefulness
View Poem

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2022 අගෝස්තු කලාපය

හැකිනම් නුඹට

හැකිනම් නුඹට
මා ප්‍රිය සබඳ
පෙන්වනු මැන මට
සිඟිති තටු සලා පියා සලන
කුඩා පරවි පැටවුන්
එතෙන අයුරු
සීතලට රිදී පිණිබිඳු
කඩා හැලෙන
උණුසුම් අරුණෝදයක

දනවනු මැන මට
කහපාට සමනලයෙකු
රත් පැහැ
සෙව්වන්දියක්
සිරස ලූ
සදාහරිත ලිය ගොමුවක් වට
තටුසලමින්
අනවරතයෙන් කරන
රංගනයේ ප්‍රහර්ෂය

උරුවම් බා
පෙන්වනු මැන
කන්කටුලටත්
නින්නාද නගනා
පාන්කිරිත්තෙකුගේ
සරයේ ගැබ්ව ඇති සුව හැඟුම

පාට කූරු ගෙන
සිතුවම් කරනු මැන
නිල්ල බෑ කඳු යුග්ම
යා කරන
දිළිසුම් නගන ඉන්ද්‍රචාපයන්ගේ
විසිතුරු බව

මුමුණා සවනට
මටම පමණක්
ඇසෙන්නට
ගලා යන සිහින්
දොළ පහරක් සේ
පවසනු මැන
මෙලොව
මා දුටු නොදුටු
සියල් චමත්කාරයන් හි
සුලමුල

එවිට මට
හැඟෙනු ඇත
මා ප්‍රිය සබඳ
නුඹ මට පුද කළ
ප්‍රේමය සැබැවින්ම
මා ලද
අමිල ත්‍යාගයක් බව.
View Poem

සමන්මලි සේනානායක - එක්සත් රාජධානිය (ගී පද රචිකාවී)

2022 අගෝස්තු කලාපය

සැවොම ඇවිදින් කොලොම්පුරයට

සමාවි ලක් මවුනි අපහට
දෙන්න අවසර ඔබ තුරුල යට
ඔබ සිනාසෙන රඟ බලන්නට
සැවොම ඇවිදින් කොලොම්පුරයට

ලොකු පුතා බය වෙලා හොදටම
ගෙයින් පැනලා හොරෙන් රහසෙම
පොඩි එවුන් වලි කන්නේ හොදටම
ලක් මවුන් රැක ගන්න සැමටම

වත්ත පිටියත් ගහ කොලත් උන්
රැක ගනී දැන් පන දෙවෙනි කොට
වන සතුන් හිනහේවි ඒ යට
නිජ බිමක් රැක දීපු සතුටට

ගලයි ගංගා සිසිල දීගෙන
හමයි මඳනල සුවඳ විහිදන
පිපෙයි වනමල් ඔබව සරසන
මවුනි ලක් සැනසෙන්න නිතියෙන

එකෙක් දෙන්නෙක් ගියෙ අයාලේ
උන් හැදුනෙ පර ගැතියො වාගේ
නොදත් උන් ලක් මවුගෙ සෙනෙහේ
එපා උන් යළි නුඹගෙ ඇකයේ

හිදී නුඹ ලඟ දරු කැලක් දැන්
දනී උන් ලක් මවුගෙ අගයන්
දෙන්න ඔවුනට යෝද බලයන්
ලොවම දිනලා වන්න විරුවන්
View Poem

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න

2022 අගෝස්තු කලාපය

තනිකම

තනි වෙලා මා රැයක කරුවල
පහන් සිල වූ එළිය ඔබමය
හැර දමා වෙන මගක අරුමය
වනු එපා කිසි දිනක නපුරය

සැඩ පහර මට එතෙර වන්නට
නුඹම විය පාරුවද එදවස
අසල මා අද පාළු තොටුපොළ
මගේ තනිකම නැවත රජ විය

දිවි ගමන මට නිතර රළුමය
බොහෝ තැන්වල මතක කටුකය
ඔබ රැඳුණු දින ගණන අල්පය
නමුත් ඒ ටික ඉතා මිහිරිය
View Poem

සුනිල් එස්. සිරිසේන  - මහනුවර

2022 අගෝස්තු කලාපය

අතීත සිහිනය

නිදි යහන ඉහත්තෑවේ
ලියකමින් විසිතුරු කොට
නේක මල් කැටයම් තිබුනද
ඒ මල් සුවඳ නැත

සීගිරිය එකළු කළ
විජ්ජුලතා මේඝලතා අත
සියුමැළි ඇඟිලි තුඩින් එක් කොට
බොහෝ මල් තිබුණද
ඒ මල් සුවඳ නැත

පරසතු මදාරා මලක තතු
පොත පතෙහි ඇති නමුත්
නොදන්නා මලක් මතු මතු ද
මනසින් සිප ගත හැකි වුවද
නොදැනේ මල් සුවඳ ?

