ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අම්මා – 1

අම්මා – 1

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
2022-August

අම්මා – 1

බුදු යන නම දරන දෙදෙනෙක් සිටිති ලොවේ
අන් කිසිවෙකුට හෝ ඒ නම අයිති නොවේ
සම්බුදු සමිඳු ඉන් අග තැන දරති ලොවේ
අම්මා බුදුය දෙවනුව වෙන අයෙකු නොවේ

බුදු හිමි විවිධ ගුණයෙන් පිරි සම්මාය
මුළු ලෝ සතුන්හට පිහිටැති අම්මාය
නිවසේ බුදුන් අපෙ ආදර අම්මාය
සැම දුක දරු කැලගෙ නිති පිස දැම්මාය

සීමා තිබේ මහ සයුරට පණක් නැතී
මහ පොළොවද එලෙස නිමවන තැනක් ඇතී
අහසේ කොණක් නැත දක්නට ඉමක් නැතී
මව් සෙනෙහසද අහසක් මෙනි නිමක් නැතී

පායා එන විටදි හිරු පෙරදිග අහසේ
මුළු ලොව එළිය වෙයි දැකගත හැකි වනසේ
ලෝකය දකින්නට නුවණැස මතුවනසේ
දරුවට එළිය දෙයි අම්මා හිරු දෙවි සේ

රුධිරය සැමගෙ ගත සැමතැන විසිර තිබේ
ඒ ලෝ දහම වෙත නතුවෙයි සැවොම ඉබේ
දරුවන් කෙරෙහි බැඳි මව් පෙම දැඩිව ලොබේ
ලේ මස් නහර ඇට විදගෙන දුවති ඉබේ

සිතිවිලි අතර මුල් තැන දරුවට යොම්මා
මතු දියුණුවට වෙහෙසෙති නොමැතිව නිම්මා
උතුරා යන පෙමින් දරුවන් රැක සම්මා
රතු ලේ සුදු කරන යන්තරයකි අම්මා