ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සෙල්ලම් බඩු

සෙල්ලම් බඩු

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
2022-August

සෙල්ලම් බඩු

දරුව, කොයිතරම් සතුටින්ද නුඹ!
උදෑසන පටන්ම, දූලි පිරි බිම හිඳ
කෝටු කැබැල්ලකින් සෙල්ලම් කරමින්

නුඹ දෙස බලා සිනාසෙමි
ගිණුම් වැඩ කර පැයට ගෙවුම් ලබමි
සමහරවිට නුඹ මදෙස බලා සිතනවා ඇති
“කොයිතරම් මෝඩ සෙල්ලමක්ද… උදේ වරුවම නාස්ති කරගන්න!”

දරුව, කෝටු කැබලි හා කෝම්පිට්ටු වෙත ඇලී හිඳින්නට
මට දැන් අමතක වී ඇත
මා සොයන්නේ මිල අධික දේ ය
රන් හා රිදී ගොඩවල් එකතු කරමි

නුඹ නුඹට සොයාගතහැකි දේ ඇසුරෙන්
සතුටු සෙල්ලම් මවා ගනී
මම මට කවදාවත් ලබාගත නොහැකි දේ වෙනුවෙන්
කාලයත් ශක්තියත් වැය කරමි

මගේ දුර්වල ඔරුවේ නැඟී
ආශාව නම් සයුර තරණයට වෙර දරද්දී
මාත් නිරතව සිටින්නේ සෙල්ලමක බව
අමතක වේ මට

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the poem Playthings by Rabindranath Tagore

Link to Original poem https://www.poetryfoundation.org/poems/45671/playthings
Poet’s bio translated from Britannica
Copyright free photo from pixabay

1861දී ඉන්දියාවේ කල්කටාවේ උපන් රබීන්ද්‍රනාත් තාගෝර්- කවියෙක්, ගීත රචකයෙක් කතුවරයෙක්, චිත්‍ර ශිල්පියෙක් සහ දාර්ශනිකයෙක් ලෙස හැඳින්විය හැක. ඔහුගේ සාහිත්‍ය නිර්මාණවල භාවිත කර තිබෙන විචිත්‍ර ගීතවත් බස නිසා ඒවා ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ප්‍රචලිත විය. තාගෝර්ගේ ගීතාංජලී කෘතිය වෙනුවෙන් 1913දී නොබෙල් සාහිත්‍යය ත්‍යාගය පවා පිරිනැමුණි. බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ජාතික ගීයන් ඔහුගේ නිර්මාණ වන අතර ශ්‍රී ලංකාවේ ජාතික ගීයටද ඔහුගේ ආභාෂය ලැබුණු බව කියවේ. සාහිත්‍ය ලෝකයට මහත් සේවයක් කළ රබීන්ද්‍රනාත් තාගෝර් 1941 දී අභාවප්‍රාප්ත විය.