පූජාසනය මත වැතිරුණු
අනේක සුවඳ පිරි
නෙක පැහැ පරමල් ඇතත්
ඒ අතර ද හමු නොවුණි
මා සොයන ඔබේ සුවඳ
View Poem

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2022 අගෝස්තු කලාපය

ලංකා වසන්තය

සොඳුරු මුතු ඇටේ අද උණු කඳුළු මත
උජාරුවට සිටි කාලය කම්මුතුය
ඩොලර් නොඑන ලෙස කැරලිම ගහපල්ලා
සීයා අපේ කීවා කට කහනවට

අඩ සියවසක් ඇහිලා දැන් යල් පැනපූ
සටන් පාඨ ඇහුණම නම් ඔක්කාරේ
නීතිය උන්ලු පිටිපස්සෙන් එන්නෙ හිනා
හොටු ගෑනිව ගෙට කැන්දා ඉලව්වේ

රටේ ගම්භීර පැරණිම ගොඩනැගිලී
කීතු කීතු වී යයි ඇස් පනාපිට
කොළඹ සන්නියත් ඇත එහි රඟපාලා
හේනට රිළවු පැන්නා සිහිවුණා බොලව්

අලුත් නමක් දාගෙන නැගලා යන්න
දසත ගිනි තියති වනසති බුදු අම්මෝ
එතැන මුහුණු දැක්කම නම් බඩ දනවා
රටක් බාර දුන්නොත් මොනවා වෙයි ද
View Poem

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2022 අගෝස්තු කලාපය

වත් සහ නිරුවත්...

පැන් පොකුනක්‍ ය නිරුවත්
පිපී දිදුලයි සියපත්

මස්ටක රෑන හොඳ හිත්
සියපතට නොලීය, පෙම්පත්

උනාදා හැඳිවත්
කුස රජ දියේ සැඟවෙත්

දිය බුං ගසා නෑවත්
මස්ටක නොවේ පැහැපත්

පිලී ගඳ කොතෙකුත්
මස්ටකයෝම නාසෙ හකුලත්

රුසිරු වත පබවත්
නොදන්නී කිසිත් තවමත්

කුදී ගත් අල්ලස්
පොදි ගහයි කොක්කනේ නොම හිස්
View Poem

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

2022 අගෝස්තු කලාපය

අහෝ මගෙ රට,.!!! 🥲

අහෝ මගෙ රට,.!!! 🥲

හැදෙන්නට නම් ඒත් කල් ඇති

හොරුම රජ වෙති තරම් වත් නැති

අගාධෙට ඔය ඔන්න පෙරලෙති

කලේ මොනවද දෙයියො නොදනිති!

‘පොට්ටු’ හිරවුනු අලිය මදකිපි

අහිංසක කොළු රැළම පන්නති

ලැජ්ජ නැති සම හරක් ඉපිලෙති

“දේශප්‍රේමී” හිවලු රජ වෙති

ගැත්තො ඔක්කොම දුන්න උඩගෙඩි

හොරුන් නැංවුව උන්ට ජය කොඩි

මල්ල පිම්බුන, මන්ධීර රජ පඩි

සොක්කො පාරේ කතී ‘මල් වෙඩි’

දුවා දරු මහපාරෙ වේලෙති

ඉස්කෝලෙ ගුරුවරු හුලං බී හති

අනාගතයක් කොහෙද?! ගොලුවෙති

අහෝ මගෙ රට හුම්මානෙ හිරවෙති

22/07/22
View Poem

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

2022 අගෝස්තු කලාපය

දැන(නො)දැන

රක්ත ධවල වර්ණ බොදව
විල් දිය මත පිපි සියපත්
දන්නවාද නොදන්නෙහිය
පත්ලෙහි විහිදුණු රොන් මඩ
පෙති මත එක බිදකුදු හෝ
යාංතමින් වත් නොරදන්
හිරු කිරණින් සැනසෙන්නට
සඳ කිරණින් බැබලෙන්නට
නොආව වග පිබිදෙන්නට

