ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හැකිනම් නුඹට

හැකිනම් නුඹට

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
2022-August

හැකිනම් නුඹට
මා ප්‍රිය සබඳ
පෙන්වනු මැන මට
සිඟිති තටු සලා පියා සලන
කුඩා පරවි පැටවුන්
එතෙන අයුරු
සීතලට රිදී පිණිබිඳු
කඩා හැලෙන
උණුසුම් අරුණෝදයක

දනවනු මැන මට
කහපාට සමනලයෙකු
රත් පැහැ
සෙව්වන්දියක්
සිරස ලූ
සදාහරිත ලිය ගොමුවක් වට
තටුසලමින්
අනවරතයෙන් කරන
රංගනයේ ප්‍රහර්ෂය

උරුවම් බා
පෙන්වනු මැන
කන්කටුලටත්
නින්නාද නගනා
පාන්කිරිත්තෙකුගේ
සරයේ ගැබ්ව ඇති සුව හැඟුම

පාට කූරු ගෙන
සිතුවම් කරනු මැන
නිල්ල බෑ කඳු යුග්ම
යා කරන
දිළිසුම් නගන ඉන්ද්‍රචාපයන්ගේ
විසිතුරු බව

මුමුණා සවනට
මටම පමණක්
ඇසෙන්නට
ගලා යන සිහින්
දොළ පහරක් සේ
පවසනු මැන
මෙලොව
මා දුටු නොදුටු
සියල් චමත්කාරයන් හි
සුලමුල

එවිට මට
හැඟෙනු ඇත
මා ප්‍රිය සබඳ
නුඹ මට පුද කළ
ප්‍රේමය සැබැවින්ම
මා ලද
අමිල ත්‍යාගයක් බව.