ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපි අපට හමුවන තැන එතැන….

අපි අපට හමුවන තැන එතැන….

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
2022-August

නිහඬ නිසසල ඉමක පාලුවෙන් පිරුණ
විහඟ ගී නාදෙකින්
නිසල බව බිඳුන
හිත කොහෙද ලෝකයක අතරමං කෙරුන
ඔබට මා මුණගැහෙන
එකම තැන එතැන..

ලතාවට ගලන දිය
දොල ඉවුරු සිඹින
හුරතලේ බලාගෙන
භාවනා කරන
මොහොතකට සමවැදුනු
ඒ දැහැන බිඳින
මතකයේ ශේෂ පත්
මිටින් අත හැරිණ..

සයුරු මැද නැවියෙකුට
මග නොමග කියන
පහන් තරුවට බැඳුන
ප්‍රේමයක් තිබිණ
තරු කඩා වැටෙද්දී
සිහින මග හැරුන
හිතක තනිකම වාවගනු
බැරිව මිදින.

එවන් තරුවක ප්‍රභා
හද එකලු කරන
දකිනු මිස ලංවන්න
උරුම නැති බැවින
රාත්‍රියකට අයිති
වෙරළු මල් සිහින
විසිර නෙතු පිණි පොකුරු
මල් යහනෙ රැඳින.

ගීතයක් කවි පෙලක්
සේම ගතු කියන
තව බොහෝ දේ තිබේ
ආදරෙන් පිරුන
ගිමන් හල් ඇති නමුත්
විඩා සංසිඳන
එකම එක තැනක් වේ
ආත්මය නිවන..

පෙම් වඩනු නොහැකි මුත්
ප්‍රේමයෙන් බැඳුන
ලෙන්ගතුම වදනකට
ආදරෙයි කියන
හිමි අහිමි ලෝකයේ
රිදුම් පිරිමදින
පණ සේම බැඳුණු හිත්
අහෝ!! මග හැරිණ.