රෝස කුලේ සෙවුවන්දිය
දේදුනු පැහැ පරදවමින්
නටු අග විකසිත වූවද
දන්නවාද නොදන්නෙහිය
නටු මත කටු තිබෙනා බව
මිලාන වී යනතුරාම

සහසක් තරු කැට දල්වා
අහස් විලේ රාත්‍රියෙහි
පුන් පෝ දා උදාවෙත්ම
පුරහඳ පුරපස දිලුනේ
දන්නවාද නොදන්නෙහිය
පසු කර විත් අමාවකේ
ගන කළුවර පිය මැන බව
වළා අතර සැගවී සිට

දෙගොඩ තලා ගලාන යන
මහ ගං අතු ගංගාවල්
සරතැස විඳගනු නොහැකිව
වියැකී ඉරිතැලී ගියද
දන්නවාද නොදන්නෙහිය
ඉන් දවසෙක අත් මිදෙන්න
උත්සාහයක් නොදැරූ බව
ආමඟ උඩූගං බලාන
ගලාන යන්නට කිසිදා
View Poem

සපුමල් බන්ඩාර - ලන්ඩනය

2022 අගෝස්තු කලාපය

ඝීශ්මය තෙමා.

පීදුනු මනරම් කුසුමක
බැදී වෙරදරා අල්ලා ගන්නට
සිතකය වෙහෙස කරවාලුව
වටී පනටත් වඩා මට

මීවිතද හා ගීපොත
යුග ණයන රස සොම්නස
තුරුළුවූ හද උනුසුම
වටී පනටත් වඩා මට

ඝීශ්මය තෙමා එන
එකම එක වැහි පිදකය
එකදා එකට පියව යන්නට
වටී පනටත් වඩා මට
View Poem

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2022 අගෝස්තු කලාපය

කවියෙකු ගේ සතුට

නෙක විසිතුරු දෑ විකිණෙන
දෙපසේ කඩපිල් ඉදිවුනු
ජනයා නිතරම ඇවිදින
නගරය මැද මහ වීදිය

තැනෙක රෙදි ඇඳුම් පැළැඳුම්
රන් අබරණ දිලෙයි දිසෙත
විලාසිතාවන් දක්වන
මහා පුවරු ඇත ඉහළින

කලා කරුවෙකිය කුටියෙක
සිය නිමැයුම් අතර හිඳින
කිසිවකු නැත නෙත් හෙලුවේ
මිලකට ගන්නට සිතුවම්

අසලම ගොඩ වෙදෙක් වීය
හිස් කබලකි මේසය මත
විකිණෙයි තෙල් කුප්පි ගොඩක්
නොමදැන එහි ගුණාගුණය

ගැදි පැදි රස මිණි ඇමිනූ
පොත් රැසකිය තවත් තැනෙක
තිබුනත් ගන්නට නොමිලේ
කිසිවෙකු නොබලති ඇසහැර
* * *
යන්නං වාලේ ඇවිදින
දෙපා දුවන සිත ඇවිලුන
මිනිස්සුන්ට එක්වෙන්නට
කියනව මට මගේ හිතත්

ජීවිතෙ ආදරේ මරණෙ
ගැන කවි කොළ වල ලියලා
ඇවිදින්නට සිතෙයි මටත්
මගෙ ඇඳුමේ එල්ලාගෙන

සෙනඟ අතර තෙරපෙද්දී
ගැලැවී ගිය මගෙ කවියක්
කවුරුන් හෝ අහුලාගෙන
කියවයි නම් සතුටකි මට
View Poem

වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට් - එංගලන්තය

2022 අගෝස්තු කලාපය

සොහොන් වල කණිමින්

යොදා වෙර වීරියෙන්
මුදාගෙන මර බියෙන්
පුදා දිවි රැක ලැබ දුන්
සදා සැනසුම් සුවෙන් ....

එදා මළකුනු ලෙසින්
කලා අකුරක් පොතින්
සිතා ලොව මහ පඬින්
වැදූමව් රමණය කරන්...

මුලා වී ‍රන්මසු නදින්
දොඩා වහසින් හඬින්
උනා සලු රඟදේ උනුන්
වමාරාකන සේ රසින්...

