ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලකට හෙටක් ?……..

ලකට හෙටක් ?……..

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2022-August

කුණාටු මැද රුදු සයුරක
සීතල පිරි හිම කතරක
මල් නොපිපුනු වැලි තලයක
ගිනි ගෙන ඇත රට මොහොතක.

නෙතින් කඳුළු කැට හෙමිහිට
දහසක් මල් වැළපෙන විට
නෙතු දල්වා හිස් අහසට
සුසුම් පාව යයි සුළඟට.

නොමැත සහන් නිමේෂයක්
මැළවෙන තරු අනන්තයක්
පැතුම් කඳුළු ප්‍රපංචයක්
නොදකින හෙට වසන්තයක්.

අමන කැළක් රජ වී ඇත
නිමල පැතුම් ගිලිහී ඇත
ලක් මව වැළපී කඳුලින්
දහසක් මල් පරවී ඇත.

නිල්වන් කෙත් නැත සරුවී
රන්වන් කරලුත් හැකිළී
දුප්පත් දන ඇත ගොළු වී
පින්වත් ලක නැත සසිරී.

කියනු කා හටද සෝකය
දරණු නොහැක සංතාපය
කැකුළු නඟන දුක් ලාපය
කාට වැදෙනු ඇත සාපය.