ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හැදූ මව

හැදූ මව

හේමා ඩෙප් - ලන්ඩනය
2022-August

මං පුංචි දවස් වල – මගේ පසු පස්සෙන්ම
හිටියෙ මට ලං වෙලා – මගේ ලොකු අම්මාය
ආදරය කරුණාව – වගේ ගුණදම් වලින්
ඇය ඉතා පොහොසත්ය – කියා මට කිවහැකිය
තනිකඩව හිටියාට – ඇයට තනිකමක් නැත

උදෑසන නැගිටලා – මගේ මුව දොවාලා
කිරි ටිකද පොවාලා – ලස්සනට අන්දවා
නලල මැද කළු පාට – තිලකයක් තබාලා
ආදරෙන් සෙනෙහසින් – ඇගේ උකුලට අරන්
මගේ හැඩ බැලූ හැටි – අදත් සිහියට නැගේ

මහන්නට ලස්සනට – කරන්නට ගෙත්තම්ද
ඇගේ මුළු ජීවිතය – හැම අතින් බැබලුනේ
හිතන්නට බැරි තරම් – ඇගේ දස්කම් මතය
ගමේ පොඩි කෙල්ලන්ට – ගවුම් පොඩි මසාලා
අන්දවා හැඩ බලා – විදි සතුට අපමණයි

මා ඇගේ මැණික යැයි – සැම විටම පවසලා
මගේ මුව සිප ගත්තෙ – ඇගේ මුළු ලෝකයම
මා මිසක් වෙන කෙනෙක් – නොවන බව කියමින්ය
මා ඇගෙන් ලබාගත් – සෙනෙහසක මහිමයද
මගේ මුළු හදවතෙහි – සදාකාලිකව ඇත

සෑම මසකට වරක් – බුදු සමිඳු ඉදිරියේ
මල් පහන් දල්වලා – සීලයක පිහිටලා
අපේ හදවත් වලත් – ගුණ දහම් පුරවන්න
මහත් ආසාවකින් – ජීවිතය කැප කලේ
ඇගේ මුළු හදින් බව – මගේ සිහියට නැගේ

කුස්සියේ පාලනය – ඇගේ තනි මතයටයි
සේවකයො පිරිසගෙන් – ලබන සහයෝගයයි
ඇගෙ අතින් නිමවෙන්නෙ – රසම රස බෝජනයි
ඇගෙ අතින් බත් කවා – මිස මාව සනසන්න
මගෙ මවට ඉඩ නොදෙයි – අයිතිකරු ඇය කියයි

මා කොතෙක් කෑවත් – හොරෙන් ඇය ළඟ ට ගොස්
ඇගේ බත් පිඟානෙන් – මම කටක් නොකෑවොත්
මගෙ බඩට මදි බවක් – හැමදාම දැනී ඇත
ඒ ඇගේ ආදරය – මට ලැබුණ සම්පතයි

කොහෙ ගියත් ඇය යන්නෙ – මගේ මුව සිප ගෙනය
දඟ නොකර ඉන්න යැයි – සෙමින් මතුරා ගෙනය
මා කරන හොර වැඩත් – අම්මාට නොකියන්න
වග බලා ගත් මගේ – එකම යෙහෙළිය වුනේ
මගේ ලොකු අම්මාය – මා හැදූ අම්මාය ….