24/07/23
View Poem

සචී ජයවර්ධන

2022 අගෝස්තු කලාපය

ඕජස්

අහා!
ගෙල ලූ මල්දම
සිරවී
හුස්ම හිරවී
නහරවැල් උලුප්පා යන අපූරුව

සුන්දරයි මේ බලන්න....
වෙව්ලා පරලවෙමින්
පන යන්න දඟලන ශරීර කූඩුව
දුටුවාද?
සෙමින් පන පිටින් වැගිරෙන
ගඳගහන ඕජස් වූ බැඳීම් ගංඟාව

එන්න,
අපි අනාගෙන කමු ආයෙම...
බෑ....
දැන් හදන්නෙ එකතුවෙලා ඒකිගේ සොහොන් කොත
මොකක්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ?

ඒකි හරි ආතල් ගෑනියෙක්
උඹ ඒ ගෑනිව කෑවා....
View Poem

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

2022 අගෝස්තු කලාපය

අම්මා - 1

අම්මා - 1

බුදු යන නම දරන දෙදෙනෙක් සිටිති ලොවේ
අන් කිසිවෙකුට හෝ ඒ නම අයිති නොවේ
සම්බුදු සමිඳු ඉන් අග තැන දරති ලොවේ
අම්මා බුදුය දෙවනුව වෙන අයෙකු නොවේ

බුදු හිමි විවිධ ගුණයෙන් පිරි සම්මාය
මුළු ලෝ සතුන්හට පිහිටැති අම්මාය
නිවසේ බුදුන් අපෙ ආදර අම්මාය
සැම දුක දරු කැලගෙ නිති පිස දැම්මාය

සීමා තිබේ මහ සයුරට පණක් නැතී
මහ පොළොවද එලෙස නිමවන තැනක් ඇතී
අහසේ කොණක් නැත දක්නට ඉමක් නැතී
මව් සෙනෙහසද අහසක් මෙනි නිමක් නැතී

පායා එන විටදි හිරු පෙරදිග අහසේ
මුළු ලොව එළිය වෙයි දැකගත හැකි වනසේ
ලෝකය දකින්නට නුවණැස මතුවනසේ
දරුවට එළිය දෙයි අම්මා හිරු දෙවි සේ

රුධිරය සැමගෙ ගත සැමතැන විසිර තිබේ
ඒ ලෝ දහම වෙත නතුවෙයි සැවොම ඉබේ
දරුවන් කෙරෙහි බැඳි මව් පෙම දැඩිව ලොබේ
ලේ මස් නහර ඇට විදගෙන දුවති ඉබේ

සිතිවිලි අතර මුල් තැන දරුවට යොම්මා
මතු දියුණුවට වෙහෙසෙති නොමැතිව නිම්මා
උතුරා යන පෙමින් දරුවන් රැක සම්මා
රතු ලේ සුදු කරන යන්තරයකි අම්මා
View Poem

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

2022 අගෝස්තු කලාපය

සඳ

තරුත් නිහඬව බලා උන් සඳ
නුඹත් නිතරම දොස් නගන සඳ
කෙලෙස රුදු වූයේ ද මගෙ සඳ
සිතා ගන්නට බැරිව සිටි සඳ

නුඹේ ප්‍රේමය බලා සිටි සඳ
ගිලිහී යද්දී අමාවක සඳ
ලෙසින් සිටි ඒ මගේ පුර සඳ
නිහඬ වූවෙමි මගේ සරා සඳ

රොස් පරොස් බස් කීව මුත් සඳ
හදේ කහටක් නැතේ කිසි සඳ
කෙලෙස මම වෙර බඳින්නද සඳ
නුඹට තව පෙම් බඳින්නෙමි සඳ

--
View Poem

උපාලි වීරසිංහ

2022 අගෝස්තු කලාපය

කවුරුන්ද ඇහුවෙ නෑ ආදරේ වැඩිකමට

නුඹෙ අම්ම එනවිටත් මා එක්ක පොඩි පැලට
පුතු ඇවිත් තිබුනනේ කාගෙන්ද ඇගෙ කුසට
දුන්නමුත් උප්පැන්නෙ පියාණන් ලෙස නමට
කවුරුන්ද ඇහැවිවෙ නෑ ආදරේ වැඩි කමට..

ගියත් මම පාන්දර ගෙයින් පිටමන් බලා
දවස් ⁣දෙකතුන හිටියෙ ගමෙන් දුරකට වෙලා
අත්කකුල් වල නැගුනු කරගැටට නෙත් හෙලා
ටික කලක් යන විටදි ඇයම පිලිකුල් කලා

මම නිවසෙ නැති අතරෙ සලෙළු වෙක් පැමිණිලා
හැමදාම නිදි යහනෙ සිත් තොසින් සනසලා
ලඟ තිබුන සේසතම ඔහු අත්ලෙ රඳවලා
අනෙ පුතේ අපෙ සිහින නුඹෙ අම්ම බොඳකලා

දිනක් මා පැමිනෙද්දි රෑ ටිකක් බෝවෙලා
හුඟක් මහ සෙනග ගොස් හිටියෙ එහි පිරිලා
පොල් කඩල ගෙන දුන්නු තුටිටුවත් පුදාලා
නුඹෙ අම්ම රෙදි කඩින් බාල්කෙක එල්ලිලා

යන්නෙ උඹ ගෙයි දාල⁣ කොහොමදැයි සිතාපන්
ටික දොහක් තව ඉතින් දුක් කඳුලු දරාපන්
කිරි දීපු හැටි අමිම හීනෙනුත් බලාපන්
තව ටිකක් මගෙ පුතේ පොල් ගොඩෙි නිදාපන්.
View Poem

උපාලි අත්තනායක මහනුවර

2022 අගෝස්තු කලාපය

තනිකම

තනිකමයි පාලුවයි
ගොම්මම්න් කලුවර
වටම ගිලගනී
සිතිජ ඉමෙි හිරු
බැස යන යාමෙි
සිතන්නන දෙයක් මට
තවත් ඉතිරි වී නැත
අද දවස කවදාද
හෙට දිනය කවදාද
අද මෙන්ම ගෙවී යයි
තනිකම සිතට කොඳුරයි
ඉතිරි වී ඇත්තේ
තනිකමයි පාලුවයි

රස බොජුන් මී විතට
බව බෝග සම්පතට
ඇදුනාද මිතුරු කැළ
කොතැනකද අද ඔවුන්
ළඟපාතවත් නොමැත
මගේ තනියට සිටිය
මැකී ගිය රුව වරුණ
මා මෙන්ම තනිවෙලා
සසර සැරි සරනවද

2022.07.25
View Poem

වජිර ජයවර්ධන

2022 අගෝස්තු කලාපය

කාලයේ දඩුවමක්

ලස්සනයි මේ මොහොත
කිව්වාට තත්පර කට්ට
නවතින්න බැහැ බිදක් වත්
දුවන පෙරහැරේම තමයි
විනාඩියා නම් ටිකක්
පැය කාරයා හුඟක්
විඳිනව දැනෙන විදියට
ඒත් බැහැ නවතින්න
කිසිම මොහොතක එක තැන

ගඟකට හමු වුනොත්
ලස්සනම ඉවුරක්
පුලුවන්ද නවතින්න
එකම එක මොහොතක්

ගලා යන ජීවිතේ
ඇසට හරි සහනයක්
අකාලයෙ මතක
කාලයේ දඩුවමක්
View Poem

වෑත්තෑවෙ හිමි

2022 අගෝස්තු කලාපය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි -

පරසතු මලින් පුද
ලද මුනි සඳුට දියනද
වනපස මලින් පුද
කළයි පවසනු කවර වරදද

පරසතු පුෂ්පයන්ගෙන් පුජා ලද බුදුරජාණන් වහන්සේ
කැළෑ මලින් පිදීම කිනම් වරදක් ද
View Poem

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2022 අගෝස්තු කලාපය

ලන්ඩන් කවියට ආසිරී ....

කවිපොත් ගිලිහිලා යනකොට අතින් අත

වෙබ් පිටු , මුහුණු පොත මත ඇත තරුණ හිත

කොට කොට අකුරු පුවරුවෙ ඇති යතුරු මත

කවිපද ලියනවා සමහරු ඇතුව හිත

සෙවුම් මෙවලමෙන් ගන්නා රූ අලවා

පියකරු අකුරු ගලපයි ගුණයෙන් බලවා

වෙබ් නැණ ඇතිව ඩිජිටල් ගැලපුම් කරවා

මාසෙන් මාසෙ හැඩවෙයි මේ කවි දරුවා

සදැසින්, නිසදැසින් සහ පෙර පැවති කවීන්

කදිමට, සීරුවට අමුණන ලබැදි පෙමින්

ලොව දස දෙසින් කවි එක්කොට වෙහෙස වෙමින්

කරනා මෙහෙය අගයමි, ආසිරි තුණුරුවන් බෙලෙන්
View Poem